විවෘත ආර්ථිකයට 40යි, නොසැලෙන ආර්ථිකයක්ද? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාද?

rsz_a730fbe4dd51b96ad105f37c06c0c54b
සංස්කෘතික මිනිසා සහ සංස්කෘතිය
March 18, 2019
rsz_2019-03-19_14_09_55-microsoft_edge
“සළුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම
March 19, 2019
Show all

විවෘත ආර්ථිකයට 40යි, නොසැලෙන ආර්ථිකයක්ද? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාද?

rsz_awantha

Resilient  Economy or  Enterprise Sri Lanka?

දශක 4ක් ඍජු ලෙසම ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාවට නගන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් රට ඉදිරියට ගෙනයන්නේද? නැතිනම් ආපස්සට හරවා ප්‍රපාතයට ඇද දමන්නේද යන්න පිළිබඳව දැන් විවෘත සංවාදයක් ඇත. විවෘත ආර්ථිකය හඳුන්වා දීමේදී අපේක්ෂා කළ අරමුණ වූයේ පවතින වෙළඳ බාධක (ඊට කලින් පැවැති රාජ්‍ය ඒකාධිකාර ධනවාදී මැදිහත් වීම යටතේ) ඉවත් කර ආර්ථිකයේ ආනයන අපනයන විවෘත කිරීමෙන් ක්ෂණික ආර්ථික ප්‍රසාරණයක් ඇති කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එවකට පැවැති ලෝක තත්වයන්ද ඊට සමාන්තර ලෙස බලපෑවේය. ලෝකය පුරා රැල්ලක් ලෙස ගලා ගිය විවෘත කිරීමේ ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ ලංකාවේ ආර්ථිකය ලිහිල්කරණයටද බලපෑවේය. විවෘත ආර්ථිකයට කලින් පැවැති රාජ්‍ය සීමාකිරීම විසින් පීඩාවට පත්වූ ජනතාවට විනිමය පාලනය ලිහිල් කිරීමත් ආනයන සීමාවන් එකවර ඉවත් කිරීමත් විසින් ආර්ථිකයේ ප්‍රසාරණයක් හා නිදහසක් පහළ විය. වෙළඳ කලාප ආශ්‍රිත ඇඟලුම් කර්මාන්ත බිහි කිරීම සමග අපනයන ආදායමේ එතෙක් පැවැති වැවිලි ආර්ථික බෝග අපනයන සංයුතිය (තේ, රබර්, පොල්) වෙනුවට ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛස්ථානයට පත්විය.

දශක 4ක පසු විපරම

පැවැති රාජ්‍ය ඒකාධිකාරය මැදිහත්වීම්වලින් ජනිත වූ දූෂිත පාලනයට වඩා ආර්ථිකය විවෘත කිරීමෙන් ආශ්වාදයක් ලබා ගත් ජනතාවට විවෘත ආර්ථිකය ආරම්භක දශකයේදීම (80 දශකයේදී) ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිවිපාක අත්විදීමට සිදු විය. 1950 දී රු. මිලියන 163ක් ලෙසද 1970දී රු. මිලියන 873ක්ද ලෙස පැවැති රාජ්‍ය ණය පංගුව 1980දී රු. මිලියන 12,746ක් බවට පත් විය. ශක්තිමත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කුණු කොල්ලයට විකුණා දමන ලදී. පිඟන් සංස්ථාව, ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, තුනී ලෑලි සංයුක්ත මණ්ඩලය, තුල්හිරිය පෙහෙකම්හල වැනි ආයතන ඒ අතර වේ.

1994න් පසු චන්ද්‍රිකා කුමාරණතුංග පාලනය ආරම්භ වන්නේ පැවැති ජේ. ආර්. පාලනයට දේශපාලන විවේචනයක් මෙන්ම විවෘත ආර්ථිකයට විකල්පයක් ලෙස  හඳුන්වා දෙමිනි. නමුත් එම පාලනයේදීද සිදුවූයේ විකිණීම තවදුරටත් පුළුල් කරමින් නිෂ්පාදන ආර්ථිකයේ ඉතිරිව පැවැති කොටස් පවා දුර්වල කිරීමය. වතු සමාගම පෞද්ගලීකරණය කිරීම ඉන් මූලික විය. ඊට අමතරව එයාර් ලංකා, ගෑස්, ටෙලිකොම් වැනි රාජ්‍ය ව්‍යාපාර ලෙස පැවැති ශක්තිමත් ආයතනද විකිණීමට ලක් විය. විවෘත ආර්ථිකයට විකල්පයක් ලෙස පෙනී සිටි “මානුෂික මුහුණුවර” තම පාලනය අවසන් කරන විට 2005දී ගෙවිය යුතු රාජ්‍ය ණය තොගය රු. මිලියන 172,396ක් විය. දේශපාලනිකව විවේචනය කළද කිසිදු ප්‍රතිපත්තිමය වෙනසකින් තොරව විවෘත ආර්ථිකයම ඉදිරියට ගමන් කළේ එලෙසිනි.

2005 – 2015 දශකය

2005න් පසු ඇරඹෙන්නේ විවෘත ආර්ථිකයේ විසකුරු ප්‍රතිඵල සමාජයට පතිත වන දශකයයි. ජනතා විමුක්ති පෙරමුණ වසරක පාලනයට සම්බන්ධ වූ මොහොත තුළ යෝජනා කළ වැව් දස දහස, ග්‍රාමීය කර්මාන්ත 1000ක් ව්‍යාපාරය, ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය වැඩි කිරීමට දරන ලද උත්සාහයන් කිහිපය හැර යළිත් සුපුරුදු පීල්ලටම වැටුණු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය විසින් දශමයකින් හෝ ආර්ථිකයේ වත්කම් පංගුව ඉහළ නොගිය නමුත් ණය බර, බඩු මිල, උද්දමනය, ජීවන වියදම, මන්දපෝෂණය, දුප්පත්කම, ග්‍රාමීය ණයගැතිභාවය, ඇති නැති පරතරය විශාල ලෙස ඉහළ නංවන ලදී. 2015 වන විට රාජ්‍ය ආදායම රු. බිලියන 1509ක් වනවිට එයින් 90%ක්ම (බිලියන 1355) බදු ආදායමින් බිහිකළේය. එම බදුවලින්ද  80%ක්ම වක්‍ර බදු විය. බදු ආදායම රු. බිලියන 1355ක් වන විට එම වසරේම ණය වාරික හා පොලී ගෙවීමට යොදවන මුදල රු බිලියන 1317ක් විය. බදු ආදායමින් ප්‍රතිශතයක් ලෙස ණය ගෙවීමට 97ක් යොදවා ඇත. 2015 වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණය රු. බිලියන 8503කි. 2014 වසරේදී පමණක් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය රු. බිලියන 752කි. 1990 සිට වසර 20ක් තුළ ලංකාවේ ණය වැඩිවීමේ ප්‍රතිශතය 2920% කි.

2015 – 2018 එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා!

 

2015 දී බලයට පත් රනිල් – මෛත්‍රී හවුල් පාලනයද කිසිදු වෙනසකින් තොරව ක්‍රියාවට නැගීමට යොදා ගන්නේ ඒ වනවිට අවු. 38ක්ම රට ණය කළ, දුප්පත්කම, මන්දපෝෂණය, ඇති නැති පරතරය වර්ධනය කළ විවෘත ආර්ථික මාවතම යළි එහි පැරණි උරුමකරුවන් ලෙස එ.ජා.ප.යට පවරා දීම ජනතාව අතින්ද සිදු වූ බරපතළම අපරාධයකි.  නමුත් ඒ වන විට පාරාජිකා මට්මමට ඇද වැටී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබූ රාජපක්ෂ පවුල් පාලනයට විකල්ප ලෙස ජනතාව තෝරාගන්නේ සැබෑ ලෙසම ආර්ථිකයටවත් දේශපාලනයටවත් විකල්ප පිළිතුරක් නොවන උත්තරයකි.  ඒ වනවිටත් සම්පූර්ණ ලෙස ආර්ථිකය පාලනය කිරීමේ උපාංග තමන්ට අහිමි කරගෙන සිටි පාලකයින්ට විවෘත ආර්ථිකයේ සැඩ පහරට ආර්ථිකය ගිල ගැනීමට ඉඩදී බලා සිටිනු හැර විකල්ප නොවීය. No photo description available.

ඒ අනුව 2010දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4825ක් පැවැති වෙළඳ පරතරය 2018දී ඩොලර් මිලියන 9642ක් විය. 2010දී ඩොලරයක් සඳහා හුවමාරු වූ රුපියල් වටිනාකම රු. 110ක් වූ අතර එය 2018දී – අවසන නතර වී ඇත්තේ 184 මට්ටමේය. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීමෙන් ලද මුදල හැර වෙනත් විශේෂ ආයෝජනයක් රට තුළට පැමිණ නැත. 2018දී ඉදිරිපත් කළ අයවැය අනුව අයවැය හිඟය රු. බිලියන 675ක් වූ අතර එම හිඟය පියවීමට අපේක්ෂා කල රු. බිලියන 580ක්ම ණය ගැනීම්වලිනි. අති විශාල අයවැය හිඟයත්, එම අයවැය හිඟයෙන් වැඩි පංගුව ණයවලින් පියවීමට අපේක්ෂා කිරීමත් ණය ගෙවා පියවීමටද ණය ගැනීමටම සිදුවීමත් ඒ මගින් ආර්ථිකයේ අලුත් වටිනාකමක්, වත්කම ඉපැයීමක් සිදු නොවීමත් නිසා 1977 දී මොහොතකට ආකර්ෂණීය ලෙස පෙනුණු විවෘත ආර්ථිකය ගතවූ දශක 04කදී ඔප්පු කර ඇත්තේ රටත් ජනතාවත් ප්‍රපාතයටම ඇද දමන ලද අසාර්ථක ආර්ථික උපාය මාර්ගයක් ලෙසිනි. විවිධ වර්ගයේ නාමකරණයන් මගින් බෝඞ් ලෑලි එල්ලුවද අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ශක්තිමත් දියුණු ආර්ථිකයකට හිමිකම පෑමට සියලු සුදුසුකම ඇති රටක් දුබල දුර්වල අසාර්ථක රාජ්‍යයක් බවට පත් කර තිබීමය. දැන් ජනතාව මෙම ආර්ථික ක්‍රමයම කරගසාගෙන තවදුරටත් දුක් විදින්නේද? නැත්නම් විකල්ප ආර්ථික ගමනක් අරඹන්නේද යන්න තීරණයක් ගත යුතු මොහොතට එළඹ ඇත.

නොසැලෙන ආර්ථිකයක්

දැන් ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ මෙතෙක් ජනතාව පීඩාවට පත් කළ, බදු බරට, බඩු මිලට යට කළ විවෘත ආර්ථික උපායමාර්ගයට නොවන බව දැන් හොඳින්ම පැහැදිලිය. ලෝකය මෙතෙක් අත්පත් කරගෙන තිබෙන නවීන තාක්ෂණය සියලු දැනුමද උකහා ගත හැකි සෑම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ කරන ගුණාත්මක තෘප්තිමත් ජීවිතයක් මිනිසුන්ට උරුම කරලිය හැකි ආර්ථිකයක් ගොඩනැගිය යුතුව ඇත. ප්‍රමාණවත් විදේශ විනිමය ඉපැයීමට සමත් නිෂ්පාදන ආර්ථිකයක් අප ගොඩනැගිය යුත්තෙමු. අද පවතින අපනයන මෙන් දෙගුණයක් ආනයන වෙනුවට, ආනයන මෙන් දෙගුණයක් අපනයන වර්ධනයට ප්‍රවේශය ගත යුතුය. පාලනය නොකරන ලද උද්ධමනය විසින් මිනිසුන්ගේ වැටුප්, වේතනවල ක්‍රය ශක්තිය හීන කර ඇත. එසේ නම් කළ යුත්තේ දැනට පවතින ප්‍රාදේශීය විෂමතාවය තුරන් කරන ලෙස ආදායම බෙදීයාමේ විෂමතාවයට පිළිතුරු සෙවීමය. විෂම ණය චක්‍රයෙන් ගැලවීමටත්, ආදායම බෙදීයාමේ විෂමතාවයන් තුරන් කිරීමටත් හැකි එකම මාවත වන්නේ ජාතික නිෂ්පාදනයේ කොටස ශක්තිමත් කිරීමෙන් පමණි. ඒ සඳහා සියලු අභියෝගයන් ජයගත හැකි නොසැලෙන ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කළ යුත්තේය. මෙම මූලික පදනමේ පිහිටා කර්මාන්ත, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, බලශක්තිය හා බලශක්ති නිෂ්පාදනය දියුණු කළ යුතුය. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, ආර්ථිකය හා ඍජුව බැදී පවතී. විදේශ රටවල් සමග ඇති කරගන්නා ආර්ථික ගිවිසුම් රටේ ස්වාධීනත්වය බිඳ දමන්නේ නම්, දේශපාලන ස්වෛරිත්වයට හානි කරන්නේ නම් ආර්ථිකයේ නිදහසක් අපේක්ෂා කිරීම උගහටය. එසේම සමාගම් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු අත ආර්ථිකයේ මුළු පැවැත්ම තීරණය වීම විසින් රටට සිදුකළ හානිය කොල්ලකාරී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ දශක 04ක කාලය පුරාම ශ්‍රී ලාංකේය ජනතාව අත්වින්දෙමු. ඒ වෙනුවට ආර්ථික බලය සංකේන්ද්‍රණය වෙනුවට නිදහස හා සමානාත්මතාවය මත පදනම් වූ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමද නව ආර්ථික ප්‍රතිපත්තියක මූලික අංග වේ. පවතින සමාජ, ආර්ථික දේශපාලන රාමුව මුළුමනින්ම වෙනස් කරමින් ආර්ථිකයේද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැක්කේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ නොව සමාජවාදී සමානාත්මතා පදනම තුළ බිහිකරන නවීන සමාජවාදී ආර්ථිකයට පමණක් බව අපි හොඳින්ම දනිමු. නමුත් පවතින පීඩාකාරී විවෘත ආර්ථික මංකොල්ලයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීම ඒ සඳහා අනිවාරණීය මූලිකම අවශ්‍යතාවයක්ව ඇත. ඒ සඳහා පළමු පියවරක් ලෙස ප්‍රජා මූලික පරිසර හිතකාමී, තාක්ෂණය හා බැඳුණු ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුව ඇත.

විමර්ශන