මාක්ස් ලෙනින්වාදය යනු කුමක්ද?

rsz_ජවිපෙ
ලංකාවේ පංති සංයුතිය
July 24, 2019
August - Niyamuwa
නියමුවා – 2019 ජූූූලි
August 8, 2019
Show all

මාක්ස් ලෙනින්වාදය යනු කුමක්ද?

මූලික සමාජ – දේශපාලන දැනුම

හැඳින්වීම

සියවස් ගණනාවක් මුළුල්ලේ ම මිනිස්සු නිදහස, සාධාරණත්වය සහ පිහිටි මතු ජීවිතයක් අපේක්ෂා කළහ. පොදු ජනයාගේ දුක් පීඩා සහ අවමානයන්ද, ඔවුන් ගොදුරු වී තිබූ අසාධාරණකම් ද යුතු හොඳම සහ උදාකරන මිනිසුන්ට මේ සියලු අසමානතාවයන් ජනිත කළ ක්‍රමය ඉවසා සිටිය නොහැකි විය. ඔවුහු ප්‍රජා පීඩකයන්ට හා පොහොසතුන්ට එරෙහිව නැගී සිටින ලෙස සූරා කනු ලැබූ පොදු ජනයාට ආයාචනා කළහ. 

නොයෙකුත් න්‍යාය ධර්ම සහ නොයෙකුත් සමාජ පරමාදර්ශ බිහි කෙරිණි. නිදහසේ සහ යුක්තියේ නාමයෙන්, පොදු යහපත උදෙසා ඒවා සාක්ෂාත් කර ගැනීමට නොයෙකුත් විධි උපායමාර්ගය යෝජනා කෙරිණි. කෙසේ වුවද ඒ කිසිවක්, වැඩකරන ජනතාවට නිදහස් ශ්‍රමය, සාමය, නිදහස, සමානත්වය සහ සමාජ සාධාරණත්වය ලක්ෂණ කොටගත් සමාජයකට එකම නිවැරදි මාර්ගය පෙන්වන මාලිමා යන්ත්‍රය නො සැපයීය. 

කලින් පැවති සමාජ වල මුල් අත්දැකීම් සහ තම අදහස් සැලකිල්ලට ගනිමින් කාල් මාක්ස්, ප්‍රෙඩ්රික් එංගල්ස් දහනව වැනි සියවසේ මැද භාගයේ නව විප්ලවීය විද්‍යාත්මක න්‍යායන් ගොඩ නැඟූහ. ඔවුන්ගේ ව්‍යාපාරය ලෙනින් විසින් ඉදිරියට ගෙන එන ලදී. ඔවුන් මේ පොතෙන් ඔබට කියවීමට ලැබෙන මාක්ස්-ලෙනින්වාදයෙන් නොමැති නව දර්ශනය බිහි කළේය.

1.0මාක්ස්වාදය බිහිවීම සහ එහි වර්ධනයේ අවධි

මාක්ස් ලෙනින්වාදය යනු දර්ශනය, ආර්ථික විද්‍යාව, සමාජය සහ දේශපාලනය පිළිබඳ ඒකාබද්ධ විද්‍යාත්මක මත පද්ධතියකි. එය සමාජවාදී හා කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්තිය මත ලෝකය යළි තරුණභාවයට පත්කිරීමට කැඳවනු ලබන ජාත්‍යන්තර කම්කරු පංතියේ ලෝක දෘෂ්ඨියයි. මාක්ස් ලෙනින්වාදය ලෝකය ප්‍රජානනය කිරීම හා විප්ලවීය ලෙස පරිවර්තනය කිරීම පිළිබඳ සමාජයේ, සොබාදහමේ සහ මිනිස් චින්තනයේ වර්ධන නියාමයන් පිළිබඳ විද්‍යාවකි.

මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාව හැදෑරීමට යන කාලය හෝ පරිශ්‍රමය පිළිබඳ අයෙකු කුම්මැහිකම් – කම්මැලිකම් නොකළ යුතුය. සත්‍ය සෙවී‍මට ප්‍රමාණවත් උත්සාහයක් පෙන්වන්නෝ එයින් තෘප්තියක් ලබනු ඇත්තාහ. කාල් මාක්ස් ප්‍රජානනය ක්‍රියාදාමය උස කන්දක් නැගීමේ ක්‍රියාවලියකට සමකරමින් පහත දැක්වෙන උපදෙස දුනි.
“විද්‍යාව” වෙත යාමට රජ මාවතක් නැත. එහි දීප්තිමත් මුදුනට ලඟාවීමේ අවස්ථාව උදා කර ගත හැක්කේ එහි දූර්ඝ මාර්ග ඔස්සේ ඉහලට නැගීමෙන් වෙහෙසට පත්වීමට බිය නොවන්නන්ට පමණි.

1.1මනෝරාජික සමාජවාදය

කොමියුනිස්ට්වාදය පිළිබඳ සිහින

ප්‍රීතිමත් ජීවිතයක් ගැන, සමාන අයිතිවාසිකම් ඇති නිදහස් මිනිසුන්ගේ සමාජයක් ගැන සිහින සහ කතන්දර සියවසෙන් සියවසට ගලා ආවේය. ඒවා සියළුම මිනිසුන් සමාන වැඩ ප්‍රමාණයක් කරනු ඇත්තා වූද, ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආහාර ඇඳුම් හා නිවාස සපයනු ලබන්නා වූද, සමාජයක් ගැන සිහින සහ කතන්දර විය.

අනාදිමත් කාලයක සිට තෝමස් මුවර්ගේ ( 1479 – 1535) සහ තොමාසෝ කැම්පනෙල්ලාගේ දීප්තිමත් අදහස් අප වෙත ගලා ආවේය. ඔවුහු පෞද්ගලික දේපලවලින් තොර වූද, මිනිසා මිනිසා සූරාකෑමෙන් තොරවූද සාධාරණ සමාජයක් පිළිබඳ, සෑම මිනිසෙකුම තමාගේ වැඩ කොටස කළ යුතුවූ සමාජයක් පිළිබඳ සිත් ඇදගන්නා සුලු පින්තූරයක් ඉදිරිපත් කළහ. මුවර් සහ කැම්පෙනෙල්ලා පරපුටුවන්ට සහ ධනපතියන්ට පහර ගැසූහ. තෝමස් මුවර් කෝපයෙන් යුතුව මෙසේ ලිවීය.

“එහෙත් බූරුවෙකුට වඩා මොළයක් නැති, ඔව් හිස්බවින් හා මෝඩකමින් පිරි මුග්ඩ මොට්ට, නැහැදිච්ච එකෙකු කෙසේවී නමුත්, බොහෝ ඥානාවන්ත හා මිනිසුන් තමන් යටතේ අන්තේවාසික හා වහල්භාවය තුළ රඳවාගෙන සිටිනුයේ මේ කාරණාව නිසාමය. ඔහුට ලොකු රත්තරන් ගොඩක් තිබෙන නිසාය”

ඔහුගේ මතයයට අනුව සෑම සාපයකටම මුල පෞද්ගලික දේපල අයිතිය සහ සමාජ අසමානත්වය විය.

තෝමස් මුවර් Fruitful and Pleasaunt Works of best state of a public wealth, and of the news Yle Called Utopia නැමැති පොතක් ලිවීය. ග්‍රීක් භාෂාවෙන් Utopia (උතෝපියා – මනෝරාජ්‍යය) යන වචනයෙහි අරුත “සැබවින් නොපවත්නා ස්ථානයක්” යන්නය. එතැන් පටන් එය කල්පිත නැතිනම් පරිපූර්ණ දෙයක් සඳහා ආප්ත වචනයක් වී ඇත. සමාජවාදය පිළිබඳ අදහස් දේශනා කළ එහෙත් එය දිනා ගන්නේ කෙසේද යන්න දැන නොසිටියවුන් “මනෝරාජික සමාජවාදීන්” යනුවෙන් නම් කරන ලද්දේ ඒ නිසාය. තෝමස් මුවර් තම පොතෙන් තමන් පරමාදර්ශී රාජ්‍යය, මනෝරාජ්‍යය කියයි. එමි පුද්ගලික දේපල නොතිබුණි. මනෝරාජ්‍යෙය් සියලු දේ එහි සියළු පුරවැසියන්ට අයත් විය. ඔවුන් සියළු දෙනා වැඩ කළ යුතු විය. ඔවුන්ගේ ශ්‍රමයේ සියළු පල සමාජයට අයත් වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව නොමිලේ ප්‍රසිද්ධ ගබඩාවකින් බෙදා හරින ලදී. සෑම දෙයම සෑම කෙනෙකුටම අයත්විය. මනෝරාජික රාජ්‍යෙය් ආදර්ශබාඨය වූයේ මෙයයි.

මනෝරාජික සමාජවාදියෙකු වූ තොමාසෝ කැම්පනෙල්ලා අනාගත සමාජයක් ගැන, නිදහස් හා ප්‍රීතිමත් ජනයාගේ සංගමයක් ගැන තම සිහින City of the Sun (හිරුගේ නගරය) නැමැති පොතකින් ඉදිරිපත් කළේය. වැඩකිරීම දණ්ඩනීය දාස මෙහෙයක් සහ පීඩාවක් නොව ප්‍රීතියක්, අභිමානයක් හා කීර්තියකි. මේ නගරයේ නම පවා ගීතවත් හා කාව්‍යමය එකකි. මේ නගරයේ ජීවත් වෙන සියළුම සත්වයෝ තමන්ට ආලෝකය හා ප්‍රීතිය ලබා දෙන සූර්යයා දෙසට ලඟා වෙති. මෙම පොතෙහි හිරු රැස් කොමියුනිස්ට්වාදයේ පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටියි.

තෝමස් මුවර්ගේ හා තොමාසෝ කැම්ලනෙල්ලාගේ අදහස් මනෝරාජික සමාජවාදීන්ගේ ඊලඟ පරම්පරාවේ – ප්‍රංශයේ ක්ලෝඩ් හෙන්රි ඩී රෞව්රෝයි සෙනෙට් සිමොන් (1760- 1825) සහ චාර්ල්ස් පූරියේ (1772-1837) සහ බ්‍රිතාන්‍යයේ රොබට් ඕවන් (1771-1858) සමාජ දේශපාලන මත හැඩ ගැසීමට බලපෑවේය. ඔවුහු පුද්ගලික දේපල මත පදනම් වූ සමාජ ක්‍රමයට දැඩි ලෙස පහර එල්ල කළ අතර, අනාගත කොමියුනිස්ට් සමාජය ගැන ඇතැම් සිත්කාවදින අදහස් ඉදිරිපත් කළහ. කෙසේ වුවද ඔවුන් ලියූ දේ මිනිසුන් අවබෝධ කර ගත් වහාම පරමාදර්ශී සමාජ ක්‍රමයක් ඇති කළ හැකි යැයි ඔවුහු බොළඳ ලෙස සිතූහ. සමාජය පරිවර්තනය කළ හැක්කේ ප්‍රබුද්ධ අදහස් පතුරුවා හැරීම මගින් මිස අත්‍යාවශ්‍යයෙන්ම අරගලය මගින් නොවන බව ඔවුහු විශ්වාස කළහ.

ක්ලෝඩ් හෙන්රි රෞව්රෝයි සෙන්ට් සිමොන් සහ චාල්ස් පුරියේ ධනේශ්වර සමාජය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර එහි දූෂණ විස්තර කළහ. ධනේශ්වර සමාජය අනෙකුත් සියළුම පූර්වගාමී ඓතිහාසික සමාජ ක්‍රම මෙන්ම අනිත්‍ය බවත් එය යථා කාලයේදී අනාගතයේ බිහිවන එකමුතු සමාජ ක්‍රමයක් මගින් ප්‍රතිස්ථාපනය කරනු ලබන බවත් චාල්ස් පූරියේ නිගමනය කළේය.

කෙසේවුවද, මනෝරාජික සමාජවාදීන්ගේ සිහින සැබෑ නොවීය. නිදසුනක් ලෙසින් ක්ලෝඩ් හෙන්රි ඩී රොෟව්රෝයි සෙන්ට් සිමොන් පවත්නා සමාජ ක්‍රමය දියුණු කිරිම පිළිබඳ තම අදහස් යුරෝපීය රජවරුන් අමතා ඉදිරිපත් කරමින්, ඔවුන් ඔහුගේ සිහින ක්‍රියාත්මක කිරීමට ආධාර කරනු ඇතැයි බලාපොරාත්තු විය. චාල්ස් පූරියේ නව සමාජයක් සංවිධානය කිරීමට මුදල් පරිත්‍යාග කරන ලෙස ධනපතීන්ට ආරාධනා කරමින් පුවත්පත්වල දැන්වීම් පළ කළේය. සෑම දිනකම මධ්‍යහනය වන විට, ඔහු කඩිනමින් ආපසු ගෙදර ගියේ ලක්ෂපතියන් තම පළමු පරිත්‍යාගය එදින ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ධනපතියන්ගේ ඉදිරිපත්වීම ඉතා සුනංගු විය. සූරාකන්නන් කිසි දිනෙක සිය කැමැත්තෙන්ම, ඔවුන්ගේ බලය, වරප්‍රසාද, සහ ධනය අත්හැර නොදමන බව මෙම මනෝරාජික සමාජවාදීන් තේරුම් නොගත්හ.

රොබට් ඕවන් අනාගත යුක්ති සහගත සමාජයක පරමාදර්ශ බිහිකිරීමටත් වඩා දුර යමින්, මෙම ඉලක්කය දෙසට ගමන් කිරීමට ඇතැම් ප්‍රායෝගික පියවරයන් පවා ගත්තේය. තමා හවුල් අයිතිකරුවෙකු වූ  කම්හලක රොබට් ඕවන් එඩිතර අත්හදා බැලීමක් කළේය. ඔහු වැඩකරන පැය ගණන අඩු කරමින් වැඩ දිනය කෙටි කළේය. කම්කරුවන්ගේ වැටුප් වැඩි කළේය. එසේම කම්කරුවන්ගේ ළමයින් සඳහා ළදරු පාසල් ඇති කළේය. 1842 දී රොබට් ඕවන් ඇමරිකාවට ගොස් ශ්‍රමික කොමියුනයක් පිහිටුවීය. කෙසේ වුවද පසු කාලයේදී එය කැඩී බිඳී ගියේය. මනෝරාජික සමාජවාදීන්ගේ මානවවාදී අදහස්වලට ධනවාදය යටතේ ජීවිතයේ කටුක යථාර්ථයට ඔරොත්තු දිය නොහැකිය.

මනෝරාජික සමාජවාදීන්ගේ අනුමානයන් සහ අදහස් එතරම් අතාත්වික වූයේ ඇයි? ඊට හේතුව ඔවුන් කුලී ශ්‍රමයේ ස්වභාවය අවබෝධ කර නොගැනීමය ය. ඔවුන් සමාජ සංවර්ධන නියමයන් දැන නොසිටීම ය. ඔවුන් පංති අරගලය ගෙන යාමේ අවශ්‍යතාවය වටහා නොගැනීමය. මනෝරාජික සමාජවාදීන් කම්කරුවන් දුටුවේ අසරණ හා දුක්ඛිත පිරිසක් වශයෙන් මිස ධනවාදී ක්‍රමය පෙරලා දමමින් කොමියුනිස්ට් සමාජය ගොඩනැගීමට සමත් මහා විප්ලවකාරී බලවේගයක් වශයෙන් නොවේ.

කෙසේ වුවද, නිර්ධන පංතිය ඒවන විට ප්‍රමාණවත් සේ සංවිධිත එකක් නොවුන බව ඇත්තය. කම්කරු පංතිය දිළිඳුකමින් ජීවත්විය. එහෙත් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සමාජ මෙහෙවර අවබෝධකර ගැනීමට හැකියාවක් ඇතිකරන කොන්දේසි එතෙක් නිර්මාණය වී නොතිබිණි. ක්ලෝඩ් හෙන්රි ඩී රෞව්රෝයි සෙන්ට් -සීමෝන්, චාල්ස් පූරියේ සහ රොබට් ඕවන්ගේ මත මූලික වශයෙන් මනෝරාජික වූයේ සහ විද්‍යාත්මක නොවූයේ නිශ්චිත වශයෙන්ම මේ නිසාය. මනෝරාජික සමාජවාදීයෝ සිය අදහස්වලින් බහුජනතාව ග්‍රහණය කර ගත නොහැකි වූද, සමාජවාදි මූලධර්ම මත ලෝකය පරිවර්තනය කළ හැකි ශක්තිමත් ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්විය නොහැකි වූද, හුදකලා සිහින දකින්නෝ වූහ.

ඔවුන්ගේ අදහස් අපරිණත වුවද, මනෝරාජික සමාජවාදීන් විසින් ඉතිහාසයට කරන ද මෙහෙය අතිමහත් ය. ධනවාදයේ දූෂණ අනාවරණය කිරීමෙන් හා එ්වාට පහරදීමෙන් ඔවුහු එය සමාජවාදී සමාජයක් මගින් ආදේශ කිරීම කෙරෙහි අවධානය යොමු කළහ. එංගලස් පැවසූ පරිදි

“සෙන්ට් සිමොන්, පූරියේ සහ ඕවන්ඔවුන්ගේ සියළු මනඃකල්පිත අදහස් සහ මනෝරාජිකත්වය නොතකා, සියළු කල්හි ඉතාමත් ප්‍රවීන චින්තකයන් අතර සිට ගනිති”.

මනෝරාජික සමාජවාදීන් විසින් අනාගත කොමියුනිස්ට් සමාජයක් ගැන ඉදිරිපත් කරන ලද අදහස් සහ අපේක්ෂාවන් පසු කාලයේ මාක්ස්, එංගලස් හා ලෙනින් විසින් විද්‍යාත්මක ලෙස සනාථ කරන ලදී.

 

1.2මාක්ස්වාදයේ නිර්මාතෘවරු

ඓතිහාසීය පූර්ව කොන්දේසි සහ මාක්ස්වාදය බිහිවීම

ඉතිහාසමය ප්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් මූලික වශයෙන්ම ධනවාදයේ සංවර්ධනය සහ එහි සතුරු ප්‍රතිවිරෝධතා උත්සන්න වීම මගින් නිර්ධන පන්තියේ වැඩෙන දේශපාලන පරිණතභාවය ධනේශ්වරයට එරෙහිව ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග මගින් මාක්ස්වාදය බිහිවිය.

16 වන සියවසේ නෙදර්ලන්තයේ ද දාහත්වන සියවසේ බ්‍රිතාන්‍යයේ ද 18 වන සියවස අවසාන භාගයේ ප්‍රංශයේ ද ඇති වූ ප්‍රථම ධනේශ්වර ක්‍රමය පරදවා ධනවාදය බලයට පත් කළේය. පැරණි ප්‍රවේණිදාස ක්‍රමය විනාශ කර දැම්මේය. රජවරුන් සිහසුනෙන් නෙරපා දැමීය. පීඩනයට එරෙහිව වඩ වඩා විශාල ජනකායක් නැගී සිටිමින් පාලක පන්ති වලට තම ශක්තිය විදහාපෑවෝය.

නිර්ධන පංතිය සිය (ආර්ථික ඉල්ලීම් වැඩි වැටුපක් හා කෙටි වැඩ දිනය සඳහා) සහ දේශපාලන ඉල්ලීම් සඳහා ( දේශපාලන විමුක්තිය සඳහා) දැඩි අරගලයක් දියත් කළේය. නිදසුනක් වශයෙන් ප්‍රංශයේ ලියොන්ස්හි කැරලිකාරී කම්කරුවෝ සහ ශිල්පීහු ( 1831 සහ 1834 දී) වැඩි වැටුප් පමණක් නොව, ප්‍රංශයේ සමූහාන්ඩුවක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා සිටියෝය. බ්‍රිතාන්‍යයේ 1830 ගණන්වල සහ 1840 ගණන්වල චාට්ස්ට්වාදී ව්‍යාපාරය ආර්ථික සහ දේශපාලන අරමුණු ද දිනාගැනීමට විවෘත ලෙස ම ඉදිරිපත් විය. චාට්ස්ට්වාදී ව්‍යාපාරය නිර්ධන පන්ති පහු ජනතාවගේ පුළුල් හා සැබැවින්ම දේශපාලන වශයෙන් සංවිධිත ප්‍රථම විප්ලවීය ව්‍යාපාරය වූයේය.

1844 ජර්මනියේ සයිලේසියානු පේෂ කාර්මිකයන් ගේ නැගිටීම කම්කරු පන්තිය විසින් දියත් කරන ලද ප්‍රධාන කාර්මික සටනක් විය. එය ධනේශ්වර ක්‍රමයට එරෙහිව ජර්මන් නිර්ධන පන්තියේ අරගලයෙහි ආරම්භය සනිටුහන් කළ අතර, යුරෝපීය නිර්ධන පංතිය විසින් දියත් කරන ලද විප්ලවීය සටන් වලට ඉමහත් බලපෑමක් ඇති කළේය.

ධනේශ්වර පන්තියට එරෙහිව නිර්ධන පන්තියේ අනවරත අරගලය මාක්ස්වාදය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන සමාජ ආර්ථික පූර්ව කොන්දේසිය වූයේ ය. දහනව වැනි සියවසේ මැද භාගයේ කම්කරු ව්‍යාපාරය විශේෂයෙන්ම ව්‍යාප්ත වූයේ ය. එය එකී න් පහළ මට්ටමේ ආර්ථික අරගල ස්වරූපයෙන්, එහි ඉහලම අවධිය වන, දේශපාලන අරගලය කරා ඉදිරියට ගමන් කළේය. මේ වන විට සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වූ කම්කරු පන්තිය පෞද්ගලික කම්හල් හිමියන් වෙත ඉදිරිපත් කෙරෙන ආර්ථික ඉල්ලීම් ප්‍රමාණවත් නොවන බව අවබෝධ කර ගැනීමට පටන් ගත්තේය. ධනපතියන්ට ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ මුළුමහත් බලයෙන් ආධාර ලැබෙන බවත්, තම දේශපාලන අයිතිවාසිකම් සඳහා අරගලයක් දියත් නොකළහොත් ධනපතියන්ට එරෙහිව සිය අරගලයේ දී කම්කරුවන් කිසිදිනක ජය නොලබන බවත් කම්කරුවෝ අත්දැකීමෙන් උගත්හ. එකල කම්කරු පන්තිය ඒ වන විටත් තමන්ට මුහුණ පෑමට සිදුවන සිදු වූ ගැටළු වලට පිළිතුරු සඳහා සමාජවාදී න්‍යාය ධර්ම වල පිළිසරණ සෙවූහ. කෙසේ වුවද, පූර්ව – මාක්ස්වාදී, මනෝරාජික සමාජවාදය ඔවුන්ට නිවැරදි පිළිතුරු සැපයීමට අසමත් විය.

සමාජය සහ එහි වර්ධනය පිළිබඳ එකම නිර්ව්‍යාජ විද්‍යාව වූයේ මාක්ස් ලෙනින්වාදය යි.

1.3 මාක්ස්වාදයේ නිර්මාතෘ

කාල් මාක්ස්

කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් දීප්තිමත් පඬිවරු හා ශ්‍රේෂ්ඨ විප්ලවවාදීහු වූහ. ඔවුන්ට සමාජය හා ස්වභාව විද්‍යාවන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබිණි. නවීනතම විද්‍යාත්මක සොයාගැනීම් සහ මහජන ජීවිතයේ සිද්ධීන් ඉතා සමීප ලෙස අධ්‍යයනය කළ ඔවුහු ඒවා නිර්මාණාත්මක ලෙස විවරණය කරමින්, සිය සොයාගැනීම් සම්පිණ්ඩනය කළහ. ඔවුන් විශේෂ වැදගත්කමක් දුන් විෂය වූයේ යුරෝපයේ ආසියාවේ ඇමරිකාවේ හා ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වල කම්කරු ව්‍යාපාරයයි. මෙහිදි භාෂාවන් කිහිපයක් පිළිබඳ හසළ දැනුම ඔවුන්ට විශාල ආධාරකයක් විය. කාල් මාක්ස් ප්‍රංශ ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා කථා කළේය. ඔහු ලතින් සහ ග්‍රීක් භාෂා ද දැන සිටියේය. ප්‍රෙඩ්රික් එංගල්ස් භාෂා විස්සක් දැන සිටියේය. මිනිස් බුද්ධිය විසින් නිර්මාණය කර තිබු හොදම දේ විචාරාත්මක ලෙස විමර්ශනය කරමින් ඔවුහු විද්‍යාවේ විප්ලවයක් සිදු කළහ. ලෝකය පරිවර්තනය කිරීම පිළිබඳ සංගත විද්‍යාත්මක න්‍යායක් නිර්මාණය කළහ. මානව සංහතියේ ඓතිහාසික සංවර්ධනය පිළිබද නියමයන් සොයාගත්හ.

කාල් මාක්ස් 1818 මැයි 5 දා පෘෂියාවේ රයින් ප්රදේශයේ ට්‍රිල් නගරයේ උපත ලැබීය. නීතිඥයකු උගතෙකු හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි පුද්ගලයකු වූ ඔහුගේ පියා, හෙන්ඩ්‍රික් මාක්ස් තම දරුවන් වොල්ටෙයාර්ගේ, රූසෝගේ, ලෙසිංගේ සහ මනෝරාජික සමාජවාදීන් ගේ ප්‍රගතිශීලී අදහස් මත ඇතිදැඩි කිරීමට අදහස් කළේ ය.

1830 දී කාල් මාක්ස් ට්‍රීල්හි උසස් භාෂා (ලතින් ග්‍රීක් ආදී) පාසලට ඇතුළත් විය. එහෙත් පාසල් අධ්‍යයන පරිපාටිය ට පරිබාහිරව ඔහුගේ අධ්‍යාත්මික ලෝකය විශාල පරිමාණයකින් වර්ධනය විය. ඊට හේතුව හේ ඉතිහාසය දර්ශනවාදය සහ සංගීතය පිළිබඳ පොත් කියවීමට වැඩි වෙලාවක් ගත කිරීමය.  තමාගේ මුලු ජීවිතයම ජනතාවගේ ප්‍රීතිය සඳහා අරගලයට, යුක්තිය සඳහා අරගලයට කැප කළ යුතුයැයි කාල් මාක්ස් තම ජීවිතයේ මුල් අවදියේදීම කල්පනා කළේය. තරුණ මාක්ස් තමාගේ සිතුවිලි සහ මනෝභාවය “වෘත්තියක් තෝරා ගැනීම සම්බන්ධයෙන් තරුණයෙකුගේ සංකල්පන” නැමැති හිසින් පාසලේ තම අවසාන පරීක්ෂණයට ලියනලද රචනාවෙන් ඉදිරිපත් කළේය. එවක් පටන් ඔහුගේ මුළු ජීවිතයේ ම ප්‍රධාන ආදර්ශපාටය වූ: මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කිරීම, යන අදහස මාක්ස් එම රචනාවෙන් ඉදිරිපත් කළේය. ඔහුගේ මාවත රෝසමල් ඇතිරූ එකක් නොව, කටු පඳුරු වලින් ගහණ වූවක් ය යන්න ඔහුගේ සිතෙහි ඉතා පැහැදිලි ලෙස සටහන් වී තිබුණි. එහෙත් ඔහු එයින් භීතියට පත් නොවීය. ඇත්තෙන්ම, තම තේරීමේ විශාල වගකීම පිළිබඳ ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් තිබුණි. “අප අන් සියළු දේටම වඩා වැඩියෙන් මානව වර්ගයා වෙනුවෙන් වැඩ කිරීමට හැකි ස්ථාවරය තෝරා ගෙන සිටිමු නම් කිසිම බරකට අපේ කොන්ද නැවීමට නොහැකිය” යනුවෙන් හේ ලිවීය.

බොන් සරසවියේ සහ පසුව බර්ලින් සරසවියේ තමා විසින් ගත කළ ශිෂ්‍ය ජීවිතයේ දී, කාල් මාක්ස් ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනවාදය, සහ නීතිය ඉතා ගැඹුරට අධ්‍යයනය කළේය. 1841 දී කාල් මාක්ස් තම නිබන්ධනය ඉදිරිපත් කළේ, එමඟින් විශාල දැනුමක් සහ බුද්ධි මහිමයක් ප්‍රදර්ශනය කරමිනි. මාක්ස් තමාගේ තරුණ වියේදී ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ මෝසස් හෙස්ගේ මතය මෙහිලා ඉදිරිපත් කිරීම උචිත වනු ඇත. සිය මිතුරකු අමතා ලියූ ලිපියක හෙස් මෙසේ සඳහන් කළේය.

“ශ්‍රේෂ්ඨතම හා බොහෝ විට එකම ජීවමාන සැබෑ දාර්ශනිකයා හමු වීමට සූදානමින් සිටින්න… ඩොක්ටර් මාක්ස් තවමත් තරුණයෙකි. ඔහුගේ වයස අවුරුදු 24 කි. ඔහු මධ්‍යතන ආගමට සහ දේශපාලනයට බිම ඇද වැටෙන්නට පහර දෙනු ඇත. ඔහු ඉතාමත් ගැඹුරු දාර්ශනික වගකීමේ හා ඉතා සියුම් ප්‍රසන්නතාවයේ සංකලනයකි. රූසෝ වෝල්ටෙයාර්, හොල්බාහ්, ලෙසිංග්, හේනේ  සහ හේගල් ඒකාබද්ධ කොටගෙන සෑදුණු පුද්ගලයෙකු ගැන නිකමට සිතා බලන්න. මා කියන්නේ මිශ්‍රණයක් නොව ඒකාබද්ධ වීමකි. ඩොක්ටර් මාක්ස් අන්න ඒ වගේ කෙනෙක්….”

1842 දී කාල් මාක්ස් Rheinische Zeitung පුවත්පතට ලිපි ලියන්නට විය. අනතුරුව ඔහු එම පුවත්පතේ සංස්කාරකවරයෙකු වූයේය. පීඩාකාරී පෘසියානු පාලනය, රදළ අධිපතියන්ගේ හා පෘසියානු නිලධාරි තන්ත්‍රයේ ආධිපත්‍යය, පන්ති වරප්‍රසාද සහ දැඩි ප්‍රවෘත්ති පාලනය නිර්දය ලෙස හෙළිදරව් කිරීම සඳහා ඒ මෙම පුවත්පත උපයෝගී කරගත්තේය. වැඩ කරන පීඩිත පොදු ජනතාව ආරක්ෂා කිරීමට හේ ඉදිරිපත් විය. මේ සියලුම කටයුතු වලින් ප්‍රකෝපයට පත් කෝපාවිෂ්ඨ පෘසියානු පාලකයෝ 1843 මුලදී එම පුවත්පත තහනම් කළහ. කාල් මාක්ස් ජර්මනිය අතහැර යාමට තීරණය කළේ විටය.

විවාහ ජීවිතයට ඇතුළත් වීමත් සමග ම ඔහුගේ ජීවිතයේ නව යුගයක් ආරම්භ විය. මාක්ස්ගේ මුළුමහත් ජීවිත කාලය මුළුල්ලේම සිය භක්තිමත් සහකාරිය වූයේ ජෝනීවෙස්ට් පාලන් ය. එංගල්ස් පවසන පරිදි, ගිනි තම ස්වාමියාගේ දුක්කම්කටොලු බෙදා ගත්තා පමණක් නොව, සැබවින්ම වැඩකටයුතුවලට සහ අරගලයට ද සහභාගි වූවාය. එසේම එය කැපවීමෙන් හා අනුරාගයෙන් යුතුව ඉටු කළාය.

1843 සරත් සමයේ කාල් මාක්ස් පැරීසිය බලා ගියේය. එහිදී ඔහු  Deutsch Fransosische Jahrbucher (ජර්මන් ප්‍රංශ වාර්ෂික ග්‍රන්ථය) නැමැති සඟරාව ආරම්භ කළේය. “ඒක ජීවිතයේ දර්ශනය පිළිබඳ විවේචනයට දායක වීමක්” නැමැති ඔහුගේ ප්‍රකට ලිපිය පලකරන ලද්දේ මෙම සඟරාවේ ය. මෙම ලිපියෙන් හේ සක්‍රීය විප්ලවීය සටනට සමත් සැබෑ බලවේගය නිර්ධන පංතිය බව ද, න්‍යාය හා ව්‍යවහාරය, දර්ශනය සහ ජීවිතය එකට බැඳ තැබූ දැම්මා නිර්ධන පංතිය බවද සඳහන් කළේය. වෙනත් වචන වලින් කිවහොත් සූරා කෑමෙන් තොර සමාජයක් ගැන අදහස් මූර්තිමත් කිරීමට නිර්ධන පංතියට ආයාචනා කරන ලදී.

නව සමාජය කෙසේ විය හැකිද? “1844 ආර්ථික හා දාර්ශනික අත්පොත්” නැමැති සිය ලේඛන වලින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයූ මාක්ස් කොමියුනිස්ට්වාදය නිර්ව්‍යාජ හා පරිපූර්ණ මනුෂ්‍යත්වයේ සමාජයක්, සියලු සාමාජිකයන්ට සර්ව ප්‍රකාර වර්ධනය සඳහා ඉඩ ප්‍රස්ථාවක් දෙන සමාජයක් වශයෙන් විස්තර කළේය. දිගු ඉදිරි පියවරක් තැබූ හේ තම අරමුණ කොමියුනිස්ට්වාදයේ පරමාදර්ශ සඳහා අරගලය වශයෙන් විස්තර කළේය. මෙම අදහස් සාක්ෂාත් කර ගැනීමට සමත් ද්‍රව්‍යමය බලවේගය කම්කරු පන්තිය යැයිද ඒ නිගමනය කළේය.

මේ අනුව 26 හැවිරිදි කාල් මාක්ස් ලෝකය පිළිබඳ මිනිස් සමාජයෙහි ජීවිතය පිළිබඳ මෙම නව හා සැබැවින් විද්‍යාත්මක දැක්ම වෙත අවතීර්ණ විය. ඔහු එය කළේ, දර්ශනවාදී ක්ෂේත්‍රයේ සහ සමාජ චින්තනයේ අනෙකුත් ක්ෂේත්‍ර වල යුරෝපීය සංස්කෘතියේ සමස්ත උරුමය අධ්‍යයනය කරමින් සහ යළි පිළියෙල කරමින් ඉටු කරන ලද අතිවිශාල නිර්මාණාත්මක කාර්යභාරය ප්‍රතිඵලයක් වශයෙනි.

මාක්ස්වාදය බිහිවූයේ මානව වර්ගයාගේ සංස්කෘතික හා බුද්ධිමය ජයග්‍රහණවල සාරාංශයක් සහ ඇගයීමක් වශයෙන් පමණක් නොව, ඉතිහාසමය වශයෙන් අනිත්‍ය වූ ද,  අභාවයට යාමට නියමිත වූද , සමාජය වූ, ධනේශ්වර සමාජයේ වර්ධනයෙහි ඇතැම් ආර්ථික හා සමාජ දේශපාලන ප්‍රවණතාවයන්ගේ ප්‍රකාශිතවීමක්ද වශයෙනි.

1844 දී කාල් මාක්ස් සම්පූර්ණයෙන්ම කොමියුනිස්ට්වාදය වෙත අවතීර්ණ විය. මෙය මාක්ස්වාදය විද්‍යාත්මක ලෝක දෘෂ්ටියක් වශයෙන් උපත ලැබූ අවුරුද්ද වූයේය. කෙසේ වුවද මාක්ස්වාදී ධර්මය සියලු අංශවලින් වර්ධනය වීමට තවමත් අතිවිශාල විද්‍යාත්මක, ප්‍රායෝගික හා විප්ලවීය වැඩ කොටසක් කිරීමට තිබුණි. මෙම යෝධ කර්තව්ය ප්‍රෙඩ්රික් එංගල්ස් සමඟ එකතුව ඉටුකරන ලදී. පුද්ගලයින් දෙදෙනා පළමුවෙන්ම හමු වූයේ 1844 වසරේ පැරීසියේ දී ය. එතැන් පටන්, ඔවුන්ගේ ඒකාබද්ධ විප්ලවීය කටයුතුවලට ආධාර වූ, උණුසුම් මිත්‍රත්වයක් ආරම්භ විය. 1847 වසන්තයේ දී, කාල් මාක්ස් කොමියුනිස්ට් ලීගයට (සංගමයට) බැඳුණු අතර, නොබෝ කලකින් ප්‍රෙඩ්රික් එංගල්ස් සමඟ එකතුව, කම්කරු පන්තියේ විප්ලවීය පක්ෂයෙහි ප්‍රථම වැඩපිළිවෙළ වන, සම්භාවනීය කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීය. 1849 දී කාල් මාක්ස්ට ලන්ඩනයට යාමට සිදුවිය. ලන්ඩනයේ පදිංචි වූයේ 1883 සිය මරණය දක්වාම එහි වාසය කළේය.

මාක්ස්ගේ විගාමික ජීවිතය අතිශයින් දුෂ්කර එකක් විය. ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් කරන ලද මූල්‍යමය ආධාර නොතිබෙන්නට අන්ත දරිද්‍රතාවයෙන් මිය යන්නට ඉඩ තිබිණි. සමහර විට තත්වය කොතරම් අයහපත් වීද යත් මාක්ස්ට තමාගේ ඇඳුම් උගසට තබා තිබූ හෙයින් නිවසින් පිට යාමට හැකියාවක් නොතිබූ අවස්ථා තිබිණි. 1852 සැප්තැම්බර් 8 17 එංගල්ස් ට ලියුමක හේ මෙසේ සඳහන් කළේය. “මගේ බිරිඳ රෝගාතුර ව සිටි. ජෙනිහෙන් (ඔහුගේ දියණිය) රෝගාතුරව සිටි. බෙහෙත් සඳහා මුදල් නැති නිසා මට වෛද්‍යවරයෙකු කැඳවිය නොහැකි ය. ගතවූ දින 8 10 තුළ මගේ පවුල ජීවත් වූයේ පාන් සහ අර්තාපල් මත පමණකි. අද මට ඒවා පවා ලබා ගැනීමට හැකිවේදැයි එතරම් විශ්වාසයක් නැත.”

කෙසේ වුවද, තමන්ගේ අගහිගකම් නොතකා, කාල් මාක්ස් සිය විද්‍යාත්මක හා විප්ලවීය කටයුතු අවිච්ඡින්න ව කරගෙන ගියේය. ඔහු තම ප්‍රාග්ධනය ( දාස් කැපිටාල්) කෘතිය ලිවීමට අවුරුදු හතළිහක් ගත කළේය. මෙම කාර්යය සඳහා සූදානම් වීමට එකතු කරන ලද කරුණු පමණක් වෙළුම් තිහක් හතළිහක් වීමෙන්ම එම කටයුත්තේ විශාලකම මැනගත හැකිය. ඔහුගේම වචනවලින් පැවසූ පරිදි, ප්‍රාග්ධනය ධනේශ්වර පන්තියේ ඔළුගෙඩි වලට මේ තාක් එල්ල කරනු ලැබූ ඉතාමත් බිහිසුනු කාලතුවක්කු වෙඩි පහර වූයේය. එම කෘතියෙන් මාක්ස්ගේ ධර්මය ඉතාමත් පූර්ණ ලෙස අනාවරණය විය. මෙම කෘතියෙන් මාක්ස්වාදය ලෝකය විද්‍යාත්මක ලෙස ප්‍රජානනය කිරීමේ (හඳුනාගැනීමේ) සහ එය විප්ලවීය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ දැවැන්ත මාධ්‍යයක් ලෙස මතුවෙයි. සමාජවාදය තිරසාර ආර්ථික අත්තිවාරමක් මත තැබුවේ ප්‍රාග්ධනය කෘතියයි.

මාක්ස් දැවැන්ත විද්‍යාත්මක හා සාහිත්‍යය ම උරුමයක් ( දායාදයක්) හිමිකර දුණි. වෙළුම් ගණන් විශාල ප්‍රාග්ධනය කෘතියේ සිට කුඩා කෘතීන් දක්වා විහිද යන දුසිම් ගණන් පොත් හා පොත් පිංච ද, කම්කරු පන්ති ව්‍යාපාරය ගැන ලිපි, ලේඛන දහස් ගණනාවක් ද, තවත් බොහෝ ලිපිද මේ අතර වේ. මාක්ස් සහ එංගල්ස්ගේ කෘති වල රුසියන් සංස්කරණයේ සම්පූර්ණ වෙළුම් පනහේ අන්තර්ගතයෙන් වැඩි කොටසක්  කාල් මාක්ස් විසින් ලියා ඇත.

1883 මාර්තු 13 දා කාල් මාක්ස් මියගියේය. ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේ භූමදානය කරන ලදී. ඔහුගේ මිනී වළ අභියස දී කතා කළ එංගල්ස්,

“මානව වර්ගයාට නායකයෙක් අහිමි විය, අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයා අහිමි විය…..”යනුවෙන් පැවසීය.

1.4ප්‍රෙඩ්රික් එංගල්ස් කාල්මාක්ස්ගේ මිතුරා සහ සගයා

ප්‍රෙඩ්රික් එංගල්ස් 1820 නොවැම්බර් 05 දා  ජර්මනියේ බාර්මන්හි උපත ලැබීය. ඔහුගේ පියා කර්මාන්ත හිමියකු විය. 1837 දී සිය පියාගේ බලකිරීම උඩ එංගල්ස් වාණිජ කටයුතුවල නිරත විය. එහෙත් තරුණ ප්‍රෙඩ්රික් එංගල්ස් මෙම වෘත්තිය කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ අතර ස්වයං අධ්‍යාපනය සඳහා වැඩි වෙලාවක් ගත කිරීමට උත්සාහ දැරීය. ඔහු සමාජ විද්‍යාවන්, සහ භාෂා ඉගෙන ගත්තේය. අපේ ක්‍රීඩා, අසුන් පිට යාම, අසුන් පැනවීමේ තරග සහ බිහිවීම කෙරෙහි විශේෂ දක්ෂතාවක් දැක්වීය.

මනෝරාජික සමාජවාදය අදහස් වර්ධනය වීම ගැන ඉතා සමීප නිරීක්ෂණය යෙදුණු ඔහු අවසානයේ දී, දැවෙන සමාජ ප්‍රශ්න වලට විසඳුමක් දැකිය හැකි සැපයිය හැක්කේ කොමියුනිස්ට්වාදීන් පමණකැයි යන නිගමනයට එළඹුණි.

1842 නොවැම්බර් මස මැද භාගයේ එංගල්ස් සිය පියා හවුල් කොටස් කරුවකු වශයෙන් හිමිකම් දැරූ කපු නූල් කටින මෝලක වාණිජ කටයුතුවල නිරතවීම සඳහා මැන්චෙස්ටර් බලා පැමිණියේය. එකල බ්‍රිතාන්‍යය ඉතාමත් දියුණු කම්කරු පන්ති ව්‍යාපාරය සහිත කර්මාන්ත අතින් දියුණුම රට වූයේය. බ්‍රිතාන්‍ය නිර්දන පංතිය සිය ශක්තිය පිළිබඳ අවබෝධයකින් සිටි අතර, එහි කාර්මික සටන් ක්‍රියාමාර්ග සංවිධිත බහුජන ස්වරූපයක් ගෙන තිබිණි. ප්‍රෙඩ්රික් එංගල්ස් රටේ දේශපාලන ජීවිතය සහ එහි කම්කරු පන්තියේ තත්වයන් ගැන ගැඹුරු අධ්‍යයනයක් කළේය. සාමාන්‍ය කම්කරුවන්ගේ නිවෙස් වලට ගියේය. නිර්ධනීන් සමඟ කතා කළේය. ඉතාමත් දරුණු තත්වයන් යටතේ ඔවුන් ජීවත්වූ හා වැඩ කළ ආකාරය හේ සියැසින්ම දුටුවේය. එංගල්ස් කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකයින් ද හමු විය. කම්කරුවන්ගේ වැඩ සහ දෛනික ජීවිතය පිළිබඳ සංඛ්‍යා ලේඛන හා ලේඛනගත කරුණු අධ්‍යයනය කළේය. ප්‍රෙඩ්රික් එංගල්ස්, එකල කාල් මාක්ස් විසින් කර්තෘ ධුරය උසුලන ලද Rheinische Zeitung (රයින් පුවත් පතට) කම්කරු පන්තියේ තත්ත්වය ගැන ලිපි කිහිපයක් යවන ලද අතර ඒවා එම පුවත්පතෙහි නොපමාව පළ කරන ලදී. මාක්ස් විසින් පළ කරන ලද Deutsch Frenzosische Jahrbucher (ජර්මන් ප්‍රංශ වාර්ෂික සංග්‍රහය) නැමැති ප්‍රකාශනයට ද හේ ලිපි කිහිපයක් යැවීය. මෙම ලිපි අතර “දේශපාලන ආර්ථික විද්‍යාවේ විවේචනය පිළිබඳ සටහන්” නැමැති ලිපිය ද විය. මෙම කෘතිය නිර්ධන පංතික දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ විචක්ෂණ සමීක්ෂණයක් වශයෙන් කාල් මාක්ස් විස්තර කළේය. මක්නිසාද යත්, විප්ලවීය නිර්ධන පන්තියේ ස්ථාවරයන් විශ්ලේෂණය කරන ලද ධනවාදයේ ප්‍රධාන ප්‍රපංච හා ප්‍රතිවිරෝධතා පිළිබඳ විස්තර එහි අන්තර්ගත වූ හෙයිනි. සිය සටහන් වලින් එංගල්ස් ධනේශ්වර දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රධාන පෙළේ විශේෂඥයින්ගේ සහ ධනපති පංතියේ අපචාරි දේශකයන්ගේ ද මත ද විවේචනයට ලක් කළේය.

එංගල්ස් බ්‍රිතාන්‍යයේ දී ආරම්භ කළ, එහෙත් තරමක් පසු කාලයක, 1845 දී අවසන් කළ ඔහුගේ අනික් කෘතිය පිළිබඳ කාල් මාක්ස් වඩා ඉහළ මට්ටමක තක්සේරුවක් කළේය. එංගලන්තයේ “කම්කරු පන්තියේ තත්ත්වය” නැමති මෙම පොත කම්කරු පන්තියේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ වඩාත් සත්‍යය පින්තූරයක් දුනි. ඒ සමගම, නිර්දන පංතිය හුදෙක් අවාසිදායක තත්ත්වයකට පත්වූ, පීඩිත පන්තියක් පමණක් නොවන බව පළමුවෙන් ම පෙන්වා දුන්නේ මෙම කතුවරයා ය. දුෂ්කර ආර්ථික කොන්දේසි නිර්ධනීන් ධනවාදී ක්‍රමය පෙරළා දැමීම මගින් තම විමුක්තිය උදාකර ගැනීම සඳහා සටනට පොළඹවයි. “මුළු ලෝකයම ඉදිරියේ මම ඉංග්‍රීසි ධනේශ්වර පන්තියට, මිනීමැරීම්, කොල්ලකෑම් සහ දනිත් දැවැන්ත පරිමානයෙන් සිදු කරනු ලබන අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමි” යනුවෙන් ඔහු මාක්ස් ලෙස ලියා එවීය. “මා මල්ලට පහර දෙන විට බූරුවාට, එනම් ජර්මන් ධනේශ්වර පන්තියට පහර දීමට අදහස් කරන බව කිවයුතු නොවේ. ජර්මන් ධනේශ්වරය ඉංග්‍රීසි ධනේශ්වරය තරම්ම නරක බව ඉතා පැහැදිලිව කියමි. එකම වෙනස නම්, German ධනේශ්වරය අඩු වැටුපට බර වැඩ ගන්නා ක්‍රම අතින් එතරම් එඩිතරව, ස්ථාවර හා දක්ෂ පුද්ගලයන් නොවීමය”

1845 – 1846 බී කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් ජර්මන් දෘෂ්ටිවාදය කෘතිය ලියූහ. මෙම කෘතියෙන් ඔවුහු විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ මූලික ප්‍රතිපත්ති ගැන දීර්ඝ විස්තරයක් දුන්හ. එක් සමාජ ක්‍රමයත් අනිවාර්යයෙන්ම හා යථා කාලයේදී තවත් සමාජ ක්‍රමයක් විසින් ප්‍රතිස්ථාපනය කරන බව ඔවුහු එයින් ඉදිරිපත් කළහ. බිඳවැටීම අනිවාර්ය බව ඔප්පු කර ඔවුහු සමාජ සංවර්ධනයේ ප්‍රධාන සාධකය නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සබඳතාව ප්‍රගමනය බව පෙන්වා දුන්හ.

1847 දී, ප්‍රෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් ලීගය සඳහා වැඩපිළිවෙළක් සකස් කළේය. කොමියුනිස්ට්වාදයේ මුලධර්ම නැමති මෙම වැඩපිළිවෙළ පසුව කොමියුනිස්ට් ප්‍රකාශනය පදනම වශයෙන් ආධාර විය. 1848 දී ලියන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය නිර්ධන පංතියේ තිරසාර ලෝක දෘෂ්ටියක් බවට පත්විය.

ප්‍රෙඩ්රික් එංගල්ස් කෘතීන් විශාල සංඛ්‍යාවක් ලිවීය. මේවායින් වැදගත් තැනක් ගන්නා දොරෙන් විරෝධය කෘතියෙන් එය මාක්ස්වාදයේ සංයුත්ත කොටස් තුන භෞතිකවාදී දර්ශනය දේශපාලන ආර්ථික විද්‍යාව සහ විද්‍යාත්මක කොමිනිස්ට්වාදය ඉදිරිපත් කළේය. කාල් මාක්ස් ගේ අභාවයෙන් පසු ඔහු ප්‍රාග්ධනයේ ii හා iii වෙළුම් ප්‍රකාශයට පත්කිරීමට පිළියෙළ කළේය. මෙම වෙළුම් දෙක කාල්මාක්ස්ගෙ සහ ප්‍රෙඩ්රික් එංගල්ස් ගේ ඒකාබද්ධ පරිශ්‍රමයකි.

විප්ලවීය න්‍යාය නිර්මාණය කිරීම පිළිබඳ ගෞරවය මූලික වශයෙන්ම කාල් මාක්ස් ද හිමිවිය යුතු යැයි කාල් මාක්ස්ගේ මිතුරා හා සගයා වශයෙන් ප්‍රෙඩ්රික් එංගල්ස් නිතරම කියා සිටියේය. ලුද්විග් පොයාර්බාග් හා ජර්මන්  සම්භාව්‍ය ජර්මන් දර්ශනවාදයේ අවසානය නැමැති සිය කෘතියෙහි පෙරළීගෙන මෙසේ සඳහන් කළේය.” මෙහිදී මට පූල් පෞද්ගලික පැහැදිලි කිරීමකට අවසර දීම මැනවි. මෑත කාලයක සිට, මේ න්‍යායට මගේ දායක වීම පිළිබඳ පුන පුනා සඳහන් කරනු ලැබේ. මේ කාරණය නිරාකරණය කිරීමට වචන කිහිපයක් සඳහන් නොකරම බැරිය. මාත් සමග එකතුව මා වැඩ කළ අවුරුදු 40 තුළදී සහ ඊට පෙර එම න්‍යායෙහි  පදනම දැමීමෙහිලා, විශේෂයෙන්ම එය විස්තාරණය කිරීමෙහිලා එක්තරා ස්වාධීන කොටසක් මගින් ඉටු විය. එහෙත් එහි ප්‍රධාන මූලික ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ හා ඉතිහාසයේ මූලධර්ම, සහ අන් සැමට වඩා ඒවායේ අවසාන ආරක්ෂක සූත්‍රායනය, මාක්ස්ට අයිතිය. මා ඉටු කළ කොටස-එසේ වුවද විශේෂ ක්ෂේත්‍ර කීපයක මගේ කටයුතු හැරුණු විට- මාක්ස් හට මා නොමැතිව ඉතා හොඳින් කළ හැකිව තිබිණි. මාක්ස් ඉටු කළ දේ මා ඉටු නොකරනු ඇත. මාක්ස් අපගේ සියලු දෙනාටම වඩා ඉහළින් සිටියේ ය. වඩා දුර දුටුවේය. වඩා කඩිනම් සහ වඩා පුළුල් මතයක් දැරීය. මාත් අනුපම ප්‍රබුද්ධයෙකි. සෙස්සන් වූ අපි වැඩිම වුවහොත් බුද්ධිමතුන් වීමු. මාක්ස්ගෙන් තොරව න්‍යාය කෙසේවත් අද පවතින තත්ත්වයට නොඑනු ඇත. එම නිසා, එම න්‍යාය නිවරද ලෙසම ඔහුගේ නමින් වේ.”

1895 අගෝස්තු 5දා වෙද්දි ප්‍රෙඩ්රික් එංගල්ස් මිය ගියේය. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් තම මුළු ජීවිතයම ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය වෙනුවෙන් කැප කළහ. ඔවුන්ගේ න්‍යායික කෘති සහ ඔවුන්ගේ ප්‍රායෝගික කටයුතු නිර්ධන පන්තියේ විප්ලවීය ව්‍යාපාරය නව අදියරක් බිහි කළේය. කම්කරු පන්තියේ උදෙසා ඔවුන් ඉටු කළ විශාලතම සේවය නම් මුල් අබල සිහින ආදේශ කළ විද්‍යාව මත පදනම් වූ විප්ලවීය න්‍යායක් ඔවුන් විසින් නිර්මාණය කිරීමය.”

1.5කොමියුනිස්ට්වාදය, මනෝරාජ්‍යයක් නොව විද්‍යාවකි

කොමියුනිස්ට්වාදය යම් පුද්ගලයකුගේ, මහා ප්‍රාඥයෙකුගේ පවා, සොයා ගැනීමක් නොව, මිනිස් සමාජයේ වර්ධනයෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් යයි සිය පර්යේෂණ සහ විප්ලවීය කටයුතු මගින් කාල් මාක්ස් සහ එංගල්ස් නිගමනය කළහ. මෙසේ කිරීමෙන් ඔව්හු සමාජවාදය මනෝරාජ්‍යය සිට විද්‍යාවක් බවට පරිවර්ථනය කළහ.

වසර ගණනාවකට පසු වී අයි ලෙනින් මෙසේ ලිවීය. “මාක්ස්” “නව සමාජයක්” සෑදීය, නැතහොත් නිපදවීය, යන අරුතෙන් මා තුළ මනෝරාජිකත්වයක් නැත.

කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් භෞතිකවාදීන් සහ දයලෙක්තිකවාදීන් ලෙස අතීතය, වර්තමානය සහ අනාගතය විශ්ලේෂණය කිරීමට ප්‍රයත්න දැරූහ. සමාජ ජීවිතයේ වෙනස්වීම් සිදුවන්නේ ඇයි දැයි යන්න ගැටලුවටත්, සමාජය එක්තරා දිශාවකට මිස වෙනත් කිසිම දිශාවකට වර්ධනය නොවිය යුත්තේ ඇයිදැයි යන්නත් ඔවුහු අධ්‍යයනය කළහ. ඉතිහාසයේ සැබෑ මැවුම්කරුවන්, සියලු ද්‍රව්‍යමය ධනය නිර්මාණය කරන, එනම්, සමාජය ජීවත්වීමට පිටුවහලක් කරගන්නා සියලු දේ නිර්මාණය කරන, වැඩ කරන බහු ජනතාව බව ඔවුහු පෙන්වා දුන්හ. සියලුම පන්ති සමාජවල ( වහල් හිමි, රදල සහ ධනවාදී සමාජවල) වර්ධනයේ ගාමක බලවේගය වැඩකරන ජනතාව විසින් තම සූරා කන්නන් ට එරෙහිව ගෙනයන අරගලයයි. මාක්ස්වාදය නිර්මාතෘ හෝ ධනවාදය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරමින් එහි මූලික ප්‍රතිවිරෝධතා අනාවරණය කළහ. ධනවාදී සමාජයේ ගරා වැටීමට හා බිඳ වැටීමට හේතු වන ද්‍රව්‍යමය තත්ත්වයන් එම සමාජය තුලම නිර්මාණය වීමේ ක්‍රියාදාමය ඔවුහු ඉමහත් අවධානයකින් යුතුව අධ්‍යයනය කළහ. පැරණි ක්‍රමය විනාශ කර දැමීමට සමත් බලවේගය වශයෙන් නිර්ධන පන්තිය දුටු ඔවුහු, සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ දී නිර්ධන පන්තිය ඉටුකරනු ඇත්තා වූ කාර්යභාරය සනාථ කළහ.

ධනවාදය විනාශ කොට සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම වෙනත් කිසිදු සමාජ පන්තියකට නොව නිර්මණය පන්තියට පැවරී ඇත්තේ ඇයි ද?

ප්‍රථම කොට ම, ධනවාදී සමාජයේ නිර්ධන පංතිය කිසිදු ආකාරයක දේපල අයිතියකට සම්බන්ධ නැත. නිර්ධනීන්ට තම දෑත හැර වෙනත් දෙයක් අයිති නැත. පෞද්ගලික දේපළෙහි බර ඔවුන්ට බාධාවක් නොවන අතර, ඔවුන්ගේ විප්ලවීය අපේක්ෂාවන් දියාරු තත්ත්වයකට පත් නොකරනු ඇත. සමාජවාදී විප්ලවයක දී නිර්ධන පංතියට සිය යදම් මිස අහිමිවීමට වෙනත් කිසිවක් නැත්තේ එම නිසාය.

දෙවනුව,නිර්දන පංතිය කෘරතම සූරාකෑමට භාජනය වේ.ධනේශ්වර පංතිය එහි ධනයෙන් වැඩි කොටසක් ලබා ගන්නේ නිර්ධන පංතිය කොල්ලකෑමෙනි.  සමාජයේ කම්කරු පන්තියට හිමි මෙම තත්ත්වය, කම්කරු පන්තියේ සමාජවාදය සඳහා ඉතාමත් තීරණාත්මක ලෙස සටන් කරන්නා බවට පත් කරයි.

තෙවනුව, කම්කරු පන්තිය නිෂ්පාදනයේ ඉතාමත් විගමනික සහ ඒ සමඟ නිරන්තරයෙන් වර්ධනය වන ස්වරූපය වන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය සමඟ සම්බන්ධ කරනු ලැබ ඇත. ධනවාදී නිෂ්පාදනයේ වර්ධනය, සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලවේගයන් වන, නිර්ධන පන්තියේ වර්ධනය හා තහවුරු වීම මගින් එක පෙළට ගමන් කරයි.

සිව්වනුව, ධනවාදී නිෂ්පාදන වර්ධනය කම්කරු පන්තිය ධනේශ්වර පංතියට විරුද්ධව තනි විප්ලවීය හමුදාවක් බවට ඒකාබද්ධ කරන තත්ත්වයක් අනිවාර්යෙන්ම නිර්මාණය කරයි. කම්කරු පන්තිය අපේ යුගයේ ඉතාමත්ම සංවිධිත දේශපාලන බලවේගයයි. එය ඉතාමත් දියුණු විප්ලවීය න්‍යායන්ගෙන් සන්නද්ධ වී ඇති අතර, කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ එහි නායකත්වය දරයි.

නව සමාජයේ කල්පනා මාත්‍රයක් හෝ සිහින නොව,අවසාන ඉලක්කය බවත්, ධනවාදය යටතේ නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සබඳතාව වර්ධනය ප්‍රතිඵලයක් බවත් පළමුවෙන්ම ඔප්පු කළේ කාල් මාක්ස් සහ එංගල්ස් ය. කොමියුනිස්ට් ප්‍රකාශනය සියලුම රටවල විප්ලවවාදීන්ගේ ප්‍රතිපත්ති ලේඛනය බවට පත්වී ඇත.මාක්ස්වාදයේ නිර්මාතෘ හෝ කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ තමා න්‍යායේ මූලික අදහස් සහ ප්‍රතිපත්ති අන්තර්ගත කළ අතර විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රධාන විධිවිධාන සහ නිර්ධන පන්තියේ විප්ලවීය පිළිවෙත සූත්‍රගත කළහ.

නිර්ධන පන්තියේ ස්වාධීන දේශපාලන බලවේගයක් වශයෙන් ඒකරාශී කරන පක්ෂයේ මාක්ස්වාදී න්‍යායේ මූලධර්ම එහි අන්තර්ගත වේ. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය පහත දැක්වෙන වදන්වලින් විස්තර වෙයි.

“පාලක පන්ති, කොමියුනිස්ට්වාදී විප්ලවයක් ගැන බියෙන් වෙව්ලත්වා. නිලධාරීන්ට තම විලංගු විනා නැතිවීමට අන් කිසිවක් නොමැත. ඔවුන්ට දිනාගැනීමට මුළු ලෝකයක්ම ඇත.”

සකල දේශවාසී වැඩ කරන ජනයිනි එක්වව්…!

කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්, පළමුවන වතාවට මාක්ස්වාදය ලෝකය පරිවර්තනය කිරීමේ තිරසාර සටන් මගක් වශයෙන් ඉදිරිපත් කරන ලදී. වී අයි ලෙනින් මෙසේ ලිවීය.

අනුපම බුද්ධි ප්‍රභාවෙන් පැහැදිලිතාවයෙන් හා විචක්ෂණභාවයෙන් යුතුව මෙම කෘතිය නවලෝක සංකල්පනයක් සංගත භෞතිකවාදය විස්තර කරයි. සමාජ ජීවිතයේ ක්ෂේත්‍රය ද, වර්ධනයේ ඉතාමත් පෘථුල හා සාරගර්භ න්‍යාය වන දයලෙක්තිකය ද, පන්ති අරගලයේ න්‍යාය ද, යහපත් කොමියුනිස්ට් සමාජයක මැවුම්කරු වන, නිර්ධන පන්තියේ ජගත් ඓතිහාසික විප්ලවීය කාර්යභාරය ද, එහි අන්තර්ගත වෙයි.

“කොමියුනිස්ට් ප්‍රකාශනය ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ විප්ලවීය ව්‍යාපාරයක් ජනිත කළේය. වී අයි ලෙනින් ගේ වචන වලට අනුව මෙම කුඩා පොත් පිංචේ වෙළුම් ගණනාවකටත් වඩා වටී… එහි ජීවය අද දක්වාම, ශිෂ්ට සම්පන්න ලෝකයේ සංවිධිත හා සටන් කරන සමස්ත නිර්ධන පන්තියට ආශ්වාදයකි. මග පෙන්වීමකි.

එහෙත් කොමියුනිස්ට් ප්‍රකාශනයේ අදහස්, අපේම යුගයේ කුමන ප්‍රායෝගික ආකාරයෙන් ප්‍රකාශිත වේ ද?

  • ප්‍රථම කොට ම, සහ සියල්ලටම පෙර, සමාජවාදී රටවල නව සමාජයක් ගොඩනැගීම තුළිනි. තවද සමාජවාදී සමාජයේ සියළුම අංශ සංවර්ධනය තුළින් සහ ජගත් සමාජවාදී ප්‍රජාවේ එකෙක් සහෝදර සමාජවාදී රටෙහි සර්වප්‍රකාර තහවුරු වීම සහ සාර්ථක වර්ධනය තුළිනි.
  • සූරාකෑමට හා පීඩනයට පටහැනි ලෙස,අධිරාජ්‍යවාදයට එරෙහිව, යුද්ධවලට එරෙහිව ජාතීන් අතර සාමය සඳහා කැපවූ අරගලය තුළිනි.ලෝකයේ සමාජවාදී නොවූ කොටසේ නිර්ධන පන්තියේ මූලික පන්ති ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අරගලය තුලින් හා එහි ජෛවී උවමනාවන් ආරක්ෂා කිරීම තුළිනි. ජනතාවන්ගේ ජාතික විමුක්තිය සඳහා, ඔවුන්ගේ විප්ලවීය ජයග්‍රහණය තහවුරු හා වර්ධනය කිරීම සඳහා අරගලය තුළිනි.
  • නිර්ධන පන්තිය ජාත්‍යන්තරවාදය කෙරෙහි පක්ෂපාතීත්වය තුළින් හා කොමියුනිස්ට්වාදීන් ගේ සමගිය සඳහා, අපේ යුගයේ සියලුම අධිරාජ්‍ය විරෝධී බලවේග එක්සත් කිරීම සඳහා අරගලය තුළිනි.
  • සමාජවාදයට සතුරු වූ ඕනෑ ම ධනේශ්වර, ජාතිවාදී, ප්‍රතිසංස්කරණවාදී සහ සංශෝධනවාදී දෘෂ්ටියකට පටහැනි වීම තුළින් සහ මාක්ස්-ලෙනින්වාදයෙන් නිර්මලත්වය සඳහා, එය නිර්මාණාත්මක ලෙස අදාළ කිරීම හා වර්ධනය කිරීම සඳහා ගෙන යන අරගලය තුළිනි.

1.6සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය

මාක්ස්වාදය සඳහා අත්තිවාරම දමන ලද්දේ සමස්ත ඉතිහාසයේ ගමන් මඟ විසිනි. කලින් පරම්පරාවෙන් බිහි කරන ලද විද්‍යාවේ වර්ධනය විසිනි. ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝරාජික සමාජවාදයේ මාක්ස්වාදය න්‍යායික මූලාශ්‍ර වූයේ ය.

එකල ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය ප්‍රධාන පෙළේ ප්‍රකාශකයා වූයේ ගියෝගල් හේගල් (1770- 1831) සහ ලුද්විග් පොයාර්බාහ් (1804- 1872) ය. හේගල් දයලෙක්තිකය නම් වූ, වර්ධනය පිළිබඳ සිය දාර්ශනික අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වුවද, හේගල් වාදී දයලෙක්තිකය සීමිත ස්වභාවය, එහි මූලික වශයෙන් විඥානවාදී මූලධර්ම තුළ දක්නට ලැබිණි. ඔහුගේ මතයට අනුව, එක්තරා ආකාරයක පරම අදහසක් ලෝකයේ පැවැත්මේ පදනම සහ අවසාන හේතුව සෑදීය. ඊට පටහැනි ලෙස, පොයාර්බාහ්, ගුඨ අදහස් වල පිළිසරණ නොසොයා, සොබාදහම්, සැබැවින්ම කුමක්ද යන්න මගින් විවරණය කළ හැකි බව ඔප්පු කිරීමේ ප්‍රයත්නයක යෙදුනි. එහෙත් එම භෞතිකවාදය පාරභෞතික විය. එය වර්ධනය ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රමාණාත්මක ( සංඛ්‍යාත්මක) වෙනස් වීම පමණක් පිළිගත්තේය. හේගල් වාදී දයලෙක්තිකයේ අතිවිශාල වැදගත්කම වටහා ගැනීමට ඒ අසමත් විය. එමනිසා ඔහුට එය සොබා දහමට හෝ මානව සමාජයේ ඉතිහාසයට අදාළ කර ගත නොහැකි විය. හේගල්ගේ දයලෙක්තිකය සහ පොයාර්බාහ්ගේ භෞතිකවාදය මාක්ස්වාදී දර්ශනය නිර්මාණය කිරීමේදී ආරම්භක ලක්ෂය වශයෙන් සේවය කළේය.

දේශපාලන ආර්ථික විද්‍යාවේ දී ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥයින් ඇඩම් ස්මිත් ( 1723- 1790) සහ ලෝකයේ සියලු ධනයෙහි අදාල මූලාශ්‍රය ශ්‍රමය බව ඔප්පු කළ සහ ඒ අනුව විද්‍යාත්මක දේශපාලන ආර්ථික විද්‍යාව නිර්මාණය කිරීම දෙසට දිගු ගමනක් ගියා වූ, ඩේවිඩ් රිකාඩෝ ( 1772- 1790) මාක්ස්වාදයේ පූර්වගාමීහු වූහ.

19 වෙනි සියවසේ මහා මනෝරාජික සමාජවාදීහු හෙන්රි සෙන්ට් සිමොන්, චාල්ස් පූරියේ සහ රොබර්ට් ඕවන් ධනවාදී ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ අතර, අනාගතයේ ඇතිවිය යුතු සමාජය වශයෙන් ඔවුන් සිතූ දේ සැකවින් දැක්වූහ. එසේ වුවද එය සාක්ෂාත් කරගන්නා ප්‍රායෝගික මාර්ග මොනවාදැයි පෙන්වීමට ඔහු අසමත් වූහ.

මේ අනුව මාක්ස්වාදය, 19වෙනි සියවසේ මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරනු ලැබ තිබූ සියලුම හොදම දේවල, එනම් ජර්මන් දර්ශනවාදයේ, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාවේ සහ මනෝරාජික සමාජවාදීන් අනුප්රාප්තිකයා වූයේය. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් සිය න්‍යායික පුරෝගාමීන්ගේ උරුමය හුදෙක් අවිච්ඡින්න ව වර්ධනය නොකළහ.ඔවුහු විචාරාත්මක ලෙස එය යළි සකස් කොට, අනතුරුව, ඉතාමත් ප්‍රගමනික හා විප්ලවීය පන්තිය වන නිර්ධන පන්තියේ මූලික වුවමනාවන් ප්‍රකාශය කළ නව දර්ශනයක් නිර්මාණය කළහ. ඔවුහු වැඩකරන ජනතාවගේ සමාජ විමුක්තිය ඉතිහාසයේ සැබෑ විප්ලවයක් සිදු කළහ. මෙම විප්ලවය පහත දැක්වෙන ස්වරූපය ගත්තේය.

ප්‍රථමයෙන්ම, විඥානවාදය සමඟ අරගලයේ දී කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දාර්ශනික භෞතිකවාදය ආරක්ෂා කිරීමට හා වර්ධනය කිරීමට සමත් වූහ. ඔවුහු මෙම භෞතිකවාදය දයලෙක්තිකයෙන් පෝෂණය කළහ. එනම්, වාස්තවික ලෙස පවත්නා ලෝකයේ වර්ධනය ගැන සහ ප්‍රජානනය කිරීම ගැන ඉතාමත් පෘථුල දර්ශනයෙන් පෝෂණය කළහ. එසේ කිරීමෙන්, ඔවුහු පාරභෞතිකවාදී භෞතිකවාදයේ සීමාවන් ඉක්මවා ගිය, විඥානවාදය මත පදනම් වූ හේගල් වාදී දයලෙක්තිකය ට වඩා මූලික වශයෙන් වෙනස් වූ භෞතිකවාදී දයලෙක්තිකය නිර්මාණය කළහ. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් භෞතිකවාදය සහ ආර්ථිකය සමාජ ජීවිතයට ව්‍යාප්ත කරමින්, භෞතිකවාදය නිර්මාණය කළහ.

දෙවැනුව, මාක්ස්වාදයේ නිර්මාතෘහු ඇඩම්ස් ස්මිත්ගේ, ඩේවිඩ් රිකාඩෝගේ හා සම්භාව්‍ය ධනේශ්වර දේශපාලන ආර්ථික විද්‍යාවේ සෙසු නියෝජිතයින්ගේ අදහස් උපයෝගී කරගෙන ධනපතියන් විසින් පැහැර ගනු ලබන අතිරික්ත වටිනාකමේ ස්වභාවය සොයා ගත්හ. මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාව බිහි වූයේ එසේය. දේශපාලන ආර්ථික විද්‍යාවේ නව න්‍යාය ධනවාදී සමාජයේ ආර්ථික නියමයන් පැහැදිලි කළ අතර, පෞද්ගලික දේපළ අයිතිය අවසන් කර දැමීමේ සහ එය පොදු දේපල මගින් ආදේශ කිරීමේ ඓතිහාසීය අවශ්‍යතාවය ගැන නිගමනය කළේය.

කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දේශපාලන ආර්ථික විද්‍යාවේ ගැටළු සමගාමී ලෙස යථාර්ථය පිළිබඳ ඔවුන්ගේ දාර්ශනික විශ්ලේෂණයෙන් වර්ධණය කළහ. ඔවුන්ගේ දාර්ශනික භෞතිකවාදය කම්කරු පන්තියට අධ්‍යාත්මික විමුක්තියේ මාවතක් පෙන්වූ අතර, සිය අතිරික්ත වටිනාකම් නියමය මුල්ගල කරගත් ඔවුන්ගේ ආර්ථික න්‍යාය වැඩකරන ජනතාවට ධනවාදය යටතේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය අනාවරණය කළේය.

තෙවනුව, මාක්ස්වාදයේ නිර්මාතෘහු පන්ති අරගලය පිළිබඳ විද්‍යාත්මක විවරණයක් කළහ. ඔවුහු ඉතිහාසය කම්කරු පන්තිය සතු තීරණාත්මක කාර්යභාරය සනාථ කොට, ධනවාදය අවසන් කිරීමෙහිලා සමාජවාදී ක්‍රමයක් බිහි කිරීමෙහිලා කම්කරු පංතියේ ඓතිහාසික මෙහෙවර පැහැදිලි කළහ.

සිව්වෙනුව, ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී අවබෝධය සනාථ කිරීම මගින් සහ එය සමකාලීන ධනේශ්වර සමාජය අවබෝධ කරගැනීමට එය යොදා ගැනිමින් කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් ධනවාදයේ සිට සමාජවාදය වෙත සංක්‍රාන්ත වීමේ වාස්තවික නියමයන් අනාවරණය කළහ. එසේ කිරීමෙන් ඔව්හු කම්කරු පන්ති ව්‍යාපාරය විප්ලවීය කටයුතුවලට වැඩ පිළිවෙලකින්, පන්ති අරගලයේ මුලෝපාය සහ උපක්‍රම වලින් සන්නද්ධ කරමින් විද්‍යාත්මක සමාජවාදී න්‍යාය බිහි කළහ.

කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් ශ්‍රේෂ්ඨ චින්තකයන් පමණක් නොවේ. ඔවුහු ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් හා ජගත් නිර්ධන පන්තියේ නායකයින් ද වෙති. ඔවුන්ගේ ප්‍රායෝගික කටයුතු වලදී ඔවුහු, කාල් මාක්ස් විසින් ම සූත්‍රයගත කරන ලද පහත දැක්වෙන විධි විධානය අනුගමනය කළහ.

“දර්ශනවාදීන් කර ඇත්තේ විවිධාකාරයෙන් ලෝකය අර්ථකථනය කිරීම පමණකි. එහෙත් කාරණය එය වෙනස් කිරීමයි”

ලෝකය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීමේ කටයුත්තට ඔවුහු තමන්ගේ මුළු ජීවිතයම සහ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ බුද්ධියෙහි බලය කැප කළහ.

කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස්,කොමියුනිස්ට් ලීගය (සංගමය) නිර්මාණය කළහ. එය ඉතිහාසයේ විප්ලවීය නිර්ධන පන්තියේ ප්‍රථම දේශපාලන සංවිධානය වූයේ ය. 1864 දී ඔවුහු ජාත්‍යන්තර කම්කරු සංගමය ආරම්භ කළහ. මෙය පළමුවන ජාත්‍යන්තරය නමින් ඉතිහාසගත විය. පළමු වන ජාත්‍යන්තරයේ අදහස වූයේ විවිධ රටවල විශාල නිර්ධන පන්ති පක්ෂ පිහිටුවීම සහ වැඩ කරන පොදු ජනතාවට විප්ලවීය න්‍යායේ හරය ඉගැන්වීමය. ජාත්‍යන්තරයේ ප්‍රධාන ප්‍රතිපත්ති ලේඛන, එනම්, ආරම්භක දේශනය සහ තාවකාලික ව්‍යස්ථා රීති කාල් මාක්ස් විසින් ම ලියන ලදී. කම්කරු පංතියේ විමුක්තිය කම්කරු පන්තිය විසින් ම දිනා ගත යුතු බවත්, එහි ප්‍රධාන කර්තව්‍යය දේශපාලන බලය දිනා ගැනීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම බවත් මෙම ලේඛනය අවධාරණය කළේය.

“පළමුවන ජාත්‍යන්තරය (1864 – 1872 ප්‍රාග්ධනයට එරෙහිව කම්කරුවන්ගේ විප්ලවීය ප්‍රහාරය සූදානම් කිරීම සඳහා කම්කරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානයකට පදනම දැමීය. සමාජවාදය සඳහා නිර්ධන පංතික ජාත්‍යන්තර අරගලයේ පදනම දැමීය”

වී අයි ලෙනින්

කාල් මාක්ස් සහ පැහැදිලි එංගල්ස් ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භකයෝ වූහ. ඔවුහු කම්කරු පන්තියේ අරගලයේ ආශිර්වාදය ලත් විප්ලවීය චින්තකයෝ වූහ.

 

1.7මාක්ස්-ලෙනින්වාදය මාක්ස්වාදයේ වර්ධනීය දිගුවකි

වී.අයි. ලෙනින් කාල් මාක්ස්ගේ හා ප්‍රෙඩ්රික් එංගල්ස් ගේ ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ සන්තතිකයාය.

රුසියානු ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍රරත්නයත් වූ වී.අයි. ලෙනින් (1870-1924) කෘති සහ ප්‍රායෝගික විප්ලවීය කටයුතුවලින් මාක්ස්වාදය තවදුරටත් පෝෂණය කරමින් ව්‍යාප්ත කරන ලදී.

විසිවැනි සියවස ආරම්භයේ ධනවාදය අධිරාජවාදී අවධියට අවතීර්ණ විය. ධනවාදය එහි මුලින් පැවති ඉදිරියට ගමන් කරන සහ ප්‍රගමනික ක්‍රමයක සිට පරපුටු දිරාපත්වන සහ අභාවයට යන ධනවාදයක් බවට පරිවර්තනය විය . එකල රුසියානු නිර්ධන පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ පෙරටු බලඇණිය බවට පත්වූයේය. සාර්වාදයේ සහ රදළවාදයේ නෂ්ටාවශේෂ, සමාජ ගැටුම් පුපුරන අවස්ථාවකට ළඟා වී තිබූ රුසියාවේ සමාජ ආර්ථික සංවර්ධනයට විලංගු දැමීය. කම්කරු පන්තිය ධනපතියන්ට එරෙහිව ද, දුප්පත් ගොවීහු ඉඩම් හිමියන්ට එරෙහිව ද සටන් කරමින් සිටියහ. රුසියාවේ පර්යන්ත ජාතික ප්‍රදේශවල ජනතාව දෙවැදෑරුම් පීඩනයකට එරෙහිව සාර්වාදී ඒකාධිපතිත්වයට හා දේශීය සූරා කන්නන්ට එරෙහිව සටන් කළහ. කම්කරු පංතිය ගොවි හා ජාතික විමුක්ති ව්‍යාපාර එකිනෙක අනුපූරණය කරමින් හා ශක්තිමත් වෙමින් ධනේශ්වර ඉඩම්හිමි ක්‍රමය එහි බිඳවැටීම වෙත වඩාත් සමීප කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුසියාව ක්‍රමයෙන් ජගත් ධනවාදයේ දුර්වලම පුරුක බවට පත්විය. කාල් මාක්ස්ගේ හා ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ ව්‍යාපාරය ලෙනින් විසින් ඉදිරියට ගෙන යන ලදී. මේ අනුව රුසියාව ලෙනින්වාදයේ මාතෘ භූමිය වූයේ ය.

ලෙනින් 1870 අප්‍රේල් 22 දා සිම්බීර්ස්ක්හි (අද උග්යානොව්ස්ක්) උපත ලැබීය. ඔහුගේ දෙමාපියෝ ප්‍රගතිශීලී රුසියානු බුද්ධිමතුන් ගේ කොටසක් වූහ. ඔහුගේ පියාගේ මුතුන්මිත්තෝ සියලු දෙනාම ඉතා දුප්පත් වූහ. එසේ වුවද ලෙනින්ගේ පියා, සිය දැඩි උත්සාහය සහ අද්විතීය බුද්ධිමය හැකියාවන් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට පළමුව ගුරුවරයෙකුද පසුව පාසල් පරීක්ෂකවරයකු ද වීමට හැකි විය.

ලෙනින්ගේ මවද බුද්ධිමත් කාන්තාවකි. විදේශීය භාෂාවන් කිහිපයක් දැන සිටි ඇයට සංගීතය කෙරෙහි විශේෂ කුසලතාවයක් තිබුණි. ඇය කියවීමට තද ඇල්මක් දැක්වූවා ය. ඇගේ කෘෂ පෙනුම, ඇගේ ධෛර්‍යය, එඩිතර බව සහ ආත්ම පරිත්‍යාගය වසන් කළේය. මේ සියලුම ගුණාංග, උල්යානොව් පවුලට මුහුණ පෑමට සිදු වූ බලවත් හිරිහැර හා පීඩාවන් හිදී ඉතා ප්‍රයෝජනවත් විය. 1886 දී ඇයගේ සැමියා මියගියේය. ඊට වසරකට පසු ඇගේ වැඩිමහල් පුතා ඇලෙක්සැන්ඩර් සාර්ට විරුද්ධව කරන ලද කුමන්ත්‍රණය කොටස්කරුවෙකු වශයෙන් සිරබාරයට ගන්නා ලදුව නඩු විභාග කොට මරණ දණ්ඩනයට නියම කෙරිණි. පසු කාලයේදී ඇගේ අනෙකුත් දරුවන් ඔවුන්ගේ විප්ලවීය කටයුතු නිසා නොයෙක් විට සිරභාරයට ගනු ලැබූ විට ඇය එඩිතර ලෙස එම තත්ත්වය දරාගෙන සිටියාය.

ලෙනින්ගේ ළමා කාලය ගත වූයේ සාර්වාදී පාලනය යටතේ ප්‍රතිගාමීත්වයේ අවධියකය. 1880 ගණන්වල මැද භාගයේ ඔහු තමන් විසින්ම තනිව කාල් මාක්ස්ගේ හා එංගල්ස්ගේ න්‍යාය ඉගෙනීමට පටන් ගත්තේය. 1285 ගිම්හානයේ ඔහු පළමුවන වතාවට කාල් මාක්ස්ගේ Das Kapital (ප්‍රාග්ධනය) කෘතිය කියවීමට ලැබිණි. එය ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් මිලදී ගෙන තිබුණි. 1888 සිත සමයේදී ඔහු දාස් කැපිටාල් කියවමින් එහි සටහන් ලියා ගත්තේය. එසේම කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් ලියන ලද තවත් පොත්ද කියවීය.

ලෙනින් විප්ලවීය කටයුතු වලට අවතීර්ණ වූයේ වයස අවුරුදු දාහතේදී හසන් විශ්ව විද්‍යාලයේ සිසුවකු වශයෙන් සිටියදී ය. මාක්ස්වාදය පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම 1892 – 1893 දී සමරාහි ද පසුව ශාන්ත පීටර්ස්බර්ග්හි පැවැත්වූ මාක්ස්වාදී කවවල ප්‍රමුඛස්ථානය හිමිකර දුණි. මෙම මාක්ස්වාදී කව කම්කරු පංතියේ විමුක්තිය සඳහා අරගලයේ සංගමය බවට එක්සත් කරන ලදී. එකල ලෙනින් රුසියානු අගනුවර නිර්ධන පංතිය අතර ප්‍රචාරක හා සංවිධාන කටයුතු දියත් කළේය.

1898දී ලෙනින්, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවීය. මෙම පක්ෂය රුසියාවේ සහ අනෙක් රටවල කම්කරු ව්‍යාපාරයේ නව අවධියක් උදා කළේය. පළමුවන වතාවට නිර්ධන පන්තියට, නව ඉතිහාසමය තත්ත්වයන් යටතේ සිය අරගලය, සිය සමාජ විමුක්තිය සඳහා මෙහෙයවිය හැකි බලවත් සංවිධානයක් බිහිවිය.

ලෙනින්, සිය විප්ලවීය කටයුතුවලදී මාක්ස්වාදය, නිර්මාණාත්මක ලෙස උපයෝගී කරගත් අතර, නිතරම එහි පෝෂකයෙකු වූයේය. තමන්ගේ මුල් කෘතිවලින්ම ,ලෙනින් කාල්මාක්ස්ගේ විප්ලවීය න්‍යායට නිර්මාණාත්මක ප්‍රවේශයක් පෙන්වීය. “ජනතාවගේ මිතුරන් කවරහු ද ,ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ට එරෙහිව සටන් කරන්නේ කෙසේද” (1894) කරමින් රුසියාවේ ධනවාදයේ සංවර්ධනය පිළිබඳ ගැඹුරු විශ්ලේශනයක් කරමින්, රුසියාවේ සහ වෙනත් රටවලට සමාන මට්ටමකින් අදාළ වූ ධනවාදී සංවර්ධනය වාස්තවික නියමයන් පෙන්වා දුනි. මෙම කෘතියෙන් හේ, ගොවි විප්ලවයකින් රුසියාවේ ඒකාධිපත්‍යය පෙරළා දැමීම දේශනාකල ජනතාවාදීන්ගේ න්‍යායික වැරදි විවේචනයට ලක් කළේය.

1896 අවසානයේ, සාර්වාදී බලධාරීහු ලෙනින් හිරභාරයට ගෙන සයිබීරියාවේ ෂුෂෙන්ස්කොයේ ගමට පිටුවහල් කරන ලදී. එහිදී, සයිබීරියාවට පිටුවහල් කරන ලද නදියේශ්දා කෘෘප්ස්කයාද ඔහුට එක් වූවාය. ලෙනින්ට ඇය හමුවූයේ 1894 දී ශාන්ත පීටර්ස්බර්ග්හීදී කවයකදී ය. නදියේශ්දා කෘෘප්ස්කයා ඔහුගේ ඔහුගේ ආදරණීය සහකාරිය බවට ද, ඔහුගේ අදහස් බෙදා ගත් විප්ලවීය ගමන් සගයා බවට ද වූවාය.

පිටුවහලේ ගතකළ කාලය තුළදී ලෙනින් ඔහුගේ අති විශාල කෘතියක් වන “රුසියාවේ ධනවාදයේ සංවර්ධනය” (1899) අවසන් කළේය. ඔහු විසින් සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කරන ලද සත්‍යාපනය කරන ලද අතිවිශාල සාධක හා සංඛ්‍යාලේඛන වලට පදනම මත, මෙම කෘතියෙන් රුසියාවේ ග්‍රාමීය ප්‍රජා සමූහයේ වියනුකලනය,ගොවි ජනතාව විශ්‍රාමිකයන් හා ගෝලීය ධනේශ්වරය වශයෙන් ස්ථරවට බෙදීම, සහ සමස්ත රුසියානු වෙළෙඳපොළ ඇතිවීම පිළිබඳ ක්‍රියාදාමය පෙන්වා දුන්නේය. රුසියාවේ මහා පරිමාණ යන්ත්‍ර නිෂ්පාදනයේ වර්ධනය පිළිබඳ සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කළේය. කාර්මික නිෂ්පාදිතයේ ධනවාදී ස්වභාවය විස්තර කළේය. නිර්ධන පන්තියේ වර්ධනය වෙමින් පවත්නා වැදගත්කම පැහැදිලි කළේය.

සංවාදයට හා ධනවාදයට එරෙහිව අනවරත සටන් කරුවකු වශයෙන්ද, සමාජවාදී විප්ලවයේ ප්‍රධානම බලවේගය වශයෙන් ද රුසියානු නිර්ධන පන්තියේ ඓතිහාසීය කාර්යභාරයද වී අයි ලෙනින් සනාථ කළේය.

එහි දියුණු නියෝජිතයන් විද්‍යාත්මක සමාජවාදයේ අදහස්, රුසියානු කම්කරුවාගේ ඓතිහාසීය කාර්යභාරය පිළිබඳ අදහස ප්‍රගුණ කළ විට, මෙම අදහස පුළුල්ව පැතිරුණු විට සහ කම්කරුවන්ගේ වත්මන් විරල ආර්ථික යුද්ධය සවිඥාන පංති අරගලය බවට පරිවර්තනය කිරීමට කම්කරුවන් අතර ශක්තිමත් සංවිධානය පිහිටුවනු ලැබූ විට,සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල ප්‍රධාන තැනට එන රුසියානු කම්කරුවා පරමවාදය පෙරළා දමා ( සියලු රටවල නිර්ධන පංතිය සමඟ එක පෙළට) රුසියානු නිර්ධන පංතිය විවෘත දේශපාලන අරගලයේ ඍජු මාවත දිගේ ජයග්‍රාහී කොමියුනිස්ට් විප්ලවය කර ඇත”

වී.අයි. ලෙනින් – ජනතාවගේ මිතුරන් කවරහු ද, ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් එරෙහිව සටන් කරන්නේ කෙසේද?

(එකතු කල කෘති 1 වෙලුම 1972)

කම්කරුවන් සහ ගොවීන් අතරද විප්ලවීය සන්ධානය පිළිබඳ අදහස පළමුවෙන් වර්ධනය කළ පුද්ගලයා ලෙනින් ය. මෙම සන්ධානය සාර්වාදය අතුගා දැමීමට පමණක් නොව, අනාගත සමාජවාදී සමාජය ගොඩනැගීමට සමත් බලවේගයක් වශයෙන් ද ඔහු සැලකීය. පිටුවහල් ජීවිතයේ සිට පෙරළා පැමිණි පසු ඔහු මාක්ස්වාදයේ න්‍යායික දේශපාලන සහ සංවිධානමය ප්‍රතිපත්ති මත රටේ විප්ලවීය බලවේග එක්සත් කිරීමට පටන් ගත්තේය. කෙසේ වුවද පොලිස් හිරිහැර නිසා ඔහුට රටින් පිටවී යාමට සිදු විය. එතෙර සිට රුසියාවේ නිර්ධන පන්තියේ විප්ලවීය අරගලයේ මෙහෙයවීමට දිගටම සිදු කළේය.

ලෙනින් ගොඩනැගූ රුසියාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය, සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ කටයුත්ත පැවරෙන, වැඩ කරන ජනතාවගේ අරගලය මෙහෙයවීමට සමත් වූ පක්ෂයක් විය. කෙසේ වුවද, නිර්ධන පංතියේ දුෂ්ඨිය අන්තර්ගත වූ සහ එය ජීවිතයේ යථාර්ථයන් සමඟ සම්බන්ධ කරන විප්ලවීය න්‍යායකින් තොරව විප්ලවීය පක්ෂයකට පැවතිය නොහැක. මෙම නිගමනය, කොන්දේසි, ස්ථානය හා කටයුතු වල කාලේ නොතකා ඕනෑම විප්ලවීය පක්ෂයකට කෙලින්ම අදාල වේ. කොමියුනිස්ට්වාදීන් ගේ පක්ෂය සඳහා දියුණු විප්ලවීය න්‍යාය ප්‍රථම කොටම සහ මූලික වශයෙන් සටන් මගකි.

සැබෑ විප්ලවවාදීන් පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා අරගලයේ දී, “කළ යුත්තේ කුමක්ද” (1902) සහ “පියවරක් ඉදිරියට පියවර දෙක පස්සට” (1904) නැමැති ඔහුගේ කෘති වලින් වැදගත් කාර්යභාරයක් ඉටුවිය.

කලයුත්තේ කුමක්ද නමැති කෘතියෙන් ලෙනින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවස්ථාවාදී ප්‍රවණතා හෙළිදරව් කළේය. “විවේචනයේ නිදහස” යන්න කුටිල ජන නායකත්වයේ වචනවලින් සිය ක්‍රියාවන් ආවරණය කරගනිමින් අවස්ථාවාදීහු ධනේශ්වර අදහස් පතුරුවා හැරීම කෙරෙහි අවිචාරාත්මක සහ සම්මුතිකාමී ආකල්පයක් දැරූහ. මෙම ස්ථාවරය අනිවාර්යයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විප්ලවීය පක්ෂයක සිට ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් බවට පරිවර්තනය වීමට හේතුවිය.

“පියවරක් ඉදිරියට, කියවන දෙකක් පස්සට” නැමැති ඔහුගේ අනෙක් කෘතියෙන්, වී අයි ලෙනින් පක්ෂයේ ගුණාත්මක සංයුතිය කෙරෙහි, පක්ෂ ජීවිතයේ ධර්මතා සහ එහි විනය අකුරටම අනුගමනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

බලය සඳහා සිය අරගලයේදී නිර්ධන පන්තියට සංවිධානය මිස වෙනත් අවියක් නැත…නිර්ධන පන්තියට අපරාජිත බලවේගයක් විය හැක්කේ සහ එය අනිවාර්යෙන්ම අපරාජිත බලවේගයක් වන්නේ, දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව කම්කරු පන්ති හමුදාවක් බවට ඒකාබද්ධ කරන සංවිධානයේ භෞතිකමය සමගිය විසින් ශක්තිමත් කරනු ලබන මාක්ස්වාදයේ මූලධර්ම මත ඇති කරනු ලබන එහි දෘෂ්ටිමය සමගිය මගින් පමණකි.රුසියානු ඒකාධිපති ජරාපත් පාලනයට හෝ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ජරාජිර්ණ වූ පාලනයට හෝ මෙම හමුදාවට ඔරොත්තුදී සිටිය නොහැකිය”

යනුවෙන් ඔහු ලිවීය.

1905 සරසවියේ පළමු වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ආදරය අවස්ථාවකට පත්වූවිට, වී අයි ලෙනින් ශාන්ත පීටර්ස්බර්ග් වෙත ආපසු පැමිණියේය. ඔවුන්ගේ අවධානය කේන්ද්‍රගත වූයේ විප්ලවීය අරගලයෙහි මූලික ප්‍රශ්න කෙරෙහිය.

1905 ජූලි මස ලෙනින්ගේ “විප්ලවයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්” නැමැති කෘතිය ජිනීවාහි දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කෘතියෙන් විප්ලවයේදී කම්කරු පන්තියේ මූලෝපායික සැලැස්ම සහ අක්‍රමිකතා මාර්ගය න්‍යායික වශයෙන් සම්මත කරන ලදී. එම කෘතියේ ලෙනින් මෙසේ සඳහන් කළේය.

එම කෘතියේ ලෙනින් මෙසේ සඳහන් කළේය.

නිර්ධන පන්තිය ගොවි ජනතාව තමන්ට එකතු කරගනිමින් ඒකාධිපත්‍යයේ ප්‍රතිරෝධය මැඩපවත්වමින් ධනේශ්වර පන්තියේ ස්ථායිතාවය අඩපණ කර දමනු වස් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණයෙන් සිදු කළ යුතුය.”

පළමුවන රුසියානු විප්ලවය පරාජය විය. පක්ෂ මධ්‍යස්ථානයේ තීරණයකට අනුව ලෙනින්, 1907 දෙසැම්බර් මස රුසියාවෙන් පිටවී ගොස් ඔහුගේ පිටුවහල් ජීවිතයේ දෙවන සමය ආරම්භ කළේය. මෙවර තමන් විසින් නියම කර ගත් පිටුවහල් ජීවිතයකි. මවුබිමෙන් ඈත්වී ඉතා දුෂ්කර අවුරුදු දහයක් ගත කළේය.

1960 අප්‍රේල් මස බිහිවෙමින් මාක්ස්වාදය සහ සංශෝධනවාදය යන මැයෙන් ලිපියක් ලිවීය. මෙම ලිපියෙන් ධනේශ්වර දෘෂ්ටිය වෙනුවෙන් සටනට ඉදිරිපත් වී සිටින සංශෝධනවාදයේ දෘෂ්ටිමය හරය අනාවරණය කළේය. සංශෝධනවාදී මාක්ස්වාදී පංති හරය දුර්වල කර දැමීම සඳහා කඩතුරාවක් වශයෙන් මාක්ස්වාදී දර්ශනයෙහි සංශෝධන සහ සීරුමාරු භාවිතා කළහ. ඔවුහු පන්ති අරගලය නිර්ධන පන්ති ආඥාදායකත්වය සහ සමාජවාදය පිළිබඳ අදහස පවා ප්‍රතික්ෂේප කිරීමට ද මේ ආකාරයෙන් කම්කරු ව්‍යාපාරය ප්‍රතිසංස්කරණවාදී හා ධනේශ්වරය සමඟ සම්මුතියේ මාවතක හැරවීමකට ද ප්‍රයත්න යෙදූහ.

1912 – 1913 වී අයි ලෙනින්, ජනවාර්ගික ප්‍රශ්නය ගැන ලිපි 50කට අධික සංඛ්‍යාවක් ලිවීය. මෙම ලිපි මගින් ජාතීන් පිළිබඳ සහ අධිරාජ්‍යවාදී යුගයේ ජාතික විමුක්ති ව්‍යාපාරය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය වර්ධනය කළේය. පක්ෂයෙහි වැඩපිළිවෙළෙහි ජනවාර්ගික අර්බුදය පිළිබඳ මූලික ප්‍රතිපත්ති සූත්‍රගත කළේය. ඒවා අතර සියලුම ජාතීන්ට හා ජාතික කොටස්වලට පූර්ණ සමානත්වය ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය යනාදිය වැදගත් වේ.

මාක්ස්වාදය බවත් පෙර තවත් වැදගත් අවධියක් වූයේ “අධිරාජ්‍යවාදය,ධනවාදයේ ඉහළම අවධිය යි” (1916) නමැති කෘතියයි. මෙම කෘතියෙන් අධිරාජ්‍යවාදයේ ආර්ථික හරය, එහි ප්‍රතිවිරෝධතා, සහ එහි අනිවාර්ය විනාශය හෙළිකරමින්, අධිරාජ්‍යවාදය සමාජවාදී විප්ලවයේ ආසන්නය බව නිගමනය කළේය.

මෙම කෘතිය කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ මූලික විධිවිධාන නිර්මාණාත්මක ලෙස වර්ධනය කරමින් කෙලින්ම ඉදිරියට ගෙන යාමකි. ලෙනින්, පසු කාලයේ ලියන ලද කෘති වලින් ද අධිරාජ්‍යවාදය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් කළේය. සාධක සහ න්‍යායික කරුණු අතිවිශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම හා සාරාංශගත කිරීම ලෙනින්ට අධිරාජ්‍යවාදී යුගයේදී ධනවාදයේ අසමාන හා කලින් කලට ඇතිවන උච්ඡාවචන පිළිබඳ නියමය සොයාගැනීමටද, එසේම, සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන් රටවල් කිහිපයක හෝ තනි ධනවාදී රටක ග්‍රහණයක කළ හැකිය වැදගත් විද්‍යාත්මක නිගමනය ඒමට ද හැකි විය.

මෙම නිගමනය සහස්‍ර ලෝක විප්ලවීය ව්‍යාපාරය අතිශයින් වැදගත්ය.

ලෙනින්, පළමුවන ලෝක යුද්ධය සමයේ කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව අසම්මුතිකාමී අචල ස්ථාවරයක් ගත්තේය.අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් විය හැක්කේ පොදු ජනයාගේ විප්ලවීය කටයුතු ආරක්ෂා කිරීම හා දිරිගැන්වීම මගින් ඔවුන්ගේ ජාත්‍යන්තරවාදී නිර්ධන පාන්තික සමගිය තහවුරු කිරීම මගින් පමණකැයි යන වැදගත් නිගමනයට එළඹුණි.

1917 පෙබරවාරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් රුසියාවේ සාර්වාදය පෙරලා දැමීමෙන් පසුව, වී අයි ලෙනින්, තමාගේ දෙවන පිටුවහල් ජීවිත කාලය අවසන් කරමින්, එම අවුරුද්දේම අප්‍රේල් තුන් වන දා සිය රට බලා පැමිණියේය. “රාජ්‍යය සහ විප්ලවය” නැමැති ඔහුගේ පොත ( 1917 සැප්තැම්බර් ) මාක්ස්වාදී දර්ශනය පෝෂණයවීම සඳහා අතිවිශාල දායකත්වයක් ගලා දුනි. මෙම කෘතියෙන් ඔහු සමාජවාදී විප්ලවයේ කාලය තුළදී ධනේශ්වර රාජ්‍යය කෙරෙහි නිර්ධන පංතියේ ආකල්ප ගැන, නිර්ධන පංතික ආඥාදායකත්වය තත්වය ගැන සිය න්‍යාය ඉදිරිපත් කරමින්, කොමියුනිස්ට්වාදයට යටතේ රාජ්‍ය මැලවී යන ක්‍රියාදාමයේ ආර්ථික මූලධර්ම පිළිබඳ ගැඹුරු න්‍යායික විශ්ලේෂණයක් දුනි.

ඔහුගේ කාර්යභාරය වූයේ සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගොඩනැගීමේ උපායමාර්ගික න්‍යායාත්මක ක්‍රමය සූත්‍රගත කිරීම ය. ධනවාදයෙහි සිට සමාජවාදය වෙත සංක්‍රාන්තිය සහ එහි ප්‍රධාන ලක්ෂණ පාලනය කරන නියමයන් ඔහු අනාවරණය කළේය. එසේ කිරීමෙන් නව සමාජයක් පිළිබඳ කාල් මාක්ස්ගේ හා එංගල්ස්ගේ උැ ඉගැන්වීම් තීව්‍ර කරමින් නිර්මාණාත්මක ලෙස වර්ධනය කළේය. මෙම සමාජය ගොඩනැගීම සඳහා බහු ජනතාව සංවිධානය කිරීමේ නව මූලධර්මවලින් මාක්ස්වාදය පෝෂණය කළේය.

රුසියාවේ වැඩකරන ජනතාව 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය (පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබර්, එමනිසා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය) සිදුකරමින්, සූරා කන්නන්ගේ පාලනය පෙරළා දැමීමේ හා මානව ඉතිහාසයේ නව යුගයක් ආරම්භ කළේ ලෙනින්ගේ හා ඔහු විසින් නිර්මාණය කරන ලද පක්ෂයේ නායකත්වය යටතේය.

ලෙනින්ගේ ජීවිතය වීරත්වයෙන් පිරි එකකි. ඔහුගේ ජීවිතය අනවරත බුද්ධිමය පරිශ්‍රමයෙන්, දෘෂ්ටිමය හා දේශපාලන සටන් වලින් ගෙවී ගියේය. ලෙනින්ගෙන් මූර්තිමත්වූයේ අද්විතීය නිර්ධන පාන්තික විප්ලවවාදියාගේ ලක්ෂණ යි. එනම් ප්‍රබල බුද්ධියක්, සියලු බාධක ජයගත් අචල අධිෂ්ඨාන ශක්තියක්, වහල්භාවයට හා පීඩනයට එරෙහිව ශුද්ධ වූ වෛරයක්, විප්ලවීය අනුරාගයක්, අචල ජාත්‍යන්තරවාදයක්, පොදු ජනතාවගේ බලවේග පිළිබඳ අසීමිත විශ්වාසයක්, දැවැන්ත සංවිධානමය දක්ෂතාවයක් ආදී ගුණාංගවලින් ලෙනින් පොහොසත් විය.

ලෙනින්ගේ ඉගැන්වීම්, විප්ලවීය න්‍යායයන්ට ඔහු විසින් කරන ලද දායකවීම් ලෙනින්වාදය යනුවෙන් ප්‍රකට විය.

ලෙනින්, සිය ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ න්‍යායාත්මක දායකත්වය නව ඉතිහාසමය තත්වයනට ගැලපෙන පරිදි වර්ධනය කර විශාල වශයෙන් පුළුල් කළේය. ඔහු මාක්ස්වාදී සියලු සංයුක්ත කොටස්,එහි දර්ශනය, දේශපාලන හා ආර්ථික විද්‍යාවන් සහ විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය පෝෂණය කළේය. මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම්, පොතේගුරුවාදයක් බවට හැරවීමට දරන ලද ප්‍රයත්නවලට එරෙහිව සටන් කළ ඔහු මෙසේ ලිවීය.

මාක්ස්ගේ න්‍යාය සම්පූර්ණ කළ සහ අලංඝණීය දෙයක් වශයෙන් අපි නොසලකමු. ඊට ප්‍රතිපක්ෂව, එය සමාජවාදීහු ජීවිතයත් සමඟ පියවර තැබීමට අපේක්ෂා කරත් නම්, ඔවුන් විසින් සියලු දිශාවන්ට ම වර්ධනය කළ යුතු විද්‍යාවේ අත්තිවාරම පමණක් දැමූ බව අපට විශ්වාස ය.”

ලෙනින්වාදය යනු, අධිරාජ්‍යවාදී හා නිර්ධනයන් අතර පන්ති විප්ලව යුගයේ, යටත් ක්‍රමය බිඳ වැටෙමින් තිබූ යුගයේ, ධනවාදයේ සිට සමාජවාදය වෙත සංක්‍රාන්ත වන යුගයේ, ජගත් පරිමාණයෙන් සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ජයග්‍රහණය කරන යුගයේ මාක්ස්වාදයයි.

විප්ලවිය න්‍යායන්ට ලෙනින්ගේ දායකවීම කොතරම් විශාල දැයි කිවහොත් එවක් පටන් එය මාක්ස් ලෙනින්වාදය සමස්ත ලෝකයේ නිර්ධන පන්තියේ ජාත්‍යන්තරවාදී ඉගැන්වීම් යනුවෙන් නම් කරනු ලැබ ඇත.

මේ අනුව මාක්ස් ලෙනින්වාදය කම්කරු පන්තියේ ලෝක දෘෂ්ටිය සංයුක්ත කරන විද්‍යාත්මක දාර්ශනික ආර්ථික හා සමාජ දේශපාලන මත පද්ධතියකි. ලෝකය ප්‍රජානනය කිරීමේ හා විප්ලවීය ලෙස පරිවර්තනය කිරීමේ විද්‍යාවකි. සොබාදහමේ සමාජයේ හා මිනිස් චින්තාවේ වර්ධනයන්හි නියමයන්, කම්කරු පන්තියේ විප්ලවීය අරගලයේ නියමයන් සහ ධනවාදය පෙරලා දැමීම සඳහා, සමාජවාදී හා කොමියුනිස්ට්වාදී සමාජය ගොඩනැගීම සඳහා සමස්ත වැඩකරන ජනතාව ම ගෙන යන විප්ලවීය අරගලයේ නියමයන් පිළිබඳ විද්‍යාවකි.

බහුජනතාවගේ අරගලය සහ නිර්මාණාත්මක කටයුතු පිළිබඳ අත්දැකීම් නිර්මාණාත්මක ලෙස අවබෝධ කර ගැනීම සඳහා ප්‍රබල ක්‍රමයකි. නැතුවම බැරි සටන් මගකි. මාක්ස් ලෙනින්වාදය සදාතනික යෝග්‍යතාවය පිළිබඳ රහස ගැබ් වී ඇත්තේ මාක්ස් එංගල්ස් ලෙනින් ගේ දර්ශනය එහි විධි ප්‍රතිපත්ති සහ අදහස් දසලක්ෂ සංඛ්‍යාත ජනයාගේ හදවතකට සහ මනසට ඉතා සමීප වීම තුළ ය.