විද්‍යාව බිහිවීමේ ඓතිහාසික පදනම

නියමුවා – 2019 ඔක්තෝබර්
December 10, 2019
නියමුවා – 2019 දෙසැම්බර්
December 12, 2019
Show all

විද්‍යාව බිහිවීමේ ඓතිහාසික පදනම

ඉතිහාසයේ කතාව…14

ලෝකයේ පංති සමාජය බිහිවීමෙන් පසු ඇරඹි පෞද්ගලික දේපළ පදනම් කර ගත් හා හුවමාරු වෙළඳපොළ පදනම් කර ගත් නිෂ්පාදන ක්‍රියාවලියත් සමග දර්ශනය හා සමගාමීව විද්‍යාවද වර්ධනය විය. විද්‍යාව හා තාක්ෂණය ඉතිහාසය තුළ වර්ධනය වූයේ එකිනෙක හා අතිනත ගනිමිනි. මිනිසා සිය නිෂ්පාදන වුවමනාවන් සඳහා සොබා දහම මෙල්ලකර එය තම පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීම වැඩිකිරීමත් සමග සොබා දහම ජය ගැනීමට මිනිසාගේ ඉන්ද්‍රියන් (දෑත් හා දෙපා) පමණක් ප්‍රමාණවත් නොවීය. මිනිසා යනු සත්ව ලෝකයේ ශරීර ශක්තිය අතින් දුර්වල සත්වයෙකි. ඔහුට විශාල බර උසුලාගෙන යාමට, වේගයෙන් දිගු දුරක් දිවීමට, දිගු දුරක් ජලයේ පිහිනීමට, අහසින් යාමට හැකියාව නොවීය. එහෙත් ඔහුට ඒ සියල්ල අතර චින්තන ශක්තිය ඇති තාර්කික ගුණය ඇති ඉන්ද්‍රිය වන මොළයක් තිබුණි. මේ තත්වය මත මිනිසා තම ශරීර ශක්තියේ හා හැකියාවේ සීමා අභිබවා ගියේ උපකරණ නිෂ්පාදනය කර ගැනීමෙනි. ඒ සඳහා තාක්ෂණය අවශ්‍ය වූ අතර විද්‍යාත්මක දැනුම ද අවශ්‍ය විය. එබැවින් අප ජීවත්වන සමාජයේ ඉතිහාසය සිට සොයාගත් විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික උපකරණ යනු හුදු පුද්ගල දක්ෂතා මත හෝ අහම්බ හේතු මත නිර්මාණය වූ දේවල් නොව ඒ ඒ මොහොතේ සමාජමය නිෂ්පාදනයේ අවශ්‍යතාවයට අනුව නිපදවන ලද දේවල්ය.

විද්‍යාවේ පදනම කුමක්ද?

විද්‍යාව යනු බාහිර බලවේගයක් විසින් මිනිසා වෙත ලබා දුන් දෙයක් නොවේ. විද්‍යාත්මක දැනුම බිහිවූයේ මිනිසාගේ මොළයේ රසායනික ක්‍රියාකාරිත්වය මතය. ඔහුගේ චින්තනය තුළය. ඒ සඳහා පදනම සකස් වූයේ අහම්බ සිදුවීම් නොව නිෂ්පාදන ක්‍රියාවලියේ අවශ්‍යතාවයන්ය. එබැවින් විද්‍යාවේ පදනම නිෂ්පාදනය වේ. නිෂ්පාදනය සඳහා, හුවමාරුව හා විදෙස් වෙළඳම සඳහා ඔහුට සොබා දහමේ අභියෝග රැසක් ජය ගත යුතු විය. විද්‍යාව හා තාක්ෂණික උපකරණ ඒ සඳහා මිනිසාට සහාය විය. මිනිසා තුළ විද්‍යාව නිර්මාණය වූයේ ඒ අනුවය.

පන්ති සමාජයට පෙර ප්‍රාථමික සමාජයේදී පවා විද්‍යාත්මක දැනුමේ මූලධර්ම මිනිසා නිෂ්පාදනයට යොදා ගත් අතර එලෙස යොදා ගත්තේ විද්‍යාත්මක අවබෝධ කර ගැනීමට වඩා ප්‍රායෝගික

අත්දැකීම තුළය. ප්‍රාථමික සමාජයේ මිනිසා නිපදවූ දුන්න හා ඊතලය දියණු උපකරණයක්, අවියක් විය. එහි ක්‍රියාකාරී මූලධර්මය වූයේ චලිතය හා ක්‍රියා හා ප්‍රතික්‍රියාය. සෑම ක්‍රියාවකටම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බවත් පිටතින් බලයක් යෙදූවිට යම් වස්තුවක් චලනය කළ හැකි බවත් පසුකලෙක විද්‍යාත්මකව නිව්ටන් විසින් හෙළි කළද එම විද්‍යාව නොදැන පවා ඊට අනුව උපකරණ බිහිකර ගැනීම මිනිසා විසින් සිදුකර තිබුණි. ඒ, නිෂ්පාදනයේ අවශ්‍යතාවයන්ට අනුවය.

කෙසේ වෙතත් විද්‍යාව දැනුමක් ලෙස බිහිවී වර්ධනය වූයේ පන්ති සමාජය ඇරඹීමෙන් පසුවය. හුවමාරුව සඳහාත්, පසුව වෙළඳාම සඳහාත් වැඩි නිෂ්පාදනයක් අවශ්‍ය වීමත්, මිනිසාගේ අවශ්‍යතා පුළුල් වීමත් සමග ඒවා ඉටුකර ගැනීමේදී සොබා දහමේ ක්‍රියාකාරිත්වයේ රහස් හෙවත් සැබෑ හේතු සොයා ගැනීම අත්‍යාවශ්‍ය වූ අතර විද්‍යාව විසින් එය ඉටුකරන ලදී.

විද්‍යාවේ පළමු සොයා ගැනීම්

විද්‍යාව හා විද්‍යාත්මක උපකරණවල සොයා ගැනීම් පරීක්ෂණය ක්‍රියාවලියක් ලෙස වර්ධනය වෙමින් තිබේ. ඒවා සරල ප්‍රාථමික අවස්ථාවේ සිට සංකීර්ණ දියුණු අවස්ථා දක්වා වර්ධනය වෙමින් පවතින අතර ඉදිරියටද වර්ධනය වේ. උදාහරණ ලෙස ගත් විට 17වැනි සියවසේ බිහිවූ නිව්ටෝනියානු භෞතිකවාදය පසුව අයිස්ටයින් විසින් වර්ධනය කළ අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

විද්‍යාත්මක දියුණුවේ සොයා ගැනීම්වලට අමතරව තාක්ෂණය හා උපකරණ බිහිවීමද ඉතිහාසය තුළ අපූර්ව නිමාවකි. ලෝකයේ ගොඩබිම ගමනාගමනයට අත්‍යාවශ්‍යම උපරකරණයක් හෙවත් මෙවලමක්ව පවතින ’රෝදය’ මිනිසාගේ විශිෂ්ට සොයා ගැනීමකි. ඈත අතීතයේ සිට භාණ්ඩ ප්‍රවාහනය හා මිනිසුන් ප්‍රවාහනය වේගවත් කිරීමේදී විශේෂයෙන්ම නූතන ඉතාම වේගවත් හා දියුණු ප්‍රවාහනයේ පරිණාමය වෙමින් ආ මෙවලම වූයේ රෝදයයි. රෝදය සොයා ගැනීම එකල විප්ලවීය සොයාගැනීමක් විය.

සමාන්‍යයෙන් රෝදය නිර්මාණය කර ගැනීමේ ගෞරවය හිමිවන්නේ ක්‍රි.පූ. 5000 – 6000 අතර කාලයේ පැවති මෙසපොටේමියානු (ඉරාන – ඉරාක) ශිෂ්ටාචාරයටය. විශාල ඉදිකිරීම් සඳහා බර වස්තුන් (ගල්, ලී කඳන්) ගෙනයාමේදී මතු වූ දුෂ්කරතාවය ජය ගැනීම සඳහා නිපදවා ගත් මෙවලම වූයේ රෝදයයි. එය අද දක්වාම විකාශනය වෙමින් පැවත එන අතර එහි හැඩය වර්ගය කුමක් වුවත් එය රෝදයක් ලෙස පැවතීම විසින් රෝදයේ වැදගත්කම පැහැදිලි වේ.

අඳුරු සමයේ විද්‍යාව

විද්‍යාව හා විද්‍යාත්මක උපකරණ විප්ලවීය ලෙස වර්ධනය වූයේ ධනවාදයේ බිහිවීමත් සමගය. එහෙත් ඉන් අදහස් වන්නේ ඊට පෙර විද්‍යාවක් නොතිබුණ බව නොවේ. එහෙත් යුරෝපයේදී ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට පත්වීමෙන් පසු ඇරඹි අඳුරු යුගයේදී එනම් ක්‍රි.ව. 400 සිට 1400 දක්වා කාලයේදී විද්‍යාවට ලබා තිබුණේ නරක දසාවකි. ඒ, නව විද්‍යාත්මක සොයා ගැනීම් බයිබලයේ උගැන්වීම් සමග ගැටුණු විට එම විද්‍යාත්මක සොයා ගැනීම් ප්‍රතික්ෂේප කිරීමට හා විද්‍යාඥයන් පුළුස්සා මරා දැමීමට කතෝලික සභාව කටයුතු කළ නිසාය. 1474දී සූර්ය කේන්ද්‍රවාදය ඇතුළු විද්‍යාත්මක සොයා ගැනීම් රැසක් සිදු කළ නිකලස් කොපර්නිකස්ට පල්ලිය හරස් වූ අතර එම දැනුම යළි තහවුරු කිරීමට උත්සාහ කළ බෲනෝ පුළුස්සා මරා දැමීම සිදුවිය. එහෙත් මේ අතරම තාරකා විද්‍යාව විශ්වයේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මක සොයා ගැනීම් බාධා මැද සිදුවිය. කෙසේ වෙතත් මේ යුගය විද්‍යාවට අගුල් දැමූ යුගයක් විය.

ධනවාදය හා විද්‍යාවේ විප්ලවය

විද්‍යාවේ ශීඝ්‍ර වර්ධනය හා විප්ලවීය සොයා ගැනීම් ඇතිවීම සිදුවන්නේ සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය බිහිවීමත් සමගය. ධනවාදය බිහිවූයේ ලාභය මුල්කරගෙන වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය පදනම් කර ගනිමිනි. එහිදී ලෝකයේ වෙළඳපොළ සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක්ද එම නිෂ්පාදනය සඳහා ලොව පුරා අමුද්‍රව්‍ය සොයා යාමේ අවශ්‍යතාවයක්ද මහා පරිමාණ නිෂ්පාදනය සඳහා උපකරණවල හා බලශක්තියේ අවශ්‍යතාව මතු විය. එම ධනවාදී නිෂ්පාදනයේ වුවමනා සැපිරීම සඳහා ගත් උත්සාහයේදී විද්‍යාවත් තාක්ෂණය හා උපකරණත් වර්ධනය විය.

එංගලන්තය පදනම් කර ගනිමින් 1770 ගණන්වල බිහිවූ පළමු කාර්මික විප්ලවය මීට නිදසුනකි. පළමු කාර්මික විප්ලවයේ විප්ලවීය සොයා ගැනීම වූයේ වාෂ්ප බලය බලශක්තියක් ලෙස යොදා ගැනීමය. 1776දී ජේම්ස් වොට් නිපදවූ වාෂ්ප ඇන්ජිම එහි ප්‍රතිඵලය විය. මේ වන විට 1687 කාලයේ නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය සොයාගෙන තිබුණි. එම දැනුමද පළමුවැනි කාර්මික විප්ලවයට දායක විය. ඉන්පසු කාර්මික ක්ෂේත්‍රයේ හා විද්‍යාවේ විප්ලවීය පිමි කීපයක් සිදු විය. ඒ සියල්ලේම පදනම වූයේ නිෂ්පාදනයේ අභියෝගවලට මුහුණදීම සඳහා ගත් උත්සාහයන්ය.

පාසල් අධ්‍යාපනයේදී සමහර විද්‍යාත්මක සොයා ගැනීම් පුද්ගල කේන්ද්‍ර හා අහම්බීය දේ ලෙස උගැන්වීම නිවැරදි නොවේ. උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම නිව්ටන්ගේ හිසමතට ඇපල් ගෙඩියක් වැටීම ලෙසට හෝ වාෂ්පබලය සොයා ගැනීම කේතලයේ පියන සෙලවීමේ හේතුව ලෙසට හෝ ඌණනය කිරීම වැරදිය. සැබැවින්ම මෙම සියලු විද්‍යාත්මක සොයාගැනීම්වල පදනම හා හේතුව වූයේ නිෂ්පාදන ක්‍රියාවලියය. ඉතිහාසය භෞතිකවාදී ලෙස අධ්‍යයනය කළ යුත්තේ මේ නිසාය.