දේශපාලන විද්‍යාවේ මූල ධර්ම

ට්‍රම්ප්
ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වත්මන් භූමිකාව
May 29, 2019
2019-06-17 14_01_39-1.pdf - Adobe Acrobat Reader DC
විමර්ශන – 2019 ජූනි – ජූලි
June 17, 2019
Show all

දේශපාලන විද්‍යාවේ මූල ධර්ම

 

හැඳින්වීම

දේශපාලනය යනු පංති අතර සබඳතාවය, “රාජ්‍ය” කටයුතු සඳහා සහභාගී වීම, රජය මෙහෙයවීම, රාජ්‍ය ක්‍රියාවන්ගේ ස්වරූපයන්, කර්තව්‍යයන්, සහ හරය ආදිය පිළිබඳව අර්ථ දැක්වීම යැයි වී. අයි. ලෙනින් සඳහන් කළේය. දේශපාලනය කම්කරු පංතියේ, මුළු මහත් ජනතාවගේම කාර්යභාරය විය යුතු යැයි ඔහු අවධාරණය කළේය.
දේශපාලනය පිළිබඳ සංවිඥානාත්මක නිගමනවලට එළැඹීම සඳහාත්, සමාජයේ සිද්ධීන්වල පවතින සංකීර්ණ පැටලිලි සහගත ස්වභාවය නිරාකරණය කර ගැනීම සඳහාත්, නව ජීවිතයක් ගොඩ නගා ගැනීම සඳහාත් සමාජ සංවර්ධන නියාමයන් පිළිබඳවත් සහ ජගත් ඓතිහාසික ක්‍රියාදාමයේ ප්‍රධානතම ප්‍රවණතාවයන් පිළිබඳවත් දැනුම නිතරම පුළුල් කර ගත යුතුය. සමාජය සහ එහි සංවර්ධන නියාමයන් පිළිබඳ සංක්ෂිප්ත වශයෙන් විද්‍යාත්මක හැඳින්වීමක් කරන මෙම පොත සමාජ ජීවිතය තුළ මිනිසාගේ ක්‍රියාකාරීත්වය හේතු වන්නේ කුමණ කරුණු දැයි පෙන්නුම් කරයි.

දේශපාලනය පිළිබඳ න්‍යායාත්මක මූලධර්මයන් ගැන දැනුම ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ව්‍යහාරික දේශපාලනය, එහි ඉලක්ක හා ප්‍රතිඵල ප්‍රායෝගික ලෙස දැකීම ද අත්‍යාවශ්‍ය වේ.
දේශපාලනය වැනි සංකීර්ණ විෂයක් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කිරීම මෙම ග්‍රන්ථය මගින් පමණක් කළ හැකි නොවේ. එම නිසා මාක්ස් – ලෙනින්වාදී ශාස්ත්‍රීය කෘතීන් වඩාත් ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමටද, ඉතිහාසය, දර්ශනය, දේශපාලන අර්ථශාස්ත්‍රය පිළිබඳ ග්‍රන්ථ හැදෑරීමට ද, මෙම කෘතිය මගින් පාඨක ඔබව උනන්දු කරවනු ඇතැයි කෘතියෙහි කතෘවරු අපේක්ෂා කරති.

1978 දී රුසියාවේ ප්‍රගති ප්‍රකාශක මන්දිරය මගින් සිංහල අනුවාදයක් ලෙසින් නිකුත් කරන ලද මෙම කෘතිය,  ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පාඨක ඔබ වෙනුවෙන් අන්තර්ජාල සංස්කරණයක් ලෙසින් ඉදිරිපත් කරනු ලබන්නේ වමේ පුස්තකාලය – www.leftlibrary.net විසිනි.

01. මානව සමාජය සහ එහි වර්ධනය

1.01මූලික සංකල්පනා

මිනිසා සමාජයේ ජීවත් වෙයි. එයින් බැහැරව මිනිසෙක් වශයෙන් ඔහුට ජීවත් විය නොහැක. මිනිසා යනු කවුද? සමාජය යනු කුමක්ද? ඒ අතර පවතින සම්බන්ධතාවය කුමක්ද?

පැවැත්ම සඳහා මිනිසුන් ආහාර පාන ගත යුතුය. රෙදි පිළි පැළඳිය යුතුය. ඔහුට නිවහනක් යනාදිය තිබිය යුතුය. ආහාර පාන, රෙදි පිළි නිවාස යනාදිය ශ්‍රම උපකරණ ආධාරයෙන් මිනිසුන් විසින් නිපදවනු ලබයි. ශ්‍රම උපකරණ හා ජීවිතයට අවශ්‍ය සියළුම දේ නිපදවීම මිනිසාගේ පැවැත්මේ සදාකාලික ස්වභාවික හා අත්‍යවශ්‍ය පදනමයි.

නිෂ්පාදන ක්‍රියාදාමයේදී මිනිසා ශ්‍රම උපකරණ හා යන්ත්‍ර ක්‍රියාත්මක කරන අතර ඒවායේ ආධාරයෙන් ලෝහ, දැව , පස හා වෙනත් ශ්‍රම වස්තුවලින් නිෂ්පාදිත ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වේ. අවශ්‍ය ද්‍රව්‍ය නිපදවීමේ අරමුණ සහිතව ශ්‍රම උපකරණ ක්‍රියාත්මක කිරීම ශ්‍රමය හෙවත් මිනිස් පුද්ගලයාගේ ආර්ථවත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යි. එසේම නිර්මාණය කිරීමේ හැකියාව මිනිසාට පමණක් නොව සමහර සත්තුන්ට ද ඇති බව කිව හැකිය. කුරුල්ලෝ කූඩු තනති. බීවර් නැමැති සිවුපාවා කුඩා ගංගා හරහා ලී කොටවලින් බැමි තනයි. වානරයෝ නිශ්චිත වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ගල් සහ ලී කැබලි පාවිච්චි කරති. එය සැබෑවකි. නමුත් කිසිම සත්වයෙකුට ස්වකීය “නිෂ්පාදනය” වැඩි දියුණු කිරීමට හෝ සංවර්ධනය කිරීමට නොහැකිය. ශ්‍රම මාධ්‍යයන් හා ඒවා නිපදවීමේ ක්‍රමවල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන්නේ මානව ඉතිහාසයේ පමණි.

මිනිස් ශ්‍රමය සතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වෙනස් වන්නේ එහි විඥානීය අරමුණක් සහිත ස්වභාවයෙනි. වද බැඳීමේ දී මී මැස්සා දක්වන දක්ෂතාවයත් සමග සසඳා බලන විට සමහර ගෘහ නිර්මාණ ශිල්පියෝ ලැජ්ජාවට පත්විය යුතුය. එහෙත්, ඉතාමක් අදක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා පවා ඉතාමත් දක්ෂ මී මැස්සාගෙන් වෙනස් වන්නේ නිවාසය සෑදීමට පෙර ඔහු සිතින් නිවසේ සැලැස්ම සකස් කරන අතර මී මැස්සා සහජාසයෙන් නැතහොතත් ඉවෙන් ස්වකීය මී වද නිර්මාණය කරන බැවිනි යැයි කාල් මාක්ස් ලීවේය. මී මැස්සාට මී වද නිර්මාණය කිරීම ඉගැන්වීමට අවශ්‍ය නැත. එම දැනුම උගේ සහජාසයේ ගැබ් වූ දෙයකි. ඌට පෙර ජීවත් වූ සියළු මී මැස්සෝද ඒ විදිහේම මී වද බැන්ද හ.

මිනිසා තම අරමුණ නිශ්චය කර ගනී. එම අරමුණ ඉටු කර ගැනීමට සැලැස්මක් සකස් කර ගනී. ඒ අනුව ක්‍රියාකරයි. එවැනි ක්‍රියාවලියක ගති ලක්ෂණ ඇත්තේ මිනිසාට පමණි. ඈත අතීතයේ  ගල් යුගයේ දී ඔහු දඩයමස් කරද්දීත් අද සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර මෙහෙයවීමේදීත් එම ගති ලක්ෂණ ඔහු තුළ නිසඟ ලෙස පැවතුණි.

මේ අයුරින් මිනිසාගේ ශ්‍රමය ඔහුගේ විඥානය සමග සම්බන්ධ ය. අනික් අතින් මිනිසුන්ගේ විඥානය ඔවුන් තමන්ගේ සබඳකම් පැවැත්වීමට හා ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට උපකාරී කර ගන්නා කතාව සහ භාෂාව සමඟ සමීප සම්බන්ධතාවයක් ඇත. පැහැදිලි භාෂිතයකින් යුත් වාග් විලාශයක් ඇත්තේ මිනිසාට පමණක් වන අතර ජීවිතයට පා තබන සෑම නව පරම්පරාවක්ම බස වහර දැන ගත යුතුමය. එසේ නොවුවහොත් කිසිම කටයුත්තක් ඒකාබද්ධ ලෙස කරනු නොහැකි වේ. ගොදුර සහ අනතුර යනාදිය ගැන සංඥා නිකුත් කරමින් සතුන් ශබ්ධ නගන බව සඳහන් කළ හැක. කෙසේ වෙතත් එම ශබ්ධ දෙඩුමක් (කතා බහ කිරීමක්, සංවාදයක්) වශයෙන් හැඳින්විය නොහැක. කථාව මිනිසුන්ගේ ව්‍යාපිකාරක හා භාවික චින්තක හැකියාව හෙවත් විවිධ දේ හා සංස්කාර ධර්මතා ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට ඇති මිනිස් හැකියාව සමඟ සම්බන්ධ වූවකි.

මේ අයුරින් ශ්‍රමය, විඥානය හා කථාව යන ගුණාංග විසින් මිනිසා ගුණාත්මක ලෙස සතුන්ගෙන් වෙන් කෙරෙන අතර මිනිසාට පමණක් ආවේනික වූ සාමුහික ලෙස ක්‍රියාකාරීමේ හැකියාවත් පිහිටා තිබේ.

මිනිසුන් සාමුහිකව වැඩකරන හා ක්‍රියා කරන තාක් කල් දුරට ඔහුන් අතර නිශ්චිත සබඳතාවයන් හට ගනී. ඒවා සමාජ සම්බන්ධතාවයන් යනුවෙන් හැඳින්වේ. මිනිස්සුත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයත් එක් වූ කල සමාජය සෑදේ. සමාජය පවතින්නේත් වර්ධනය වන්නේත් මිනිස් ක්‍රියාවලි තුළ පමණක් වන හෙයින් මිනිසා පවතින්නේත් සමාජ සත්තාවක් නැතහොත් පුද්ගලයෙක් වශයෙන් පමණි. මිනිසා, ඔහුගේ ජීවන ක්‍රමය හා ඔහු සිතන අයුරු යන කරුණු තේරුම් ගැනීමට නම් සියල්ලටම පෙර ඔහු ජීවත් වන්නේ කුමන ක්‍රමයක සමාජයක ද, එම සමාජය කුමක් නියෝජනය කරයි දයන්න නිගමනය කළ යුතුය. එම නිසා සමාජය පිළිබඳ විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාවද වේ.

මිනිසා ජීවිතය අධ්‍යයනය කරයි, සොබාදහම හඳුනා ගනී. පරමාණුව ගැන ගවේශණය කළ විද්‍යාව නිමක් නැති අලුත් බල ශක්ති ප්‍රභවයන් සොයා ගනී; භූගෝල වස්තු අධ්‍යයනය කරයි.. තමන් ජීවත් වෙන ලෝකය තේරුම් ගැනීමටත්, විඥානීය ලෙස ලෙස සොබාදහම මිනිසාගේ ගහපත පිණිස හැඩ ගස්වා ගැනීමටත් මිනිසාට දැනුම අවශ්‍ය ය. එසේම මිනිසාට සමාජය පිළිබඳ අවබෝධයත් තමා පිළිබඳ අවබෝධයත් අවශ්‍යය. කෙසේ වෙතත් මිනිසාට සමාජ සංවර්ධනයේ නීති පිළිබඳව සත්‍ය අවබෝධයක් ලබා දෙන සමාජ විද්‍යාව බිහිවීමට පෙර, දීර්ඝ සහ සංකීර්ණ සංවර්ධන මාවතක් මිනිස් වර්ගයා විසින් පසු කරන ලදී.

එය සිදු වූයේ ක්‍රියාශීලි විප්ලවකාරී බලවේගයක් ලෙසින් නිර්ධන පංතිය මතු වී, ජීවිතය සමාජවාදී ලෙසට යළි ගොඩනැගීමේ අරගලය ඓතිහාසික සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් පසුවය. එම විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නිර්මාණකයන් වූයේ කාල් මාක්ස් (1818-1883), ප්‍රෙඩ්රික් එංගල්ස් (1820 – 1890) සහ ව්ලදිමීර් ඉල්යිච් ලෙනින් (1870 – 1924) ය.

සමාජ සංවර්ධනය පිළිබඳ මාක්ස්වාදී විද්‍යාව ඓතිහාසික භෞතිකවාදය යනුවෙන් හැඳින්වේ. එම විද්‍යාව ඉගෙන ගැනීම ඓතිහාසික ක්‍රියාදාමයේ හරය සහ එහි ගාමක බලවේග, ඉතිහාසයේ නොයෙක් යුගයන්හිදි පවත්නා සමාජ සැකැස්ම තේරුම් ගැනීමටත්, සමාජ සංවර්ධනයේ දී ජන සමූහයා හා පුද්ගලයා ඉටු කරන්නේ කුමන කර්ය කොටස් ද යන්න තේරුම් ගැනීමටත්, මානව සමාජවාදයට හිමි තැන හා එය තව දුරටත් සංවර්ධනය වීමේ හැකියාවන් තේරුම් ගැනීමටත් උපකාරී වේ. අවට ලෝකය තේරුම් ගැනීමට, මානව සංහතියේ වඩා හොඳ අනාගතය නැතහොත් කොමියුනිස්ට් අනාගතය ගැන තේරුම් ගැනීමට කැමති හැම දෙනාටම මෙම දැනුම අත්‍යවශ්‍ය ය.

1.02සමාජ ක්‍රම, නිෂ්පාදනය සහ එහි වර්ධනයේ නීති

නොයෙක් යුගයන්හිදි නොයෙක් රටවල මිනිසුන්ගේ ජීවන තත්ව සැලකිය යුතු ලෙස එකිනෙකාට වෙනස් වූහ. එපරිද්නේම අදත් වෙනස්කම් ඇත. ගෝත්‍රික සමාජයේ ගති ලක්ෂණ තවමත් රැඳී පවතින හා වැඩවසම් ක්‍රමයේ සම්බන්ධකම් පවතින රටවල් පවා අදත් ඇත. සමාජවාදී හා ධනවාදී රටවල, නැතහොත් විවිධ සමාජ සංවර්ධන අවධිවල පවතින රටවල ජනතාව ජීවත් වෙති.

1.03සමාජ ක්‍රමයක් පිළිබඳ සංකල්පය

සමාජ සංවර්ධනයේ එක් නිශ්චිත ඓතිහාසික අවධියක් සමාජ-ආර්ථික ක්‍රමයක් වශයෙන් හැඳෝන්විය හැකිය. මානව ඉතිහාසය අහම්බෙන් වූ සිදුවීම්වල පිළිවෙලක් නැති එකතුවක් නොවේ. එය පහළ සිට ඉහලටත් සරල සමාජ -ආර්ථික ක්‍රමවල පටන් ඉතාමත් දියුණු නවීනතම වර්ගයේ සමාජ ආර්ථික ක්‍රම දක්වාත් විහිදී යන නියමානුකූල ක්‍රියාවලියකි. පහත සඳහන් මානව සමාජ සංවර්ධනයේ මූලික අවධීන් හෙවත් සමාජ ක්‍රමයන් ප්‍රකටය. ප්‍රාථමික ගෝත්‍ර සමාජය, වහල්, වැඩවසම්, ධනපති හා පළමුවන අවධිය සමාජවාදය වූ කොමියුනිස්ට් ක්‍රමය. සෑම ජනතාවක්ම (රටක්) ස්වකීය පැවැත්මේ ඕනෑම අවස්ථාවකදී තම සමාජීය හා ආර්ථික වර්ධනයට අනුව යම් සමාජ ක්‍රමයකට අයත් වේ.

ඉතිහාසයේ, සංස්කෘතියේ, ජීවන රටාවේ විවිධත්වය අනුව ඇමරිකා එක්සත් ජනපදය, ජර්මන් ෆෙඩරල් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ධපනති රටවල් ගණයට වැටේ. ඒවායේ කර්මාන්ත ශාලා, ඉඩම්, මංමාවත්, කැලෑ, ඛණිජ සම්පත් හිමි වන්නේ ධනපති පංතියට ය. එම තත්වය විසින් ධනවාදී සමාජ ජීවිතයේ වෙනත් පැතිද තීරණය කෙරෙයි. ධනය රඳවා ගත් තැනට බලය අයත් වන හෙයින් දේශපාලනයත්, පාලක පංතිය විද්‍යාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය ස්වකීය තත්වය තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන හෙයින් බුද්ධියත් පිළිබඳව එසේම තීරණය වෙයි.

සමාජවාදී රටවල ස්වභාව නිරූපී අංගලක්ෂණය වන්නේ නිෂ්පාදන මාධ්‍යයන් පොදු අයිතියට යටත්ව තිබීමය. එයින් සහයෝගීතාවයේ සම්බන්ධකම් ජනිත කරන අතර මිනිසා විසින් විනිසා සූරා කැම අහෝසි කෙරේ.

ධනවාදය සමඟ සසඳන කළ සමාවදාය සමාජ සංවර්ධනයේ උසස් අවධියකි. එය බිහි වූයේ සමාජවාදී විප්ලවවලත්, ඉන්පසුව ඇති කරන ලද සමාජ -දේශපාලනමය හා සංස්කෘතික පරිවර්තනයන්ගේත් ප්‍රතිඵලයක් ලෙසිනි.

මානව සමාජයේ සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධ ය; ආර්ථිකය හා දේශපාලනනය, රජය හා නීතිය, තාක්ෂණික ශිල්පය හා විද්‍යාව යනාදිය එසේ සම්බන්ධ ය. එක් ක්ෂේත්‍රයක වෙන වෙනස්කම් නිසා තවත් ක්ෂේත්‍රයක වෙනස්කම් ඇති වේ. සමාජ ජීවිතයේ සියලුම අංශයන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වයේ පදනම වන්නේ අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් නිෂ්පාදනය කිරීමයි. මානව ඉතිහාසය යනු අනුයාත වශයෙන් සමාජ-ආර්ථික ක්‍රමයන් ඇතිවීම වන නිසා එම ක්‍රම සෑම එකකම ව්‍යූහ ගැන, නැතහොත්, නිශ්චිත කාල සීමාවකදි සමාජයක් තුළ ක්‍රියාත්මක වන සියළුම බලවේගයන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය ගැන, විශාල අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් ය.

1.04සමාජ ආර්ථික ක්‍රමවල ව්‍යූහය

ඕනෑම මිනිස් සමාජයක පැවැත්ම රඳා පවතින්නේ ද්‍රව්‍යමය සම්පත් නිෂ්පාදනය කිරීම මතය. නිෂ්පාදනය යනු ඉතාමත් පුළුල් සංකල්පයකි. සාමාන්‍යයෙන් මිනිස්සු නිශ්චිත ආකාරයක නිෂ්පාදනයේ යෙදෙති. නිදර්ශන වශයෙන් බෝග වගා කිරීම, සතුන් ඇති කිරීම කෘෂිකාර්මික නිෂ්පාදනයේ අංශ වේ. ගල් අඟුරු, තෙල් හා යපස් කැණීම ආකාර කර්මාන්තයේ අංශයන් ය. යන්ත්‍ර හා වෙනත් ශ්‍රම මාධ්‍ය තැනීම බැර කර්මාන්තයෙන් සිදුවන අතර රෙදි, සපත්තු හා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සුළු හා ආහාර නිෂ්පාදන කර්මාන්තයෙන් සිදු වේ. ඒ සියළුම කර්මාන්ත අතර කිට්ටු අන්තර් සම්බන්ධතාවයක් පවතී. කර්මාන්ත කෘෂිකර්මයට අවශ්‍ය යන්ත්‍ර සපයන අතර කෘෂිකර්මය කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයයි. ගමනාගමනය හා පණිවිඩ හුවමාරුව පර්යේෂණ හා සැලසුම් කරන ආයතනයන් නොමැතිව නූතන නිෂ්පාදනය ගැන කල්පනා කිරීමටවත් පුලුවන්කමක් නැත.

සියළුම නිෂ්පාදනයන්ගේ මූලික අංගය වන්නේ ශ්‍රම මාධ්‍යයයි. යන්ත්‍ර හා යාන්ත්‍රික උපකරණ, ඉන්ධන හා වෙනත් බල මාධ්‍ය, ගබඩා හා කර්මාන්ත ශාලා මිනිසා තමාට අවශ්‍ය භාණ්ඩය නිපදවීම සඳහා සහ සොබා දහම කෙරෙහි බලපෑම උපයෝගී කර ගන්නා සියළුම දේත් ශ්‍රම මාධ්‍ය ගණයට අයත් වේ.

එමෙන්ම අවශ්‍ය දැනුම අත්දැකීම, හැකියාව හා නිපුණත්වය ඇති මිනිසුන්ගෙන් තොරව නිෂ්පාදනය කළ නොහැක. ශ්‍රම මාධ්‍ය හා ඒවා උපයෝගී කර ගන්නා මිනිසුන්ගෙන් සමාජයේ නිෂ්පාදන බලවේග සමන්විත වේ. ආහාර පාන, රෙදිපිළි, නිවාස, ශ්‍රම මාධ්‍ය හා ජීවිතයට අවශ්‍ය අන් සියළු දෑ නිපදවනවාට අමතරව මිනිස්සු නිෂ්පාදනය සම්බන්ධතාවයන්ද ඇති කර ගනිති. මෙම සම්බන්ධකම් නොමැතිව මිනිස්සුන්ට එක්ව ජීවත් විය නොහැකි වනු ඇත. නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා එකතුව ගත්විට නිෂ්පාදනය නිරූපනය වේ.

සෑම සමාජ ආර්ථික ක්‍රමයකම ඊටම අදාළ නිෂ්පාදන මාර්ගයක් ඇත. රදළ නිෂ්පාදන මාර්ගය රදළ සමාජ ක්‍රමයේ පදනම ය. ධනවාදී නිෂ්පාදන මාර්ගය ධනවාදී සමාජ ක්‍රමයේ පදනම ය.

1.05නිෂ්පාදන ක්‍රමය ජීවිතයේ හා සමාජ සංවර්ධනයේ පදනම වන්නේ ඇයි?

ශ්‍රම ඵලදායකත්වයත්, ඒ අනුව යන සමාජයේ ධන සම්පතත් රඳා පවත්නේ ශ්‍රම මාධ්‍යයන්ගේ සංවර්ධන මට්ටම හා ඒවා දක්ෂ ලෙස උපයෝගී කර ගැනීමට මිනිසුන් සාර්ථක ලෙස ඉගෙන ගැනීම මතය. මානව ඉතිහාසයේ ආරම්භයේදී ශ්‍රම උපකරණ ඉතාමත් නොදියුණු ඒවා විය. ගල් පොරොව, හෙල්ල, දුන්න සහ ඊතලය හා ලී උදැල්ල ආදිකාලීන මිනිසාගේ ආයුධ විය. ඒවායේ ආධාරයෙන් දඩයම් කිරීමට, මාළු ඇල්ලීමට, පලවැල නෙලීමට ගොවිතැනේ යෙදීමට ඔහුට සිදුවිය. ස්වභාවික වශයෙන්ම, එවැනි නිෂ්පාදන පදනමකින් සමෘදිමත් හා ධනවත් සමාජයක් හට ගැනීමට අවශ්‍ය තත්වයන් ගොඩ නැගුනේ නැත.

වඩා දියුණු ශ්‍රම උපකරණ බිහිවීම සමාජ සංවර්ධනයට උත්තේජනයක් විය. ශතවර්ෂ ගණනක් තිස්සේ මිනිසුන් පාවිච්චි කළ හස්ත කාර්මික උපකරණවල සිට යාන්ත්‍රික නිෂ්පාදනය දක්වා පරිවර්තනය වීම නිෂ්පාදන බලවේගයන්ගේ ඉතා වැදගත් දියුණුවක් විය. පළමුවරට දහ අටවන ශතවර්ශයේ පසු භාගයේ දී එංගලන්තයේ යාන්ත්‍රික නිෂ්පාදනය ඇති විය. නිෂ්පාදනයෙහි ඇති වූ දියුණුව කොතරම් විශාලද කිවහොත් එයට කාර්මික විප්ලවය යන නම ලැබිණි. යාන්ත්‍රික නිෂ්පාදනය සීග්‍රයෙන් හා පුළුල් ලෙස පැතිරුණු අතර ධනපති සම්බන්ධතාවයන් ඇතිවීමට හා තහවුරුවීමට එය බලවත් රුකුලක් විය.

මේ අයුරින් සෑම සමාජ ක්‍රමයක්ම නිෂ්පාදන බලවේගයේ වර්ධනයේ යම් නිශ්චිත මට්ටමක් මත රඳා පවතී.

සමාජ ක්‍රම එකකින් අනෙක වෙනස් ය. ප්‍රථමයෙන් ඒවායේ නිෂ්පාදන සම්බන්ධතාවයන් වෙනස් වේ. නිෂ්පාදන සම්බන්ධතාවයන් නිශ්චය වන්නේ මූලික නිෂ්පාදන මාධ්‍යයන් වන ශ්‍රම වස්තු හා ශ්‍රම මාධ්‍යන් පිළිබඳ පවත්නා හිමිකම් ක්‍රමය අනුව ය. උදාහරණයක් වශයෙන් පැරණි රෝමයේ ධනවත් ඉඩම් හිමියෝ මහා විශාලත්වයකින් යුතු ඉඩම් ද ඉඩම් සකස් කිරීමට යොදා ගන්නා උපකරණ හා එම ඉඩම්වල වැඩ කරන වහලුන් ද හිමි කර ගෙන සිටියහ. මෙම හිමිකම් ක්‍රමය නිසා නිෂ්පාදනයේ යෙදී සිටි මිනිසුන් අතර සම්බන්ධතාවය වහලා හා වහල් හිමියා අතර සම්බන්ධතාවය වශයෙන් නිගමනය විය. වහලුන් හිමිකර ගැනීමේ හිමිකම් ක්‍රමය වහල් හිමි සමාජ ක්‍රමයක් ජනිත කළේය.

ධනවාදය යටතේ දේපළ හිමිකම් වෙනස් ස්වභාවයක් ගනී. ධනපතියා නිෂ්පාදන මාධ්‍යය පමණක් හිමිකර ගෙන ඇත. කම්කරුවා නාමික වශයන් පමණක් නිදහස් ය. වහලා මෙන් ඔහුව මිල දී ගැනීමටත් විකිණීමටත් නොහැකිය. නමුත් ජීවත්වීම සඳහා කම්කරුවා ස්වකීය ශ්‍රම ශක්තිය විකිණීමට පෙළඹේ. ධනපතියාගේ කර්මාන්ත ශාලාවේ කුලියට බැඳෙයි. කම්කරුවාට වේතනය පමණක් ලැබෙන අතර ධනපතියා ලාභය ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ ධනය ප්‍රධාන වශයෙන් ධනපතියා අතට රැස් වේ. නිෂ්පාදන සම්බන්ධතාවය සමාජයේ ආර්ථික පදනම වශයෙන් හැඳින්වේ. වෙනත් වචනවලින් කිවහොත් පදනම යනු සමාජ  සමාජයක වර්ධනයේ නිශ්චිත අවධියක දී එහි පවත්නා ආර්ථික ක්‍රමයයි. පදනම මත ඊට ගැලපෙන උඩුව්‍යූහයක් සෑදේ. උඩුව්‍යූහය යන සංකල්පයට මිනිස් සම්බන්ධතාවයන් පිළිබඳ පුළුල් ක්ෂේත්‍රයක් අයත් වේ. එය වනාහී බලය ලබා ගැනීම සඳහා විවිධ පංති අනුගමනය කරන වැඩ පිළිවෙල හා සමඟ එකමුතු වූ එම පංතීන්ගේ දේශපාලන සම්බන්ධතාවයන් ය. එය යුධ හමුදා, උසාවි හා හිර ගෙවල් යන ස්වරූප ගන්නා සියළුම බලධිකාරී ආයුධ සහිත රජයකි. එය නොයෙක් විදිහෙන්, දේශපාලනයෙන්, නීතියෙන්, රසාස්වාදයෙන්, ආගම්වලින් හා දර්ශනවාදයෙන් පිළිබිඹු කෙරෙන නොයෙක් පංතීන්ගේ හා සමාජ කණ්ඩායම්වල දෘෂ්ඨියයි. මේ සියළු නේකාකාර සංස්කාර ධර්මතාවයන්ගේ එකමුතුවට හේතු වූයේ කුමක්ද?

අඩුම ගණනේ ඒවාට පොදු වූ ලක්ෂණ දෙකක් වත් ඇත. පළමුව ඒ සියල්ලම බිහි වූයේ සමාජ ආර්ථික පදනමිනි. දෙවනුව ඒවා බිහිවීමට පදනම් වූ ආර්ථික ක්‍රමය කල් පවත්වා ගැනීම, ශක්තිමත් කිරීම හා වර්ධනය කිරීම සඳහා ඒවා උපකාරී වෙයි. නැතිනම් ඒවා සූරාකන පංතීන්ගේ දෘෂ්ඨිය හා වැඩපිළිවෙල බවට පත් වූ කල එය පෙරලා දැමීමට උපකාරී වෙයි.

උදාහරණයක් වශයෙන් දේශපාලනයේ හා ආර්ථිකයේ සබඳතාවය ගනිමු. ප්‍රධාන වශයෙන් සෑම පංතියකම දේශපාලනය නිශ්චය වන්නේ එහි ආර්ථික උවමණාවන් අනුව ය. ධනපතියාගේ ප්‍රධානතම උවමනාව කුමක් ද?
ඔහු දේපළ හා ධනය හිමි කර ගෙන සිටින බැවින් ඔහුට ධනය ලැබුණු ක්‍රමය ආරක්ෂා කිරීමටත් ස්වකීය ප්‍රාග්ධනය කිහිප වාරයකින් විශාල කිරීමට උපකාරී වන එම සම්බන්ධතාවයන් දැඩි කිරීමටත් ඔහු උනන්දු වේ. එම ආර්ථික උවමනාව අනුව පළමුවෙන්ම ධනපති පංතියේ හා ධනපති රජයන්ගේ ප්‍රතිපත්ති තීරණය වේ. ධනවාදයේ පදනම රැකීමේ හා තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය, විප්ලවීය හා ජාතික විමුක්ති ව්‍යාපාරයට විරුද්ධව සටන් කිරීමේ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් විරෝධි ප්‍රතිපත්තිය නිගමනය කෙරෙන්නේ එම ආර්ථික උවමනාව අනුවය. ආර්ථිකය හා දේශපාලනය අතර සම්බන්ධතාවය සංක්ෂේප ලෙස හා පැහැදිලිව මාක්ස්වාදී විද්‍යාවේ මෙහි සඳහන් කරනු ලබන මතයෙන් ප්‍රකාශ වේ.

“දේශපාලනය යනු සංකේන්ද්‍රගත හා පරිපූර්ණ පිළිබිඹුවකි.”

ඇත්තෙන්ම ආර්ථිකය හා සැසඳීමේදි දේශපාලනය සාපේක්ෂක ස්වාධීනත්වයක් දරයි. එය ආර්ථිය කෙරෙහි මහත් ලෙස බලපායි. අපට රජයක දේශපාලනය විස්තර කිරීමට අවශ්‍ය නම් එම රටේ පාලක පංතියේ ආර්ථික වුවමනාවන් පමණක් සැලකීම ප්‍රමාණවත් නොවේ. එම රට වෙනත් රාජ්‍යයන් අතර දරන තත්වයද එහි ඓතිහාසික හා ජාතික සම්ප්‍රදායන් ද, රට අභ්‍යන්තරයේ සමාජ බලවේගයන්ගේ බලතුලනය ද, වෙනත් අවස්ථා රාශියක් ද සැලකිල්ලට ගත යුතු වේ. එසේ වුවද රජයේ දේශපාලනය මූලික වශයෙන් රඳා පවතින්නේ එහි ආර්ථික තත්වය හා එහි පාලක පංතිවල ආර්ථික වුවමනාවන් මතය.

උඩුව්‍යූහයේ අනෙකුත් සංස්කාර ධර්මතාවයන් දේශපාලනයට වඩා ආර්ථිකයෙන් දුරස්ව පවතී. ඒවා ආර්ථිකයත් සමඟ කෙලින්ම සම්බන්ධ නැත. නමුත් අවසාන නිගමනයේ දී උඩු ව්‍යූහය සහ එහි සියළුම අංගයන් ආර්ථික පදනමින් බිහි වූ ඒවා හෝ කෙලින් හෝ වක්‍ර ලෙස එමගින් නිගමනය වූ ඒවා හෝ වෙති. නානාවිඩ රාජ්‍යයන්ගේ, නංගිවල හා ප්‍රකාශනවල හරයත් එම සමාජයේ බලවත්ව පවතින අදහස්වල ස්වභාවයත් පරික්ෂා කර බැලීමට අවශ්‍ය වේ නම් එම කරුණ සිහි තබා ගැනීම ඉතා වැදගත් ය.

දේශපාලනය ආර්ථිකයේ සංකේන්ද්‍රගත පිළිබිඹුවක් වන අතර ඊට අනුරූප සමාජ ක්‍රමයක් ආරක්ෂා කරමින් එම ආර්ථිකයට සේවය කරයි. ඕනෑම රජයක් පවතින ක්‍රමය ආරක්ෂා කිරීමට හා ඊට අනුබල දීමට උදව් වන බලකාරී හා  පාලනය කිරීමේ සංස්ථාවන්ගෙන් සමන්විත ය. එයින් අදහස් කෙරෙන්නේ ආර්ථිකයෙන් බිහි වූ උඩුව්‍යූහයේ අංගෝපාංග උදාසීනව නොසිටින බවය; බලවත් ලෙස පදනම කෙරෙහි බලපාන බවය.

උඩුව්‍යූහයේ සියළුම කොටස් ඒවායේ පොදු ප්‍රභවයත්, සමාජමය කර්යයත් මගින් සම්බන්ධව පවතී. පදනම හා උඩුව්‍යූහය විසින් සෑම සමාජ ක්‍රමයකම ස්වභාවය නිරූපනය කරනු ලබයි. පදනම සමාජ ක්‍රමයේ අඩිතාලම පිළිබිඹු කරයි. උඩුව්‍යූහය එහි දේශපාලනය හා දෘෂ්ටිමය ආකාරයන් ප්‍රකාශ කරයි. ඒ අනුව රදළ ක්‍රමයේ දී අධිපති තත්වය දරුවේ වංශාධිපතියන්, ඉඩම් හිමියන් හා රදළයන් ය. රීතියක් ලෙසම රදළ රාජ්‍ය රාජ ආණ්ඩුවලින් සමන්විත විය. සමාජය ජන කොට්ඨාසවලට බෙදී තිබුණි. ඒ අනුව සෑම ජන කොට්ඨාසයකම හිමිකම් දැඩි ලෙස නියම කර තිබුණි. පහත් තත්වයේ කොට්ඨාසයක සිට උසස් කොට්ඨාසයකට සංක්‍රමණය කොහෙත්ම කළ හැකි දෙයක් නොවීය. ධනපති රජය නීතිය ඉදිරියේ රටවැසියන්ගේ නාමික සමානත්වයක් ප්‍රකාශයට පත් කළේයඑහි ජනයා කොට්ඨාසවලට බෙදීමක් නොවීය. එහි මිනිසුන් එකිනෙකා අතර වෙනස්කම් ඇති කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්වය අනුවය. එනම් ධනවත්කම අනුවය. “ධනපතියා ඔහුගේ බලය සාක්කුවේ දමා ගෙන යන්නේය” යි මාක්ස් පැවසීය. මේ බලය මුදල් ය. ධනපති සමාජයේ මේ ප්‍රධාන මූර්තිය හමුවේ ජනයා අතර අන් සියළු වෙනස්කම් පසුතලයට තල්ලු වන්නේ ය.

එසේම සෑම සමාජයක්ම, එනම් සෑම සමාජ ක්‍රමයක්ම වෙනත් ක්‍රමවලින් ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද වෙනස් වේ.

සමාජවාදී සමාජය බිහිවීම නිසා ගුණාත්මක වශයෙන් නව රජයක් ඇතිවිය. එය නිර්ධන පංති අඥාදායකත්වයයි. එය ක්‍රමයෙන් සමස්ත ජනතාවගේම සමාජවාදී රජයක් වන සේ සංවර්ධනය වේ.

සෑම සමාජ ක්‍රමයක් තුළ, එහි පාලක පංතියේ අවශ්‍යතාවයන් රජකරයි. උදාහරණයක් ලෙස 6 සිට 16 දක්වා වූ ශතවර්ෂයන් ඇතුලත් මැද භාගයේ දී ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ තවත් සමහර රටවල කතෝලික පල්ලිය ප්‍රබලතම සමාජ බලවේගයක් වූ නිසා ඒවා කතෝලික ආගමික දෘෂ්ටිය රජ කළේය. පල්ලිය විද්‍යාව, කලාව, හා සදාචාරය යන සියල්ල යටපත් කර ගත්තේ ය. එම වකවානුවේ දී පල්ලිය මහා දේශපාලන බලවේගයකි. ඒ නිසා රදළවාදයට විරුද්ධ ධනපති පංතිය ගත් ප්‍රථම පියවරයන්  නොයෙක්විට ආගමික ව්‍යාපාරයක හැඩයක් ගැනීම ස්වභාවික දෙයක් විය. කල් යත්ම රදළවාදයට විරුද්ධ සටනට විද්‍යාවත් සහභාගී විය. රජයමින් තිබූ ආගමික දෘෂ්ටියට විරුද්ධව ක්‍රමානුකූල සටනක් ගෙන ගිය 17 වෙනි – 18 වෙනි ශතවර්ශවල භෞතිකවාදී දර්ශනවාදීහු නුදුරේ එන ධනපති විප්ලවයේ තාලයට ගැලපෙන සේ ජනතාවගේ මනෝභාවය සකස් කළහ.

ධනවාදී සමාජය තුළ ආගම තවමත් සැලකිය යුතු බලයක් පෙන්වන නමුත්, එහි නායක තත්වය එයට අහිමි වී ඇත. පල්ලියේ විය ගසින් මිදුණු ස්වභාවික විද්‍යාවන් විශාල දියුණුවකට පත් වූහ. ඒ අනුව දේශපාලනමය හා නීතිමය ධනපති සමාජයේ වැදගත් කාර්යය කොටසක් ඉටු කරයි.

එක් සමාජ ක්‍රමයක සිට කවකෙකට පරිවර්තනය වීමේ දී පදනමේ මෙන්ම උඩුව්‍යුහයේද වැදගත් වෙනස්කම් සිදු වේ. එම වෙනස්වීම් නව සමාජයක බිහිවීම පිළිබිඹු කරයි.

අප දන්නා පරිදි ඕනෑම සමාජ ක්‍රමයක පදනමත් ඒ සමඟම මිනිස් සමාජයේ සංවර්ධනයෙහිදි වන සියලුම වැදගත් විපර්යාසයන්ගේ හරයත් ද්‍රව්‍යමය වස්තුව නිෂ්පාදනය කිරීමය ය.

1.06සමාජය හා ස්වභාව ධර්මය

ශ්‍රම ක්‍රියාදාමයේ දී මිනිසාත් ස්වභාව ධර්මයත් අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්නේ ය. ස්වභාවය යනු පොදු ශ්‍රම වස්තුවකි. ශ්‍රම ක්‍රියාදාමය යනු ස්වභාවය වෙනස් කිරීම ය; ස්වභාවික ද්‍රව්‍ය මිනිසාගේ අවශ්‍යතාවයේ යම් කොටසක් බවට පරිවර්තනය කිරීම වේ. එම නිසා ඇත්ත වශයෙන් ස්වභාවික තත්වයන් ශ්‍රම ක්‍රියාදාමයට බලපායි. සමහර විට ඒවා සතුටුදායක හෝ අසතුටුදායක විය හැකිය. එහෙත් මිනිසාට ස්වභාවික තත්වයන්ගේ අහිතදායක බලපෑම මැඬලිය හැක. උදාහරණයක් වශයෙන් ඈත. උතුරු ධ්‍රැවාසන්නව පවතින කටුක තත්වයන්, දීර්ඝ ශීතල සිසිර කාලය, දීර්ඝ ධ්‍රැවකාලීන රාත්‍රිය, සදාකාලික දිය මිදීම මිනිසුන් ගොවිතැන් කිරීමෙන් වළක්වයි. කර්මාන්තය වෙළඳාම හා පණිවිඩ හුවමාරු මාධ්‍ය ඉදිකිරීමට බාධා කරන දුෂ්කරතාවයන් ඇති කරයි.

මානව සමාජ වර්ධනයේ දී මූලික අවධියන්හිදී, එනම් ශ්‍රම මාධ්‍යයන් ඉතා පැරණි තත්වයේ පැවති විට ස්වභාව ධර්මය හා එහි බලවේගයන් කෙරෙහි ඉමහත් විශ්වාසයක් තබා කටයුතු කිරීමට මිනිසාට සිදුවිය. මිනිසාගේ ජීවනෝපායේ ප්‍රධානතම උල්පත් දඩයම් කිරීම, මාළු ඇල්ලීම, හා පලා නෙලීම වූ බැවින් ඔහුගේ භූමිශස්ත්‍රීය පරිසරයෙන් මාළු දඩයම හා කෑමට සුදුසු පලා වර්ග ලබා ගැනීම කෙරෙහි විශ්වාසය තැබීමට ඔහුට සිදුවිය. තවදුරටත් ඉදිරියේ දී මිනිසුන් ගොවිතැන්හි යෙදෙන්නට පටන් ගත් කළ ඔවුන්ගේ යහසාධනය බොහෝ දුරට රැඳී පැවතුනේ දේශගුණය හා පසෙහි සාරවත්බව මතය. පුළුල් ලෙස ලෝහ, ඛණිජමය අමුද්‍රව්‍ය, ගල් අඟුරු, තෙල්, ගංගාවන්ගේ ශක්තිය යනාදිය උපයෝගී කර ගන්නා බැර කර්මාන්ත දියුණුවීමත් සමඟ එම ස්වභාවික ධන නිධානයන් ඇති භූමි ප්‍රදේශවලට ඉතාමත් වැදගත් තැනක් හිමි විය. දැන් මිනිසුන් පොළොවේ ස්වභාවික ධන නිධාන ඉතා විශාල වශයෙන් හා වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනී. එම නිසා ඒවා අර පරිස්සමින් හා නිවැරදිව උපයෝගී කර ගැනීමේ ප්‍රශ්නය මානව සමාජයේ ඉදිරි දියුණුව සඳහා අතිශයින් වැදගත්, විසඳිය යුතු එකකි.

ඒ අයුරින් ස්වභාවික තත්වයෙන් නිෂ්පාදනයේ දියුණුවට, හිතවත් හෝ අහිතවත් බලපෑම් ඇතිවිය හැකි අතර සමාජයේ දියුණුවට උපකාරී හෝ බාධාකාරී විය හැකිය. එසේම ස්වභාවික බලවේගයන්ගේ බලපෑමෙහි ස්වභාවය හා ශක්තිය ජනතාවගේ සමාජ දියුණුවේ මට්ටම අනුව රඳා පවතී.

සමාජය ස්වභාවික තත්වයන් ගැන ව්‍යවහාරික දැනුමක් ලැබීමෙන් නොනැවතී ඒවා වෙනස් කරයි. සමාජයේ නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුවත් සමඟම මිනිස්සු ඔවුන්ගේ අවට ලෝකය කෙරෙහි විශාල බලපෑම් කිරීමට අවශ්‍ය වඩ වඩාත් බලවත් මාධ්‍යයන් අත්කර ගත්හ. පූර්වාරම්භ කාලයේ පැවති ආකාරයෙන් තවමත් ස්වභාවික ප්‍රදේශයක් තවමත් පවතින්නේ සමහර විට ද්‍රැව ප්‍රදේශවල මිනිසා පා නොතැබූ ටයිගා වනාන්තරවල හා සාගර පතුලේ පමණක් විය හැකිය. එයට හේතුව පැහැදිලිය. විශාල නගර, කර්මාන්ත සංකීර්ණ අතු විහිදී ගිය දුම්රිය මාර්ග හා මහාමාර්ග, කෙළවරක් නැති ඇල මාර්ග හා කෘතිම ජල තටාක, කෙත් සහ වතුවලින් වැසුණු බිමෙන් තොරව දියුණු නවීන රාජ්‍යයකට පවතිනු නොහැකි වීමයි.

එහෙත් සොබා දහම සහ මිනිසා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතායට බහු පාක්ෂික සංකීර්ණ ගැටළුවකි. සමාජය විසින් ස්වභාවික සම්බත් උපයෝගී කර ගනීම සොබා දහම කෙරෙහිම බලපාන්නේ කෙසේද යන්න සමාජය කල් තබා අවබෝධ කර ගත යුතුය.මිනිසාට යහපත් ලෙස වටපිටාව වෙනස් කිරීමෙන් සමහර විට විනාශකාරී ප්‍රතිඵලයන් ඇති වේ. එබැවින් මිනිසා ස්වභාව ධර්මය විෂයෙහි ඇති කර ගන්නා අන්තර් ක්‍රියාකාරීත්වය පාලනය නොකළහොත්, එයින් ඇතිවන හානිදායක ප්‍රතිඵල මිනිසා ස්වභාව ධර්මය වෙනස් කිරීමට යොදා ගන්නා මාධ්‍යයන් බලවත් වූ තරමටම භයානක විය හැකිය.

එය පෙර නොවූ විරූ තරමින් නූතන යුගයේ තියුණු වූ ගැටළුවකි. කර්මාන්ත නිසා ස්වභාව ධර්මයට යම් හානියක් වේ නම් යම් කාලයකින් පසුව එය සොබා දහමේ බලවේගයන්ගෙන්ම ඉබේම සුව වේ යැයි මීට පෙර සලකන ලදී. එවැනි අදහසක් වැරදි බව පමණක් නොව අනතුරුදායක බවද ඔප්පු වී ඇත. ස්වභාව ධර්මය හානිකර ලෙසින් වෙනස් කළ පසු එය නැවත නිවැරදි කළ නොහැකි වන්නට පුළුවන. කර්මාන්තශාලාවලින් ඉවත ලන ද්‍රව්‍යයන්ගෙන් වායුගෝලය හා ගංගා දූෂණය වීම, කැලෑ විනාශ කිරීම, ඉවතලන අපද්‍රව්‍යවලින් විශාල ප්‍රදේශ්‍යක් අපවිත්‍රවීම, ආදිය කොතරම් බහුල ලෙස කෙරෙන්නේ ද යත්, සමාජය විසින් ඵලදායී ලෙස හා ක්‍රමානුකූල ලෙස සැලසුම් කළ ක්‍රමයකින් තොරව ස්වභාව ධර්මයට සිදුවන විපත ප්‍රයෝගිකව වලකා ලිය නොහැකි තත්වයට වර්තමානයේදී  පත්වී තිබේ.

ධනවාදය යටතේ පෞද්ගලික අයිතිය, මිනිසාගේ වටපිටාව ආරක්ෂා කිරීම හා හොඳ තත්වයකට ගෙන ඒම සංවිධානය කිරීම වළක්වන අතර, ඒකාධිකාරයන්ගේ ලාභය සඳහා ලුහුබැඳීමක් ස්වභාවික වටිනාකම් කොල්ලකාරී ලෙස  ප්‍රයෝජනයට ගැනීමත් යොදා ගනී.

මිනිසා හා සොබාදහම අතර සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්නය ජාත්‍යන්තර මුහුණුවරක් ගනී. එය විසඳීම සඳහා සතුටුදායක තත්වයන් පවතින්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව සැලසුම් ක්‍රමයකින් යුත් සමාජවාදී රටවලය. මෙසේ ඇති වූ ක්ෂණිකව විසඳීය නොහැක්කේ විශාල වියදම් අවශ්‍ය බැවිනි.

1.07නිෂ්පාදන සම්බන්ධතාවයන්ගෙන් හා නිෂ්පාදන බලවේගයන්ගේ එකඟතාවයේ නියාමය

නිෂ්පාදන බලවේග සමාජයේ දියුණුව නිශ්චය කරයි. සමාජය සොබාදහමට දක්වන සබඳතාවය ද ඒවා මත රඳා පවතී. නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුවේ මට්ටම කුමනාකාරද, එවැනිම මට්ටමේ මිනිසා සොබාදහමට බලපෑමක් ඇති කරයි.

මිනිසාගේ පළමු ශ්‍රම උපකරණ ලී, ගල් හෝ  සත්ව අෂ්ඨිලින් සෑදූ ඒවා විය. ඉන්පසු මිනිස්සු ලෝහ උණු කිරීමට උගත්හ. යකඩ ශ්‍රම උපකරණවල පහලවීම, නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයෙහි වැදගත් ජයග්‍රහනයක් විය. අද මිනිසා සොබාදහම පවතින අවශ්‍ය ගති ලත්ෂණයන්ගෙන් යුත් කෘතිම ද්‍රව්‍යද නිපදවයි.

නැතිනම් වෙනත් උදාහරණයක්, පළමුව මිනිසා ශ්‍රම උපකරණයන් ක්‍රියාත්මක කළේ ස්වකීය මාංශ පේෂීන්ගේ ශක්තියෙන් පමණි. ඉන්පසු සත්වයන්ගේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තේය. ක්‍රම ක්‍රමයෙන් මානව සමාජය අලුත් විදිහේ ශක්තියක් – ජල හා වායු බලය, වාෂ්ප හා විදුලි බලය අත්පත් කර ගත්තේය. දැන් වෙනස් විදිහේ බලයන් සමඟ පරමාණු බලය ද පාවිච්චි කරයි.

නිෂ්පාදන ක්‍රියා මිනිස්සුන්ගේ ක්‍රියාවන්ගේ මූලික විධියයි. නිෂ්පාදන ක්‍රියාදාමයේදී මිනිසුන් අතර සම්බන්ධතාවය මිනිසුන්ගේ අභිප්‍රාය මත රඳා නොපවතී. නිෂ්පාදන බලවේගයන්ගේ ගති ලක්ෂණ අනුව වර්ධනය වෙති. නිෂ්පාදන සම්බන්ධතාවයන් නිෂ්පාදන බලවේග සමඟ එකඟත්වයට පැමිණීමේ අත්‍යාවශ්‍යතාවයද නිෂ්පාදනයේ හරයෙන්ම පැන නගී. උදාහරණයක් වශයෙන් ගල් යුගයේ දී ධනවාදය ගොඩ නැගීමට හෝ යන්ත්‍ර නිෂ්පාදනයේ පදනම මත ගෝත්‍ර සම්බන්ධතාවය පැවැත්වීමට කළ නොහැක. එය කුඩා ළමයෙකුගේ ඇඳුමක් වැඩිහිටියෙකු හට බලෙන් ඇන්ඳවීමට බැරිවාක් මෙනි. නිෂ්පාදන බලවේග නිෂ්පාදන සම්බන්ධතාවයන්ට එකඟ නම් පළමුවැන්න කිසිම බාධාවකින් තොරව දියුණු වන අතර, සමාජය ස්වකීය පිබිදීමේ යුගයේ පවතී. නමුත් එම එකඟත්වය සදාකාලික නොවේ. නිෂ්පාදන බලවේග කිසිදා එක තැන නොපවතී. මක්නිසාද යත්, මිනිසා නිරතුරුව නිෂ්පාදන උපකරණ වැඩි දියුණු කරයි. නිෂ්පාදන බලවේගයන්ගේ දියුණු වීම සමහර විට ඉතාම සෙමින් විය හැකිය. කොතරම් සෙමින් ද කිවහොත් ආදි කාලීන සමාජයේ වූවාක් මෙන් සැලකිය යුතු වෙනසක් සඳහා අවුරුදු දහස් ගණනක් අවශ්‍ය ය. එය සැලකිය යුතු ලෙස වේගවත් විය හැක. ඉතාමත් වේගවත් විය හැක. නිෂ්පාදන බලවේගයන්ගේ වෙනස්වීම වර්ෂ සිය ගණනක් තුළ දී නැතිනම් දශක කීපයක් තුළදී විය හැක.

වැඩි දියුණු වූ නිෂ්පාදනය මාධ්‍යයක් සඳහා දියුණු නිෂ්පාදන සම්බන්ධතාවයක් අවශ්‍යය. එනම් එම සම්බන්ධතාවය වෙනස් විය යුතුය. නමුත් ධනවාදී හෝ වෙනත් ඕනෑම සූරාකෑමේ සමයක එම වෙනස්වීම් බලාපොරොත්තු නොවන පංති හා කණ්ඩායම් නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ වෙනස්වීම්වලට බාධා පමණුවති. නිෂ්පාදන සම්බන්ධතාවයන් නිෂ්පාදන බලවේගයන්ගෙන් ඈත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවැන්නාගේ වර්ධනයට සහයෝගය නොදෙනවා වෙනුවට පමණක් නොව එය මර්ධනය කරයි. ප්‍රතිවිරුද්ධතාවයන් ඇරඹේ. යල්පැන ගිය නිෂ්පාදන සබඳතාවයන් නව, ප්‍රගතිශීලි සම්බන්ධතාවයන්ගෙන් වෙනස් කිරීමේ අවශ්‍යතාවය පැන නගී. එයින් අදහස් වන්නේ පැරණි සමාජය ක්‍රමය ස්වකීය යුගය අත්හල බවය.

මේ අවස්ථාවේදී සූරාකෑමේ සමාජයක ආර්ථික රටාව පමණක් නොව දේශපාලන රටාවද වෙනස් කළ යුත්තේ දේශපාලනරටාව නව නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ දියුණුවට බාධා පමුණුවන හෙයිනි. එම නිසා නව නිෂ්පාදන බලවේග සහ පැරණි, යල් පැනගිය නිෂ්පාදන සම්බන්ධතා අතර ඝට්ඨනය සමාජ විප්ලවයේ අර්ධිත පදනමයි. සමාජ විප්ලවය යනු එක් සමාජ ක්‍රමයක සිට තවත් සමාජ ක්‍රමයකට පෙරළීමේ එකම ක්‍රමයයි.

1.08සමාජ ආර්ථික ක්‍රමයන්ගේ වර්ධනය

මිනිසා කවදත් සමාජමය පුද්ගලයෙකු විය. ආරම්භක අවධියේ දී මිනිසා ලේ සම්බන්ධකම් අනුව හා ගෝත්‍රවලට එක්විය. ඔවුහු එඬේර ජිවන ක්‍රමයක් අනුගමනය කරමින් පලා නෙලීමෙන් දඩයම් කිරීමෙන්, මාළු ඇල්ලීමෙන් ජීවත්වූහ. සෑම වර්ගයක් තුළම අභ්‍යන්තරික විවාහ සම්බන්ධතාවයන් තහනම් විය. සියළුම දෙනාම මව් පාර්ශවයෙන් නෑදෑයනින් වශයෙන් එකතු වූහ. මිනිසුන්ගේ කායික හැකියාවන් අනුව වැඩ කොටස බෙදුනි. වෙනත් ආකාරයකට පවසනවා නම් ලිංග -වයස් වෙනස අනුව ශ්‍රමය බෙදී යයි. මිනිසුන් ඔවුන්ගේ එකමුතු ශ්‍රමයෙන් සෙවූ දෙය සමාන ලෙස බෙදාගෙන ස්වකීය පැවැත්ම ගෙන ගියහ

1.09එම යුගයේ නිෂ්පාදනය කෙසේ වීද?

ආදීකාලීන මිනිසාගේ නිෂ්පාදන උපකරණ කෙතරම් නොදියුණු වීද යත් ඔහුට තනිවම ජීවත් විය නොහැකි විය. එවැන්නා අනිවාර්යයෙන්ම මිය ගියේය. ස්වභාව ධර්මය ඉදිරියේ පෙනුණු මිනිසාගේ එම දුර්වලතාවය නිසා මිනිසුන්ට එකතු වීමට බලකෙරිනි. එකමුතුව ජීවත්වීමෙන් හා වැඩ කිරීමෙන් පමණක් ඔවුන්ට ස්වභාවයට විරුද්ධව නැගී සිටීමටත්, ආහාර හා වෙනත් අවශ්‍ය දේ සොයා ගැනීමටත් හැකි විය. මානව ඉතිහාසයේ පළමුවන නිෂ්පාදනීය බලවේගය වූයේ තනි නොදියුණු ආයුධ උපයෝගී කර ගත් ආදීකාලීන සාමුහික මිනිස් ගණයා ය. සාමුහික ශ්‍රමය හා සාමුහික ජීවන ක්‍රමය හේතු කොට ගෙන නිෂ්පාදනය සමසේ බෙදා ගැනීම ඇති විය. නැතහොත් සූරාකෑම ඉඩ පහසුකම් නොතිබූ නිෂ්පාදන සම්බන්ධතාවයක් හට ගත්තේ ය.
ආදීකාලීන වර්ගයේ නිෂ්පාදන සම්බන්ධතාවයන් හා නිෂ්පාදන බලවේගයන් අතර එකඟත්වය වර්ෂ දහසක් පමණ කාලයක් පැවතිණි. නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය ඉතාම සෙමින් සිදුවීම එයට හේතුව විය. ගොවිතැන හා සතුන් ඇති කිරීම ආරම්භ විය. ගලින් කළ ශ්‍රම උපකරණ වෙනුවට ලෝකඩ උපකරණත් පසුව යකඩ උපකරණත් නිර්මාණය විය. මිනිසුන්ට නිරතුරුව ආහාර ලැබිණි. නිෂ්පාදන උපකරණ දියුණුවීමත් සමඟම නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් සමත් වූ අතර එයින් එම අවස්ථාවේ දි අවශ්‍යතාවයට වඩා වැඩි නිෂ්පාදනයක් කර ගැනීමේ හැකියාව ඇති විය. එනම් නිෂ්පාදන බලවේග, අතිරික්ත නිෂ්පාදනයක් නිපදවීමේ හැකියාවක් ඇති මට්ටමට ලඟා විය. ඉතාමත් අත්‍යාවශ්‍ය වුවමනාවක් ඉටු කර ගැනීමෙන් පසු ඉතිරිවෙන අතිරික්ත නිෂ්පාදිත ද්‍රව්‍යමය වටිනාකම අතිරික්ත නිෂ්පාදනයයි. අතිරික්ත නිෂ්පාදනය ඇතිවීම සමාජ දියුණුවේ වැදගත් ප්‍රතිඵලයන් දෙකක් ඇති කළේය.

පළමුවැන්න එම නිෂ්පාදනය රැස් කිරීමේ හා නැවත බෙදා හැරීමේ හැකියාව ඇතිවිය. වෙනත් විදිහකින් පැවසුව හොත්, එක් ගෝත්‍රයක්, වර්ගයක් හෝ වෙන්ව ගත් මිනිසුන් කණ්ඩායමක් විසින් ගව මහීෂාදීන් සහ ආයුධ යනාදිය හිමිකර ගැනීමත් වෙනත් කොටසකට අහිමිවීමත් සමඟ අසමානතාවය බිහිවීමේ ආර්ථික පදනම ඇතිවිය. ධනය හිමිකර ගැනීම සඳහා කොල්ලකෑම සහ යුද්ධයන් ඇති විය.

දෙවනුව සූරාකෑම ඇතිවිය. සූරාකෑම යනු වෙනත් මිනිසෙකුගේ ශ්‍රමයේ ඵලය තමා හිමි කර ගැනීමයි. මෙතෙක් මිනිසුන් නිෂ්පාදනය කළේ ජීවත්වීම සඳහා අවශ්‍ය ප්‍රමාණය පමණි. වෙනත් මිනිසෙකුට තවෙකෙකුගේ ශ්‍රමය යොදා ගැනීමට නොහැකි විය. නමුත් මිනිසා ස්වකීය පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවීම ඇරඹූවිට සූරාකෑමේ හැකියාව (ඉඩක්) ඇතිවිය. හැකියාව ක්‍රියාවක් බවට පෙරළුනි. වහල්භාවය ඇරඹිණි.

ශ්‍රම උපකරණ නිෂ්පාදනය ඉහල ගියේය.  නමුත් ඒවා තනි පාවිච්චියේ ඒවා විය. ඉන්පසුව මිනිසෙකුට හෝ පවුලකට තම ජීවිතය සඳහා අවශ්‍ය දේ නිපදවා ගැනීමට හැකිවිය. වගා කිරීමට හෝ සතුන් ඇති දැඩි කිරීම සඳහා වූ පොදු ගෝත්‍ර ක්‍රමයේ නිෂ්පාදනය කෙරෙහි පැවති උනන්දුව ක්‍රමයෙන් අහෝසි විය.  එය ධනය රැස් කිරීමේ හැකියාව ඇති වීමයි. මේ සියල්ල ආදි කාලීන සාමුහිකත්වයේ හා නිෂ්පාදනය බෙදාගැනීමේ සමානත්වයේ පදනම කඩා දැමුවේ ය. සමාජය පොහොසතුන් සහ දුප්පතුන්ටත්, වහලුන් සහ වහල් හිමියන්ටත් බෙදුනේය. පංති ඇතිවිය. පීඩාවට පත් කළ පංතියේ ශ්‍රමයෙන් ජීවත්වන, ආර්ථික වශයෙන් බලවත් වූ පංතිය සහිත සමාජය ආදිකාලීන සමාජය වෙනුවට පහළ විය. සමාජමය හා ආර්ථික අසමානතාවයත් පංති අතර පරස්පර විරෝධි ප්‍රතිවිරුද්ධතාවයත් බිහිවිය.

පංති සමාජයට පෙරලීම සැලකිය යුතු ලෙස නිෂ්පාදන බලවේයන්ගේ වැඩිවීම සීග්‍ර කළේය. එම නිසා එය ප්‍රගතිශීලි සිදුවීමකි. ධනය රැස්කිරීම හුවමාරුවේ සහ වෙළඳාමේ පිබිදීමක් ඇති කළේය. නගර වෙළඳාමේ හා ශිල්ප මධ්‍යස්ථාන විය. ද්‍රව්‍යමය නිෂ්පාදනයේ නොයෙදුණු, ස්වකීය ක්‍රියාකාරීත්වය නොයෙක් විධිවල අධ්‍යාත්මික කාර්යයන් වෙනුවෙන් කැපකළ මිනිස් කණ්ඩායම් ඇති වූහ. වෙනත් වචනවලින් කියහොත් පංති සමාජය බිහිවූ යුගයේ දි කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යන බෙදීම ඇතිවීම, මානව සමාජයේ අධ්‍යාත්මික සංස්කෘතියේ ධනයක් සඳහා මූලාරම්භය විය. පංති සමාජය බිහිවීමත් සමගම “රජය” ඇති විය.

පංති ඇතිවීමේ සිට මානව සමාජයේ ඉදිරි ගමන සිදුවුණේ ජනතාවගේ විශාල කොටස අනුකම්පා විරහිතව සූරාකෑමෙන් මෙන්ම ලේ වැගුරූ යුද්ධයක් සහ කොල්ලකෑම් මගින් වැඩකරන ජනතාව වහල්භාවයට පත් කිරීමෙනි. ධනයේ සහ බලයේ නාමයෙන් සියල්ලම විනාශයට ලක් කළහ. මිනිසාගේ ඉතා පහත් දුර්ගුණ සහ පෙළඹවීම් රජ කළේය.

එවැනි සමාජයක් ප්‍රතිවිරුද්ධතාවයන්ගෙන් යුත් සමාජයක් වශයෙන් හැඳින්වේ.

පංති ප්‍රතිවිරුද්ධතාවයන්ගෙන් යුත් වහල්, රදළ හා ධනපති යන සමාජ තුනක් ඉතිහාසයේ සඳහන් වේ.
ධනවාදී සමාජයට පෙර පංති සමාජයන්හි පොදු අංග ලක්ෂණයක් තිබුණි. ඒවා ගොඩ නැගී තිබුණේ පෞරාණික තාක්ෂණික පදනමක් මතය. එනම් ලී නගුල, මිටිය, පොරව සකපෝරුව, වැනි ශිල්පීය ශ්‍රම උපකරණ මතය. මෙවැනි උපකරණ ආධාරයෙන් මිනිසා ආහාර, ඇඳුම් ලබා ගත්තේ ය. නිවාස, ආරාම, රුවල් නැව් තැණුවේ ය.

ඒ කෙසේ වෙතත් එම උපකරණ අංග සම්පූර්ණ කිරීම තදින් සීමා වී තිබිණි. වෙනස්කම් සහිත මිටි (Hammer) හෝ පොරෝ (Axe)  සෑදිය හැකිය. වෙනස් පෙනුම සහිත පොරෝ දහසක් තිබුණත් ඒවා පොරෝම විය. එයිග් ගත හැකි ප්‍රයෝජනය වෙනස් නොවිනි. නව නිර්මාන බිහිවීම ඉතාම සෙමින් සිදුවිය. මෙයින් අදහස් කරන්නේ එවැනි තාක්ෂණික පදනමක් මත ලැබිය හැකි ශ්‍රම ඵලදායීත්වය ඉතාමත් පහත් ය. වහල් සමාජයේ සහ රදළ සමාජයේ දියුණුව ඉතාම සෙමින් සිදුවීමට හේතුව නව තාක්ෂණික උපකරණ නිර්මාණය වීම ප්‍රමාද වීමයි.

දියුණු රදළ සමාජයේ තාක්ෂණික පදනම පැරණි ග්‍රීසියේ හා රෝමයේ පැවති වහල් සමාජයේ තාක්ෂණික පදනමට වඩා උසස් විය. වැඩකරන ජනතාවගෙන් තත්වය ද වෙනස් විය. වහලා වහල් හිමියාගේ පෞද්ගලික භාණ්ඩයක් විය. වහලාට කිසිවක් හිමිව නොතිබිණි. ඔහුට අයිති දේපලක්, පවුලක් හෝ ගෙයක් නොවීය. ස්වකීය ශ්‍රමයේ ඵලය පිළිබඳ උනන්දුවක් ඔහු තුළ නොතිබිණි.

රදළ සමාජයේ ප්‍රධානම නිෂ්පාදන බලවේගය වූයේ ඉඩම් හිමියා සහ රදළයාගේ පුද්ගලික බලපෑමෙන් වෙන් නොවූ ගොවියෝ යි. වැඩවසම් ක්‍රමය එම ගැති බවේ දරුණු අර්ධ වහල් ස්වරූපයයි. නමුත් ගොවියන්ට නිවසක්, පවුලක්, ශ්‍රම උපකරණ හා කුඩා ඉඩම් කැබැල්ලක් ද හිමි විය. ඔහු නිදහස් මිනිසෙකු නොවීය. නමුත් ස්වකීය පැවැත්ම සඳහා තම පවුල රක්ෂා කිරීම සඳහා වැඩීවැඩියෙන් නිපදවීමේ ආශාවෙන් පෙළුනි. ඔහු රදළයාගේ ඉඩම්වල වැඩ කළ යුතු සේම සිය බිම් කැබැල්ලේ අස්වැන්නෙන් කොටසක් පල්ලියට දීමට ද සිදු වී තිබිණි. වහල් සහ රදළ ක්‍රමයේ දී පැවති ශ්‍රම උපකරණයන්ගේ පෞද්ගලික ස්වරූපයට තනි තනිවම වැඩ කළ ගොවීන්ගේ හා ශිල්පීන්ගේ ඉටු කිරීම ක්‍රියාවට ගැලපුනි. මෙහිදී සුළු නිෂ්පාදනය ප්‍රධාන තැන දැරීය. වහල් සහ රදළ සමාජයේදී ස්වභාවික නිෂ්පාදනය ප්‍රධාන තැනක් ගත්තේය. වහල් හිමියාගේ සහ රදළයාගේ විශාල අයිතිය ආර්ථික ලෙසබලහත්කාරකම් කිරීමෙන් තොරව වර්ධනය විය. වහල් හිමියාටත්, රදළයාටත්, වහලා හෝ ප්‍රවේණි දාසයාව ආර්ථික ලෙස තමා වෙත නම්මවා ගැනීමට නොහැකි වූ නිසා හිංසාකාරී ලෙස එය කළහ. එය මේ ක්‍රමයේ මූලික ගති ලක්ෂණයකි. එම සමාජයන්ගේ ප්‍රතිවිරුද්ධතාවයන් වහලුන් හෝ ගොවීන්ගේ ආයුධ සන්නද්ධ කැරලි දක්වා දියුණු වූ තියුණු පංති අරගලයන් තුළින් මතුවිය. ඉතිහාසයේ මෙවැනි විශාල කැරලි බොහොමයකි. පැරණි රෝමයේ ස්පාර්ටකස් කැරැල්ල (ක්‍රි. පූ. 74-71), එංගලන්තයේ වෝට් ටේලර් (1381), ජර්මනියේ ගොවි යුද්ධය (1524 -1525), රුසියාවේ ස්තෙපාන් රාසින්(1670-1671) හා යෙමිලියාන් පුගචෝච් (1773 -1775) කැරලි ඒ අතර වැදගත් තැනක් ගනී.

මිහිපිට දියුණුවේ මට්ටම කිසි තැනක එක හා සමාන නොවීය. මානව සමාජය අසමාන ලෙසින් දියුණු වේ. පැරණි සහ මධ්‍යම යුගයන්හිදී ආසියාවේ, අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ මිනිස්සුන්ගෙන් සෑහෙන කොටසක් ගෝත්‍ර සමාජයේ ජීවත් වූහ. යුරෝපයේ රටවල් රැසක රදළ සමාජ ක්‍රමය ජය ගෙන තිබූ අතර සමහර තැන්වල වහල් සමාජ ක්‍රමය විය. මානව සමාජ ඉතිහාසයේ ම‌ගෙහි මෙවැනි අසමාන දියුණුවන් බොහොමයක් හමුවේ.

ප්‍රතිවිරුද්ධතාවයන්ගෙන් යුත් සමාජයේ ඊලඟ අවධිය ධනවාදය විය.

නිෂ්පාදනයේ ප්‍රධාන තැනකට යන්ත්‍ර පත්වීමට බොහෝ කාලයකට පෙර ධනවාදී සම්බන්ධතාවය බිහිවන්නට පටන් ගත්තත් “යන්ත්‍ර මගින් නිෂ්පාදනය” ධනවාදයේ කාර්මික පදනම  විය. යන්‍ත්‍රවල ඇති වූ ගුණාත්මක පිම්ම අනාගත ප්‍රතිඵල ඇති කළේය. නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුවේ එවැනි අවධියේ විශේෂ ගති වන්නේ නිෂ්පාදනයට විද්‍යාවේ ජයග්‍රහණ යොදා ගැනීමත්, කාර්මිකය, නිෂ්පාදන ක්‍රම, නිෂ්පාදන සංවිධාන අංග සම්පූර්ණ කිරීමත්, නිෂ්පාදන බලය නොකඩවා වැඩි කිරීමත් ය.

නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි අයිතිය ධනපති පංතියට හිමි වී ඇතිවිට ධනපතියා වෙනුවෙන් ශ්‍රමය වැය කිරීම සඳහා ආර්ථික වශයෙන් නිර්ධනයා පොළඹවාලනු ලබයි. තම ජීවිතයේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කම්කරුවා ධනපතියා වෙත ශ්‍රමය අලෙවි කිරීමට යා යුතුමය.

ධනපතියා කම්කරුවන් කුලියට ගන්නේ ඇයි?

අනුකම්පාව නිසා නම් නොවේ.

කම්කරුවා අතිරික්ත ආදායමක් උපදවන නිසා ය.

1.10අතිරික්ත වටිනාකම යනු කුමක්ද?

සෑම විටකම නිශ්චිත කාලයක් සඳහා කම්කරුවෙකුගේ වැටුප, එම කාලය තුළ  ඔහුගේ ශ්‍රමය නිසා භාණ්ඩවලට එකතුවන වටිනාකම් එකතුවට වඩා අඩු වේ.
කම්කරුවාගේ වැටුප, නිපදවන භාණ්ඩයේ වටිනාකමට අඩු බැවින් ශ්‍රමය සඳහා ‌‌ගෙවීමක් නොකර නිපදවූ භාණ්ඩවල වටිනාකම, අතිරික්ත වටිනාකම නම් වේ.

ධනවාදී නිෂ්පාදන සම්බන්ධතාවයේ හරය එයයි.

1.11ලාභය සහ අධිනිෂ්පාදන අර්බුදයක් හට ගැනීම සදහා වෙළඳ තරඟය බලපාන ආකාරය

කම්කරුවන්ට තම ශ්‍රමය වෙනුවෙන් නොගෙවනු ලැබූ නිෂ්පාදන ප්‍රමාණයන් ලාභය නමින් හැඳින්වේ. ධනවාදී නිෂ්පාදනය දිරිමත් කරවන ප්‍රධාන සාධකය ලාභය වේ.  ලාභය සඳහා කරනු ලබන ලුහුබැඳීම ඉතාම තරඟකාරී වේ. එයින් ධනපතීන් අතර වැඩිපුර ලාභ ලැබීමේ අපේක්ෂාව මූලික කර ගත් තරඟය හට ගනී. එය “එකිනෙකා අභිබවා යාමේ සටන” වශයෙන් හැඳින්විය හැකිය. එම අභිබවායමේ සටනේ දී
නිෂ්පාදනය සැලකිල්ලෙන් සංවිධානය කළ, නවීන කාර්මික ක්‍රම උපයෝගී කර ගන්නා, නිෂ්පාදනය කළ භාණ්ඩ සඳහා වාසි සහගත වෙළඳපොලක් හිමිකර ගත හැකි වන ධනවතුන් එම සටනින් ජය ලබති.  නිෂ්පාදකයන් අතර වෙළඳ තරඟයේ දී වැඩි ලාභයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් ඵලදායිත්වයකින් යුතුව නිෂ්පාදනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම, නව නිෂ්පාදන ක්‍රම යෙදීම සහ වැඩි වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පෙළඹෙයි.
යම් අවස්ථාවක මිනිසුන්ට මිල දී ගත හැකි ප්‍රමාණයට වඩා භාණ්ඩ නිපදවේ නම් අධිනිෂ්පාදන අර්බුදය හට ගනී. වෙළඳ තරඟයේ ප්‍රතිඵලයක් ලෙසින් එට ගන්නා එම අර්බුදය සත්‍ය වශයෙන් භාණ්ඩ වැඩිවීමක සාක්ෂියක් නොවේ. මිනිසුන්ට භාණ්ඩ අවශ්‍ය ය. නමුත් භාණ්ඩයක් මිල දී ගත නොහැකිය. හේතුව මිනිසුන් ලඟ මුදල් අල්ප වීමය. නැත්නම් ඇත්තේම නැත.

අධිනිෂ්පාදනය නිසා කර්මාන්ත ශාලා සහ කම්හල් වැසේ. කම්කරුවන් මහ මගට වීසි වේ, රැකිරක්ෂා නොමැත්තන්ගේ ගොඩට එක්වේ. භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව නොමැති මිනිසුන් සංඛ්‍යාව වැඩි වෙයි. එය තවදුරටත් භාණ්ඩ සදහා ඇති ඉල්ලීම අඩු කිරීම සඳහා බලපායි. අර්බුද, ධනවාදී ක්‍රමයේ නිතර දකින්නට ලැබෙන ගති ලක්ෂණයයි. නූතන කර්මාන්ත නිෂ්පාදනය සඳහා ඉල්ලීමේ සහ සැපයීමේ හැකියාවන් මුළු සමාජ මට්ටමෙන්ම ක්‍රමානුකූල ලෙස සැලසුම් කර තිබිය යුතුය.

අර්බුදවලින් පෙනී යන්නේ ධනපති ක්‍රමය එම කාර්යයේ වගකීම හරි හැටි ඉටු නොකරන බවය. 

1.12පංති සටන උග්‍රවීම

කම්කරුවෝ එකතු වෙති. හොඳ ජීවන තත්වයන් සහ ශ්‍රම තත්වයන් සඳහා සටන් කරති. එම සටන දේශපාලන සටන් තුළින් වැඩ වර්ජන තුළින්, පෙළපාලි තුළින්, විප්ලවකාරී කැරලි තුළින් පිළිබිඹු වේ.

ඒ අනුව දරුණු අභිබවායාමේ සටන, කාලානුරූපව ඇතිවන අර්බුද, නොනවතින පංති සටනත් ධනවාදී ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන්ගේ හෙවත් නිෂ්පාදන බලවේගයන්ගේ හා නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ නැගී එන නොගැලපීමේ සාක්ෂියයි. ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවය නිෂ්පාදන ගති ලක්ෂණයේ සහ අයිතියේ හැඩයේ නොගැලපීම තුළ ගැබ් වී ඇත. නිෂ්පාදන ක්‍රියාදාමය සමාජමය ගති ලක්ෂණ දරයි. නූතන තත්වයන් යටතේ මිනිසුන් ලක්ෂ ගණනක් නිෂ්පාදන සම්බන්ධතාවයන්ගෙන් බැඳී පොදුවේ එකතු වී පැවැත්ම සඳහා අවශ්‍ය සියළු දේ නිපදවූවත්, නමුත් අයිතිය පුද්ගලික හැඩයක් ගනී.

එහෙත් පුද්ගලික අයිතිය සමාජ අයිතියක් බවට පත් කළ හැකිය. එවිට අත්‍යාවශ්‍ය නිෂ්පාදනය පමණක් නොව අතිරික්ත නිෂ්පාදනය මුළු සමාජයේ යහපත සඳහා බෙදිය හැකිය. පොදු අයිතිය යටතේ අභිබවායාමේ තරගය දුරුකළ හැකි වන අතර මුළු සමායේ අවශ්‍යතාවයන් අනුව නිෂ්පාදනය සැලසුම් කළ හැකිය. නිෂ්පාදන ක්‍රියාදාමයේ සමාජමය ලක්ෂණයට නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි ඇති සමාජමය අයිතිය ගැලපිය යුතු අතර එය තුළින් ශ්‍රම සංවිධානය හා නිෂ්පාදනය බෙදීමේ ක්‍රමය මතුවේ. නමුත් එය කළ හැක්කේ සමාජවාදය තුළ පමණි.

1.13ඒකාධිකාරී ධනවාදය

ධනපතියන්ට ධනවාදය යටතේම එම ක්‍රමයට ලාක්ෂණික වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරුද්ධතාවයන් විසඳීමට හෝ අඩු ගණනේ ලිහිල් කිරීමට අවශ්‍ය විය හැකිය. එයින් නිෂ්පාදනය ඒකරාශීවීම සීග්‍ර වේ. එක් එක් ධනපතියන් වෙනුවට ධනපතියන්ගේ ඒකරාශීවීම ඇරඹේ. වෙළඳ සංවිධාන, ත්‍රෙස්ත් සහ විශාල ඒකාධිකාර ඇති වේ. රාජ්‍ය – ඒකාධිකාරී ධනවාදයට පෙරළෙන ඒකාධිකාරී ධනවාදය, දියුණුවීමට පටන් ගනී. එය ධනපති ක්‍රමය තුළම නිෂ්පාදන බලවේගයන්ගේ සමාජමය ලක්ෂණ හඳුනාගෙන පිළිගැනීමයි. ඒ කෙසේ වෙතත් ඒකාධිකාරයේ අයිතිය පුද්ගලික ධනපති අයිතියකි, ඒකාධිකාරයේ ලාභය කොටස් හිමිකරුවන් අතර බෙදී යයි. එසේම ඒකාධිකාරයන් අභිබවා යාමේ තරඟයෙන් ඉවත් නොවේ. ඒකාධිකාර අතර ද එම තරඟය ඇති වේ. මුළු ලෝකයම එහි කරලිය බවට පත් වේ. සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ පෞද්ගලික කර්මාන්ත ශාලා අතර වෙළඳපොල, අමුද්‍රව්‍ය සහ බෙදාහැරීම සඳහා දිනකින් හෝ දෙකකින් අවසන් නොවන නොනවතින විරද්ධවාදීකමක් දරුණු සටනක් පවතී.

ඒකාධිකාරී ධනවාදය – මනව සමාජය ඉදිරියේ විශම අපරාධයන්ගේ උල්පත් සහ වැරදිකරුවා විය. එය මිනිසුන් කෝටි කිහිපයක් මරණයට භාජනය කළ ලෝක යුද්ධ දෙකක් ඇති කළේය. ඒකාධිකාරී ධනවාදය ලෝකයේ ප්‍රතිගාමීත්වයේ හා පීඩනයේ නිරන්තර තර්ජනයක් සඟවා ගත් පැසිස්ට්වාදයේ බිහිවීමට ද වගකිය යුතුය.

අද ආර්ථික ලෙස දියුණු ධනවාදී රටවල ධනපතියන්ට නිදහස් ලෙස කම්කරුවන්ගේ වැටුප් අඩු කරන්නට නුපුළුවන් බවත්, කම්කරු ශ්‍රමය සඳහා උසස් වැටුපක් ගෙවීමට ධනපතියන්ට සිදුවන බවත්, එනිසා පංති අරගලය සමථයකට පත්වන බවත් ධනවාදයේ මුරදේවතාවෝ පවසති. එය සම්පූර්ණ මායාවකි. සිතන දෙය සත්‍යයක් ලෙස බැලීමට කළ උත්සාහයකි. වැඩකරන ජනතාව ස්වකීය අයිතිවාසිකම් දිනා ගත්තේ දීර්ඝ කාලීන දරුණු පංති සටන් තුළින් ගැණිය නොහැනි තරම් ජීවිත පූජා කිරීමෙනි. සටන පවතිනවා පමණක් නොව තව තවත් තියුණු වේ.

ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව,  එංගලන්තය, වැනි දියුණු රටවල පුහුණු කම්කරුවා සදෘහ්‍ය ලෙස උසස් වැටුපක් ලබන බව සැබෑවකි. නිර්ධන පංතිය වෙනත් සමාජ අයිතිවාසිකම්ද දිනා ගත්තේ, විශේෂයෙන්ම රුසියාවේ සමාජවාදී විප්ලවය ජය ගැනීමෙන් පසුවය.  එම රටවල අසාධාරණත්වය, අසමානතාවය, සහ පීඩනය දුරුවූ බවක් එයින් අදහස් නොවේ. ධනවාදී සමාජයේ කම්කරුවා නිතරම පෑගෙන්නෙකි. නිරතුරුවම ස්වකීය යැපීම ධනපතියා මත රඳවන්නෙකි. ඕනෑම අවස්ථාවක ඔහු පාරට වීසි විය හැකිය. ඒ හැරෙන්නට දියුණු ධනපති රටවල මිනිසුන් වැඩි දෙනෙකුගේ ආදායම ජීවත්වීම සඳහා අවශ්‍ය අවමයටත් වඩා පහල ය.

ධනවාදය විසින් දීර්ඝකාලයක් යටත් විජිත රටවල් බිලියන ගණනක ජනතාව සූරා කන ලදී. යටත් විජිත ක්‍රමය බිඳ වැටුණු නමුත් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා රටවල ජනතාවගේ කර මත දරිද්‍රතාවය නම් විශාල බර රැඳවීය. දියුණු වෙන රටවල්වල ජනතාව ඉදිරියේ අනාගත දියුණුව බැරෑරුම් ප්‍රශ්නයකි. ඔවුහු අධිරාජ්‍යවාදයට විරුද්ධව දරුණු සමාජ ගැටීම් සහිත මඟක ඒවා විඳවති.

දියුණු රාජ්‍ය – ඒකාධිකාරී ධනවාදය ධනවාදී ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතාවය තව තවත් ගැඹුරු කළා මිස සමථයකට පත් කළේ නොකළේය. නූතන සමාජ නිෂ්පාදන බලවේගයන්ගේ ගුණාත්මක නව අවධිය වන විද්‍යා – තාක්ෂණික විප්ලවය එය ද්විගුණ කළේය.

1.14විද්‍යා තාක්ෂණික විප්ලවය යනු කුමක්ද?

එහි විශේෂත්වය නම් දියුණු කර්මාන්ත නිෂ්පාදනය මූලික වශයෙන් වෙනස් කිරීම හා ගුණාත්මක ලෙස වර්ධනය වූ නව බලාපොරොත්තුවල මග විවෘත කිරීමයි. කාර්මිකකරණයේ ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රධාන දිශාව වන්නේ කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය ස්වයංක්‍රීය කිරිමයි. එවැනි ස්වයංක්‍රීය නිෂ්පාදනයක් සඳහා කලින්ම ඇතිවිය යුතු තත්වයන් නම් යන්ත්‍ර මගින්ම නිෂ්පාදන ක්‍රියාදාමය පාලනය කිරීමේ හැකියාව ඇති කරන රොබෝ සහ පරිඝනක යන්ත්‍ර සමයේ දියුණුව ය.

විද්‍යා හා තාක්ෂණ විප්ලවයේ විශේෂත්වය නම් විද්‍යාවේ ජයග්‍රහණයන් වැඩි වශයෙන් නිෂ්පාදනයේ දී උපයෝගී කිරීම සහ විද්‍යාවේ වර්ධනයේ සහ විද්‍යාව උපයෝගී කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අලුත් තාක්ෂණිකය බිහි වන විට විද්‍යාව නිරන්තර නිෂ්පාදන බලවේගයන් බවට පත් කිරීම ය. එවැනි සමන්විත විද්‍යා හා තාක්ෂණික එක්වීමක් ගැන මීට පෙර ඉතිහාසය නොදත්තේ ය. ඇත්ත වශයෙන්ම පරමාණු බලය, අජටාකාශ ගමන්, සැබෑ ගති ලක්ෂණවලින් යුත් කෘතිම ද්‍රව්‍ය, විද්‍යුතය ලේසර් කිරණ යන සියල්ල සහ වෙනත් බොහෝ ජයග්‍රහන බිහිවූයේ විද්‍යාවෙන් මිස ඊට පෙර සිදුවූවා මෙන් එක්රැස් කර ගත් අත්දැකීමෙන් නොවේ. විද්‍යා හා තාක්ෂණික ප්‍රගතියේ එක් එක් අංගයන්ගේ සම්බන්ධතාවය විද්‍යා හා තාක්ෂණික විප්ලවයේ විශේෂ ගති ලක්ෂණයකි.

නව කාර්මික ක්‍රම ශ්‍රමයේ නිෂ්පාදන බලය වැඩි කරන අතර නිශ්පාදන ව්‍යූහයේ සහ එහි සංවිධානයේ තියුණු වෙනස්කම් ඇති කරයි. එයම පමණක් විද්‍යා හා තාක්ෂණික විප්ලවය නොවේ. එහි වැදගත් ප්‍රතිඵලය සහ පැහැදිලි විශේෂත්වය නම් නිෂ්පාදනයේදී මිනිසාගේ තත්වය වෙනස් කිරීමයි. ස්වයංක්‍රීය කාර්මික ක්‍රමය පදනම් කර විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගැනීම නිසා, අනුක්‍රමයෙන් භාණ්ඩ නිෂ්පාදනය කාර්මික ක්‍රියාදාමයට මිනිසාගේ නිරන්තර සහභාගීත්වය අවශ්‍ය නොවේ. මිනිසා වෙත යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සොයා බැලීම, ප්‍රතිසංස්කරණය හා පුනරුත්ථාපනය කාර්යයන් ඉටු කිරීම, නව යන්ත්‍ර සැලසුම් කිඍීම, සෑදීම සහ නිෂ්පාදනයේ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාවන් පැවරේ.

ශිල්පියා ප්‍රධාන වශයෙන් ස්වකීය මාංශ පේෂීන්ගේ බලයෙන් නිෂ්පාදන උපකරණ ක්‍රියාත්මක කළා සේම යන්ත්‍ර මගින් නිෂ්පාදනය කිරීමේ දී කම්කරුවා යන්‍ත්‍රයේ උපාංගයක් බවට පත් වේ. එහෙත් නූතන විද්‍යා කාත්ෂණික විප්ලවයෙන් නිර්මාණය කරන ලද යන්ත්‍ර මිනිසා ස්වයං පාලන නිෂ්පාදන ක්‍රියාදාමයක ස්වාමියා බවට පත් කරයි.

විද්‍යා තාක්ෂණික විප්ලවය උපරිම ද්‍රව්‍යමය වටිනාකමක් නිපදවිය හැකි ද්‍රව්‍යමය – තාක්ෂණික හැකියාවන් ඇති කිරීමේ දියුණුවකට නිෂ්පාදනය ගෙන යන අතර වැඩ දිනය කෙටි කරමින් මිනිසාගේ හැකියාවන් ශක්තිය වැඩිපුර නිර්මාණාත්මක ශ්‍රමය සඳහා වෙන් කරවයි. විද්‍යා තාක්ෂණික විප්ලවයේ විජයග්‍රහන වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යෙදෙයි ද යන ප්‍රශ්නයේ විසඳුම රඳා පවතින්නේ එහි දියුණුව සිදු වන්නේ මොන සමාජ ක්‍රමයක් තුළද යන්න මතය; ධනවාදී රාමුව තුළද නැතිනම් සමාජවාදී තත්වයන් යටතේද යන්න මතය.

ධනවාදය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය සහ විද්‍යා – තාක්ෂණික ප්‍රගතිය පාවිච්චි කරන්නේ වැඩ කරන ජනතාව සූරාකෑම උත්සන්න කිරීමට හා තම අධිපත්‍යයේ ක්‍රමය සහ පීඩනය දැඩි කිරීමටය. ඡනවාදී ක්‍රමය තුළ විද්‍යා-තාක්ෂණික විප්ලවය බල සම්පන්න ධනවාදී යන්ත්‍රයේ තුවක්කු පිරිසිදු කරන්නා වශයෙන් රාජ්‍ය ඒකාධිකාරී සංවිධානය තවදුරටත් ශක්තිමත් කරයි.

විද්‍යා – තාක්ෂණික විප්ලවය කර්මාන්ත දියුණු කරනවා පමණක් නොව ධනවාදය දෙදරවයි. එහි ප්‍රතිවිරුද්ධතාවයන් ගැඹුරු කරයි. දියුණු වෙන නිෂ්පාදන බලවේග ධනවාදී ආර්ථිකයේ පටු රාමු සමඟ සහ නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ ලක්ෂණ සමඟ නොගැලපෙන්නක් බවට පත් කරයි. සමාජ පංති ඝට්ඨන ඇති කරයි.

නිෂ්පාදන බලවේගයන්ගේ අනාගත දියුණුවට සහ නූතන තත්වයට ගැලපෙන සමාජ ආර්ථික ක්‍රමය සමාජවාදී සමාජයයි. සමාජවාදය මෙතෙක් මිනිසා ලද සමාජ ප්‍රගතියේ උසස් අවධියක් වන අතර එය විද්‍යා හා තාක්ෂණික විප්ලවයේ ජයග්‍රහණ උසස් මට්ටමකින්, උසස් ප්‍රතිඵල ගෙන දෙන ලෙස, ප්‍රධාන වශයෙන් මිනිසාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් උපයෝගී කර ගැනීමේ හැකියාවෙන් යුක්ත සමාජ ක්‍රමයකි.

මානව ඉතිහාසය – පහත් මට්ටමේ සිට උසස් සමාජ ජීවිත ක්‍රමයකට විවිසෙන ගමණකි. එහි ප්‍රධානතම බලවේගය වන්නේ නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුවයි. අපි සමාජ දියුණුවේ මූලික මඟ, ප්‍රධාන දිශාව ගැන පොදු ලෙස බැලුවෙමු. මාක්ස්වාදී න්‍යාය ඉදිරිපත් කරන සමාජ දියුණුවේ අවධිය ගැන දැනීම ඉතා වැදගත් වේ. එය ඉතිහාසයේ නොයෙක් විධියේ ප්‍රවණතාවයන් තේරුම් ගැනීමට, අතීතය විද්‍යාත්මක ලෙස විශ්ලේෂණය කර වර්තමානය තක්සේරු කිරීමටත්, අනාගතය දැකීමටත් ඉඩ ප්‍රස්ථාව දේ.

නමුත් සමාජ දියුණුව පිළිබඳ භෞතිකවාදී න්‍යාය මන්තරයක් නොවේ. එක්තරා සටනක් පමණක් නොවේ. ඊට අමතරව එය විවිධාකාර ස්ථීර ඓතිහාසික සිද්ධීන ගැන ස්ථීර විශ්ලේෂණයක් බලාපොරොත්තු වේ. ඉතිහාසය අසමාන ලෙස වර්ධනය වේ. නව ක්‍රමයක් බිහිවීම පැරණි ක්‍රමය සම්පූර්ණයෙන් අතුරුදහන් නොකරයි. උදාහරණ වශයෙන් ගෝත්‍ර සමාජ සම්බන්ධතා තවදුරටත් සමාජ ක්‍රමය තුළ රඳා පවතී. නොදියුණු රටවල් බොහොමයක තවමත් රදළවාදයේ නෂ්ඨාවේශ ඇත. යුද්ධය සහ වෙනත් හේතූන් නිසා ජන සමූහ, රාජ්‍යයන් සහ සංස්කෘතියන් ගරා විටිනි. ඉහත සඳහන් කළ සමාජ සංවර්ධනයේ සියළුම අවධීන් පසු කළේ අද ජීවත් වෙන සියළුම ජනතාවන් නොවේ. ස්ලවනික ජනතාව පැරණි ගෝත්‍ර සමාජයේ සිට වහල් සමාජය අතහැර එක්වරම රදළවාදයට පැමිණියහ. සෝවියට් දේශයේ බොහෝ ජනතාවන් රදළ සම්බන්ධතාවයේ සිට ධනවාදය මඟහැර සමාජවාදයට පා තැබීය.

පොදු න්‍යායික මූලධර්ම ඒ ඒ රටවල වර්ධනයට බලපාන ඓතිහාසික, ජාතික, සංස්කෘතික හා වෙනත් විශේෂත්වයන් අනුව නිර්මාණාත්මක ලෙස යෙදිය යුතු යැයි වී අයි ලෙනින් ප්‍රකාශ කළේය. නමුත් පොදු න්‍යායික මූලධර්ම සමාජ සංවර්ධනයේ මෙවැනි නියාම වන ලෝක ඉතිහාසයේ මග තීරණය රන සහ ස්ථීර ඓතිහාසික ක්‍රියාදාමය විවිධත්වයන්හි ප්‍රකාශ වන නියාමයන් පිළිබිඹු කරයි. අද එම පොදු නියාමයන්ගේ ක්‍රියාකාරීත්වය, ධනවාදී සමාජ ක්‍රමය ස්වකීය ආගාධයට පත් කරවයි. නව කොමියුනිස්ට් සමාජ ක්‍රමය ඇතිවේ; දියුණු වේ. එම නිසා නූතන අවධිය සමස්ථ ඓතිහාසික මට්ටමකින් ධනවාදයේ සිට සමාජවාදය පෙරලීමේ අවධියයි.

1.15කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ විශේෂතා මොනවාද?

කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ ආර්ථික පදනම වන්නේ මූලික නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි සමාජ අයිතිය පැවතීමයි. සමාජවාදී සමාජ ක්‍රමය තුළ මෙම සමාජ අයිතිය රාජ්‍ය හා සාමුහික සමූපකාර අයිතියේ මුහුණුවරින් පවතින අතර කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ දී එය පොදු ජන අයිතියන් වනු ඇත. නිෂ්පාදන ක්‍රියාදාමයේ සමාජමය ස්වභාවයට ගැලපෙන්නේ ද නිෂ්පාදනය බලවේගයන්ගේ දියුණුව උදෙසා සීමා රහිත ඉඩකඩ සලසන්නේද මෙම හිමිකම් දෙයාකාරයයි.

ඓතිහාසික දියුණුවේ ඕනෑම අවස්ථාවකදී මෙන් කොමියුනිස්ට් සමාජය ගොඩනැගීමේදී ද නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදනය සම්බන්ධතාවයන් අතර ප්‍රතිවිරුද්ධතාවයන් ඇතිවේ. නමුත් මේ තත්වය යටතේ අවබෝධයෙන් යුතුව සැලසුම් සහගත ලෙස නිෂ්පාදන සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම නිසා සමාජ ගැටීම් හා දේශපාලන විප්ලවයන්ගෙන් තොරව ඒවා විසඳේ. එවැන් හැකියාවන් ඇතිවන්නේ පොදු අයිතිය තුළ පළමුවෙන්ම, සූරාකන පංති දුරුවී යාම නිසා සහ සමස්ත සමාජයම එක් අරමුණක් සඳහා ජීවත්වන නිසාත්, දෙවනුව සමාජය ඉදිරියේ ඇති ප්‍රශ්න හා ගැටළු, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, සිහිබුද්ධියෙන් සහ ක්‍රමානුකූලව විසඳිය හැකි නිසාය. කොමියුනිස් පක්ෂය නව සමාජයට නායකත්වය ලබා දෙන අතර ගමන් මඟ පෙන්වන ප්‍රධාන බලවේයයි. නිෂ්පාදනය, සංස්කෘතිය, සමාජ සම්බන්ධතා කොමියුනිස්ට් ක්‍රමය යටතේ ඉතා සීග්‍ර වේගයකින් වැඩි දියුණු වේ.

කොමියුනිස්ට් ක්‍රමය ඇතිවීම හා දියුණුවීම, නියාමයකට අනුකූලව සිදුවන්නකි. කොමියුනිස්ට් ක්‍රමයට පෙරලීමේ මූලික ගති ලක්ෂණ ධනවාදී න්‍යෂ්ටියේම ඇති වේ. එයින් ප්‍රධාන වන්නේ, සියළුම වැඩකරන ජනතාව එක්සත් කරන නූතන සමාජ සමාජ නිෂ්පාදනයයි. වැඩකරන ගෙවි ජනතාව සමඟ එක්සත්ව සමාජවාදී විප්ලවය කරන, කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ ආරම්භයට මුල්ගල තබන ප්‍රධානතම බලවේගය වන්නේ කම්කරු පංතියයි. ස්වකීය දියුණුවේ දී කොමියුනිස්ට් ක්‍රමය අවධියන් කිහිපයක් පසු කරනු ඇත. පළමුවැන්න පරිවර්තනය වීමේ අවධියයි. එය සමාජවාදී විප්ලවයෙන් ඇරඹේ. එම කාලය තුළ පරාජයට පත් කළ පංතීන්ගේ (ඉඩම් හිමියන්ගේ හා ධනපතියන්ගේ) නෂ්ඨාවශේෂ වන සුළු ගොවි ආර්ථිකය දුරු කරන අතර, සමූපකාර මඟින් විශාල සාමුහිකත්වයක් ඇතිවන අතර, නව සමාජයේ කාර්මික පදනම වර්ධනය වේ. දාර්ශනික අංශයේ ප්‍රධාන ස්ථානය විද්‍යාත්මක දර්ශනය වන මාක්ස් -ලෙනින්වාදයෙන් තහවුරු කෙරෙන අතර ජනතාවගේ සමාජවාදී විඥානය ඇති කිරීම ආරම්භ වේ. දේශපාලන වශයෙන් ගත්කළ පරිවර්තන අවධිය නිර්ධන පංති අඥාදායකත්වයේ අවධියකි. එනම් ධනවාදී ආණ්ඩුව එලවා දැමීමෙන් පසුව පිහිටුවන ලද නිර්ධන පංති රාජ්‍ය බලයයි.

එසේම නිර්ධන පංති අඥාදායකත්වය ඉදිරියේ වැදගත් නිර්මාණාත්මක කාර්යයක්ද වේ. එය සමාජවාදය ගොඩ නැගීමේ ප්‍රධානතම ආයුධයයි. වැඩ කරන ජනතාවට දක්වන සම්බන්ධතාවයේ දී නිර්ධන පංති අඥාදායකත්වය යනු සියළුම වැඩකරන ජනතාවට කම්කරු පංතියේ දේශපාලන නායකත්වය දීමේ ආකාරයයි. එහි අරමුණ – කම්කරු පංතිය වටා වැඩකරන ජනතාව එක් රැස් කිරීම සහ නව සමාජය ගොඩනැගීම සඳහා ඔවුන් මෙහෙයවීමයි. නිර්ධන  පංති අඥාදායකත්වය ධනපති බලය මෙන් පුළුල් ප්‍රතිවිරුද්ධව නොසිටින අතර, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරයි.

නිර්ධන පංති අඥාදායකත්වය විවිධ දේශපාලන මුහුණුවරින් පිහිටුවිය හැකිය. එය සමාජවාදී විප්ලවය වර්ධනය වන අතිවිශේෂ තත්වයන් අනුව රඳා පවතී. පැරිස් කොමියුනය නිර්ධන පංති ආඥාදායකත්වයේ එක් මුහුණුවරකි. එය එතරම් කලක් නොපැවතුනත් (1871 මාර්තු 18 සිට මැයි 28 දක්වා) ඉතා විශාල වැදගත්කමක් දැරීය. ඉතිහාසයේ පළමුවරට නිර්ධනයෝ බලයට පැමිණියහ. රුසියානු විප්ලවයේ දී සෝවියට් නැමැති නව ක්‍රමයක නිර්ධන පංති ආඥාදායකත්වයක් ඇතිවිය. නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳව මාක්ස් -එංගල්ස් දර්ශනය වර්ධනය කළ ලෙනින්, සෝවියට් සමූහාණ්ඩුවේ එනම් නව ක්‍රමයක රාජ්‍යයක, ක්‍රමානුකූල හා සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රජයක වටිනාකමෙහි අවශ්‍යතාවය ගැඹුරු ලෙස විග්‍රහ කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජවාදී වර්ධන මාවතට පිවිසි රටවල නිර්ධන පංති ආඥාදායකත්වයේ මුහුණුවර වූයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයයි.

සමාජවාදී සමාජ සම්බන්ධතාවයන් තහවුරු වීමෙන් පසු පරිවර්තන අවධිය අවසන් වේ. සමාජවාදය, කොමියුනිස්ට් ක්‍රමයේ පළමු අවධියයි. එය සම්පූර්ණයෙන් නිෂ්පාදන මාධ්‍ය කෙරෙහි පුද්ගලික අයිතිය සහ සුරා කෑමේ පංති අහෝසි කරයි. සමාජවාදයේදී, සියළුම පංතීන්ගේ, සියළුම සමාජ කණ්ඩායම් සහ මට්ටම්වල සමාජ- දේශපාලනමය සහ දෘෂ්ඨිමය ඒකාග්‍රතාවය දිනා ගනී. සමාජවාදී ජාත්‍යන්තර මූලධර්ම මත පිහිටා ජනතාවන් අතර මිත්‍රත්ව සම්බන්ධතා ඇති කරයි.

නිර්ධන පංති ආඥාදායකත්වය සමාජවාදයේ ජයග්‍රහනයෙන් පසු ක්‍රමක්‍රමයෙන් පොදුජන සමාජවාදී රජයක් දක්වා වර්ධනය වේ. සියල්ලටම පෙර එය සමාජයට අත්‍යාවශ්‍ය වැදගත් ආර්ථික සංවිධානාත්මක කාර්යයන් රැසක් ඉටු කරයි. රජය, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්, ආර්ථිකය කෙරෙහි සමාජයේ මූලික අවශ්‍යතාවයන් පිළිබිඹු කරයි. රටේ ආර්ථික රටාව සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ සහ පාලනය කිරීමේ කටයුතුවල යෙදේ. සමාජය ඉදිරියේ මතුවන ප්‍රශ්න විසඳීමේ දී පොදු ජන රජය මූලික සංවිධානය ලෙස ක්‍රියා කරන අතර වැඩකරන ජනතාවගේ පුද්ගලික හා පොදු අවශ්‍යතාවයන් ආරක්ෂා කරන අතරද සමාජ නීති සංථතියන් ක්‍රියාත්මක කිරිමට උපකාරී වේ. සියළුම වැඩකරන ජනතාවගේ සහයෝගය මත ක්‍රියාත්මක වන පොදුජන රජය සමාජවාදී සමාජයේ නීති ප්‍රතිපත්ති සහ නියමිත අවම යුතුකම් උල්ලංඝනය කරනවුන් සම්බන්ධව අවශ්‍ය දඬුවම් පැමිණවීම කරයි.

සංස්කාතික ලෙස හැඩගැස්වීමේ කාර්යයන් ආර්ථික සංවිධානාත්මක කාර්යයන් හා සම්බන්ධය. සමාජවාදි රජය ජනතා අධ්‍යාපනය පිළිබඳවත් වැඩකරන ජනතාවගේ සංස්කෘතික සහ තාක්ෂණික දැනුම මට්ටම උසස් කිරීම පිළිබඳවත් කටයුතු කරන අතර කොමියුනිස්ට් විඥානය හා විශ්වාසය ඇතිකිරිම සඳහා තත්වයන් ඇති කිරීම සඳහා ද විශාල වැඩ කොටසක් ඉටු කරයි.

සමාජවාදී රජය රටේ ආරක්ෂාව පිළිබඳ වැදගත් කාර්යයන් ඉටු කරන අතර වැඩකරන ජනතාවගේ සමාජවාදී ජයග්‍රහණයන් රැකීමත් සමාජවාදී රටවල් අතර මිත්‍ර සම්බන්ධතා සහ සහයෝගීතාවය වර්ධනය කිරීමටත් ක්‍රියා කරයි. සමාජවාදී රජය ජාත්‍යන්තර විප්ලවකාරි විමුක්ති ව්‍යාපාරයට අනුබලය දෙයි. සාමය සහ ජාත්‍යන්තර සුරක්ෂිතභාවය ආරක්ෂා කරයි.

සමාජවාදය යටතේ සමාජයේ සමාජිකයන් අතර ද්‍රව්‍යමය වටිනාකම බෙදීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ඔවුන් සමාජයට දෙන ශ්‍රමයේ ප්‍රමාණය හා තත්වය අනුව ය. “සැවොම තම හැකියාව අනුව, සැමටම තම ශ්‍රමය අනුව” යන මූලධර්මය අනුව ය.

අධ්‍යාපන ක්‍රමය නූතන කිරීමෙන් හා දියුණු කිරිමෙන් මිනිසුන්ගේ හැකියාවන් දියුණු කිරීම පිළිබඳ වගකීම ද සමාජය බාර ගනී. වැඩ කරන සියළුම ජනතාවගේ අධ්‍යාත්මිකය වර්ධනය කිරීමේ දී සහ නිර්මාණාත්මක ශ්‍රමයට හුරු කරවීමේ දී පොදු ද්විතීක අධ්‍යාපනය විශාල වැදගත්කමක් ඉටු කරනු ඇත.

සමාජවාදී සමාජයේ බලාපොරොත්තුව මිනිසෙක්, ඔහුගේ හැකියාවන් හොඳින් උපයෝගී කර සමාජයට වැඩි ප්‍රයෝජනයක් ගෙන දෙන තැනක සේවය කරවීම ය. සමාජවාදී සමාජය එය ඉතා වැදගත් කර්තව්‍යයක් ලෙසින් සලකයි.

ශ්‍රමයට අනුකූලව ලැබීම නම් වූ සමාජවාදී මූලධර්මය වැටුප් ක්‍රමයෙන් පිළිබිඹු වේ. කොමියුනිස්ට් ක්‍රමය යටතේ නිෂ්පාදන බලවේගයන් හා ශ්‍රමයේ ඵලදායීත්වය පාරිභෝගික භාණ්ඩයන් අධික ලෙස නිපදවිය යුතුය. කොමියුනිස්ට්වාදය යටතේ බෙදාහැරීම පිළිබඳ “සැවොම තම හැකියාව අනුව, සැමටම තම අවශ්‍යතාවය අනුව” යන උසස් මූලධර්මයක් පවතී. එම මූලධර්මය තහවුරුවිම සඳහා නිෂ්පාදන දියුණුව නව ගුණාත්මක අවධියක් වන කොමියුනිස්ට්වාදයේ ද්‍රව්‍යමය කාර්මික පදනමට ලඟාවිය යුතුය. එම තත්වය යටතේ මිනිසා ද උසස් අවධියකට ගමන් කරයි.  සමාජවාදය යටතේ නගරය සහ ගම අතර වෙනසත්,  කායික හා මානසික වශයෙන් ශ්‍රම විභජනයත් යම් තරමකින් පවතී. අර්ධ පුහුණු ඒකාකාර ශ්‍රමය  පවතී. පැරණි ශ්‍රම විභජනයේ නෂ්ඨාවශේෂ සහ මිනිසාගේ අධ්‍යාත්මික වර්ධනය සීමාකරන නිර්මාණාත්මක නොවන ශ්‍රමය නැති කිරීමට තාක්ෂණයේ උසස් දියුණවක් ලබා ගැනීම සඳහා නිෂ්පාදනයට සෑම අතකින්ම විද්‍යාව සහ තාක්ෂණය යෙදීම, නිෂ්පාදනයට සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර සහ ස්වයංක්‍රීය ක්‍රම යෙදීම සහ උසස් නිෂ්පාදන ශක්තියක් තිබිය යුතුය. එම කාර්යයන් ඉතා විශාලය. සංකීර්ණ ය. නමුත් ඒවා විසඳීම මිනිස් ප්‍රගතියේ සියළුම අංශයන්ගේ ප්‍රගතිය සඳහා සහ මිනිසාගේ හැකියාවන් නොයෙක් විදිහේ නිර්මාණාත්මක ශ්‍රමයේ යෙදීම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යමය පදනම සාදයි.

ශ්‍රමය වගකීමක් සහ පැවැත්මක් පමණක්ය යන මාධ්‍යයෙන් වෙන්ව, මූලික අත්‍යාවශ්‍යතාවයක් යන උසස් මට්ටමට පත් වේ. මිනිසා බලකිරීමකින් තොරව ශ්‍රම ක්‍රියාදාමය පිළිබඳව උනන්දුවීම මෙයින් ප්‍රධාන වේ.  කොමියුනිස්ට් ක්‍රමයේදී පමණක්, එනම් සමාජයේ උසස් ආර්ථික හා අධ්‍යාත්මික මේරීමක දී හා පුද්ගලිකත්වය සෑම අතකින්ම දියුණු කිරීමෙන් නගරය, ගම අතරත් මානසික හා කායික ශ්‍රමය අතර පවතින වෙනස දුරු කිරීම සම්පූර්ණයෙන් ස්ථිර වන අතර සමස්ත සමාජ මට්ටමකින් කොමියුනිස්ට් ශ්‍රමය ශක්තිමත් වේ.

සමාජවාදයේදී ද කම්කරු, ගොවි සහ බුද්ධිමත් ස්ථර අතර වෙනස පවතී. සමාජය කොමියුනිස්ට්වාදය කරා ගමන් කිරීමේදී එම වෙනස ක්‍රමනානුකූලව අහෝසි වේ. කෘෂිකාර්මික ශ්‍රමය කාර්මික ශ්‍රමයේ එක් විධියක් බවට පත්වීමෙන් කම්කරුවා සහ ගොවියා අතර වෙනසත් දුරුවේ. නිෂ්පාදනයට විද්‍යාවේ ජයග්‍රහණය යෙදීම කම්කරුවා අතින් වැඩිදුර දැනීමක් බලාපොරොත්තු වේ. එය ක්‍රමනානුකූල ලෙස මානසික හා කායික ශ්‍රමය අතර පරතරය අඩු කරයි. ඒ අයුරින් පංති රහිත – එනම් මිනිසා සූරාකෑම (එය සමාජවාදයේ යටතේදීම ඇතිවිය හැකිය) පමණක් වැඩකරන ජනතාවගේ පංති අතර වෙනසද නැති කළ සමාජයක් ගොඩ නැගේ.

පංති අතර සහ සමාජ ස්ථර අතර වෙනස නැති කිරීම පුද්ගලික වෙනස නැති කිරීම නොවේ. පංති අහෝසි කිරීමෙන් පසු පූර්ණ සමානත්මතාවය ප්‍රයෝගික සත්‍යයක් බවට පත්වේ. මිනිසාගේ සීග්‍ර දියුණුව ඇති කිරීම සඳහා සියළුම අත්‍යාවශ්‍ය තත්වයන් සහ පුද්ගලිකත්වය වර්ධනය වීමේ මූලික කරුණු නිර්මාණය වේ.

සමාජ සම්බන්ධතා ක්ෂේත්‍රයේ සහ ආර්ථික ජීවිතය සංවිධානය කිරීමේ හා පාලනය කිරීමේ ක්‍රමවල විශාල වෙනස්කම් සිදුවේ. කම්කරු පංතිය බලය අතට ගත්තේ ස්වකීය පාලනය අමරණීය කිරීමට නොව පොදුවේ පංති භේදය විනාශ කර දැමීමට ය.

සමාජය කොමියුනිස්ට්වාදය කරා ගමන් කිරීමේ දී මිනිසාගේ හැසිරීම පාලනය කරන චරිත ලක්ෂණයන්ගේ බලපෑම වැඩිවේ. සෑම පුද්ගලයෙකු විසින්ම තම කොටස සමාජය ඉදිරියේ ස්වකීය කැමැත්තෙන් සහ සිතා මතා ඉටුකරයි. ඒ අනුව කොමියුනිස්ට් සමාජය, ස්වයං පාලිත ඇතිවීමේ හැකියාව වැඩිවේ. රජය මිය යයි. නමුත් රජය අතුරුදහන්වීමේ ප්‍රශ්නය අභ්‍යන්තර සහ බාහිර කරුණු මත රඳා පවතී.  රජය පිළිබඳ ඓතිහාසික අවශ්‍යතාවය නැතිව යන්නේ යුධ බිය සහ සමාජ විශමතා තුරන් වූ පසුව ය. එම තත්වය ඇතිවන්නේ කොමියුනිස්ට් ක්‍රමය ලෝකයේ රටවල් විශාල ගණනක ඇතිවීමෙන් පසුව ය.

1.16පංති, සමාජ ස්ථර සහ පංති අරගලය

වර්තමාන සමාජය ආර්ථක සම්බන්ධතා මත ප්‍රතිවිරුද්ධ පංතිවලට බෙදී තිබේ. එහෙත් “කම්කරු පංතිය” යනු ඉතිහාසයට අයිති දෙයක් මිස වර්තමානයේ පවතින දෙයක් නොවන බව තර්ක කරන සමහරු උදාහරණයක් ලෙසින් සමාගම්වල කොටස් සේවකයින්ට හිමි කර ගෙන ඇති බව දක්වයි. වර්තමානයේ දී පංති සීමා වෙනස් වී ඇති බව පවසන ඔවුහු පංති වෙනස්කම් අහෝසි වෙමින් පවතින බව පවසති.  පංති පවතින බව පිළිගන්නා බොහෝ දෙනා පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මිනුම් දඬුවල බරපතල දෝෂ පවතී. කෙනෙකුගේ පංතිය අර්ථ දක්වනුයේ ඔහු හෝ ඇය අඳින ඇඳමින් පැලඳමෙන් හා ඒ අය පරිහරණය කරන භාණ්ඩවලින් බව සමහරු සිතන බව පෙනේ. සෙලියුලර් දුරකථන භාවිතා කරන වැටුප් ශ්‍රමිකයින් නිර්ධන පංතියට අයත් නොවන බව සමහරු තර්ක කරති. ඒ අතර පංතීන් මනිනු ලබන්නේ පුද්ගලයින්ගේ මානසිකත්වයෙන් බව තවත් අය කියති.  බෙහෝ අය තමන් මධ්‍යම පංතිකයින් බවට සිතන බැවින් ඔවුන් තව දුරටත් නිර්ධනීන් නොවන බව ඔවුන්ගේ තර්කයයි. ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය තුල (විඥ්ඥාණයේ) බල පැවැත්වෙන්නේ එම යුගයේ පාලක පංතියේ පංති මතවාදය බව දන්නා අයට මානසිකත්වය මත පංති වර්ගීකරණය වැරදි බව අවබෝධ වේ.
මේ නිසා පංති හඳුනා ගන්නා මිනුම් දණ්ඩ හඳුනා ගැනීමෙන් පංති පවතිනවා ද සහ පංති වෙන් කෙරෙන සීමාවන් ද හඳුනා ගත හැකි වේ. ලෙනින්වාදී විග්‍රහයට අනුව පංතීන් විග්‍රහ කරන්නේ කෙසේ දැයි බලමු.

මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූවක් නිසාත්, ඕනෑම යුගයක මිනිසාගේ සමාජ විඥ්ඥානය හසුරුවනුයේ නිෂ්පානදයේ සම්බන්ධතාවන් විසින් නිසාත් පංති විග්‍රහ කළ යුත්තේ බාහිර සාධක මත නොව නිෂ්පාදන කොන්දේසි මත වේ. මේ ගැන ලෙනින්ගේ විග්‍රහය මෙසේය.

ඉතිහාසය විසින් නිශ්චය කරන ලද සමාජ නිෂ්පාදන ක්‍රමයක දරන ස්ථානය අනුවද, නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි (වැඩි වශයෙන් නීත්‍යානුකූලව, නීති ගත කොට තහවුරු කරන පරිදි) සම්බන්ධ වී ඇති ආකාරය අනුවද, සමාජමය ශ්‍රම සංවිධානයේදී ඉටු කරන කාර්ය කොටස අනුවද, ඒ අනුව තමන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජමය ධන සම්පත් ලබාගැනීමේ ප්‍රමාණය අනුවද එකකින් අනෙක වෙනස් වෙන විශාල ජන කණ්ඩායම් පංති වෙයි.”

– ලෙනින් එකතු කළ කෘති 39 වෙළුම 15 පිට

මේ අනුව පංතීන් යනු නිෂ්පාදන ත්‍රියාකාරීත්වයේ දී ඔවුන්ගේ සම්බන්ධය හා දායකත්වය අනුව එකිනෙකාගෙන් වෙන් කරනු ලබන ජන කණ්ඩායම් බවත් පංති බෙදීමේ මිනුම් දණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වන සම්බන්ධතාවය බවත් පැහැදිලි වේ. සමාජය තුල ප්‍රධාන පංති දෙකක් පවතී. එ්වා නම්  ප්‍රාග්ධන හිමි හා ශ්‍රමය සූරාකන ධනපති පංතිය සහ ඒ නිසාම ශ්‍රමය විකිණිමෙන් ජීවත් වෙන නිර්ධන පංතිය  වේ.

තවත් සරළව පවසනවා නම් ශ්‍රමය හැරුණු විට ජීවත්වීම සඳහා විකිණීමට කිසිවක් නොමැති ජන කොටස නිර්ධන පංතියටත්, දේපල හිමි, ප්‍රාග්ධනය හිමි ඒ මගින් ශ්‍රමය සූරා කන ජන කොටස ධනපති පංතියටත් අයත් වේ.

ප්‍රාග්ධනයේ අයිතියේ ප්‍රමාණය සහ සූරාකෑමේ ප්‍රමාණය අනුව පංතීන් තුල අතුරු බෙදීම් පවතී. ඒවා අර්ධ නිර්ධන, සුළු ධනේෂ්වර ලෙසින් හැඳින්විය හැක. පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා පුද්ගල මානසිකත්වය හෝ බාහිර සාධක යොදා ගත නොහැක.  වත්මන් සමාජය ඉතාම සංකීර්ණ වී තිබේ. සමහර පුද්ගලයෝ රැකියාවට අමතරව කුඩා ව්‍යාපාර පවත්වාගෙන යති. වැටුප් ලබන රැකියාව නිසා එම පුද්ගලයා නිර්ධන ලෙස හඳුනා ගත හැකි බව කෙනෙකු පවසන විට ප්‍රාග්ධනයක් යොදා ව්‍යාපාරයක් කරන බැවින් ධනපතියෙකු ලෙස හඳුනා ගත හැකි යැයි තවත් කෙනෙකු පැවසිය හැකිය. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ ජීවිතය කෙරෙහි තීරණාත්මකව බලපාන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුය. රැකියාව තීරණාත්මක නොවන්නේ නම් ඔහු රැකියාව අත්හැර තම කුඩා ව්‍යාපාරය වෙත සම්පූර්ණ කාලය යොදනු ඇත. ඔහු කුඩා ව්‍යාපාරයක් වෙත යොමු වී තිබෙන්නේ ශ්‍රමය විකිණීමෙන් ලැබෙන ආදායම තම ජීවන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතන නිසා ය. කුඩා ව්‍යාපාරය ඔහුගේ ජීවිතයට අමතර උදව්වක් වී තිබේ. ඒ තැනැත්තා අර්ධ නිර්ධනයෙකු වේ.

සමාජය තුල පන්තීන්ට අමතරව සමාජ ස්ථර හා සමාජ පැලැන්ති නම් ව්‍යූහයක් ද පවතී. ඒවා පංති ලෙසින් වරදවා වටහා නොගත යුතුය.සමාජ ස්ථරයක් යනු සමාන කාර්යයක නියැලී සිටින පිරිසක් හඳුන්වන නමකි. උදාහරණයක් ලෙසින් ඉගෙන ගන්නා පිරිස ශිෂ්‍යයින් ය. වගා කරන පිරිස ගොවීන් ය.  ධීවරයින් තවත් උදාහරණයකි. මේ සමාජ ස්ථරයන් ය. සමාජ පැලැන්ති යනු සමාජ කටයුත්තක නියැලෙන හා එයින් වරප්‍රසාද ලබන පුද්ගලයින් ය. නිලධාරී පැලැන්තිය හා පූජක පැලැන්තිය මේ සඳහා උදාහරණ වේ.  ස්ථර හා පැලැන්ති පංති නොවන අතර විවිධ පංතීන්ට අයත් පුද්ගලයින් ස්ථර හා පැලැන්ති තුලින් හඳුනා ගත හැකිය. මේ අනුව සමාජ පන්තීන් යනු නිෂ්පාදනයට දක්වන දායකත්වය හා සම්බන්ධතාවය අනුවත්, සමාජ සම්පත්වල ඵල අයත් කර ගන්නා ආකාරය හා ඒවායේ හිමි අහිමිකම අනුවත්, එකිනෙකාගෙන් වෙන් කරනු ලබන විශාල ජන කණ්ඩායම් බවත්, මෙම ජන කණ්ඩායම් අතර නිරපේක්ෂ සීමා නොමැති බවත්, මේවා තුල සිටින මිනිසුන් එක් පංතියක සිට අනෙකට නගිමින් හෝ එකකින් අනෙකට වැටෙමින් සිටින බවත් පැහැදිලි වේ.

1.17සමාජවාදී සමාජයක පවතින පංති

සමාජවාදය යටතේ ප්‍රතිවිරුද්ධ පංති නැත්තේ සියලුම කර්මාන්තශාලා සහ භූමිය සමාජවාදී රජය සතු නිසා සූරාකෑම අහෝසි වන බැවිනි. කුඩා පරිමාණ ගොවි ඉඩම්, සමූහ ගොවිපලවල් යටතේ සමුපකාර බවට පත්කිරීම සහ ඇත ි කිරීම කළ යුතුය. එනම් කුඩා පරිමාණ ගොවියන්ගේ ඉඩම් වන පෞද්ගලික අයිතිය සමූහ ගොවිපළේ සාමූහික අයිතිය බවට පත් කරනු ලැබීමය. රජයේ භූමිය සදාකාලික පාවිච්චිය සඳහා සමූහ ගොවිපලවලට දෙනු ලැබේ.
ඒ අනුව නූතන කාර්මික හා විද්‍යා ජයග්‍රහණ ගොවිතැන සහ සත්ව පාලනයට යෙදීමට හැකි විශාල කෘෂිකාර්මික නිෂ්පාදන බිහිවේ. එයින් ගොවියාගේ සමාජමය ස්වභාවය වෙනස් වේ.
සමාජවාදී සමාජය වැඩ කරන ජනතාවත් අතර එනම් කම්කරුවන් හා ගොවීන් අතර එසේම ඔවුන් සහ බුද්ධිමතුන් වන මානසික ශ්‍රමයේ යෙදී සිටින්නන් අතරත් වෙනස්කම් පවතී. නමුත් සියළුම සමාජ කොටස්වල මූලික හා ප්‍රධාන අරමුණ ගැලපෙන බැවින් එම වෙනස්කම් පරස්පර විරෝධී නොවේ. සියලුම ජනතාව සමාජවාදී ක්‍රමය දියුණු කිරීම හා ශක්තිමත් කිරීම සඳහා වෙහෙසෙන අතර සමාජයේ ඉදිරි ආර්ථික හා සංස්කෘතික ප්‍රගතිය පිළිබඳව කොමියුනිස්ට් සමාජය ගොඩනැගීම පිළිබඳව උනන්දු වෙති. සමාජවාදී සමාජය තවදුරටත් වර්ධනය වීමේදී පංති අතර වෙනස ක්‍රමක්‍රමයෙන් මැකී යයි. අද විද්‍යා තාක්ෂණික විප්ලවය, කෘෂිකාර්මික නිෂ්පාදනය කාර්මික නිෂ්පාදනයේ ම විවිධත්වයක් බවට පත් කරයි. සංස්කෘතික සහ වෙනත් පහසුකම් අතින් ගම නගරයට ළං වෙයි.
නූතන විද්‍යා තාක්ෂණික විප්ලවය සමාජීය ව්‍යුහය වෙනස් කිරීමට උපකාරී වේ. කාර්මික දියුණුව කොතෙක් නූතන වන්නේද එතෙක් දුර විද්‍යාව නිෂ්පාදනයට උපයෝගී කරගැනීම සිදුවේ. ස්වයංක්‍රීය කිරීම සහ සංකීර්ණ ලෙස යන්ත්‍ර සූත්‍ර යෙදීම පැතිරේ. කායික හා මානසික ශ්‍රමයන් ලං වේ. සියලුම ජනතාවගේ අධ්‍යාපනික මට්ටම දියුණු වේ. එනම් බුද්ධිමතා හා වැඩකරන ජනතාව අතර සීමාව මැකී යයි.
සමාජවාදී සමාජයක් දියුණු වන විට මිනිසුන් අතර පවතින්නේ දක්ෂතාවයන් හැකියාවන් උනන්දුවේ මට්ටම හා දැනීමේ අතර පමණක් වේ.
නමුත් පංති පවතින තාක් සමාජයේ ප්‍රධානම කාර්යභාරය ඉටු කරමින් සිටින්නේත් අනාගතයේ දී ඉටු කරන්නෙත් සියල්ලටම වඩා ඒකරාශි වූ සංවිධාත්මක වූ ඒ සියල්ලටම ඉදිරියෙන් කොමියුනිස්ට් දෘෂ්ටිය රැගෙන යන්නා වූත් කම්කරු පංතියයි.
සමාජවාදී සමාජයේ පංති අතර හා සමාජ කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවය සමාජීය දේශපාලනමය හා දෘෂ්ටිමය එකඟත්වයත්වයයි. එම එක්සත්භාවය සමාජවාදයේ වැදගත්ම ජයග්‍රහණයකි. එය ජනතාවගේ සියලුම උත්සාහයන් කොමියුනිස්ට් සමාජය ගොඩ නැගීමේ අරමුණ සඳහා එක්සත් කරයි. ඒ අනුව සමාජයේ දේශපාලනමය එක්සත්භාවය සමාජවාදී වර්ධනයේ ගාමක බලයකි.
අලුත් දෙයක් ගොඩනැඟීමේදී නිතරම මින් පෙර නොදුටු කුමක් හෝ කිසියම් දෙයක් ඇතිවේ. එසේම තව දෙයක් නැතිවෙයි. පැරණි වේ. එක් ආකාරයක ප්‍රතිවිරුද්ධතාවයක් අතුරුදහන් වන අතර සමාජය වර්ධනයට සම්බන්ධ වෙනත් ඒවා ඇතිවීමට පුළුවන. එම විරුද්ධතා පරස්පර විරෝධී නොවේ. සමාජවාදී සමාජය වර්ධනය වන හා ශක්තිමත් වන තරමින්ම සමාජීය වටිනාකම වැඩිවීම ප්‍රතිවිරුද්ධතාවයන් සමථයට පත්කිරීම සඳහා වඩාත් සුදුසු තත්ත්වයන් ඇති කරයි. ඒ අනුව කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ පළමු වන අවධිය වන සමාජවාදී සමාජය තුළ සියලුම ආකාරයේ සූරාකන්නන් ගේ පංතියෙන් අහෝසි කර ඇත. එය ප්‍රධාන වශයෙන් සමාජ කොට්ඨාස අතර සහ වැඩකරන ජනතාවගේ පංති අතර ශේෂයන් වශයෙන් හෝ ඉතිරිවී තිබෙන වෙනස නැති කිරීමටත් කොමියුනිස්ට්වාදයට ළඟාවීම සඳහා අවශ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම හා ගොඩනැගීමත් අරමුණ කරගත් සමාජයකි.

1.18සමාජය, පෞද්ගලිකත්වය හා සමූහය

ඉතිහාසයේ ගමන සැකසෙන්නෙ ජන සමූහයකගේ ක්‍රියාවන්ගෙනි. පංති සමාජයක නම්, පංතීන්ගේ ක්‍රියාවන්ගෙනි.  එක් පුද්ගලයෙකුගේ ක්‍රියා ඉතිහාසයේ ගමන කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවක් එයින් අදහස් නොකෙරේ. පංතීන්ගේ,   රාජ්‍යයන්ගේ,   ජාතින්ගේ,  ජනතාවන්ගේ ක්‍රියාවන් ගැන ඉතිහාසයේ ලියැවී තිබෙන්නාක් මෙන්ම ජනතා වීරයන්ගේ, රාජ්‍ය නායකයන්ගේ, ජනරාල්වරුන් ගේ ක්‍රියාවන්ද, ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් ද, ජනතා කැරලිද, බිහිවූ වීරයන් ගැන ද, අධ්‍යාපනය සංස්කෘතිය හා කලාව වෙනුවෙන් සේවයක් කළ පුද්ගලයන් ගැන ද ලියා ඇත.

ජනතාවගේ සිත් තුළ මතකයක් ඉතිරි  කළ, යම්කිසි මට්ටමකින් හෝ සිද්ධි වේගවත් කළ හෝ මන්දනය කළ පුද්ගලයන් ගැන ඉතිහාසයේ සටහන් වේ.

සමාජ දේශපාලන ක්ෂේත්‍රයේ සිද්ධීන් වෙත සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැක්කේ දේශපාලනයේ සහ හමුදාවේ නායකයන්ට ය. යුද්ධ හමුදා දෙකක් සටන් කරද්දී ජයග්‍රහණය නොයෙක් කරුණු මත රඳා පවතී.  අණ දෙන නිළධාරින්ගේ පුද්ගලිකත්වය ද එහි දී සැලකිය යුතු කොටසක් ඉටු කරයි.  යම් සිද්දියකදී ජනරාල්වරයකු දක්වන හැකියාව සහ පුද්ගලික ගති ලක්ෂණය ඉතා වැදගත් සාධකයකි.  බලවත්  දේශපාලන පක්ෂ හා ශක්තිමත් රාජ්‍යයන් සමඟ සිටින දේශපාලනඥයින් ගැන ද එලෙසින්ම පැවසිය හැකිය. දේශපාලන නායකයන් විසින් ගනු ලබන හොඳ නරක තීරණ මගින් ඉතිහාසයේ ගමන කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි.  අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.  නිර්ධනයන් ගේ විප්ලවකාරී ව්‍යාපාරය ප්‍රණාත්මක වශයෙන් නව නායකයින් බිහි කළේය. ජනතාවගේ හා කම්කරු පංතියේ අවශ්‍යතාවය සහ ඕනෑකම් තේරුම් ගත් පුද්ගලයෝ එම නායකයින් බවට පත්වූහ.  කම්කරු පංතියේ නිර්ධන පංති විප්ලවයේ නායකයන් වූ කාල් මාක්ස් එංගල්ස් සහ  ලෙනින් ඉතිහාසය ගමනට විශාල බලපෑමක් ඇති කළා පමණක් නොව ස්වකීය අදහස් වලින් සහ ක්‍රියාවන්ගෙන් කම්කරු පංතිය සමාජවාදය සඳහා සටන මෙහෙයවීමේ නව යුගයක් ආරම්භ කළහ.

සංස්කෘතික, විද්‍යා හා කලා ක්ෂේත්‍රයන් ගත්විට මිනිසුන්ගේ ජීවිතය හා විඥානය කෙරෙහි බලපාන්නේ ස්වකීය ගවේෂණයන්ගෙන් මිනිසාගේ දැනුම නිධාන පොහොසත් කළ උසස් කෘති නිර්මාණය කළ මනුෂ්‍ය සංහතියට නව කාර්මික නිපදවීම පුද කළ මිනිසුන් වේ.

සමාජ විද්‍යාව ඓතිහාසික නීති පිළිබඳ දැනුම උපයෝගී කරගනිමින් මිනිසුන්ගේ අතීත හා වර්තමාන ක්‍රියාවන් තේරුම් කිරීමටත් විද්‍යාත්මක ලෙස අනාගතය දෙස බැලීමටත් සූදානම් වේ.  නමුත් ඉතිහාසයේ ගමන වාස්තවික නීතීන් මත පමණක් රඳා නොපවතී. ඉතිහාසය නිර්මාණය කරන්නවුන් වන ජනතාව, පංති විවිධ ව්‍යාපාරයන්ගේ නායකත්වය ගත් පුද්ගලයන් සහ විශේෂයෙන් ස්වකීය ගුණාංගයන්ගෙන් හා තත්ත්වයන්ගේ සිදුවීම් වර්ධනය කෙරෙහි බලපෑ හැකි පුද්ගලයින් මත රඳා පවතී.

සාමාන්‍ය මිනිසාගේ පුද්ගලිකත්වය ගැන කුමක් කිව හැකිද?

මිනිසා, ඔහුගේ ඓතිහාසික වර්ධනය, ඔහුගේ ක්‍රියාකලාපයන් සමස්තයම සමාජ විද්‍යාවන් මගින් අධ්‍යනය වී තිබේ. මාක්ස්වාදී සමාජ විද්‍යාවේ දී “මිනිසා” සමාජීය පැවැත්මක් ලෙස සලකයි.   මිනිසාගේ  සමාජීය සවභාවය ඓතිහාසික ය. ඔහුගේ ස්වභාවය, ඔහු වැඩුණු ජීවත් වන සහ වැඩකරන සමාජයෙන් නිගමනය වේ.  එම තත්වයන් පදනම් කර ගනිමින් මිනිසාගේ හරය අර්ථ දැක්වූ මාක්ස් එය සියලුම සමාජ සම්බන්ධතාවයන්ගේ එකතුවක් බව ප්‍රකාශ කළේය. මිනිසා කවරාකාර දැයි තේරුම් ගැනීම සඳහා පළමුව ඔහු බිහිවී සිටින සමාජය අධ්‍යයනය කළ යුතුය.

ආදි කාලීන සමාජයේ මිනිසා, සමූහයේ ගෝත්‍රයේ සාමාජිකයකු වූ අතර ඔහුගේ විඥානය සම්පූර්ණයෙන් තීරණය වූයේ එම වර්ගයේ හා ගෝත්‍රයේ පැවති හැඟීම්වලිනි. පංති සමාජය දියුණුවත්ම පුද්ගලිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය විය.   වහලාගේ, වහල් හිමියාගේ, රදළයාගේ සහ ප්‍රවේණි දාසයා ගේ පුද්ගලිකත්වය  එකිනෙකාගෙන්  වෙනස් විය. ධනවාදී සමාජයේ දී සියලුම මිනිසුන් නාමික වශයෙන් සමාන වේ.  එහෙත් ප්‍රායෝගික තලයේ දී ධනය හා තත්ත්වය අනුව සියලු මිනිසුන් සමාන නොවේ.  මිනිසුන් අතර සත්‍ය සමානත්වය ගොඩනැගෙන්නේ සමාජවාදය සහ  කොමියුනිස්ට්වාදය යටතේ පමණි .  කොමියුනිස්ට් සමාජය සියලු දෙනාගේම බහු ආංශික වර්ධනය උදෙසා යෝග්‍ය වන තත්වයක් ගොඩ නගයි.  එය සමාජයේ සහ පුද්ගලිකත්වයේ අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබඳ ගුණාත්මක   අවධියකි. සමාජවාදයේ දී මිනිසාගේ පුද්ගලිකත්වය තවදුරටත් වර්ධනය වේ.  සමාජ ජීවිතය කොතරම් විවිධ ද, සංස්කෘතික වශයෙන් කොතරම් උසස් ද,  ජනතාවගේ අධ්‍යාත්මික වටිනාකම් ද එම තත්වයන්ට සාපේක්ෂව පොහොසත් වේ. පුද්ගලයකුගේ අධ්‍යාත්මික ලෝකය කොතරම් උසස් වන්නේ ද, එතරම්ම ඔහුගේ පුද්ගලිකත්වය ද දීප්තිමත්ය.

අතීතයේ මානව ක්‍රියාදාම ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණයන්ගෙන් සමන්විත විය.  සමාජීය හා සංස්කෘතික ප්‍රගතියේ  ඵල, සූරාකෑමේ පංති විසින් තම වාසිය වෙනුවෙන් යොදා ගැනීමෙන් වැඩ කරන ජනතාව අඳුරේ, දරිද්‍රතාවයේ හා  නූගත්කමේ තබමිනි. වර්තමාන ධනේෂ්වර ක්‍රමය මගින් වැඩකරන ජනතාව සමාජීය ලෙස අලස වූ නියාලු මිනිසුන් බවට පත්කිරීමේ උත්සාහ කරයි. ඒ සඳහා  චිත්‍රපටි ගුවන්විදුලිය රූපවාහිනිය සහ පුවත්පත් ආදී මාධ්‍යයන් යොදා ගනී.  එවැනි ජන සන්නිවේදන මාධ්‍ය භාවිතාවන් මගින් යථාර්තයෙන් මිනිසුන් ඈත් කරවන අතර සමෘද්ධිමත් අනාගතයක් උදෙසා කරන සටනින් ඔවුන් ඈත් කිරීමේ අදහස් වලින් පුරවා ඇත.  ඒ අරමුණු තුළ බහුජන සංස්කෘතිය යනුවෙන් හඳුන්වාගන්නා ඊනියා සංස්කෘතිය මගින් මිනිසාගේ අවශ්‍යතාවල මට්ටමක් ඇති කරන අතර පුද්ගලිකත්වය නියාලු කරයි.

සමාජවාදී සමාජයක් යටතේ සංස්කෘතියේ වර්ධනය එක් අරමුණක් කෙරෙහි යොමු වෙයි. ඒ මිනිසාගේ පුද්ගලිකත්වය දීප්තිමත්ව ගොඩනැගීම සඳහා ය. ඒ සම්බන්ධව සැලකිය යුතු තවත් කාරණාවක් තිබේ.

මිනිසා විශාල සමාජ කණ්ඩායම් සහිත සමාජයක් සමග පමණක් නොව ඔහුව නොකඩවා වටකර තිබෙන කුඩා කණ්ඩායම් සමග ද,  වෙන් වූ සාමූහික යන සමඟ ද සම්බන්ධ ය.  මෙසේ සඳහන් වන්නේ ඔහුගේ පුද්ගලිකත්වය ගොඩනඟා ගැනීම සඳහා ඔහු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ඔහු සමග එකට වැඩ කරන කුඩා කණ්ඩායම් සහ පවුල් ගැනය.

සාමූහිකයක් හෝ කුඩා කණ්ඩායමක් යනු මිනිසා හා සමාජය අවට පවතින බැඳීමයි.  උදාහරණයක් වශයෙන් සමාජය ඉදිරියේ මිනිසාගේ ශක්තිය ඔහුගේ කණ්ඩායම තුළ, කර්මාන්තශාලාවේ, සමූහ ගොවිපලේ හෝ ආයතනයේ ඔහු දරන තැන අනුව රඳා පවතී. එකිනෙකා සමග නොකඩවා ගැටෙන සමූහයක් තුළදී නිශ්චිත සම්බන්ධතාවයන් සහිත මානසික වාතාවරනයක් සැකසෙන අතර එය ඉතා බලවත් ලෙස ඔහුගේ සමාජ  බලය කෙරෙහි සහ එම කණ්ඩායම් ජීවිතයට බලපායි.

සමාජවාදය යටතේ සම-කණ්ඩායම් සමාජය ආරම්භක ශෛලියක් වන අතර එම සාමූහිකයන්ගේ වර්ධනය සමාජ ප්‍රගතියේ වැදගත්ම සාධකයකි. කණ්ඩායමේ සාමාජිකයන්ගේ  පුද්ගලික හා සාමූහික අවශ්‍යතාවයන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ නොවන අතර, සමාජීය අවශ්‍යතාවයන් ට ද ප්‍රතිවිරුද්ධ නොවන්නේ නම් පුද්ගලික සාමුහික හා සමාජයීය අවශ්‍යතාවයන් එකතුවේ දියුණුවට උපකාරී වේ.

මිනිසාගේ පුද්ගලිකත්වය වර්ධනය කිරීම ඉතා වැදගත් කාර්‍යයකි. මිනිසාගේ අධ්‍යාත්මික ලෝකය කොතරම් ධනවත් ද එතරම්ම සමාජ ජීවිතය ද විවිධාකාර වේ.

නමුත් පුද්ගලිකත්වය, පුද්ගලවාදය සමඟ මිශ්‍රකර නොගත යුතුය.  පුද්ගලවාදය මගින් මිනිසා සාමූහිකයට විරුද්ධව සිටවා, පළමුවෙන්ම පුද්ගලික අවශ්‍යතාවයන් ඉදිරිපත් කරනු ලබන, පුද්ගලික වාසියට ආසන්න වූ ධනවාදී දර්ශනය සම්බන්ධ චෛතසික ධර්මයකි. පුද්ගලවාදය, ස්වකීය මුල් ධර්මයන්ගේ පදනම මත පිළිබිඹු කරන්නේ සාමාන්‍ය පුද්ගලිකත්ව අවශ්‍යතාවයන් නොව ධනපතියාගේ සැබෑ අපේක්ෂාවන් ය. එනම් අයිතිය සහ ධනපති ක්‍රමය රකින බලය යි.  පුද්ගලවාදයේ මුලධර්ම කම්කරු පංතියට නොගැලපේ. භාවිතා කළ නොහැක. එය මිනිසුන් එකිනෙකාගෙන් දුරස් කරයි. ඔවුන්ගේ සම්බන්ධතාවයන් සහ සමගියට බාධා පමුණුවයි.

පුද්ගලවාදයට ප්‍රතිවිරුද්ධ වූ නිර්ධන පංති දෘෂ්ටිය වන කොමිනියුස්ට් විඥානය පුද්ගලයකුගේ අවශ්‍යතාවයන් හා ක්‍රියාවන් සමූහයේ, පංතියේ සහ සමාජයේ අවශ්‍යතාවයන්ට ගැළපවීම අනිවාර්ය කරන  සාමූහිකත්වයේ මූලධර්මය මත පිහිටයි.

සමාජවාදී සාමූහිකවාදය, පුද්ගලිකත්වය ඇති කිරීමට හා පුද්ගලික නිදහසට ප්‍රතිවිරුද්ධ වේ ද?

මිනිසාට ස්වකීය සංවර්ධනය සඳහා අවශ්‍ය මාධ්‍යන් සොයා ගත හැක්කේ සමාජය තුළින් පමණි.  ඒ නිසා පුද්ගලිකත්වයේ විමුක්තිය උදෙසා සාමුහිකත්වයේ විමුක්තිය දිනා ගත යුතුය.  සමූහයේ විමුක්තිය ඇති කරන්නේ සමාජවාදී විප්ලවයයි.  සමාජවාදය යටතේ අධ්‍යාපනය,  සංස්කෘතිය, ජනතා සුඛිත මුදිතභාවය වර්ධනය වන විට එම සමූහයේ හා සමාජයේ ප්‍රගතිය සඳහා සීමා රහිත ඉඩක් විවෘත වේ.  සමාජවාදී සාමූහිකත්වය පුද්ගලයා සහ පුද්ගලිකත්වයේ සැබෑ වර්ධනය සඳහා මාර්ගය පාදයි.

ඕනෑම කෙනෙකුගේ නිදහස් වර්ධනය සියලු දෙනාගේ ස්වාධීනත්වයේ වර්ධනයේ කොන්දේසියයි”

සමාජවාදී සමාජයක් නිර්මාණය කළ සැනින් එවැනි සමාජයක් බිහි කළ නොහැක. පැරණි සමාජ ක්‍රමයේ ශේෂයන් වන ශ්‍රම විභජනයත්,  නුපුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමයේ ඉල්ලීමත් නැති කළ යුතුය. එවිට ශ්‍රමය අතර පවතින පරතරය හීන වී පුද්ගලයන් අතර සමානාත්මතාවය හට ගනී. මානවයාගේ බහු ආංශික සංවර්ධනය සඳහා සුදුසුවන සමාජ තත්වයන් නිර්මාණය කිරීම ඉටු කළ යුතු ඓතිහාසික ක්‍රියාදාමයයි. සමාජවාදී සමාජය සියලුම ද්‍රව්‍යමය සහ  අධ්‍යාත්මික මාධ්‍යයන් පූර්ණ හා සමබර ලෙස වර්ධිත මිනිසුන් සකස් කිරීම සඳහා යොමු කරයි.

1.19සමාජයේ ආධ්‍යාත්මික ජීවිතය

දෛනික ජීවිතයේ දී සත්‍ය වස්තූන්, ඒවායේ විඥානාත්මක හැඩයෙන්, එනම් ඒවා පිළිබඳ මනස තුළ ඇඳී ඇති ඡායාවෙන් නිවැරදිව හඳුනා ගන්නෙමු. උදාහරණයක් ලෙසින් නාගරිකව පදිංචි පුද්ගලයෙකු තම උපන් ගමේ මහ ගෙදර මතකයට නඟා ගනී. හදිසියේ ඔහුට ගමේ යාමට සිතේ. ගමේ යන්නේ කවදාදැයි සිතයි. ඒ සියල්ලම සිදුවන්නේ විඥානය තුළ ය. එනම් මිනිස් සිත තුළ ය. පුද්ගලයා සැබවින් ගමේ නිවසට පැමිණ හිතවතුන් හමු වූ විට එය සම්පූර්ණයෙන් වෙනස් දෙයකි.  විඥානය තුල පවතින සංකල්ප සිතුවිලි හෝ හැඟීම් ඇති කරවන ඡායාවන් භෞතික පැවැත්මක් නොවන බවත් භෞතික වස්තූන්ගේ පිළිබිඹුවක් පමණක් බවත් පැහැදිලි ය.

මිනිසුන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කරන විට, එම නිෂ්පාදන ප්‍රයෝජනයට ගන්නා විට, හෙවත් මිනිසා සොබාදහමත් සමඟත් සහ එකිනෙකා සමඟත් අන්‍යෝන්‍ය ලෙස ක්‍රියා කරන විට එය සමාජ පැවැත්ම වශයෙන් හැඳින්වේ.

සමාජ පැවැත්ම යනු සමාජයේ භෞතික ජිවිතයයි. නමුත් සමාජ ජීවිතය සමාජ පැවැත්ම පමණක් නොවේ. ඊට හේතුව මිනිසුන් කල්පනා ශක්තියෙන් යුත් බැවිනි. ඔවුහු ශ්‍රමය වැය කරන විට ස්වයංක්‍රීය යන්ත්‍ර ලෙසින් ක්‍රියා නොකරයි. මිනිස්සු ඔවුන් ඉදිරියේ පවතින නිශ්චිත අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෙහෙසේ. ඒ අනුව මිනිසාගේ ඉතාම සරල ක්‍රියාවක දී පවා අධ්‍යාත්මික කොටසක් වන අරමුණු පවතී. අරමුණ නිගමනය වන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අපේක්ෂාවන් සහ ඔහුගේ ක්‍රියාදාමයන් අනුවය. මිනිස්සු අරමුණ ඉදිරිපත් කොට එම අරමුණ ලගා කර ගත හැකි මාධ්‍යයන් සිහිබුද්ධියෙන් යුතුව සකස් කරති. මිනිස් ක්‍රියාවන්ගේ නානාවිධ ලක්ෂණ ඔහු වටපිට පරිසරය සමඟ සංවේදී වන විඥානය හා සම්බන්ධ වේ.

මිනිසුන්ගේ සිතුවිලි සමඟ සෑහීමට පත් කළ යුතු ද්‍රව්‍යමය අවශ්‍යතාවන් මෙන්ම අධ්‍යාත්මික අවශ්‍යතාවයන්ද බිහිවේ. මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතා ආහාර අවශ්‍යතා තරම්ම වැදගත් වේ. පුද්ගලයන් අනුව ද, සමාජය අනුව ද, කාලය අනුව ද, අධ්‍යාත්මික අවශ්‍යතාවයන්ගේ මට්ටම වෙනස් වේ. කෙසේ නමුත් මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතා තෘප්ත කර ගැනීමේ වුවමනාව සැමදා පැවතිනි. උදාහරණයක් ලෙසින් ආදිකාලීන චිත්‍ර, ජන කවි ආදිය පෙන්වා දිය හැකිය. එමගින් තෘප්ත වූයේ මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතාවයන් ය.

ද්‍රව්‍යමය ජීවිතය සමඟ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ වන්නේ එලෙසිනි.  සමාජයේ පැවැත්ම සමඟ සමාජ විඥානය සම්බන්ධ වේ. ද්‍රව්‍යමය හෙවත් මේ අවස්ථාවේදී නම් සමාජ පැවැත්ම, මානසික එනම් සමාජ විඥානය නිගමනය කරයි. සමාජ විඥානය සමාජ පැවැත්ම පිළිබිඹු කරන අතර එයට සාපේක්ෂව දෙවැනි වේ.  නමුත් ඒ එහි අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය සීමා වන්නේ නැත. සමාජ විඥානය එහි විවිධ මුහුණුවර වන, උදාහරණ වශයෙන්, විද්‍යාව, කලාව, සංකල්පනා වැනි සමාජ විඥානය වර්ධනය සෑම නව පියවරක් සමගම සම්බන්ධ වන නිශ්චිත කල්පිත හා හැඟීම් රැස් කරති.

සමාජ විඥානය සමාජ පැවැත්මට සාපේක්ෂව සලකා බලන විට ස්වාධීන වේ. සමාජ පැවැත්ම ඉදිරියේ සමාජ විඥානය පසුබැසිය හැකිය. නැතිනම් විරුද්ධව ඉදිරියට යා හැකිය. සමාජ පැවැත්ම ගැන නිවැරදි හෝ විකෘත අවබෝධයක් දිය හැකි යථාර්ථය ගැන විද්‍යාත්මක කල්පිතයන් හෝ මිත්‍යාවන් ගොඩනැගිය හැක.

සමාජ විඥානය කෙරෙහි එක් එක් මිනිසුන්ගේ රුචි අරුචිකම් පමණක් නොව විශාල සමාජ කොට්ඨාශ හා පංතීන්ගේ රුචි අරුචිකම් ද බලපායි. ල

පංතීන්ගේ අවශ්‍යතාවයන්, එළිදක්වන යථාර්ථය සහ සමාජ සම්බන්ධතාවයන් පිළිබිඹු කරන අදහස් සමූහය, එම අවශ්‍යතාවයන්ගේ දෘෂ්ටිකෝණයට අනුව දෘෂ්ටිය යන නම දරයි. දෘෂ්ටිය සමාජ විඥානය කොටසක් වන අතර එය සමාජ පංති සමාජයේ දී නිරතුරුවම හා සියල්ලටම වඩා ආසන්නයෙන් පංති සමඟත් ඒවායේ අපේක්ෂා සමඟත් පංති අතර අරගලය සමඟත් සම්බන්ධය.

දෘෂ්ටිය, සමාජ ජීවිතයේ දී පක්ෂ හා පංති මෙහෙයවන අතර වෙනත් පංතීන් සමග ගැටීමේදී පංතියේ අපේක්ෂාවන් ආරක්ෂා කර ගනියි.  වර්තමානයේ සමාජයේ පවතින ප්‍රධානම දෘෂ්ටීන් වන්නේ කම්කරු පංතීන්ගේ කොමියුනිස්ට්වාදී, මාක්ස්-ලෙනින්වාදී විප්ලවකාරී දෘෂ්ටිය සහ ලිබරල්වාදී පැසිස්ට්වාදී යනාදි වශයෙන් නොයෙක් මුහුණුවරින් යුත් ප්‍රතිගාමී ධනේෂ්වර දෘෂ්ටියයි.