රජය ව්‍යාප්ත වීමේ ඉතිහාසය

August - Niyamuwa
නියමුවා – 2019 ජූූූලි
August 8, 2019
rsz_f1large
දර්ශනයේ හා විද්‍යාවේ ඉතිහාසය
September 4, 2019
Show all

රජය ව්‍යාප්ත වීමේ ඉතිහාසය

rsz_1greek

ඉතිහාසයේ කතාව…12

පැරණි ප්‍රාථමික සාමූහික ක්‍රමය බිඳවැටී, ලොව පුරා එක රැයකින් රජය බිහිවූයේ නැත. සමාජ සංවර්ධනය යනු එවැන්නක් නොවේ. නැතිනම් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයක් විසින් එක් රැයකින් රජය මැව්වේද නැත. හැමවිටකම නැතිනම් බොහෝවිට සිදුවන්නාක්මෙන් රජය බිහිවූයේ සමාජ සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටි ගෝත්‍රික කණ්ඩායම් තුළිනි. ඉන්පසු සිදුවූයේ පෞද්ගලික දේපළ අත්පත්කර ගැනීම සඳහා එම ‘රජය’ බලහත්කාරය යොදා ගම්බිම් ආක්‍රමණය කරමින් හෝ පැතිරී යමින් තැනින් තැනට ව්‍යාප්ත වීමය. රජයේ ව්‍යාප්තිය කොතරම් සංකීර්ණද යත් රජය බිහිවී සියවස් ගණනාවක් ගතව තිබියදීත් තවමත් ‘රජය’ නැමති යාන්ත්‍රණය එහි හරයෙන් ක්‍රියාත්මක නොවන ගෝත්‍රික ජන කණ්ඩායම් රැසක් ලොව පුරා සිටී. ඇමරිකානු මහාද්වීපයේ ඇමසන් වනාන්තරය තුළ, ආසියාවට අයත් නිව්ගිනියා දූපත්වල තවමත් රජයේ ව්‍යාප්තියට හසු නොවූ හා රජය බිහිකර නොගත් ගෝත්‍ර සිටීම මීට උදාහරණ වේ.
ලංකාවේ ලිඛිත හා නිල ඉතිහාසයට අනුව ගත්විට ලංකාවේ රජයේ බිහිවීම ආරම්භ වන්නේ ක්‍රි.පූ. 06වැනි සියවසේ ඉන්දියාවේ සිට මෙහි පැමිණි ඉන්දු යුරෝපීයයන් ගෙනි. පුරාවිද්‍යාත්මක සාධක අනුව ඒ වන විටත් ලංකාව තුළ පැවති ජනාවාසකරණ තුළ රජය බිහිවීමේ ලක්ෂණ පහළ වී තිබෙන්නට ඇති වූවද නිශ්චිත ලෙස රජය (රජු) අපට හමුවන්නේ ‘විජයගේ පැමිණීම’ ලෙස ඉතිහාසගතව ඇති ඉන්දු යුරෝපීයන්ගේ පැමිණීම සමගය. අපේ රටේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේද ඒ සමගය.

විනාශය මත ගොඩනැගීම

ලෝක ඉතිහාසය දෙස බලන විට රජයේ ව්‍යාප්තිය යනු බලහත්කාරී හා විනාශකාරී ක්‍රියාදාමක් බව පෙනේ. පෞද්ගලික දේපළ ඇතිවීමත්, නැතිනම් දේපළ පෞද්ගලිකව අත්පත් කරගැනීමේ හැකියාව ඇතිවී එසේ අත්පත් කරගැනීමත් සමග පෞද්ගලික දේපළ මිනිසාගේ චින්තනය තුළ මහා විපර්යාසයක් කළ බව පෙනේ. එතෙක් පැවති සාමූහික චින්තනය වෙනුවට, බෙදාහදාගෙන කෑමේ සමාජ සම්ප්‍රදාය වෙනුවට, කිසිවකු පීඩාවට පත් නොකිරීමේ සම්ප්‍රදාය වෙනුවට දේපළ සඳහා සියල්ලන් පීඩාවට පත්කොට යටපත් කරගැනීමේ උන්නතිකාමී අභිලාෂය මතුවිය.
පෞද්ගලික දේපල මිනිසාගේ ආශාවන් උද්දීපනය කළ අතර තව තවත් දේපළ ගොඩ ගැසීමට ඔහු පෙළඹවීය. එහිදී දේපළ කොල්ලකමින් ගොඩගැසීම සඳහා බලය අවශ්‍ය විය. එසේම බලය පවත්වාගැනීම සඳහා දේපළ අවශ්‍ය විය. එනම් ධනය සඳහා බලය යෙදවීම හා බලය සඳහා ධනය යෙදවීම සිදුකෙරිණි. අසල්වැසි ගෝත්‍ර යටපත් කරමින් භූමිභාග අත්පත්කර ගනිමින් එහි දේපළ කොල්ලකමින් ‘රජය’ නැවුම් භූමි කරා ව්‍යාප්ත විය. විටෙක එය ආක්‍රමණකාරී යුද්ධවලින් පිරුණ ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් වූ අතර තවත් විටෙක ප්‍රචණ්ඩත්වය මතුපිටට නොපෙනෙන එහෙත් බලය යොදා කරන ක්‍රියාවලියක් විය. දුර්වල ගෝත්‍ර හා ජනාවාස ප්‍රබලයින් ඉදිරියේ කිසිදු විරෝධයකින් තොරවම යටත් වූ අවස්ථා බොහෝ තිබිණි. ඕස්ටේ‍රලියාවේ ආදිවාසී අබොර්ජින්වරුන් විනාශකරමින් එහි රජය බිහිකරන ලද්දේ බි්‍රතාන්‍ය ප්‍රමුඛ යුරෝපා ජාතීන් විසිනි. ඒ 18වැනි සියවස තරම් මෑතදීය. එසේම ඇමරිකානු මහාද්වීපයේ ජීවත්වූ රතු ඉන්දියානු ගෝත්‍රික ජනයා ඔවුන්ගේ ගම්බිම්වලින් පලවා හරිමින්, ශිෂ්ටාචාර විනාශකරමින් මහා මිනිස් ඝාතන මගින් ඇමරිකාවේ වත්මන් රජය ගොඩනගනු ලැබුවේ යුරෝපියන් විසිනි. රාජ්‍ය ගොඩනැගීම පිටුපස ඇත්තේ මහා ජන විනාශයක කථාවක් බව ඉන් පැහැදිලිවේ.

 

රජයේ වෙනස්කම්

රජය හැමතැනම සමාන ලෙස එකවිට බිහි නොවුණා සේම එක් එක් භූගෝලීය කලාප තුළ බිහිවූ රජයේ හැඩහුරුකම්ද වෙනස්කම් සහිත විය. ග්‍රීසිය හා පසුව රෝමය පදනම්කරගත් යුරෝපයේ රජය ආරම්භයේදී එක් අතකින් වහල් හිමි රජය වූ අතර ඒ සමගම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නගමින් රාජ්‍ය ආකෘතියක් වූ ප්‍රජාතන්ත්‍රවාදයට පදනමද දැමීය. ආසියාවේ රජය ආරම්භයේදී ඉන්දියාවේ සමහර තැන්වල හා ලංකාවේද ආසියාතික ක්‍රමයේ රජයක් (වහල් හිමි රජයට හෝ වැඩවසම් රජයට වෙනස්) බිහිවූ අතර චීනය, ජපානය වැනි භූමි කලාපවල වහල් හිමිකම හා වැඩවසම් ලක්ෂණ මිශ්‍ර ස්වරූපයක් රජය තුළ දක්නට ලැබිණි. කෙසේ වෙතත් හරයෙන් ගත් විට අප මීට කලින්ද සඳහන් කළ පරිදි රාජ්‍ය වර්ග කිහිපයක් ඉතිහාසයේ දැකිය හැකි විය. එහිදී ආරම්භක රාජ්‍ය වර්ගය වූයේ වහල්හිමි රජය හෝ ආසියාවේදි ආසියාතික ක්‍රමය වේ. ඉන්පසු වැඩවසම් රාජ්‍ය හා ධනවාදී රජය හා අවසානයේ සමාජවාදී රාජ්‍යයද ඉතිහාසය තුළ බිහිවී තිබේ.

රජය හා ඉතිහාසය

ලෝකයේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ බොහෝවිට රජය බිහිවීමත් සමගය. ඉතිහාසය ලියූ හෝ ඒ සඳහා මූලාශ්‍ර සකස් කළ බොහෝදෙනා එක්කෝ රාජ්‍ය අනුග්‍රහය ලැබූ ආගමික නායකයෝ වූහ. නැතිනම් එකල රාජ්‍ය අනුග්‍රහය ලැබූ ලේඛන ගතකරන්නෝ වූහ. ඒ නිසාම ලෝකයේ ලිඛිත ඉතිහාසය යනු බොහෝ විට රාජ්‍යය විසින් නැතිනම් පාලකයන් විසින් ලියන ලද්දක් විය. එම ඉතිහාසය තුළ ඉතිහාසයේ සැබෑ නිර්මාණකරුවන් වන වැඩකරන ජනයා නොසලකා හැර රජුන්, ප්‍රභූන්, වීරවරුන් ඉතිහාසය නිර්මාණය කරන්නන් බවට අර්ථකථනය කර තිබේ. ඒ නිසාම දැනට ලොව පවතින නිල ඉතිහාස කථා බොහෝ විට වැරදි හා ප්‍රබන්ධ කරන ලද ඒවා වේ.
කෙසේවෙතත් රජය බිහිවීමත් සමග පෞද්ගලික දේපළ වර්ධනය කරගැනීමේ වුවමනාවත් සමග වඩ වඩාත් වැඩියෙන් නිෂ්පාදනය කිරීමේ වුවමනාත් සමග සමාජ සංවර්ධනයට එක් අතකින් ගතිකත්වයක් ලැබිණි. හරියටම කියන්නේ නම් පෞද්ගලික දේපළ හා රජය ඉතිහාසයේ ගමන වේගවත් කරමින් ඊට ගතිකත්වයක් ලබා දෙන ලදී. එය රජය බිහිවීමෙන් සමාජ සංවර්ධනයට ලැබුණු වාසිය විය. එහෙත් ඒ අතරම ඉතිහාසය තුළ එම ගතිකත්වය රජය විසින් ඇතිකරනු ලැබුවේ ඉතාම අමානුෂිය ලෙස දේපළ අහිමි විශාල ජනතාවක් නිර්මාණය කරමින් ඔවුන් පාගා පීඩාවට ලක්කරමින් හා විවිද ආක්‍රමණ මගින් මහා මිනිස් ඝාතනයන්ට මග පාදමිනි. රජය බිහිවීමත් සමග යුද්ධද බිහිවිය. රටවල් ආක්‍රමණය කිරීම ඉතිහාසයේ මුල් වකවානුවේ සුලබ දේ විය. ඒ අතර රජය තුළ ඉතිහාසය ඉදිරියට ගියේ මහා මිනිස් ඝාතන, ලේ වැගිරීම්, ආක්‍රමණ, යටත්කිරිම් හා පීඩාවන් මගිනි.

වීරකථා ඉතිහාසය

අපට ඉතිහාසයේ හමුවන වීරකථා බොහොමයක්ම ලේ වැකි ආක්‍රමණ වීරත්වයට නැංවූ කථා විය. ග්‍රීසියේ ඇතැන්ස්, ස්පාටා වැනි පෞර රාජ්‍යයන් විසින් ගෙන ගිය යුද්ධ පදනම් කරගත් හෝමර්ගේ ‘ඉලියඞ්’ හා ‘ඔඩෙසි’ නම් වීර කාව්‍ය තුළත්, ඉන්දියාවේ ‘මහා භාරතය’ ‘රාමායනය’ වැනි වීර කාව්‍ය තුළත් වීරත්වයට යටින් ඇත්තේ ආක්‍රමණ, ඝාතන හා ලේ වැගිරීම්ය. ඒ අනුව රජය බිහිවීමෙන් පසු අප දකින්නේ, එම රජයේ ක්‍රියාවන් සාධාරණය කරමින් රජය උත්කර්ෂයට නංවමින් හා ඊට වීරත්වයක් ආරෝපණය කරමින් ඉතිහාසය ලියනු ලැබූ බව හා ඊට සමගාමීව සාහිත්‍යයක්ද බිහිවූ බවය.
ඉතිහාසය යනු වියුක්ත දෙයක් නොවේ. එය රජය, දේශපාලනය, කලාව, විද්‍යාව, දර්ශනය, තාක්ෂණය වැනි සියලු විෂයන් ඒකාබද්ධ කරගනිමින් වර්ධනයක් වූවක් විය. එබැවින් ඉතිහාසය සංයුක්තව වටහාගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුව ඇත.

විමර්ශන