අර්බුදය සහ අරාජිකත්වය

rsz_capitalism-sucks-1030x643
ලාභය වෙනුවෙන් ජීවිත බිල්ලට
July 4, 2019
rsz_346912199
රජයේ උපත හා ව්‍යාප්තිය
July 10, 2019
Show all

අර්බුදය සහ අරාජිකත්වය

crisis

දිගුකලක් තිස්සේ අර්බුදයෙන් අර්බුදයට යමින් තිබූ ලංකාවේ පසුගාමී හා දුර්වල ධනපති ක්‍රමය එහි තර්කානුකූල අවසානයට පැමිණෙමින් තිබෙන බවට පෙරනිමිති හැම අතින්ම පහළ වෙමින් තිබේ. පංති ප‍්‍රතිවිරෝධතාවයන් සහිත සෑම සමාජ ක්‍රමයක් මෙන්ම ලාංකේය ධනවාදයද එහි ප‍්‍රගතිශීලී උත්පාද අවධිය ඉක්මනින් පසුකර අවපාත අවදිය ඔස්සේ ගමන්කොට එහි අවසානයට ලඟාවෙමින් තිබේ. ධනවාදය පත්ව ඇති මෙම අර්බුදය විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ සමාජයේ මතු පිටට ප‍්‍රකාශවෙමින්ද තිබේ. ආර්ථික වශයෙන් රට බංකොලොත් වී ජනතාව දැවැන්ත ආර්ථික අමාරුකම්වලට මුහුණපෑම එකී අර්බුදය ප‍්‍රකාශයට පත්වන එක් ආකාරයකි. අප දැනටමත් සාකච්ඡා කරමින් සිටින රටේ අපරාධ ඉහළ යාම මගින්ද පෙන්වන සංස්කෘතික ක්ෂේත‍්‍රයේ පිරිහීමද එකී අර්බුදය ප‍්‍රකාශයට පත්වන තවත් ආකාරයකි. එසේම ධනවාදය පරිපාලනමය වශයෙන් අර්බුදයට ගොස් අරාජිකත්වයක් මතුවීමද ධනවාදයේ අවසානය ප‍්‍රකාශවන තවත් එක් ප‍්‍රබල ආකාරයකි.

මෙතෙක් ලොව බිහිවූ පංති සහිත සමාජක්‍රම අතරින් වඩාත් වැඩි සංවිධිත බවක් හා කළමනාකරණයක් සහිත සමාජක්‍රමය වූයේ ධනවාදයයි. එය සූරාකෑමේ  අරමුණ සඳහා, ලාභ ලැබීමේ අරමුණ සඳහා තම ධනේශ්වර පාලනය දිගුකලක් පවත්වාගෙන යාමේ අරමුණ සඳහා සියල්ල හොඳින් සංවිධානය කළේය. “කළමනාකරණය” විෂයක් ලෙස වර්ධනය වූයේද ධනවාදය තුළය. එහෙත් ධනවාදයේ අර්බුදය ඒ සියල්ල බිඳ දමමින් තිබේ. එය ආරම්භයේ දී නිරෝගී ශරීරයක් ලෙස සියල්ල හොඳින් පාලනය කරවමින් සියලූ ශරීරාංග හොඳින් හසුරුවමින් ක්‍රියාත්මක වුවද, දැන් එහි අවපාත අවදියේදී එනම් ඉතිහාසයේ වේදිකාවෙන් බැස නික්ම යා යුතු අවදියේදී හැසිරෙන්නේ අංශභාග රෝගියෙකු ලෙස බව පෙනේ. මොළය අක්‍රියවීම නිසා සිය ශරීරාංග පාලනය කර ගැනීමට නොහැකි මරණාසන්න රෝගියෙකුගේ තත්වයට දැන් ලාංකේය ධනවාදය පත්ව තිබෙන බව බැලූ බැලූ අත පෙනෙන දසුන්වලින්  තහවුරු වේ.

සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය කරළිගත වී ඉතාම කෙටි කාලයක් තුළ එය නිෂ්පාදන ක්ෂේත‍්‍රයේදී නිෂ්පාදන අරාජිකත්වයට ලක්විය. ඒ, 19වන සියවස තරම් ඈත කාලයේදීය. ලාභ ලැබීම අරමුණු කරගනිමින් තනි තනි නිෂ්පාදකයන් අතර සිදුවූ තරගය විසින්, ධනපති ක්‍රමය නිෂ්පාදන අරාජිකත්වයකට මුහුණ පා විනාශයේ අද්දරටම ගියේය. ඒ, නිදහස් ධනවාදී යුගය හෙවත් ලිබරල්වාදය තුළය. ධනවාදය ඊට ඉක්මණින් විසඳුමක් සොයාගත් අතර එය ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදය විය. එහෙත් එම ඊනියා විසඳුම තාවකාලික එකක් විය. එය ධනවාදය අරාජිකත්වයෙන් මුදවා ගන්නවා වෙනුවට අර්බුද රැසකට මඟ පෑදුවේය. එකී අධිරාජ්‍යවාදයට යටත්ව ඊට පරාධීනව වර්ධනය වූ ලංකාවේ ධනපති ක්‍රමය දැන් යළි ගොඩගත නොහැකි අර්බුදයකට ලක්ව එහි අවසානයට ගමන් කරමින් තිබෙන අතර, ඒ තුළ මතුවී ඇති පරිපාලන අරාජිකත්වය කියා පාන්නේ, ලංකාවේ ධනවාදයේ ‘ගමනක අවසානය’ ආරම්භවී ඇති බවය.

වර්තමාන පාලනයට අප ‘පාලනය’ යන වචනය යෙදුවද දැන් පාලනයක් පවතින්නේ නැත. දැන් මුළු රටම ගමන් කරමින් තිබෙන්නේ අයාලයේය. හැම තැනම පවතින්නේ අරාජිකත්වයේ සේයාවන්ය. රට මේ මට්ටමට හෝ පවතින්නේ ‘පාලනය’ නිසා නොව ජනතාවගේ හා පාලන ආයතනවල පුරුද්දේ බලය නිසාය. නිවසේ කිසියම් ස්ථානයක දම්වැලෙන් ගැටගසා තැබූ බල්ලා කලක් ගිය පසු දම්වැල නැතිව වුව ද පරණ පුරුද්දට අදාළ ස්ථානයට පැමිණ වැතිරෙන්නා සේ, සෑම සවස් කාලයකම කෙවිට අතින්ගෙන දක්කාගෙන විත් ගාල් කළ ගව රංචුවක් කල් ගිය පසු කෙවිට නැතිව වුවද පුරුද්දට පැමිණ ගාල්වන්නා සේ ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍රවල කටයුතු සිදුවන්නේ පුරුද්දට අනුව මිස මෙහෙයවීමක් අනුව නොවේ. වියපත් ලාංකේය ධනවාදය තුළ දැන් වැඩිපුර ඇත්තේ, සවිඥ්ඥානික මෙහෙයවීමක් නොව අවිඥ්ඥානික හැසිරීමකි. මුළු මානව සමාජයටම හානිකරන බොහෝ සිදුවීම් සිදුවන්නේ මෙකී තත්වය තුළය.

උදාහරණ කීපයකින්ම මෙය තේරුම් ගත හැක. ලංකාවේ ඇමැති මණ්ඩලයේ (ජනාධිපති, අගමැති, ජ්‍යෙෂ්ඨ ඇමැති කැබිනට් ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරු ඇතුළත්ව) එකම විෂයට ඇමැතිවරු කිහිපදෙනෙක් සිටිති; අමාත්‍යාංශ කීපයක් තිබේ. එහෙත් මෙම බොහෝ අමාත්‍යාංශවල සැබෑ පාලනයක් නැත. ඇත්තේ බරපතළ අරාජිකත්වයකි. සමහර විෂයයන් ඇමැතිකම් දීම සඳහා අවිද්‍යාත්මක ලෙස බෙදා වෙන්කිරීම විසින්ද මෙම අරාජිකත්වය නිර්මාණය වී තිබේ. ලංකාවේ ඛනිජතෙල් ගබඩාවලට තෙල් ගෙනඑන නල මාර්ග දිරාපත්ව පුපුරා යනතුරුත් ඒ ගැන සෙවීමක් නැතත් ලංකාවට ඛනිජතෙල් අමාත්‍යාංශයක් නම් තිබේ. ලංකාව තුළ අලි පැටවුන් පවා හොරකම් කෙරෙනුයේ වනජීවී අමාත්‍යාංශය තිබියෙදීය. සමහරවිට එහි සහයෝගයද සහිතවය.

මෑත කාලයේ සිදුවූ සිදුවීම් කීපයක් මගින් ද සමාජයේ පරිපාලනය බිඳවැටීමේ ඛේදවාචකය තේරුම් ගත හැකිවනු ඇත. පසුගිය දිනක කුරුණෑගල පොතුහැරදී දුම්රිය දෙකක් එකම දුම්රිය මාර්ගයේ මුහුණට මුහුණ ලා ගැටුණේය. ඉන් විශාල විනාශයක් සිදු විය. එහි වගකීම බාරගන්නවා වෙනුවට ප‍්‍රවාහන අමාත්‍යවරයා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පරීක්ෂණ කණ්ඩායමක්ද පත් කළේය. මෙවැනි අනතුරක් සිදුවූ පසු ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එහිදී සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන එය නිවැරදි කිරීමට කටයුතු කරන ක්‍රමයක් තුළ යළි බොහෝ කලක් යනතුරු ඒ වර්ගයේ අනතුරක් සිදුවීමට ඉඩක් නැත. එහෙත් ලංකාවේ එසේ නොවේ. ඉතිහාසයේ එකම දේ දෙවරක් සිදුවන බව වරක් හේගල් නම් දාර්ශනිකයා ප‍්‍රකාශ කළ විට මාක්ස් එයට එකතු කිරීමක් කරමින් පැවසුවේ එය එසේ වන විට පළමුව ඛේදජනකයක් ලෙසත් දෙවනුව හාස්‍යජනකයක් ලෙසත් සිදුවන බවය. එම කියමන සනාථ කරමින් පළමුව පොතුහැරදී ඛේදජනකයක් ලෙස සිදුවූ එම දුම්රිය අනතුර සතියකට පසු ඒ ආකාරයෙන්ම අලූත්ගමදී ද සිදුවිය. එහිදීද දුම්රිය දෙකක් එකිනෙක හැපුණේය. එය හාස්‍යජනකයක්ම විය. එපමණක් නොව රියදුරෙක් නොමැතිව දුම්රියක් ස්වයංව ධාවනය වූයේද මීට ටික දිනකට පෙර ලංකාවේමය. ඉන් පෙන්වන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළ ටික විකුණාගෙන කෑම සඳහාත් එයට තම හිතවතුන් සේවකයන් ලෙස බැන්ඳවීම සඳහාත් මිස දුම්රිය සේවය පවත්වාගෙන යෑම සඳහා ඇමැතිවරයාගේ මැදිහත්වීමක් නැති බවය. පාලනයක්  නැති බවය. දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය රියදුරන් හා නියාමකයින් බඳවා නොගන්නා ආණ්ඩුව, දුම්රිය සේවය අරාජිකත්වයට පත්කර තිබේ.

මෙය දුම්රිය සේවයට පමණක් නොව පොදුවේ ප‍්‍රවාහන සේවයටම අදාළය. මගී ප‍්‍රවාහන සේවය අද එකම අවුල් ජාලයකි. දැන් ධනපති ක්‍රමය පවත්වාගෙන යන්නේ එම අවුල් ජලය තුළ ජනතාව අතරමං කරමින්ය. රටේ පාලනයේ අරාජිකත්වය මැනිය හැකි තවත් උදාහරණයක් ලෙස පසුගිය කාලයේ බැංකු කොල්ලකෑමේ සිදුවීම් ගත හැක.  පසුගිය කාලයේ එකදිගට දින කිහිපයක් තුළ බැංකු කීපයක්ම කොල්ලකන ලදී. ඒ සඳහා භාවිත කළ ක්‍රමය වූයේ මුහුණ වැසෙන හෙල්මට් දමාගත් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ බැංකුවට ඇතුල්වී ගිනි අවි පෙන්වා නිලධාරීන් හා බැංකුව තුළ සිටින අය බියවද්දා මුදල් පැහැරගෙන යාමය. මෙම කොල්ලකෑම්වල පටිගත කළ දසුන්ද රූපවාහිනිය මගින් පෙන්වන ලදී. එලෙස මුහුණ ආවරණය කළ හෙල්මට් පැළඳ පැමිණි අය එක් බැංකුවක් කොල්ලකෑ පසු රටක පාලනයක් තිබේනම් නැවත නැවත එම ක්‍රමයටම බැංකු කොල්ලකෑමට නොහැකි විය යුතුය. මන්ද ආරක්ෂක අංශ විසින් වහාම බැංකුවල ආරක්ෂක ක්‍රමවේද වෙනස් කළ යුතු නිසාය. එහෙත් ලංකාවේ එය එසේ සිදුවූයේ නැත. එකම ක්‍රමයට දින කීපයක් තිස්සේ බැංකු කොල්ලකන ලදී. ඉන් පෙන්වන්නේද පාලනයේ අරාජිකත්වය හා දුර්වලකමේ තරමය.

ලංකාවේ මාර්ග පිළිසකර කිරීම තුළ ද මෙම අසංවිධානාත්මකභාවය හා අරාජිකත්වය දැකිය හැක. ආණ්ඩුව මහජන මුදල් කෝටි ගණන් වැයකර (කෝටි ගණන් කොමිස් ගැහිලිද සහිතව) ප‍්‍රධාන මාර්ගවල කාපට් ඇතිරීම සිදු කරයි. එලෙස අලූතින් කාපට් අතුරා මාර්ග සංඥා සවිකර සුදු හා කහ ඉරි ද ඇඳ මාර්ගයේ වැඩ නිමවූ වහාම එම මාර්ගයේ තැනින් තැන වළවල් හාරා තිබෙනු දැකීම ලංකාවේ සුලබ දර්ශනයකි. මාර්ගවල කාපට් අතුරා අවසන්වූ පසු එලෙස කාපට් කඩා මාර්ගයේ වළවල් හා කාණු කපන්නේ එක්කෝ විදුලි බලමණ්ඩලය විසිනි. නැතිනම් ටෙලිකොම් හෝ ජල සම්පත් මණ්ඩලය විසිනි. මේ ආයතනද රාජ්‍ය ආයතන වේ. මාර්ගයේ අලූතින් කාපට් ඇතිරීමට පෙර මෙම ආයතන දැනුවත් කර ඔවුන්ගේ කටයුතු කාපට් ඇතිරීමට පෙර අවසන් කළ හැකිව තිබුණත් ඒ සඳහා වන සංවිධානයක් හෝ සැලසුම් සහගත බවක් හෝ අවබෝධයක් මේ එක් එක් ආයතනවලට මෙන්ම ආණ්ඩුවටද නැත. ඒ නිසා විශාල මහජන මුදල් ප‍්‍රමාණයක් නාස්තිවන අතර, වාහන හිමියන් මෙන්ම මගී ජනතාවද අසීරුවට පත්වේ. ඊට හේතුව ආණ්ඩුව මධ්‍යගත සැලසුමක් තුළ කටයුතු නොකිරීමය. මේ ආණ්ඩුවේ දකුණු අත කරන දෙය වම් අත නොදන්නා අතරම වම් අත කරන දෙය දකුණු අත නොදනී. මේවා සරල කරුණු සේ පෙනුණද සරල කරුණු නොවේ. පාලනයක අකාර්යක්ෂමතාවය හා සමාජ ක්‍රමයක අර්බුදය පෙන්වන කරුණුය.

එපමණක් නොවේ ඉතාම වගකීමෙන් කළ යුතු කාර්යයක් වන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විභාග පැවැත්වීම තුළ අප පසු ගිය කාලය පුරාම දුටුවේද මෙම අරාජිකත්වයමය. ප‍්‍රශ්න පත‍්‍රවල ප‍්‍රශ්න වැරදි ලෙස සඳහන් කිරීම, ප‍්‍රශ්න පත‍්‍ර සමග උත්තර පත‍්‍රද බෙදීම, ප‍්‍රශ්න පත‍්‍ර මාරුකොට බෙදා දී සිසුන් ඒවාට පිළිතුරු ලියමින් සිටියදී යළි එකතුකොට, නැවත බෙදාදීම, සිසුන් ප‍්‍රමාණයට වඩා ප‍්‍රශ්න පත‍්‍ර ප‍්‍රමාණය මදිවීම නිසා ප‍්‍රශ්න පත‍්‍ර  ඡායා පිටපත් කිරීමට විභාග ශාලාධිපතින්ට සිදුවීම, ප‍්‍රශ්න පත‍්‍ර ප‍්‍රමාදවී ලබාදීම වැනි සිනහ යන වර්ගයේ සිදුවීම් 5 ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය දක්වා සෑම විභාගයකම පසුගිය කාලයේ සිදු විය. එය පළාත් සභා අධ්‍යාපන බලධාරීන් අතින් මෙන්ම මහ ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් අතින්ද වාර ගණනාවක්ම සිදු විය. එහෙත් ඊට පිළියම් යෙදීමට මේ දක්වා ආණ්ඩුව අපොහොසත්ව සිටින අතර, එලෙස සිදුවන දේ දැන් සාමාන්‍යයක් බවට පත්කර තිබේ. එය ධනවාදී පාලනයේ අරාජිකත්වය සඳහා ඇති හොඳම හා ප‍්‍රබලම උදාහරණය වේ.

වත්මන් ‘පාලනය’ තුළ අරාජිකත්වයට පත්කර ඇත්තේ, පරිපාලනය හා සේවා පමණක් නොවේ. නීතිය හා අධිකරණ ක්‍රමයද එලෙස අරාජිකත්වයට පත්කර තිබේ. මෙම කරුණේදී කැපී පෙනෙන ආයතනය වී ඇත්තේ, පොලිසියයි. පොලිසිය ‘නීතිය රැකීම’ සිදුකරන්නේ, පුද්ගලයාගේ තත්වයට අනුවය. පසුගියදා කරුවල ගස්වැව ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා හොරෙන් වැලි ගොඩදමා රැගෙන යද්දී පොලිසිය වැලි ප‍්‍රවාහනය කළ වාහනය අත්අඩංගුවට ගත්තේය. එවිට උපසභාපතිවරයා කළේ, රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීමය. එවිට පොලිස් නිලධාරීහු උපසභාපතිවරයාද අත්අඩංගුවට ගත්හ. ඒ, පොලිස් නිලධාරීන්ට පහරදීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතය. මෙලෙස පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නම් පසුදිනම ඔහු “සැඟවූ ආයුද පෙන්වීමට ගොස්” වෙඩි කා මරු දකිනු ඇත. එහෙත් උප සභාපතිවරයාට එලෙස සිදුවූයේ නැත. ඒ වෙනුවට පැය කිහිපයක් තුළ නොකොට පොලිස් ඇප මත මුදාහැරිණි. එසේ වූයේ මෙම සිදුවීම සැලවීමත් සමග සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න ඇමැතිවරයා පිරිසක් සමග පැමිණ පොලිසිය වටලෑම නිසාය. පසුවදා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේ සිදුවීමට ගිය නොසන්සුන්තාවයක් වැළැක්වීම සඳහා උප සභාපතිවරයා පොලිස් ඇප මත මුදාහළ බවය. මෙය සැකකරුවන්ට ඇප ගැනීමේ පහසුම ක්‍රමයේ ආදර්ශය වුවහොත් සිදුවන්නේ කුමක්ද? එහෙත් රාජ්‍ය බලය පොලිසිය යටත් කර ඇති විට ඊට වැඩි දෙයක් සිදුවිය නොහැක.

ඒ අතර සමහර සැකකරුවන්ට පොලිසියම දඬුවම් දීමේ ක්‍රමයක්ද දැන් කලක සිට ක්‍රියාත්මක වේ. ඒ “සැඟවූ ආයුද පෙන්වීමට ගොස්” වෙඩිකෑම නිසා මරුමුවට පත්වීමය. සැකකරුවන් එකම මෝඩකම යළි යළිත් කරමින් “අවි පෙන්වීමට ගොස් ඒ අවියෙන්ම පොලිසියට පහරදීමට” උත්සාහ කරන අතරම, පොලිසියද එකම මෝඩකම යළි යළිත් කරමින් අවි තිබෙන තැනට පොලිසිය යනවා වෙනුවට මාංචුද නොදමා සැකකරුවා යවයි. පොලිසිය සැකකරුට මාංචු දමන්නේ ගඟට හෝ වැවට පනිනවිට පමණි. මේවා හාස්‍යජනක ලෙස පෙනුණද හාස්‍යයට කරුණු නොවේ. නීතිය බිඳවැටී අරාජිකත්වය මතුව ඇති බව පෙන්වන කරුණුය. මෙය මෙසේ සිදුවේ නම් අධිකරණ පද්ධතියක් නීතියක් අවශ්‍ය වන්නේ නැත. නීති කැඩීම, නීති නොසලකා වැඩකිරීම, අර්බුදයට පත් ධනවාදී පාලනය තුළ පාලක පංතියේ කාර්යය වී තිබේ. ධනවාදය විසින්ම දැන් තවදුරටත් ධනවාදයට සකස් කළ නීති පවා රැකිය නොහැකි වී තිබේ. ඔවුන්ගේ නීති ඔවුන්ම කඩන්නේ නම් ඉන් කියැවෙන්නේ, ධනවාදය අවසන් ගමන් යමින් තිබෙන බවමය.

වල් අලි ගම්වැදීම වැළැක්වීමට නොහැකිවීම, මදුරු වසංගතය හා ඩෙංගු ව්‍යාප්තවීම, පාලනය කිරීමට නොහැකි වීම, දිවිනසා ගැනීම් හා අපරාධ පාලනය කිරීමට නොහැකි වීම ආදී උදාහරණ සිය ගණනක් මගින්ද පෙන්වමින් තිබෙන්නේ, අන්කිසිවක් නොව ධනවාදයේ අසමත්කම හා අරාජිකත්වයයි. ඩෙංගු මැඩීමේ වගකීමෙන් ආණ්ඩුව ඉවත් වී මිනිසුන්ට දඩ ගැසීමට තරම් නරුම තත්වයකට ධනපති ක්‍රමය තුළ වත්මන් ආණ්ඩුව පත්ව තිබීමද කියාපාන්නේ ධනවාදයේ ඇති නරුම ස්වභාවයමය.

මෙම කරුණුත් මෙහි සඳහන් නොකළද පොදු ජනතාව දිනපතා අත්විඳින විවිධ දුෂ්කරතාත් එක්ව ගෙන සලකා බලන විට පැහැදිලි වන්නේ කුමක්ද?  ඒ, ලාංකේය ධනවාදය එහි අවසානයට පැමිණ ඇති බවය. එයට තවදුරටත් සංවිධානාත්මකව කටයුතු කළ නොහැකි බවය. ධනවාදී ‘පාලනයේ’ සියලූ ආයතන පාලනයකින් තොරව ඉබාගාතේ හැසිරෙන බවය. කළමනාකරණය එය අතහැර පලා ගොස් ඇති බවය. මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඇති නරකම ආදර්ශය දැකගැනීමට කැමති  ඕනෑම කෙනෙක් යා යුත්තේ ලංකාවේ මුදල් අමාත්‍යාංශයටය. ධනවාදයට හිමි, ධනවාදය විසින්ම නිර්මාණය කළ කළමනාකරණය දැන් ධනවාදයෙන් ඉවත්ව පලා ගොස් තිබේ.

මේ සියල්ල එක්ව ගත්විට පෙනෙන්නේ කුමක්ද? සමාජ ක්‍රමයක අරාජිකත්වයය. ධනවාදය දැන් අංගවිකල තත්වයට පත්ව තිබේ. එය යළි සුවපත් කළ නොහැකි අතපය වාරු නැති අවසිහියෙන් හැසිරෙන බරපතළ රෝගියෙකුගේ තත්වයට පත්ව තිබෙන බවය.

විමර්ශන