සමාජවාදය තුළ විවේකය

rsz_108dxsl
සිංහල කවියෙහි මහගම සේකර බලපෑම සහ ඔහුගේ නිර්මාණ
April 10, 2019
rsz_15-ancient-egyptian-gods-facts_14-min
ඉතිහාසයේ කතාව…8 ඉතිහාසයේ ආගම් බිහිවුණු හැටි
April 18, 2019
Show all

සමාජවාදය තුළ විවේකය

rsz_resort-1073666

සමාජවාදය පිළිබඳ ධනපති පංතිය පතුරුවා ඇති අසත්‍යයන් ගණනාව අතර ‘බලෙන් වැඩ ගැනීම’, ‘ළමුන් වැඩිහිටියන්ගෙන් පවා වැඩ ගැනීම’ ආදී මිථ්‍යාවන් වේ. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ දෙය සිදුවන්නේ ධනවාදයේදී ය. සමාජවාදය තුළ දී ශ්‍රමකමිත්වය දිරි ගන්වන අතරම, ශ්‍රමයට එහි සැබෑ වටිනාකම ලබා දේ. කම්කරුවන්ට වැඩ කරන ජනතාවට සැබෑ ලෙසම විනෝදයට හා විවේකයට ඉඩ ලබා දී ඇත්තේ සමාජවාදයේ දී ය. මෙම ලිපියෙන් මෙවර අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, සමාජවාදී සෝවියට් දේශය තුළ දී වැඩ කරන ජනතාවට විවේකය හා විනෝදය තහවුරු කර තිබුණේ කෙසේද යන්න ය.

සෝවියට් ව්‍යවස්ථාවෙන්ම එරට පුරවැසියන්ට ‘විවේකයට හා විනෝදයට ඇති අයිතිය’ තහවුරු කර තිබුණි. විවේකයට හා විනෝදයට ඇති අයිතිය රැකියාවක් කිරීමට ඇති අයිතිය හා සම්බන්ධය. රැකියාවක් ලැබීමට ඇති අයිතිය තහවුරු නොවන විට විවේකයට හා විනෝදයට ඇති අයිතිය ද තහවුරු නොවේ. විවේකයට හා විනෝදයට ඇති අයිතියෙන් අදහස් වන්නේ සමාජය වැඩ කරන ජනතාවට සිය හැකියාව හා ශක්තිය නැවත ළඟා කර ගැනීම සඳහාත් සෞඛ්‍ය තත්වය ගොඩනඟා ගැනීම සඳහාත් විනෝද වීමට හා ක්‍රීඩාවෙහි යෙදීමට කාලය ලබා දෙන බවයි.

වැඩ හා විවේකය

වැඩ කරන කාලය අඩු කිරීමත්, නිදහස් කාලය වැඩි කිරීමත් සමාජවාදයට ආවේණික ගුණයකි. ප්‍රථම සමාජවාදී රට වූ සෝවියට් දේශයේ පැය 08ක වැඩ දිනය තහවුරු කරනු ලැබුවේ විප්ලවය සිදු වූ 1917 වසරේදීම ය. (සාර්ගේ පාලන කාලයේ දී සාමාන්‍ය කම්කරුවෙකුගේ වැඩ සතිය පැය 58ක් විය.) 1950 වසර වන විට මෙය තවදුරටත් අඩු විය. 1979 වසර වන විට කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩ දිනය පැය 07ක් විය. සමහර රැකියාවන්හි එය පැය 06ක් දක්වා අඩු වී තිබුණි. සතියකට දින 06ක් වැඩ කළ යුතු විය. සතියකට දින 05ක වැඩ කාලයක දී වුවද වැඩ කරන කාලය පැය 41ක් නොඉක්මවූයේය.

සෝවියට් ජාතික ආර්ථිකය තුළ රැකියාවේ නියුතු සියලු දෙනා සඳහා සතියේ විවේක දින තහවුරු කර තිබුණි. විවේක දිනයට පෙර දින වැඩ දිනය කෙටි විය. රාත්‍රී වැඩ මුරයේ කාලය කෙටි කර තිබුණි, අතිකාල පැය වැඩිහිටියන් සඳහා පමණක් සීමා කර තිබූ අතර වයස අවුරුදු 18ට අඩු අයගෙන් අතිකාල වැඩ ගැනීම තහනම් විය. වයස අවුරුදු 18ට අඩු කම්කරුවන්ගෙන් වැඩ ගැනීම  සතියට පැය 24 – 36 කට (වයස අනුව) සීමා කර තිබුණි.

තවද සමස්තයක් ලෙස කාර්යාලීය හා පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු පුද්ගලයන්ගේ සහ බර වැඩ කරන කම්කරුවන්ගේ වැඩ සතිය ලෝකයේ අඩුම වැඩ සතිය විය. එහි සාමාන්‍ය කාලය පැය 39.4කි. අවශ්‍යතාව අනුව සහ විශේෂ ඉල්ලීම් මත වැඩ සතිය තවදුරටත් අඩු කළ අවස්ථා පැවතුණි.

මෙම අවධියේදී ධනවාදී රටවල වැඩ සතිය ව්‍යවස්ථාපිත සීමාව ඉක්මවා ගියේය. උදාහරණයක් ලෙස බටහිර ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය සහ එවැනි තවත් රටවල ව්‍යවස්ථාපිත වැඩ සතිය පැය 48ක් විය. නමුත් සැබෑ ලෙසම එකී රටවල වැඩ සතිය පැය 48 ඉක්මවා ගියේ ය. ජපානය තුළ කම්කරුවන් හත්දෙනෙකුගෙන් එක් අයෙකුගේ වැඩ සතිය පැය 60කට වඩා වැඩිව තිබුණේය. මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් සඳහා වැඩ සතිය පැය 48ක් වූ අතර, යොවුන් වියේ කම්කරුවන්ගේ වැඩ සතිය පැය 44ක් විය.

වැඩ සහ නිවාඩු දින

සෝවියට් දේශය සෑම කම්කරුවෙකුටම වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු වෙන්කර තිබුණි. ඒ සඳහා ගෙවීම් කරනු ලැබුවේ සමාජ පරිභෝජන අරමුදලිනි. 1958දී එවැනි වැටුප් සහිත නිවාඩු වර්ෂයකට වැඩ කරන දින 18.5ක් වූ අතර 1979 දී එය දින 21.6ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

වයස අවුරුදු 18ට අඩු රැකියාවන්හි නියුතු වූවන් සඳහා වසරකට මාසයක නිවාඩුවක් වෙන්කර තිබුණි. එකම ව්‍යවසාය තුළ වැඩි කාලයක් වැඩ කළ සහ එකම රැකියාවේ වැඩි කාලයක් වැඩ කළ කම්කරුවන්ට සහ තවත් විශේෂිත රැකියා වර්ග සඳහා අමතර නිවාඩු ලබා දෙනු ලැබීය. ආක්ටික් ප්‍රදේශයේ සහ ඈත පෙරදිග රැකියාවන්හි නියුතු වූවන්ට සහ ස්වභාවික සම්පත් සංවර්ධනය කර භාවිතයට ගන්නා රැකියාවන්හි නියුතු වූවන්ට වැඩි නිවාඩු අවස්ථා සහතික කර තිබුණි.

ගැබිණි මව්වරුන් සඳහා ප්‍රසූතියට පෙර දින 56ක් සහ ප්‍රසූතියට පසු දින 56ක නිවාඩුවක් සහතික කර තිබුණි. ඊට අමතරව ඔවුන්ට ගර්භිණී දීමනාවක්ද මෙම කාලය තුළ දී ගෙවනු ලැබීය.

මෙම අවධියේදී බොහෝ රටවල උදාහරණයක් ලෙස ජපානයේ, කැනඩාවේ, හා ඉතාලියේ ගර්භිණී නිවාඩුව දින 10 නොඉක්ම වීය. ධනවාදී රටවල් විසින් ලබා දුන්නේ කාන්තාවන්ගෙන් 1/3කට අර්ධ ගෙවීමක් සහිත කෙටි ගර්භිණී නිවාඩුවකි. ඉතාලියේදී කාන්තාවන් දරු ප්‍රසූතියෙන් පසු රැකියාවෙන් ඉවත් කිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ටද එයම සිදු විය. ජපානයේ ව්‍යවසායකයන් 2/3ක්ම කාන්තාවන් විවාහ වූ වහාම රැකියාවෙන් ඉවත් කළ යුතු බවට උපදෙස් දී තිබුණි. ගර්භිණී මාතාවන් හා මව්වරුන් මෙසේ රැකියාවලින් ඉවත් කරනු ලැබුවේ හාම්පුතුන්ට සමාජ සංරක්ෂණය සඳහා වියදම් කිරීමට සිදුවන නිසාවෙන් සහ ඒ සඳහා නව සේවකයන් බඳවා ගැනීමට සිදුවන නිසාවෙනි.

විවේකාගාර, නිවාඩු නිකේතන පහසුකම්

Image result for socialist soviet spa

සෝවියට් දේශය කම්කරුවන්ට වැටුප් සහිත නිවාඩු සහතික කළා පමණක් නොව ඔවුන්ට ලැබුණු නිවාඩු නිකේතන, විවේකාගාර, සහ සෞඛ්‍යාගාර සහ නවාතැන් පහසුකම් ජාලයන් ලොව කිසිදු රටක නොපැවතිණි. මෙම පහසුකම් සියලු සෝවියට් පුරවැසියන්ට ලබාගත හැකි වූ අතර සෝවියට් දේශය පුරාම ඒවා පිහිටුවා තිබුණි.

සෝවියට් දේශය තුළ තිබූ නිවාඩු නිකේතන ජාලය රජය ඉතා පහසු මිල ගණන්වලට මෙම පහසුකම් ලබා දුන්නේය. රජය මේ සඳහා විශාල මිල අඩු කිරීම් සහිතව වවුචර් (ගෙවීම් පත්) ලබා දුන්නේය. වෘත්තීය සමිති නිවාඩු නිකේතනයක් සඳහා දිනක නවාතැන් ගාස්තුව රූබල් 121ක් පමණ විය. රජය ලබා දෙනු ලැබූ වවුචර්වලින් මුළු අය කිරීම කරනු ලැබුවේ 1/5ක් පමණි. තවත් 1/5ක් නොමිලයේ ලබාදුන් අතර, ඉතිරි වවුචර් සඳහා අයකරනු ලැබුවේ වවුචරයේ මිලෙන් 30%ක් පමණි. රෝග නිවාරණ මධ්‍යස්ථාන නවාතැන් නොමිලයේ හෝ 70%ක මිල සහනයක් සහිතව ලබාදුනි.

1976-1980 කාලය තුළදී මිලියන 260කට වැඩි පිරිසක් විසින් මෙම නිවාඩු නිකේතන, සෞඛ්‍යාගාර හා විවේකාගාර පහසුකම් ලබා තිබුණි. 1980 වන විට සෝවියට් දේශය තුළ ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලා 600ක්, කෞතුකාගාර 1400ක්, පුස්තකාල 350,000ක් විනෝද උද්‍යාන 2000කට වැඩි ගණනක් ඉදිකර තිබුණි. සංවර්ධිත ධනවාදී රටවල් හා සසඳන කල පුද්ගලයන් 1000කට වැඩිම සංස්කෘතික හා විනෝද පහසුකම් සපයන ආයතන ඇති රට බවට සෝවියට් දේශය පත්ව තිබුණි.

ධනවාදය තුළදී කම්කරුවා, ලාභ ලබාදීමේ හැකියාව සහිත විශේෂ වර්ගයක හුවමාරු භාණ්ඩයක් ලෙස සැලකේ. එම නිසා ධනවාදයේදී විවේකය හා විනෝදය සඳහා කෙරෙන වියදම් නාස්තියක් ලෙසත්, ලාභ නූපදවන දෙයක් ලෙසත් සැලකේ. මේ නිසා ඔවුහු හැකි හැම විටම එවැනි වියදම් කපා හරිති. එහෙත් සමාජවාදය තුළදී ශ්‍රම හැකියාව සහිත මිනිසා සමාජයේ ලොකුම සම්පතයි. මේ නිසා සමාජවාදය තුළ දී පුද්ගලයාට ඔහුගේ විවේකය, නිදහස් කාලය ඔහුගේ කායික හා මානසික සංවර්ධනය ළඟා කර ගැනීම වෙනුවෙන් යොදා ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබාදෙයි.

විමර්ශන