ඕලන්දයේ ධනේශ්වර විප්ලවය

rsz_politeia_beginning_codex_parisinus_graecus_1807
Plato’s Republic
May 13, 2019
rsz_racism_eggs
පරෙස්සම්වන්න! අසිපත් රැගත් වඳුරන්….
May 14, 2019
Show all

ඕලන්දයේ ධනේශ්වර විප්ලවය

rsz_7399872162_a10d26b334_b

ඕලන්දය, පොදුවේ ලෝකය තුළ නෙදර්ලන්තයට පර්යාය නමකි. එසේ හඳුන්වනු ලැබුවද නෙදර්ලන්තය තුළ ඕලන්දය යනු එහි ප්‍රාන්ත 12න් උතුරු හා දකුණු ඕලන්දය නම් වූ එහි වයඹ දිග ප්‍රාන්ත දෙකක් පමණි. එහෙත් ඉතිහාසය තුළ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් හා වැඩි ජනගහනයක් සහිත වූද ඇම්ස්ටර්ඩෑම් අගනුවර පිහිටියාවූ ද ඕලන්ද භූමිභාගයන් විසින් උසුලන ලද වැදගත්කම හේතුවෙන් ඕලන්දය, බි්‍රතාන්‍යයට අනුව එංගලන්තය හා සමාන වෙයි.

ක්‍රි.පූ. යුගවලදී විටින් විට රෝම අධිරාජ්‍යයට යටත්ව තිබූ ඕලන්දයද ඇතුළත් නෙදර්ලන්ත භූමිභාගයන් තවත් විටෙක ස්පාඤ්ඤයට ද ප්‍රංශයටද යටත්ව පැවතියේය. කෙසේ වුවද, මෙම පාලනයන් මුළුමනින්ම යටත්වීම්වලට වඩා ඕලන්ද ප්‍රාදේශය රජවරුන් හා ප්‍රාදේශීය පාලකයින්ද මගින් සිදුවූ පානයන්විය. කෙසේ වුවද, අට වසරක යුද්ධයකින් පසු 1579දී උතුරු බද ඕලන්ද ප්‍රාන්ත නිදහස අත්පත් කර ගත් අතර ඒවා ‘යුට්‍රෙක් සංගමය’ ලෙස (Union of Utrecht) ඒකාබද්ධ විය. එය නූතන නෙදර්ලන්ත රාජ්‍යයේ ආරම්භය සනිටුහන් කරයි. එංගලන්තයෙ සහායද ඇතිව ස්පාඤ්ඤයේ IV පිලිප් රජුට එරෙහිව දියත් කරන ලද ස්වාධීනතා සටනට පසු පළාත් හතටම 1648දී ලැබුණු පූර්ණ නිදහස සමග ඒවා සහසන්දීය ලෙස ඒකාබද්ධ වූ අතර නෙදර්ලන්ත ජාතික රාජ්‍යය සම්පූර්ණ විය.

ලෝකය වෙළඳ සමාගම් දෙකකට

නෞකා කර්මාන්යේ දක්ෂ වූ ඕලන්දය 16 වැනි සියවසේ මැද භාගයේ සිට බ්‍රසීලය, බටහිර වෙරළබඩ අප්‍රිකානු ප්‍රදේශ හා ඉන්දියානු සාගයරට තම වෙළෙඳ නැව් පිටත් කර හැරියේ කුළුබඩු ඇතුළු වෙළෙඳ භාණ්ඩ සෙවීමටය. ඒවායින් උපදන ලද ධනය තව තවත් සමූද්‍ර චාරිකා සඳහා වෙළෙඳ සමාගම් දිරි ගැන්වීය. 17 වැනි සියවසේ මුල වන විට ඕලන්දය ස්පාඤ්ඤයෙන් නිදහස්වීමට සටන් කරන අතර, ඕලන්ද නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම, ස්පාඤ්ඤය සමග සන්ධානයක සිටි පෘතුගාලයේ වෙළෙඳ මධ්‍යස්ථාන තමන් යටතට පත්කර ගත්තේය. සැබැවින්ම ඕලන්දයේ ධනේශ්වර විප්ලවයේ ආරම්භය හා ඕලන්ද නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගමේ ආරම්භය හා සමපාත වෙයි. ඒකාබද්ධ කොටස් හිමි සමාගමක් ලෙස 1602 දී ආරම්භ කරන ලද මෙම සමාගමට සහසන්ධීය ආණ්ඩුව විසින් ආරම්භයක් ලෙස 21ක් වසරක කාලයක් සඳහා අප්‍රිකාවේ ශුභපැත්මේ තුඩුවේ සිට නැගෙනහිරටත් මැගලන් සමුද්‍ර සන්ධියේ සිට බටහිරටත් වන කලාපයේ ඕලන්ද වෙළෙඳ හා නාවුක කටයුතු වෙනුවෙන් ඒකාධිකාරී බලයක් පවරන ලදී. සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අදාළ ස්ථානවල බලකොටු අත්පත් කර ගැනීම හා ඉදිකිරීමටද, ගිවිසුම් අත්සන් කිරීමට ද, හමුදාවක් නඩත්තු කිරීමට ද, ආරක්ෂාව සඳහා යුද්ධ කිරීමටද අධිකාරී බලය පැවරිණි. එහි සාර්ථකත්වය හේතුවෙන් 1621 දී ඕලන්ද බටහිර ඉන්දීය වෙළෙඳ සමාගමද ස්ථාපිත කරන ලද අතර නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගමට අයත් නොවූ අත්ලාන්තික් හා ඇමෙරිකානු කලාපයේ සහ අප්‍රිකාවේ බටහිර වෙළෙඳබඩ කලාපයේ 25 වසරක ඒකාධිකාරී බලය එය සතු විය.

ස්වර්ණමය යුගය

Image result for old ship

1650 වන විට ඕලන්දය සතු වෙළෙඳ නැව් 16,000ක් ලොව පුරා සාගරවල යාත්‍රා කරමින් තිබිණි. වෙළෙඳ සමාගම් මගින් යටත්විජිත අත්පත්කර ගනිමින් උපයාගත් අතිමහත් ධනය ඕලන්දය ආර්ථික බලවෙතෙකු බවට පෙරළීය. අනෙක් අතට මෙසේ උපදන ලද ධනයෙන් විද්‍යාවේ, යුද්ධයේ හා කලාවේ කරන ලද ආයෝජනය තව තවත් යටත්විජිත ද, වෙළෙඳ මධ්‍යස්ථානද, තව තවත් ධනයද නිර්මාණය කරවීය. ඒ හා සමගාමීව උතුරු ඇමෙරිකාවේද, දකුණු ඇමරිකාවේ ද, දකුණු අප්‍රිකාවේ ද ආසියාවේ ද ඕලන්ද ජනාවාස පිහිට විණි.

බොහෝ දෙනා පිළිගන්නා පරිදි මුළුමනින්ම වෙළෙඳපොළ ධනවාදයට පෙරළුණු ලොව පළමු රට නෙදර්ලන්තයයි. නූතන යුරෝපයේ ධනවත් ම වෙළෙඳ නගරය වූ ඇම්ස්ටර්ඩෑම් එය සතුවිය. පූර්ණකාලීනව ක්‍රියාත්මක වූ ලොව පළමු කොටස් වෙළෙඳපොළ පිහිටියේද එහිය. රක්ෂණය හා විශ්‍රාම වැටුප් අරමුදල ආදී ආර්ථික ක්‍රමවේදයන්හි මුල් බිම එහිය. අතත්‍ය ප්‍රාග්ධනය, ව්‍යාපාරික චක්‍රය වත්කම් බුබුළ ආදී ආර්ථික සංකල්පයන්හි ආරම්භයද එතැනය. කෘත්‍රිම ලෙස ඉහළ නංවන ලද වටිනාකම් සහිත ටියුලිප් මල් අලෙවි ජාවරමක් ද 1636-37 කාලයේ ඕලන්දයේ ක්‍රියාත්මක වූ අතර, එහි උපරිම අවස්ථාවේදී ටියුලිප් මලක මිල පුහුණු කම්කරුවෙකුගේ වාර්ෂික ආදායම මෙන් දසගුණයක් විය.

එය ලොව පළමු සම්ප්‍රේක්ෂණ බුබුළ වශයෙන්ද හැඳින්වේ. එසේම ලොව පළමු මූල්‍ය වෙළෙඳපොළ ජාවාරම්කරු (ඉසාක් ලෙ මයිරෙ) සිටියේද ඕලන්දයේය. තමන් සතු කොටස් විශාල ලෙස වෙළෙඳපොළට දමා කොටස් මිල කෘත්‍රිමව අඩු කිරීමට සලස්වා නැවත එම කොටස් ඉතාම අඩු මුදලකට මිලට ගත්තේ ඔහුය.

දේශපාලන අර්බුද තුළට

කෙසේ වුවද ඕලන්දයේදී වෙළෙඳපොළ ධනවාදය, කාර්මික ධනවාදය බවට පෙරළීම ප්‍රමාද විය. නැගී ආ බ්‍රිතාන්‍යයෙන් එල්ල වූ යටත්විජිත අත්පත් කර ගැනීමේ තරගයට මුහුණ දීමට සිදුවීමත්, සමාජ-දේශපාලන අර්බුදත් හේතුවෙන් 18 වැනි සියවසේ අගභාගය වන විට ඕලන්ද ආර්ථිකය කඩා වැටෙන්නට විය. ප්‍රංශ විප්ලවයේ ආශ්වාදය සමග ඕලන්ද සමූහාණ්ඩුවාදීහු කැරැල්ලකින් රාජාණ්ඩුවාදීන් පරදවා 1795දී බතාවියන් සමූහාණ්ඩුව පිහිටවූහ. එහෙත්, ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ගේ නැගීමත් සමග 1806 දී ඕලන්දය ඔහුට නතු විය. ඔහුගේ සොයුරු ලුවී බොනපාට් රූකඩ ඕලන්ද පාලකයා ලෙස පත් කරන ලදී. එහෙත්, ඔහු සමග ඇතිවූ ගැටුමක් නිසා නැපෝලියන් 1810 දී ඔහු බලයෙන් පහකර 1813 තෙක් ඕලන්දය ඍජුව ප්‍රංශයේ පානය යටතට ගත්තේය. එහෙත් 1813දී නැපෝලියන්ගේ පරාජය සමග ඕලන්දය නැවත රාජධානියක් බවට පත්වූ අතර, කැරැල්ල මොහොතේ රටින් පළා ගිය රජුගේ පුත් විලියම් ෆෙඩ්‍රික් පාලකයා බවට පත්විය.

ප්‍රංශයේ උතුරු මායිමේ ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා 1813 දකුණු නෙදර්ලන්තය උතුරට ඈඳා ගත් ඔහු පළමු විලියම් රජු ලෙස තමාම ප්‍රකාශයට පත්කර ගත්තේය. කෙසේ වුවද, දකුණු ප්‍රදේශය 1581 තරම් ඈත කාලයේ සිට වෙනස් සංස්කෘතික කලාපයක් බවට පත්ව තිබුණෙන් මෙම ඈඳීමට එරෙහි කැරලි පැන නැඟිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1839දී එම ප්‍රදේශවලට නිදහස ලැබුණු අතර, එය නව බෙල්ජියම් රාජ්‍යය නිර්මාණය කළේය. බෙල්ජියම් විප්ලවයත්, ඕලන්ද නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවල (වර්තමාන ඉන්දුනීසියාව) හටගත් සිවිල් යුදමය තත්ත්වයත් හේතුවෙන් නෙදර්ලන්ත ආර්ථිකය බංකොලොත් වෙමින් තිබිණි.

යටත්විජිත සූරාකමින්

මේ තත්වය තුළ 1830දී ජාවා කැරැල්ල ද මර්දනය කිරීමෙන් පසු යටත්විජිත උපරිම ලෙස සූරාකෑම සඳහා කෘෂිකර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලද අතර එය, සැබැවින්ම නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවල බලහත්කාරයෙන් ආර්ථික භෝග වගා කරවීමක් විය. ගැමියන් තමන්ගේ ඉඩම්වලින් 20%ක ආණ්ඩුවේ අපනයනය වෙනුවෙන් දුම්කොළ, රබර් ආදී භෝග වැවිය යුතු වූ අතර, එසේ නොකරන්නේ නම් රජයේ වතුවල වසරකට දින 60ක් අනිවාර්යයෙන් සේවය කළ යුතු විය. මෙය නෙදර්ලන්තයට අතිමහත් ධනයක් උපදවාලීය.

අනෙක් අතට ඕලන්ද ගිනියාව, සුරිනාමය වැනි බටහිර අප්‍රිකානු යටත්විජිත හා දකුණු ඇමෙරිකානු කලාපයේ කුරාකාඕ වැනි දූපත් යටත්විජිත වහලුන් අපනයනය කරන භූමිභාග බවට පරිවර්තනය කෙරිණි. මේ අනුව නෙදර්ලන්තයට මහත් ධනයක් උපදවමින් 1863දී වහල් ක්‍රමය තහනම් කරන තුරු ලක්ෂ 05කට වැඩි අප්‍රිකානුවන් සංඛ්‍යාවක් වහලුන් ලෙස අපනයනය කරනු ලැබීය.

සැබැවින්ම 18වැනි සියවසේ අගභාගයේ සිට යුරෝපයට මහත් බලපෑමක් කළ කාර්මික විප්ලවය ඕලන්දයට පැමිණෙන්නේ 19 වැනි සියවසේ මැදභාගයෙන් පසුවය. වාණිජ කේන්ද්‍රස්ථානයක් වීමද, යටත්විජිත අධිරාජ්‍යයෙන් ධනය ගලාගෙන ඒමද හේතුවෙන් ඕලන්දය ධනේශ්වර විප්ලවයෙන් පසු සියවස් දෙකකට වැඩි කාලයක් වෙළෙඳපොළ ධනවාදය මත රැඳී සිටියේය. එය යුරෝපයේ කාර්මීකරණයට පිවිසි අවසන් රටවලින් එකක් වනුයේ එම තත්ත්වය තුළය.

විමර්ශන