දෘෂ්ටිවාදාත්මක පාලනය (Ideological Control)

rsz_surplusvaluecolor
නිෂ්පාදන සබඳතා යනු කුමක්ද?
May 21, 2019
rsz_lenin
බොල්ෂෙවික්වාදය ‌යනු
May 23, 2019
Show all

දෘෂ්ටිවාදාත්මක පාලනය (Ideological Control)

propaganda2bcontrol

සමාජය තුළ මිනිසුන්ගේ හැසිරීම්වල විවිධත්වයක් ඇති අතර ඒ තුළ ඒකියත්වයක්ද දැකිය හැකිය. විවිධ සමාජ චනලනයන් මෙන්ම ක්‍රියාකාරීත්වයන්ද විමසීමේ දී ඒවා වඩා සංකීර්ණ බව පෙනී යයි. මානව සමාජයේ මෙම හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා සමාජ විද්‍යාවන් කිහිපයක්ම විෂයන් ලෙස වර්ධනය වී ඇත. ඒවා අතරින් මාක්ස්වාදය වඩාත් නිරවද්‍ය ලෙස මෙය විවරණය කළ අතර “දෘෂ්ටිවාදාත්මක පාලනය” ඒ සඳහා භාවිතා කළ එක් මූලික සංකල්පයකි. දෘෂ්ටිවාදාත්මක පාලනය යනු කුමක් දැයි විමසා බලමු.

අප ජීවත් වෙන පංති සමාජයේ පාලක ධනපති පංතිය විසින් සමාජයේ සිතුම් පැතුම්වල ආධිපත්‍ය තමන් වෙත රඳවා ගනු ලබයි. පාලක පංතිය තම පංති අවශ්‍යතාවයන් පොදු ප්‍රායෝගික දේ ලෙසත් ඉදිරිපත් කරනු ලබයි. මේ අනුව සමාජයේ තිබෙන අසමානතාවය, සූරාකෑම ආදිය පීඩිත පංතිය විසින් පොදු සම්මතයක් ලෙස පිළිගැනීමට පෙළැඹේ. මෙම ක්‍රියාවලිය දෘෂ්ටිවාදාත්මක පාලනය ලෙස හඳුන්වනු ලබයි.

මාක්ස් හා එංගල්ස් විසින් රචිත “ජර්මන් දෘෂ්ඨීවාදය” කෘතියෙහි මෙසේ විස්තර කර ඇත.

සෑම යුගයකම රජයන අදහස වන්නේ පාලක පංතියේ අදහස් ය. එනම් සමාජයේ ද්‍රව්‍යමය බලය පාලනය කරන පංතිය ඒ සමගම සමාජයේ බූද්ධිමය බලය පාලනය කරන පංතිය ද වේ. සිය අභිමතය පරිදි ද්‍රව්‍යමය නිෂ්පාදනයේ මාර්ග තමන් සතුකර ගෙන ඇති පංතිය එහි ප්‍රතිඵලයක් වශයෙන් මානසික් නිෂ්පාදනයේ මාර්ග ද පාලනය කරයි.”

ප්‍රාග්ධන හිමියන් වන පාලක ධනපති පංතිය සමාජයේ සියළුම ආර්ථික හා දේශපාලනික මර්මස්ථාන පාලනය කරන අතර, මිනිසුන්ගේ සිතුම් පැතුම් ද පාලනය කරන බව මේ අනුව පැහැදිලිය. එසේ කිරීම සඳහා ජනමාධ්‍ය අතුළු බහුවිධ ක්ෂේත්‍රයන් ඔවුහු උපයෝගී කර ගනිති. විශේෂයෙන් ජනමාධ්‍ය මගින් කරනු ලබන සාවාද්‍ය පරාවර්ථනය තුළින් මිනිසුන්ගේ සිතුම්පැතුම් වෙනස් කොට ධනවාදයට අනුකූලවූ මිනිසෙකු නිර්මාණය කරයි.  ඔහු ක්‍රම විරෝධියෙකු නොවනවා පමණක් නොව අසමානතාවය, සූරාකෑම ආදිය සම්මතයක් ලෙසන පිළිගනී.

මේ පිළිබඳව අදහස් දක්වන ෆිඩෙල්

මාධ්‍ය මගින් කරන්නේ බොරු කියන එක පමණක් නොවේ. සාවාද්‍ය පාරාවර්තනයක් ඇති කිරීමයි. බොරුව හා සාවාද්‍ය පරාවර්තනයන් යනු වර්ග දෙකක්. බොරුව දැනුම මත ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. සාවාද්‍ය පරාවර්තනයන් චින්තනය මත ඍනාත්මක බලපෑමක් ඇති කරනවා. එය තොරතුරු වසන් කිරීමට හෝ විකෘති කිරීමකට සමාන නෑ. ඒ මඟින් සිදුවන්නේ සිතීමට ඇති හැකියාව මොට කිරීමයි.”

අපේ කාලයේ ආදර්ශය – ෆිඩෙල්, පිටුව 85-86

මෙම මාක්ස්වාදී සංකල්පය ඇතුළු බොහෝ මාක්ස්වාදී සංකල්පයන් 1917 රුසියානු විප්ලවයෙන් පසු වැඩි දුරටත් සංවර්ධනය කළ අතර, විෂයයන් ගණනාවක් ඔස්සේ විවිඡ පරාසයන් තුළ අධ්‍යයනයන් විශාල ප්‍රමාණයක් සිදු කරන ලදී.

අන්තෝනියෝ ග්‍රමාස්චි – හෙජමොනි

ඉතාලියේ ජීවත් වූ පශ්චාත් මාක්ස්වාදී දින්තකයෙකු වූ අන්තෝනියෝ ග්‍රමාස්චි විසින් දෘෂිටිවාදාත්මක පාලනය පිළිබඳ තව දුරටත් කරුණු දක්වන ලදී.  පාලකයා පාලනය ගෙන යන ප්‍රධාන මාර්ගයන් දෙකක් පිළිබද ඔහු ඉදිරිපත් කළ අතර ඒවා මර්දනය හා ආධිපත්‍ය ලෙස වර්ග කළේය. මර්දනයෙන් පමණක් පමණක් පාලනය පවකත්වාගෙන යාම අපහසු පව පවසන ග්‍රම්ස්චි පංති, සමාජ ස්ථර හා ශ්‍රේණීන් තම පාලනයට නතු කර ගැනීමට පීඩක පංති විසින් මතවාදී ආධිපත්‍යයක් යොදවන බව පවසයි. එම මතවාදී ආධිපත්‍ය “හෙජමොනි” (Hegemony) යන වචනයෙන් හඳුන්වන ග්‍රම්ස්චි එමගින් ඇති කර ගන්නා අවනතභාවය තුළින් පාලනය වඩා පහසු කරන බව කියා සිටී.

උදාහරණයක් ලෙස තේ වත්තක අධිකාරීවරයා “උඹලා ඔක්කොම ජීවත් වෙන්නේ මම නිසා” යන්න තහවුරු කරන අතර, තේ වත්ත තුළ වැඩ කරන කම්කරුවා “වත්තෙ මහත්තයා නැත්නම් අපට රැකියාවක් කෝ”? ලෙස සූරාකෑම සම්මතය බවට පත් කර ගනී. තමාව සූරාකන කර්මාන්ත ශාලාවේ අයිතිකරුට වන්දනාමාන කරන ඔහුගේ ඡායාරූප බිතතියේ එල්ලාගෙන ඇඟලුම් කම්හල් සේවකයන් වැනි අය අප දකින්නේ මේ තත්වය තුළය. ක්‍රම විරෝධය වෙනුවට ක්‍රමයට අවනත, අනුගත වන තත්වයකට පීඩිතයා පත් වෙන බව මේ අනුව පැහැදිලි වේ. සෑම ධනපති රාජ්‍යයක්ම මර්දනය හා ආධිපත්‍යය යන දෙයාකාරයෙන්ම විවිධ මාත්‍රාවන්ට අනුව යොදවමින් පාලනය ගෙන යයි. පාලකයන් දුර්වල වන විට හෙජමොනියේ සිට මර්ධනය දක්වා මාරු වන අතර, පාලකයන් ප්‍රබල වන විට හෙජමොනියේ දිශාවට වැඩි බර තැබීමක් කරන බව ග්‍රම්සිචි පවසයි.

ආධිපත්‍ය පිළිබඳ සංකල්පය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පය එක් කරමින් Hegemony Masculinity යන සංකල්පය ඉදිරිපත් කර ඇත. එනම් පුරුෂාධිපත්‍ය (හෝ ස්ත්‍රී ආධිපත්‍ය) අධිපති මතවාදයක් ලෙස සමාජය තුළ ක්‍රියාත්මක වීමයි.

දෘෂ්ටිවාදාත්මක පාලනයේ අවසන් ප්‍රතිඵලය වන්නේ ව්‍යාජ විඥානයයි. (False Consciousness) පවතින සෑම දෙයක්ම යහපත් බවත්, ඔවුන් ජීවත් වන හා වැඩ කරන කණගාටුදායක තත්වයන් නොවැළැක්විය හැකි දේ ලෙසත් සිතීමට වැඩ කරන ජනයා හුරු පුරුදු වේ. මෙම මිත්‍යාමතිකභාවය ව්‍යාජ විඥානය ලෙස හැඳින්වේ. අවසන් වශයෙන් බහුජනතාව ව්‍යාජ පංති විඥානයෙන් ආරෝපිත වී ඇති අතර, ඔවුන් සූරාකන්නාට එරෙහිව තමන්ගේ පොදු අවශ්‍යතාවය, වුවමනාව ඥානනය කිරීමට අසමත් වන බව මාක්ස් පවසා සිටින්නේ මේ නිසාය.

විමර්ශන