ව්‍යවස්ථා සම්පාදනය සහ පංති අරමුණු

නීතියේ  ඓතිහාසික විකාශනය හා ධනවාදය තුළ නීතිය
January 1, 2020
පංතිය, පක්‍ෂය හා නායකත්වය
January 2, 2020
Show all

ව්‍යවස්ථා සම්පාදනය සහ පංති අරමුණු

         සියලු මිනිසුන් සමාන ලෙස මවනු ලැබ ඇති බවත් ඔවුන්ගේ නිර්මාතෘවරයා විසින් ඔවුනට ජීවිතය, නිදහස සහ සන්තෘෂ්ටිය හඹායාම වැනි නිශ්චිත අන් සතු කළ නොහැකි අයිතීන් ප්‍රමාණයක් පවරාදී ඇති බවත් අපි ස්වයංව ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිමු. මේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසුන් අතර ආණ්ඩුවක් ස්ථාපිත කරනු ලැබ තිබේ. ඔවුන්ගේ මුල් අයිතීන් ආණ්ඩුවට පවරා දෙනු ලැබ ඇත. කවරාකාරයේ හෝ ආණ්ඩුවක් මේ අයිතීන් උල්ලංඝනය කරනු ලබන්නේද එය වෙනස් කරලීම, අහෝසි කරලීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම ජනතාවගේ අයිතියකි…”

        1774 ජූලි 04වැනි දින ඇමරිකාවේ ජනපද 13ක් විසින් අත්සන් තබන ලද නිදහස් ප්‍රකාශනයේ  (Declaration of Independence) දෙවැනි ඡේදය ඇරඹෙනුයේ මෙලෙසය. නිදහස් ප්‍රකාශනය යනු වත්මන් ඇමරිකානු එක්සත් ජනපදය නිර්මාණය කරගැනීමේලා පදනම් කරගනු ලැබූ ලියවිල්ලය. සියවස් 03ක පමණ කාලයක සිට එක්සත් ජනපද ව්‍යවස්ථාව ලිබරල් බුද්ධිමතුන් විසින් හුවා දක්වනුයේ, මානව ශිෂ්ටාචාරයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටතම සොයා ගැනීම ලෙසටය; මිනිස් නිදහසේ හා ආණ්ඩුවක පරමාදර්ශය ලෙසටය.

        එහෙත් එක්සත් ජනපදයත් එහි ව්‍යවස්ථාවත් නිර්මාණය වන්නේ, ග්‍රීක සාහිත්‍යයේ ජුපිටර්ගේ හිසින් මිනර්වා පහළ වූවාසේ  පාරිශුද්ධ ලෙස නොවේ; එය බිහිකිරීම අරමුණු කරගත් පංති සමාජයේ නියෝජිතයින්ගේ අරමුණු සහගත මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.  ව්‍යවස්ථාවක් යනු රටක ආණ්ඩුවක් ක්‍රියාත්මක විය හැක්කේ සහ විය යුත්තේ කෙසේද, රාජ්‍ය බලය ක්‍රියාවේ යොදවනු ලැබිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය හා ප්‍රතිපාදන පෙන්වා දෙන්නාවූ මූලික නීති රාමුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි.

         පසුකාලීනව, විශේෂයෙන් තෝමස් හොබ්ස්, රූසෝ, ජෝන් ලොක් වැනි සමාජ සම්මුතිවාදී දාර්ශනිකයින්ගේ මඟපෙන්වීම්වලින් පසුව මානව අයිතිවාසිකම් නිර්වචනය කරන්නාවූ කොටස්ද එක්වී තිබේ. එසේම ධනේශ්වර රාජ්‍යයට මානව අයිතිවාසිකම් බාධාවක් වන කාලයේදී ඒවා විවිධාකාරයෙන් සීමා කෙරෙන්නාවූ නෛතික ප්‍රතිපාදනද එම ව්‍යවස්ථාවන්හි ඇතුළත්ය. ව්‍යවස්ථාවන් සකස් කරනු ලබන්නේ, ඒ මොහොතේ සමාජයේ ආධිපත්‍යය දරන පංතිය විසින් බව රහසක් නොවේ. ඉතිහාසය පුරා තත්වය එලෙසය. ව්‍යවස්ථාව ධනවාදී හෝ සමාජවාදී විය හැක. එහෙත් අදාළ පංතියේ වුවමනාකම් නියෝජනය කිරීම නොවැළැක්විය හැකි කරුණකි. කෙසේ වුවද ලිබරල් බුද්ධිමතුන් විසින් තහවුරු කිරීමට උත්සාහ දරන්නේ ධනේශ්වර ව්‍යවස්ථා පංති වුවමනා එපාකම් පිළිබිඹු කරන්නක් නොව ජනතා පරමාධිපත්‍යයේ නිරූපනයක් බවය. නමුත් මේ ව්‍යවස්ථා සම්පාදනය කෙරෙන්නේ කිසිසේත් ජනතාවගේ අදහස් අනුව නොවේ. ඒවා ජනමත විචාරණයන්ගෙන් සම්මත කරගනු ලැබෙන්නේ නැත. ඒවා සකස් කරගනු ලබන්නේ, ධනේශ්වර නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ධනේශ්වර ආණ්ඩු විසිනි. කෙසේ වුවද සමාජවාදී රටවල ව්‍යවස්ථා මූලිකවම ජනතාවගේ වුවමනාකම් නියෝජනය කරයි. ඒ, ඒවායේ කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට, සම්මත කිරීමට මෙන්ම නැවත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියටද මහජන සහභාගිත්වය තහවුරු කිරීමෙනි.

         නිදසුනක් ලෙස කියුබානු විප්ලවය රටේ මූලික ව්‍යවස්ථාපිත නීතිය බවට පත්කළ 1976 ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ලක් කරන ලද අතර එය සම්මත වූයේ 97.7%ක මහජන අනුමැතියකිනි. එම ව්‍යවස්ථාව 1992 හා 2002 වශයෙන් සංශෝධනය වූයේද මිලියන ගණනක් වූ කියුබානු ජනතාව අතර සාකච්ඡාවට ලක්කරනු ලැබීමෙන් හා ඔවුන් විසින් මුල් කෙටුම්පතට සංශෝධන යොමු කරනු ලැබීමෙන් අනතුරුවය.   කෙසේ වුවද ධනේශ්වර ව්‍යවස්ථා සම්පාදකයින් තම ව්‍යවස්ථාවන් අලංකාරවත් වාක්‍ය කණ්ඩවලින් සරසාලීමට උත්සාහ දරන නමුදු ඔවුහු තමන්ගේ පංති පදනම හා අරමුණු මුළුමනින්ම සඟවාලීමෙහිලා අපොහොසත් වෙති. ඉතිහාසයේ මුල් කාලීන ග්‍රීක පෞර රාජ්‍යයන්හි ව්‍යවස්ථාවන්හි පංති අරමුණු හෙළි කරන නග්න සූරාකෑම සඟවාලීමට ගත් අවස්ථා තිබේ. ඇතැන්ස්හි ව්‍යවස්ථාවට අනුව

“ණයගැත්තා පෞද්ගලිකව උකස් තැබීම තහනම් කර තිබිණි. එක් පුද්ගලයෙකුට අත්පත් කරගත හැකි ඉඩම්වල උපරිම ප්‍රමාණය නියම කරන ලදී. මෙම පියවර ගත්තේ ගොවීන්ගේ ඉඩම් ගිලගැනීම සඳහා ඉදිරිපත්වූ ප්‍රභූන්ගේ දොළදුක සීමා කිරීමටය.”

එහෙත් පංති නොසඟවා පැවැතිණි. මෙබඳු අතුරු නීති පනවා තිබුණේ ඒ වෙනුවෙනි. අස්වැන්නේ ප්‍රමාණය අනුවද ඉඩම් නැත්තවුන්ද ලෙස සමාජය පංතිමය බෙදීමකට ලක්කර පැවතියේය.

“ප්‍රසිද්ධ නිල දැරිය හැකි වූයේ මුල් පංති තුනට අයත් මිනිසුන්ට පමණකි. උසස්තම නිල පළමුවැනි පංතියට පමණක් සීමා විය.”

(එංගල්ස්, පවුල පෞද්ගලික දේපළ හා රජය ඇති වූ හැටි, පි. 256)

ලංකාවේ අත්දැකීම

            මෙය ශ්‍රී ලංකාවට අදාළ කර ගතහොත් ලංකාවේ ධනේශ්වර සංවර්ධනයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1833 වසරයි. කොල්බෲක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ලංකාවේ පළමු ව්‍යවස්ථාදායක අත්හදා බැලීම විය. සැබැවින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඔවුන් දෙදෙනා ලංකාවට එවනු ලබන්නේ යටත්විජිතයේ වියදමට වඩා ආදායම අඩුවීමට හේතු හඳුනාගැනීමටය. ඉදින් කුමන අර්ථකථන ලබාදීමට උත්සාහ දරනු ලැබුවද එහි අරමුණ වූයේ ධනවාදයේ වර්ධනයට බාධා කරන වැඩවසම් ලක්ෂණ හඳුනාගෙන ඉවත් කිරීමය. මිනිසුන් භූමියට බැඳ තැබූ රාජකාරි ක්‍රමය අහෝසිය, ආර්ථික කටයුතු සම්බන්ධ රාජ්‍ය ඒකාධිකාරය අවසන් කිරීම, සිවිල් සේවයට ස්වදේශිකයන් (ලාභ ශ්‍රමය) ලබා ගැනීම, අපනයන වෙත තීරු බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග රැසක් එහි විය. මෙම පියවර හේතුවෙන් පීඩාවට පත් ස්වදේශිකයන්ගේ ප්‍රකාශනය වූයේ 1848 කැරැල්ලය. එය අමානුෂික මර්දනය සම්බන්ධයෙන් දේශීයව හා බ්‍රිතාන්‍යය තුළ ටොරින්ටන් ආණ්ඩුකාරයා සහ යුද නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට එරෙහි මතයක් ගොඩ නැගිණි. එහෙත් ධනේශ්වර පංතිය තමන්ගේ නියෝජිතයන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදහස් කෙරෙන පනතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේය. 1833න් පසු 1947 දක්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගණනාවකි. 47 සෝල්බෙරි ව්‍යවස්ථාව ඩොමීනියන් තත්වයේ නිදහසක් ලංකාවට ප්‍රදානය කළේ යටත්විජිත පාලකයාගේ අනුකම්පාව නිසා නොවේ. ඒ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා යටත්විජිතවාදයට එරෙහි මතවාදය ශක්තිමත් වෙමින් තිබියෙදීය; සමාජවාදී රාජ්‍ය පද්ධතියක් නිර්මාණය වී තිබියෙදීය; ලොව පුරා විමුක්ති අරගල ව්‍යාප්ත වෙමින් පැවතියෙදීය.

          රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ බවට චෝදනා එල්ල වූ 71 අරගලයෙන් පසු සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනරජ පනත මගින් 1972 මැයි 22 දින ලංකාවට පූර්ණ නිදහසක් ප්‍රකාශයට පත් කළ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය විය. එය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිර්මාණය කළේය. 1978දී හයෙන් පහක බලයෙන් ආණ්ඩුවක් පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. එය ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පෙරළුවේය. මේ නාමයන්ම මේ ව්‍යවස්ථාවන් නියෝජනය කරන ව්‍යාජය ප්‍රකට කරයි. ආර්ථික වශයෙන් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ක්‍රියාත්මක කළාවූද මර්දනයේදී සාහසික වූද ප්‍රජාතන්ත්‍රවාදය හැකිළුවාවූද සිරිමාවෝගේ ආණ්ඩුවට සමාජවාදයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු ඥාතීත්වයක් තිබුණේ නැත. එසේම එම වචනවල පිළිවෙළ පමණක් වෙනස් කළ ජේ.ආර්.ගේ ධනේශ්වර විවෘත ආර්ථිකය හා ඒකාධිපති පාලනය, ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ලංකාවක් නිර්මාණය කළේද නැත. හුදු එම යෙදුම් විසින් නියෝජනය කරන්නාවූ සංකල්පීය වටිනාකම් ජනතාවගේ මනසේ පිළිබිඹු කරවීමට උත්සහ කළා පමණි.

           72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 03වැනි වගන්තියේ මෙසේ සඳහන්ය. “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. එය අත්හළ නොහැක්කේය.”  78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේද 3වැනි වගන්තිය “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. එය අත්හළ නොහැක්කේය” යන්නය. වෙනසකට ඇත්තේ එම වගන්තියටම “ පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය” යනුවෙන් එකතු වීමය. මෙය සංකල්පයක් ලෙස ජනතාව සතු බලය පිළිගනී. එහෙත් ඒ මිනිසුන්ගේ කැමැත්තත් ඒ කැමැත්තට අනුව නියෝජනයත් ඔවුන්ගේම නොවන බවත් කෘත්‍රිම ලෙස නිර්මාණය කරන්නක් බවත් රහසක් නොවේ. අනෙක් අතට 78 ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කරනු ලැබ තිබේ. එයින් අවස්ථා දෙකක් හැරෙන්නට සෙසු අවස්ථා සියල්ල නියෝජනය කළේ ඒ ඒ අවස්ථාවේ බලයේ සිටි පාලකයාගේ, ආණ්ඩුවේ වුවමනාවය.

දෙබිඩිභාවයේ ප්‍රකාශනය

            ඕනෑම ලිබරල් ධනේශ්වර රටක් මෙන්ම එක්සත් ජනපදයේද ව්‍යවස්ථා ලියවිල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ, මානව නිදහසේ ඉතාම අලංකාරතම වදන්වලින් සරසනු ලැබ තිබේ. එබැවින් එම වදන්වල හරය සහ ඒවායේ සැබෑ පංති අරමුණු හඳුනාගත හැක්කේ, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ එහිලා පුරෝගාමී  වූවන්ගේ අරමුණු විමසා බැලීමෙනි. පංති සමාජයේ ආරම්භයේ සිට, රජය නම් පංති පීඩක උපකරණය බිහි වූ දා සිට අධිකාරිත්වය දරන පංතිය විසින් පීඩිත පංතිය යටපත් කරගැනීම සඳහා ව්‍යවස්ථා නම් නෛතික රාමු පාවිච්චි කර ඇති නමුදු ව්‍යවස්ථා සම්පාදනයේලා මේ දෙබිඩි බව පෙන්වාදීමට එක්සත් ජනපදය වැදගත් ප්‍රවේශයක් සපයයි. විවිධ හේතු මත බ්‍රිතාන්‍යය හැර ගොස් ඇමරිකාවේ පදිංචිවූවන්ගේ ඓතිහාසික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ජනපද සහ යටත්විජිත පාලක බ්‍රිතාන්‍යය අතර සබඳතා 18වැනි සියවස මැදවන විට දුරස්වෙමින් තිබිණි. ජනපද ව්‍යාප්තියට සීමා පැනවීම, ආදායම් බදු, මුද්දර බදු හා ආනයන බදු ඉහළ දැමීම, බ්‍රිතාන්‍ය හමුදා සේනාංක ස්ථානගත කිරීම, බොස්ටන් කැරැල්ල අමානුෂික ලෙස මර්දනය කිරීම හා බොස්ටන් වරාය වසා දැමීම වැනි බ්‍රිතාන්‍ය රජුගේ අත්තනෝමතිකත්වයන් සම්බන්ධයෙන් ජනපදවාසීන් සිටියේ බලවත් කෝපයෙනි. විය හැකි ලෙසම මේ ජනපදවාසීන් යනු එම ක්‍රියාමාර්ග හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත් ධනවත් වෙළඳුන්ය, වතු හා වහල් හිමියන්ය, පොලීකරුවන්ය. 1774 වන විට මහද්වීපික කොන්ග්‍රසය (Continental Congress) නම් එවකට නීතිවිරෝධී සංගමයක් තුළට ගොනු වූ ඔවුහු 1775 වන විට බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ තීරණය ගත්හ. නිදහස් ප්‍රකාශනයක් සැකසීමේ වගකීම වහල් හිමියෙකු වූ තෝමස් ජෙෆර්සන් (Thomas Jefferson) හට පැවරෙන්නේ ඒ අනුවය. බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ කැමැත්ත පළ කළ ජනපද 13ක් විසින් ඒකාබද්ධව නිදහස් ප්‍රකාශනයට අත්සන් තබන ලද්දේ 1776 ජූලි 04වැනිදාය. (වර්තමානයේ එක්සත් ජනපදයේ නිදහස් දිනය ලෙස සැලකෙනුයේද එදිනය.) එමගින් එදින සිට එක්සත් ජනපදය තුළ බ්‍රිතාන්‍ය නීතිය පිළිනොගන්නා  ලෙසටත් බ්‍රිතාන්‍ය පාලනය පලවා හැරීම සඳහා හමුදා රැස්කරන ලෙසටත් ඉල්ලා සිටිනු ලැබිණි. මෙහි අනිවාර්ය ඊළඟ පියවර සිවිල් යුද්ධය වූ අතර ජනපදවාදීන්ගේ හමුදා විසින් බ්‍රිතාන්‍ය සේනංක පරාජය කරනු ලැබ ඇමරිකා එක්සත් ජනපදය බිහිවිය.

             මේ ඓතිහාසික සිදුවීම් හා බැඳුණු දේශපාලනය එහි පෙළගැස්ම තරම් සරල නොවේ. බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම සඳහා ජනපදවාසීන් පෙළඹවූ ආර්ථික හේතූන් සමාජ මතයක් බවට පෙරළුවේ තෝමස් පේන් (Thomas Paine)ය. සමාජ සම්මුතිවාදී දාර්ශනිකයින් අනුව යමින් මානව හිමිකම් ඔසවා තැබූ ඔහුගේ ‘කොමන් සෙන්ස්’ කෘතිය වැඩවසම් බ්‍රිතාන්‍යයේ යටත්විජිත පාලනයට එරෙහිව එක්සත් ජනපදය තුළ නැගී ආ ධනවාදයේ වුවමනාවන් හා මනාව සමපාත විය. පේන්, එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්ගෙන්  කෙනෙකු ලෙසට නාමකරණය වන තරමට ඔහු ජනපදවාසීන්ගේ ආධ්‍යාත්මය නියෝජනය කළේය. දිළිඳු සංක්‍රමණිකයෙකු ලෙස ඇමරිකාවට සංක්‍රමණය වූ නමුදු පෙන්සැල්වේනියාවේ රොබට් මොරිස් නම් ධනවත් බැංකුකරුවාගේ ආධාරකරුවෙකු වූ ඔහු ඇමරිකානු විප්ලවයට ඈඳුණේ ශක්තිමත් මධ්‍යගත රාජ්‍යයක් එක්සත් ජනපදයට ලබාදීම වෙනුවෙනි. එසේම ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය සඳහාද ඔහුගේ මැදිහත්වීමක් සිදුවූ අතර එයද වැඩවසම් පාලනය බිඳදමා ධනේශ්වර ප්‍රංශ රාජ්‍යය නිර්මාණය වීමක් විය. මේ අනුව තෝමස් පේන්ගේ නියෝජනය හුදු මතවාදී මැදිහත්වීමක් පමණක් නොව එක්සත් ජනපද ධනපති පංතියේ වුවමනාව විය.

            අනෙක් අතට තෝමස් පේන් ‘පුනරුච්චාරණය’ කළේ බ්‍රිතාන්‍යයේ සමාජ සම්මුතිවාදී දාර්ශනියකු වූ ජෝන් ලොක් (John Locke)ගේ අදහස්ය. බ්‍රිතාන්‍ය රජුගේ අත්තනෝමතිකභාවයට එරෙහිව පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමේ නැගී එන ධනපති පංතියේ වුවමනාව ඔහුගේ ‘සෙකන්ඞ් ට්‍රිටයිස් ඔන් ගවර්න්මන්ට්’ (Second Treatise on Government) කෘතිය විසින් නියෝජනය කරයි. මිනිසුන්ගේ දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳව හුවා දක්වනු ලැබුවද එය වත්කම්වල අසමානතාව පිළිබඳව කිසිවක් සඳහන් නොකරයි. අසමානයින් අතර සමාන අයිතීන්  රැකෙන්නේ කෙසේද යන්න ගැන එය නිහඬය. මන්ද ඇත්ත වශයෙන්ම ඔහුට එවැන්නක් සාකච්ඡා කිරීමට අවශ්‍ය වූයේද නැත. ඔහු පෞද්ගලිකවම ධනවතෙකුව සිටියේය. සිල්ක් වෙළඳාම, වහල් වෙළඳාම, ණයදීම් හා උකස්ගැනීම් වැනි ධනෝපායන මාර්ග රැසක් ඔහු සතු විය. එංගලන්ත බැංකුවේ පළමු කොටස් නිකුතුවෙන් විශාල ප්‍රමාණයක්ද ඔහු තමන් සතු කරගත්තේය. සැබැවින්ම ඔහු ‘සෙකන්ඞ් ට්‍රිටයිස්’ ලියන්නේ ඉන් වසර කිහිපයකට පසුවය. ඔහුට (ඔහුගේ පංතියට) අවශ්‍ය වූයේ, බ්‍රිතාන්‍යයේත් එහි යටත්විජිතයන්හිත් වාණිජ ධනවාදයේ වර්ධනයට අවශ්‍ය නිදහසය; ලිබරල් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය නිර්මාණය කර ගැනීමේ නිදහසය.

‘අපි’ නොවන මිනිසුන්

               ඇමරිකා එක්සත් ජනපදය නිර්මාණය වීමට අදාළ නෛතික ලේඛනයන්හි මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැනි කුමක් අඩංගු වූවද ඒවායේ සඳහන් ‘මිනිසා’ හෝ ‘අපි’ යන්නට ඇත්තේ සීමිත නිර්වචනයන්ය. නිදසුනක් ලෙස 1755දී මැසචුසෙට්ස් ජනපද ව්‍යවස්ථාදායකය ස්වදේශික ඉන්දියානුවන් ‘සතුරන්’ හා ‘ද්‍රෝහීන්’ ලෙස නම් කරන ලද අතර කපා රැගෙන එනු ලබන ඉන්දියානු පිරිමියෙකුගේ හිසකට පවුම් 50ක්ද ඉන්දියානු කාන්තාවන්ගේ හා 25ට අඩු තරුණයින්ගේ හිසක් වෙනුවෙන් පවුම් 20ක්ද ගෙවන බව නිවේදනය කර තිබිණි. නිදහස් ප්‍රකාශනය අත්සන් තැබුණු 1776 වන විටද තත්වයන්ගේ වැඩි වෙනසක් සිදුව තිබුණේ නැත. ඉන්දියානුවන්, කළු ජාතික වහලුන් හා කාන්තාවන් ප්‍රකාශනයේ ‘සියලු සමාන මිනිසුන්’ ගණයට ඇතුළත් වූයේ නැත. අනෙක් අතට ජෙෆර්සන් නිදහස් ප්‍රකාශනය තුළ “දුෂ්කර තත්වයන් යටතේ දේශසීමාබද ප්‍රදේශවල වෙසෙන ජනපදිකයින්, අනුකම්පා විරහිත ඉන්දියානු ම්ලේච්ඡයන්ගේ විනාශකාරීත්වයට ලක්කරවන පරිදි අභ්‍යන්තරික (වහල්) කැරලි ඇතිවීමට” ඉඩහැරීම පිළිබඳව රජුට චෝදනා කර සිටියේය. තෝමස් ජෙෆර්සන් තම ලියවිල්ල තුළ “ අප්‍රිකාවෙන් වහලුන් ගෙනඒම පිළිබඳව සහ එය සීමා කිරීමට ව්‍යවස්ථාදායකය විසින් ගෙනෙන ලද නීති බලරහිත කිරීම ගැන” රජුට චෝදනා කළද එයින් මිනිසුන් වහලුන් ලෙස තබා ගැනීමට හා වහල් වෙළඳාමට එරෙහිවීමක් කිසිසේත් අදහස් නොවීය. පෞද්ගලිකවම ජෙෆර්සන් සිය ගණනකට වැඩි වහලුන් සිටි ස්වාමියෙකුව සිටි අතර සැබැවින්ම මේ චෝදනාව පිටුපස වූයේ විශේෂයෙන් වර්ජිනියා ඇතුළු ඇතැම් ජනපදිකයින් තුළ වර්ධනය වූ බියය. එනම් ඒ වන විට මුළු ජනගහනයෙන් 20%ක්ව තිබූ කළු වහලුන්ගේ ප්‍රමාණයේ වේගවත් වර්ධනයයි. කෙසේ වුවද ජෙෆර්සන්ගේ මෙම වහල් වෙළඳාමට වැටබඳින ‘මානවවාදී’ කොටස පවා ‘නිදහස් ප්‍රකාශනයෙන්’ ඉවත් කිරීමට මහද්වීපික කොන්ග්‍රසය තීරණය කළේය. ඒ, වහල් හිමියන් විසින් ඊට විරෝධය පළ කළ නිසාය. අවසානයේ වසර 150ක යටත්විජිත ඉතිහාසය තුළ ධනයෙන් හා බලයෙන් ඉදිරියට ආ පංතිය තමන් අතර ප්‍රතිවිරෝධතා අවම කරගනිමින් හා තමන්ගේ වුමනාකම්වලට බාධා නොකරගත්තාවූද බ්‍රිතාන්‍යයට එරෙහිව පොදු ජනතාව දේශප්‍රේමීත්වයෙන්  කුළුගන්වාලන  භාෂාවෙන් සරසන ලද්දාවූද ලියවිල්ලක් බිහි කර ගත්තේය.  මේ අනුව නිදහස් ප්‍රකාශනය, බ්‍රිතාන්‍ය  වහල් වෙළඳුන්ගේ, වතු හිමියන්ගේ, වෙළඳුන්ගේ, පොලීකරුවන්ගේ සැබෑ ප්‍රකාශනය වූවා මිස දුම්කොළ, කපු කම්කරුවන්, පතල් කම්කරුවන් ඇතුළු පොදු ජනතාවගේ හඬක් නියෝජනය නොකළේය. කෙසේ වුවද සරදම වනුයේ ඒ නිදහස් ප්‍රකාශනයට අනුව ජනරජ සේනාංකවලට බැඳී බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව යුද්ධ කිරීමටත් දිවි පරදුවට තැබීමටත් සිදුවූයේ කම්කරුවන්ට හා දුප්පතුන්ටය. මන්ද පොහොසතුන්ට යුද සේවයට හිලව් ලෙස මුදල් ලබාදී එම අවශ්‍යතාවයෙන් බැහැර විය හැකිව තිබූ බැවිනි.

ව්‍යවස්ථා සම්පාදන පසුබිම

            බ්‍රිතාන්‍ය යටත්විජිත නිදහස් පාලනය අවසන් කළ නිදහස් සටනින් පසු එක්සත් ජනපද දහතුන ලිහිල් ලෙස එකට බැඳී ගත් සහසන්ධීය රාජ්‍යයක් විය. එහි ආර්ථිකය කඩාවැටී බොහෝ දෙනෙකු ණයබරිත වී සිටි අතර ප්‍රංශයෙන් හා ඕලන්දයෙන් ගත් ණය ගෙවීමටද තිබිණි. යුද බිමේ සිට ආ යුද භටයෝ විශ්‍රාම වැටුප් ඉල්ලා සිටියහ. බ්‍රිතාන්‍ය වෙළෙන්දෝ භාණ්ඩ වෙනුවෙන් අත්පිට රන් හා රිදී ඉල්ලා සිටියහ. යුද්ධයේ වියදම් සෙවීම සඳහා නැවතත් බදු නැංවීමට සිදුවිය. පංති අසමානතාව මැද ජනතාව අසීමිත පීඩාවට පත් වෙමින් තිබුණේ නොසන්සුන්තාව වර්ධනය වන අතරතුරය. 1784 -86 අතර කාලය තුළ මැසචුසෙට්ස් ජනපදයේ හැම්ෂැයර්හි අවුරුදු 16ට වැඩි පිරිමින්ගෙන් 34%ක් ණය නොගෙවීම හේතුවෙන් දැඩි දඬුවම් මත සිරගත කරන ලදහ. ණය නොගෙවීම නිසා නිවෙස්වලින් හා ඉඩම්වලින් පිටුවහල් වීමට සිදුවූවෝ සිවිල් යුද්ධයෙන් පසු බිම තැබූ රයිෆල් නැවත අතට ගත්හ. වර්මොන්ට්, නිව් හැම්ෂයර්, මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, පෙන්සැල්වේනියා, වර්ජිනියා, දකුණු කැරොලිනා, මේරිලන්ඞ්, නිව් ජර්සි ප්‍රාන්තවල මිලීෂියා භටයින්ගේ කැරලි පැන නැග්ගේය. මේ දේශපාලන වියවුල මැද 1787 මැයි 25 අලුත බිහිවූ රට වෙනුවෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ව්‍යවස්ථා සමුළුවක් කැඳවිණි. මේ වන විට පැවති වාතාවරණය අනුව කැඳවුම්කරුවන්ගේ හිස් තුළ බලපවත්වන්නට ඇති අදහස් උපකල්පනය කිරීම අසීරු නොවේ. තමන් අලුත ලද ‘නිදහස’ භුක්ති විඳීම සඳහා පරිසරයක් ඉක්මණින්ම ගොඩනගා ගැනීමට ධනපති කොටස්වලට අවශ්‍ය විය. ඒ සඳහා, කැරලිකාරී තත්වය මැඩපැවැත්විය යුතු විය; බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදීම සඳහා ලිහිල් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය වහා හකුළා දැමිය යුතු විය. ව්‍යවස්ථා සමුළුව මගින් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම බාර වූයේ පසුව එක්සත් ජනපදයේ සිවුවැනි ජනාධිපතිවරයා බවට පත් ජේම්ස් මැඩිසන් (James Madison) හටය. වහල්ක්‍රමය මහත් සේ ඔසවා තැබූ ඔහු එක්සත් ජනපදයේ ඉඩම් හිමියන් හා වහල් හිමියන්ගේ වුවමනාකම් නියෝජනය කළේය. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ නියෝජනයන් හා බදුකරණය ගැන සඳහන් කරද්දී වහලුන් යනු මිනිසුන්ගෙන්  පහෙන් තුනක් පමණක් බව (ඇ.එ.ජ. ව්‍යවස්ථාව –  Article I, Section 2, cl.3) සඳහන් වන්නේ ඒ නිසාය. (වහල් ක්‍රමය පැවති දකුණේ ජනපදවලට එරෙහිව උතුරේ ජනපද විසින් පසුකාලීනව දියත් කරන ලද සිවිල් යුද්ධය (1861-1865) උතුර විසින් ජයගැනීම වහල්භාවයට එරෙහිව වැටුප් වහලුන් නිර්මාණය කරන ධනවාදයේ ජයග්‍රහණයක්ම විය.)

ධනය ඉපදවීමේ නෛතික බලය

           ව්‍යවස්ථාව ක්‍රියාත්මක වී වසර 200කට වැඩි කාලයක් ගතවී පැවතියද, සිවිල් යුද්ධයට කළු ජාතික වහලුන්ගේ දායකත්වයට කළගුණ සැලකීමක් ලෙස වහල්භාවය (පුද්ගලයෙකු තවකෙකුගේ දේපළක් ලෙස සැලකීම) ව්‍යවස්ථා සංශෝධන මගින් තහනම් කරනු ලැබ තිබුණද, එක්සත් ජනපද ව්‍යවස්ථාව තවදුරටත්, බහුජනතාව නැතහොත් ඔවුන්ගේ වැඩ කිරීමේ හැකියාව, අතළොස්සකගේ ලාභ වෙනුවෙන් (ධනය ඉපදවීම සඳහා) යෙදවීමට නෛතික බලය දෙන්නාවූ ලියවිල්ලක් ලෙස පවතී.   නැවතත් මැඩිසන් වෙත හැරුණහොත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ඔහුගේ චින්තනය ක්‍රියාකළේ කෙළෙසදැයි විමසා බැලීම වැදගත්ය.

“එංගන්තයේ අද මැතිවරණ සියලු පංතිවල ජනතාවට විවෘත කළහොත් ඉඩම්හිමි වැවිලිකරුවන්ගේ දේපළ අනාරක්ෂිත වනවා ඇත. කෘෂිකාර්මික පනත් ඉක්මණින්ම සම්මත වනු ඇත. මෙබඳු නිරීක්ෂණ තිබියෙදී, අපේ ආණ්ඩුව විප්ලවවලට එරෙහිව රටේ ස්ථීරසාර වුවමනාකම් ආරක්ෂා කළ යුතුව තිබේ. මේ වටිනාකම ගණනය කළ නොහැකි වුවමනාකම්වලට ආධාර කිරීමටත් සමබර කිරීමටත් පරීක්ෂා කර බැලීමටත් ඉඩම් හිමියන්ට ආණ්ඩුවේ කොටසක් ලැබිය යුතුය. බහුතරයට එරෙහිව ධනවත් සුළුතරය ආරක්ෂා කරගත හැකි පරිදි ඔවුන්ව පිහිටුවිය යුතුය. එබැවින් මෙම සෙනෙට් සභාව මේ කරුණු වෙනුවෙන් ස්ථීරසාර ලෙස හා ස්ථාවරව පැවතිය යුතුය.”

තෝමස් මැඩිසන්, 1787.06.26, ෆෙඩරල් සමුළුවේ රහසිගත විවාදය.

ඔහු ඉතාම නිරවුල්ව තම පංතියේ අදහස වචනයට නගයි. ඉදින් එක් එක් තනි පුද්ගලයාට වඩා දේපළ ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම වන්නේයැයි මැඩිසන් කියන විට එහි තේරුම පැහැදිලිය. එනම් ඒවා ආධිපත්‍යය දරන පංතියේ දේපළය. රජයේ මූලික කටයුත්ත ඒ සඳහා නීති සම්පාදනය කිරීමය. 2008 ආර්ථික අර්බුදයෙන් පසු එක්සත් ජනපද ෆෙඩරල් භාණ්ඩාගාරය බංකොලොත් බැංකු හා සමාගම් බේරාගැනීමට අතිවිශාල ‘සහන පැකේජ’ ලබාදෙද්දී කුලී ගෙවා ගැනීමට නොහැකිව නිවසින් පාරට වැටෙන රැකියා විරහිතයාට දිවි නසාගැනීමට සිදුවන්නේ මේ නිසාය.   එක්සත් ජනපද ව්‍යවස්ථාවේ මෙබඳු ප්‍රාරම්භක වාක්‍ය ඛණ්ඩයක් වේ.

We the People of the United States, in Order to form a more perfect Union, establish Justice, insure domestic Tranquility, provide for the common defence, promote the general Welfare, and secure the Blessings of Liberty to ourselves and our Posterity, do ordain and establish this Constitution for

the United States of America

“එක්සත් ජනපදයේ ජනතාව වන අපි, වඩා පරිපූර්ණ සංගමයක් නිර්මාණය කරනු පිණිස, යුක්තිය පිහිටුවීමත් දේශීය සන්සුන්බව තහවුරු කිරීමත් පොදු ආරක්ෂාව සපයා ගැනීමත් සුභසාධනය ප්‍රවර්ධනයත් සඳහා සහ අප වෙනුවෙන් නිදහසේ ආශීර්වාදයත් අපේ සෞභාග්‍යයත් ආරක්ෂා කරගනු පිණිස, ඇමරිකානු එක්සත් ජනපදය වෙනුවෙන් මෙම ව්‍යවස්ථාව පනවා ස්ථාපිත කර තබමු.”

ලෙස එය පරිවර්තනය කළ හැක. මෙහි සඳහන් “අපි”නම් ජනතාව කවුරුන්ද යන්න පැහැදිලිය. ඔවුනට අවශ්‍ය කුමක්ද? “දේශීය සන්සුන් බව තහවුරු කරගැනීමය”. එනම් කැරලිකාරිත්වය මර්දනය කිරීමය. ඒ සඳහා “හමුදා පිහිටුවීමටත් ආධාර කිරීමටත්…” (Article I, Section 8, cl.11)  “සංගමයේ නීති ක්‍රියාවේ යෙදවීම, කැරලි මර්දනය සහ ආක්‍රමණ වැළැක්වීම සඳහා මිලීෂියා භටයින් කැඳවීමටත්…” (Article I, Section 8, cl.15) ව්‍යවස්ථාව විසින් ආණ්ඩුවට බලය ලබා දෙයි. ඉදින් 2014දී මිසොරි, ෆර්ගියුසන්හි මයිකල් බ්‍රවුන් කළු තරුණයාට ‘සන්සුන් බව’ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පොලිස් වෙඩි පහරින් මියයෑමට සිදුවෙයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටතම සොයා ගැනීම ලෙස හුවා දැක්වෙන එක්සත් ජනපද ව්‍යවස්ථාවේ තරම එබඳු වන විට,

වර්ෂ එක්දහස් නවසිය හැත්තෑහතක් වූ ජූලි මස 21වැනි දින ශ්‍රී ලංකා වාසී ජනතාව විසින් නිදහසේ ප්‍රකාශ කොට දෙන ලද වරමෙන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් සම්මත කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත්කර ගන්නා ලද නියෝජිතයින්ට භාරකොට පවරා දෙනු ලැබ ඇති හෙයින්ද… ඒ ජන වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයින් කෙරෙහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන හෙයින්ද… නිදහස් ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයින් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැඳීම් නිහතමානයෙන් පිළිගනිමින්… ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ

යනුවෙන් කියවෙන ප්‍රාරම්භක වැකිය කෙතරම් ව්‍යාජයක් වන්නේදැයි අමුතුවෙන් කිව යුතු නැත.

ප්‍රසන්න පෙරේරා

Left