ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම

fidel-castro-speaks-during-a-visit-to-luanda-angola-in-march-1984
ඉතිහාසය ඔබ නිදොස් කර තිබේ!
January 3, 2020
Show all

ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම

rsz_democratic_capi

           ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පයක් වශයෙන් සමාජයේ දී පොදු හා සාධාරණ හැඩරුවක්  දක්වයි. එහෙත් එහි ප්‍රායෝගික භාවිතය පංතිමය පදනමක් සහිතය. ප්‍රජාතන්ත්‍රවාදය නැමති සංකල්පයේ විකාශනය ඓතිහාසික ක්‍රියාවලියකි.  මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය යන්න සංකල්පයක් වශයෙන් වඩාත් පුළුල්ව හා සංකීර්ණව විකාශනය වී ඇත. නමුත් ප්‍රායෝගික භාවිතයේදී අපට දක්නට ලැබෙන්නේ එහි හැකිළීයාමය.  මෙලෙසින් ප්‍රකාශයට පත්වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය හුදු සංකල්පයක් වශයෙන් සහ එහි ප්‍රායෝගික භාවිතය  ලෙසින් වන ප්‍රතිවිරෝධී ස්වභාවයයි. ජලය එය අඩංගු භාජනයේ හැඩරුව ගන්නාක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද එය පවතින පංති සමාජයේ හැඩරුව ගනී. එනිසා ධනපති සමාජයේ දී අපට හමුවන්නේ, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.  එනිසාම  ධනපති ක්‍රමය තුළ අධිපති පංතිය වන ධනපතීහු ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමකරුවෝ ලෙසින් පෙනී සිටිති.

          නිශ්චිත කාලයකට ධනපති පංතියේ නියෝජිතයා වශයෙන් රටක පෙනි සිටින්නේ, ධනපති ආණ්ඩුවයි. පංතියේ බලය මෙහෙය වන උපකරණය වන ධනපති රජය පවත්වා ගැනීමේ සහ හසුරුවා ගැනීමේ වගකීම පැවැරෙන්නේ මෙම ධනපති ආණ්ඩුවටය. රාජ්‍යයේ ස්වරූපය අති සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය යැයි පෙන්විමට ධනපති පංතිය උත්සාහ කළද පංති සමාජයක් තුළ පාරිශුද්ධ දේවල් තිබිය නොහැක.  තිබිය හැක්කේ පංතිමය දේවල් පමණක්මය. එනිසා ධනපති රාජ්‍යය ධනපති ක්‍රමයේ පැවැත්මේ උපකරණයයි.  නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදය නම් සළුවෙන් වසන්කොට පවතින්නකි. සැබැවින්ම එම ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්නේද හසුරුවන්නේද ධනපති පංතිය විසින්මය. ජනතා විරෝධයන්, අප්‍රසාදයන්, අරගලයන් හේතුවෙන් ප්‍රෝඩාකාරී ලෙස නැතිනම් තමන්ගේ පරිත්‍යාගයන් ලෙස හුවා දක්වමින් සලාක ක්‍රමයට  ප්‍රජාතන්ත්‍රවාදය දෙනු  ලබන්නේ (කැමැත්තෙන් දෙනවා නොව දෙන්නට සිදුවේ.) ධනපති පංතියයි.  ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනීසිටිද්දී නිර්ධන පංතිය ප්‍රමුඛ පිඩිත පංතියට සිදුව ඇත්තේ, අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා වන අරගලයේ යෙදීමටය. එහිදි ධනපති පාලකයෝ බාධාකිරීම්වල සිට පහරදීම්, ඝාතනයන් දක්වා මර්දනය දියත් කරති. ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන රටවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දිවිහිමියෙන් සටන් කිරීමට සිදුව ඇත්තේ මේ හේතුවෙනි.

සුළුතරය හා බහුතරය

          ප්‍රජාත්න්ත්‍රවාදයේ සරල නිර්වචනය බහුතරයේ කැමැත්ත යන්නයි. එනම් සුළුතරය බහුතරයට යටත් කිරීම (අවනත කරගැනීම) යන්නයි. නමුත් ප්‍රායෝගික භාවිතයේදි මේ බහුතරය යන්න අර්ථ දැක්වෙන්නේ අධිපති පංතියේ නිර්ණායකයන් අනුවයි. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීම අදාල පංති සමාජයේ හැඩයට අනුකූලව සිදුවේ. වහල්හිමි සමාජයේ බහුතරය යන්නට වහලා අයත් නැත. එනිසා එම සමාජයේ  වහල්ලු අයත් නොවන බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක වේ. එහි තර්කානුකූල අවසානය වන්නේ එම බහුතරයේ කැමැත්ත වහලාට එරෙහිව ක්‍රියාත්මක වීමයි. එම සමාජ ආර්ථික ක්‍රමයේ ඇත්ත බහුතරය වහල් හිමියන් නොවූවද වහල් හිමියාගේ කැමැත්තම ක්‍රියාත්මක වන්නේ එලෙසින්ය. ධනපති ක්‍රමය තුළද එය එසේමය. ධනපති ක්‍රමය තුළද පාලක පංතියේ කැමැත්ත මූලික හා අනිවාර්ය වේ. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජනතාවට තම කැමැත්ත ඒත්තු ගන්වා ජනතාව ලවාම එය අනුමත කරවා ගන්නා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් උපකරණයක්ද පාලක පංතිය සතුය. මෙහි ඇත්ත ක්‍රියාවලිය නම් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පුළුල්වීම නොව හැකිළීයාමය.

“ප්‍රජාතන්ත්‍රවාදයත්, අල්පතරය බහුතරයට යටත් කිරීමත් යන දෙක එකම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු අල්පතරය බහුතරයට යටත් කිරීම පිළිගන්නා රාජ්‍යයකි. නැතහොත් එක පංතියක් තවත් පංතියකට විරුද්ධව, ජනගහනයෙන් එක් කොටසක් එහි තවත් කොටසකට විරුද්ධව ක්‍රමානුකූල ලෙස බලහත්කාරය යෙදීමේ සංවිධානයකි.”

(ලෙනින් තෝරාගත් කෘති වෙළුම 6 පිටුව 90)

ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීම

           සැබවින්ම ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නියමුවන් වූ යුගයක් විය. වැඩවසම් සමාජ ක්‍රමය පැවැති මධ්‍යතන යුගය ලෙසින් හඳුන්වන අඳුරු යුගයේ වැඩවසම් සම්ප්‍රදාය තුළ සමාජය ගිල්වා තිබුණි. එම පංති සමාජයේද සමාජ සංවර්ධනය බලහත්කාරයෙන් වළක්වාලීමට උත්සාහ ගත් යුගයක් විය. නමුත් කිසිදු බලවේගයකට නවතාලිය නොහැකි නිෂ්පාදන බලවේගයන්ගේ අනවරත වර්ධනය හේතුවෙන් එම සමාජක්‍රමය බඳවැටීමට හේතු විය. එනම් යල් පැනගිය සමාජ සම්බන්ධතා බිඳවැටී නව සමාජ සම්බන්ධතා බිහිවීමේ අවශයතාවයක් පැන නැඟුණි. යල් පැනගිය වැඩවසම් සමාජ සබඳතා නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට බාධාවන විට නව සබඳතා බිහිවීමේ විළිරුදාව වැඩවසම් සමාජ ක්‍රමය තුළ මතුවිය. මෙහි ප්‍රතිඵලය ධනේශ්වර විප්ලවයයි. ධනේශ්වර විප්ලවයේදි එහි නියමුවන් වූයේ නැගි එමින් සිටි ධනපති පංතියයි. එහිදී ඔවුනගේ කාර්යභාරය ප්‍රගතිශීලීය. විය යුතු පරිදිම වැඩවසම් ප්‍රභූවරු එයට ප්‍රතිවිරෝධය දැක්වූහ. ධනපතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවය, පෙළඹුම ඇති කළ විෂයමූල යථාර්ථය එයයි. ප්‍රංශ විප්ලවය නිදර්ශනයට ගැනීමෙන් මෙය පැහැදිලි වේ. ප්‍රංශ විප්ලවයේ ආදර්ශ පාඨය වූයේ නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන්නයි. එය පිඩිත පංතීන් බලවේගයක් ලෙස එකට එකතු කළ හැකි සටන් පාඨයක් වූවද එහි අර්ථය ඊට එහා දිව යන්නකි.

           ධනපති අර්ථ  ක්‍රමය යනු ප්‍රාග්ධනය අරමුණු වූවකි. ධනපති ක්‍රමයේ සියල්ල ප්‍රාග්ධනය වෙනුවෙනි.  ප්‍රාග්ධනය පුළුල් කිරිමට අතිරික්ත වටිනාකම් ඒකරාශි කළ යුතුය. අතිරික්ත වටිනාකම් සූරාකෑම සඳහා නිදහස් ශ්‍රමය තිබිය යුතුය. ඒ සඳහා අනිවාර්ය කොන්දේසිය වූයේ වැඩවසම් ක්‍රමයේ ඉඩමට බැද දමා සිටි ශ්‍රමිකයින් ඉන් නිදහස්කර ගැනීමය. එනම් “නිදහස් මිනිසකු” බිහිකර ගැනිමය. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ධනපතීන් ඉල්ලා සිටි නිදහස එයයි. තවද ප්‍රංශ විප්ලවයේ ආදර්ශ පාඨය තුළ වන සමානාත්මතාවය යන්න සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ නම් පංති අහෝසිවී යායුතුය. ධනපති පංතියේ  අරමුණ එය නොවේ. සමාජය යැපුම් මාධ්‍ය නිෂ්පාදනයෙන් ඉවත්ව වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයට පර්වර්තනය වෙත්ම ධනපතියාට අවශ්‍ය වූයේ මිල දී ගැනිීමේ සහ විකිණීමේදී සමනාත්මතාවයයි. අලෙවි වීමේ හා අලෙවි කිරීමේ සමාන අයිතියයි. තමන් වෙළෙඳ භාණ්ඩ බවට පත්වීමේ සමානාත්මතාවයයි. වෙළඳ භාණ්ඩ නම් වූ මහා පොදු සාධකයේ සර්ව සමානත්වය තහවුරු කිරීමයි. ජාතික රාජ්‍ය ගොඩ නැගෙන විට (එයද ධනපති ක්‍රමය බිහිවිමේදි අත්‍යාවශ්‍ය වූ  කොන්දේසියකි.) ඔවුනට ජාතිකවාදී සහෝදරත්වයක් අවශ්‍ය විය. මෙය සහෝදරත්වයේ පුළුල් අරුත නොවේ. ජාතික රාජ්‍යයක පැවැත්ම උදෙසා වන ජනතාවගේ ජාතිකවාදී සහෝදරත්වයයි. එනිසා ධනපති පංතිය ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදය එවන් අරමුණු සහ අරුත් සහිතය. නෙදර්ලන්තය, එංගලන්තය, ඇමරිකාව වැනි අනෙකුත් ධනේශ්වර විප්ලව සිදූවූ රටවලද ධනේශ්වර විප්ලවයේ සටන්පාඨ වෙනස්කම් සහිතව වුවද ඒවායේද ධනේශ්වර පංතිය ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදය ඉහත ලෙසමය.

ප්‍රජාතන්ත්‍රවාදයේ බැසීම

          මේ අප අද ජීවත් වන්නේ අර්බූදයට ලක්වූ ධනපති සමාජයකය. දැන් ධනපති පංතිය ප්‍රගතිශීලි නැත. දැන් ඔවුන් පෙනිසිටින්නේ යල්පැන ගිය සමාජ සබඳතා බිඳවැටීමෙන් ආරක්ෂා කරගැනීම හෙවත් පවතින ක්‍රමය රැකගැනීම සඳහාය. ධනපති පංති නායකත්වයෙන් යුත් නූතන ධනපති රාජ්‍යවල පවතින්නේ අත්තනෝමතිකත්වයයි. එය වසන් කිරිම සඳහා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගි කරගනු ලබයි.  පාලකයින් තම පාලන කාලයන් හිතුවක්කාරී ලෙස දීර්ඝ කරගන්නේද ප්‍රජාතන්ත්‍රවාදයේ  නාමයෙනි. නියෝජිත ආයතන සදහා නියෝජිතයින් පත්කිරීම් තමන්ට සියලු වාසි සහගත තත්වයන් තුළ පවත් වන්නේද බදුබර ජනතාව මත පටවන්නේද රැකියා අහිමි කරන්නේද, රටේ සම්පත් කොල්ලකන්නේද, විකුණන්නේද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. කෙටියෙන්ම පවසන්නේ නම් ජනතාව පෙළන්නේද, මර්දනය කරන්නේද, ඝාතනය කරන්නේද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි; නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාය.

          සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය පැන  නගින්නේ, නව සමාජය උදෙසා සටන් කරන්නන්ටය. එනම් මේ මොහොතේ නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියටය.  එහිදි ධනපති අත්තනෝමතිකත්වයට එරෙහිව අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනා ගත යුතුය. (එහෙත් ඒවා නැවතත් ධනපති පංතිය උදුරා ගැනීමට කටයුතු කරනු ඇත.) එසේ වුවද පංති සටනේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් දිනාගැනීම මගින් එය පංති සටනට රුකුලක් කරගත යුතුය. සමාජ සංවර්ධන ක්‍රියාවලියේදි මේ ගෙවී යන්නේ සමාජවාදී විප්ලවයේ අවධියයි. මේ යුගයේදී ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය.  ඒ, මේ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය යනු පිඩිත පංතියේ අරමුණු හා බැඳුනක් නිසාවෙන්ය. පංතියේ විමුක්තිය උදෙසා වන අරගලයට, පංතිය සවිඥානක කිරීමේ කාර්යයට, පංතිය සංවිධානය කිරිමේ ඉඩ කඩ ලබාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය තිබීම වැදගත්ය.

        ධනපති ක්‍රමය එහි යෞවනයේදී ඉටුකළ ප්‍රගතිශීලි කාර්යභාරය එහි අර්බුදය උත්සන්න වූ ජරපත් මහලු අවධියේ එලෙසින්ම ඉටුකරන්නේ නැත.  පංති සමාජයේ අවසානය සනිටුවන් කරන මෙම සමාජවාදී විප්ලව අවධියේ ධනපති පංතියේ සමාජ සංවර්ධනයට අදාළ කාර්යභාරය නිමවී පවතී. දැන් ඔවුන් පෙනී සිටින්නේ ධනපති ක්‍රමය සදාකාලිකව රැකගැනීම  උදෙසා වන නිරර්ථක අරගලය වෙනුවෙන්ය.  සමාජ සංවර්ධනයේ නියාමයන්ට අනුකූලව යල්පැන ගිය සමාජ ක්‍රමයක් රඳවා තබාගැනීමේ ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නැත. තාවකාලික පැලැස්තර, වේදනා නාශක, නිර්වින්දන භාවිතා කළද එයින් ධනේශ්වර අර්බුදය නම් රෝගයට විසදුම් නැත. පවතින මෙම අර්බුදය විවිධ හැඩරුවින් විවිධ ස්වරූපයෙන් ප්‍රකාශයට පත්වේ. එය සරල ප්‍රකාශවීම්වල සිට සංකිර්ණ ප්‍රකාශනයන් දක්වා විහිද පවතී. ඊට අනුරූපී ලෙස පිඩිත පංතින් තුළ වන පිඩනයේ කෝපයද ප්‍රකාශයට පත්වේ. සැබවින්ම ඒ කෝපය යනු පීඩනයෙන් මිදීමේ වුවමනාවයි. ධනපතීහු එම මිදීම හෙවත් විමුක්තිය වෙනුවට ඒවා මර්දනය සඳහා ක්‍රමවේදයන් සොයති.

          පීඩනය ප්‍රකාශවීමේ  ආකාර කීපයක් පවති. ධනේශ්වර ක්‍රමයේ පීඩනය පරාවර්තනය වන එක් ආකාරයක් වන්නේ අවිනිශ්චිතතාවයයි. ජීවිතයේ සියල්ල ඉටුනොවන අරමුණු බවට පත්වීමෙන් අවිනිශ්චිතතාවය පැනනගී. එවන් විටකදී මිනිසෙකුගේ එදිනෙදා අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටුකරගැනීම වුවද ජයගත නොහැකි ඉලක්කයන් බවට පත්වේ. ශ්‍රම සූරාකෑම හරහා ධනපති ප්‍රාග්ධනය පුළුල් වනවාක් මෙන්ම ඊට ප්‍රතිලෝමව (අනෙක් අතට) පීඩිත පංතීන් දරිද්‍රතාවයේ පතුලට කඩා වැටේ. තමන් සතු එකම දෙය වන ශ්‍රම ශක්තිය අහිමි කරන ලදුව බලාපොරොත්තු කඩවීමේ, ජීවිතය බිඳ වැටීමේ තත්වයට පත්වේ. පළමු පැයේදීම පීඩිතයා අර්බුදයේ මූලයන් හෝ පාලකයින් සමඟ ගනුදෙනු බේරා ගැනීමට තරම් සවිඥානක නැත. එම නිසාම නොපෙනෙන බලවේග හා මානසිකව ගැටෙම්න් පිහිට යදීන ආදි මානවයකුගේ තත්වයට පත්වේ.  තමාගේ නොලැබීම, කරුමය ආදිය පිළිබඳව මැසිවිලි නගමින් ලතවෙමින් සිටී.

         අවසානයේ සියලු පෞද්ගලික උත්සාහයන් ව්‍යවර්ථවූ පසු ධනපති අර්බුදය නැමැති මහා ප්‍රවාහය තුළ ජීවිතය ඉබේ ඇදීයාමට ඉඩදී බලා සිටින්නන් බවට පත්වේ. එයින් පිටමංවීමට ගන්නා සෑම උත්සාහයක්ම තමන් තව තවත් අමාරුවට ඇදහෙළන්නක් බව සිතයි. එහෙත් ධනේශ්වර ගුරුත්වාකර්ෂණ බලය තුළට ජීවිතය ඇදීයාමට ඉඩදී සිටියද ඉන් රැකවලක් නැත. ආර්ථික අර්බුදයේ සෑම කම්පනයකින්ම, තිගැස්මකින්ම, පුද්ගලයා පීඩාවට පත්වේ. එමෙන්ම සමාජ විෂමතාවයන්ගෙන් පහර කනු ලබයි. සමාජ අපරාධවල ගොදුරු බවට පත්වෙයි. අර්බුදය නාසයටම ගලා ඇතැයි සිතන මොහොතේ පීඩිත ජනතාව ක්‍රමය තුළින් එන පීඩනය ප්‍රකාශ කිරීමට පෙළfඹි.

අරගලයේ පාසල

           ඒවා  හුදු හැඟීම්වලින් ඇරැඹි සවිඥානක වාචික ප්‍රකාශවීම්  අයුරින් වර්ධනය වේ. එලෙස පවතින ජීවිතය විවේචනය කිරිම යනු පවතින සමාජ ආර්ථික  ක්‍රමය විවේචනය කිරිමකි. තවද පවතින ජීවිතය වෙනස් කළ යුතු යැයි සිතීම පවතින සමාජ ක්‍රමය වෙනස් විය යුතු යැයි සිතිමකි. අවිඥාණකත්වයේ සිට සවිඥාණකත්වය දක්වා වර්ධනය වී මෙසේ මතවාදීමය වශයෙන් ක්‍රමයට එන ප්‍රහාර වැළැක්වීම සඳහා ධනපති පංතිය සතු උපක්‍රම හා උපකරණ පවතී. ධනපති රජය එම මතවාදයන් අදහස් උදහස් යටපත් කරනු ලබන පරදාලන භාවිතයන් සොයා ගනි. ඒවා ක්‍රියාවට නගන මාධ්‍යයන් සොයා ගනී. එලෙස මතවාදී අරගලයෙන් පංති සටනේ පළමු ආකාරය සකස්වේ. ධනපති මතවාදය මෙම සමාජ ක්‍රමය තුළ අධිපති මතවාදය ලෙසින් තම ක්‍රමයේ සියලු ආයතනයන් (පාසැල වැනි සෘජුවම අධ්‍යාපනය දෙන ආයතන, යුක්තිය පසිඳලන්නට යැයි ගොඩනංවා ඇති ආයතන, ආගමික හා ආධ්‍යත්මික කටයුතු පිළිබඳ ආයතන, පවුල නැමැති ජීවිතයේ පළමු පාසැල පවා) උපයෝගී කොටගෙන එය තහවුරු කරයි. ධනපති ක්‍රමය සදාකාලික යැයිද එයට අනුගත වනවා හැර එය ඉක්මවා යා නොහැකි බවද පුරුද්දක් ලෙසින්ම ජීවිතයට ඇතුල් කරයි. ඒ මගින් ධනපති සදාචාරය වන පටු ආත්මාර්ථයත් එකෙකු අනෙකා ඩැහැගැනීමත් ජීවිතය යැයි සිතන්නට හුරුකරවයි. ඒ සඳහා නවීන විද්‍යාවද නවීන උපකරණද යොදවා ගනී. කට කතාව, ජනවහර, පුවත්පත, විද්‍යුත් සන්නිවේදනය යන සියල්ල මාධ්‍ය කොට ගෙන සරල වාක්‍ය,ශාස්ත්‍රීය ලේඛන, සෞන්දර්යාත්මක වාක්‍ය, සාහිත්‍ය නිර්මාණයන් සියල්ල උපයෝගි කරගනියි. මෙලෙස අධිපතිත්වය තහවුරු කරගන්නේ සුළුතරයේ මතවාදයයි. ඒ අනුව තම පංතියේ නොවන බහුතරයේ මතය යටපත් කිරීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.

           ධනපති ක්‍රමයේ පිඩනයට එරෙහිව මතුවන මතවාදී අරගලය ස්වයංසිද්ධ අරගලයන් දක්වා වර්ධනය වේ. වර්තමාන ලංකාවේ ජනතාව දෙස බැලුවද එය එසේමය. බලය තියෙන උදවියටම, බලය නැවැතත් දිනාගනිවි යැයි සිතන උදවියටම, මැතිවරණවලදි කතිරය ගසා ප්‍රතිඵල ඉලක්කම් ලෙස දිනූ පැත්තේ සිට හුරේ දමා  තමන් පීඩාවට පත්කරන පිරිසටම තවදුරටත් තමන් පෙළීම සඳහා නියෝජනයක් ලබාදෙමින් ජනතාව මැතිවරණ මුලාවට අසුවෙයි. මැතිවරණවලදී හැසිරීම අතිශය පෞද්ගලික හා රහසිගත කටයුත්තක් බවට පත්කිරීම ධනපති මැතිරණ විජ්ජාවේ උපායයි. රටක ජනතාවගේ හෙට දවස නොව ඡන්දදායකයාගේ අද දවස මත අද ලාභය මත මැතිවරණයේදී ජනතා හැසිරිම තීරණය වේ.  ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙරම ඔවුහු නැවැත මහ මඟය. සටන් බිම්වලය. උපතේ සිට විපත දක්වා වූ සියලු කාරණා සඳහා ජනතාව ස්වයං සිද්ධව අරගලකාරීව මහ මගට බසිති. මාතෘ සායනයේ සිට සොහොන් බිම දක්වා දේශපාලකයින්ගේ මැදිහත්වීම්ය. වංචාවය. සොරකමය. ජනතාවට ඒවා ලබාගැනීමට ඇති අයිතිය උදුරා ගැනිම්ය. නැතිනම් මූලික අවශ්‍යතා ලබාගැනීම් අවහිර කිරීම් හෝ වසා දැමීම්ය. විරෝධය දැක්වීම්ද විවිධාකාරය. මහමග වැතිර ගැනීම්, මාර්ග අවුරා දැමීම්, ගස් උඩ උපවාස, වතුර ටැංකි මත උපවාස, පෙළපාලි, ගල් මුල් ප්‍රහාර සිට තව බොහෝ ස්වරූපයෙන් ඒවා සිදුවේ. ස්වයංසිද්ධ අරගලයන්ට ඇත්තේ කෙටිකාලීන හා සරල ඉලක්කයන්ය. එම අරගලයන් හුදු වේදනාව, වෛරය පිටකිරීම් පමණි. සවිඥානක නැත. නිර්ධන පංතිය ප්‍රමුඛ පිඩිත පංතියේ දේශපාලන ව්‍යාපාර ඒ හා සම්බන්ධිත වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම්, තරුණ සංගමි, කාන්තා සංගම්, ගොවි සංගම්, විවිධ සමාජ ජන කණ්ඩායම් නියෝජනය කරනු ලබන, විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන සංවිධානාත්මක අරගල සවිඥානක අරමුණු සහිතය. සැබැවින්ම පළමුව ඒවා ආර්ථික අරගලයන්ය. දෙවනුව පංති අරමුණු සහිත දේශපාලන අරගලයන් බවට වර්ධනය වේ. මූලිකව අයිතින් දිනාගැනිම්වල සිට පංති බලවේග ලෙසින් සංවිධානය වීමේ ඉලක්ක සහිතවත් පංති සටන් උරගල මත පන්නරය ලැබීම සඳහාත් අවසානයේ නිර්ධන පංතියේ විමුක්තිය උදෙසා වන දැවැන්ත අරගලයේ පෙරහුරු ලෙසත් මේවා ඉතා සංවිධිතව හා සවිඥානකව සිදුfවි. ආර්ථික අරගලයන්ගේ ස්වරූපයෙන් ඇරඹෙන මෙම අරගලයන් දේශපාලන අරගලයන් දක්වා පරිණත වේ. ඒ නිර්ධන පංති පක්ෂයේ නායකත්වය හා මඟ පෙන්වීම සහිතවය.

බැටලු හම්, වෘක දත්

               ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තම පාලන ආකාරය ලෙසින් හදුන්වන ධනපති පංතිය තම සැබෑ ස්වරූපය පෙන්වන්නේ ජනතා විරෝධයන් හමුවේදීය. පවතින්නේ යැයි පවසන අති පිරිසිදු සුජාත පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය වේ නම් ජනතාවගේ හැගිම්, විරෝධයන් බවට පත්වන සරල මොහොතේ සිටම ඒවාට පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුම් දෙනු ඇති. අර්බුදයකට ගිය සමාජ ක්‍රමයක එම සමාජ ආර්ථික ක්‍රමයම එහි රෝගය වී ඇති අවස්ථාවක තමන් විසින්ම තමන් අවසන් කරගැනීම සඳහා විෂය මූල තත්වයන් සකස් කරගන්නා සමාජයක තම ක්‍රමය අවසන් කරන්නවුන්  එය වළදමනු ලබන්නන් තමන් විසින්ම නිර්මානය කොටගන්නා සමාජ ක්‍රමයක ඉරණම එහි අවසානය මිස එයට වෙනත් විසඳුම් නැත. පිළියම් නැත. තිබුණද තාවකාලිකය. එසේම එවන් පිළියම්ද යළි ප්‍රශ්නයකටම හේතුවේ. එවන් තත්වයට පත්වු සමාජයක් අර්බුදය වරදාන වරප්‍රසාදයන්ගෙන් තාවකාලිකව සමනය කරගත්තද ඔවුනට තිබෙන එකම අවසාන විසදුම මර්දනයයි. වරදාන හා වරප්‍රසාද ඔස්සේ තාවකාලිකව නිහඩ කරගන්නා පුද්ගලයා ඊළඟ වටයේදි එයින්

           රැවටිය නොහැකි ලෙසින්ම අර්බුදයේ ගිලේ. නැතිනම් වරදාන වරප්‍රසාද ලබන්නා දේශපාලන බලයේ පිහිටෙන්  නිතිවිරෝධීව තම ප්‍රශ්න විසඳා ගැනීමට යාමම නැවත සමාජයේ නව අර්බුදයන් නිර්මාණය කරයි. රාජ්‍ය ගැත්තන් සහ දේශපාලකයින්ගේ ගැත්තන්ගේ ක්‍රියාවන් මේ සඳහා නිදර්ශන වේ. වරප්‍රසාද වරදානයන් මගින් යම් ජන කණ්ඩායමක් හෝ සංවිධානයක් රවටාලිය නොහැකි මොහොතේ සිට, අරගල පැන නගින මොහොතේ සිට ධනපති ක්‍රමයේ එකම සහ අවසාන පිළිතුර මර්දනයි.

            පළමුව අරගලයන්ට නායකත්වය දෙන නායකයින් බිළිබා ගැනීම් හෝ නිහඬ කිරීම හෝ අවසානයේදි මර්දනය කිරීම (අතපය කඩා දැමීfමි සිට ඝාතනය දක්වා ඕනෑම දෙයක් මගින්) සිදුකරයි. එයින් අරගල නවතින්නේ නැත. නව නායකයින් බිහිවේ. පාවා දෙන්නන් ඉවතට විසිවී අව්‍යාජ නායකත්වයන් බිහිවේ. සටන් දිග් ගැස්වීමට හැරීම්, කුරුවල් වීමට හැරීම්, දරාගැනීමේ සිමාවන් දියාරු කිරීම්, ජනතාවගෙන්ම විරෝධයන් ඇති කිරීම්, අරගලය හුදකලා කිරීම්, නීත්‍යානුකූල හෝ නොවන ලෙසින් මර්දනය ගෙන ඒම ආදී උපක්‍රම භාවිත කරයි. ඒ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදිව සිදුකරන බව පාලකයා පැවසුවද අවසාන උත්තරයක් ලෙස පාලකයාට ඇත්තේ මරාගෙන මැරෙන උත්තරයකි. එය මර්දනයයි.

         ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් බලයට පැමිණියද අර්බුදයන්ට පිළියම් නැතිවන විට පාලකයාගේ පෞද්ගලික ස්වභාවය කුමක් වුවද ඔහු ක්‍රමයෙන් ළඟා වන්නේ ජනතාව පෙළන ජනතාව මර්දනය කරන දිශාවටය.  ආගම වැනි සමාජ සංවිධනයන් ,මාධ්‍ය වැනි මිනිස් සන්නිවේදන ජයග්‍රහණයන්, ධනපති පංතිය  විසින්ම තම කැමැත්ත බහුතරයේ කැමැත්ත ලෙස හුවා දක්වමින් සම්මත කරගත් නීති අණ පනත් ඒ සඳහා යොදා ගැනේ. ඉවසීමෙන් සැනසීම ලැබෙන තෙක් ඉවසීම, කටකතා පැතිරවීමෙන් ජනතාව මුලා නොකිරීම (සැබවින්ම කටකතා පතුරුවන්නේ ධනපති පංතියමය.), අරගල පැන නැගීමෙන් මහජන සාමය බිඳ වැටීමට ඉඩ ඇති බැවින් යටත්වී සිටීම වැනි වැදි බණ දේශනා කරමින් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය නැමැති ප්‍රෝඩාව දියත්වේ. මේවා පීඩිත ජනතාව ධනපතියාට හීලෑකර ගන්නා උපායන්ය. මහජන සාමයට බාධාවන්නේ යැයි පවසමින් ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන ජනතාව (ඔවුන් උපයන දෙයින් බදු ලෙස ගෙන වැටුප් ගෙවන) තමන්ගේම දූ දරුවන්, නෑසියන්, තම පංතියට අයත් වූවන් වන පොලිසි, හමුදාවන් යොදවා මර්දනය කරවයි. මර්දනයද එකම පිළියම නොවේ. උගුරට හොරා බෙහෙත් කෑමකි. සමාජ ක්‍රමය වෙනසක් ඉල්ලා සිටින විට

         දිරාගිය තාප්පයකින් දැවැන්ත ජලපහරක් වළක්වන්නා සේ මර්දනයෙන් කිසිවක් කළ නොහැක. එවිට හදිසි මැතිවරණයන් මගින් විරෝධයන් කෙරෙහි අවධානය වෙනස් කරයි. ජේ.ආර්. වෙනුවට ප්‍රේමදාස, චන්ද්‍රිකා වෙනුවට මහින්ද ආදී ආදේශයන් පැමිණේ. නොවැළැක්විය හැකි ලෙසින්ම පංති සටන ඇවිලෙන අවස්ථාවලදී තම පංතියේ කෙනෙකුට (දේශපාලන විරුද්ධවාදියකු වුවද)  බලය හුවමාරු කරයි. ඉන් නොනවැතී ව්‍යවස්ථා සංශෝධනයන් මගින් නිති සම්මතයන්ගේ සිට හමුදා කුමන්ත්‍රණ දක්වාද උපක්‍රම වෙනස්කරයි. ඒ සියල්ලේ ඒකායන අරමුණ මර්දනයමය. මේ සඳහා දේශීය හා විදේශීය උදාහරණ බොහෝය.

මාකෝස් හා මිතුරෝ

        ඉන් වැදගත් පැහැදිලි නිදර්ශනයක් වන්නේ පිලිපිනයේ මාර්කෝස්ය. ඔහු පිලිපිනයේ 1965 සිට 1986 දක්වා ජනාධිපතිවරයාය,  ජනාධිපති වීමට පෙර සිටම දෙවන ලෝක යුද සමයේ ජපන් විරෝධි ගරිල්ලා ක්‍රියාකාරිත්වය නිසා රටේ ජනාදරයට පත්වූ පුද්ගලයකි; පිට පිට දෙවතාවක් පිලිපීනයේ ජනාධිපති ධූරයට පත් වූ පළමුවැන්නාය. 1965 පළමු වරට ජනාධිපති වූවායින් පසුව කි.මි. 16,000ක මහා මාර්ග සෑදීමටද මීටර් 30,000 ක ප්‍රමාණයක් ස්ථීර පාලම් ගොඩනැ ගීමටද කිලෝ වොට් මිලියන දශ ලක්ෂයක විදුලිය උත්පාදනය කිරීමට ද සැලසුම් කළේය. කඩිනම් සංවර්ධනයකට උනන්දුව දැක්වීය. නමුත් ඔහු තම පාලන කාලය තුල නාස්තියට දූෂණයට පාර කැපීය. දෙවන වර ජනාධිපතිවරණයේදී ඇමරිකන් ඩොලර් මිලියන 56ක් රාජ්‍ය භාණ්ඩා ගාරයෙන් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා යෙදවීය. සැබැවින්ම ඔහු ඇමරිකන් ගැති ක්‍රියා පිළිවෙළකට පිලිපීනය යටත් කළේය. ජනතාවගේ දේපළවලින් අධික සැප සම්පත් සහිතව ජීවත් වන්නට විය. ජනාධිපති ධූරයට දෙවරකට වැඩියෙන් ඉදිරිපත් විය හැකිසේ 1972 සැප්තැම්බර් 22 ව්‍යවස්ථා සංශෝධනයක් කළේය. (රාජපක්ෂ ආණ්ඩුවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිහිකර ගන්න.) ඒ කෙරෙහි පැන නැගුණු විරෝධය මර්දනය කරන්නට පෙළඹුණි. ඔහුගේ පැවැත්ම සඳහා සහ ජනතා මර්දනය පිණිස ඇමරිකාව මුල්‍ය හා හමුදා ආධාර පවා දෙනු ලැබීය. නමුත් 1986 පැන නැගි මහා ජනතා විරෝධය හමුවේ ඔහුට තම උපන් බිමෙන් පලායන්නට සිදුවිය. ජනතාව ඔහුගේ මාළිගය වටලා ඔහු පළාගිය පසු එම ගෙඩනැගිල්ලේ බිත්තිවලට මූත්‍රා කරන්නට තරම් පෙළඹුනේ ඔවුන්ගේ වෛරයේ, කෝපයේ තරම පෙන්වමිනි.

           දේශීය වශයෙන් සලකා බැලුවද 1977 ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක ජන කැමැත්තක් සහිතව බලයට පත් විය. 1978 ව්‍යවස්ථා සංශෝධනය මගින් අසීමිත බලතල සහිතව විධායක ජනාධිපති ධූරය ඇති කළේය. එයට විවිධ සංශෝධන එක්කරමින් සමානුපාතික ඡන්ද ක්‍රමය ආදී අංග ඈඳන ලදී. එහි අවසන් අරමුණ වූයේ සදාකාලිකව බලයේ සිටීමයි. එයට අභියෝග එන විට අවසන් ප්‍රතිඵලය මර්දනය පමණය. අවසානයේ එය ප්‍රගතිශීලී පුද්ගලයන් දඩයමේ සිට වෘත්තීය සමිති, ශිෂ්‍ය සමිති හා පක්ෂ තහනම් කිරීමි මගින් මහා ඝාතන සංස්කෘතියක් බවට පත් කළේය. අවසන තම පැවැත්ම උදෙසාම විරෝධය දැක්වූ ජනතාව මරා දමමින් ඉන්දු ලංකා ගිවිසුමද අත්සන් කළේය. ජේ.ආර්. යුගය අවසන්වීම ලෙස නොව එහි දිගුවක් ලෙස පැමිණි ප්‍රේමදාස යුගයද ජේ.ආර්. සමය පරදවන්නට විය. එ.ජා. ප. 17 අවුරුදු සාපය අවසන් කරමියි පවසමින් පැමිණි පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවද ජනතාව පෙළමින් මර්දනයෙන් පාලනය ගෙනගියේය. නූතන විහාර මහා දේවිය ලෙස ජනතාව විසින් ඔසවා තැබුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුව සැතිරියක සේ සලකන්නට ජනතාව පෙළඹුණි. එම පාලනයේම දිගුවක් වන වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගමන් මගද, ක්‍රියා පිළිවෙතද, ප්‍රතිපත්තියද, උද්දච්චකමද පෙර ඒවාට වෙනස් නැත. ඇමතිවරු අගමැතිවරු ගමේ සිට දුම්රියෙන් කොළඹ ගිය බව අසන්නට ලැබෙන  මහජන නියෝජිතයින් සිටි බව කියවෙන එකමත් එක කාලයකදී පවා පාලකයෝ ජනතාව පෙළුෑහ; මැරකම්වල යෙදුණහ; ජනතාව මර්දනය කළහ. පොලීසියේ හමුදාවේ සන්නද්ධ ශක්තිය, පොලිස් පොල්ලේ දිග පළල, ගිනි අවිවල ස්වයංක්‍රීය බවේ අඩු වැඩිකම් තිබෙන්නට ඇත. ආපසු හැරී බලද්දී එක් ආණ්ඩුවක් මර්දනීය ක්‍රියාමාර්ග අතින් අනෙකට දෙවෙනි නැත. එය එසේ වුවද සියල්ලන්ම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිකරුවන් සහ මුරදේවතාවුන්ය.

            පාලකයින් තම ක්‍රමය පවත්වා ගැනීමේ ඒකායන මාර්ගය මර්දනය කොට ගන්නා විට ජනතාවට අනිවාර්යයෙන්ම ඉතිරි වන්නේ, මහජන බලයෙන් ඔවුන් පලවා හැරීමය. විවිධ ව්‍යවස්ථාමය විජ්ජා මගින් ජනතාවගෙන් ඩැහැගත් ජන බලය ජනතාවටම එරෙහිව යොදවන විට එය නැවත ජනතාව අතට ගැනීම සර්ව සාධාරණය. ඒ හේතුවෙන් ලෝකයේ ජනතා නැගිටීම් ඉතිහාසයක් ඇත. මෑතකදි මැද පෙරදිග හරහා හඹාගෙන ගියේ එවැන්නකි. ටියුනීසියාවෙන් ඇරැඹි මෙම ජනතා නැගී සිටීම් රැල්ල අවසානයේ පාලකයින් පළවා හැරියද එය පංතියේ විමුක්තිය උදෙසා මෙහෙය වන්නට පංතියේ නියමු පක්ෂයක් නොමැති වීමෙන් යළි අධිරාජ්‍යවාදීන්ගේ බළල් අත්වලින් මෙහෙය වෙන්නට පටන්ගෙන තිබේ. පිලිපීනයේ මාකෝස්ට රටින් පිටත මිය යන්න සිදුවුයේ මේ නිසාය. නමුත් ධනපති පංතියේ නියෝජිතවරියක් වන අකිනෝ බලයට පැමිණෙන්නේද පංතියේ නියමු කාර්ය භාරය ඉටුකරන පක්ෂයක් නොවූ නිසාවෙනි. ලෝක ඉතිහාසයේ ජනතා නැගිටීම් බොහෝමයක් ජනතා ජයග්‍රහණයන්ගෙන් කෙළවර විය. ඒවා නිර්ධන පංති පක්ෂයේ නායකත්වයෙන් සමාජවාදී විප්ලවය දක්වාම ඉදිරිගාමී විය.

            මේ සියල්ලෙන් පෙනි යන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය පංති සමාජයේ නිපයුමක් බවයි. පංති සමාජයේ අධිපති පංතිය එය උපයෝගි කරගනී. මෙතෙක් සිදුවූයේ සුළුතරය විසින්  බහුතරය පාලනය සඳහා මෙය යොදා ගැනීමය. ඉතිහාසයේ පළමු වතාවට පංති සමාජයේ අවසානයේදී ඇත්ත බහුතරය වන නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතිය අතට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගනියි. එවිට එය වචනයේ අරුතින්ම ප්‍රජාතන්ත්‍රවාදය වේ. එහෙත් එය නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් පංති රහිත කොමියුනිස්ට් සමාජයේදී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ අවශ්‍යතාවය ඉවත්වේ. පුරුද්ද විසින් ජනතාව සාමුහික පැවැත්ම රකියි. කෙසේ වුවද සෑම මිනිසෙක්ම සමාන අයිතීන් හා සමාන අවස්ථා භුක්ති විඳින කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් නිම වන දිනය දක්වා නිර්ධන පංති පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමට එරෙහිව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරයි.

‘අපි’ ධනපති පංතියට මෙසේ කීවෙමු: සූරාකන්නන් හා වංචනිකයින් වන නුඹලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්නහුය. නමුත් ඒ අතරම, පීඩිත ජනතාව දේශපාලනයට සහභාගිවීමෙන් වැළැක්වීම පිණිස බාධක දහස් ගණන් ඉදිකරන්නහුය. අපි නුඹලා කියන දේ එසේ ගනිමින්, මෙම ජනතාවගේ යහපත පිනිස නුඹලා බලයෙන් පහකර දැමීමේ අරමුණ ඇතිව මෙම ජනතාව විප්ලවයට සූදානම් කරනු සඳහා නුඹලාගේ ප්‍රජාතන්ත්‍රය පුළුල් කරන ලෙස බල කරමු.’

(ලෙනින්  තෝරාගත් කෘති වෙළුම 9 පිටුව 67)

ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න (Left)