ස්ත්‍රී සටන්කාමීත්වයෙන් උපන් කාන්තා දිනය – මාර්තු 08

“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග
March 7, 2019
rsz_womens-stages
‘Women’s Day’
March 8, 2019
Show all

ස්ත්‍රී සටන්කාමීත්වයෙන් උපන් කාන්තා දිනය – මාර්තු 08

rsz_international-womens-day-rtr-3c0d3f157dcd6632f7df01082a195286

කම්කරු ස්ත්‍රීන්ට ඡන්ද බලය අවශ්‍ය වන්නේ ඇයට ආර්ථිකමය හා සංස්කෘතිමය වාසි අත්කර ගැනීමට පමණක් මිස ඇගේ පංතියේම පිරිමින් සමග සටන් වැදීමට නොවේ. පිරිමින් හා ස්ත්‍රීන් සියලූදෙනාම සටන් කළ යුත්තේ ධනපති පංතියට එරෙහිවය.
Image result for clara zetkin

ඒ ක්ලාරා සෙට්කින්ගේ (1857 – 1933) හඬය. ඇය නිර්ධන පංතිය වෙනුවෙන් හඬ නැඟූ, සටන් වැදුණු ජර්මන් ජාතික සමාජවාදී නායිකාවකි.  අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු කම්කරු කාන්තාවන් සැමරීමට ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කළ යුතු බවට යෝජනාව ගෙන ආවේ ඇයයි.

එහෙත් අද දවසේ ධනපති පංතියේ නායිකාවන් හා වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් ජාත්‍යන්තර කාන්තා දිනයේ අර්ථය කෙළෙසමින් එය ඔවුන්ගේ තවත් දිනයක් බවට පත්කර ගනු ලැබ ඇත. කාන්තා දිනයේ ඉතිහාසය, එවැනි දිනයක් ආරම්භ වීමේ හේතුව ඔවුන්ට අදාළ නොවේ. ධනපති නායිකාවන් තම බලය තහවුරු කර ගැනීමේ හා කාන්තාවන් රැවටීමේ දිනයක් බවට කාන්තා දිනය යොදා ගනිමින් සිටින විට ව්‍යාපාරිකයින් තම වෙළෙඳ අරමුණු වෙනුවෙන් එය යොදාගැනීමට පසුබට වී නැත. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් එය පිරිමින්ට එරෙහි දිනයක් බවට ද පත්කර ගෙන ඇත.

කාන්තා දිනයේ ඓතිහාසික පසුබිම
Womens-Day-PNG-HD

සැබැවින්ම ක්ලාරා සෙට්කින්ට, කාන්තා දින යෝජනාවක් ගෙන ඒමට හේතු පාදක වූ පසුබිම කුමක්ද?

18වැනි සියවසේ යුරෝපයේ ආරම්භ වූ කාර්මික දියුණුවත් සමග භාණ්ඩ නිපදවන විශාල පරිමාණයේ කර්මාන්තශාලා ව්‍යාප්ත විණි. ඒවායේ සේවය කළ කම්කරුවන්ට පැය 12-14ක් වැඩ කිරීමට සිදු වුවත් ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබුණි. වෘත්තීය අයිතීන් පවා ඔවුන්ට හිමි වූයේ නැත.

මේ යුගයේ කාන්තාවන් විශාල වශයෙන් යොදවා ගනු ලැබුවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයන් තුළය. පිරිමි කම්කරුවන්ට සාපේක්ෂව මේවායේ සේවය කළ කම්කරු කාන්තාවන්ගේ තත්වය ඉතාමත් පහළ මට්ටමක විය.

මේ වන විට ඉතා සුළු වැටුපකට කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව යුරෝපයේ සමාජවාදී ව්‍යාපාරයන්ගේ  ක්‍රියාකාරකම්ද උත්සන්න වෙමින් තිබුණි. කම්කරුවන්ට සාධාරණ වැටුපක් ඉල්ලා, කාන්තා හා පිරිමි කම්කරුවන්ට සමානව සලකන ලෙස ඉල්ලා, කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා සමාජවාදී ව්‍යාපාර මැදිහත්ව කම්කරුවන්ව අරගල සඳහා පෙළගස්වමින් තිබුණි. කාන්තාවන්ගේ ඡන්ද අයිතිය පිළිගැනීමට ධනපති පාලකයින් මැලි වූයේ පාර්ලිමේන්තුව තුළ කම්කරු පංතියේ නියෝජනය ශක්තිමත්වීම වැළැක්වීමේ අරමුණින් යුතුවය.

මේ හේතුවෙන් වැඩබිම් තුළ කාන්තාවන්ගේ අයිතීන් ලබා ගැනීමටත් ඡන්ද අයිතිය ලබා ගැනීමටත් කාන්තාවන්ට අරගල කිරීමට සිදු වූ අතර ඒ සඳහා කාන්තාවන් පෙළ ගැසුණු අවස්ථා විවිධ රටවල ඉතිහාසය තුළ අපට දැක ගත හැක.

ඒ කාන්තා අරගල ඉතිහාසයේ වඩාත් ප්‍රකට වූයේ 1908 මාර්තු 08 වන දින එක්සත් ජනපදයේ මෑන්හැට්න් නගරයේ රුට්ගාස් චතුරස‍්‍රයේ පැවැති විශාල උද්ඝෝෂණ පෙළපාලියය. එයට කම්කරු කාන්තාවෝ 15,000ක පමණ පිරිසක් එක්වූහ. සාධාරණ වැටුපක් ලබාදෙන ලෙසත් දීර්ඝ වැඩ කාලය කෙටි කරන ලෙසත් සමානව සලකන ලෙසත් ඡන්ද අයිතිය ලබාදෙන ලෙසත් ළමා ශ්‍රමය නතර කරන ලෙසත් ඉල්ලා එදා ඔවුහු සටන් වැදුණහ.

මෙසේ කම්කරු කාන්තාවන් තම අයිතීන් වෙනුවෙන් සටන් වදින විට එම අරගලයන්ට වටිනාකමක් ලබාදීමට ක්ලාරා මැදිහත් වූවාය. ඒ 1910 වසරේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද අවස්ථාවේදී, එහි ලේකම් බවට පත්වූ ක්ලාරා විසින් කාන්තා අයිතීන් වෙනුවෙන් හා කාන්තාවන්ට ඡන්ද බලය ඉල්ලා සටන් වැදුණු කාන්තාවන් සැමරීම වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කළ යුතු බවට යෝජනාවක් ගෙන එමිනි. “කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය සමාජවාදය සඳහා වූ අරගලයේදී ශක්තිය එක්රැස් කිරීමක් වේ.” යන තේමාව යටතේ සෑම රටකම, එකම දිනකදී කාන්තා දිනය සැමරිය යුතු බවටද එම සමුළුවේදී තීරණය විය.

පළමු කාන්තා දිනය

සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේ සම්මත වූ යෝජනාවට අනුව, 1911 මාර්තු 19 දින ජර්මනිය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය හා ස්විට්සර්ලන්තය යන රටවල පළමුවරට ජාත්‍යන්තර කාන්තා දිනය පවත්වනු ලැබිණි. මෙම රටවල පවත්වනු ලැබූ කාන්තා දින රැලි සඳහා මිලියනකට අධික කාන්තාවන් හා පිරිමින් සංඛ්‍යාවක් සහභාගි වූ බව සඳහන් වේ.

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 දින පැවැත්වීමට තීරණය කෙරුණේ 1913 වසරේ සිටය. ඒ දිනය යොදා ගැනීමට හේතු පාදක වූයේ 1908 මාර්තු 08 දින රුට්ගාස් චතුරස‍්‍රයේ පැවති කම්කරු කාන්තා අරගලයේදී කාන්තාවන් පෙන්වූ සටන්කාමීත්වයය.

කාන්තා දිනයේ සැබෑ අරමුණ

කාන්තා දිනයේ සැබෑ අරමුණ වන්නේ, ධනේශ්වර ආධිපත්‍යයට එරෙහි අරගලය වෙනුවෙන් පුළුල්ව කාන්තාවන් ඒකරාශි කිරීමත් ඔවුන් ඒ සඳහා මෙහෙයවීමත්ය. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවන්නේ ධනපති පංතියේ නායකයින් යටතේ පෙළගැසීමෙන් නොව ශක්තිමත් සමාජවාදී ව්‍යාපාරයක මඟ පෙන්වීම යටතේ පමණි.

වර්තමානය වන විට අපේ රට තුළත් ලෝකය තුළත් කාන්තාවන්ගේ තත්වය කුමක්ද? ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන වශයෙන් කාන්තාවන්ට මුහුණ පෑමට සිදුව ඇති අර්බුදයන්ගේ වැඩිවීමකි. පීඩාවට පත්වීමේ, සූරාකෑමට ලක්වීමේ උග්‍රවීමකි. අයිතිවාසිකම් ලබාදීම වෙනුවට අයිතීන් අහිමි කිරීමත්ය. සමානත්වය වෙනුවට අසමානත්වය වර්ධනය වීමත්ය.

අද අප භුක්ති විදින යම් ප්‍රමාණයක හෝ අයිතීන් දිනා ගැනීමට හැකිවූයේ ඉතිහාසයේ කාන්තාවන් කළ අරගල නිසාය. එබැවින් කාන්තාවන්ගේ අයිතීන් මෙන්ම නිදහස හා සමානත්වය ලබාගැනීමට හැකි එකම මාර්ගය ධනේශ්වර සමාජය වෙනස් කිරීමය. සමාජවාදී පාලනයක් ගොඩනැගීමය. ඒ විප්ලවීය වෙනස සඳහා දායකත්වය ලබාදීමය. ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.

මලක් නොදකින කුහුඹු

පුර හඳ නැගී එන

ඝන අඳුරු රැයක

අහසටත් නොකියාම රහසින්

නික්ම යන්නට සිතන..

උණුහුමක් නොලබාම කිසිදින

සීතලට විතරක්ම හුරුවෙන්න

අඳුර තුළ ගුලි ගැහෙන

අවසරය ඉල්ලන…

අතු ඉතිත් දළු ලා නැගෙන

මහා සෙවණක සිසිල දැක දැක

මලක් නොදැකම තුරු හිස

වියලි පත් අවුළන…

කුහුඹු ගැහැනුන්ය අප

සමගියේ පාඩම නොකියවන….

විමර්ශන