සමාජවාදය තුළ දී විවේකය ගත කරන ආකාරය

rsz_1colombo-port
ශ්‍රී ලංකා ආර්ථික දේහයේ මව මරා දමන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පැවරීම
July 11, 2019
resized family
නූතන පවුල හා පෞද්ගලික දේපළ
July 15, 2019
Show all

සමාජවාදය තුළ දී විවේකය ගත කරන ආකාරය

rsz_107-okfczyzlpkc

සමාජවාදී සෝවියට් දේශය තුළ පුද්ගලයෙකු රැකියාවෙහි යෙදිය යුතු කාලය අඩුකර තිබුණි. ඔවුන්ගේ නිදහස් කාලය වැඩිකර තිබුණි. 1984 පමණ වන විට ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සෝවියට් දේශය තුළ පුද්ගලයෙකු රැකියාවෙහි නිරත වන කාලය සතියකට පැය 18කින් අඩුකර තිබුණි. රැකියාවෙහි නිරත විය යුතු කාලය දළ වශයෙන් සතියකට පැය 39.4කට සීමාකර තිබුණි. එය එකල ලෝකයේ අඩුම වැඩ කාලය ලෙස වාර්තා ගත විය. ඒ අනුව සෝවියට් පුරවැසියෙකුගේ වාර්ෂික වැඩ කාලය පැය 400කින් අඩු වූ අතර බොහෝ පිරිසකට වසරකට දින 112ක නිවාඩු කාලයක් හිමි විය. තරුණ පිරිස සඳහා විශේෂ වරප්‍රසාද ලබාදී තිබුණි. ඔවුන්ගේ වැඩ කාලය අඩුකර තිබූ අතර රැකියාවෙහි යෙදෙන අතරතුර අධ්‍යාපන කටයුතුවල යෙදීම සඳහා විශේෂ සහන ලබාදී තිබුණි.

සෝවියට් ජනතාවගේ වැඩ නොකරන කාලය වැඩි වුවද ඒ කාලය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් මතුවී නොතිබිණි. එම කාලය ඔවුන්ගේ සංස්කෘතිකමය සහ බුද්ධිමය සංවර්ධනය සඳහා යෙදවීමට සමාජවාදී රජය ඔවුන්ව දිරි ගැන්වීය. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය පහසුකම් රජය මැදිහත් වී ගොඩනගා තිබුණි. මේ නිසා සෝවියට් දේශය තුළ සමාජ ක්‍රියාකාරිත්වයෙහි නොයෙදුන, දේශපාලනය ගැන උනන්දුවක් නොමැති, තම අධ්‍යාපන තත්වය දියුණු කර ගැනීමට උනන්දුවක් නොමැති පුද්ගලයෙකු සොයා ගැනීම අපහසු විය.

සමාජමය වැඩ කටයුතු

සෝවියට් දේශය තුළ බොහෝ පුද්ගලයන් වෘත්තිය සමිති, නිවාස කමිටු, පාසල් සඳහා සහයෝගය ලබා දෙන කොමිසම් වැනි ජනතා සංවිධානවල කටයුතු සඳහා සහභාගි වූහ. මක්නිසාදයත් එම සංවිධානවලදී පොදු යහ පැවැත්ම සහ පවුලේ යහ පැවැත්ම පිළිබඳ ගැටලු සාකච්ඡා කර තීන්දු තීරණවලට එළඹි බැවිනි. එය රැකියාවේ හෝ ජීවිතයේ තත්වය පිළිබඳව, දරුවන් රැක බලා ගැනීම පිළිබඳව, පරිසරය සුරැකීම පිළිබඳව විය හැකි විය. එබැවින් සෝවියට් දේශයේ වැඩිහිටි ජනගහනයෙන් 2/3ක්ම සමාජ ක්‍රියාකාරිත්වයේ නිරතවීම පුදුමයක් නොවේ. වැඩිහිටියන්ගේ නිදහස් කාලය යොදවනු ලැබුවේ ඔවුන්ගේ සමාජ වගකීම් ඉටුකිරීම වෙනුවෙනි.

සෝවියට් පාලන කාලය තුළදී කාන්තාවන් සහ පිරිමින් සමාජ ක්‍රියාකාරිත්වය සඳහා යොදවන කාලය පස් ගුණයකින් හෝ හය ගුණයකින් ඉහළ ගියේය. එසේම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හා දේශපාලන දැනුම වැඩිකර ගැනීම සඳහා යෙදවූ කාලයද සැලකිය යුතු තරමින් වැඩි විය.

පවුල තුළ සැමියා හා බිරිඳ යන දෙදෙනාම දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ සැලකිලිමත් වූහ. ඒ නිසා ඔවුහු පුවත්පත්, සඟරා කියවූහ.

පිරිමින්ගෙන් 90%ක් සහ කාන්තාවන්ගෙන් 80%ක් නිතිපතා පුවත් කියවූහ. 1920 වසරේදී විශාල කාර්මික හා සංසකෘතික නගර තුනක් ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකදී හෙළි වූයේ රැකියාවෙහි නිරත පවුල්වල පිරිමින්ගෙන් 45.9%ක්, කාන්තාවන්ගෙන් 40%ක් සහ ගෘහණියන්ගෙන් 13.3%ක් පුවත්පත් කියවූ බවය. සඟරා කියවූ ප්‍රතිශතය අනුපිළිවෙළින් 41%ක්, 20%ක් සහ 13.3%ක් විය.

පවුල තුළ සන්නිවේදනය

1981 වසරේදී මොස්කව් නුවර අසල ප්‍රදේශයක සිදුකළ සමීක්ෂණයට අනුව සමීක්ෂණයට භාජනය වූ විවාහක ජෝඩු අතරින් 83%ක්, තමන්ගේ රැකියා පිළිබඳව සහ සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුනොවුන් සාකච්ඡා කළහ. ඊට සමාන ප්‍රතිශතයක් සැමියන් හා බිරින්දෑවරුන් එකිනෙකා සමග දේශපාලන හා සමාජයීය සිදුවීම් පිළිබඳ සාකච්ඡා කළහ. දෙමව්පියන්ගෙන් 2/3ක්ම තම දරුවන් සමග දේශපාලන සහ සමාජ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළහ.

පවුලක් තුළ සමාජිකයන් අතර සිදුවන අදහස් හුවමාරුව පවුලේ සෑම සාමාජිකයෙකුම විවිධ පැතිවලින් පොහොසත් කරන්නකි. සෝවියට් දේශය තුළ පියවරුන්ට තම දරුවන් සමග කතා කිරීමට සහ ගත කිරීමට කාල වේලාව ඇති තරම් තිබුණි. පවුලේ සහෝදර සහෝදරියෝ එකට සෙල්ලම් කළහ. කුඩා ළමෝ තම මිත්තණිය සමග ඔවුන්ගේ රහස් බෙදා ගත්හ. මෙවැනි දේවලින් පවුල තුළ උණුසුම් හැඟීමක් ජනිත කළ අතර පවුල තුළ යහපැවැත්ම රැකුණි. පවුල් සබඳතාවල සමීපකම පුද්ගලයෙකුගේ ජීවිතය පුරාම රැඳී පැවතුණි.

සමීක්ෂණයට ලක්වූ දෙමව්පියන්ගෙන් 64.5%ක් ඔවුන්ගේ නිදහස් කාලය ළමුන් සමග ගත කළ අතර, 41%ක් තම ළමුන්ව චිත්‍රපට නැරඹීම සඳහා ගෙන ගියහ. 23%ක් තම ළමුන් සමග නාට්‍ය නැරඹීමට හෝ කෞතුකාගාර වෙත හෝ ගියහ. දෙමව්පියන්ගෙන 9%ක් සිය ළමුන් සමග මුද්දර, පැරණි කාසි වැනි දේ රැස් කිරීමේ නිරත වූහ.

රූපවාහිනිය සහ චිත්‍රපට නැරඹීම

සෝවියට් දේශයේ පවුල්වලින් 93.5%කට රූපවාහිනී යන්ත්‍ර තිබුණි. නව යොවුන් වියේ තරුණ තරුණියන්ගෙන් 2/3ක්ම සිය නිදහස් කාලය ගෙවා දැමුවේ රූපවාහිනිය සහ චිත්‍රපට නැරඹීමෙනි. තරුණ තරුණියන්ගේ සිත්වලට රූපවාහිනියෙන් හා චිත්‍රපටයෙන් දැවැන්ත බලපෑමක් සිදුකළ හැකි විය. එම බලපෑම විවිධාකාරයෙන් යොදාගත හැකි විය. බොහෝ සෝවියට් චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් අඩංගුවෙන් පොහොසත් හා රසවත් වුවද ඇතැම් වැඩසටහන් ඒකාකාරී විය. එසේ වුවද එක් කරුණක් ස්ථිර ලෙස කිව හැකිය. එනම් අනෙකුත් පුද්ගලයන් හෝ ජන කණ්ඩායම් කෙරෙහි වෛරය පතුරුවන හෝ ද්වේශය පතුරුවන හෝ කිසිවක් ඒවායේ නොවූ බවය.

බොහෝ පවුල්වලට ඔවුන් විද්‍යා ක්ෂේත්‍රයේ හෝ සංස්කෘතික ක්ෂේත්‍රයේ හෝ සාමාන්‍ය කම්කරු රැකියාවක හෝ ඉංජිනේරු හෝ කාර්යාල සේවක හෝ වෙනත් කුමන ආකාරයේ රැකියාවක නිරත වුවද කෙනෙකුට හොඳ චිත්‍රපටයක්, හොඳ නාට්‍යයක් හොඳ නර්තනයක්, හොඳ සංගීත ඛණ්ඩයක්, හොඳ චිත්‍රපටයක් රසවිඳිය හැකි විය. අගය කළ හැකි විය. එසේම චිත්‍රපටයක් නාට්‍යයක් බැලීමට යාම සාමූහික කටයුත්තක් විය. ඒ සඳහා වන ප්‍රවේශ පත්‍ර මිල අඩු බැවින් කිසිවෙකු තනියම චිත්‍රපට හෝ නාට්‍ය බැලීමට නොගිය අතර තම යහළු මිත්‍රයන්, අසල්වැසියන් එක්ව යාමට පුරුදු වී සිටියෝය.

එසේ වුවද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ නිදහස් කාලය අතර සැලකිය යුතු වෙනසක් පැවතුණි. සාමාන්‍ය කාන්තාවක හෝ පිරිමියෙකු නොව විවාහක කාන්තාවක් සහ පිරිමියෙකු පිළිබඳ සලකා බැලූ කල විවාහක පිරිමියෙකුට විවාහක කාන්තාවක් මෙන් 1.5ක නිදහස් කාලයක් තිබුණි. නමුත් එය පවුලෙන් පවුලට වෙනස් වූයේ ළමුන් ගණන සහ ඔවුන්ගේ වයස අනුවය.

යටිතල පහසුකම්

සෝවියට් රජය එරට පුරවැසියන්ගේ නිදහස් කාලය වැඩි කරීමට සමාන්තරව හොඳ විවේක කාලයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යමය හා තාක්ෂණික පහසුකම්ද පුළුල් කිරීමට කටයුතු කළේය. 1984 වසර වන විට සෝවියට් දේශය පුරා සිනමා ශාලා 1,53,000ක් අංග සම්පූර්ණ නාට්‍ය ශාලා 604ක්, කෞතුකාගාර 1,520ක්, මහජන පුස්තකාල 1,32,000ක්, සමාජ ශාලා 1,38,000ක්, හා සංස්කෘතික හා විවේක උද්‍යාන 1,100ක් ඉදිකර තිබුණි. බිලියන 260කට අධික වූ සෝවියට් ජනතාවගෙන් චිත්‍රපට නැරඹීම සඳහා බිලියන 4.2ක්, කෞතුකාගාර වෙත මිලියන 150ක් නාට්‍ය ශාලා වෙත මිලියන 120ක් වාර්ෂිකව ගොස් තිබුණි.

නාට්‍යකරණයේ යෙදෙන ආධුනික කණ්ඩායම්, ගීතිකා කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, නර්තන කණ්ඩායම් ගණන විශාල වශයෙන් ඉහළ ගියේය. මිලියන ගණන් ජනතාව ඒවාට සම්බන්ධ වී සිටියහ. තරුණ පුරෝගාමීන්ගේ මන්දිර සහ නිවාසවල විශාල විවිධත්වයන් සහිත කව සහ චිත්‍රාගාර පවත්වාගෙන යනු ලැබිණි. නාට්‍යාගාර, සිනමා ශාලා, කෞතුකාගාර, සංස්කෘතික අධ්‍යාපන ආයතන

ගොඩනැගීම සඳහාත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහාත්, ආධුනික ප්‍රසංග සංවිධානය කිරීම සඳහාත් රජය සහ වෘත්තිය සමිති විශාල මුදලක් වැය කළේය. මේවායේ අධ්‍යාපන කටයුතු සඳහා සෝවියට් ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකෙරුණ අතර, නාට්‍ය, චිත්‍රපට, කෞතුකාගාර ආදිය නැරඹීම සඳහා අයකරනු ලැබුවේද ඉතා අඩු මිලකි.

සමාජ සංවිධාන විසින් සෝවියට් දේශයේ පවුල්වලට එක්ව තම විවේක කාලය ගත කිරීමට අවස්ථා නිර්මාණය කර තිබුණි. ශීත කාලය තුළදී විශේෂ පරිශ්‍රයන් තුළත් ගිම්හානයේ දී එළමහනේ දීත්, සාමාන්‍ය පුරවැසියන්ට ජාතික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයන්, සෝවියට් සභා නියෝජිතයන්, පුවත්කලාවේදීන්, ලේඛකයන්, නළුවන්, යුද වීරියන් ආදීන් මුණ ගැසීමට හා සාකච්ඡා කිරීමට අවස්ථා සකස් කරන ලදී.

ක්‍රීඩා සංස්කෘතිය

සෝවියට් පුරවැසියන් සිය නිදහස් කාලයෙන් වැඩි කොටසක් ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම් සඳහා වැය කිරීමට පුරුදු වී සිටියහ. අනෙකුත් ධනපති රටවල් තුළ මෙන් නොව සෝවියට් රජය විසින් පුරවැසියාගේ ක්‍රීඩා සංස්කෘතිය වැඩි දියුණු කිරීම සඳහා සහ ශාරීරික ව්‍යායාම් සඳහා දැවැන්ත මුදලක් යෙදවීය. විප්ලවයට පෙර සෝවියට් රුසියාවට අයත් භූම්යේ තරුණ ජනතාවගෙන් 45%ක් ශාරීරිකව අවවර්ධනයට ලක්ව සහ සෞඛ්‍යමය වශයෙන් දුර්වල අය වූහ. ක්‍රීඩා සමාජ තිබුණේ සිය ගණනකි. ඒවාටද සම්බන්ධ විය හැකිව තිබුණේ ධනවත් සහ ප්‍රභූ පවුල්වල අයට පමණි. විප්ලවයට අවුරුද්දක් ගතවෙද්දී ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රීඩා සංස්කෘතික සමාජ ඇති කිරීම ආරම්භ කෙරුණි. 1984 වන විට ක්‍රීඩා සංස්කෘතික සාමූහිකයන් 2,32,000ක් ගොඩනගා තිබූ අතර එහි සාමාජිකත්වය මිලියන 63.6ක් විය. සෝවියට් දේශය පුරා ගෘහස්ථ ක්‍රීඩාංගණ 3,500ක්, ක්‍රීඩාගාර 74,000ක් පිහිනුම් තටාක 1,750ක්, පාපන්දු පිට්ටනි 1,08,000ක්, බාස්කට් බෝල, ටෙනිස් සහ අත්පන්දු පිට්ටනි 4,00,000ක් තිබුණි. සෝවියට් දේශය තුළ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය සඳහා කිසිදු මුදලක් අය නොකෙරිණි.

ඉරිදා සතියේ ප්‍රධාන ක්‍රීඩා දිනය විය. එදින ඇතැම් විට මුළු පවුලම කඳු නැගීමට ගියහ. සමහරු හිම මත ලිස්සායාමට කැමැති වූහ. සමහරු ඇවිදීමට ගියහ. තවත් සමහරු පිහිනීම සඳහා පිහිනුම් තටාක වෙත ගියහ. පවුල් පිටින් ක්‍රීඩාව සඳහා ගෘහස්ත ක්‍රීඩාගාර, ක්‍රීඩා කඳවුරු, ක්‍රීඩා පිට්ටනි, උද්‍යාන වෙත ගියහ.

විනෝද චාරිකා යාම සෝවියට් පුරවැසියන් සිය විවේක කාලය ගත කළ තවත් ආකාරයකි.

සමාජවාදය තුළදී නිදහස් කාලයෙහි අයිතිය පුද්ගලයා සතු විය. එහෙත් ඔහු අයිති වූයේ සමාජයටයි. එබැවින් ඔහුගේ නිදහස් කාලය ඔහුගේත්, පවුලේත්, සමාජයේත් යහපැවැත්ම තහවුරු වන ආකාරයට ගතකිරීම පිළිබඳ සහතිකයක් සමාජයට අවශ්‍ය විය. සමාජවාදී රජය ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, අවශ්‍ය මාධ්‍යයන් හා අවස්ථා උපරිම ආකාරයෙන් ලබාදීමට කටයුතු කළේය.

V. Yazykova‌ගේ Socialist Life Style and the Family  ඇසුරිනි.

විමර්ශන