නූතන පවුල හා පෞද්ගලික දේපළ

rsz_1econ
වසර මැද ආර්ථිකය හා රට වටකරන අර්බුදය
September 4, 2019
Show all

නූතන පවුල හා පෞද්ගලික දේපළ

57647a0cd69ca9f13ae5237c1866356d

ඉතිහාසයේ කතාව – 10

නූතන පවුල, පළමු පංති සමාජයේ සිට මේ දක්වා සමාජ ක්‍රම කිහිපයක් පසුකරමින් වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමිකව පරිණාමය වෙමින් ආ එකකි. කාලයත් සමග, ඒ ඒ සමාජ ක්‍රමවල පැවති දේපළ සබඳතා අනුව හා ඊටම අදාළ සිරිත් විරිත්වලට අනුව පවුලේ කුමන වෙනස්කම් සිදුවුවත් එහි පදනමේ ප්‍රධාන සාධකයන් කිහිපයක් නොවෙනස්ව පවතී. ඉන් ප්‍රධාන සාධක වන්නේ, එක් අතකින් මෙම නූතන පවුල පෞද්ගලික දේපළ මත පදනම්ව තිබීමත් නූතන පවුල තුළ පුරුෂ ආධිපත්‍යය හා ස්ත්‍රිය දෙවැනි පංතියේ පුරවැසියෙක් බවට පත්කර තිබීමත්ය. ඒ නිසාම වර්තමාන පවුල තුළ ‘ආදරය’, ‘සමගිය’, ‘ආධ්‍යාත්මික බැඳීම’ වැනි සංකල්ප හා මනෝභාවයන් කොතෙක් තිබුණද ඊට යටින් ප්‍රබල ප්‍රතිවිරෝධයක්ද තිබේ. ආදරය වැනි මනෝභාවයන් බිඳ වට්ටමින් නිතර පවුල තුළ මතුවන එම ප්‍රතිවිරෝධයේ පදනමද සකසන්නේ පෞද්ගලික දේපළ හා පුරුෂ ආධිපත්‍යයයේ බලපෑමය.

පවුලේ අර්බුදය  කොතැනද

මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළ පරිදි ප්‍රාථමික පවුලේ විකාශනය තුළ එය අවිචාරවත් ලිංගික සබඳතාවල සිට ලිංගිකත්වය ක්‍රමයෙන් පටුවෙමින් දෙදෙනෙක් එක්ව වාසය කරන ‘යුගලන පවුල’ දක්වා පරිණාමය වෙමින් තිබිණි. එම වෙනස්කම් සඳහා බලපෑවේ දේපළමය සාධක නොව සමාජ විද්‍යාත්මක සාධකය. එම නිසා එකී වෙනස්වීම් ස්වභාවික විය. එහෙත් සමාජය තුළ දේපළ අවශ්‍යතා මත පෞද්ගලික දේපළ පදනම් කරගත් සමාජයක් බිහිවීමත් සමග එම සමාජයේ දේපළ සබඳතාවයන්ගේ වුවමනාව විසින් වත්මන් පවුල නිර්මාණය කරන ලදී. එවිට එය ස්වභාවික ජීවවිද්‍යාත්මක හෝ සමාජවිද්‍යාත්මක හේතු මත නොව එම සාධක යටපත් කළ දේපළ සාධකයන් මත බිහි වූවක් නිසා, ඒ තුළ ප්‍රතිවිරෝධයන් රැසක්ද ඇති විය. නූතන පවුලේදී මෑතක් වනතුරුම පවුල සඳහා දෙදෙනෙක් එකතු කිරීමේ ප්‍රධාන සාධකය වූයේ ‘ආදරය’ නොව දේපළ, වත්කම, තත්වය, ජාතිය, කුලය, වැනි සාධකයන්ය. අද පවා මෙම සාධක පවුලේ පැවැත්මට විශාල බලපෑමක් සිදුකරමින් සිටී. එබැවින් පවුල පෞද්ගලික දේපළ මත පදනම්ව පවතිනතාක් හා ඒ තුළ ස්ත්‍රියට එරෙහිව පුරුෂයාගේ ආධිපත්‍යය පවත්නාතාක් කල් සහ කාන්තාව ගේදොර පෞද්ගලික කටයුතුවලින් මුදා සමාජමය කාර්යයන්ට දායකවනතාක් හා ඒ සඳහා ගෘහස්ථ පෞද්ගලික කටයුතු සමාජමය කර්මාන්තයක් බවට පත්වෙන තෙක් මෙම ප්‍රතිවිරෝධය පවතිනු ඇත.

පවුල හා ආදරය

වර්තමාන සමාජයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වය අතර ‘ආදරය’ නම් මනෝභාවයක් තිබේ. එය නිශ්චිතව හඳුනාගන්නේ නම් පෞද්ගලික ලිංගික ආලය නමැති මානසික හැඟීම ඇතිවී තිබේ. සමාජය තුළ මෙම පෞද්ගලික ලිංගික කැමැත්ත නිර්මාණය වීම ආරම්භ වූයේ ප්‍රාථමික සාමූහික සමාජයේ අවසාන කාලයේ යුගලන පවුල බිහිවන අවධියේය. ඉන්පසු පංති සමාජය තුළ බිහිකළ වත්මන් පවුල තුළද ‘ආදරය’ ඇතිවිය. ආදරය නමැති බැඳීම ඇතිවී පසුව එය විවාහය මඟින් පවුල දක්වා ගමන් කළ අවස්ථාවලට වඩා ඉතිහාසය පුරාම දැකිය හැක්කේ දේපළ සාධක මත පවුල බිහිකොට පසුව එකිනෙකාට  ආදරයෙන් සිටීමට සිදුවූ අවස්ථාය. කෙසේ වුවත් සමාජය තුළ පවුලේ පරිණාමයෙදී ලිංගික ආලය හෙවත් ආදරය නම් මනෝභාවය ඇතිවීම සාධනීය ලක්ෂණයකි.

අතීත පංති  සමාජ ක්‍රමවලදී මෙන්ම බොහෝ විට වර්මානයේදීද ප්‍රභූ පංතියේ හා දේපළ හිමි පංතිවලදී විවාහයන් සිදුකරනු ලැබුයේ දෙමාපියන්ගේ මැදිහත්වීම මතය. එහිදී සැලකූ ප්‍රධානතම සාධක වූයේ දේපළ තත්වය හා කුලයයි. මෙයට වඩා වෙනස් තත්වයන් බොහෝ විට පැවතුණේ නිර්ධන පංති හෝ පීඩිත පවුල්වලය. යුරෝපයේ මධ්‍යතන යුගයේදී පල්ලියේ බලපෑම මත එක්තරා කාලයක් ප්‍රේම සබඳතා මත විවාහවීම වැරැද්දක් ලෙසද සලකා තිබුණි. එහෙත් විවාහ වන දෙදෙනාට පල්ලිය බලකර තිබුණේ එකිනෙකා සමග ප්‍රේමයෙන් සිටින ලෙසය. මේ තත්වය පැහැදිලි කරන එංගල්ස් එහිදී මෙවැනි තර්කයන් මතුකළේය. එනම් ‘විවාහ වූ අයගේ පරම යුතුකම එකිනෙකාට ආදරය කිරීම නම්, ආදරවන්තයන්ගේ පරම යුතුකම එකිනෙකා සමග විවාහවීම නොවේද? ’ යනුවෙනි.

පවුල හා සදාචාරය

නූතන පවුලේ සදාචාරය ලෙස සමාජයේ  සම්මතයට ලක්ව ඇත්තේ කුමක්ද? ඒ පවුලේ දෙදෙනා එකිනෙකාට ආදරය කිරීමත් එකිනෙකා සමග පමණක් ජීවත්වීමත්ය. එහෙත් පළමු පංති සමාජය වූ වහල් ක්‍රමයේ සිටම විවාහයට පිටින් පවතින ලිංගික සබඳතා විශාල එකක් විය. අනියම් සබඳතා, ගණිකා වෘත්තිය නූතන පවුල සමග අත්වැල් බැඳගත් ගැටලු බවට පත්ව තිබේ. එයට හේතුව පවුල තුළ බොහෝ විට සැබෑ ආදරය නොපැවතීමත් පවුල තුළ වන ප්‍රතිවිරෝධය විවාහ ස්ත්‍රිය හා පිරිමියා යන දෙදෙනාම අතෘප්තියට පත්ව වෙනත් සබඳතා සඳහා යොමුවීමේ ඉඩ පැවතීමත්ය.

අනෙක් අතට දේපළ අවශ්‍යතා මත එනම් තම දේපළ තම දරුවන්ට පමණක් උරුමකර දීමේ වුවමනාව මත පවුල බිහිවුවද රජවරු, ප්‍රභූවරු, දේපළ හිමියන් හා සමාජයේ බලයන් අත්පත් කරගත් අය එක් ගැහැනියක් හා එක් පිරිමියෙක් අතර සම්බන්ධය යන සීමාව රැකෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු අතීතයේ පැවති පුළුල් කවයක් හා ලිංගික සබඳතා පැවැත්වීමේ ස්වභාවය වෙනත් ආකාරයකින් පවත්වා ගත්තෝය. රජවරුන් සතුව අන්තඃපුරයක් නිර්මාණය කර ගැනීමත් සමහර රටවල ප්‍රභූවරුන් බිරින්දෑවරු කීපදෙනෙක් ගෙන ඒමේ නෛතික හා සදාචාරමය අයිතිය ලබා ගැනීමත් ගණිකා වෘත්තිය නීතිගතව පවත්වාගෙන යාමත් ඊට නිදසුන්ය. පුරාණ වැඩවසම් චීනය තුළ ප්‍රභූවරුන්ට බිරියන් පහක් හෝ හයක් තබාගත හැකි වූ අතර බොහෝ විට ඔවුන් එම බිරියන් ලබා ගත්තේ දෙමාපියන්ට මුදල් ගෙවීමෙන් හෝ තමන්ට ලැබීමට ඇති ණයවලට හිලව් වශයෙනි. වර්තමානයේ පවා මුස්ලිම් සමාජය තුළ තමන් සතු දේපළ ප්‍රමාණය අනුව බිරින්දෑවරු කීපදෙනෙක් තබා ගැනීමේ අයිතිය පවතී. ඉන් පැහැදිලි වන්නේ පෞද්ගලික දේපළ අවශ්‍යතා මත ගොඩනැගනු ලැබූ පවුල ඔවුනටම පවත්වාගෙන ඒමට නොහැකිවීමකි.

පවුලේ විකාශනය ඉතිහාසය තුළ අධ්‍යයනය කළ යුත්තේ, ‘නූතන පවුල ඓතිහාසිකව මෙලෙසම පැවතුණේය’, යනුවෙන් වන ඉගැන්වීමේ ඇති අසත්‍යය තේරුම් ගැනීම සඳහාය. පවුල යනු ඉතිහාසය තුළ දෙවියන්ගේ නිර්මාණයක් නොවේ. එසේම පවුල සහ සමාජය බිහිවූ දා සිටම මෙලෙස පවතින්නක්ද නොවේ. පවුල යනු සමාජ පරිණාමයේදී ලිංගික අවශ්‍යතා සඳහා වර්ගයා බෝකිරීමේ ජීවවිද්‍යාත්මක අවශ්‍යතා සඳහා ගැහැනුන් හා පිරිමින් අතර ඇතිවූ සම්බන්ධතාවයන්ගේ පරිණාමයේ ඵලයකි. මෙහි විශේෂය වනුයේ නූතන පවුල පංති සමාජය සමග පෞද්ගලික දේපළමය වුවමනාවක් මත බිහිවූවක් වීමත් ඒ නිසාම එය තුළ ප්‍රතිවිරෝධයන් හා ගැටලු රැසක් පැවතීමත්ය. සමහරවිට පවුල ‘හිරගෙයක්’ බවට පත්වීම සමාජය තුළ බොහෝවිට දැකිය හැකිය. ඒ නිසාම  සමාජ පරිණාමයේදී පංති හා පෞද්ගලික දේපළ වෙනස් කරනු ලබන සමාජවාදී සමාජයකදී පවුලේ වත්මන් ධනපති දේපළ ස්වභාවයද වෙනස් වී පවුලේ සැබෑ අර්ථය හා බැඳීම පමණක් ඉතිරි වන තත්වයක් නිර්මාණය වනු ඇත. ඒ තාක් පවුලේ මේ අර්බුදයන් සහිතව පවතිනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ නූතන පවුල සමහරුන් හඳුන්වන පරිදි සදාචාරයේ ප්‍රතිමූර්තිය නොවන බවත් එය ‘ශුද්ධවූ පවුලක්’ නොවන බවත්ය.