නීතිය: පංතිමය උපකරණයක් ලෙස…

21
සමාජය තුළ හුදකලා වන මිනිසා
February 24, 2020
23
අධිරාජ්‍යවාදයේ අවියක් වූ ‘ප්‍රචාරණය’
March 2, 2020
Show all

නීතිය: පංතිමය උපකරණයක් ලෙස…

22

දැනුම සමාජය හා චින්තනය

22

      මේ දිනවල ලංකාවේ ‘නීතිය’ හැසිරෙන ආකාරය පිළිබඳව විවිධ කථාබහ මතුව තිබේ. මිලියන 30ක මූල්‍ය වංචාවක් සිදුකොට රටින් පිටව ගොස් අධිකරණය මඟහැර සිටි, රතු වරෙන්තු නිකුත් කොට අවසානයේ අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ විට ඇය ඇප මත නිදහස් කළ බවට ප්‍රවෘත්ති පළ විය. එම දිනවලම කුසගින්නට කෑමක් හදාගැනීමට අඹගෙඩි තුනක් කැඩූ කාන්තාවක් පැය 24ක් පුරා පොලීසියේ රඳවා සිට ඇප මත මුදාහළ ප්‍රවෘත්තියක්ද වාර්තා විය. මෙම සිදුවීම් දෙකේ දෙදෙනාම කාන්තාවන් වුවත් එක් අයෙක්ගේ වරද විශාල වන අතර අනෙක් කාන්තාවගේ ‘වරද’ කුඩා වුවත් ඔවුන් දෙදෙනා අයත්ව තිබුණේ සමාජ පංති දෙකකටය. රුපියල් මිලියන 30ක වංචාව කළ කාන්තාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ ලේකම්වරියක්ව සිටි අයෙකි. අනෙක් කාන්තාව ඉතාම දිළිඳු වයස්ගත කාන්තාවකි. මෙම අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක වීමේදී බරපතළ වෙනසක් සිදුව තිබෙන බව පැහැදිලිය. එම වෙනසට හේතුව කුමක්ද? එය එම කාන්තාවන් දෙදෙනා අයත්වන පංති දෙකේ වෙනසය. ‘නීතිය’ පොහොසතුන්ට හා බලවතුන්ට එක් ආකාරයකිනුත් දිළින්දන්ට හා අසරණයන්ට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වන බවට මෙය ජීවමාන උදාහරණයකි.

රීතිය වෙනුවට ආ නීතිය

    අප දන්නා කරුණු අනුව මානව සමාජය ආරම්භ වූයේ නීතිය සමග නොවේ. මානව සමාජය එහි දීර්ඝතම කාලපරිච්ඡේදය වූ ප්‍රථමික සාමූහික ක්‍රමය තුළ පැවතියේද නීතීන් ඇතිව නොවේ. කවුරුත් දන්නා පරිදි සමාජය තුළ නීතීන් බිහිවූයේ පෞද්ගලික දේපළ මත සමාජය පංතීන්ට බෙදී, දේපළ හිමි පංතියේ වුවමනාවන් රැකීම සඳහා රජය බිහිවීමත් සමගය. සමාජය තුළ රජය හා නීතිය බිහිවීමට පෙර වසර 75,000කට වැඩි කාලයක් ප්‍රාථමික මානව සමාජය පාලනය වූයේ රීතින් හා සම්ප්‍රදායන් ගෙනි. රීතීන් සම්ප්‍රදායන් සමාජය විසින්ම බිහිකරගත් ඒවා විය. ඒවා බිහිවූයේද සමාජයේ පොදු පැවැත්මට අත්‍යාවශ්‍ය වූ නිසාය. ඒ නිසාම සමාජයේ කිසිවෙකු රීතින් හා සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමට උත්සාහ කළේ නැත. ඉඳහිට එවැන්නක් සිදු වුවද සමස්ත සමාජ සංවිධානය මැදිහත් වී එය වැළක්වීය. මිනිසුන් රීතින් රැක්කේ සිය කැමැත්තෙනි. අද පවා මිනිසුන් රීති උල්ලංඝනය කරන්නේ අඩුවෙනි. මන්ද රීතින් යනු සමාජය මත බලෙන් පැටවූවක් නොවන නිසාය. එහෙත් නීති සමාජය මත බලෙන් පටවනු ලැබූ දෙයකි. එය නොරැකෙන්නේද ඒනිසාය.

       අතීතයේ මිනිසාගේ සරල දිවි පැවැත්ම තුළ ජලය වෙළඳ භාණ්ඩයක් වීමට පෙර, බෝතල් කළ වතුර හෝ නල මාර්ගයෙන් එන ජලය ඒමට පෙර ඇළ දොළ ගංගාවල ජලය පාවිච්චි කළ මිනිසා අතර රීතියක් විය. ඒ, ජල මාර්ග අපවිත්‍ර නොකිරීමය. ඒ නිසා කිසිවකු ජල මාර්ගවලට අපද්‍රව්‍ය නොදැමීය. එහෙත් වර්තමානයේ ජලය වෙළඳ භාණ්ඩයක් වීමත් මිනිසාගේ අධිපරිභෝජනවාදී ජීවන රටාව හා ආත්මාර්ථකාමිත්වයත් නිසා සිදුව තිබෙන්නේ කුමක්ද? ගංගා ඇළ දොළවලට අපද්‍රව්‍ය දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කළ නීතියක් ඇතත් මිනිසුන් දිනපතා මෙම ‘නීතිය’ කඩමින් ජල මාර්ගවලට කසළ හා අපද්‍රව්‍ය එක්කරති. ඒ මිනිසුන් නීති රකින්නේ බිය නිසා මිස සිය කැමැත්ත අනුව නොවන නිසාය. එහෙත් මිනිසුන් රීතීන් රකින්නේ කැමැත්ත නිසාය. වෙනස එයය.

නීතියේ ජීවය දේපළ වූ විට

        නීතිය යනු ඕනෑම රටක රජයේ එක් පාර්ශවයකි. ලොව පුරාම ධනවාදය තුළත් ඊට පෙර පැවති පංති සමාජයන් තුළත් නීති නිර්මාණය කළේ රජයේ, අවශ්‍යතාවය සඳහා පාලක පංතීන් විසිනි. රජය අයත් වූයේ දේපළ හිමි පංතියටය. එවිට නීතින්ගේ ජීවය වූයේ දේපළය. 19වැනි සියවසේ විසූ ප්‍රංශ මනෝරාජික සමාජවාදියෙක් හා දාර්ශනිකයෙකු වූ පියෙර් ජෝශප් ෆෘඩන් නැමැත්තා වරක් ප්‍රකාශ කළේ ‘නීතියේ ජීවය දේපළ වේ’ යනුවෙනි. ඔහුට අනුව නීතීන් යනු ‘කලින් බලෙන් පැහැර ගැනීමක පාප ශෝධනයටත් නව බලෙන් පැහැර ගැනීමක් වැළැක්වීමටත්’ සකස් කළ ඒවාය. ඔහු පවසන්නේ සත්‍යයකි. පැරණි ප්‍රාථමික සමාජයේ සමාජය සතුව තිබූ පොදු දේපළ, එම සමාජය තුළ බලවත් වූ පිරිසක් විසින් බලෙන් පැහැර ගනු ලැබීය. පෞද්ගලික දේපළ බිහිවූයේ එසේය. එම අතීත බලෙන් පැහැර ගැනීම සාධාරණය කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ අතර යළි ඔවුන්ගෙන් එම දේපළ පැහැර ගැනීම වළක්වා ගැනීමටද ඔවුනට අවශ්‍ය විය. ඔවුන් නීති සකස් කළේ ඒ සඳහාය. ‘නීතීන්ගේ ජීවය දේපළ’ (පෞද්ගලික) වන්නේ ඒ අනුවය.

        කිසියම් යුගයක පවත්නා නීතිය වූ කලී එම යුගයේ පාලක පංතියේ කැමැත්ත වන්නේ යැයි මාක්ස්වාදය අපට උගන්වයි. ඉන් කියවෙන්නේද කලින් පැහැදිලි කළ කරුණමය. එබැවින් නීතිය ‘අපක්ෂපාතී’ හා ‘සාධාරණ’ ලෙස පෙනී සිටීමට උත්සාහ කළද එය හැමවිටම එක් පංතියකට එරෙහිව එනම් දේපළ අහිමි පංතියට එරෙහිව දේපළ හිමි පංතියේ කැමැත්ත ප්‍රකාශ වීමකි.

නූතන ධනවාදය තුළ නීතිය

       අවසාන විග්‍රහයෙදී නූතන ධනවාදය තුළද නීතිය පක්ෂපාතී වේ. දැන් ලංකාවේ අප දකිමින් සිටින්නේ එයය. ලෝකය ධනවාදයට පා තැබූ විට, පැරණි සමාජයේ නග්න ලෙසම පාලක පංතියට පක්ෂපාතීව තිබූ නීතියත් නෛතික ආයතනත් වෙනස් කර ඊට පොදු හා සාධාරණ මුහුණුවරක් දීමට කටයුතු කළේය. නීතිය කාටත් සාධාරණය, නීතිය ඉදිරියේ කවුරුත් සමානය යන අදහස තහවුරු කිරීමට ධනවාදය කටයුතු කළේය. ඒ අනුව ධනවාදයේ නීති පැවති සමාජයේ නීතිවලට වඩා මදක් යහපත් විය. සමහර අවස්ථාවල ධනවාදයේ හෝ ප්‍රාග්ධන හිමි පංතියේ පැවැත්මට අභියෝගයක් නොවන අවස්ථාවල නීතිය හා ඒ හා සම්බන්ධ ආයතන අපක්ෂපාතී බව පවත්වා ගෙන යාමට කටයුතු කරනු දැකිය හැක. දියුණු ධනපති රටවල මෙය වඩාත් පෙනේ. යුරෝපා රටවල අගමැතිවරයා මාර්ග නීති කඩකළ විට ඔහුටද දඩ ගසන්නේ ඒ නිසාය. එය ධනේශ්වර නීතිය ‘පොදු’ හා ‘සමාන’ බව පෙන්වීමට හොඳ උදාහරණයකි. ඒ මගින් ධනේශ්වර පාලනය තමන්ට වාසි මතයක් ජනතාව තුළ තහවුරු කරයි. එහෙත් එය හැමවිටම කළ නොහැකි අතර නීතියේ පොදු පෙනුම බිඳවැටී ඊට යටින් ඇති සැබෑ යථාර්ථය මතුවන අවස්ථා ඇතිවේ. දැන් අපේ රට තුළ අප දකිමින් සිටින්නේ එයය.

නීතියේ සළුපිළි ගැලවීම

       ධනවාදය අර්බුදයට නොයන තාක්කල්, ධනපති පාලනයන් අර්බුදයට පත් නොවී සිටින තාක් නීතියටද සාධාරණත්වයේ සළු පැළැඳ සිටිය හැක. එහෙත් ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස පිරිහෙන විට, එය අර්බුදයට යනවිට, ධනවාදය තුළ ක්‍රමවත්ව හා නොපෙනෙන ලෙස කළ ‘කොල්ලකෑම’ වෙනුවට ‘කොල්ලකෑම’ ප්‍රසිද්ධියේ හා එළිපිට කිරීමට පාලකයන් පෙළඹෙන විට, ශුද්ධ වූ සියල්ල කෙළෙසෙන විට ධනවාදය තුළ නීතියද කෙළෙසෙන්නේය. එවිට නීතියට සාධාරණත්වයේ හා අපක්ෂපාතීත්වයේ සළුපිළි උනාදමා නිරුවතින් කටයුතු කිරීමට සිදුවන්නේය. මේ අප දකින්නේ එයයි.

      තාජුඩීන් ඝාතනයේදී ඝාතකයින් නිදැල්ලේ සිටියෙදී එම ඝාතනයට අදාළ තොරතුරු සැඟවූ උසස් පොලිස් නිලධාරියාට රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදුවන්නේත් වසර තුනකට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබාදුන් සිල්රෙදි වංචාවේ ‘වරදකරුවන්’ දින 10ක් තුළ ඇප ලබා ගෙදර යන්නේත් ඉතාම කුඩා සොරකමක් කළ අය ඇප නැතිව මාස ගණන් සිරගෙවල දුක්විඳින්නේත් ධනවාදය තුළ නීතිය පාලක පංතියට හා පීඩිත පංතියට වෙනස් ලෙස ක්‍රියාවට නැගෙන නිසාය. අර්බුදයට පත් නූතන කොල්ලකාරී ධනවාදය තුළ අධිකරණයේ ගරු රඟපෑම්වලට තවදුරටත් ඉඩ නැති බව පාලක පංතිය භාවිතයෙන්ම පෙන්වා දී තිබේ. නීතිය තමන්ට අවශ්‍ය ලෙස ක්‍රියාවට නොනැගීම නිසා හිටපු අගවිනිසුරුවරිය තනතුරෙන් ඉවත් කිරීමෙන් එය ඔප්පුකර තිබේ.

     යකඩ බාල්ක ගිනිගත් නිවසක පුළුන් සෙවීම නිෂ්ඵල බවත්, යකඩ මල්ලට ගුල්ලන් විදි කල හාල් මල්ල නොබලාම ඉවත් කළ යුතු බවත් අපේ ජනවහරේ දක්වේ. එය ධනවාදය තුළ නීතියටද අදාළය. සමස්ත සමාජයටම පිරිහී අර්බුදයට ගොස් ම්ලේච්ඡත්වයට ගමන්කරන විට ඒ තුළ නීතියට පමණක් ඉන් ගැලවී සිටීමට නොහැක. මේ පෙන්වන්නේ, ධනවාදයේ රෝගය නීතිය දක්වාම ඔඩුදුවා ඇති බවය. නීතිය එහි උපතින්ම පාලක පංතියේ කැමැත්ත හා පංති පීඩක උපකරණයක් විය. එහෙත් එය කිසියම් කලක තම සත්‍යය ස්වරූපය නොපෙන්වා පොදු හා සාධාරණ බවත් පෙන්වීමට කටයුතු කළේය. ඒ සඳහා වූ ගෞරවය ඊට හිමි විය යුතුය. එහෙත් දැන් තවදුරටත් එයට එසේ රඟපෑමට නොහැකිව තිබේ. ධනවාදී අර්බුදයේ පිරිහීම නීතිය තුළින්ද ප්‍රකාශ වන්නට පටන්ගෙන තිබේ.

ඉදින් නීතියේ ස්වාධීනත්වය අපේක්ෂා කරන සාධාරණය බලාපොරොත්තුවන අය කළ යුත්තේ කුමක්ද? නීතියේ සළුපිළි උනා දමා එයද දූෂ්‍ය කළ ධනපති පාලක පංතියත් ධනවාදී සමාජ ක්‍රමයත් පරාජය කිරීමය. එසේ නොවී කොල්ල කල්ලියක් රටක් පාලනය කරද්දී නීතියෙන් සාධාරණත්වය ඉල්ලා සිටීම හාස්‍යජනකය.

Next – අධිරාජ්‍යවාදයේ අවියක් වූ ‘ප්‍රචාරණය’