ට්‍රොට්ස්කිවාදය – Trotskyism

rsz_article-2406192-1b83e5cd000005dc-18_964x973
සමාජවාදී රටක පවුලක වියදම් රටාව “සෝවියට් අත්දැකීම ඇසුරින්”
July 15, 2019
rsz_knowledge-by-geralt
දැනුම යනු…
July 23, 2019
Show all

ට්‍රොට්ස්කිවාදය – Trotskyism

arton2160

ට්‍රොට්ස්කිවාදය

මාක්ස්වාදි ව්‍යාපාරය තුළ පුද්ගල නම්වලින් හැඳින්වෙන බොහෝ නිර්මාක්ස්වාදී ගුරුකුළයන් අපට මුණ ගැසේ. මාක්ස්වාදයට පෙර මනෝරාජික මාක්ස්වාදයේ සිට වුවද මෙවැනි ගුරුකුළ දැකිය හැක. බ්ලැන්කිවාදය, පෘදොන්වාදය, රසාල්වාදය, බකුනින්වාදය, කෞට්සිකාවය ආදී මතවාදී ගුරුකුලයන් අතර පසුව මතු වූ ප්‍රවණතාවයන් ලෙස ට්‍රොට්ස්කිවාදය, මාවෝවාදය සහ ස්ටාලින්වාදය හැඳින්විය හැකිය. මෙම මතවාද පුද්ගලයෙකු මුල් කර ගෙන බිහිවූවද, යම් සමාජමය ස්ථරයක් තුළ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක පැතිරී ගිය මතවාදයන් විය. මෙහි විශේෂත්වය වූයේ මේවා සමාජවාදී සහ මාක්ස්වාදී හැඩයක් සහිතව පෙනී සිටියද, හරයෙන් නිර්මාක්ස්වාදී හා අවස්ථාවාදී ඒවා වීම ය. වෙනස් ලෙසකින් දකින්නේ නම් නිර්ධන පංති ව්‍යාපාරය තුළ ධනේෂ්වර මතවාදය ලෙස මාක්ස්වාදීන් නිර්වචනය කරන ‘අවස්ථාවාදය’ එක් එක් කාලවල මෙවැනි පුද්ගලයන් කේන්ද්‍ර කර ගනිමින් පුද්ගල නාමකරණයක්ද සහිතවය ය. මේ නිසා මේ මතවාදයන් පුද්ගලයෙකුගේ නමින් නම් කළ ද ඒවා තව දුරටත් හුදු පුද්ගල මතවාදයන් නොවන බවත් යම් පංතිමය වුවමනාවක් හෝ පංතිමය මූලයන් හරහා බිහිවූ මතවාදයන් බවත් තේරුම් ගත යුතුය.

අප ට්‍රොට්ස්කිවාදය තේරුම් ගත යුත්තේ ද ඒ අනුව ය. ට්‍රොට්ස්කිවාදය යනු ලෙනින්වාදයට පටහැනිව බිහි වූ නිර්මාක්ස්වාදී ප්‍රවනතාවයකි. ලෙනින්වාදයට වෙනස්ව අන්ත දෙකක නිර්මාක්ස්වාදී ප්‍රවණතාවයන් දෙකක් දැකිය හැකිය. ඒ එක් පසෙක ස්ටාලින්වාදයත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයේ ට්‍රොට්ස්කිවාදයත් ලෙස ය. ට්‍රොට්ස්කිවාදය රුසියාවේ සමාජවාදී විප්ලවයේ එක් නියමුවෙකු හා නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිගේ මතවාදයක් මුල් කර ගෙන බිහිවූවකි. එහෙත් ට්‍රොට්ස්කිගේ මෙම මතවාදය සඳහා දෙවන ජාත්‍යන්තරයේ සිටි අවස්ථාවාදී නායකයින්ගේ සමහර මතයන් මෙන්ම අරාජිකවාදීන්ගේ මතයන් ද යම් බලපෑමක් කළේ යැයි සිතිය හැකිය. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ්‍ය, එහි 1903 සමුළුවේදී පක්ෂ වැඩපිළිවෙ පිළිබඳ ප්‍රශ්නයේ දී බෙදෙන විට (බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් ලෙස) ට්‍රොට්ස්කි ඇතුළු පිරිස මේ දෙපැත්තටම නැතිව මැද සිටි අය වූහ. 1917 ඔක්. විප්ලවයට මාස කිහිපයකට පෙර ට්‍රොට්ස්කි ඇතුළු පිරිස ලෙනින් විසින් බොල්ෂෙවික් පක්ෂයට ඇතුලත් කර ගන්නා තුරුම (ට්‍රොට්ස්කි මධ්‍යම කමිටුව නියෝජනය කළේය) ට්‍රොට්ස්කිවාදීහු සිටියේ බොල්ෂෙවික් මතයන් හා වැඩපිළිවෙලට එකඟව නොවේ. මාක්ස්වාදය තුළ ලෙනින්වාදය අප හඳුනා ගන්නේ අධිරාජ්‍යවාදී අවධියට මාක්ස්වාදය ගැලපීමක් ලෙස හා එම අවධිය සඳහා සකස් කළ වැඩපිළිවෙලක් ලෙස ය. එම ලෙනින්වාදී වැඩපිළිවෙල තුළ තිබූ සමහර න්‍යායික කරුණු හා විශේෂයෙන් සංවිධාන ප්‍රතිපත්ති ට්‍රොස්කිවාදය විසින් පිළිගනු නොලැබීය. විශේෂයෙන් 1905 රුසියාවේ අසාර්ථක කම්කරු නැගිටීමෙන් පසු ප්‍රතිගාමීත්වය රජ කළ 1907 -10 කාලයේ ට්‍රොට්ස්කි ලික්විඩේටර්වාදියෙක් (දියකර හරින්නෙක්) ව සිටි බවත් 1912 දී බොල්ෂෙවිකයන්ට එරෙහිව ගොඩ නැගූ අගෝස්තු හවුල සංවිධානය කළ බවත් පැවසේ.

ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින්ගේ පාලනය තුළ ට්‍රොට්ස්කි 1927දි බොල්ෂෙවික් පක්ෂයෙන් නෙරපනු ලැබීය. 1929 සෝවියට් දේශයෙන් නෙරපීමත් සමඟ යුරෝපයට පලා යන ඔහු ට්‍රොට්ස්කිවාදීන් 04වන ජාත්‍යන්තරය සැදීමට පියවර ගන්නා ලදී.

ට්‍රොට්ස්කිවාදය විවිධ දේ ප්‍රකාශ කළද , හරයෙන් සහ න්‍යායිකව ද යම් පමණක මනෝරාජික ප්‍රායෝගිකව දියාරු එකකි. න්‍යායික ක්ෂේත්‍රයේදී තනි රටක සමාජවාදය පිළිනොගැනිම හා නොනවතින විප්ලවය වැනි (ලෝක සමාජවාදී විප්ලවය දක්වා විප්ලවය නොකඩවා නොකඩවා ගෙන ගිය යුතු බව) මත දැරීම තුළ යම් නිවැරදි ස්ථාවරයක් දැරුවද ඔවුන්ගේ ජාත්‍යන්තරවාදය ජාතික සීමාවන්ගෙන් විප්තලවක් නොසලකා හරින එකක් වී තිබේ. එක තනි රටේ සමාජවාදය පිළිගන්නා ස්ටාලින්වාදයේ අනෙක් අන්තය වී තිබෙන්නේ එසේය. ට්‍රොට්ස්කිවාදය විවිධ රටවල සංවර්ධනයේ මට්ටම හා පංති බලවේගයන්ගේ වෙනස්කම් සැලකිල්ලට නොගන්නා හා යුරෝපයේ කම්කරු පංතියේ චිත්‍රයෙන් මුළු ලෝකයේ වෙසෙන කම්කරුවන්ගේ තත්වය වටහා ගන්නා එකකි. එය සැබෑ ජීවන කම්කරුවා හඳුනා ගන්නේ නැත. වරද ඇත්තේ එතැනයි. ඒ නිසාම තම මනෝ රාජ්‍යයේ සිටින කම්කරු පංතියේ අරගල ගැන සිහින මවන ජීවමාන පංති බලවේග සංවිධානය කිරීම නොසකා හරී. ඒ නිසා සමාජයේ පංති බලවේග හඳුනා ගැනීමේදී ඒවායේ හැකියාව තක්සේරු කිරීමේදී ට්‍රොට්ස්කිවාදය යාන්ත්‍රික ස්වරූපයක් දරයි.
සංවිධාන ව්‍යූහයේදී ට්‍රොට්ස්කිවාදය ඉතා දියාරු එකකි. ලෙනින්වාදයට අනුව බොල්ෂෙවික් සංවිධාන ප්‍රතිපත්තිය සකස්වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය අනුව ය. මෙහිදී ට්‍රොට්ස්කිවාදය මධ්‍යගතභාවය පිළිනොගෙන නිදහස්වාදයට වැටේ. (ස්ටාලින්වාදය මෙහි අනෙක් අන්තයේ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර මධ්‍යගතවාදය වේ) මේ නිසා පක්ෂය තුළ කණ්ඩායම් සෑදීම කණ්ඩායම් පැවතීම ට්‍රොට්ස්කිවාදීන් පිළිගනිති. ඔවුන් එය ඉවසති. එහෙත් එවැනි දියාරු සංවිධානයකට සමාජ පරිවර්තනයක් කළ නොහැකි බව පැහැදිලි සත්‍යයකි. මේ අනුව ට්‍රොට්ස්කිවාදය මාක්ස් ලෙනින්වාදයෙන් වෙන්වන ප්‍රධාන කරුණු කිහිපයකි.

  • න්‍යායිකව කම්කරු පංතිය විප්ලවයේ ගාමක බලවේගය ලෙස පිළිගත්තද ගොවියන් වැනි බලවේගවල හැකියාව නොසලකා හරී.
  • කම්කරු පංතිය පිළිබඳ වියුක්ත ජීවමාන ‌නොවන යාන්ත්‍රික තර්කයන් තුළ හිඳී.
  • විප්ලවය වෙහෙසී වැඩ කොට කම්කරුවන් ප්‍රමුඛ පීඩිත පංතිය සංවිධානය කිරීම හරහා කරන එකක් වෙනුවට එය කම්කරුවන්ගේ ස්වභාවික අරගල හරහා සිදුවේය වැනි මනෝරාජික තැනක සිටී.
  • බොහෝ විට ඔවුන් කම්කරු පංති දේශපාලනයේ සිට වෘත්තීය සමිතිවාදයට වැටේ. (ලංකාවේ බලා තම්පෝ)
  • සංවිධාන ප්‍රතිපත්තියේදී ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය වෙනුවට මධ්‍යගතභාවයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනී.
  • කම්කරුවන්ගේ ජාත්‍යන්තර සමගිය හා ජාත්‍යන්තරවාදය පිලිගන්නා අතර ජාතික තලයේ කම්කරු හා පීඩිත පංති වැඩ කටයුතු සමහර විට නොසලකා හරී.

මේ අනුව ට්‍රොට්ස්කිවාදය යනු ලෝක විප්ලවය ගැන ඉතා හොඳ ප්‍රාර්ථනා ඇති විප්ලවීය වාක්‍ය හා න්‍යායික කරුණු කටපාඩම් කරමින් පුනරුච්ඡාරණය කරන එහෙත් ප්‍රායෝගිකව එක් එක් රටවල් තුළ විප්ලවය සංවිධානය කිරීමට අසමත් අවස්ථාවාදී ප්‍රවණතාවයකි.

ට්‍රොට්ස්කිවාදයේ පොදු ස්වරූපය මෙසේ වුවත් එය භාවිතාවේදී විවිධ රටවල විවිධ වෙනස්කම් පෙන්වා දී ඇත. පුරෝපය පදනම් කර ගෙන 1938දී බිහි වූ ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරය ඉක්මනින් කැඩී ගොස් ශාඛා ගණනාවක් බවට පත් වූ අතර ලෝකයේ විවිධ රටවලදී එකම රට තුළ එම විවිධ ට්‍රොට්ස්කිවාදී ගුරුකුළ සමඟ ගණුදෙනු කරන ට්‍රොට්ස්කිවාදී පක්ෂ රැසක්ද බිහිවිය. ලංකාවේ සමසමාජ පක්ෂය ආරම්භයේදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් වූ අතර 1964 පාවාදීමත් සමඟ සම සමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරයෙන් ඉවත් කරනු ලැබීය. ඒ සමඟම ඉන් කැඩී ගිය කොටස් බලා තම්පෝ, එඩ්මින් සමරක්කොඩි, වැනි පුද්ගලයන් ට්‍රොට්ස්කිවාදී ගුරුකුළ සාදන ලදී. අද වන විට ලෝකයේ ට්‍රොට්ස්කිවාදය ප්‍රබල මතවාදයක් ලෙස නොපවතී.

එසේම එය සංවිධානමය අතින් බොහෝ සේ දුර්වල වී ඇත. කාලය සමඟ ට්‍රොට්ස්කිවාදය ද ට්‍රොට්ස්කිගේ සමයේ තිබූ මතවාදයට වඩා වෙනස් වන බවක් ද පෙනේ. මෙසේ කුමන වෙනස්කම තිබුණද එය මාක්ස් -ලෙනින්වාදයට පටහැනි අවස්ථාවාදී ප්‍රවණතාවයකි.

විමර්ශන