බොල්ෂෙවික්වාදය ‌යනු

propaganda2bcontrol
දෘෂ්ටිවාදාත්මක පාලනය (Ideological Control)
May 21, 2019
ට්‍රම්ප්
ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වත්මන් භූමිකාව
May 29, 2019
Show all

බොල්ෂෙවික්වාදය ‌යනු

rsz_lenin

බොල්ෂෙවික් පක්ෂයක් යන සංකල්පය තුළ ගැබ්වී ඇති අර්ථය නම් සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි, ඒ සඳහා පංති පංති බලවේග සංවිධාන කර ගත හැකි හා ඒවා මෙහෙයවිය හැකි අයෝමය විනයක් සහිත මධ්‍යගත සංවිධානයක් යන්නය. එය ඒ තඅරම සංවිධානයක් විය යුතුය. ලෙනින් බොල්ෂෙවික්වාදය නිර්මාණය කළේ විශේෂ තත්වයක් තුළය. සමාජවාදී සමාජ විප්ලවය උදෙසා නිකම්ම “පක්ෂයක්” නිර්මාණය කරනවා වෙනුවට බොල්ෂෙවික් සම්ප්‍රදායක් සහිත පක්ෂයක් නිර්මාණය කිරීමට ලෙනින් බලකළේ ඔහු ඉදිරිපිට තිබූ කර්තව්‍යයේ ස්වභාවය විසින් බව පෙනේ.

ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වීමත් සමඟ ධනවාදයේ පරිධියේ රටවල් තුළ විප්ලවීය තත්වයක් වර්ධනය විය. එහෙත් එම පරිධියේ රටවල් පසුගාමී සංවර්ධනයක් සහිත ධනපති රටවල් වූයෙන් සමාජ බලවේගද පසුගාමී විය. ධනපති රජය වඩාත් නග්න හා කුරිරු එකක් විය. සමාජයේ සුළු ධනපති ස්වභාවයන් වැඩි වූ අතර ඒ නිසාම සුළු ධනපති මතවාද හා එහි දේශපාලන බලපෑම ද වැඩි විය. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ද සමාජ විප්ලවයේ කාර්‍යභාරයන් අතරට වැටුනි. මෙවැනි විශේෂ තත්වයක දී සමාජවාදී විප්ලවයේ කාර්‍යභාරය වඩාත් සංකීර්ණ වූ තත්වයක දී ඒ සඳහා සරළ පක්ෂයක් ප්‍රමාණවත් නොවීය. බොලෂෙවික් පන්නයේ පක්ෂයක් අනිවාර්‍යය වන්නේ මේ අනුව වේ.

බොල්ෂෙවික්වාදය හැදී වැඩී වර්ධනය වූයේ එය විසින් කළ ඓතිහාසික අරගලයක් තුළය. සමාජයේ සුළු ධනපති පංති වුවමනාවන් විසින් උපදනවනු ලබන නිදහස්වාදය, අරාජිකවාදය, සංශෝධනවාදය, ප්‍රතිසංස්කරණවාදය, නිලධාරීවාදය හා බ්ලැන්කිවාදය වැනි සියලු අවස්ථාවාදී ප්‍රවනතාවයන්ට එරෙහිව කරන ලද පසු නොබසින ධෛර්‍යසම්පන්න අරගලයක ප්‍රතිඵලයක් ලෙස බොල්ෂෙවික්වාදය තහවුරු වූ බව පෙනේ. ඒ අනුව බොල්ෂේවික්වාදය තුළ අරාජිකවාදයට මෙන්ම ත්‍රස්තවාදයට ද ඉඩක් නොමැත. ප්‍රතිසංස්කරණවාදයට මෙන්ම අතිවාමවාදයට ද එය එරෙහි වේ. නිදහස්වාදයට, අරාජිකවාදයට හා සාංසිද්ධිකතාවයට එරෙහිව මධ්‍යගත (ප්‍රජාතන්ත්‍රවාදී ලෙස) සංවිධානයක් වෙනුවෙන් අරගල කරන එය ඒ සමග එ සමගම ජනතාවගෙන් වියෝ වූ කුමන්ත්‍රවලට එරෙහිව බහුජන පක්ෂයක් වෙනුවෙන් ද පෙනී සිටියි. ධනපති සමාජයක් තුළ කොමියුනිස්ට් සමාජයක මූල බීජ දරාගෙන සිටිනුයේ බොල්ෂෙවික් පක්ෂයක් තුළ ය.

බොල්ෂෙවික්වාදයේ වර්ධනය ගැන කතා කරන ලෙනින් 1917 – 1920 කාලයේ දී බොල්ෂෙවික්වාදයට ජයග්‍රහනය අත්පත් කර ගැනීමේ හැකියාව ලැබීමට එක් හේතුවක් වූයේ 1914 අවසානයේ පටන් එය සමාජ ජත්‍යොන්මාදවාදයේ හා කෞට්ස්කිවාදයේ නින්දිතභාවයත් සටකපටභාවයත් නිර්දය ලෙස හෙළිදරුව් කිරීමේ යෙදී තිබීම නිසා බව පෙන්වා දෙයි. ( ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම 140පිටුව) සුළු ධනපති රටාවන්ට හුරුවූ නිදහස්වාදී හැසිරීම් සහිත අයට බොල්ෂෙවික් සම්ප්‍රදායන්ට අනුගතවීම දුෂ්කර බව ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇති සත්‍යයකි. ඒ අතරම වන අනෙක් සත්‍ය නම් සුළු ධනපති හැඩයක් සහිත ලිබරල්වාදී සරළ සංවිධානයකට පසුගාමී රටක සමාජ විප්ලවයට නායකත්වය දීමද නොහැකිය යන්න වේ. බොල්ශෙවික් යන්න බහුතරය යන තේරුම දුන්න ද බහුතරයක් (විශාල සාමාජිකත්වයක්) තිබූ පමණින් පක්ෂයක් බොලෂෙවික් වන්නේ ද නැත. ලෙනින් නිර්මාණය කළ පක්ෂය රුසියාව තුළ සාපේක්ෂ ලෙස කුඩා පක්ෂයක් විය. බොල්ෂෙවික් පක්ෂයක් තීරණය වන්නේ ඒ තුළ වන බොල්ෂෙවික් සම්ප්‍රදායන් හා ප්‍රතිපත්ති මගිනි. අවස්ථාවාදයට එරෙහිව ( විශේෂයෙන් නිදහස්වාදයට එරෙහිව) අරගලයත්, අයෝමය විනයක් ආරක්ෂා කළ යුතු වීමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මධ්‍යගත කරනු ලැබූ සංවිධාන ව්‍යුහයක් පවත්වා ගැනීමත්, බහු ජනතාවගේ අසීමිත විශ්වාසය දිනා ගැනීමේ හැකියාවත් මෙහිදී ඉතා වැදගත් කොන්දේසි වේ.

නූතන බොල්ෂෙවික්වාදීන් ඉදරිපිට වන අභියෝගය වන්නේ එවන් පක්ෂයක් නිර්මාණය කිරීමය. සියළුම අසංවිධිතභාවයන්ට එරෙහිව සංවිධානාත්මක බවත්, වැනෙන සුළු බවට එරෙහිව ස්ථාවරභාවයත් තහවුරු කළ හැකි වන්නේ හවිට පමණි. අවශ්‍යතාවය අනුව දෛිනකව උපක්‍රම මාරු කිරීමත් එක් උපක්‍රමයක සිට වෙනත් උපක්‍රමයකට ක්ෂණිකව මාරුවීමේ නම්‍යශීලීත්වයත් බොල්ෂෙවික් සංවිධානයක තිබිය යුතු අනෙක් ලක්ෂණ වේ. එවන් පක්ෂයක් පමණක් සිය කාර්යයේදී ජයග්‍රාහී වන නිසා කොතරම් දුෂ්කර වුවද අප එවැනි පක්ෂයක් නිර්මාණය කළ යුතු වෙමු.
විමර්ශන