දැනුම යනු…

arton2160
ට්‍රොට්ස්කිවාදය – Trotskyism
July 22, 2019
rsz_ජවිපෙ
ලංකාවේ පංති සංයුතිය
July 24, 2019
Show all

දැනුම යනු…

rsz_knowledge-by-geralt

වත්මන් සමාජය තුළ දැනුමට ලැබී ඇත්තේ විශාල වටිනාකමකි. ධනවාදී ලෝකය තුළ උගතුන් හා නූගතුන් ලෙස මිනිසුන් ගොඩවල් දෙකකට බෙදා වෙන් කරනුයේ ද පුද්ගලයන් විසින් ලබා තිබෙන්නා වූ දැනුම පිළිබඳ වූ මිනුම් දඬු යොදා ගනිමිනි. වත්මන් ගෝලීය ධනවාදය (නූතන අධිරාජ්‍යවාදය) තුළ දැනුම ද සූරාකෑමේ මාධ්‍යයක් බවට පත් කරගෙන තිබේ. දියුණු යැයි පැවසෙන ධනේෂ්වර සංවර්ධනයේ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ධනේෂ්වර සංවර්ධනයේ පසුගාමී රාජ්‍යයන් තම ග්‍රහනයේ තබා ගෙන දූරාකෑම සඳහා ප්‍රාග්ධනය මෙන්ම ‘දැනුම’ ද අවියක් ලෙස යොදා ගනී. ‘දැනුම’ එලෙස යොදා ගැනීමට හැකියාවක් ලැබී ඇත්තේ ප්‍රාග්ධනය විසින් ‘දැනුම’ මිලදී ගනු ලැබීමේත්, ප්‍රාග්ධනයට අවශ්‍ය දැනුම හසුරුවා ගැනීමේත් හැකියාව වර්තමාන ධනපති ක්‍රමය සතු නිසාය. මේ නිසාම දැනුම ප්‍රාග්ධනයක් ලෙසින් හැඳින්වීමට සමහරු ඉදිරියට ගොස් ඇත. එහෙත් සත්‍ය එය නොවේ. දැනුම පිළිබඳ කුමන නිර්වචන තිබුණද ඉතාම කෙටියෙන් පවසන්නේ නම් දැනුම යනු තමා අවට ලෝකය (ප්‍රකෘතිය) පිළිබඳව මිනිසා සතුව ඇති අවබෝධය වේ. එය න්‍යායිකව විග්‍රහ කරන්නේ නම් දැනුම යනු “වාස්තවික ලෝකය හා එහි නියාම අරමුණු සහගතව හා සංවර්ධනාත්මකව මිනිස් මනස තුළ පිළිබිඹුවීම” වේ. ඒ අනුව බලන විට දැනුම යනු වාස්තවික ලෝකය හෙවත් ප්‍රකෘතිය මිනිස් මනසේ පිළිබිඹුවක් වේ. එහෙත් එය හුදු පිටපත්කරණයක් ලෙස සිදුවන පිළිබිඹුවක් නොව අරමුණු සහගතව හා සංවර්ධනාත්මකව සිදුවන පිළිිබිඹුවක් වේ. දැනුමේ ක්‍රියාවලිය නිති (නොනැවතී) වර්ධනයක පවතින්නේ එම නිසාය.

සැබවින්ම දැනුම යනු මිනිසාගේ පංචේන්ද්‍රියනුත්, ස්නායු පද්ධතියත් මොළයත් සම්බන්ධවී සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක ඵලයක් වේ. මිනිසා සිය පංචේන්ද්‍රියන් මගින් ලබා ගන්නා සරළ අවබෝධය හෙවත් ඉන්ද්‍රිය ගෝචර දැනුම මොළය තුළ සිදුකරන තාර්කික ක්‍රියාවලියක් හරහා දැනුමක් බවට පත්වේ. දැනුමේ ආරම්භක අවස්ථාව වන අප අවට ප්‍රකෘතිය පිළිබඳ පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අත්දැකීම ජීවමාන සංජායනය ලෙස හඳුන්වයි. ලෙනින් එය හැඳින්වූයේ වාස්තවික ලෝකයේ මනෝමූල ප්‍රතිබිම්භය ලෙස ය. එම ඉන්ද්‍රිය ගෝචර සංජායනයන් මිනිස් මොළය තුළ දී තාර්කික ක්‍රියාවියකට භාජනය වේ. එය ප්‍රජානනය නම් වේ. දැනුමේ ද්විඝටනය වනුයේ ඉන්ද්‍රිය ගෝචර දැනුම හා තාර්කික දැනුම ය. පංචේන්ද්‍රියයන් මගින් ලබා ගන්නා සංවේදන අංග සම්පූර්ණ දැනුමක් බවට පත් වනුයේ මොළය තුළ සිදුවන තාර්කික ක්‍රියාවලිය මගිනි. ඒ නිසාම මොළය නැමැති ඉතා දියුණු ද්‍රව්‍යයේ (සිතන ද්‍රව්‍යයේ) පිහිට නොමැතිව දැනුම පවත්වා ගත නොහැකි වේ.

එය එසේ වුවද දැනුමේ උල්පත මිනිස් මොළය හෝ මනස නම් නොවේ. නැතිනම් විඥානයද නොවේ. දැනුම බිහි වන්නේ වාස්තවික ලෝකය මිනිස් මනස තුළ සිදුවන පරාවර්තනයකින් නම් දැනුමේ සැබෑ උල්පත වනුයේ වාස්තවික ලෝකයයි. නැතිනම් සොබාදහමයි. වාස්වික ලෝකයක් නොමැති තැන දැනුමක් නැත. මිනිසෙක්ද නැත. මොළය නම් වූ දියුණුතම ද්‍රව්‍යද නැත. එබැවින් දැනුම පෙර ආත්ම තුළින් ලැබෙන හෝ කුසල් අකුසල් මත රඳා පවතින දෙයක් නොව, වාස්තවික ලෝකය සංජානනය කිරීමට ලැබෙන ඉඩ ප්‍රමාණය හා තාර්කික හැකියාව මත ලැබෙන්නක් වේ. දැනුමේ විවිධත්වයට හේතුවන්නේ ද පාරසරික විවිධත්වයන් හා දැනුම ලැබීමට ලැබෙන අවස්ථාවල විවිධත්වයන් ය. එසේම අතීත සමාජමය දැනුම ලබා දීමේ හෝ ලබා ගැනීමේ හැකියාව මත ද (අධ්‍යාපනය) දැනුමේ ප්‍රමාණය තීරණය වේ.

දැනුම වර්ධනය වනුයේ ඓතිහාසිකව හා සමාජයක් ලෙස සාමුහිකව ලබන අත්දැකීම් අනුව ය. මිනිස් සමාජය තුළ ‘දැනුම’ ඇරඹෙනුයේ මානව සමාජයේ පදනම වූ නිෂ්පාදන ක්‍රියාවලියත් සමඟ බව ඉතාම පැහැදිලි වේ. දැනුම වර්ධනය වූයේ ද නිෂ්පාදන ඊට සාපේක්ෂව මිනිසාගේ පංචේන්ද්‍රියන් හා මොළය වර්ධනය වූයේද නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් හා බැඳෙමිනි. අප සෑම කෙනෙක් සතුව විවිධ ප්‍රමාණයෙන් පවත්නා ‘දැනුම’ අපේ පුද්ගලික දේපලක් හෝ පෞද්ගලික දක්ෂතාවයක ප්‍රතිඵලයක් නොව සමාජමය දේපලකි. සමාජමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඒ නිසාම දැනුම සමාජමය වේ. එය යෙදවිය යුත්තේද සමාජමය අරමුණකිනි. දැනුමේ ද්විඝටනය තේරුම් නොගත් හා ද්විඝටනයේ එක් එක් ප්‍රතිපක්ෂ දැනුම සෙ වරදවා වටහා ගත් අය ලෝකය තුළ ලොකු අවුලක් කර තිබේ. දැනුම පිළිබඳ ප්‍රශ්නයේදී කඳවුරු දෙකක් සෑදීමට පවා ඔවුන් සමත්වී තිබේ. ඒ අනුභූතිවාදීන් හා බුද්ධිවාදීන් යනුවෙනි. අනුභූතිවාදීන් පංචේන්ද්‍රියට හසුවන දේ පමණක් දැනුම ලෙස විශ්වාස කරන අතර එහි අනෙක් අන්තය වූ බුද්ධිවාදීන් තර්කයට ගෝචරවන දේ පමණක් දැනුම ලෙස පිළිගනිති. අනුභූතිවාදීන්ට අනුව ඇසට නොපෙනෙන, කනට නොඇසෙන දේ විශ්වාස කළ නොහැක. බුද්ධිවාදීන්ට අනුව පංචේන්ද්‍රියන් අප රවටන බැවින් ඇසට පෙනෙන, කනට ඇසෙන දේ එලෙසම විශ්වාස කළ නොහැකිය. එහෙත් සත්‍ය නම් දැනුම ගොඩ නැගෙනුයේ ඉන්ද්‍රිය ගෝචර  හා තාර්කිකත්වය එක්ව ක්‍රියාකිරිම තුළින් බවය.

දැනුම යනු ලෝකය අවබෝධ කර ගැනීමක් ලෙස පමණක් ඇතැමුන් කල්පනා කළද දැනුම ලෝකය තේරුම් ගැනීමට පමණක් සීමා වන්නක් නොව ලෝකය වෙනස් කිරීම සඳහා ද උපයෝගි වන්නක් වේ. දැනුම අවශ්‍ය වන්නේ සියල්ල දත් පණ්ඩිතයෙකු පෙස ජීවත්වීමට නොව දැනුම භාවිතයට නගා ලෝකය වඩා හොඳ තැනක් බවට වෙනස් කිරීමට ය. න්‍යායෙන් තෝර භාවිතය අන්ධ යැයි ද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයි ද පවසන්නේ මේ පදනමිනි.

විමර්ශන