සියවසක් සපුරන 3වැනි ජාත්‍යන්තරය

rsz_008
අධිරාජ්‍යවාදය: ආර්ථිකය ග්‍රහණයට ගෙන
March 4, 2019
rsz_image-of-period-of-stone-age-for-history
පංති සමාජය පැණ නැගුණු හැටි
March 6, 2019
Show all

සියවසක් සපුරන 3වැනි ජාත්‍යන්තරය

rsz_third-international-communist-meeting

ලෙනින්වාදී තුන්වන ජාත්‍යන්තරය, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් මඟේ දිගුවකි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ විකාශනයේ වැදගත් අවස්ථාවක් ලෙස 1847 සහ 1848 වර්ෂ හඳුන්වා දිය හැක. 1847 කොමියුනිස්ට් සංගමය බිහි වූ අතර 1848 කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය එළිදක්වන ලදී. 1847 කොමියුනිස්ට් සංගමය ඊට පෙර පැවති කම්කරු සංවිධානයක් වූ “යුක්තිකාමීන්ගේ සංගමය” ප්‍රතිසංවිධානය කිරීමෙන් ගොඩනගන ලදී.

මාක්ස්-එංගල්ස් දෙදෙනාගේ න්‍යායික සහ ප්‍රායෝගික මඟපෙන්වීම සහිතව ප්‍රතිසංවිධානය වූ මෙම සංවිධානය එතෙක් භාවිතා කළ යුක්තිකාමීන්ගේ සංගමය යන නම “කොමියුනිස්ට් සංගමය” ලෙස වෙනස් කරන ලදී.

යුක්තිකාමීන්ගේ සංගමයේ ආදර්ශ පාඨය වූ “සියලූ මිනිස්සු සහෝදරයෝය” යන්න වෙනුවට “සකල දේශවාසී නිර්ධනයනි, සමගිවව්” යන්න තම ආදර්ශ පාඨය ලෙස ගන්නා ලදී. එහි ආදර්ශ පාඨයෙන් කියවෙන ආකාරයෙන්ම කොමියුනිස්ට් ව්‍යාපාරය එහි ආරම්භයේ පටන්ම සංවිධානමය වශයෙන් මෙන්ම එහි න්‍යායික දැක්ම පැත්තෙන්ද ජාත්‍යන්තර එකක් විය.

ආරම්භයේදීම ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන් ආරම්භ වූ ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට විවිධ හැලහැප්පීම් මධ්‍යයේ විවිධ පසුබෑම්, බිඳ වැටීම් මධ්‍යයේ වුවද නැවත නැවතත් ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන්ම ගොනු වෙමින් ඉදිරියට ගමන් කිරීමට බල කෙරෙමින් ඇත.

1848 කොමියුනිස්ට් සංගමය වශයෙන් සංවිධානය වූ ලෝක කම්කරු පංතිය පසුව 1864දී පළමු ජාත්‍යන්තරය වශයෙන් සංවිධානය විය. මාක්ස්ගේ හා එංගල්ස්ගේ නායකත්වයෙන් ගොඩනැගූ පළමුවැනි ජාත්‍යන්තරය විවිධ සමාජවාදී ගුරුකුලවලින් සමන්විත වූවක් විය. ආරම්භයේදී එසේ විය යුතුව තිබිණි. 1876 වන විට පළමු ජාත්‍යන්තරය දුර්වල වී ගිය අතර ප‍්‍රංශ විප්ලවය සිදුවී සියවසක් සපිරීමද නිමිති කර ගනිමින් 1889දී ෆෙඩ්රික් එංගල්ස්ගේ නායකත්වයෙන් නැවතත් දෙවන ජාත්‍යන්තරය වශයෙන් ගොඩනංවනු ලැබිණි. දෙවන ජාත්‍යන්තරය ගොඩනැගීමේදී එය මාක්ස්වාදී පක්ෂවලින් ගොඩනැගීමට එංගල්ස් පියවර ගෙන තිබිණි. එම ජාත්‍යන්තරය හැඳින්වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය නමිනි. ඒ, එකල මාක්ස්වාදී පක්ෂ හඳුන්වනු ලැබුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂ ලෙස නිසාය. එංගල්ස්ගේ මරණින් පසු දෙවන ජාත්‍යන්තරයේ නායකත්වයට පත් කළ කෞට්ස්කි වැනි නායකයින් අවස්ථාවාදයට වැටීමත් සමග දෙවන ජාත්‍යන්තරය පිරිහීමට පත්විය. ලෙනින් වරක් එය හැඳින්වූයේ දුගඳ හමන මළකුණක් ලෙසය.

1916දී දෙවන ජාත්‍යන්තරයද විසිරී ගිය අතර නැවතත් ලෝක කම්කරු පංතියට නායකත්වය සැපයීම සඳහා 1919 වසරේදී වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තරය ගොඩනංවන ලදී. 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයේ ජයග්‍රහණයෙන් නිර්මාණය වූ නව ලෝක දේශපාලන වටපිටාවට අනුව ලෙනින් විසින් 3වැනි ජාත්‍යන්තරය ගොඩනගන විට එය කොමියුනිස්ට් පක්ෂවල ජාත්‍යන්තරය ලෙසින් ගොඩනගන ලදී. 1943 වසරේදී ස්ටාලින් විසින් විසුරුවා හරිනු ලබන තෙක් දශක දෙකහමාරක පමණ කාලයක් තුන්වන ජාත්‍යන්තරය ලෝක කම්කරු පීඩිත ජනයාට නායකත්වය දෙමින් ලෝකයේ බොහෝ රටවලට සමාජවාදය කරා ගමන් කිරීමට මඟ පෙන්වීය.

එමෙන්ම යටත්විජිත රාජ්‍යයන් එම යටත්විජිතභාවයෙන් මිදීම සඳහා ගෙන ගිය ජාතික විමුක්ති අරගලයන්ටද තුන්වන ජාත්‍යන්තරයේ නොමද සහය ලැබුණි. මේ නිසා ලොව යටත්විජිතයන් වශයෙන් පැවති රාජ්‍යයන් රාශියක් නිදහස් ජාතීන් බවට පත් විය.

2019 වසර වන විට ලෙනින්වාදී තුන්වන ජාත්‍යන්තරය බිහිකර සියවසක් සපිරේ. එවැනි මොහොතක තුන්වන ජාත්‍යන්තරය පිළිබඳ යළි සිහිපත් කළ යුත්තේ, එහි දේශපාලනය නැවතත් මතුකර ගැනීම වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරන නිසාවෙනි. එමෙන්ම තුන්වන ජාත්‍යන්තරය විසුරුවා හැරීමෙන් පසු ගත වූ අඩ සියවසකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට පුළුල් එකඟතාවයක් සහිත ජාත්‍යන්තරයක් වශයෙන් ගොනු වීමටද නොහැකි විය. එවැනි ගොනු වීමක් වත්මන් ලෝක අවශ්‍යතාවයක් වී ඇත.

දෙවන ජාත්‍යන්තරය පිරිහිමට ලක්වීමෙන් අනතුරුව එහි සිටි මාක්ස්වාදීන් නැවත 1915 සැප්තැම්බර් 5 – 8 කාලයේ ස්විට්සර්ලන්තයේ සිමර්වර්ලන්ඩ් හිදී රැස් විය. මෙය සිමර්වර්ලන්ඩ් ජාත්‍යන්තරය වශයෙන් හැඳින්වෙන අතර මෙහිදී ලෙනින්ගේ දේශපාලන මැදිහත්වීම් ප්‍රබල විය. සිමර්වර්ලන්ඩ් ජාත්‍යන්තරය තුන්වන ජාත්‍යන්තරයේ ආරම්භක අවධියක් වශයෙන්ද සැලකිය හැක. 1917 ඔක්තෝබර් විප්ලවය විසින් ලෝක දේශපාලනයේ ඇතිකර තිබූ ගතිකත්වයත් ලෙනින්ගේ නායකත්වයට ඇතිව තිබූ පිළිගැනීමත් 1919 තුන්වන ජාත්‍යන්තරය බිහි කිරීමට බොහෝ සෙයින් උපකාරී විය.

එමෙන්ම සමාජවාදයේ ලෝක ජයග්‍රහණයකින් තොරව රුසියානු විප්ලවයට තනිව සමාජවාදය ජයග්‍රහණය කිරීමට පමණක් නොව ආරක්‍ෂා වීමටවත් නොහැකි බව ලෙනින්ගේ අදහස විය. 1818 සිට 1921 දක්වා රුසියානු සිවිල් යුද්ධය ඇවිලී ගිය අතර රට තුළ සිටි රාජාණ්ඩු පාලකයන්, මිලිටරි හමුදා කණ්ඩායම් මෙන්ම විදේශ ජාතීන්ද ඇතුළු සියලූ ප්‍රතිගාමී කොටස් බොල්ෂෙවික්වරුන්ට එරෙහිව එකට එක් වී පහර දෙමින් සිටියෝය. බොල්ෂෙවික්වරුන්ගේ දුර්වලවීම තව තවත් ප්‍රතිගාමීන් ශක්තිමත් කරන්නක් විය. ඊට එරෙහි අරගලය ජාත්‍යන්තර වූවක් මිස රුසියාව තුළට කොටු වූ එකක් නොවන බව ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික්වරු හොඳින් අවබෝධ කරගෙන සිටියහ. රුසියාවෙන් ඇරඹි ලෝක සමාජවාදී විප්ලවය ආරක්‍ෂා කරගනිමින් එය ලෝක පරිමාණ ජයග්‍රහණයක් බවට පත් කිරීමට කොමියුනිස්ට් ජාත්‍යන්තරයක අවශ්‍යතාවය අනිවාර්ය විය.  මේ සියලූ කාරණාවන් හේතු පාදක කරගනිමින් තුන්වන ජාත්‍යන්තරය ගොඩනගන ලදී.

එහි ආරම්භක සැසිය 1919 මාර්තු 2 – 6 කාලය තුළ මොස්කව් නුවරදී පැවැත්වුණි. එතැන් සිට තුන්වන ජාත්‍යන්තරයයේ ලෝක සමුළු 07ක් පවත්වා ඇත. මෙහි දෙවැනි සමුළුව 1920 ජූලි 19, අගෝස්තු 07 මොස්කව් සහ පෙට්‍රෝග්‍රෑඩ්හිද, තුන්වන සමුළුව 1921 ජූනි 22 අගෝස්තු 12 කාලයේ මොස්කව්හිදීද, හතරවන ලෝක සමුළුව 1922 නොවැම්බර් 05 – දෙසැම්බර් 05 කාලයේ මොස්කව් සහ පෙට්‍රෝග්‍රෑඩ්හිදීද,  පස්වන ලෝක සමුළුව 1924 ජූනි 17, ජූලි 08 කාලයේ මොස්කව්හිදීද, හයවන ලෝක සමුළුව 1928 ජූලි 17 – සැප්තැම්බර් 01 කාලයේ මොස්කව්හිදීද, හත්වන සහ අවසන් සමුළුව 1935 ජූලි 25  – අගෝස්තු 20 කාලයේ මොස්කව්හිදීද පවත්වන ලදී. මීට අමතරව තවත් කලාපීය සමුළු ගණනාවක්ද පවත්වන ලදී. 1920දී බාකුහිදී පවත්වන ලද පෙරදිග ජනතාවගේ සමුළුව, 1922 මොස්කව් සහ පෙට්‍රෝග්‍රෑඩ්හිදී පවත්වන ලද ඈත පෙරදිග වැඩකරන ජනතාවගේ සමුළුව, 1927 බ‍්‍රසල්ස්හිදී පවත්වන ලද යටත්විජිතවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි සමුළුව, 1930 හැම්බර්ග්හිදී පවත්වන ලද නීග්‍රෝ කම්කරුවන්ගේ සමුළුව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

තුන්වන ජාත්‍යන්තරයේ පළමු සැසිය ප්‍රධාන වශයෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ න්‍යායික කාරණය සම්බන්ධ ගැටලූව සඳහා යොමු විය.

තුන්වන ජාත්‍යන්තරයේ දෙවන සමුළුව යටත්විජිත රටවල දේශපාලන තත්වය සම්බන්ධයෙන් තම අවධානය යොමු කරන ලදී. යටත්විජිතයන්හි ජාතික විමුක්ති අරගල සඳහා සියලූම කොමියුනිස්ට් පක්‍ෂ සහය දිය යුතු බවට මෙහිදී එකඟතාවයක් ඇති කරගන්නා ලදී. මෙය ලෝක දේශපාලනය වෙනස් කිරීමෙහිලා ප්‍රබල බලපෑමක් කළ දේශපාලන තීන්දුවක් විය. ඒ වන විටත් අධිරාජ්‍යවාදයෙන් බැටකමින් සිටි ලෝකයේ බොහෝ ජනතාවන්ට තම යටත්විජිත විරෝධී, අධිරාජ්‍යවිරෝධී ජාතික විමුක්ති අරගල සමාජවාදය ජයග්‍රහණය කිරීමෙන් කෙළවර කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ වෙත ගෙන යාමට මඟ පෙන්වීම සිදුකරනු ලැබුයේ මෙම සමුළුව මගිනි.

1924 ලෙනින්ගේ අභාවයත්, ස්ටාලින් බලයට පත් වීමත් සමඟම තුන්වන ජාත්‍යන්තරයේ දේශපාලන ගමන් මඟද සැලකිය යුතු වෙනසකට භාජනය විය.

ලෝක සමාජවාදය දිනා ගැනීම පිළිබඳ අදහස වෙනුවට ජාත්‍යන්තරවාදය යනු සෝවියට් දේශය ආරක්‍ෂා කිරීම යන අදහස දක්වා පසු බසින ලදී. ස්ටාලින් විසින් තනි රටක සමාජවාදය ජයග්‍රහණය කළ හැකිය යන ප්‍රවාදය වර්ධනය කරන ලදී. ස්ටාලින් වෙනුවෙන් මෙම අදහස තුන්වන ජාත්‍යන්තරයේ 6වැනි සමුළුවට ඉදිරිපත් කරන ලද්දේ නිකොලායි බුහාරින් විසිනි.

තුන්වන ජාත්‍යන්තරයේ අවසන් සමුළුව 1935 අගෝස්තු 20 – 25 කාලය තුළ කොමියුනිස්ට් පක්‍ෂ 65ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මොස්කව්හිදී පවත්වන ලදී. ෆැසිස්ට්වාදයට එරෙහිව මහජන පෙරමුණු න්‍යාය නිල වශයෙන් සම්මත කරගනු ලැබුවේ මෙම සමුළුව තුළය. එමඟින් තර්ක කරනු ලැබුයේ නැගීගෙන එන ෆැසිස්ට්වාදයට එරෙහි සියලූම පක්‍ෂ සමඟ කොමියුනිස්ට් පක්‍ෂ සන්ධාන ගත විය යුතු බවටය.

ජාතික විමුක්ති අරගලවලට නායකත්වය දෙමින් එම අරගල සමාජවාදය දක්වා වර්ධනය කිරීම සඳහා තුන්වන ජාත්‍යන්තරයේ දෙවැනි සමුළුවේ පැමිණි තීරණය ලෝක සමාජවාදී ව්‍යාපාරයට ජයග්‍රහණයන් රාශියක් අත්පත් කර දුන්නේ කෙසේද? ඒ අයුරින්ම තුන්වන ජාත්‍යන්තරයේ හයවන සමුළුවෙන් පැමිණි “තනි රටක සමාජවාදය” සහ එහි හත්වන සමුළුවෙන් පැමිණි “මහජන පෙරමුණු” න්‍යාය මගින් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය අති විශාල පරාභවයකට ලක් කරන ලදී.

විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප‍්‍රංශය වැනි දියුණු ධනේශ්වර රටවල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර ගැනීමට තිබු මහඟු අවස්ථාවන් මඟහැරී යාමට මෙම මහජන පෙරමුණු න්‍යාය හේතු විය. එසේ නොවන්නට අද ලෝක තත්වය වෙනස්ම එකක් වීමට බොහෝ ඉඩකඩ තිබුණි.

1941 දී ෆැසිස්ට් ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදී. එය අනපේක්‍ෂිත එකක් විය. මෙම තත්වය තුළ මිත්‍ර පාක්‍ෂිකයන්ගෙන් ජර්මන් විරෝධී බටහිර යුධ පෙරමුණක් ස්ටාලින් විසින් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔවුන් කොන්දේසියක් ලෙස තුන්වන ජාත්‍යන්තරය විසුරුවා හැරීම ඉල්ලා සිටින ලදී. ජර්මනිය සමඟ සෝවියට් දේශය ආක්‍රමණය නොකිරීම පිළිබඳ ගිවිසුමකට එළඹ සිටි ස්ටාලින් පළමුව එය විශ්වාස කළ අතර පසුව මිත්‍ර පාක්‍ෂික ධනපති රටවල් ඉදිරිපත් කළ කොන්දේසිය භාරගනු ලැබුයේ ඔවුන් විශ්වාස කරමිනි. ස්ටාලින් 1943 මැයි 15 තුන්වන ජාත්‍යන්තරය විසුරුවා හැරීම ප්‍රකාශයට පත් කරමින් තම පොරොන්දුව ඉටු කළද මිත්‍ර පාක්‍ෂිකයෝ බටහිර යුද පෙරමුණ ආරම්භ නොකළහ. අවසානයේ ෆැසිස්ට් ජර්මනියට තනිවම මුහුණ දීමට සෝවියට් දේශයට සිදු විය.

2019 වර්ෂය වන විට තුන්වන ජාත්‍යන්තරය පිහිටුවා සියවසක් ගෙවී ඇත. තුන්වන ජාත්‍යන්තරය ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය වෙත ලබා දී ඇති දේශපාලන පාඩම් රාශියකි. සමහර න්‍යායික මඟපෙන්වීම් මගින් ජයග්‍රහණයන්ද සමහර න්‍යායික ස්ථාවරයන් මගින් පරාජයන් සහ බිඳවැටීම්ද යන දෙයාකාරයේම අත්දැකීම් අප වෙත ලැබී ඇත. කෙසේ වෙතත් දේශපාලන පාඩම් වශයෙන් ගත් විට ඒ හැම එකක්ම ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට එක හා සමානව වැදගත් වන්නේය.

ලෝක සමාජවාදී විප්ලවය පිළිබඳ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සිහිනය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීමේදී ඒ සඳහා තුන්වන ජාත්‍යන්තරය විසින් ඉටු කරන ලද වැඩකොටස සුවිශේෂී විය. ඓතිහාසිකව එම ස්ථානයට හිමිකම් කිව හැකි සංවිධානයක් ඊට පෙර හෝ පසුව බිහි නොවීය.  වර්තමානයේ අධිරාජ්‍යවාදය හා ධනවාදී රටවල් මුහුණ දී ඇති බරපතල සමාජ ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ සමාජවාදී සමාජ විප්ලවයට ඉතාමත් හිතකර විෂයමූල තත්වයක් නිර්මාණය වී තිබේ. එහෙත් ලෝක වමේ ව්‍යාපාරයේ පසුබෑමත් ජාත්‍යන්තරයක් නොතිබීමත් නිසා මනෝමූල සාධකය දුබලව පවතී. ලෙනින්වාදී ජාත්‍යන්තරයේ වැදගත්කම හා ජාත්‍යන්තරය නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවය තදින් පවතිනුයේ මේ තත්වය තුළය.

විමර්ශන