ඉතිහාසය ඔබ නිදොස් කර තිබේ!

පංතිය, පක්‍ෂය හා නායකත්වය
January 2, 2020
ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම
January 8, 2020
Show all

ඉතිහාසය ඔබ නිදොස් කර තිබේ!


ඔබව අමතන්නා ලාමක ගර්වයට සිය මුළු හදින්ම වෛර කරයි. ඔහුගේ ප්‍රකෘති ස්වභාවයත්, මනෝභාවයත්, අධිකරණගත රඟපෑම්වලට හෝ සංවේදනවාදයට හෝ නැඹුරුව නැත. මෙම අධිකරණය හමුවේ එසේ නීතිඥවරයා ලෙස පෙනී සිටීමට මට බලපෑ හේතු දෙකකි. පළමුවැන්න, මට ප්‍රායෝගිකව නෛතික ආධාර අහිමි කර තිබීමය. දෙවැන්න, මෙවැනි වෙලාවක හදවතේ රුධිරය හා සත්‍යයේ සාරය වන වචන කිව හැක්කේ ඒ සා තදින් පීඩාවට පත්වූ, තම රට අතරමං කොට එහි යුක්තිය පාගා දමා තිබෙනු දැක ඇති කෙනෙකුට වීමය.”

“මගේ ආයාචනය හමාර කිරීමට මම ආසන්න වෙමි. එහෙත් අනෙක් සියලු නීතිඥයන් කරනවාක් මෙන් මගේ විත්තිකරු නිදහස් කරන මෙන් ඉල්ලා නොසිටිමි. මගේ සහෝදරයින් පිනිස් දූපතේ නින්දිත සිර දඬුවම්වලින් දැනටමත් පෙළෙන විට මා නිදහස් කරන්නැයි මට ඉල්ලා සිටිය නොහැකිය. ඔවුන් සමග එක්වීමට, ඔවුන්ගේ ඉරණම බෙදා ගැනීමට, මා එහි යවන්න. ජනාධිපති අපරාධකරුවෙකු හා හොරෙකු වන ජනරජයක අවංක මිනිසුන් එක්කෝ මියැදී හෝ නැතිනම් සිපිරි ගෙයක සිටීම අවබෝධ කර ගත හැකිය.”

“බියගුලු තර්ජන හා ක්‍රෑරත්වයෙන් පිරි සිපිරි ගෙය කවදා හෝ කිසිවෙකුට හෝ අත්විඳින්නට වූවාට වඩා මට දුෂ්කර වන බව මම දනිමි. එහෙත් මම ඊට බිය නොවෙමි. මගේ සහෝදරයන් 70කගේ ජීවිත බිලිගත් භීම පාලකයාගේ කෝපයෙන්ද මම බිය නොවෙමි. මට දඬුවම් දෙන්න. කමක් නැහැ. ඉතිහාසය මා නිදොස් කරාවි.”

1959 ජනවාරි 01දාට පෙර කියුබාව පාලනය කළ ඒකාධිපති දුෂ්ඨ පාලකයා වූ බැටිස්ටාගේ ක්‍රෑර පාලනයට අභියෝග කරමින් බැටිස්ටාගේ අධිකරණය ඉදිරියේ නැගීසිටි කඩවසම් තරුණයෙක් ඉහත ප්‍රකාශය කරමින් සිටියේය. අධිරාජ්‍යවාදයට, ඒකාධිපති පාලනයට හා සමාජ අසාධාරණයට එරෙහි කෝපයෙනුත්, රට ගැන හා ජනතාව කෙරෙහි උපන් ප්‍රේමයෙනුත්, අනාගත ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙනුත් පිරුණු ඔහුගේ දීප්තිමත් දෑස විනිශ්චයකරුවන් වෙත එල්ල වී තිබුණේ තව මොහොතකින් ඔවුන් දෙන තීන්දුව නොසලකමින් හා ඊට වඩා ඉතිහාසයේ තීන්දුව විශ්වාස කරන බව කියා පාමිනි. ඒ, 1953 ඔක්තෝබරයේදීය. ධනපති අධිකරණය ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කළේය. එහෙත් ඒකාධිපති පාලනයකට වඩා ජනතා හඬ බලවත් බව යළිත් සනාථ කරමින් ජනතා බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස 1955 මැයි මාසයේදී ඔහු ඇතුළු ඔහුගේ සගයන් සිරෙන් නිදහස් විය. හරියටම ඉන් වසර තුන හමාරකට පසු 1959 ජනවාරි පළමුවැනිදා ඉතිහාසය ඔහු නිදොස් බව ඔප්පු කළේය. එසේම ඔහු හා ඔහුගේ සගයින් ඉතිහාසය නිවැරදිකොට යළි ගොඩ නැගීමද ආරම්භ කළේය. ඒ කියුබානු විප්ලවයේ ජයග්‍රහණය මගිනි. එම තරුණයා අන් කවරෙකුවත් නොව කියුබානු විප්ලවයේ නායකයා වූ ෆිදෙල් කස්ත්‍රෝය. ෆිදෙල් එදා අධිකරණයේදී කළ ප්‍රකාශය පසුව ‘ඉතිහාසය මා නිදොස් කරනු ඇත’ යන නමින් පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්විය.

මෙම ජනවාරි පළවෙනිදාට කියුබානු විප්ලවයට වසර 55කි.  1926 අගෝස්තු 13දා උපන් ෆිදෙල්ගේ වයස දැන් අවුරුදු 88කි. ඔහු මේ වනවිට කියුබානු රජයේ හෝ ආණ්ඩුවේ කිසිදු තනතුරක් දරන්නේ නැත. එහෙත් කියුබානුවන්ගේ අධ්‍යාත්මය තවමත් ෆිදෙල්ය. ලොව පුරා වෙසෙන අධිරාජ්‍ය විරෝධීන්ට, සමාජවාදී විප්ලවවාදීන්ට, සැබෑ කොමියුනිස්ට්වාදීන්ට, ආශ්වාදය ලබා දෙන්නාත් විශ්වාසය ජනිත කරන්නාත් ආදර්ශය ලබා දෙන්නාත් ඔහුය. අපේ කාලයේ කොමියුනිස්ට්වාදී ආදර්ශය ඔහු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ ෆිදෙල්ගේ ජීවිත කතාව ලිවීම නොවේ. ඔහුගේ ජීවිතය තුළ පෙන්වා ඇති ඉහළතම මානව ගුණයන් කිහිපයක් අවධානයට ලක්කිරීමය.

ෆිදෙල්ගේ පියා ඉඩම් හිමි පොහොසතෙක් විය. එහෙත් එම පවුල පාරම්පරිකව ධනපති පංතියට අයත් පවුලක් වූයේ නැත. ෆිදෙල්ගේ පියා තරුණ කල ස්පාඤ්ඤයෙන් කියුබාවට සංක්‍රමණය වී කියුබාවේ ඇමරිකානු සමාගමක කම්කරුවෙක් ලෙස ජීවිතය අරඹා පසුව ඉඩම්හිමි පොහොසතෙක් බවට පත් වූවෙකි. මෙය වරක් ෆිදෙල් පැහැදිලි කළේ “මම ඉඩම් හිමියෙකුගේ පුතෙක් වුණාට ඉඩම් හිමියෙකුගේ මුනුපුරෙක් නොවේ” යනුවෙනි. කෙසේ වෙතත් ෆිදෙල් පියා ගිය මග ගනිමින් ඉඩම් හිමියෙක් බවට පත්වූයේ නැත. ඒ වෙනුවට ඔහු විප්ලවවාදියෙක්, සමාජවාදියෙක්, කොමියුනිස්ට්වාදියෙක් බවට පත් විය. කියුබානු විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මුලින්ම පියා සතුව තිබූ ඉඩම් පවරා ගනිමින් ඔහු ලොවට ප්‍රබල ආදර්ශයක් ද සැපයුවේය.

මිනිසෙක් විප්ලවවාදියෙක්, සමාජවාදියෙක්, කොමියුනිස්ට්වාදියෙක් වීමට පෙර ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසෙක් විය යුතුය. ෆිදෙල්ගේ විශේෂත්වය වන්නේ ඔහු සියල්ලටම පෙර ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසෙක් වීමය. පුවත්පත් කලාවේදී ඉග්නාසියෝ රමෝනේ සමග පුරා පැය සීයක් තිස්සේ ෆිදෙල් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ෆිදෙල් පවසා තිබුණේ සිය දේශපාලන දැක්ම මාක්ස්වාදයෙන් පෝෂණය වූ අතර සිය අධ්‍යාත්මය පෝෂණය වූයේ කියුබානු නිදහස් සටනේ වීරයෙක් වූ හොසේ මාටිගෙන් බවය. ඒ අනුව මාක්ස්, එංගල්ස්, ලෙනින් ෆිදෙල්ගේ දේශපාලන ගුරුවරුන් වන විට ඔහුගේ අධ්‍යාත්මික ගුරුවරයා වූයේ හොසේ මාටිය.

ෆිදෙල් දැඩි ලෙසම ප්‍රතිපත්තිගරුක මිනිසෙක් විය. ඔහුට ජනතාව සඳහා මෙන්ම ඔහු සඳහාද ප්‍රතිපත්ති තිබුණි. ඔහුට ඔහු සඳහා මෙන්ම සතුරන් සඳහාද ප්‍රතිපත්ති තිබුණි. ඒ පිළිබඳ වරක් ෆිදෙල් මෙසේ පැවසීය. “ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ජනතාව සඳහා ප්‍රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්තිද ඔබට තිබිය යුතුයි. නැතිනම් ඔබට ජය ගත නොහැකියි.” “ඔබ සතුරාගේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. සතුරාට තදින් පහර දිය යුතුයි. එහෙත් අවමන් නොකළ යුතුයි.” මෙම ඉතාම වටිනා අදහස ප්‍රකාශ කිරීමෙන් නොනැවතී ෆිදෙල් එය තම ජීවිතයේ භාවිතාවෙන් ක්‍රියාවටද නැගුවේය. සතුරාට තදින් පහර දෙනවා වෙනුවට අපහාස කිරීම හා අවමන් කිරීම සඳහා පෙළඹෙන අය දුර්වල පෞරුෂයන් සහිත  අය වේ. එවැනි මිනිසුන් පිරුණු ලෝකයක ෆිදෙල් සැබැවින්ම ආදර්ශයක් වේ.

අප දන්නා සියලු ධනපති දේශපාලනඥයෝ බලයට හා කීර්තියට කෑදර අය වෙති. වමේ ව්‍යාපාර තුළද ඉඳ හිට හෝ එවැනි අයෙකු හමුවේ. මෙහිදී ෆිදෙල් දැවැන්ත ආදර්ශයකි. තම දේශපාලන ගමනේ අරමුණ ජනතාවට සාධාරණ සමාජයක් ගොඩ නඟාදීම මිස බලය හෝ කීර්තිය නොවන බව ඔහු පෙන්වූයේ භාවිතයෙනි. සියරා මහේස්ත්‍රා කඳුකරයේ ගරිල්ලා සටන ආරම්භ කළ මුල් කාලයේම, සියරා මහේස්ත්‍රාවට පැමිණි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හර්බට් මැතිව් සමග 1957 පෙබරවාරි 17 දින ෆිදෙල් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී සිය සටනේ අරමුණ පැහැදිලි කරමින් ෆිදෙල් පැවසුවේ, තම සටන කියුබාව තුළ සැලසුම් සහගත ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම සඳහා බවය. ඔහු සමාජවාදයේ මූලධර්ම සරලව පැවසුවේ එසේය. 1959 බලය ලබාගත් පසු ඔහු එය ක්‍රියාවටද නැගීය. 59 ජනවාරිවලදී බලය ලබාගත් වහාම ෆිදෙල් ජනාධිපති ධුරය බාර ගත්තේ නැත. ඒ වෙනුවට විප්ලවීය සන්නද්ධ හමුදාවන්ගේ නායකත්වය තමා අත තබා ගනිමින්, බැටිස්ටාගේ පාලන සමයේ ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි විනිශ්චයකරුවෙක් වූ මැනුවෙල් උරුටියා ජනාධිපති ධුරයටත් නීතිවේදියක් වූ හොසේ මීරෝ කඩෝනා අගමැති ධුරයටත් පත්කළේය. පසුව ෆිදෙල් ජනාධිපති ධුරයට පත්වුවත් ඉහත ක්‍රියාව මගින් පෙන්වූයේ තම අරමුණ පෞද්ගලිකව බලය භුක්ති විඳීම නොවන බවය. එසේම 2008 වසරේදී ෆිදෙල් අසනීප වූ විට ඔහු ප්‍රකාශ කළේ තමා නැවත ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවය. ඒ අනුව 2008 පෙබරවාරිවල කියුබානු ජාතික සභාව රවුල් කස්ත්‍රෝ ජනාධිපති ධුරයට පත්කළේය. මියයනතුරු තනතුරු බදාගෙන සීටීමට කටයුතු කරන අය සිටින ලෝකයක ෆිදෙල් ආදර්ශයක් වන්නේ එසේය.

ෆිදෙල් කීර්තිය හා ප්‍රසිද්ධිය පසුපස හඹාගියේ නැත. එහෙත් කීර්තිය හා ප්‍රසිද්ධිය ඔහු පසුපස හඹා ආවේය. බලයට පත්වූ වහාම ෆිදෙල්ගේ මගපෙන්වීම මත විප්ලවීය ආණ්ඩුව තීරණයක් ගත්තේය. ඒ ජීවතුන් අතර සිටින කිසිම නායකයෙකුගේ පිළිරූ ඉදි නොකිරීමටත් ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීමටත්ය. එබැවින් කියුබාව තුළ කිසිම ස්ථානයක ෆිදෙල්ගේ හෝ ජීවතුන් අතර සිටින නායකයින්ගේ ප්‍රතිමා ඉදිකර නැත. කියුබාවේ කිසිම නගරයක්, මාවතක්, ගොඩනැගිල්ලක්, ඉදිකිරීමක්, ෆිදෙල්ගේ නමින් නම් කර නැත. කියුබාවේ රාජ්‍ය ආයතන කිසිවකට, ෆිදෙල් ජනාධිපති ධුරය දරන කාලයේදී පවා, ඔහුගේ නිල ඡායාරූප නිකුත්කර තිබුණේ නැත. මහජන මුදලින් ඉදිකරන මංමාවත්, පාසල්, ක්‍රීඩාපිටි, ගොඩනැගිලි, වරාය ආදී සියලු දේ තමාගේ නමින් නම් කරන, මග දෙපස, හංදි ගානේ තම පිළිරුව සහිත දැවැන්ත පුවරු ඉදිකරන බොල් පිළිම වැනි නායකයින්ට ෆිදෙල් සැබවින්ම අභියෝගයක් වූයේ එසේය. මේ පිළිබඳව ෆිදෙල්ගේ ආදර්ශ පාඨය වූයේ හොසේ මාටි ගේ ආදර්ශ පාඨය වූ ‘ලොව සියලු කීර්තිය තිරිඟු මදයක් තරම්ය.’ යන ආදර්ශ පාඨයයි. කියුබාවේ මග දෙපස ඉදිවුන යෝධ පුවරුවල ෆිදෙල්ගේ රුව නොතිබුණද සියලු කියුබානුවන්ගේත් ලොව සියලු අධිරාජ්‍යවිරෝධීන්ගේ, සමාජවාදීන්ගේ හා කොමියුනිස්ට්වාදීන්ගේත් හදවත් පත්ලේ ෆිදෙල්ගේ රුව ඇඳී තිබේ. එහෙත් ලංකාවේ වැනි රටවල ඩිජිටල් පුවරුවල ප්‍රදර්ශනය වන බොල් නායකයෝ කිසිවෙක් ජනතා හදවත් තුළ ජීවත් නොවෙති. සත්‍යය එයයි.

මේ පිළිබඳ ෆිදෙල්ට ඉතාම නිරවුල් දැක්මක් තිබුණ බව පෙනේ. ෆිදෙල් සමග පැය 100ක සම්මුඛ සාකච්ඡාව සිදුකළ ඉග්නාසියෝ රමෝනේ ෆිදෙල්ගෙන් මෙසේ ඇසීය. “කියුබාවේ විප්ලවය ආරක්ෂාකිරීම සඳහා පෙරෙස්ත්‍රොයිකාවක් අවශ්‍ය බව ඔබ සිතුවෙ නැද්ද?” ෆිදෙල් ඊට පිළිතුරු දුන්නේ මෙසේය. “සෝවියට් දේශය තුළ අප අත්දුටු ඓතිහාසික යථාර්ථයක් තිබුණා. කියුබාවේ ස්ටැලින්වාදයක් තිබුණේ නැහැ. බලය අයුතු ලෙස භාවිතය, නිල ඡායාරූප-පිළිරූ හදන පෞද්ගලිකත්වයේ සංස්කෘතිය මෙහේ තිබුණේ නැහැ. අපි හැම වෙලාවෙම පෞද්ගලිකත්වයේ සංස්කෘතියට විරුද්ධ වුණා. අපට අප අතින් සිදු නොවූ වැරදිවලට පිළියම් හොයන්න අවශ්‍ය නැහැ. මෙහෙ බලහත්කාරී සාමූහිකකරණය තිබුණේ නැහැ. අපි එක් මූලධර්මයකට ගරුකළා.  සමාජවාදය ගොඩනගන්නේ නව සමාජයක් ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන්ගෙන්.”  කසයක් අතින් ගෙන වහලුන් ලවා සමාජවාදය ගොඩනැංවිය නොහැකි බව ෆිදෙල් නිවැරදිවම වටහාගෙන තිබුණා. ෆිදෙල්, සමාජවාදය ගොඩ නැගීමට කැමති නිදහස් කියුබානු ජනයා සමග කියුබාවට ගැලපෙන සමාජවාදයක් ගොඩනැගුවා සේම 1990 දශකයේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටී කියුබාව හුදකලා වූ විට පවා සමාජවාදය අත් නොහැර ආරක්ෂා කිරීමට සටන්කළා. එහිදී ෆිදෙල්ගේ සටන් පාඨය වූයේ ‘සමාජවාදය නැතිනම් මරණය’ යන්නයි.

ෆිදෙල් විශිෂ්ට නායකත්වයක ලකුණු පළ කළ කෙනෙකි. ඔහු සිය සටන් සගයින්ට මෙන්ම සිය ජනතාවට ප්‍රතිපත්ති රැකීමේදී දැඩි, එහෙත් ලෙන්ගතු නායකයෙක් විය. එබැවින් කියුබානුවන්ට ෆිදෙල්, ‘අතිගරු ජනාධිපති’ වුයේ නැත. ඔවුනට ඔහු කවදත් ‘අපේ ෆිදෙල්’ විය. ඔහු බැරෑරුම් හා අනතුරුදායක වගකීම් අන් අයට පවරා ජයග්‍රහණවල කීර්තිය තම නමට ලියාගන්නා වර්ෂයේ පුහු නායකයෙක් නොවීය. 1953 ජුලි 26දා සිදුකළ මොන්කාඩා ප්‍රහාරය මෙයට එක් නිදසුනකි. මෙම ප්‍රහාරයේදී එහි ඉතාම අනතුරුදායක මෙහෙයුම වූ මොන්කාඩා බැරැක්කයට පහරදෙන කණ්ඩායමේ නායකත්වය තමන් අතට ගත් ෆිදෙල් යම් හෙයකින් තමා සටනේදී මියගියහොත් ව්‍යාපාරයේ නායකත්වය ගෙනයාම සඳහා එවකට ව්‍යාපාරයේ දෙවැනියාව සිටි අබෙල් සාන්ත මරියා ආරක්ෂාකිරීමේ අරමුණ ඇතිව, ඔහුට අනතුරුදායක බව අඩු මෙහෙයුම වූ  හමුදා රෝහල අල්ලා ගැනීමේ කණ්ඩායමේ නායකත්වය පැවරීය. එහෙත් ඉතිහාසය සියල්ල කනපිට පෙරළීය. සටනේදී ෆිදෙල්ගේ දිවි රැකුන අතර අබෙල් දිවි පිදීය.

නැවත 1956 ග්‍රැන්මා ගමන ආරම්භයේදීද මෙවැනි සිදුවීමක් සිදුව තිබේ. ෆිදෙල් ඇතුළු පිරිස මෙක්සිකෝවේ සිට කියුබාවට රහසින් ගොඩ බැසීම සඳහා ග්‍රැන්මා බෝට්ටුවෙන් පිටත්වීම ආරම්භ කරන විටම කණ්ඩායමේ එක් අයෙක් මුහුදට වැටී තිබේ. එවිට ෆිදෙල් පවසා ඇත්තේ ඔහු සොයාගන්නා තුරු ගමන ආරම්භ නොකරන බවය. මෙය කණ්ඩායමේ අනෙක් අයට ෆිදෙල් පිළිබඳ මහත් විශ්වාසයක් ගොඩනැගීමට හේතුවී තිබේ. කියුබානු විප්ලවයේ සෙන්පතියෙක් වූ හුවාන් අල්මේදා පසුකලෙක පවසා තිබුණේ එම සිදුවීම නිසා, ‘මේ මිනිසා අප කිසිවකු තනිකරන්නේ නැත.’ යන හැඟීම හැම දෙනා තුළම ඇතිවූ බවය. විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු 1961 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාව ආක්‍රමණය කිරීම සඳහා ප්‍රහාරයක් එල්ල කළ විට උපදේශකයන්ගේ ආරක්ෂක උපදෙස් නොසලකා සටන් පෙරමුණට ගිය ෆිදෙල් සටනේ නායකත්වය තමා වෙත පවරා ගනිමින් සටන් කළේය. අවසානයේ එක්සත් ජනපද කුලී හමුදා පරදා සමාජවාදී මව්බිම රැක ගත්තේය. සතුරාට එරෙහි සටනේදී ෆිදෙල් නිතර සිහිපත් කරන ආදර්ශ පාඨයක් විය. ඒ වරක් හොසේ මාටි පවසා තිබූ ‘ගුහා පත්ලකදී වුවද සාධාරණ ප්‍රතිපත්තියක් හමුදාවකට වඩා ප්‍රබලය.’ යන කියමනය.

1960, 70, හා 80 දශකවල, ෆිදෙල්ගේ නායකත්වයෙන් සමාජවාදී කියුබාව, අප්‍රිකාවේ හා ලතින් අමරිකාවේ රටවල් රැසක ජාතික විමුක්ති අරගලයන්ට, සමාජවාදී විප්ලවයන්ට උදව් කළේය. කියුබානු සටන්කාමීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන්නෝ රැසක් නිකරගුවාවේදී, ග්‍රෙනෙඩාවේදී, එම රටවල සමාජවාදය ගොඩනගන ක්‍රියාවලියේදී දිවි පිදූහ. ඒ ජාත්‍යන්තරවාදය වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔවුන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. එසේම චේ සමග බොලීවියාවේ දීත්, අප්‍රිකානු රටවල දීත් එම රටවල විමුක්ති සටන්වලදී කියුබානුවෝ රැසක් දිවි පිදූහ. දිවි රැක ගත්තවුන් පවා තම කාර්යය ගැන පුරසාරම් දෙඩුවේ හෝ ඒ මගින් ප්‍රසිද්ධියවත් බලාපොරොත්තු වූයේ නැත. ඒ ෆිදෙල් හා විප්ලවය විසින් ගොඩනගනලද මිනිසුන්ගේ අපූර්වත්වයය. සමාජවාදී ඇන්ගෝලාවට එල්ලවූ සුදු ආක්‍රමණයේදී ඇන්ගෝලාව රැක ගැනීමට කියුබානු ස්වේච්ඡා හමුදා එහි ගියේය. ඇන්ගෝලාව තෙල් සම්පත පිරි රටක් වුවත් කියුබානුවො එහි ගියේ තමන් රැගෙන ගිය හමුදා රථවලට අවශ්‍ය ඉන්ධන පවා නැවක පටවා ගෙනය. ඒ, ෆිදෙල් ගොඩනැගූ කියුබාවේ විශේෂත්වයය.

ෆිදෙල් ගැන ලිවීමට ලිපියක් ප්‍රමාණවත් වන්නේ නැත. එයට පොතක් වුව ප්‍රමාණවත් නැත. 88වැනි වියේ පසුවන ෆිදෙල් දැනුත් අදහස්වලින් තරුණ විප්ලවවාදියෙකි. ඔහු තවමත් ක්‍රියාකාරීත්වයෙන් තරුණය. ඔහු දැනුදු ලෝක දේශපාලනයේ දෛනික සිදුවීම් අධ්‍යයනය කරයි. ලිපි ලියයි. ලොවට මග පෙන්වයි. ඔහු අපරාජිත මිනිසෙකි. 1959 සිට එක්සත් ජනපදයේ ජනාධිපතිකම් කළ සියලු ජනාධිපතිවරු එක්කෝ ෆිදෙල් ඝාතනය කිරීමට උත්සාහ කළෝය. නැතිනම් ඔහු බලයෙන් පහ කිරීමට උත්සාහ කළෝය. එවැනි ජනාධිපතිවරු 10 දෙනෙක් සිය ධූරකාල නිමා කොට ‘දැවී’ යද්දීත් ෆිදෙල් තවමත් ‘නොදැවී’ සිටීම ආශ්වාදජනකය.

ෆිදෙල් ශාන්තුවරයෙක් නොවේ. ඔහු අපේ කාලයේ පරමාදර්ශී කොමියුනිස්ට්වාදියාය. ඔහු වරක් තමන් ගැන කීවේ මෙසේය. “මම මා පිළිබඳව ඉතාම දැඩියි. ස්වයං විවේචනාත්මකයි. ඔබ හැම විටම ඔබ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මම ප්‍රිය කරන්නෙ ක්‍රියාකාරිත්වය. මම කීර්තියට කැමති නැහැ. මා අතින් වැරදි සිදුවී තිබෙනවා. එහෙත් ඒ එකක්වත් උපායමාර්ගික වැරදි නොවෙයි. උපක්‍රමික වැරදියි.” ෆිදෙල් හොඳ කොමියුනිස්ට්වාදියෙක් හා මාක්ස්වාදියෙක් බව තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්ය. එහෙත් ඒ සියල්ලටම වඩා ඔහු ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසෙකි. ඔහුගේ සමස්ත ජීවිතයේ ක්‍රියාකාරිත්වය මගින්ම ඔහු 1953 කියූ කියමන සනාථ කර තිබේ. ඒ ‘ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත.’ යන්නය. සැබවින්ම ඉතිහාසය ඔහු නිදොස් කර තිබේ.

රෝමයේ වහල් පාලනයට එරෙහිව කැරලි ගැසූ ස්පාටකස් හා පිරිස රෝම පාලකයන් විසින් හඳුන්වනු ලැබූයේ ත්‍රස්තවාදීන්, හොරුන් හා මිනීමරුවන් ලෙසය. එහෙත් සැබෑ හොරුන් හා මිනීමරුවන් සිටියේ රෝම සෙනේටය තුළය. එවක් පටන් ගෙවුණු ඉතිහාසය පුරාම පංති සමාජය තුළ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් සටන් කළ සියලු දෙනා පාලකයින් විසින් හඳුන්වනු ලැබූයේ ත්‍රස්තවාදීන් ලෙසය. බැටිස්ටාට ෆිදෙල් ත්‍රස්තවාදියෙක් විය. එහෙත් ඔබ ඉන් නොසැලී සටන් කරන්නේනම්, අතරමග නොනැවතී, දණින් නොවැටී, විප්ලවවාදීන් ලෙස, ඉතිහාසයේ තීන්දුව ගැන විශ්වාසය තබා කටයුතු කරන්නේනම්, අවසානයේ ඔබ ජය ගන්නා බවත් ඉතිහාසය ඔබ නිදොස් කරන බවත් අපේ කාලයේදී අපට ඉගැන්වූයේ ෆිදෙල්ය. ෆිදෙල් සහෝදරයා, ඔබට ස්තුතියි.