දර්ශනයේ හා විද්‍යාවේ ඉතිහාසය

rsz_1greek
රජය ව්‍යාප්ත වීමේ ඉතිහාසය
September 2, 2019
rsz_1econ
වසර මැද ආර්ථිකය හා රට වටකරන අර්බුදය
September 4, 2019
Show all

දර්ශනයේ හා විද්‍යාවේ ඉතිහාසය

rsz_f1large

ඉතිහාසයේ කතාව…13

වර්තමානයේ අප අතර පවතින බොහෝ ක්ෂේත්‍රයන් එනම් රජය, දේශපාලනය, දර්ශනය, විද්‍යාව, කලාව, ආගම ආදී සියලුම විෂය ක්ෂේත්‍රයන් හා මිනිස් නිර්මාණ ඉතිහාසය තුළ බිහිවී වර්ධනය වූයේ එකිනෙකින් වියුක්තව හෝ අහම්බීය ලෙස නොවේ. සියලු දේ මානව සමාජයේ පොදු ගමන්මඟ තුළ, නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයට අනුව සංයුක්ත ක්‍රියාවලියක කොටස් ලෙස වර්ධනය වූ ඒවාය. එබැවින් ඉතිහාසයේ සෑම සිදුවීමක්ම, සෑම නිර්මාණයක්ම, සෑම සොයා ගැනීමක්ම, සෑම දාර්ශනික සංකල්පයක්ම විෂය මූලික තත්වයක් තුළ, සංයුක්ත ක්‍රියාවලියක් තුළ සිදුවූ දේවල්ය. අප ඉතිහාසයේ වෙනස් වෙනස් සිදුවීම් හා ක්ෂේත්‍ර එකම සංයුක්ත තලකය තබා කථාකරන්නේ ඒ නිසාය.

ඉතිහාසය තුළ රජය හා දේශපාලනය, ආගම බිහිවූවක් මෙන්ම දර්ශනයට හා විද්‍යාවටද ඉතිහාසයක් තිබේ. ඒවාද හුදු පුද්ගල දක්ෂතා හෝ අහම්බ නොව සමාජ සංවර්ධනයට අනුරූපීව සිදුවූ දේවල්ය.

දර්ශනයේ පැන නැගීම

මානව සමාජය තුළ පළමු පංති සමාජය බිහිවීමට පෙර මිනිසුන් තුළ අදහස්, සංකල්ප හා මත තිබුණද දර්ශනය නමින් වූ දැනුමේ ක්ෂේත්‍රයක් අපට හමුවන්නේ නැත. ඊට හේතුව මීට පෙරද අප විසින් පැහැදිලි කරනු ලැබ තිබේ. දර්ශනය බිහිවන්නේ ලෝකයේ බිහිවීම, පරිසරයේ ස්වභාවය හා පැවැත්ම පිළිබඳව තේරුම් ගැනීමට මිනිසා දැරූ උත්සාහය තුළය. එහිදී දාර්ශනික ලෙස කල්පනා කරමින් යම් යම් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන (ඉතා ප්‍රාථමිකව වුවද) කරමින් ඒ වෙනුවෙන්ම සිතන පිරිසක් අවශ්‍ය විය. ඔවුන් අප හඳුනාගන්නේ දාර්ශනියකයන් ලෙසය. ඔවුහු නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවූහ. එවැනි අයට දාර්ශනික සංකල්ප තුළ කිමිදෙමින් යම් යම් මත පළකරමින් ඒ ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමට හැකි වූයේ පංති සමාජය තුළ නිර්මාණය වී තිබූ ‘අතිරික්ත ධනය’ නිසාය. එම සමාජ ‘අතිරික්ත ධනයෙන්’ යැපෙමින් තම කාර්යයේ නියැලීමට ඔවුනට හැකි විය. ඒ නිසාම අපට දාර්ශනිකයන් හමුවන්නේ පංති සමාජය ආරම්භ වූවාට පසුවය.

දර්ශනයේ ප්‍රාථමික අවධිය

‘අප ජීවත්වන ලෝකයත් ඒ හා බැඳුණු සොබාදහමේ සංසිද්ධීනුත් මෙසේ වන්නේ ඇයි’ යන පැනයට පිළිතුරු සෙවීමට ගත් උත්සාහය තුළ දර්ශනය ආරම්භ විය. එවැන්නක් ආරම්භ වූයේ මිනිස් චින්තනය තුළය. එනම් මිනිසා තුළ අන් සත්වයන්ගෙන් වෙනස්ව සිතන ඉන්ද්‍රිය හෙවත් මොළය, චින්තනමය හැකියාව දක්වා දියුණු වූ මොළයක් ලෙස සංවර්ධනය වූ නිසාය. අනෙක් අතට ඔහු සොබාදහමට යටත්ව ඉන් යැපෙමින් සිටිනවා වෙනුවට නිෂ්පාදනය මගින් සොබාදහම වෙනස් කිරීම ඇරඹූ සත්වයා වූ නිසාය. නිෂ්පාදනය සඳහා සොබාදහම තේරුම් ගැනීමට ඔහුට බල කෙරිණි. දර්ශනයේ මෙන්ම විද්‍යාවේද පදනම වූයේ එයයි.

අපට ලොව හමුවන සියලු ප්‍රාථමික දාර්ශනිකයන් හමුවන්නේ ක්‍රි.පූ. 06වැනි සියවස පමණ කාලයේය. යුරෝපයේ අපට හමුවන බොහෝ දාර්ශනිකයන්ගේ නිජබිම වූයේ ග්‍රීසියයි. මන්ද එවකට ග්‍රීසිය සංවර්ධනයේ ඉදිරියෙන් සිටි ප්‍රදේශයක් වීමය. නිෂ්පාදන බලවේග වේගයෙන් වර්ධනය වූයේ එම ප්‍රදේශවලය. එහිදී අපට හමුවන විශේෂ දාර්ශනිකයන් වූයේ තේල්ස් (ක්‍රි:පූ: 624-534), අනෙක්සි මැන්ඩර් (ක්‍රි:පූ: 610-546), ඇනෙක්සි මිනස් (ක්‍රි:පූ: 585-525) පෛතගරස් (ක්‍රි:පූ: 571-497) හෙරක්ලීටස් (ක්‍රි:පූ: 535-470) ආදීන්ය. මේ කාලයේම විසූ සොක්‍රටීස් දේශපාලන දාර්ශනිකයෙක් විය. මෙම දාර්ශනිකයන්ගෙන් සමහරු විඥනවාදීන්  වූ අතර සමහරු භෞතිකවාදීහු වූහ. එහෙත් එම භෞතිකවාදයද ප්‍රාථමික ලක්ෂණ සහිත පාරභෞතිකවාදී විය. එය එසේ වූයේ ඒ වන විට ලෝකයේ හරයන් තේරුම් ගැනීමට තරම් විද්‍යාව දියුණු වී විද්‍යාත්මක උපකරණ නිර්මාණය වී නොතිබීම නිසාය.

භෞතිකවාදී දාර්ශනික මත

මෙහිදී තේල්ස් ග්‍රාම්‍ය භෞතිකවාදියෙක් විය. ඔහුගේ අදහස්වල සාරාංශය වූයේ ‘සියල්ල ජලයෙන් නිර්මාණය වී තිබේ’ යන්නය. මීට සමාන මතයක් දැරූ ඇනෙක්සි මැන්ඩර් ලෝකය නිර්මාණය වූයේ වාතය හෝ ජලය මගින් බව පැවසීය. ඇනෙක්සි මිනිස්ගේ අදහස වූයේ වාතය මූලික බවය. ගණිතය පිළිබඳ ආරම්භක චින්තකයා ලෙස සැලකෙන පෛතගරස්

සියල්ල සංඛ්‍යාවලින් නිර්මාණය වී තිබෙන බවත්, ගණනය කළ හැකි බවත් පැවසීය. හෙරක්ලීටස්ගේ අදහස වූයේ සියල්ල ගින්නෙන් ඇතිවී තිබෙන බවය. මීට මදක් පසුකාලයේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික ඩිමොක්‍රටිස් (ක්‍රි:පූ: 400-370) පැවසුවේ සියල්ල ඉතා කුඩා අංශුවකින් නිර්මාණය වී ඇති බවය. මෙය පරමාණුව නමින් හඳුන්වන ලදී. මෙලෙස එදා පැවති විද්‍යාවේ හා නිෂ්පාදන උපකරණවල ඉතා පහළ මට්ටම තුළ සිටි දාර්ශනිකයෝ විඥානවාදී අදහස්ද සහිතව භෞතිකවාදී චින්තනයකට මුල පිරුහ.

පෙරදිග දාර්ශනිකයෝ

ක්‍රි.පූ. 6වැනි සියවස කාලයේදීම පෙරදිග දාර්ශනිකයන් රැසක් අපට හමුවන්නේ, ඉන්දියාව හෙවත් භාරතය පදනම් කරගනිමිනි. පෙරදිග (ඉන්දියානු) දර්ශනයේ විශේෂය වූයේ එය ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුතාවයක් දැක්වීමය. ක්‍රි.පූ. 06වැනි සියවස වන විට ඉන්දියාව එක් අතකින් කුඩා කුඩා රාජ්‍ය ගණනාවකට කැඩී (සොළොස්මහ ජනපද ආදී ලෙස) දුර්වලව පැවති අතර, අනෙක් අතට රජයට හා සමාජයට ඉහළින්  බ්‍රාහ්මණ ආගම බලවත්ව පැවතියේය. මේ නිසා පැවති අරාජිකත්වය, අර්බුද හා රජය බ්‍රාහ්මණ මැවුම්වාදයෙන් නිදහස්කර ගැනීමේ වුවමනාවත් සමග ක්ෂත්‍රිය කුමාරවරුන් රැසක් විසින් අධ්‍යාත්මක සුවය සෙවීමටත් කිසියම් දහමක් නිර්මාණය කර ගැනීමටත් උත්සාහ කරන ලදී. මේ නිසාම පෙරදිග දර්ශනවාදීන් තුළ විඥානවාදී හා ආගමික නැඹුරුව වැඩිවිය. ගෞතම සිද්ධාර්ථ (බුදුන්) පවා මෙලෙස දාර්ශනික ප්‍රවේශයක් සෙවීමට උත්සාහ කළ අයෙක් විය.

පෙරදිග (ඉන්දියානු) දාර්ශනිකයන් අතර ප්‍රචලිත පිරිස ෂඞ් ශාස්තෘවරුන් ලෙස නම් කරන පිරිසය. ඔවුන් නම්, සංජය බෙල්ලට්ඨ පුත්ත, අජිත කේශකම්බල, පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, පකුධ කච්ඡායන, නිගණ්ඨනාථ පුත්ත යන අයයි. මෙහිදී සමහරු විඥානවාදී වූ අතර, ඇතැම්හු පාර භෞතිකවාදීහු වූහ. පකුධ කච්ඡායන එවැන්නෙකි. පැරණි වෛදික ආගමික දර්ශනයට පසු මේ කාලයේ බිහිවූ දාර්ශනික මතවාදය හැඳින්වූයේ චාර්වක දර්ශනය ලෙසය. මේ අතරම ජෛන හා බෞද්ධ දර්ශනයද ආගමික දර්ශනයන් ලෙස බිහිවිය.

මේ අනුව පෙනී යන්නේ ඉතිහාසයේ ගමන්මඟ තුළ පංති සමාජය බිහිවීමෙන් පසු සමාජ සංවර්ධනය සිදු වූ භූමි, කලාව තුළ බටහිර ලෝකයේ ග්‍රීසිය පදනම් කරගනිමිනුත්, පෙරදිග කලාපයේ ඉන්දියාව පදනම් කරගනිමිනුත් ක්‍රි.පූ. 06වැනි සියවස වන විට දර්ශනවාදීන් නිර්මාණය වෙමින් දර්ශනයන් බිහිවූ බවය. එහිදී පෙරදිග රටවල දර්ශනය වඩාත් ආධ්‍යාත්මික, ආත්මවාදී හා විඥානවාදී ස්වරූපයක් ගනිද්දී විද්‍යාවේද දියුණුවත් සමග බටහිර දර්ශනය භෞතිකවාදී දර්ශනයකට පදනම දැමීය. මේ සමග මීට සමගාමීව විද්‍යාවද වර්ධනය විය.

දර්ශනයේ ඉතිහාසය සමග විද්‍යාවේ ඉතිහාසය තදින් බැඳී තිබේ. විද්‍යාව දර්ශනයටම සේවය කළ අතර, දර්ශනය විද්‍යාවේ දියුණුවට සේවය කළේය. මේ දෙකම නිෂ්පාදන බලවේගවල සංර්ධනය විසින් ඉල්ලා සිටි ඓතිහාසික අවශ්‍යතාව ඉටුකිරීමක් විය. කෙසේ වෙතත් ඉතිහාසය තුළ විද්‍යාවේ වර්ධනයේ ආරම්භය මීළඟට කතා කරමු.

 

 

දයලෙක්තික දර්ශනයට කිසිවක් නිත්‍ය, සර්ව සම්පූර්ණ හෝ ශුද්ධ හෝ නොවේ. එය සෑම දෙයක්ම හා සෑම දෙයකම තාවකාලික බව අනාවරණය කරයි. ඇති වීමේ හා නැති වීමේ, පහළ සිට ඉහළට වන අනන්ත උද්ගමනයේ

ක්‍රියාදාමය හැර වෙනත් කිසිවක් එය හමුවේ ඔරොත්තුදීමට අසමත්ය.”

ලෙනින්, තෝරාගත් කෘති, 01 වෙළුම, 18-19 පිටු