ශ්‍රී ලංකා ආර්ථික දේහයේ මව මරා දමන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පැවරීම

july 2019
නියමුවා – 2019 ජූූූලි
July 10, 2019
rsz_107-okfczyzlpkc
සමාජවාදය තුළ දී විවේකය ගත කරන ආකාරය
July 11, 2019
Show all

ශ්‍රී ලංකා ආර්ථික දේහයේ මව මරා දමන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පැවරීම

rsz_1colombo-port

රී ලංකා ආර්ථික දේහයේ මව මරා දමන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පැවරීම

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල පංගුවක් සැපිරීම සඳහා ඉමහත් කැප කිරීමක් සිදුකර ඇත. භාණ්ඩ ප්‍රවාහනය සහ ප්‍රති අපනයන කටයුතු සිදුකිරීම තුළින් විශාල ආදායමක් හිමිකර ගනිමින් පාඩු නොලබන ආයතනයක් ලෙස මේ දක්වා පවත්වාගෙන යනු ලබයි. කෙසේ වුවද මෙම තත්වයට කණ කොකා හඬමින් පවතී. එසේ වන්නේ නාවික කේෂත්‍රයේ ලෝකයේ හොඳම වරායක් ලෙස පවතින ශ්‍රී ලංකාවේ වරායන් විදෙස් සමාගම් විසින් අත්පත් කර ගැනීමට පැවති රජයන් හා වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙනි.

80 දශකයේදී ලෝකයට හඳුන්වාදෙනු ලැබූ බහලුම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම තුළින් කොළඹ වරායටද ඊට අනුගත වීමට සිදුවිය. එය ජය ගැනීම සඳහා කොළඹ වරායේ සාම්ප්‍රදායික නැව් බඩු මෙහෙයුම් කටයුතු සිදුකළ රුජින පාලම වෙත බහාලුම් මෙහෙයුම් සිදුකිරීම සඳහා ග්‍රැන්ටි දොඹකර (බහලුම් මෙහෙයුම් දොඹකර) දෙකක් සවිකර පසුව තවත් එක් දොඹකරයක්ද සවිකිරීම මගින් රැජින ජැටිය බහාලුම් මෙහෙයුම් ප්‍රවාහනය සඳහා සූදානම් කිරීමට කොළඹ වරාය සමත් විය. එහිදී බහාලුම් ගබඩා කිරීමේ හැකියාව 20,000ට පමණ සීමාවීම හේතුවෙන් ජපාන ජයිකා වැඩපිළිවෙළ යටතේ ජය බහාලුම් පර්යන්තය ගොඩනංවනු ලැබිණි. එවකට පැවති බහාලුම් ප්‍රවාහන නෞකා සඳහා වරායේ පැවති මීටර් 14ක ගැඹුර ප්‍රමාණවත් විය. ජය බහාලුම් පර්යන්තයේ බහාලුම් 50,000ක් පමණ ගබඩා කිරීමේ හැකියාවක් අත්පත් කර ගැනීම හේතුවෙන් 90 දශකයේ ලෝකයේ හොඳම වරායක් ලෙස නමක් දිනා ගැනීමට කොළඹ වරායට හැකි වූ අතර අන්තර්ජාතික නාවික වෙළඳ කටයුතු සඳහා ඍජුව සම්බන්ධ වෙමින් රටට විශාල ධනයක් උපයා ගැනීමට කොළඹ වරායට හැකි විය.

1999 වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට පළමු ප්‍රහාරය එල්ල කරුණු ලැබුවේ එවකට චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසිනි. කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් වූ එලිසබත් රැජින පාලම (SAGT (South Asia Gateway Terminal) විකුණා දැමීම මගින් වරාය අධිකාරිය එතෙක් අත්පත් කර ගෙන තිබු බහාලුම් ධාරිතාව පහළ ගියේය. අන්තර්ජාතික නාවික වෙළඳාමේ ඉදිරි පියවරයන් ලෙස නැව් සමාගම් විසින් විශාල නෞකා මගින් බහාලුම් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන ලදී. 90 දශකයේ අගභාගයේදී නැව් සමාගම් බහාලුම් ප්‍රවාහනය කිරීම සඳහා විශාල නෞකා නිෂ්පාදනය කළ අතර එම නෞකා මුහුදු මට්ටමේ සිට ගැඹුර මීටර් 15 දක්වා පැවතිණ. එම අභියෝගය ජය ගැනීමට නම් ගැඹුරින් වැඩි වරායන් අවශ්‍ය විය.

විකිණීමේ ඉතිහාසය

කොළඹ වරායේ පැවති වරායන්හි ගැඹුර මීටර් 14 වූ බැවින් විශාල බහාලුම් ප්‍රවාහන නෞකා ඇතුල්වීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ වරායට පිටතින් මීටර් 18ක ගැඹුරින් යුතු කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය සඳහා 2006.12.18 දින පැවති රජය විසින් මුල් ගල තබන ලදී. දිය කඩනය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක මුදලක් ලබා ගනිමින් 2008 වර්ෂයේදී එහි වැඩකටයුතු ආරම්භ කරනු ලැබිණි. ප්‍රධාන දිය කඩනයේ දිග මීටර් 5140 වූ අතර දෙවැනි දිය කඩනයේ දිග මීටර් 1700ක් විය. දිය කඩනයන් නිර්මාණය වූ පසු ඒ තුළ පර්යන්තයන් තුනක් ඇති කිරීමේ හැකියාව පැවතිණ. ඒ අනුව 2013 වර්ෂයේදී (දිය කඩනය නිම වීමෙන් පසු) කොළඹ දකුණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දකුණු කොටස දිග මීටර් 1200ක පර්යන්තයක්
ගොඩනැගිය හැකි ප්‍රමාණයක් CICT (Colombo International Container Terminal සමාගම වෙත පැවරිණි. එය ආරම්භ වීමත් සමග මේ වන විට ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයුම් කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ CICT සමාගම විසිනි. දැනට එම සමාගමේ මෙහෙයුම් ධාරිතාවය උපරිමය දක්වා පැමිණ ඇත. ගැඹුරින් වැඩි පර්යන්තයක අවශ්‍යතාවය කොළඹ වරායට අවශ්‍ය වන හෙයින් එහි නැගෙනහිර කොටස මීටර් 1200ක දිගින් යුතු නැගෙනහිර පර්යන්තයද ඊට සමගාමීව ගොඩනගනු ලැබිණි. එහි මීටර් 440ක පමණ ප්‍රමාණයක පර්යන්තය 2014 වසර තුළදී අවසන් කරන ලද අතර එහි ග්‍රැන්ටි දොඹකර 04ක් සවිකර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතිණ. මෙම දොඹකර සඳහා රාජපක්ෂ ආණ්ඩුව වංචා සහගත ලෙස වැඩි මිලකට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් මහත් මතභේදකාරී තත්වයක් ඇතිව තිබිණි. කෙසේ වුවද 2015 බලයට පත් වත්මන් ආණ්ඩුව, දොඹකර මිලදී ගැනීම සඳහා වරාය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සඳහා අනුමැතිය ලබා නොදී එය ඉන්දියාව වෙත පැවරීම සඳහා විටින් විට උත්සාහ කරමින් සිටියේය. කෙසේ වුවද වෘත්තීය සමිති හා ජ.වි.පෙ. මැදිහත්වී එම උත්සාහයන් අවස්ථා ගණනකදී පරාජය කරනු ලැබීය.
හම්බන්තොට වරායද 2017 වර්ෂයේදී වත්මන් රජය මගින් විරෝධතාවන් නොසලකා චීනය වෙත 99 අවුරුද්දකට පවරා දෙනු ලැබීය. නුදුරු අනාගතයේදී මෙමගින් කොළඹ වරායට බලපෑම් එල්ල නොවනු ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකිය. මේ වන විට වරාය අධිකාරිය යටතේ පවතින්නේ කොළඹ, ත්‍රීමලේ, ගාල්ල, ඔලුවිල්, කන්කසන්තුරේ යන වරායන්ය. වරාය අධිකාරියේ සේවක සංඛ්‍යාව 10,000ක් වන අතර සියලු වරායන්හි නඩත්තු සේවා සහා ආරක්ෂක කටයුතු එම සේවකයන් විසින් සිදුකරනු ලබයි. මෙම සේවකයන්ගේ සියලු කටයුතු සඳහා වැඩි මූල්‍ය දායකත්වයක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොළඹ වරායෙන් උපයන මුදලෙනි.

අවසන් හිමිකමත් විදේශයට

කොළඹ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. මීට ප්‍රධාන හේතුවක් වනුයේ කොළඹ වරාය තුළ ගැඹුරින් වැඩි CICT පර්යන්තය පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කිරීමත් ගැඹුරින් අඩු SAGT සමාගම
(රැජින පාලම) ක්‍රියාත්මක වීම මගින් පෞද්ගලික සමාගම් බහාලුම් මෙහෙයුම් උපරිමය දක්වා පැමිණීමත් සමග ජය බහාලුම් පර්යන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව පහළ බැස ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය තවදුරටත් ලාභ ලබන තත්වයෙන් පවත්වා ගැනීමට නම් අනිවාර්යයෙන් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ යුතුය. එමගින් බහාලුම් ධාරිතාව 80,000 දක්වා පවත්වාගෙන යා හැකිය. එහෙත් වත්මන් ආණ්ඩුව 2019 මැයි 28 දින ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළේය. එමගින් ශ්‍රී ලංකාවට 51%ද ඉන්දියාව හා ජපානයට කොටස් 49%ක්ද පිරිනැමීමට එකඟ වී ඇත. ඉදිරි මාස දෙකක කාලයකදී තවත් කරුණු ඇතුළත් කරගනිමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
මෙමගින් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දෙන බවත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමත් පර්යන්තයේ ඉතිරි මීටර් 860ක කොටස ඉදිකිරීමට හැකි බවත් ඉදිරි කටයුතු එම සමාගම විසින් සිදුකරන බවත් සභාපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිණ. එහෙත් වරාය සතු 51%ක කොටස වෙනත් පාර්ශවයකට පිරිනැමීමට හැකි වන පරිදි හා ඉන්දියාවට එය ලබා ගැනීමට හැකි වන අයුරින් ගිවිසුමට ඇතුළත් වීම හේතුවෙන් පවතින කොටස් ප්‍රමාණය රැක ගැනීමට අවස්ථාවක් නොමැත. මේ අනුව මෙම ගිවිසුම රටට විශාල බලපෑමක් එල්ල කළ හැකි ගිවිසුමක් ලෙස දැනටමත් තහවුරු වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය රටේ සේවා අවශ්‍යතා සඳහා මුදල් උපයා දුන් ආයතනයකි. වරාය අධිකාරිය මගින් ඉපයූ මුදල්වල වගකීම මහා
භාණ්ඩාගාරය මගින් පාලනය වූ අතර රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහමාර්ග, ප්‍රවාහනය, ක්‍රීඩා ඇතුළු මහජන සේවාවන් සඳහා මුදල් ලබා දුන් ආයතනයකි. මෙම ආයතනය හුදෙක් වරාය සේවකයන්ට හිමිකමක් ලෙස පවතින ආයතනයක් නොවේ. එය සමස්ත රටේ ජනතාවට අයිති සම්පතකි. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම මගින් රටට ඇතිවිය හැකි අනාරක්ෂිතභාවයට ඉඩ නොදී කටයුතු කළ යුතුව ඇත. මෙය රැක ගැනීම සඳහා ගුරුවරුන්, දෙමාපියන්, වෛද්‍ය හෙද, රෝහල් කාර්යය මණ්ඩල, ප්‍රවාහන පද්ධතියේ සේවක පිරිස්, විශ්වවිද්‍යාල සිසුන් දෙමාපියන්, ආචාර්ය මහචාර්යවරුන් ඇතුළු රටේ සමස්ත ජනතාවම මැදිහත් විය යුතුව තිබේ.

විමර්ශන