ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වත්මන් භූමිකාව

rsz_lenin
බොල්ෂෙවික්වාදය ‌යනු
May 23, 2019
දේශපාලන විද්‍යාවේ මූල ධර්ම
June 6, 2019
Show all

ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වත්මන් භූමිකාව

ට්‍රම්ප්

පොදුවේ ලෝකය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය හඳුනා ගන්නේ අධිරාජ්‍යවාදී කඳවුරේ ප්‍රමුඛයා ලෙසය; එහි යුදමය පෙරමුණවන නේටෝ සංවිධානයේ නායකයා ලෙසය; තම ආධිපත්‍යය ප්‍රදර්ශනය කරමින් ලෝකය පුරා යුද නැව්, යුද ගුවන්යානා ගමන් කරවමින් ඇති රට ලෙසය; ලෝකයේ විශාලම ආර්ථිකය හිමි රට ලෙසය. විශේෂයෙන්ම ලෝකය ධනවාදයට හිතකර ස්ථානයක් බවට පත්කිරීම සඳහා යුදමය හා මතවාදීමය වශයෙන් මැදිහත්වන්නා ලෙසය.

තවමත් එක්සත් ජනපදය විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. එහි අධිරාජ්‍යවාදී සමාගම් තවමත් ලෝකයේ සම්පත් සූරාකමින් සිටී. කෙසේ වුවද, එක්සත් ජනපදය තවදුරටත් ඉහත කී මුල් ස්වරූපයෙන්ම තේරුම් ගත හැකිද යන්න කෙනෙකු තුළ ගැටලුවක් නිර්මාණය කළ හැකිය. සැබවින්ම එහි වර්තමාන භූමිකාව, ධනවාදය විසින් ඉල්ලා සිටින නිදහස් වෙළඳාමට, විවෘත වෙළෙඳපොළට, තරගකාරිත්වයට දිරිදෙනු ලබයිද? නැතහොත් බාධාකාරීව සිටීද? ආරක්ෂණවාදය පිළිබඳව වැඩිපුරම කථා කරනුයේ කවුරුන් ද? මේ ගැටලු නිතැතින්ම පැනනගියි.

එක්සත් ජනපදයේ නව හැසිරීමේ ආරම්භය 2008 වසරය. එනම් ආසන්නතම ආර්ථික අර්බුදය හටගත් අවස්ථාවය. ඉංග්‍රීසි වී (V) අක්ෂරයේ හැඩයට අර්බුදය අවසන්වී ඉක්මනින්ම ආර්ථිකය ප්‍රකෘති වන බවට වූ අපේක්ෂා බිඳවැටීමෙන් අනතුරුව වසර දෙක තුනක කාලයකට පසු යූ (U) හැඩයට ආර්ථිකය ප්‍රකෘති වනු ඇති බවට වූ අපේක්ෂා ද අවසන්වී තිබේ. දැන් එය එල් (L) හැඩයන් දිග්ගැස්සෙමින් තිබේ. එක්සත් ජනපදයට තමන්ගේ අනාගතය පිළිබඳව දැනෙනුයේ ඒ අනුවය. එනම් තමන් තවත් කොතරම් කාලයකට විශාලතම ආර්ථිකය වනු ඇත් ද යන්නය.

ආරක්ෂණවාදයට පසුබැසීම

එක්සත් ජනපද කර්මාන්තයන්ට තවදුරටත් නිදහස් වෙළඳපොළ ආර්ථිකය තුළ නොනැසී පැවතිය හැකි නොවේ. විරැකියාව වර්ධනය වෙමින් තිබේ. කලක පැමිණෙන ඕනෑම සංක්‍රමණිකයෙකුට ඉඩදුන් බර්ලින් තාප්පය බිඳ දැමීම මහත් උත්කර්ෂයෙන් ඔසවා තැබූ ‘නිදහසේ භූමිය’ අද මෙක්සිකෝ දේශසීමාවේ තාප්ප බැඳීමට යුහුසුළු වේ. ආරක්ෂණවාදී තීරු බදු අහෝසි කරන ලෙසට ජාත්‍යන්තර වෙළඳ සංවිධාන මගින් ලෝකයට බල කළ අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛයා අද ආරක්ෂණවාදයේ (Protectionism) සරණ පැතීම ඉතිහාසයේ සරදමකි.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් නම් ධනවත් ව්‍යාපාරිකයා බලයට පත්වීම අහම්බයක් නොවේ. ඔහු රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ නමුදු, ඔහුගේ ජයග්‍රහණය පිටුපස සිටියේ පක්ෂය නොව ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජන කොටස් මෙන්ම ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන්ය. ලෝකයට පරස්පරයක් ලෙස පෙනෙන ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ‘හිතුවක්කාරකම්වල’  පදනම එතැනය.

අද ට්‍රම්ප්,  නේටෝ සාමාජික රටවලින් තමන්ගේ දායක මුදල් වැඩි කරන ලෙසට බල කරයි. පසුගිය වසරේ ඇන්ජලා මාර්කෙල් චාන්ස්ලර්වරිය සමග පැවති සාකච්ඡාවලදී ඇය නේටෝ දායක මුදල අවමයට වඩා සියයට දෙකක අගයකට ඉහළ දැමීමට පොරොන්දු වූවාය. එහෙත්, එක්සත් ජනපදය සමග වෙළඳාමේදී පවතින යුරෝ බිලියන 54ක වෙළෙඳ වාසියට ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදයේ බාධාවන් ඉවසීමට ඇය අකමැතිය.

මේ තත්ත්වය මේ වන විට කෙතරම් දුර ගොස් ඇත්ද යත්, ලොව බලවත්ම රටවල එකතුවක් වූ G7 නායකයන්ගේ පසුගිය ජුනි මාසයේ අවසන් වූ දෙදින සැසි වාරය අවසානයේ නිකුත් කළ යුතුව තිබූ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. ඒ, එහි “නිදහස්, සාධාරණ සහ අන්‍යෝන්‍ය වෙළෙඳාම ප්‍රවර්ධනය කළ යුතුය” යන සහ  “ආරක්ෂණවාදයට එරෙහිව සටන් වැදීමත්, ජාත්‍යන්තර වෙළෙඳ ක්‍රමයේ නියාමයන්හි අත්‍යවශ්‍ය භූමිකාව පිළිගැනීමත් කළ යුතුය” යන යෙදුම් එක්සත් ජනපදය කෝප ගන්වාලීම හේතුවෙනි. සැසියට පහසුකම් සැලසූ කැනඩා ඇගමැති ජස්ටින් ටෘඩියු විසින් ජාතික ආරක්ෂාවේ නාමයෙන් පනවා ඇති එක්සත් ජනපද තීරු බදු, ලෝක ජාතීන්ට ‘අපහාස කිරීමක්’ ලෙස විග්‍රහ කර තිබිණි.

කෙසේ වුවද, මෙය ට්‍රම්ප්ගේ හදිසි වෙනස්කමක් නොවේ. ඔහු 2016 ජූලි මාසයේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස NBC මාධ්‍ය ආයතනය සමඟ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කරන්නේ එක්සත් ජනපදයට ලෝක වෙළෙඳ සංවිධානයෙන් (WHO) ඉවත්වීමට කාලය පැමිණ ඇති බවය. මෙක්සිකෝවේ නිෂ්පාදනය කර ඇමෙරිකාවේ විකිණීමට ගෙනෙන  ඇමෙරිකානු සමාගම්වල නිෂ්පාදන මත විශාල බදු පනවන බව ඔහු කියා තිබිණි. මෙය ලෝක වෙළෙඳ සංවිධානය විසින් ප්‍රතික්ෂේප නොකරන්නේ දැයි මාධ්‍යවේදියා විමසූ විට ඔහු පිළිතරු දී තිබුණේ ලෝක වෙළෙඳ සංවිධානය ව්‍යසනයක්  (disaster) බවය.

දැන් ජනාධිපතිවරයා ලෙස ඔහු ක්‍රියාත්මක කරමින් සිටින්නේ දිවුරුම්දීමේදී ප්‍රකාශයට පත් කළ මෙම ‘ඇමෙරිකා ෆස්ට්’ (America first) – පළමුව ඇමෙරිකාව) වැඩපිළිවෙළය. 2018 ඔහුගේ ෆෙඩරල් අයවැය තුළ දේශීය සමාගම්වලට බදු සහන දීමත්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම ඇතුළු රජයේ ආයතනවල ප්‍රතිපාදන කප්පාදු කිරීමත්, යුද වියදම් නැංවීමත් සිදුවන්නේ ඒ අනුවය. කලා සහ සෞන්දර්ය ආයතන වෙනුවෙන් මුළුමනින්ම රාජ්‍ය ප්‍රතිපාදන නතර කර දැමීමත් ඊට අයත්ය. ඉදින් ඔහු ඇමෙරිකාව පළමු තැනට ගෙන ඒමට උත්සාහ කරන්නේ කුමන ආකාරයෙන් දැයි පැහැදිලිය. ඇමෙරිකාවේ කඩා වැටෙන ධනවාදය බේරා ගැනීම වෙනුවෙන් ලෝකය විඳවූවාට කමක් නැතැයි ඔහු සිතනවා විය යුතුය. සුභසාධන ධනවාදය හෝ නව ලිබරල් නිදහස්වාදය පවත්වාගෙන යාමට තවදුරටත්  එක්සත් ජනපදයට නොහැකිය. ජාතිකවාදී, ආරක්ෂණවාදී පිළිවෙතක් වෙත එක්සත් ජනපදය පසුබසිමින් සිටින්නේ ඒ නිසාය. එහෙත් මින් අදහස් වන්නේ එක්සත් ජනපදය සමස්ත ලෝකයේම නව ලිබරල්වාදය අහෝසි කරන බව නොවේ. තම රට ආරක්ෂණවාදයේ තබා ගනිමින් ලෝකයෙන් තවදුරටත් විවෘතකරණය ඉල්ලා සිටී. ඊට බලකරයි.

යුදමය ගැටුමකට

ධනවාදයට තමන් තුළම වන විසඳා ගත නොහැකි අර්බුදය මෙම තත්ත්වය තුළ ද දැකිය හැකිය. එනම්, නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ ජාතික රාජ්‍යය අතර වන පරස්පරයයි. පළමු සහ දෙවන ලෝක යුද්ධයන්ට ආසන්න කාලයේ ලෝකය තුළ ද පැවතියේ මේ හා සමාන ආර්ථික ගැටුමකි. අද ද අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අමුද්‍රව්‍ය, වෙළෙඳපොළ, ලාභ ශ්‍රමය, බල ආධිපත්‍යය වෙනුවෙන් එකිනෙකා සමග රාජ්‍යතාන්ත්‍රික හා වාණිජ ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.

පරිභෝජන භාණ්ඩ අලෙවියේදී එක්සත් ජනපදයට ඇත්තේ අවාසිදායක තත්ත්වයකි. එක්සත් ජනපද නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළේ මිල මට්ටම් සමඟ තරග කළ නොහැකිය. එබැවින් ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය විසින් ඉල්ලා සිටින වෙළෙඳාමට වාසිදායක පරිසරය අද එක්සත් ජනපදයට අවාසිය. පවතින තත්ත්වය තුළ එක්සත් ජනපදයට වාසිදායක වන්නේ ආයුධ වෙළෙඳාමේදී පමණි. නිදසුනක් ලෙස ගතහොත් සෙසු පාර්ශ්වකරුවන් වියවුලට ඇද දමමින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වන්නේ මේ තත්ත්වය තුළය. එක්සත් ජනපදයට වාසිදායක වනුයේ, එම තත්ත්වය විසින් උද්ගත කරවන මැදපෙරදිග යුද උණුසුමය. එසේ වුවහොත්, කලාපයේ සෑම රටක්ම පාහේ සිය යුද වියදම් ඉහළ දැමීමට ඉඩ ඇති අතර, එහි වාසිය හිමි වන්නේ එක්සත් ජනපදයටය. ඔවුන් ඒ පිළිබඳව සිතනවාද විය හැකිය.

අනෙක් අතට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය අර්බුදයට විසඳුම් සෙවීමේදී කිසිදා ලෝකයට ඉන් සිදුවන බලපෑම පිළිබඳව නොසිතීය. එක්සත් ජනපද වත්මන් හැසිරීම පූර්ව දෙවන සංග්‍රාම කාලයට සමාන වෙමින් ඇති බවටද අදහස් පළ වෙමින් ඇත්තේ මේ තත්ත්වය තුළය. විශේෂයෙන් පළමු ලෝක යුද්ධයෙන් පසු 1920 දී ලෝක  සාමය වෙනුවෙන් දරන ලද ප්‍රධානතම උත්සාහය වන වර්සේල්ස් ගිවිසුමින් ඉවත්වීමට කටයුතු කළ එක්සත් ජනපදය 1921 දී ජර්මනිය සමඟ අත්සන් කළේ වෙනම ගිවිසුමකි. ජාතීන් අතර යුද වැදීම වැළැක්වීම සඳහා එම බලය ජාතීන්ගේ සංගමය (League of Nations ) වෙත පවරා ගැනීමට එරෙහි වූ එක්සත් ජනපදය, යුද ප්‍රකාශ කිරීමේ බලය තමන් සතුව තබා ගත යුතු බව කියමින් එම සංවිධානයට එකතු නොවීය. එක්සත් ජනපදයේ මෙබඳු හිතුවක්කාරී හැසිරීම් එම ලෝක සාම ප්‍රයත්නය හෑල්ලු කරවූ අතර, තවත් දශක දෙකකට පසු ලෝක යුද්ධයක් කැඳවීය.

මෑත කාලය ගතහොත්, 1997 දී ජෝර්ජ් බුෂ් ගෝලීය උණුසුම පිළිබඳ කියෝතෝ සම්මුතියෙන් ඉවත්කර ගැනීමට කටයුතු කළේය. මෙබඳු හිතුවක්කාරී තීරණ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ තවත් අංශ තුළ ද සිදුව තිබේ. පසුගිය ජුනි මාසයේ එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඒකපාර්ශ්විකව ඉවත් වූයේය. 2017 ඔක්තෝබරයේදී එක්සත් ජනපදය යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කරන්නේ එය වෙත ලබාදෙන සිය ප්‍රතිපාදන ද කප්පාදු කරන බව පවසමිනි.

මෙම හිතුවක්කාරී පියවරයන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය භූමිකාව හැකිළී යාමේ ප්‍රතිඵලයක් විය හැකි වුවද, එමගින් අභියෝගයට ලක්කර ඇත්තේ සාමූහිකව තීන්දු ගැනීමේ අධිකාරිත්වයයි. එකිනෙකාට එරෙහිව ලෝකය යුද වැදී ඇත්තේ ද මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් තුළම වීම බැහැර කළ නොහැකි සත්‍යයකි. තමන්ගේ සාම්ප්‍රදායික අධිරාජ්‍යවාදී කඳවුර අමනාපකර ගනිමින් හා ප්‍රතිරෝධතා ඇති කර ගනිමින්  එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මේ පා තබා ඇත්තේ නව අදියරයකටය. දැනට එහි පෙනුම වෙළෙඳ ගනුදෙනුවල වාසිය බෙදා ගැනීම පිළිබඳ ගැටලුවකි. එහෙත් උග්‍රවන ආර්ථික අර්බුදය මහා පරිමාණයෙන් යුද බෙර හඬවනු නැතැයි කිසිවෙකුටත් සහතික විය නොහැකිය. නමුත්, තමන් විසින්ම කැඳවා ගත් නව ලිබරල්වාදය නමැති භූත බලවේගය තවදුරටත් තමන්ට පාලනය කරගත නොහැකි යකැදුරෙකුගේ තත්ත්වයට එක්සත් ජනපදය පත්ව තිබේ. ධනවාදයේ අර්බුදයේ ස්වභාවය එයයි.

 

විමර්ශන