ස්ත්‍රී විමුක්තිය

rsz_img_04712
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හඳුනා ගනිමු
March 21, 2019
rsz_1transportation
ප්‍රවාහනයේ ආරම්භය හා පරිණාමය
March 25, 2019
Show all

ස්ත්‍රී විමුක්තිය

MeToo-featured

ස්ත්‍රී විමුක්තිය ගැන සාකච්ඡා කිරීමේ දී මාර්තු මාසය විශේෂත්වයක් දරයි. ඒ කාන්තා දිනය මාර්තු මස 08ට යෙදී ඇති බැවිනි. එය අද වන විට ලෝකය පුරා සමරනු ලබන දිනයක් බවට පත් වී තිබේ. කාන්තා නිදහස, කාන්තා අයිතිවාසිකම් හා ඇය මුහුණ දෙන විවිධ වූ සමාජමය ගැටලු මූලික කර ගත් සටන් පාඨ සහිත උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ හා විවිධ වූ ක්‍රියාකාරකම්වලින් මෙම දිනය පිරී පවතී. ඇතැම් ස්වාධීන කාන්තා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම විවිධ රටවල කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ මඟින් ද මෙම ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලබන අතර, මේවා තුළ මැහුම් ගෙතුම්, රූපලාවන්‍ය හා සුවිශේෂී පාඨමාලා ඇතුළු පෙනුමින් සුන්දර ලෙස හැඟෙන බොහෝ දේ ඇතුළත්ව පවතී. මේ ආකාරයට ස්ත්‍රී විමුක්තිය සම්බන්ධයෙන් මතවාද සහ ක්‍රියාත්මක ලෙස කටයුතු කළ අය හා සංවිධාන, සමාජ ව්‍යාපාර රාශියක් අතර වාමාංශික ව්‍යාපාර ද තිබේ. විශේෂයෙන් මාක්ස්වාදීන් ද මෙම ගැටලුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. ජාත්‍යන්තර කාන්තා දිනය දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් කරනු ලැබූ යෝජනාවක් අනුව තීරණය වූ දිනයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. වාමාංශික ව්‍යාපාරයක් වන අප ද ස්ත්‍රිය හා ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ජනප්‍රිය ආගමික, මිථ්‍යාමය හා අධිපති මතවාද වෙනුවට නිවැරැදි විද්‍යාත්මක දැක්මක් තහවුරු කර ගත යුතු ය. මේ පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරය කුමක් දැයි සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේ එම නිසා ය. ස්ත්‍රිය හා පුරුෂයා ජීව පරිණාමයේ සංවර්ධනාත්මක පියවරක් වූ ලිංග විභේදනය මානව වර්ගයාට ද අදාළ ය. ස්ත්‍රීන් හා පුරුෂයන් මෙන් ම මෙම දෙපාර්ශ්වයට ම අතරමැදි අවස්ථාවේ පවතින (සියයට 1ක් පමණ) විශේෂයන් ද මානව සමාජය අධ්‍යයනය කරන විට අපට හමු වේ. (මූලික වශයෙන් මෙවැනි ප්‍රධාන තුන් ආකාරයකින් තේරුම් ගත්ත ද, මෙම බෙදීම මීටත් වඩා සංකීර්ණ එකක් බව සැලැකිය යුතු ය.) තේරුම් ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ අප එකිනෙකා අයත් වන ලිංග ප්‍රවර්ගය සොබාදහම විසින් අපට දෙන ලද දෙයක් මිස අප කාගේ හෝ පෞද්ගලික තේරීමක් නොවන බවයි. නමුත්, අප ජීවත් වන සමාජය තුළින් මෙම සියලු දෙනා පොදු මිනිස් ජීවීන් ලෙස සලකන්නේ නැත. සමාජ, සංස්කෘතික, ආගමික, ආර්ථික, භාෂාමය ආදී බොහෝ ක්‍ෂේත්‍ර තුළ දී පූර්ණ මිනිසුන් ලෙස අර්ථගන්වන්නේ පුරුෂයන් පමණි. ස්ත්‍රීන් අර්ධ, අසම්පූර්ණ සේ සැලැකේ. තෙවැනි කොටස මිනිසුන් ලෙස පවා ඇතැම් ක්‍ෂේත්‍රවල දී සැලැකෙන්නේ නැත. මේ නිසාම සමාජීය වශයෙන් ස්ත්‍රීන්ට මෙන් ම අතරමැදි ලිංගිකයන්ට සමාජීය පීඩනයක් තිබේ.

ස්ත්‍රී විමුක්තිය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ස්ත්‍රිය හා පුරුෂයා අතර වන ජීව විද්‍යාත්මක වෙනස නොපිළිගන්නා අන්තයකට ගමන් කරන අය ද අපට දැක ගත හැකි ය. මාක්ස්වාදය මෙම ජීව විද්‍යාත්මක වෙනස පිළිගනී. මානව පරිණාමයේ දී ම ඇති වූ මෙම ජීව විද්‍යාත්මක වෙනස මූලික කර ගනිමින්, ශ්‍රම විභජනයක් ද ඇති විය. දඩයම වැනි අවදානම් කටයුතු පුරුෂයාට ද, දරුවන් හදාවඩා ගැනීම මූලික කර ගත් කටයුතු ස්ත්‍රියට ද පැවරිණි. වැඩි වැඩියෙන් වර්ගයා බෝ කිරීම එකල සමාජ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් විය. එහි දී ස්ත්‍රිය තීරණාත්මක විය. එම නිසා ම ඇගේ ආරක්‍ෂාව ප්‍රමුඛ විය. සාමාන්‍ය ආදර්ශමය පිරිමි  ශරීරයක පේශි කිලෝග්‍රෑම් 28ක් හා ගැහැනු ශරීරයක පේශි කිලෝග්‍රෑම් 15ක් ද, පිරිමි ශරීරයක මේදය සියයට 12.5ක් ද, ගැහැනු ශරීරයක මෙම අගය සියයට 25ක් ද වේ. (ප්‍රජනනයට ඉතාමත් වැදගත් ස්ත්‍රී ශරීරය හාමතට එරෙහිව වඩාත් ආරක්‍ෂිත වූයේ මෙම මේද ප්‍රතිශතය වැඩි වීම ය.)

මෙම ශ්‍රම විභජනය දෙදෙනා අතර ශාරීරික මෙන් ම ඉතා සියුම් මනෝවිද්‍යාත්මක වෙනස්කම් ද ඇති කරනු ලැබී ය. ස්ත්‍රී විමුක්තිය ලෙස දැකිය යුත්තේ, මෙම ජීව විද්‍යාත්මක වෙනස්කම් හෝ ඒ තුළින් ජනිත මනෝවිද්‍යාත්මක වෙනස්කම්වලට එරෙහි වීම නොවේ. එරෙහි විය යුත්තේ ඇතැම් ජීව විද්‍යාත්මක වෙනස්කම් ද උපයෝගී වෙමින් හා සමාජීය තත්ත්වයන්ගේ වෙනස් වීම් මත ඇති කර තිබෙන, එම සමාජීය කොන්දේසි ඉවත් කිරීමෙන් පමණක් බිඳදැමිය හැකි ස්ත්‍රී පීඩනයටය. ඓතිහාසික ගමන් මඟ තුළ ස්ත්‍රිය ස්ත්‍රිය සදාකාලිකව ම දෙවැනි ගණයේ අයකු ලෙස සිටියේ නැත. මානව සමාජයේ ඉතිහාසය ඉතා දීර්ඝ කාලයක් පැවැතියේ මාතෘමූලික සමාජයක් ලෙස බව මානව හා සමාජ විද්‍යාව පිළිගෙන ඇත. මව් දෙවඟන, ස්ත්‍රී යෝනි වන්දනාව ආදී පුරාවිද්‍යාත්මක සාක්‍ෂි විසින් ද මේ බව සනාථ කරනු ලබයි.

එංගල්ස් තම ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ හැටි’ නම් කෘතිය තුළ ආතර් රයිට් නම් අයකුගේ ලියැවිල්ලක් උපුටා දක්වයි.

පැරැණි දිගැති ගෙවල්වල වාසය කරන කාලයේ දී (පවුල් කිහිපයක් එක්ව වෙළා ගත් කොමියුනිස්ට්වාදී ගෘහ පාලනය) ඔවුන්ගේ පවුල් ක්‍රමය මෙසේ විය. එක් වංශයක් (ගෝත්‍රයක්) අනෙක් වංශවලට වඩා ඉහළින් සිටියා විය හැකි ය. අනෙකුත් වංශවලින් (ගෝත්‍රවලින්) සැමියන් තෝරා ගැනීම ස්ත්‍රීන් විසින් කරන ලදී. සාමාන්‍යයෙන් ස්ත්‍රීහු ගෘහ පාලනය කළහ. ගබඩා පොදුවේ පැවැතිණි. අවාසනාවන්ත සැමියාට හෝ සිය කොටස සැපයීමේ අලසකම් දක්වන ආදරවන්තයන්ට සිදු වන්නේ මහත් දුකකි. ඔහුගේ දරුවන් කොපමණ සිටිය ද, නැති නම්, ගෙය තුළ ඔහු සතු බඩුමුට්ටු කොපමණ තිබුණ ද, කම්බිලියක් රැගෙන ගෙදරින් පිට වන ලෙස ඕනෑ ම වෙලාවක ඔහුට අණ කරනු ඇත. එවැනි අණ කිරීමකින් පසුව එය නොතකා එයට අකීකරු වීම නුවණට හුරු නොවේ. එම ගෘහය ඔහුට එරෙහිව නැඟී සිටිනු ඇත. ඔහුට තම (වංශයට) ගෝත්‍රයට ආපසු යාමට සිදු වේ. නැති නම්, බොහෝ විට කරන්නාක් මෙන් අන් තැනක් සොයාගෙන විවාහ සබඳකම් ඇති කර ගනී. අන් හැම තැන මෙන් ම ගෝත්‍ර (වංශ) අතර ද ස්ත්‍රිය සතු වූයේ මහා බලයකි. උචිත අවස්ථාව පැමිණි විට නායකයාගේ අං තට්ටුව ගලවා දමා නායකයා පදවියෙන් නෙරපීම ඒ වචනවලිනි. ඔහු නැවත සාමාන්‍ය සෙබළකුගේ තත්ත්වය දක්වා පහත් කර දැමීමට ස්ත්‍රිය පසුබට නොවූහ.”

මින් පෙනී යන්නේ ස්ත්‍රිය හැම විට ම පීඩනයට පත් වූ අයකු ලෙස නොව සමාජ මූලිකත්වය දරමින් සිටි බවයි. මෙම තත්ත්වය වෙනස් වී පුරුෂයා අධිපතියකු බවට පත් වන්නේ පෞද්ගලික දේපළ ක්‍රමය බිහි වී පන්ති සමාජය බිහි වීමත් සමඟ ය.

ජෝඩු කිහිපයක් හා ඔවුන්ගේ දරුවන් සහිත පැරැණි කොමියුනිස්ට්වාදී ගෙවල්වල ගෘහ පාලනය ස්ත්‍රියට භාර කොට තිබුණු අතර, එය පුරුෂයන් ආහාර සොයාගෙන එන්නාක් මෙන් ම සමාජමය වශයෙන් අවශ්‍ය ප්‍රමුඛ කාර්යයක් විය. පීතෘමූලික පවුලේ දී මේ තත්ත්වය වෙනස් විය. ඒක භාර්යා වෘතය සහිත පෞද්ගලික පවුලේ දී එය වඩාත් වෙනස් විය. ගෘහ පාලනයේ පොදු ස්වරූපය නැති විය. වැඩි දුරටත් එය සමාජයේ කාර්යයක් නොවී ය. එය පෞද්ගලික සේවාවක් බවට පත් විය. සමාජමය නිෂ්පාදනයෙන් පිට කර දමනු ලැබූ බිරිඳ පළමුවැනි ගෘහ සේවිකාව බවට පත් වූවා ය.”

(එංගල්ස්, පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි – 75, 76 පිටු.)

ස්ත්‍රියගේ ඓතිහාසික පරාජය ඇති වන්නේ එලෙස ය.

ස්ත්‍රියට එරෙහි සමාජ ආකල්ප හා ස්ත්‍රී විමුක්තිය පිළිබඳ මතවාද පන්ති සමාජය තුළදී ස්ත්‍රිය පහත් කොට සලකා ඇය මත එල්ල වන පීඩනය සාධාරණීයකරණය කිරීම සඳහා විවිධ ආගමික හා සංස්කෘතික මතවාද යොදා ගනිමින් තිබේ. ක්‍රිස්තියානි ආගම තුළ දෙවියන් වහන්සේ විසින් ආදම්ගේ ඉල ඇටයක් කඩා ඒවා නම් පළමු ගැහැනිය මැවූ බවත්, ඇය තහනම් ගහේ ගෙඩි කෑම මඟින් මානව වර්ගයාගේ පාපයේ ආරම්භකයා ගැහැනිය බවත් පවසයි. බෞද්ධ සංස්කෘතිය තුළ ද බුදු බව ලබා ගත හැක්කේ පිරිමියකුට පමණක් ය යන පිළිගැනීම තිබේ. බුදුන් වහන්සේ ද එකවර ම ස්ත්‍රිය ශාසනයට ඇතුළු කර ගැනීමට මැලි වූහ. ඉස්ලාම් ආගම තුළ කාන්තාවට ඇත්තේ, ඉතාමත් සීමිත අයිතියකි. හින්දු ආගමේ ද ස්වාමිපුරුෂයා මළ කාන්තාවක සති පූජාවට තම ජීවිතය කැප කළ යුතු විය. ඉන්දියානු නීතියෙන් මෙය තහනම් කර තිබුණ ද, ග්‍රාමීයව මෙය තව දුරටත් ක්‍රියත්මක වෙමින් තිබේ.

ධනවාදය තුළත් ලෝකයේ ඇතැම් කලාප හා රටවල් තුළත් මේ තත්ත්වයේ අඩු-වැඩි වීම් තිබුණ ද, සමස්තයක් වශයෙන් විසැඳී නැත. එනිසා ම පෙරට ආ ස්ත්‍රී විමුක්තිය හා බැඳුණු මතවාද හා න්‍යායන් බොහෝ ගණනාවක් පවතී. ලිබරල් ස්ත්‍රීවාදය, ධනවාදයේ නැඟීමත් සමඟ පැනනැඟුණු මතවාදයකි. ඒ තුළ ඡන්ද අයිතිය, අධ්‍යාපනයේ නිදහස, රැකියා කිරීමේ නිදහස ආදී සටන් පාඨ විය. රැඩිකල් ස්ත්‍රීවාදය තුළ දරුවන් බිහි කිරීමට ස්ත්‍රී ගර්භාෂය වෙනුවට යන්ත්‍ර භාවිත කළ යුතු බවට වූ අන්තවාදී මතයක් නියෝජනය කරනු ලබයි. සංස්කෘතික ස්ත්‍රීවාදය තුළ දී පුරුෂ විරෝධී අන්තයක් ද නියෝජනය කරනු ලබයි. කෙටියෙන් සඳහන් කරනු ලැබූ මෙවැනි මතවාද අසම්පූර්ණ හෝ අවිද්‍යාත්මක මත පළ කර ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ගැටලුව පදනමින් ගෙන විග්‍රහ කර නොමැත.

මාක්ස්වාදී මතය හා ස්ත්‍රීන්ගේ සැබෑ විමුක්තිය ස්ත්‍රිය අද පත් වී ඇති තත්ත්වය දෙවියන්ගේ කැමැත්ත ලෙස හෝ පින් පව්වල ඵලයක් ලෙස හෝ ජීව විද්‍යාත්මක වෙනස්කම් විසින් ලද දෙයක් ලෙස හෝ මාක්ස්වාදය පිළිනොගනී. ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියකින් මෙම ප්‍රශ්නය අධ්‍යයනය කරන මාක්ස්වාදය ස්ත්‍රියගේ පරාධීනත්වය සමාජමය කොන්දේසි කෙරෙන් ජනිත වූවක් බව අවධාරණය කරයි.

පෞද්ගලික දේපළ ක්‍රමය බිහි වීමත් සමඟ දේපළ අයිතිය පුරුෂයා අතට මාරු වූ බවත්, ඒ සමඟ ම ස්ත්‍රිය සමාජ නිෂ්පාදනයෙන් ඉවතට ඇද දැමූ බවත්, පීඩිත තත්ත්වයට පත් වූ බවත් මාක්ස්වාදය විසින් කරුණු සහිතව පෙන්වා දෙනු ලබයි. එංගල්ස් එය පවසන්නේ පහත සඳහන් ආකාරයට ය:

මව් අයිතිය පෙරළා දැමීම ස්ත්‍රී වර්ගයාගේ ජගත් ඓතිහාසික පරාජයකි. ගෘහ පාලනය ද පුරුෂයා අල්ලා ගත්තේ ය. ස්ත්‍රිය අවමානයට ද, වසඟයට ද ලක් විය. ඈ පුරුෂයාගේ කාම තෘෂ්ණාවට යට වූ වහලියකි. දරුවන් වැදීමේ යන්ත්‍රයක් පමණකි.”

(පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි – 59 පිටුව.)

ධනවාදය තුළ දී ඇයට සමාජ නිෂ්පාදනයට දායක වීමට ඉඩ ලැබුණ ද, ප්‍රශ්නය විසැඳුණේ නැත. ඊට හේතුව පෞද්ගලික දේපළ ඇති වීමයි. නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කර ධනවාදී පෞද්ගලික පවුල ක්‍රියාවිරහිත තත්ත්වයට පත් කළ විට පමණක් නියම ස්ත්‍රී විමුක්තිය ලබා ගත හැකි බව මාක්ස්වාදය විසින් අවධාරණය කරනු ලබයි. මෙය පහත උපුටා දැක්වීමෙන් ද වඩාත් තහවුරු වේ.

නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කරනු ලැබූ පසු පවුල, සමාජයේ ආර්ථික ඒකකය වශයෙන් ක්‍රියා විරහිත වේ. පෞද්ගලික ගෘහ පාලනය සමාජමය කර්මාන්තයක් බවට පත් වෙයි. දරුවන් බලා ගැනීම හා ඔවුනට අධ්‍යාපනය ලබා දීම ප්‍රසිද්ධ කාර්යයක් බවට පත් වෙයි. විවාහක හා අවිවාහක දෙමව්පියන්ගේ දරුවන් වශයෙන් භේදයක් නොකොට සියලු ම ළමයින්ට සමාජය රැකවරණය ලබා දෙයි. තමා ආලය කරන පුරුෂයකුට නිදහස් ලෙස යටත් වීම නිසා ඇති විය හැකි ‘දුර්විපාක’ පිළිබඳ චකිතය, ආධ්‍යාත්මික හා ආර්ථික වශයෙන් අද ගණන් ගනු ලබන වැදගත් සාධකය අතුරුදහන් වනු ඇත. වඩාත් වැඩි අසංවර ලිංගික තෘප්තියකට ද, ඒ සමඟ ම ස්ත්‍රියගේ කන්‍යාභාවය හා කාන්තා ලජ්ජාව ගැන වඩාත් මෘදු මතයක් ද ඇති වීමට මෙය සෑහෙන හේතුවක් නොවන්නේ ද?”

(පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි – 78 පිටුව.)

විමර්ශන