මුදල විකාශනය වූ හැටි

rsz_racism_eggs
පරෙස්සම්වන්න! අසිපත් රැගත් වඳුරන්….
May 14, 2019
554f74680081b8b8f9019f96f3274e0b_w720_h500
දයලෙක්තික භෞතිකවාදය යනු කුමක්ද?
May 20, 2019
Show all

මුදල විකාශනය වූ හැටි

rsz_currency

සාමූහික මිනිස් ක්‍රියාකාරිත්වය මගින් මිනිස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නා සමාජය, සාමූහික සමානත්වයේදී මිනිස් ශ්‍රමයේ වටිනාකම් සාමූහිකව බෙදා ගන්නා ලද නමුත් පංති සමාජය ඇරඹීමත් සමග එම ශ්‍රම වටිනාකමේ බෙදාහැරීම, හුවමාරු ක්‍රියාවලියක් බවට පරිවර්තනය විය. සමාජ නිෂ්පාදනය බෙදා ගැනිමේදී එහි වටිනාකම නිර්ණය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වූ අතර, එය පහසු කිරීම බාරගනු ලැබුරවේ අතරමැදි මාධ්‍ය ලෙස මැදිහත් වූ මුදල විසිනි.

මෙම වටිනාකම් හුවමාරු කිරීම සඳහා මුදල් ලෙස මුල් වකවානුවේදී ස්වභාවික සම්පත් යොදා ගැනීම සිදුකරනු ලැබීය. ඒ අනුව සතුන්ගේ සම් කැබලි, ඇට කැබලි, ධාන්‍ය, දුම්කොළ, ගස්වල පොතු වර්ග, ගල් අඟුරු හා ලුණු වැනි දෑ ද වටිනාකම් හුවමාරු කරන අතරමැදියා ලෙස යොදාගෙන ඇත. මෙම මිනුම් ප්‍රාදේශීය වශයෙන් හෝ රටවල් ලෙස යොදා ගන්නා ලද අතර, කල්පවත්වා ගැනීම, ප්‍රාදේශීය වශයෙන් යොදා ගත් ද්‍රව්‍යයන්ගේ පැවැති දුලබ බව හා සුලබකම අතර ගැටුම් ඇතිවීම ආදී බොහෝ කරුණු නිසාවෙන් ස්වභාවික ද්‍රව්‍ය, වටිනාකම් හුවමාරුව සඳහා යොදා ගැනීම අසීරු වූ අතර, ඒ නිසාම වඩා පහසුවෙන් වටිනාකම් මැනිය හැකි, ශ්‍රම වටිනාකම් නැතහොත් නිෂ්පාදිතයන්ගේ අගය කුඩාම කොටස්වලට වෙන්කළ හැකි, අන්තර්ගත වටිනාකම, බාහිර වටිනාකම ඉක්මවා නොයන පොදුවේ සියල්ලන්ටම පිළිගත හැකි දෙයක් ‘මුදල’ ලෙස යොදා ගැනීමේ වුවමනාව පැන නැගිණි.

එවැනි විධිමත් මුදල් භාවිතයක මූලාරම්භය ක්‍රි:පූ:630 පමණ තුර්කියේ ලිඩියාහි ඇති වූ බවට සාධක ඇත. මුල් වකවානුවේ ලෝහ හුවමාරු මාධ්‍ය ලෙස යොදාගත් අතර එය කුඩා වටිනාකම්වලට වෙන්කිරීම ඉතා දුෂ්කර විය. 7වන සියවස පමණ වන විට ලෝහ කාසි සකස්කර එහි බර, පිරිසිදු බව, අගය යනාදිය කාසියේ මුහුණත සඳහන් කරන ලදී. ප්‍රාදේශීය හා ජාතික වෙනස්කම් හඳුනා ගැනීම සඳහා එම ප්‍රදේශ හා රටවලට අයත් රජවරුන්ගේ, දෙවිවරුන්ගේ රූප, සත්ව රූප කාසියේ මුහුණත සඳහන් කරනු ලැබීය. පසු කාලීන ‘අච්චු කාසි’වල පදනම එය විය. ලෝකය තුළදී 17 වන හා 18 වන සියවස් තුළ බොහෝ රටවල, විශේෂයෙන් යුරෝපය තුළ දේශීය හා විදේශීය වෙළඳාම ව්‍යාප්ත වීමත් සමග වටිනාකම් හුවමාරු කිරීමේ ක්‍රියාවලියද වඩාත් සංකීර්ණ වූ අතර ඒ සඳහා කලින් නොපැවති විධිමත් බවක් ඉල්ලා සිටින ලදී. කාර්මික විප්ලවයත් සමග කර්මාන්ත ශාලා, රැකියා අවස්ථා, වෙළඳාම ප්‍රවාහනය යනාදිය දියුණු වූ ප්‍රමාණයට සාපේක්ෂව ලෝහ කාසිය වැඩි දියුණු නොවූ බැවින් 19 වන සියවස වන විට බොහෝ රටවල් නෝට්ටු භාවිතයට පිවිසියේය.

නෝට්ටු භාවිතයට පැමිණීමත් සමග නෝට්ටුවලට නීතිමය පිළිගැනීමක් (Legal Tender) ඇති කිරීම සඳහා මුදල් භාවිතා කරන රටවල රජයන්ට ඍජු ලෙසම ඊට මැදිහත්වීමට සිදුවිය. රජය වෙනුවෙන් එම කාර්යය පවත්වා ගෙන යන්නේ රාජ්‍ය බැංකු විසිනි. (ලංකාවේ මහ බැංකුව) කාසි හා නෝට්ටුවලින් ඔබ්බට වර්ධනය වන මුදල් ඊටත් පහසු ආකාරයට වටිනාකම් හුවමාරු කරන ක්‍රෙඩිට් කාඩ්පත් විසින් ඒ සිදුකරයි. සමාජයේ වටිනාකම් හුවමාරුව සංකීර්ණවීම පහසු කිරීමට භාවිතයට පිවිසි මුදල පසුකාලීනව රටක් විසින් තවත් රටක් ආර්ථික වශයෙන් යටත් කරන අවියක් ලෙසද භාවිතා කිරීම ආරම්භ විය. ධනේශ්වර ක්‍රමය තුළ මුදල තනි බලයක් නිර්මාණය කිරීම අරඹන ලද්දේ රටවල්  එකිනෙක අතරේ වටිනාකම් හුවමාරුව මනින මිම්ම ලෙස මුදල ක්‍රියාකාරීවීම ආරම්භවීමත් සමගයි.

රටක් තම වටිනාකම් හුවමාරු කරන්නේ තම රට තුළ පමණක්ම නොවේ. වෙනත් මුදල් ඒකක භාවිතා කරන රටවල් සමගද තම නිෂ්පාදිතයන් හුවමාරුකර ගනී. එම හුවමාරු වටිනාකම් මැනීමේදී, මුදල් විදේශ විනිමය මාධ්‍යයක් ලෙස යොදා ගනු ලැබේ. මුල් වකවානුවේ රටක විදේශ වත්කම් මනිනු ලැබුවේ එම රට සතු රන් සංචිතයේ වටිනාකම අනුවය. ඒ අනුව රටක මහ බැංකු විසින් යම් නිශ්චිත රන් ප්‍රමාණයක් තම ජාත්‍යන්තර සංචිතය ලෙස පවත්වා ගත යුතුයි. රත්තරන් අවුන්සයක් වෙනුවෙන් පවුම් 3 සිලිම් 17, පැන්ස 10 1/2ක් ගෙවීම නියමයක් විය. 1929 ලෝකය පුරා හටගත්ත ධනේශ්වර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන් ගැලවීමට, විශේෂයෙන් බලවත් රටවල මුදල් ඒකයන්ගේ උග්‍ර විචලනයන් ඇතිවීමත් සමග රන් සංචිත පවත්වා ගැනීමේ ක්‍රියාවලිය මගින් විදේශ වටිනාකම් හුවමාරුව අත්හල අතර, ඒ වෙනුවට 1969 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ ගැනුම් හිමිකම් ක්‍රමය ඇති කරනු ලැබීය. මෙම ක්‍රමය වඩා වෙනස් විය. ඒ අනුව භෞතික වටිනාකම් සංචිත ලෙස පවත්වා ගැනීමක් අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික බලවතුන්ගේ මුදල් අගයන් වන ඇමෙරිකානු ඩොලරය, ජර්මන් ඩොයිෂ් මාර්ක්, ප්‍රංශ ෆ්‍රෑන්ක්, එංගලන්ත පවුම් හා ජපන් යෙන්වලට බර තැබූ ප්‍රතිශතයන් මත තම සාමාජික රටවල් මූල්‍ය අරමුදලේ ආයෝජනය කර ඇති වටිනාකම්වල ප්‍රමාණයට විශේෂ මූල්‍යමය පහසුකම් ලබාදීමක් සිදුකරයි.

අද යුරෝපයේ රටවල් 11ක් තම මුදලේ ශක්තිය ස්ථාවර කිරීමට, ඒ හරහා අනිකුත් මූල්‍ය ඒකකයන්ට සිදුකිරීමට උත්සහ දරණ අභියෝගයේ ඊට කලින් අවස්ථාව මෙම විශේෂ ගැනුම් හිමිකම් SDR භාවිතය අපට දැකිය හැකිය. එක් එක් රටවල මුදල් ඒකකයේ වටවිනාකම තීරණය කිරීමේදී එම රටවල පවතින ආාර්ථික හැකියාවද තීරණාත්මක සාධකයක් වන බැවින් ආර්ථික බලවතුන්ගේ පොදු ඒකකයක් වන SDR මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික සෑම රටකම මූල්‍යමය අනුපාත සැසඳීම ප්‍රායෝගික නොමැත.

ඉතිහාසය තුළ ප්‍රාදේශීය, ජාතික ස්වරූපයක් උසුලන ලද මුදල විකාශනය වීමේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස 21 වන සියවස පාමුල මුදල ජාත්‍යන්තර ස්වභාවයක් ගැනීමට උත්සාහ දරමින් සිටී. ඩොයිෂ්මාක්, ලීරා, ප්‍රෑන්ක් වශයෙන් ජාතිකව ස්වාධීනත්වයක් දැරූ මුදල්  ඒකක අද යුරෝ ලෙස පොදු භාවිතයකට පැමිණ ඇත. මුදලේ ඓතිහාසික පරිවර්තනයට සාපේක්ෂව මෙය වූ කලී සුවිශේෂ පරිවර්තනයක් බව නිසැකය.

ඉතිහාසයක එක් අවධියකදී ප්‍රාදේශීය හුවමාරුව සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් ඇරඹි ‘මුදල’ පසුව ජාතික  රාජ්‍යයන්ගේ ජාතික සීමාව තුළ ක්‍රියාත්මකව ඉන් නොනැවතී කලාපීය ඒකකයන් තුළ ද ක්‍රියාත්මක වේ. මින් කියැවෙන්නේ අනාගතයේ ජාත්‍යන්තර පොදු මුදල්  ඒකකයක අවශ්‍යතාවය බවදැයි සිතීමට දැන් සිදුවී ඇත. මුදලේ පරිනාමය හා විකාශනය ප්‍රාදේශීය සීමාවල සිට ගෝලීය සීමාව දක්වා වන වර්ධනයක් පවතින බවට සැකයක් නැත. එහෙයින් අවසානයේ කොමියුනිස්ට්වාදී සමාජයකදී ‘මුදල’ ආර්ථික ඒකකයක් ලෙස අහෝසි වනවා ඇත. මන්ද භාණ්ඩ මිලදී ගන්නන් මෙන්ම විකුණන අයද එහි නොවන නිසාය. කොමියුනිස්ට් සමාජයකදී අප දකින්නේ හැකියාව මත භාණ්ඩ නිපදවන්නන් හා අවශ්‍යතාවය අනුව පරිභෝජනය කරන්නන් පමණකි.