පරෙස්සම්වන්න! අසිපත් රැගත් වඳුරන්….

rsz_7399872162_a10d26b334_b
ඕලන්දයේ ධනේශ්වර විප්ලවය
May 14, 2019
rsz_currency
මුදල විකාශනය වූ හැටි
May 16, 2019
Show all

පරෙස්සම්වන්න! අසිපත් රැගත් වඳුරන්….

rsz_racism_eggs

ලෝකය තුළ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා තම පැවැත්ම ආරක්‍ෂා කර ගැනීම සඳහා ධනේශ්වර පංතිය සහ අධිරාජ්‍යවාදීන් විසින් ගන්නා උත්සාහයේදී ජාතිවාදය ප්‍රබල සහායකයෙකු වශයෙන් කටයුතු කරයි. එය ධනේශ්වර මතවාදයකි. එමෙන්ම ධනේශ්වර දේශපාලන මූලධර්මයකි.

ජාතිවාදය යනු ජාතියක හුදකලාභාවය සෙසු ජාතීන් සැක කිරීමට පක්‍ෂ වීම සහ ජාතීන් අතර සතුරුභාවය ප්‍රකාශ කරන ධනේශ්වර මතවාදයේ හා දේශපාලනයේ මූලධර්මයකි.” යනුවෙන් දෙමළ ඊලාම් අරගලයට විසදුම කුමක්ද? නැමති කෘතියේ රෝහණ විජේවීර මහතා සඳහන් කරයි.

පුළුල්ම අර්ථයෙන් ගතහොත් දේශපාලනය යනු බලය සදහා පංතීන් අතර වන අරගලයයි. ඒ අනුව එසේ වූවත් බලය සඳහා වන ඕනෑම අරගලයක් දේශපාලනය ලෙස හැඳින්විය හැක. ධනපති පංතිය බලය සඳහා වන තම ගමන් මගෙහිදී, ජාතිවාදය පාවිච්චි කරනු ලබයි. ජාතිවාදය ධනේශ්වර දේශපාලන මූලධර්මයක් වන්නේ ඒ අයුරිනි.

නාසිවාදීන් ජර්මනියේද පැසිස්ට්වාදීන් ඉතාලියේද බලයට එන්නේ ජාතිවාදයේ කර මතිනි. ලංකාවේ බණ්ඩාරනායකලා පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බව පවසමින් දේශපාලන බලය ඩැහැ ගන්නේ ජාතිවාදයේ කර මතිනි. ඉන්දියාවේ ජයලලිතලා, කරුණානිධිලා බලය සඳහා වැඩි වැඩියෙන් ජාතිවාදය යොදා ගනිති. ධනවාදී ලෝකය පුරා මෙවැනි උදාහරණ රාශියකි.

ආගම්හි භාවිතය මීට සමාන්තර වන අතර එයද පංති සමාජය තුළ අධිපති පංතියේ ආධිපත්‍යය තහවුරු කර පවත්වාගෙන යාම සඳහා සැම විටම මතවාදී සහායකයෙකු වූ අතර, ජාතිවාදය උත්තේජනය කිරීමෙහිලා ආගම්වාදය මහෝපකාරී වී ඇත. මේවා එකිනෙක ප්‍රතිපෝෂිත සමාජ සංවර්ධනයේ මේ මොහොතට අදාල ධනේශ්වර මතවාදී ප්‍රවණතාවයන්ය.

ධනේශ්වර ක්‍රමය හරහා සමාජය ගමන් ගනිද්දී ජාතිකත්වයන් හමුවීම අනිවාර්ය බව මාක්ස්වාදීහු පිළිගනිති. එමෙන්ම ආගම් පැවතීමේ ද්‍රව්‍යමය පදනම පංති සමාජය බවද මාක්ස්වාදීහු පිළිගනිති. එසේ වූවද, ජාතිවාදයට හෝ ආගම්වාදයට මාක්ස්වාදීන් කිසිසේත්ම පක්‍ෂ වන්නේ නැත.

“ජාතිකත්වයේ මූලධර්මය ඓතිහාසිකවම ධනේශ්වර සමාජය තුළ නොවැළැක්විය හැකි සේ පවතින අතර මාක්ස්වාදියා ජාතික ව්‍යාපාරවල ඓතිහාසික වලංගුභාවය සම්පූර්ණයෙන්ම පිළිගනී. එහෙත් එසේ කළ යුත්තේ මේ පිළිගැනීම ජාතිකවාදයට සමාවට කරුණක් වීම වළක්වාලනු පිණිසත්, නිර්ධන පාංතික හැගීම් අඳුරු කරන ධනවාදී සංකල්ප දක්වා මෙම පිළිගැනීම යොමු නොවනු පිණිසත්ය.”

ජාතික ගැටලුව පිළිබද විවේචනාත්මක සටහන් – වී. අයි. ලෙනින්

“ජාතිවාදය අති සාධාරණ, අති පිරිසිදු, අති ශෝධිත සත්‍ය නාමකරණයක් යටතේ පැමිණියද මාක්ස්වාදයට ඒ සමග කිසිසේත්ම සමාදාන විය නොහැක” යයි ලෙනින් පවසයි. එමෙන්ම ආගම සම්බන්ධ  ප්‍රශ්නයේදී  ආගමික ප්‍රතිවිරෝධයන් පංති ප්‍රතිරෝධය අභිබවා ඉදිරියට ඒම පංති අරගලයට, සමාජ සංවර්ධනයට බාධාකාරී වන බව මාක්ස්වාදීන්ගේ පිළිගැනීමයි.

ජාතිවාදය මගින් හා ආගම්වාදය මගින් පංති ව්‍යාපාරය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් භේදභින්න කර දමන අතර සෑම විටම නිර්ධන පංති ව්‍යාපාරය හරහා බෙදුම් ඉරි නිර්මාණය කරයි. ලොව පුරා මාක්ස්වාදීහු සෑම විටම ජාතිවාදයටත් ආගම්වාදයටත් එරෙහිව කටයුතු කරති. එහෙත් අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ ධනේශ්වරය සෑම විටකම තම දේශපාලනික, ආර්ථික වුවමනාවන් වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය පාවිච්චි කිරීමට පැකිලී නොමැත. මේ මොහොත තුළද අධිරාජ්‍යවාදයේ භාවිතය ඊට වෙනස් නැත.

අධිරාජ්‍යවාදීන් විසින් ඉහත ජාතිය ආගමික භේදයන් භාවිතයට ගන්නා නිශ්චිත හේතූන් මොනවාද?

  • කේන්ද්‍රීය ධනපති (අධිරාජ්‍යවාදී) රටවල් තම නව යටත්විජිත ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම සඳහා පරිධියේ රටවල් දුර්වලව පවත්වා ගැනීමට, එම රටවල් තුළ ප්‍රශ්න ඇති කිරීමට හා එම රටවල් බෙදා වෙන් කර දුර්වල කිරීමට බෙදුම්වාදයේ උත්ප්‍රේරකයක් ලෙස
  • සෘජු ලෙසම රටවල් යටත් කර ගැනීම සදහා සහ ඒ වෙනුවෙන් කෙරෙන යුද්ධ සාධාරණය කර ගැනීම සඳහා ලෝක දේශපාලනය තම තමන්ට අවශ්‍ය ලෙස පාලනය හා තුළනය කිරීම සඳහා අවශ්‍ය සන්නද්ධ කණ්ඩායම්, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන ප්‍රවණතා ආදිය ඇති කිරීමට අවශ්‍ය සාධකයක් ලෙස
  • සමාජවාදී රටවල් පද්ධතිය දුර්වල කිරීම සඳහා එම රටවල් තුළ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමට
  • කම්කරු පාංතික ජනතාවගේ පංති විඥ්ඥානය මොට කිරීම සඳහා එනම් අවපාත අවධියේ පවතින ධනේශ්වර ක්‍රමයට එරෙහිව එල්ල වන පංති ප්‍රතිවිරෝධය වෙනත් අතකට යොමු කිරීමේ සහ එමගින් තම බලය පවත්වාගෙන යාමේ  උපකරණයක් ලෙස (නිර්ධන පංතියට ව්‍යාජ සතුරෙක් ලබා දීම) සඳහා
  • ජනතාව සිය පීඩාවන්ට පිළිතුරු සෙවීමේදී පංති අරගල මාවතට වැටීම වළක්වා ඒ වෙනුවට ජාතිවාදී හෝ ආගම්වාදී අරගල තුළ සිරකිරීමට ඔවුහු ජාතිවාදය, ආගම්වාදය පාවිච්චි කරති.

මේ කරුණු ඔප්පු කිරීම සඳහා අපි දැන් කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත. එය එතරම් අපහසු නොවේ. මේ සඳහා ඇති තරම් උදාහරණ ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයෙන්ද අපට සොයා ගත හැක.

බෙදුම්වාදී වුවමනාව වෙනුවෙන් ජාතිවාදය ආගම්වාදය පාවිච්චි කිරීම පිළිබඳ උදාහරණ සොයා ගැනීමට අපට එතරම් ඈතට යෑම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාව මෙන්ම එහි අසල්වැසියා වන ඉන්දියාවද මේ සඳහා හොඳම උදාහරණ සපයයි.

සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යවාදීන් බෙදුම්වාදය අතහැර දැමූ බවට වන මතයක්, සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමගම කරළියට පැමිණියේය. නමුත් එය සත්‍ය නොවන බව දැන් ඉතා පැහැදිලිය. අධිරාජ්‍යවාදයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෙදුම්වාදී වැඩපිළිවෙළක් නැතැයි යන අදහසක්ද මෑත කාලයේ මතු විය. මුළු ලංකාවම එක මිටකට ගෙන සූරාකෑමට අධිරාජ්‍යවාදයට අවශ්‍ය නිසා ඔවුන් ලංකාවට අදාලව බෙදුම්වාදය අතහැර ඇති බව අලුත් තර්කය විය. නමුත් එයද සත්‍ය නොවේ. ඉතා පැහැදිලි ලෙසම ලංකාව සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙළ එලෙසින්ම ක්‍රියාත්මකය. වරෙක ඔවුහු සිංහල සහ දෙමළ  ජාතිකයින් අතර වූ ජාතිවාදී ගැටුම තම උපායමාර්ගික වුවමනාව (බෙදුම්වාදය) වෙනුවෙන් ඉතා හොඳින් කළමනාකරණය කළහ. බෙදුම්වාදයේ යුධමය පෙරමුණු යම් පසුබෑමකට ලක් වූ බැවින් (එල්.ටී.ඊ.යේ යුධමය පරාජය නිසා) දැන් ඒ සඳහා වෙනම මාර්ග සිතියමක් සකස් වී ඇත. එනම් 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පළාත් සභාවල නිල ව්‍යුහයම යොදාගෙන උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමක්ද ඉන්පසු පළාත් සභාවලට බලතල පවරා ගැනීමක්ද, අවසානයේ ජනමත විචාරණයකට යාමත්ය. ජනමත විචාරණයකදී වෙන්වීම සඳහා අවශ්‍ය ජනතා කැමැත්ත පෙන්වීමට නම් මුස්ලීම් ජනයාගේ ඡන්ද අතිශයින්ම තීරණාත්මකය. ඒ සඳහා වෙන්විය යුතුය යන මනෝභාවයක්, බහුතර සිංහල ජනයා සමග පෑහිය නොහැකි විරසක භාවයක්, මුස්ලිම් ජනයා තුළ ගොඩ නැංවිය යුතුය. මේ වන විට මතු වෙමින් පවතින මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදී ප්‍රවණතාවය මේ වුවමනාව හොඳින් ඉටු කරයි. මෙතෙක් ලංකාවේ බෙදුම්වාදයට උදව් කළ සමහර අධිරාජ්‍යවාදී රටවල් සිංහල ජාතිවාදී ප්‍රවණතාවයන්ට උදව් දෙන සහ ගනුදෙනු කරන බවටද යම් යම් තොරතුරු ලැබෙමින් පවතී.

ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම මත යම් පමණකට බේරා ගනු ලැබූවද අධිරාජ්‍යවාදී බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වූ රටක් ලෙස අසල්වැසි ඉන්දියාව පෙන්වා දිය හැකිය.

1947 අධිරාජ්‍ය වාදීන්ගෙන් නිදහස ලැබීමට පෙර, දැනට ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය යන රටවල් තුනම පැවතියේ තනි එක් රටක් වශයෙනි. මේ සා විශාල රාජ්‍යයක් පැවතීම අධිරාජ්‍යවාදීන් නොරිස්සූ බව දිගින් දිගටම එය බෙදා වෙන් කිරීමට ගත් උත්සාහයෙන් අපට පෙනේ. 1905 දී බෙංගාලය ආගමික පදනමකින් බෙදා වෙන් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු සමත් වූහ. නමුත් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ප්‍රබල විරෝධය හමුවේ 1911දී බ්‍රිතාන්‍යයට බෙදා වෙන් කිරීම හකුළා ගැනීමට සිදු විය. 1906දී ඉන්දීය ජාතික ව්‍යාපාරයෙන් මුස්ලීම් ලීගය බිහිවන්නේ මෙම තත්වය තුළය. ඒ සමගම ඉන්දියානු ජාතික කොංග්‍රසයේ  බලය තරමක් දුර්වල වෙයි. මුස්ලීම් ලීගය ඉන්දියානු ජාතික කොංග්‍රසය සමග එකට කටයුතු කළද ඒ යම් ප්‍රතිවිරෝධයක් සහිතවය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු මෙම හින්දු මුස්ලිම් ජාතිවාදයන් තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යාම සඳහා උපයෝගි කර ගනිති. 1946 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට පැමිණෙන අතර ඔවුහු ඉන්දියාව බෙදී වෙන් වීමකට එකඟ කර ගැනීමට උත්සාහ දරයි. 1947දී ඉන්දියාවට නිදහස ලබා දෙන බවත් අවශ්‍ය නම් ඒ සමගම බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙන විට පැවති මහා රාජාවරුන්ගේ පාලනය සහිත කුඩා රාජ්‍යයන් කරා ඉන්දියාවට යා හැකි බවද බ්‍රිතාන්‍යයන් විසින් 1946දීම ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය ජාතික ව්‍යාපාරයේ මැදිහත්වීම තුළ ඒවා වැළකුණද ඒ සඳහා පෙළගැසීම් ඇති විය. 1947දී හින්දු, මුස්ලිම් පදනමකින් ඉන්දියානු භූමිය, අධිරාජ්‍යවාදී වුවමනාව සපුරමින් දෙකඩ කරන ලදී. සත්තකින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ වුවමනාව වූයේ ඉන්දියාව කුඩා රාජ්‍යයන් රාශියකට කැඩී යාමට සැලස්වීමය. ඒ සදහා ඉන්දියාව තුළ ජාතිවාදයද, ආගම්වාදයද නැවත නැවත ප්‍රයෝජනයට ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යය අභිබවා ඇමරිකානු ආධිපත්‍යය තහවුරු වූ පසුවද  ඉන්දියාව පිළිබඳ මේ පිළිවෙත වෙනස් නොවුණි. විශේෂයෙන්ම ඉන්දියාව බෙදා වෙන් කිරීමේ වුවමනාව සීතල යුධ සමයේ සමාජවාදී කඳවුර දුර්වල කිරීමේ වැඩපිළිවෙළේම කොටසක් විය. එමෙන්ම ඉන්දියාව බෙදා වෙන් කිරීමේ අනු පියවරක් ලෙස ලංකාව බෙදා වෙන් කිරීම අධිරාජ්‍යවාදී සැලැස්ම විය.

ආසියාව තුළ විශාලතම රාජ්‍යයක් වන ඉන්දියාව මෙන්ම, අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම රාජ්‍යය ලෙස සුඩානය හඳුනා ගත හැකිය. සුඩානය ඛනිජ තෙල් ඇතුළු ස්වභාවික සම්පත් බහුල රටකි. අද අප කථා කරන මේ මොහොත වන විට සුඩානයද උතුරු සහ දකුණු ලෙස කොටස් දෙකකට බෙදී එකිනෙකා හා මාරාන්තික ගැටුමක පැටලී ඇත. සුඩානය කඩා වෙන් කිරීම අධිරාජ්‍යවාදීන්ගේ දිගු කාලීන සිහිනයක්ව තිබුණි. 1800 ගණන්වල අවසාන කාලයේ සුඩානය බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වූ අතර ඔවුන් 1924 සිට සුඩානය උතුර හා දකුණ වශයෙන් වෙන්ව පාලනය කරන ලදී. උතුරු හා දකුණු සුඩාන ජාතිකත්වයන් අතර තිබූ වෙනස්කම් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිවිරෝධතා උත්සන්න වන ලෙස සහ සතුරුභාවයන් වර්ධනය වන ලෙස පාලනය ගෙන යාමට බ්‍රිතාන්‍යයෝ කටයුතු කළහ.

එහිදී ජාතිකත්ව, භාෂා  සහ ආගමික ආදී වශයෙන්වූ ප්‍රතිවිරෝධතා ඇවිලී යාමට සලස්වන ලදී. එක් එක් ප්‍රදේශවලට අසමාන ලෙස සැලකීම් සිදු කරන ලදී. ඒ සියල්ලම පාවිච්චි කරමින්, (විශේෂයෙන්ම ජාතිකත්ව සහ ආගමික භේදයන්) බ්‍රිතාන්‍යයන් තමන්ගේ බෙදා පාලනය කිරීම ඉදිරියට ගෙන යන ලදී. පසුව 1945දී බ්‍රිතාන්‍යයන් විසින් නැවත සුඩානය තනි ඒකකයක් ලෙස පාලනය කිරීමට පටන් ගැණිනි. එහිදී ඔවුන් අනුගමනය කළේ, ඉන්දියාවෙන් පකිස්ථානය ලෙස කොටසක් වෙන් කිරීම සඳහා ඉන්දියාව තුළ අනුගමය කළ උපක්‍රමයමය. ඉන්දියාව තුළ මතුව ආ ඉන්දියානු ජාතික ව්‍යාපාරය, හින්දු – මුස්ලිම් භේදය මගින් දුර්වල කළ ආකාරයටම සුඩානය තුළ මතුව ආ ජාතික ව්‍යාපාරයද ජාතිවාදී බෙදීමක් මගින් දුර්වල කරන ලදී. 1947 ඉන්දියාව නිදහස ලබන විට එහි ඇතිවූ තත්වයටම සමාන තත්වයක් සුඩානය නිදහස ලැබීම ආසන්නයේදී එහි ඇති විය. එනම් උතුරු සුඩානය සහ දකුණු සුඩානය අතර සිවිල් යුධ තත්වයක් ඇතිවිය. නිදහස ලැබීමට වසරකට පෙර එනම් 1955 දී, දකුණු සුඩානයේ සේවය කළ උතුරු සුඩාන් රාජ්‍ය සේවකයෝ, ගුරුවරු, ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් සමූල ඝාතනය කරන ලදහ.

මේ අයුරින් ඇවිලී යමින් පවතින සුඩාන ජාතික ගැටලුව හා එහි බෙදා වෙන්වීම පාවිච්චි කරමින් අධිරාජ්‍යවාදීහු එහි පවතින සම්පත් කොල්ලකෑමට පටන් ගෙන සිටිති. 1983දී නැවත උත්සන්න වූ ජාතිවාදී ගැටුම් තුළ මිලියන දෙකකට අධික ජනතාවක් මිය ගොස් ඇති අතර තවත් මිලියන හතරකට අධික පිරිසක් අවතැන්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය මෙන්ම එක්සත් ජාතීන්ද මේ වන විට සුඩානයට මැදිහත් වීමට ඉඩ ලබා ගෙන ඇත. උතුරු – දකුණු   ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රාන්ත ගණනාවක් තුළ ජාතිවාදී ගැටුම් ඇවිලී ඇති අතර ඩාපූර්හි ඇතිවී  තිබෙන්නේ එවැනි බෙදුම්වාදී ගැටුමකි. සුඩාන ජනයා එකිනෙකා හා මරා ගන්නා අතර අධිරාජ්‍යවාදය සුඩානයේ තෙල් බැරල් ගණන් කරමින් සිටී. තම ආර්ථික අරමුණු සැපිරෙන්නේ නම් අධිරාජ්‍යවාදීන්, ලෝකයම ලේ ගංගාවන්හි ගිීලී ගියද එය සැලකිල්ලට ගන්නේ නැත.

නාසි පක්‍ෂය ජර්මනිය තුළ තම ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අන්ත ජාතිවාදය පාවිච්චි කර ගන්නා ලදී. “ආර්ය ජර්මන් ජාතිය” බේරා ගැනීම නම් වූ ජාතිවාදී ව්‍යාපෘතිය මගින් ජර්මනිය තුළ ජීවත් වූ යුදෙව් ජනයා පළවා හරිමින්, මරා දමමින් ඇරඹි මෙම ව්‍යාපෘතිය ක්‍රමානුකූලව අනෙකුත් රටවල් ඈදා ගැනීමක් දක්වාත් පසුව එය ලෝක යුද්ධයක් දක්වාත් ව්‍යාප්ත විය. මෙම යුද්ධය තුළ යුදෙව් ජනයා මිලියන ගණනක් මරා දැමීමටත්, ඔවුන්ගේ භූමිවලින් පළවා හැරිමටත් නාසිවාදය කටයුතු කළේය. 1939 – 1945 කාලය තුළ නාසි ග්‍රහණයට නතුවූ යුරෝපයේ මිලියන 06 කට ආසන්න යුදෙව් ජාතිකයින් මරා දමන්නට ඇතැයි සැලකේ. ලොව පුරා ඇතිවූ මෙම යුදෙව් ජාතිකයන්ට එරෙහි සංහාරය ඊශ්‍රායලය බිහිවීමෙහිලා ප්‍රධාන සාධකයක් විය.

මූලිකවම යුදෙව් සංහාරයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ඊශ්‍රායලය ආගමික, ජාතිවාදය මත ක්‍රියාත්මක වන රාජ්‍යයකි. 1947 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් පලස්තීනය බෙදා වෙන් කිරීමෙන් ඊශ්‍රායලය බිහි විය. ඇමරිකානු අධිරාජ්‍යවාදියා විසින් මැදපෙරදිග කලාපය තුළ තම දේශපාලන මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු කටයුතු ඊශ්‍රායලය ලවා ඉටු කරවා ගනී. මේ මොහොතේ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සහමුලින්ම ඇමරිකන් ගැති,

ප්‍රතිගාමී හා ජාතිවාදී එකකි. ඒ  සදහා ඇමරිකා එක්සත් ජනපදය විසින් නොමද සහායක් ඊශ්‍රායලයට ලබා දේ. කෙතරම් ජාතිවාදී, ආගම්වාදී, යුධවාදී, මානව විරෝධී ක්‍රියාවල යෙදුනත් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය ආරක්‍ෂා කරනු ලබයි.

මේ මොහොත වන විට ඇමරිකා එක්සත් ජනපදය ත්‍රස්තවිරෝධී ලේබලය යටතේ අති විශාල මුස්ලිම් විරෝධී  මතවාදයක් මෙන්ම ක්‍රියාමාර්ගයක්ද ලොව පුරා ක්‍රියාත්මක කරමින් සිටී. එහෙත් මෙහි සැබෑ අරමුණ වන්නේ, ත්‍රස්ත්‍රවාදය පරාජය කිරීම නොවන බව  පැහැදිලි වන්නේ එම සංවිධාන ගොඩනැංවීම එක්සත් ජනපදය විසින්ම  සිදුකරන ලද නිසාය.

ඇෆ්ගනිස්ථානයේදී සමාජවාදී සෝවියට් රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා මුස්ලිම් ජාතිවාදය අවුස්සමින් තලේබාන් සංවිධානය, අල් කයිඩා  සංවිධානය, මුජහිදීන් ව්‍යාපාරය ආදිය ගොඩ නැංවීම සදහා සී.අයි.ඒ. සංවිධානය මැදිහත් වී ඇත. අති විශාල මූල්‍ය ආධාර ප්‍රමාණයක් සහ අවි ආයුධ මෙම සංවිධානවලට ලබා දී ඇත. ඔසාමා බින් ලාඩන් සෘජුවම සී.අයි.ඒ. සංවිධානයේ පුහුණුව ලබා ඇති බව පැවසේ. තලේබාන්, මුජහිදීන් අල් කයිඩා ආදී සංවිධානවලට තමන් ආධාර කළ බව මෑතකදී හිලරි ක්ලින්ටන් විසින්ම පිළි ගන්නා ලදී.

Let’s remember here… the people we are fighting today we funded them twenty years ago… and we did it because we were locked in a struggle with the Soviet Union. They invaded Afghanistan… and we did not want to see them control Central Asia and we went to work…’’

හිලරි ක්ලින්ටන් විසින් කරනු ලබන ඉහත ප්‍රකාශය සහිත වීඩියෝව යූ ටියුබ් (Youtube) වෙබ් අඩවියේ ඇති අතර 2009 අප්‍රේල් 24  ද නේෂන් (The Nation) නැමති පකිස්ථානු පුවත්පතේද වාර්තාවක් ලෙසද ඇත. ඇය මෙහි සදහන් කරන්නේ මුජහිදීන් ගරිල්ලා සංවිධානය, බින් ලාඩන් ඇතුළු මුස්ලිම් මූලධර්මවාදී සංවිධානවලට සෝවියට් දේශයට එරෙහිව එක්සත් ජනපදය විසින් උදව් කළ බවය.

සත්තකින්ම එක්සත් ජනපදය මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ ත්‍රස්තවිරෝධී ලේබලයට මුවා වී මුස්ලිම් විරෝධයක් ලොව පුරා ඇති කිරීමය. එහි අරමුණ වන්නේ මුස්ලිම් ජනතාව වාසය කරන  විශේෂයෙන්ම තෙල් සම්පත සහිත රටවල් වෙත ඇමරිකා එක්සත් ජනපදය කරන යුධ බලහත්කාරයන් ලොව තුළ සාධාරණීකරණය කර ගැනීමය. ඉතා සියුම් ලෙස අධිරාජ්‍යවාදීන් මෙම මුස්ලිම් විරෝධය ලොව තුළ ව්‍යාප්ත කරමින් සිටී. ඇතිවී  තිබෙන ධනේශ්වර ක්‍රමයේ අර්බුදය තුළ මේ අයුරින් රටවල් තුළට කඩාවැදී එම රටවල සම්පත් කොල්ලකෑම, ක්‍රමය බේරා ගැනීම සඳහා ඔවුන්ට අත්‍යාවශ්‍ය කාරණාවක් වී ඇත. ඒ සදහා පහසු මඟක් ලෙස අධිරාජ්‍යවාදය නොපැකිළිව ජාතිවාදය පාවිච්චි කරමින් සිටී.

සමාජවාදී කඳවුර කැබලි කර දැමීම සඳහා සහ ඒ තුළ අභ්‍යන්තර ගැටුම් ඇවිලවීම සඳහා ජාතිවාදය සහ ආගම්වාදය යොදාගත් බව අප ඉහත දී සඳහන් කළෙමු.

පෝලන්ත ජාතිකයෙකු වන දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ සමාජවාදී කඳවුර බිඳ දැමීම සඳහා ඉතා ප්‍රබල ලෙස ආගමික මැදිහත් වීම් කළ පාප්වරයෙකු වශයෙන් හැඳින්විය හැක. පෝලන්තය වෙනස් කිරීම සඳහා පෝලන්ත ජනතාවට දිරිය දුන් අයෙක් ලෙස ලෙක් වැලෙන්සා විසින් දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේව අගය කරන ලදී. සමාජවාදී කඳවුර බිද දැමීමේ ආරම්භක පියවර පෝලන්තයෙන් ඇරඹිණි. මේ ක්‍රියාවලිය වෙනුවෙන් 2004 වසරේදී නොබෙල් ත්‍යාගය සඳහා දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ තෝරා ගන්නා ලද අතර එම වසරේදීම “නිදහස සඳහා ජනාධිපති පදක්කමද” ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ඔහුට පිරිනමන ලදී. ඒ කොමියුනිස්ට්වාදය බිඳ දැමීමට ඔහු  කළ මැදිහත් වීම වෙනුවෙනි. කියුබාව තුළද ආගමික ප්‍රතිවිරෝධයක් ඇවිලවීමේ අරමුණින් යුතුව ඔහුගේ මැදිහත් වීම සිදු විය.

චීනයට එරෙහිව ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමා යොදා ගැනීම මගින් චීනය තුළ අභ්‍යන්තර ප්‍රශ්න මතු කිරීමටද එක්සත් ජනපදය කාලයක් තිස්සේ උත්සාහ දරයි. මේ සඳහා 14වැනි දලයි ලාමාවරයා මගින් ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ දරයි. සී.අයි.ඒ. සංවිධානය හරහා 1960 සිට ඩොලර් මිලියන 1.7 ක් දලයි ලාමා පදනමට ලැබෙමින් තිබෙන බව එම පාලනාධිකාරිය 1998 දී පිළි ගන්නා ලදී. 1998 ඔක්තෝබර් 02 දින ද නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත තම වාර්තාවක් මගින් මේ බව හෙළිදරව් කරන ලදී.

The Dalai Lama’s administration acknowledged today that it received $1.7 million a year in the 1960’s from the Central Intelligence Agency, but denied reports that the Tibetan leader benefited personally from an annual subsidy of $180,000. October 02, 1998 – The Newyork Times

1989 දී ඔහු නොබෙල් ත්‍යාගලාභියෙකු බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදය දලයි ලාමාවරයා සමග ඉතා ළගින් ඇසුරු කරමින් ඔහු චීනයට එරෙහිව යොදා ගැනීමට කටයුතු කරමින් සිටී. චීනයට අයත් ස්වයං පාලිත ප්‍රදේශයක් වන ටිබෙටය චීනයට එරෙහිව උසිගැන්වීමට දලයි ලාමාවරයා දිගින් දිගටම යොදා ගැනුණි. පසුගිය බෙයිජිං හි පැවති ඔලිම්පික් උළෙල සමයේ චීනයට යොමුවූ ලෝක අවධානයම පාවිච්චි කරමින් ටිබෙටය තුළ චීනයෙන් වෙන්වීම සඳහා වූ විරෝධතා  පැනනැගුණි. මේ විරෝධතා ඇවිලවීම  සී.අයි.ඒ. සංවිධානය විසින් සිදු කරන ලදී. 1990 වන විට සිදුවූ සමාජවාදී කඳවුර බිද වැටීමෙන් පසු ගතවූ දශක දෙක තුළ ලෝකය අලුතින් රටවල් 35කට වැඩි ප්‍රමාණයක් බිහිවී තිබේ. ඒ බොහෝ බෙදී වෙන්වීම් පසුපස එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදය සිටියේය. එහිදී බෙදා වෙන් කිරීම වෙනුවෙන් වැඩි වශයෙන්ම භාවිත වූ උපක්‍රමය වූයේ ජාතිවාදය සහ ආගම්වාදයයි.

මේ සඳහා ප්‍රබලම උදාහරණයක් ලෙස  යුගෝස්ලෝවියාව පෙන්වා දිය හැකිය. ශක්තිමත් සමාජවාදී තනි රටක්ව තිබූ යුගෝස්ලෝවියාව අද ඇත්තේ එකිනෙකා මරා ගන්නා සතුරු රාජ්‍යයන් ගණනාවක් ලෙසිනි. යුගෝස්ලෝවියාව බෙදා වෙන් වීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කළේය. අද වන විට ස්ලෝවැකියාව, ක්‍රොඒෂියාව, බොස්නියාව හා හර්ස ගෝවිනියාව, මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝව, සර්බියාව හා  කොසෝවෝ ආදී වශයෙන් යුගෝස්ලෝවියාව කැබලිවලට බිඳ දමා දුර්වල කොට ඇත. මේ බෙදී වෙන්වීම්වලදී එක්සත් ජනපදය තම සතුට සහ සුභපැතුම් පිරිනමුවේය.

ධනේශ්වර ක්‍රමයට එරෙහි පංති ප්‍රතිවිරෝධය ඒ අයුරින්ම වර්ධනය වීමට ඉඩ නොදී එය ජාතිවාදය බවට, ආගම්වාදය බවට, වර්ණභේදවාදය බවට පෙරළිය හැකිය. එපමණක්ම නොවේ. තවදුරටත් අවශ්‍යනම් කුල භේද, ප්‍රාදේශීය භේද ආදී විවිධ භේදයන් බවට පත් කළ හැකිය. වෘත්තීන් තුළ ශ්‍රේණි භේද ආදිය බවට පත් කළ හැකිය. සත්තකින්ම මෙය හඳුනාගත යුත්තේ දෘෂ්ටිවාදාත්මක වෙස් ගැන්වීමක් ලෙසය. ධනේශ්වර ක්‍රමය විසින් පීඩනයට ලක්වන පීඩිතයා එය එලෙස තේරුම් ගැනීම වෙනුවට ප්‍රශ්නය ජාතිවාදී පදනමකින් තේරුම් ගනී.(තේරුම් ගන්වයි)

තමන්ට රැකියා, ඉඩම්, අධ්‍යාපන අවස්ථා නැතිවී ඇත්තේ දෙමළා නිසා හෝ මුසල්මානුවා නිසා යැයි සිංහලයා සිතයි. නැතහොත් එයම අනෙක් පැත්තටය. ඒ අනුව තම තමන්ගේ අයිතිය දිනා ගැනීම සඳහා එකිනෙකා කා කොටා ගැනීම අරඹයි. එය මත ගැටුමක මට්ටමේ සිට සන්නද්ධ ගැටුමක් දක්වා වන ඕනෑම පරාසයක් තුළ පැතිරී යා හැකිය. සිදු විය යුත්තේ පීඩිත සියලු නිර්ධනයින් එක්ව ධනේශ්වර ක්‍රමයට එරෙහිව සටන් වැදීමය. එහෙත් සිදු වන්නේ පීඩිත පංතිය බෙදී වෙන්වී එකිනෙකා හා ගැටීමය. ඒ අනුව බොහෝ විට ජාතිවාදී, ආගම්වාදී ගැටුම් නිසා පවතින ක්‍රමයට හානියක් සිදු වන්නේ නැත. එය ආරක්‍ෂා වේ. ධනපති පංතිය සහ ක්‍රමය ශක්තිමත් වන අතර නිර්ධන පංතිය දුර්වල වේ. එය සමාජ ප්‍රගමනය බිඳ දමයි. ධනේශ්වර ක්‍රමය තමි නොහැකියාව ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස හෝ ආගම්වාදී ප්‍රශ්නයක් ලෙස වෙස් ගැන්වීමට කැමති වන්නේ මේ නිසාය. නිර්ධන පංතිය ව්‍යාජ සතුරෙක් සමග සටන් වදී. එම සතුරා මවා දෙන්නේ ධනපති පංති විසින් එහි වුවමනාවටය. ධනේශ්වර ක්‍රමය ලෝකය පුරාම තම ප්‍රායෝගික භාවිතය තුළ මෙම උපක්‍රමය ප්‍රයෝජනයට ගනී.

ජාතිවාදය මගින් රටවල් කැබලිවලට කැඩී බිදී වෙන්වී යා නම් කිසිදු දේශප්‍රේමියෙකුට ඊට එකඟ විය හැකිද? ආගම්වාදය, ජාතිවාදය විසින් දස දහස්  ගණනක් මිනිසුන් මරා දමන තැනකට සමාජය ගෙන යා නම් කිසිදු මානව හිතවාදියෙකුට ඊට එකග විය හැකිද? මානවවාදීන් ලෙස මේ ප්‍රශ්නයට ප්‍රවේශ වූවද, දේශප්‍රේමියෙක් ලෙස මේ ප්‍රශ්නයට ප්‍රවේශ වූවද ප්‍රගතිශීලියෙක් ලෙස හෝ මාක්ස්වාදියෙක් ලෙස පංති දෘෂ්ටියෙන් මේ ප්‍රශ්නයට ප්‍රවේශ වූවද මතුවෙමින් පවතින ජාතිවාදී ප්‍රවණතාවය ඒ කිසිවකුටවත් යහපත් මාර්ගයක් විවෘත කරන්නේ නැති බවත්, ජාතිවාදය කිසි දිනක කිසි තැනක සමාජයට යහපතක් උදාකර දී නැති බවත් පැහැදිලිය.

මේ මතුව ඇති දුෂ්ට ආගම්වාදී, ජාතිවාදී ප්‍රවණතාවය නිදහසේ වැඩී යාමට ඉඩ නොදිය යුතුය. ඊට එරෙහිව අපගේ උපරිම මැදිහත් වීම කළ යුතුය. එය ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද මාක්ස්වාදීන්ගේ වගකීමක් වනු ඇත.

LEFT 2019 අප්‍රේල්