සංස්කෘතික මිනිසා සහ සංස්කෘතිය

rsz_greatest-discovery-never-made_0
ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය
March 18, 2019
rsz_awantha
විවෘත ආර්ථිකයට 40යි, නොසැලෙන ආර්ථිකයක්ද? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාද?
March 19, 2019
Show all

සංස්කෘතික මිනිසා සහ සංස්කෘතිය

rsz_a730fbe4dd51b96ad105f37c06c0c54b

මිනිසා හා සතුන් අතර පවතින වෙනස්කම් සමස්තය එක්ව ගත්විට එකී වෙනස වන්නේ සංස්කෘතියයි. මිනිසා සංස්කෘතික සත්වයකියි යන්න ලොව පිළිගත් පොදු මතය වේ. මිහිතලය මත ජීවත්වන සතුන් අතරින් සංස්කෘතියක් ගොඩනගාගත් සංස්කෘතික සබඳතා තුළ ජීවත්වන එකම සත්වයා වන්නේ මිනිසාය. එය ඔහු සිය පරිණාමයේදී අත්කරගත් සුවිසාල ජයග්‍රහණයකි. එහෙත් දැන් සමාජය තුළ ජීවත්වන මිනිසා සැබෑ ලෙසම සංස්කෘතික මිනිසෙක්ද යන පැනය ඔහුගේ ජීවන විලාශය හා රටාව දෙස බැලීමේදී පැන නගී. සංස්කෘතික මිනිසාගේ ආපසු ගමනක් ගැන සංස්කෘතික පරිහානියක් ගැන සමාජය තුළ ප්‍රබල කතිකාවක් මතුව තිබෙන්නේ මේ නිසාය. මෙහිදී සමහරු අතීත සංස්කෘතික ලක්ෂණවල සිරකරුවන් බවට කැමැත්තෙන්ම පත්ව සිටියෙදී තවත් බොහෝදෙනා සංස්කෘතික පිරිහීමක ගොදුරු බවට පත්වෙමින් සිටිති. එය සමාජයේ යහපත් පැවැත්මට මෙන්ම සමාජ ප්‍රගතියටද බාධාවක් වේ. සංස්කෘතික මිනිසා පිළිබඳ වඩා පුළුල් හා නිරවුල් සංවාදයක් අවශ්‍ය වන්නේ මේ නිසාය. අපේ රට ඇතුළු බොහෝ රටවල් මේ වනවිට ඉතාම දරුණු සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකමය අර්බුදයකට මුහුණදී තිබේ. එබැවින් දැන් අප ජීවත්වන්නේ, ආර්ථික හා දේශපාලන වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන්ද අර්බුදයකට ගිය පිරිහුණු රටකය. එවැනි යුගයක රටක් ආර්ථික හා දේශපාලන වශයෙන් අර්බුදයට ගොස් පිරිහෙන විට එම අර්බුදය හා පිරිහීම සංස්කෘතික ක්‍ෂේත්‍රය තුළින්ද ප්‍රකාශයට පත්වේ. ‘සංස්කෘතික මිනිසා’ වෙනුවට ‘නරුමයෙක්’ හෝ ‘ම්ලේච්ඡයෙක්’ පෙනෙන්නට පටන් ගන්නේ එවිටය.

Image result for brazil tribal girl

රටක්, ජනතාවක් සංස්කෘතික ලෙස පිරිහීමේ ප්‍රධාන හේතුව පවතින්නේ, තනි තනි මිනිසුන්ගේ විඥානය තුළ නොව සමාජ ආර්ථික දේහය තුළය. එබැවින් තාර්කිකව ගත්කල හොඳ සංස්කෘතික මිනිසෙක් නිර්මාණය වීමට නම් එකී සමාජය ආර්ථික, දේශපාලනික වශයෙන්ද දියුණු වූවක් විය යුතුය. එහෙත්, එය එසේ වුවත් හොඳ සමාජයක්, වඩා දියුණු සමාජයක් නිර්මාණය කර ගැනීමේ කාර්යයේදී මිනිසාගේ මැදිහත් වීම අත්‍යවශ්‍යය. සංස්කෘතික මිනිසාගේ වැදගත්කම මතු වන්නේ එහිදීය. එබැවින් සංස්කෘතික මිනිසා කවරෙක්ද යන සංවාදය සඳහා මේ හොඳම අවස්ථාව බව අවිවාදිතය.

සංස්කෘතිය පිළිබඳ අර්ථකථනයක් සංස්කෘතික මිනිසා හඳුනා ගැනීමේදී හා ඔහු කෙබඳු විය යුතු දැයි වටහා ගැනීමේදී සංස්කෘතිය යනු කුමක්දැයි නිවැරැදිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. අපේ සමාජයේ බොහෝදෙනා තුළ සංස්කෘතිය පිළිබඳව ඇත්තේ නිවැරදි අංග සම්පූර්ණ වැටහීමක් නොවේ. පොදුවේ බොහෝදෙනා සංස්කෘතිය ලෙස හඳුනාගන්නේ සමාජයක ආධ්‍යාත්මික පාර්ශ්වය නියෝජනය කරන මතවාද, සිරිත් විරිත්, ආචාරධර්ම, ආගමික හා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේවල එකතුවක් ලෙසය. එහෙත් සංස්කෘතිය යනු සමාජයක හෝ මිනිසාගේ ආධ්‍යාත්මික පාර්ශ්වය පමණක් නොවේ. එබැවින් එය නිවැරැදිව හඳුනා ගැනීම වැදගත්ය. බර්නට් ටේලර් (Burnett Taylor) නම් සමාජ විද්‍යඥයා ඔහුගේ ප්‍රාථමික සංස්කෘතිය(Primitive culture) නම් කෘතියේ සංස්කෘතිය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

“සංස්කෘතිය යනු මිනිසා විසින් කිසියම් සමාජයක සාමාජිකයෙකු වශයෙන් දිවි ගෙවන විට අත්පත් කර ගන්නා සංකීර්ණ ඇවතුම් පැවතුම් සම්භාරයකි. එය ඇදහිලි ක්‍රම, කලාශිල්ප, නීති රීති, වාරිත්‍ර වාරිත්‍ර, සුසිරිත් යන මේ සියල්ලෙන් සැදුම්ලත් සංකීර්ණ සත්තාවකි”

(උපුටා ගැනීම – සංස්කෘතිය හා ගොඞ්සිල්ලාකරණය – ආරියවංශ රණවීර)

එහෙත් මෙම නිර්වචනය දැන් අප ජීවත්වන්නේ, ආර්ථික හා දේශපාලන වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන්ද අර්බුදයකට ගිය පිරිහුණු රටකය. එවැනි යුගයක රටක් ආර්ථික හා දේශපාලන වශයෙන් අර්බුදයට ගොස් පිරිහෙන විට එම අර්බුදය හා පිරිහීම සංස්කෘතික ක්‍ෂේත්‍රය තුළින්ද ප්‍රකාශයට පත්වේ. ‘සංස්කෘතික මිනිසා’ වෙනුවට ‘නරුමයෙක්’ හෝ ‘ම්ලේච්ඡයෙක්’ පෙනෙන්නට පටන් ගන්නේ එවිටය.

අංග සම්පූර්ණ වූවක් නොවේ. ඉන් සැලකිල්ලට ලක්කර ඇත්තේ මිනිසාගේ ආධ්‍යාත්මික පාර්ශ්වය පමණි. සංස්කෘතිය පිළිබඳව විකිපීඩියා ශබ්දකෝෂය විස්තර කර ඇත්තේ මෙසේය. “සාමාන්‍යයෙන් සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ මානව ක්‍රියාකාරකම් රටා සහ එහි ක්‍රියාකාරකම්වලට සුවිශේෂත්වයක් ලබාදෙන සංකේත ව්‍යුහවලටය. සංස්කෘතිය පිළිබඳ වෙනත් නිර්වචනවලින් පිළිබිඹු වන්නේ මානව ක්‍රියාකාරකම් තේරුම් ගැනීමේ න්‍යායාත්මක පදනම්වල වෙනස්කම්ය. නැතහොත් මානව ක්‍රියාකාරකම් ඇතිවීම සඳහා වූ නිර්ණායකවල වෙනස්කම්ය. පොදුවේ සංස්කෘතිය යන වදනින් අර්ථ දැක්වෙන්නේ පුද්ගලයෙකුගේ, කණ්ඩායමක හෝ සමාජයක සියලු බුද්ධිමය නිෂ්පාදනයන්ය. එයට තාක්ෂණය, කලාව, විද්‍යාව මෙන්ම තෝරාගන්නා ලද බුද්ධිමය ඒකකවල සදාචාරාත්මක පද්ධති හා පුරුදුද ඇතුළත් වේ. විශේෂයෙන් මානව ක්‍රියාකාරකම්වල වෙනත් බල ප්‍රදේශවලදී ඊට වඩාත් නියත විස්තරාත්මක අරුත් හිමිවේ”. මෙම අර්ථකථනය බර්නට් ටේලර්ගේ අර්ථකථනයට වඩා පොහොසත්ය. එහෙත් කරුණු රැසක් විසිරී තිබීම නිසා හොඳින් වටහා ගැනීම තරමක් අසීරුය. මෙහිදී සංස්කෘතිය පිළිබඳ කෙටි එහෙත් අංගසම්පූර්ණ පැහැදිලි නිර්වචනයක් මාක්ස්වාදය තුළදී අපට හමුවේ. මාක්ස්වාදී දෘෂ්ටියට අනුව සරලව ගත්විට එය සිය ඉතිහාසය තුළ මිනිසා විසින් නිර්මාණය කරන ලද, අත්කර ගන්නා ලද සියලුම ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික විටිනාකම්වල එකතුව සංස්කෘතිය වේ. යනුවෙන් නිර්වචනය කර තිබේ. මෙම අදහස ලියොන් ට්‍රොට්ස්කි මෙසේ විස්තර කර තිබේ. මිනිසාගේ සමස්ත ඉතිහාසය තුළදී සොබාදහම විසින් දෙන ලද දෙයට පටහැණිව මිනිසා විසින් නිර්මාණය කරන ලද, උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ල සංස්කෘතිය වේ යනුවෙනි. ඒ අනුව සංස්කෘතිය යනු අධ්‍යාත්මික වටිනාකම් පමණක් නොව මිනිසා නිපදවූ ද්‍රව්‍යමය වටිනාකම්ද ඇතුළත් පුළුල් සංකල්පයකි. මොස්කව්හි ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් 1967 දී පළකරන ලද දර්ශනයේ ශබ්දකෝෂයේ (Dictioinary of philosophy) නම් කෘතියේ සංස්කෘතිය අර්ථ දක්වා ඇත්තේද ඉහත ආකාරයට සමානවය. එය තවදුරටත් මේ ගැන පවසන්නේ සංස්කෘතිය යනු පොදු ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වයේ ඍජු හෝ අනියම් ඵලයක් බවය. මේ අනුව එක් දෙයක් පැහැදිලිය. සංස්කෘතිය යනු මානව සමාජයට පමණක් ආවේණික ප්‍රපංචයක් බවත්, ඒ තුළ සිය නිෂ්පාදන ක්‍රියාවලියෙදී හා සමාජ සබඳතා පැවැත්වීමේදී මානව සමාජයක් විසින් නිර්මාණය කරගන්නා ලද අත්පත් කර ගන්නා ලද සියලුම ද්‍රව්‍යමය (භෞතික) වටිනාකම් මෙන්ම ආධ්‍යාත්මික වටිනාකම්ද අඩංගුවන බවත්, එය මානව සමාජයේ සංවර්ධනයට අනුරූපව වෙනස් වෙමින් සංවර්ධනය වන බවත්ය. එබැවින් මිනිසා සංස්කෘතික සත්වයෙක් වන්නේ මෙම පුළුල් අරුතින්ය.

නිෂ්පාදනය හා බැඳී… මිනිසා සංස්කෘතික සත්වයෙක් බවට පත්වූයේ කවදාද? ඒ කෙසේද? සංස්කෘතික මිනිසා තේරුම් ගැනීමේදී මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම අත්‍යවශ්‍යය. සංස්කෘතිය යනු සිය ගමන් මඟ තුළ ස්වභාවධර්මය දුන් දේට අමතරව මිනිසා විසින් නිර්මාණය කර ගත් දේ නම්, එය ආරම්භ වන්නේ ‘නිෂ්පාදනයත්’ සමගය. අතීතයේ එක් වකවානුවක රුක් මතින් බිමට බට වානරයා මිනිසෙක් වූයේත් ඒ මිනිසා සංස්කෘතිකමය වූයේත් යැපීමේ මාධ්‍යයක් නිෂ්පාදනය කර ගැනීම ඇරඹීමත් සමගය. නිෂ්පාදන ක්‍රියාකාරිත්වය නිසාය. ඒ සඳහා ‘මිනිසා’ තුළ වර්ධනය වූ විශේෂ හැකියාවන් ලෙස සැලකෙන ශ්‍රමය, විඥානය හා කථනය උපකාරී විය. ‘නිෂ්පාදනය’ එම සංකල්පයට අදාළ නියම අර්ථයෙන් අපට හමුවන්නේ, ආදිකාලීන ප්‍රාථමික මානවයා තම යැපීමේ මාධ්‍යයක් (ආහාර) සඳහා උපකරණ පාවිච්චි කිරීමත් සමගය. ‘වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටුකළ කාර්යය කොටස’ නම් පොත් පිංචේ එංගල්ස් මෙසේ සඳහන් කරයි. “මිනිසා දක්වා විපරිණාමයට මුහුණ පෑමේදී මේ හරයේ ඇති රසායනික පූර්වාවයවය වැදගත් විය. එහෙත් මේවා සියල්ල වචනයේ නියම අරුතින් ශ්‍රමය නොවීය. ශ්‍රමය ආරම්භ වූයේ උපකරණ සෑදීමත් සමගය. ප්‍රාග් ඓතිහාසික මිනිසුන් විසින් අපට දායද කොට ගිය ආදිතම උපකරණ අනුවද, ආදි ඓතිහාසීය ජනතාවගේ ජීවන රටාව අනුවද එමෙන්ම සමකාලීන ම්ලේච්ඡයන්ගේ අවි අනුවද අපට සොයාගත හැකි ඉතාම ආදිකාලීන උපකරණ මොනවාද? ඒවා දඩයම් කිරීමේ හා මාළු බෑමේ උපකරණය” ඉතාම සරල ප්‍රාථමික උපකරණ (පොල්ල, හෙල්ල, ගල් පතුරු ආදී) යොදාගෙන ශ්‍රමය මගින් සරලව නිෂ්පාදනය ආරම්භ වන විටම මානව සමාජය තුළ සංස්කෘතියද සරල හා ප්‍රාථමික මට්ටමින් ආරම්භ විය. පසු කලෙක මිනිසා ගින්දර සොයා ගැනීමත් සමග ඔහුගේ ආහාර ගැනීමේ රටාව වෙනස් විය. නිෂ්පාදන උපකරණ ක්‍රමිකව දියුණු විය. මුගුර හෙල්ල අතරට වඩා සංකීර්ණ අවියක් හා නිෂ්පාදන උපකරණයක් වූ දුන්න හා ඊතලය එකතු විය. මිනිසා ගණ හා ගෝත්‍ර ලෙස සංවිධානය විය. මානව සමාජයෙ ආරම්භක මුල්ම ඒකකය වූයේ ගණය හා ගෝත්‍රයයි. ඒ තුළ දඩයම සඳහාත් නිෂ්පාදනය බෙදාහැරීම සඳහාත් සාමූහිකත්වය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය සඳහාත් වූ ආචාර ධර්ම, සිරිත් විරිත්, ඇදහිලි නිර්මාණය විය. තම නිෂ්පාදන අත්දැකීම් සටහන් කර තැබීමට, ඒවා ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය තුළ ගල්ලෙන් චිත්‍ර නිර්මාණය විය. දඩයමක් කොට ගෝත්‍රයට ආහාර රැගෙන ඒමේ සතුට ප්‍රීතිය වැනි භාවයන් එළිදැක්වීම් වස් ගිනිමැලයක් වටා රඟ දක්වන නැටුමද, තාලද, ගීද නිර්මාණය විය. එනම් තනි වචනයකින් කිවහොත් සංස්කෘතියක් හා ඒ මත ජීවත්වන මිනිසෙක් නිර්මාණය විය. ඒ අනුව එකක් පැහැදිලිය. වර්තමානයේ තේරුම් ගැනීමට නොහැකි තරම් සංකීර්ණ ලෙස පෙනුණද සංස්කෘතියේ නිර්මාණය වීමේදී මිනිසාගේ ආධ්‍යාත්මික පාර්ශ්වයට පදනම වැටුණේ ද්‍රව්‍යමය නිෂ්පාදනය පදනම් කර ගනිමිනි. ඕනෑම රටක ඕනෑම යුගයක සංස්කෘතියේ ආධ්‍යාත්මික පාර්ශ්වයන්ගේ (මතවාද, සිරිත් විරිත්, ආචාරධර්ම, ආගමික ඇදහිලි හා කලා නිර්මාණ) ස්වභාවය තීරණය කරනු ලබන්නේ, එම රටේ එම යුගයේ ස්වාභාවික පරිසරයත් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ නැතිනම් ද්‍රව්‍යමය නිෂ්පාදනයේ ස්වභාවය හෙවත් නිෂ්පාදන ක්‍රමය අනුවත්ය යන්න පැහැදිලිය. සමාජයක නිෂ්පාදන ක්‍රමය, නිෂ්පාදන මාදිලියේ ස්වභාවය අර්බුදයට යන විට හෝ වෙනස් වන විට සංස්කෘතියේ අධ්‍යාත්මික වටිනාකම්ද අර්බුදයට යාම හෝ වෙනස්වීම සිදුවේ. කෙසේ වෙතත් මින් අපට යළිත් පැහැදිලි වන්නේ කුමක්ද? සංස්කෘතිය යනු පුළුල් සංකීර්ණ ප්‍රපංචයක් බවය. නිෂ්පාදන ක්‍රියාවලිය සරලම අවදියේ මිනිසා නිපදවූ උපකරණ  වන මුගුර, හෙල්ල, දුන්න හා ඊතලයේ සිට නූතනයේ ඉතාම දියුණු යන්ත්‍ර සූත්‍ර දක්වාත් අතීතයෙ නිර්මාණයක් ලෙස සකසාගත් ගල් ලෙනේ, පැල්පතේ සිට නූතන මහා මන්දිර හා ගොඩනැගිලි දක්වාත් එහිදී නිර්මාණය කළ චිත්‍ර, මූර්ති, කැටයම්, පිලිම, දාගැබ්, චෛත්‍ය ආදි ද්‍රව්‍යමය  සියලු නිර්මාණත් සිරිත් විරිත්, ආචාරධර්ම, ගතිපැවැතුම්, දැනුම, අධ්‍යාපනය, කෙළි සෙල්ලම්, උත්සව ආගම් හා ඇදහිලි ආදී සියලු දේත් සමස්තයක් ලෙස සංස්කෘතියට අයත් වන බවය. අපේ රටේ අතීත නිර්මාණයන් වන වැව් හා දාගැබ්ද, පිලිමද, ගල්කණුද, සීගිරියද එකල සිරිත් විරිත් හා ඇදහිලි ආදියේ සිට වර්තමානයේ ඇති සියලු ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික නිර්මාණ හා වටිනාකම්වල එකතු සම්පිණ්ඩනය සංස්කෘතිය තුළ ගැබ්ව පවතී. වර්තමානයේ අපේ රටේ ආර්ථික ක්‍රමය වන නව ලිබරල්වාදී අර්ථ ක්‍රමය මෙන්ම අතීතයේ පැවති ආසියාතික කෘෂි නිෂ්පාදන රටාවද ඒවාට අනුරූපීව බිහිවූ ජනතාවගේ හැසිරීම හා මානව සබඳතාවල ස්වරූපයන්ද අපේ සංස්කෘතියේ සංධාරය වේ.

සංස්කෘතික වෙනස්කම් නිර්මාණය කරන සාධක සංස්කෘතිය හැම විටම හැම තැනම එක් ආකාරයකින් පවතින්නේ නැත. එය රටින් රටට, භූගෝලීය කලාපයෙන් කලාපයට වෙනස් වන අතර කාලයෙන් කාලයටද වෙනස් වේ. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් තිබේ. එකක් නම් භූගෝලීය  පසුබිම හෙවත් සොබාදහමේ බලපෑමේ සාධකයයි. අනෙක නිෂ්පාදන උපකරණවල දියුණුව හා නිෂ්පාදන රටාවේ, නිෂ්පාදන මාදිලියේ බලපෑමයි. සීත රටවල හා ඝර්මකලාපීය රටවලත්, මැදපෙරදිග වැනි කාන්තාර ප්‍රදේශවලදීත් එකම කාලයේ සංස්කෘතික ලක්ෂණ

වෙනස්ව පවතින්නේ එනම් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, සිරිත් විරිත්, ආහාරපාන යන්ත්‍ර සූත්‍ර හා ඉදිකිරීම් ආදි බොහෝ දේ තුළ වන වෙනස තීරණය කරන්නේ භූගෝලීය සාධක මගිනි. එසේම එකම රටේ, එකම කලාපයේ වුවද සංස්කෘතිය කාලය අනුව වෙනස් වේ. එය තීරණය කරන්නේ අදාළ රටේ නිෂ්පාදන උපකරණවල දියුණුව හා සමාජ ක්‍රමවල විකාශනය මගිනි. උදාහරණයක් ලෙස ලංකාවේ අතීත සංස්කෘතියේ හා වර්තමානයේ ඇති බරපතළ වෙනස්කම් තීරණය කරනු ලැබුවේ එදා පැවති ආසියාතික නිෂ්පාදන රටාවට අනුව හා පසුව ධනවාදය හා වෙද්දී සංස්කෘතික මිශ්‍රවීම්ද සිදු වේ. සංස්කෘතික ආක්‍රමණයන්ද සිදුවී තිබේ. රටවල් අතර ඇතිවන දේශපාලන හා වෙළඳ සබඳතා සංස්කෘතික හුවමාරුවීම්වලට මඟ පාදන අතර රටවල් යටත්කර ගැනීමේ ඍජු හා වක්‍ර ආක්‍රමණ මගින් සංස්කෘතික ආක්‍රමණවලට මඟ විවර වේ. එබැවින් පිරිසිදු සංස්කෘතියක් සඳහා වන සමහර මතවාදයන් ඉතාම වැරදිය;  ප්‍රතිගාමීය. සංස්කෘතියට ‘පිරිසිදුව’ මිශ්‍ර නොවී පැවතිය නොහැක. සංස්කෘතිය යනු සංවර්ධනය වන විවිධ සංස්කෘතීන්ගේ ගැලපෙන මෙන්ම සමහරවිට නොගැලපෙන දේද එකතුකර ගනිමින් රටින් රටට, ඒ ඒ රටවල භූගෝලීය වෙනස්කම් හේතුකරගෙන හා එකම රටේ කාලයෙන් කාලයට සමාජයේ ආර්ථික ක්‍රමයේ සිදුවෙන වෙනස්කම් පදනම්කර ගනිමින්  වෙනස් වෙමින් ඉදිරියට යන දෙයකි. සංස්කෘතිය වටහාගත හැක්කේ එලෙස පමණි.

සංස්කෘතික මිනිසා කවරෙක්ද?  මිනිසා ස්වභාවයෙන්ම සංස්කෘතික සත්වයෙකි. එසේනම් සංස්කෘතික මිනිසෙක් පිළිබඳව විශේෂයෙන් කථා කළ යුත්තේ ඇයි? ඊට පැහැදිලි හේතුවක් තිබේ. ඒ මිනිසා ස්වභාවයෙන්ම සංස්කෘතික සත්වයෙක් විය යුතු වුවත් බොහෝ මිනිසුන් තුළ දැන් සැබෑ සංස්කෘතික ලක්ෂණ දැකිය නොහැකි වීමයි. බොහෝ මිනිසුන් තුළ මානව ගති ලක්ෂණ යටපත් වෙමින් ‘සත්ව’ ගති ලක්ෂණ මතුවෙමින් තිබෙන අයුරු, මිනිසා තුළින් මනුෂ්‍යත්වයට නොගැලපෙන අසංස්කෘතික ගති ලක්ෂණ ප්‍රකාශයට පත්වන අයුරු ලොව පුරාම අපි අත්දකිමින් සිටිමු. සංස්කෘතික මිනිසා යනු මානවවාදී චින්තනයකින් හෙබි පුළුල් සමාජ දැක්මක් සහිත, සමාජ අත්දැකීම්වලින් පෝෂණය වන, ඉතිහාසය පුරා මිනිසා විසින් අත්පත්කර ගන්නා ලද ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික වටිනාකම්වල අගය හඳුනන, ඒවාට ගරුකරන, ඒවා ආරක්ෂා කරන, ආත්මාර්ථකාමී ලෙස සිතනවා වෙනුවට සාමූහික පොදු හැඟීමකින් කටයුතු කරන, සාමූහිකත්වය අගයන සමාජ යුතුකම් හඳුනන, සමාජ විරෝධී කටයුතු නොකරන, රස වින්දනයක් ඇති ජාතිවාදී ගෝත්‍රවාදී ආගම්වාදී කුලවාදී අගතීන්ගෙන් මිදුන පුද්ගලයෙකි. එසේම සමාජය සංවර්ධනය වනවිට ඉදිරියට යන විට පැරණි නොගැලපෙන සංස්කෘතික ලක්ෂණවල සිරකරුවෙක්ව නොසිටින හා අනාගත සංස්කෘතියේ ප්‍රගතිගාමී ලක්ෂණ හඳුනාගන්නා හා පිළිගන්නා කෙනෙක් විය යුතුය. එහෙත් පෞද්ගලිකත්වය, මුදල් හා ලාභ ඉපයීම, ඒ සඳහා වන තරගය උත්කර්ෂයට නංවා ඇති වත්මන් ධනවාදයේ පරිභෝජනවාදී ප්‍රවණතාවය සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමට බාධාකරන අතර මිනිසා නරුමයෙක් බවට පත්කරමින් සිටී. බටහිර දාර්ශනිකයෙක් හා ලේඛකයෙක් වු ඔස්කා වයිල්ඞ් වරක් ප්‍රකාශ කර තිබුණේ ‘නරුමයා යනු සෑම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය’ යනුවෙනි. එවැනි මිනිසෙක් සංස්කෘතික මිනිසෙක් වන්නේ නැත. සංස්කෘතික මිනිසා අප කලින්ද සඳහන් කළ පරිදි සමාජ ප්‍රගතියට අනුව කටයුතු කරන, අතීතයේ සියලු ජීවන හා සමාජ වටිනාකම් එකතු කරගනිමින් එහෙත් එහි සිරකරුවෙක් නොවී අනාගතය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයාය. වර්තමානයේ ‘සංස්කෘතික මිනිසා’ ලෙස එකිනෙකා හඳුනා ගන්නා හා එලෙස අර්ථකථනයකර ගැනීමට උපයෝගී කරගන්නා මිනුම් දඬු හා නිර්ණායකවල ගැටලුවක්ද තිබේ. සමහරු තම ජීවන රටාවන් සාධාරණය කර ගැනීම සඳහා තමනට ගැලපෙන ලෙස ‘සංස්කෘතික මිනිසා’ අර්ථකථනය කර ගන්නේද යන පැනය බැහැර කළ නොහැක. විශේෂයෙන් ලංකාව වැනි පසුගාමී ආසියාතික රටවලදී මෙය වැඩිපුර දැකිය හැක. අපේ රටවල මැද පංතික සමහර අය අතර සංස්කෘතික මිනිසා පිළිබඳ මෙලෙස සිතන අවස්ථාද තිබේ. මත්පැන් වීදුරුවක් තොලගාමින්, දොඩමළු වන, රසවින්දනය ගැන, දේශපාලනය ගැන, සමාජය ගැන සංවාද කරන නිදහස්වාදී ලෙස සිතන අයගේ ජීවිත සංස්කෘතිකමය ජීවිත ලෙස හැඳින්වීමට සමහරු ඉදිරිපත් වෙති. එහෙත් සංස්කෘතික මිනිසා යනු ඊට වඩා පුළුල් අරුතකින් සමාජය තුළ හැසිරෙන මිනිසෙකි. ඔහු සමාජයේ හොඳ නරක හඳුනන, තම පෞද්ගලික ආශාවන්ට ඉහළින් සමාජමය වගකීම් තබන හා ඒවා දැරීමට සූදානම් අයෙකි. එබැවින් සංස්කෘතික මිනිසා යන්න තම තමන්ගේ පටු වුවමනාවන්ට අනුව අර්ථකථනය කිරීම නිවැරදි වන්නේ නැත. ඕනෑම යුගයක ඕනෑම රටක සමාජය පිරිහීමට ලක්වූවිට සමාජය එක තැන පල්වෙන විට, එය සංස්කෘතික වශයෙන්ද පිරිහෙන අතර එම පිරිහීම මිනිසා තුළින්ද ප්‍රකාශයට පත්වේ. ඕනෑම රටක පිරිහීමට පත්ව තිබෙන සංස්කෘතික වටිනාකම් යළි ජීවය ලබන්නේ සංස්කෘතියේ විප්ලවීය වෙනස්කම් සමගය. එය සිදුවන්නේ සමාජයේ සිදුවන විප්ලවීය වෙනස්කම් මගිනි. එහෙත් සමාජයක විප්ලවීය වෙනස්කම් කිරීම සඳහා ඊට දායකවීම සඳහා සංස්කෘතික වශයෙන් දියුණු මිනිසුන් සිටීමද අත්‍යවශ්‍ය වේ. මෙය සමාජයේ එක්තරා ආකාරයක දයලෙක්තික ස්වභාවයක් නියෝජනය කරයි. එය මෙලෙස තේරුම් ගත හැක. දියුණු සංස්කෘතික මිනිසෙක් නිර්මාණය වීමට, එනම් මිනිසා පොදුවේ වඩාත් දියුණු සංස්කෘතික මිනිසෙක් බවට පත්වීමට සමාජ ක්‍රමයේ විප්ලවීය වෙනසක් අවශ්‍යය. එහෙත් ඉන් කියවෙන්නේ සමාජය විප්ලවීය ලෙස වෙනස්වී සංස්කෘතික මිනිසා නිර්මාණය වනතුරු ‘බලාසිටිය’ යුතු බව නොවේ. සමාජයේ ප්‍රගතිගාමී විප්ලවීය පරිවර්තනයක් සඳහා මූලිකත්වය ගැනීම සඳහා දියුණු සංස්කෘතික මිනිසෙක් අවශ්‍ය වේ. එබැවින් සංස්කෘතික වශයෙන් පිරිහුණු සමාජයක් තුළදී පවා දියුණු සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කළ හැකි අතර එසේ කිරීමද අත්‍යවශ්‍යය. අවසාන වශයෙන් සමාජය පිරිහීමට ලක්ව නව සමාජ පරිවර්තනයක් ඉල්ලා සිටින මෙවැනි යුගයක සංස්කෘතික මිනිසා පිළිබඳ සංවාදයක් ඇතිකිරීම එවැනි මිනිසෙක් නිර්මාණය කර ගැනීමට මෙන්ම සමාජ පරිවර්තනයක් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමේ අර්ථයෙන්ද ඉතාම වැදගත් වන බව සඳහන් කළ යුතුය.