රජයේ උපත හා ව්‍යාප්තිය

crisis
අර්බුදය සහ අරාජිකත්වය
July 9, 2019
june 2019
නියමුවා – 2019 ජූනි
July 10, 2019
Show all

රජයේ උපත හා ව්‍යාප්තිය

rsz_346912199

ඉතිහාසයේ කතාව – 11

         මෙතෙක් පැවැතුණු ඉතිහාසය (ලිඛිත ඉතිහාසය) පංති සටන් ඉතිහාසයක් යැයි මාක්ස් – එංගල්ස් නිවැරදිවම පැවසූහ. එසේම මිනිසාගේ ලිඛිත ඉතිහාසය යනු රජය ව්‍යාප්ත කිරීමේ, ආක්‍රමණ හා යුද්ධ කිරීමේ ඉතිහාසයක්ද වේ. ලෝකයේ මුළු ඉතිහාසයම පිරී පවතින්නේ ආක්‍රමණවලින්, යුද්ධවලින් හා රාජ්‍ය බලය වෙනුවෙන් කළ කුමන්ත්‍රණවලිනි. එය ආරම්භ වන්නේ සමාජය තුළ දේපළ මත පංති බිහි වීමත් ඒ සමගම ඒ වෙනුවෙන් රජය නම් බලහත්කාරී ආයතනය බිහිවීමත් සමගය.

        ඉතිහාසය තුළ රජය බිහිවීම ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක් විය. එය විවිධ භූමි භාගයන් තුළ විවිධ ගෝත්‍ර තුළ විවිධ රටවල වෙනස් වෙනස් ආකාරයන්ගෙන් සිදු වන්නට ඇත. ඒ තාක් ඒ සෑම තැනකදීම රජය බිහි වීමේ පදනම වූයේ, රජය බිහි වීමේ හේතුව වූයේ අන් කිසිවක් නොව පෞද්ගලික දේපළ බිහිවීම ය. පෞද්ගලික දේපළ බිහිවීමත් සමග සමාජය දේපළ මත ප්‍රධාන පංති දෙකකට බෙදිණි. ඒ දේපළ හිමි පංතිය හා දේපළ අහිමි පංතිය ලෙසය. මෙහිදී අප කලින්ද සඳහන් කර ඇති පරිදි රාජ්‍ය බලය ගොඩ නගා ගත්තේ දේපළ හිමි පංතිය ය. ඒ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමටත්, සූරා කෑමට හා තව තවත් දේපළ කොල්ලකෑමටත් දේපළ අහිමි පංතියේ ප්‍රතිවිරෝධය පාගා දැමීමටත්ය. ඒ අනුව හැම විටම දේපළ හිමි පංතිය පීඩක පංතිය වූ අතර දේපළ අහිමි පංතිය පීඩිත පංතිය විය.

රජය පංති ප්‍රතිවිරෝධයේ ප්‍රකාශකයෙක් ලෙස

          රජය බිහි වීම පිළිබඳ ඉතාම විද්‍යාත්මක විග්‍රහයක් කරන එංගල්ස් සිය ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි’ නම් කෘතියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් කරයි.

රජය පැන නැගුණේ ප්‍රතිවිරෝධී පංතිවල අරගල වළක්වාලීම සඳහාය. නමුත් ඒ අතරම එය පැන නැංගේ මේ පංතිවල ඝට්ටනය මැදය. එය රීතියක් වශයෙන්, රජයේ මාධ්‍ය තුළින් දේශපාලනමය වශයෙන් බලපාන පංතිය බවට පත්වූයෙන් පෑගෙන පංතිය යටපත් කිරීමට හා සූරාකෑමට අලුත් අලුත් මාධ්‍යයන් ලබා ගන්නා වූ, අතිශයෙන්ම බල සම්පන්න ආර්ථික වශයෙන් ප්‍රබල පංතියේ රජය වන්නේය.” (173 පිටුව)

       එංගල්ස් ඉන් අවධාරණය කළේ පංති ප්‍රතිවිරෝධයන් වැළැක්වීමට රජය පැන නැගුණද එය අපංතික ආයතනයක් නොවූ බවත් එය දේපළ හිමි පංතියේ පීඩක උපකරණය වූ බවත්ය. ඒ නිසා රජය යනු පංති අතර සමාදානය සලසන සියලු පංතීන්ට සාධාරණව සලකන, අපක්ෂපාතී ආයතනයක් නොව දේපළ අහිමි පංතිය මැඩ සූරාකෑම සඳහා වූ දේපළ හිමි පංතියේ පංති උපකරණය බව පැහැදිලිය. මේ පිළිබඳව තම කෘතියේ එංගල්ස් යළිත් අවධාරණය කරයි.

ඓතිහාසික රාජ්‍යයන් වැඩි හරියක, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොටස් කර තිබෙනුයේ ඔවුන් සතු ධනය අනුවය. රජය ඒ අනුව අහිමි පංතියට එදිරිව හිමි පංතිය ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධානයක්ය යන්න කෙලින්ම ප්‍රකාශ කරයි.” (173 පිටුව)

     මෙලෙස පෞද්ගලික දේපළ මත බිහිවූ රජය පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීම සඳහාත් තව තවත් දේපොළ (සම්පත් හා භූමිය) ගොඩගසා ගැනීම සඳහාත් ඒවා යළි පැහැර ගැනීම වැළැක්වීම සඳහාත් අවිගත් බලයක් ලෙස සංවිධානය වී ලොව පුරා මිනිස් ඝාතන යුද්ධ ආක්‍රමණ විශාල ප්‍රමාණයක් කරනු ලැබීය.

ඉතිහාසයේ රාජ්‍ය වර්ග

      ධනේශ්වර අධ්‍යාපනය තුළ ඉතිහාසය ඉගැන්වීමේදී බොහෝවිට රජවරුන් හා පාලකයන් උත්කර්ෂයට නැංවීම කර තිබේ. ලංකාවේ දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, විජයබාහු ආදීන් උදාහරණ වේ. ලෝක ඉතිහාසයේද රණකාමී පාලකයින් හා රජුන් උත්කර්ෂයට නැංවූ අවස්ථා රැසක් තිබේ. රෝමයේ සීසර්, නැපෝලියන් බොනපාට්, මහා පීටර් සාර්, මහා අක්බාර් චින්ගිස්ඛාන්, මහා ඇලෙක්සැන්ඩර් එයට උදාහරණ කිහිපයක් පමණි. අනෙක් අතට ඉතිහාසය ඉගැන්වීමේදී රජවරුන්ගේ ඉතිහාසය ගමන් ගත් අයුරු උගන්වන ධනේශ්වර අධ්‍යාපනය ඉතිහාසයේ යුග පෙරළි හෙවත් සමාජ ක්‍රමයන්ගේ වෙනස් වීම් එලෙස උගන්වන්නේ නැත.

      එහෙත් මාක්ස්වාදයට අනුව ඉතිහාසය තුළ මානව සමාජය ආ ගමනේදී එය සමාජ ක්‍රම හෙවත් නිෂ්පාදන මාදිලි කිහිපයක් පසුකර පැමිණ තිබේ. ඒවා නම් රජය බිහිවීමට පෙර තිබූ ප්‍රාථමික සාමූහික ක්‍රමය, ඉන් පසු රජය බිහිවීමෙන් පසු ඇති වූ වහල් හිමි ක්‍රමය, වැඩවසම් ක්‍රමය ඊට සමගාමීව ආසියාතික  නිෂ්පාදන ක්‍රමය, ධනපති ක්‍රමය හා සංක්‍රමණීය අවධියක් වූ සමාජවාදී පරිවර්තන අවධිය වේ.

මෙයට අදාළ රාජ්‍ය වර්ග 5ක් ඉතිහාසය විසින් බිහි කර ඇත.

  • වහල් හිමි රාජ්‍යය
  • වැඩවසම් රාජ්‍යය
  • ආසියාතික ක්‍රමයේ රාජ්‍ය
  • ධනේශ්වර රාජ්‍යය
  • සමාජවාදී රාජ්‍යයයි.

මෙහිදී සමාජවාදී රාජ්‍යය යනු සමාජය ධනවාදයේ සිට කොමියුනිස්ට්වාදය වෙත සංක්‍රමණය වීමේදී ඒ සඳහා සංක්‍රමණීය අවධියක රාජ්‍යය වේ.

ඉතිහාසය භෞතිකවාදී ලෙස

      මාක්ස්වාදයට අනුව ඉතිහාසය තුළ මෙම සමාජ ක්‍රමවල වෙනස්කම් කරනු ලැබුවේ ‘දෙවියන්’ හෝ රජවරුන් නොව, සමාජ සංවර්ධනයේ නියාමයන්ට අනුව නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුව විසිනි. ඒ අනුව සමාජයේ සෑම පිම්මක්ම සෑම සමාජ විප්ලවයක්ම නිර්මාණය කිරීමේ හේතුව වූයේ භෞතික හේතුවකි. ඒ නිෂ්පාදනය හා නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයයි. නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනය හෙවත් නිෂ්පාදන බලවේගවල වර්ධනය විසින් සෑම විටම ඊට ගැලපෙන නිෂ්පාදන සබඳතාවක්ද නිර්මාණය කරන අතර එම නව සබඳතාවය නව සමාජ ක්‍රමයකට උපත ලබා දී ඇත. සියලු රජවරුන්, යුද වීරයන් හා ප්‍රභූන් විසින් සිදුකර ඇත්තේ එකී සමාජ සංවර්ධනයට අනුව තමන්ට ඉතිහාසය තුළ පැවරෙන කාර්යය ඉටුකිරීමය. රජුන් හෝ වීරයන් විසින් ඉතිහාසය නිර්මාණය කරනවා නොව ඉතිහාසය විසින් රජුන් හා වීරයන් නිර්මාණය කරන බව මාක්ස්වාදය පවසන්නේ මේ අනුවය.

       ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී හා එහි සිදුවීම් ඉගෙන ගැනීමේදී ඉහත පදනම මත පිහිටා අධ්‍යයනය කිරීම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමට උපකාරී වේ.

       ඉතිහාසය සංයුක්ත විෂයකි. ඉතිහාසයේ සෑම සිදුවීමක්ම, සෑම සොයාගැනීමක්ම එකිනෙකට බැඳුණු පැහැදිලි හේතු සාධක මත සිදුවන ඒවා වේ. රාජ්‍ය වර්ග වෙනස් වීම, විද්‍යාවේ තාක්ෂණයේ බිහිවීම, කලාවේ වර්ධනය, ආගම බිහිවීම හා ඒවායේ වෙනස්කම්, දේශපාලනයේ වෙනස්කම් ආදී සියල්ලම සමාජ සංවර්ධනයේ වුවමනාවන් සමඟ බැඳුණු හා එකිනෙකට අන්තර් සම්බන්ධ දේවල් වේ. ඒ නිසා  ඉතිහාසය ඉගෙන ගත යුත්තේ, මේ සියල්ල වෙන වෙනම මෙන්ම එකටද අධ්‍යයනය කරමිනි.

       කෙසේ වෙතත් සමාජය තුළ දේපළ මත රාජ්‍ය බිහිවීම සෑම තැනකම එක ආකාරයකින් සිදු වී නැත. එක් එක් රටවල භූමි ප්‍රදේශ තුළ මෙය විවිධාකාරයෙන් සිදුවූ බව පැහැදිලිය. ඒ සඳහා සෑම රටකම ඉතිහාස කතන්දර, ජනශ්‍රැතියේ කථා හා ‘නිල’ ලෙස පිළිගත් ඉතිහාස කතාද ඇත. එබැවින් ලොව පුරා රාජ්‍ය බිහිවූ ආකාරය හා එය පැතිර ගිය ආකාරයද වටහා ගැනීම වැදගත්ය. මීළඟට ඒ ගැන කතා කරමු.

විමර්ශන