ධනවාදයේ වත්මන් අර්බුදය තුළ අන්තවාදය

ඉතා වේගයෙන් කඩාවැටෙමින් තිබෙන ධනවාදය තම ආයුෂ දීර්ඝ කර ගැනීම උදෙසා ගත හැකි සියලූ උත්සාහයන් ගන්නා බව මේ සියල්ලෙන්ම පැහැදිලි ය. මිනිසුන් වන අප සියලු දෙනා සමේ වර්ණය, ජිවත් වන රට, සංස්කෘතිය, අදහන ආගම, කතා කරන භාෂාව, කුල ගෝත්‍ර අනුව භේදභින්න කිරීම ධනවාදයේ වත්මන් ස්වරූපය වූ අධිරාජ්‍යවාදයේ එවැනි තවත් එක් උත්සාහයක් පමණි. මිනිසුන් අතර වන එවැනි වෙනස්කම් භාවිත කොට ඔවුන් අතර ගැටුම් නිර්මාණය කිරීම පන්ති සමාජය බිහි වූ දා සිටම අධිපති පන්තියේ ක්‍රමෝපායක් විය. පවතින ගැඹුරු අර්බුදයන් හමුවේ වඩාත් කෲර ක්‍රියාදාමයන් කෙරෙහි වුව ද අවධානය යොමු කිරීමට ඔවුන් නොපැකිලෙන බව පැහැදිලි ය. ඒවා සාධාරණීයකරණය කර ගැනීමට ඔවුන්ට ඕනෑ තරම් තර්ක ඇත. ඒ සඳහා මතවාද නිර්මාණය කිරීමට තමන්ගේ මාධ්‍ය අධිරාජ්‍යයක් ඇත.

අධිරාජ්‍යවාදීන්ගේ ජාවාරම් අතර ප්‍රධානතම ජාවාරම වන අවි නිෂ්පාදනය දිගින් දිගටම කර ගෙන යාම සඳහා ඔවුන්ට යුද්ධ අත්‍යවශ්‍ය වේ. යුද්ධය යනු දේශපාලනය වෙනස් ආකාරයකින් ක්‍රියාවට නැගීම බව අප ඉගෙන ඇත්තෙමු. ආගමේ නාමයෙන් ආරම්භ වූ කුරුස යුද්ධවල සිට පළමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය හරහා මතු වූයේ ලෝකය පුරා ම අමුද්‍රව්‍ය, සම්පත්, වෙළෙඳපොළ, භූමිය බෙදා ගැනීමේ බලවතුන්ගේ වුවමනාව බව පැහැදිලිය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමාජවාදී කඳවුර නිර්මාණය වීමත් සමඟ ඇති වූ බල තුලනය හේතුවෙන් අධිරාජ්‍යවාදීන්ට සිත් සේ අන් රටවල් මත කඩා පැන ඒවායේ සාරය උරා බීමට තිබූ අවස්ථාව අභියෝගයට ලක්විය. අනෙක් පැත්තෙන් අන්තවාදී සංවිධාන බිහිවීම මෙන්ම ආගමික ගැටුම් අවම වූ කාලයක් ලෙස මෙම කාලය සැලැකිය හැකී ය. නමුත්, සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමග ඒක-ධ්‍රුැවීය ලෝකයක් නිර්මාණය වූ අතර කේන්ද්‍රයේ ධනපති රටවල් පරිධියේ රටවල් මත කඩා පනිමින් තම දේශපාලන, ආර්ථික, යුද ආධිපත්‍යයන්ට ඒවා යටත් කිරීම ආරම්භ කරන ලදී. ඒ සඳහා ඒ වන විටත් මතුව තිබූ ගැටුම් භාවිත කළ අතර එසේ නොමැති තැන්වල වෙනස්කම් භාවිත කරමින් ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් විය. මෙහි දී අන්තවාදී ආගමික කල්ලි කණ්ඩායම් සඳහා අවි ආයුධ පුහුණුව මෙන්ම මුදල් ලබා දීම ද අධිරාජ්‍යවාදීන් අතින් සිදු විය. මෙම ගැටුම් භාවිත කරමින් එම රටවල් අස්ථාවර කොට එම රටවල ස්වාභාවික සම්පත් මෙන්ම ව්‍යාපාර ආදිය ද තමන්ට රිසි සේ පවරා ගැනීමට ඔවුනට හැකි විය. පරිධියේ රටවල ධනපති ආණ්ඩු ද තම අර්බුදයන් වසා ගැනීමටත්, දිගින් දිගටම තම පාලනයන් ගෙන යාමටත් මෙවැනි අභ්‍යන්තර ගැටුම් යොදා ගනිමින් සිටිති.

වත්මන් ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රභවයක් වන ඛනිජ තෙල් තිබීම හේතුවෙන් මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපය අධිරාජ්‍යවාදීන්ගේ මුලික ඉලක්කයක් වී ඇති බව පැහැදිලිය. කලාපයේ බොහෝ රටවල පැවැති ඒකාධිපති ආණ්ඩුවලට එරෙහි ජනමතයන් හේතුවෙන් ද, ආගමික බෙදීම් හේතුවෙන් මතුව තිබූ අන්තවාදී කණ්ඩායම් භාවිත කිරීම මගින් ද එම රටවලට මැදිහත් වීමට අධිරාජ්‍යවාදීන්ට ඉතා පහසුවෙන් හැකි විය. නීත්‍යනුකූල හා නීති විරෝධී ක්‍රම ඔස්සේ එම රටවල ආණ්ඩුවලට මෙන්ම අන්තවාදී කල්ලිවලට අවි සැපයීම අධිරාජ්‍යවාදීන් විසින් සිදු කරන ලදී. අවසානයේ ඛනිජ තෙල් ඇතුළු බොහෝ සම්පත්වල අයිතිය අධිරාජ්‍යවාදී සමාගම් සතු විය.

සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් පසු ලෝක බලවතා බවට පත් වූ එක්සත් ජනපදයේ ක්‍රියාකාරිත්වයට අභියෝගයක් වීමට අද වන විට චීනය සමත් වී ඇත. රුසියාව ද යුද බලවතකු ලෙස පෙරට පැමිණ ඇති බව පෙනේ. මේ තත්ත්වය තුළ ඒක-ධ්‍රැවීය ලෝකය බහු ධ්‍රැවීය ලෝකයක් දක්වා පරිවර්තනය වී ඇති බව තේරුම් ගත හැක. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකාරීත්වය ද මීට සමානුපාතිකව වෙනස්කම්වලට භාජනය විම අනිවාර්යයකි. අනික් අතට රාජ්‍යවාදී රටවල් මැදිහත් වී නිර්මාණය කළ සමහර උමතු ආගමික අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ඔවුන්ට පාලනය කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වූ අවස්ථාද නැත්තේ නොවේ.

අන්තවාදීන් විසින් පසුගිය දා ලංකාවේ දී එල්ල කරන ලද ප්‍රහාරය ද මෙම ගෝලීය සන්දර්භය තුළ තබා තේරුම් ගත යුතුය. ඔවුන් තම ප්‍රහාරය සඳහා ලංකා භූමිය තෝරා ගැනීම අපට තේරුම් ගත හැකි ය. ඉස්ලාම් අන්තවාදීන් බිහි වීමටත්, වර්ධනය වීමටත් ලංකාවේ තිබූ දේශපාලන වාතාවරණය ඉවහල් වූ බව පෙනේ. අන්තවාදීන්ට රිසි සේ තම කටයුතු කර ගෙන යාමට මෙහි දී අවස්ථාව තිබූ බව පෙනේ.

පොදුවේ ගත් විට පැහැදිලි වන කාරණය වන්නේ ධනවාදය තුළ පවතින ප්‍රතිවිරෝධතාවන් හා පීඩනයන් ආගමික, ජාතිකත්ව හා වාර්ගික පීඩනයන් හා ප්‍රතිවිරෝධයන් ලෙසින් පරාවර්තනය වන බවයි. එසේම ඒවා වර්ධනය කිරීමට ධනවාදය විසින් ම පවත්වාගෙන යන මිථ්‍යා විශ්වාස හා ආගමික මිථ්‍යාවන් ද හේතු වන බව පෙනේ. මෙවැනි ආගමික අන්තවාදී කණ්ඩායම්වල ම්ලේච්ඡ ක්‍රියා හා ඝාතන තාවකාලිකව ධනපති ආණ්ඩුවලට බලපෑව ද දීර්ඝකාලීනව අධිරාජ්‍යවාදයටත්, ධනවාදයටත් මේවා සේවය කරයි. ධනවාදයේ දී මිනිසුන් තුළ මතු වන අසහනය හා ප්‍රතිවිරෝධතාව අන්තවාදයන් ඔස්සේ පුපුරා යාම ධනවාදයටත්, අධිරාජ්‍යවාදයටත් වාසිදායක ය. මේ මඟින් පන්ති සටන දුර්වල වන අතර, වමේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ.

ධනවාදයේ අර්බුදය හා ප්‍රතිවිරෝධය පවතින තුරු අධිරාජ්‍යවාදීන් මෙවැනි අන්තවාදී සංවිධාන නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නොනවත්වන බව පැහැදිලි ය. විද්‍යාව කොතරම් දියුණු වුව ද, එහි ජයග්‍රහණ පොදු ජනයා අතරට නොලැබීම හේතුවෙන් ද, ඇදහිලි, විශ්වාසයන් හා සාම්ප්‍රදායික ආගමික මතවලට ඇබ්බැහි වීමේ පුරුද්දේ බලය ප්‍රබල වීම විසින් ද, සමාජය තුළ බලයක් නැති පුද්ගලයන් හා කණ්ඩායම්වලට බලයක් ගොඩනඟා ගැනීම සඳහා දරන ප්‍රයත්නය විසින් ද, අධිරාජ්‍යවාදී බල වුවමනාවන් හා ආගමික අන්තවාදී වුවමනාවන් එකිනෙක ප්‍රතිපෝෂණය කරමින්, වර්ධනය වීමක් දක්නට ලැබේ. එහෙයින් ම්ලේච්ඡ අන්තවාදයට එරෙහි අරගලයත්, අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහි අරගලයත් එකක් ම වන බව මේ සියලු කරුණු අනුව පැහැදිලි වේ.