“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග

rsz_image-of-period-of-stone-age-for-history
පංති සමාජය පැණ නැගුණු හැටි
March 6, 2019
rsz_international-womens-day-rtr-3c0d3f157dcd6632f7df01082a195286
ස්ත්‍රී සටන්කාමීත්වයෙන් උපන් කාන්තා දිනය – මාර්තු 08
March 8, 2019
Show all

“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග

පරිශීලනය කිරීම සඳහා උපදෙස්.

අනු මාතෘකාව උඩ ක්ලික් (Click) කිරීමෙන් හකුළුවා තිබෙන එම මාතෘකාවට අදාළ කොටස කියවිය හැකිය.

 

පිවිසුම

>ජාතික ගැට‍ළුව යනු කුමක්ද?

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් හා ඊට අමතරව බර්ගර් හා මැලේ ජන කොටස් ජීවත් වෙන බහුජාතික ධනේෂ්වර රාජ්‍යයක් වශයෙන් හඳුනා ගත යුතුව ඇත. උපතේ පටන්ම දුබල හා පසුගාමී ධනේෂ්වර ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමානාත්මතාවයේ පදනමින් ලංකාවේ ජාතික ගැට‍ළුව විසඳීමට සිය දශක හතකටත් වඩා වැඩි පාලන සමය තුළ අසමත් වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළව ගොඩ නැගී ඇති වර්තමාන සංකීර්ණ දේශපාලන වටපිටාව ඊට සාක්ෂි දරණු ඇත. දශක තුනකට අධික කාලයක් පුරා දස දහස් ගණනින් ජීවිත හා දැවැන්ත දේපළ විනාශයක් සිදු කරමින්, වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණ  පෙරදැරි කර ගනිමින් දිග හැරුණු බෙදුම්වාදී යුද්ධයේ සමාප්තියත් සමගින්, ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළ එක් සංකීර්ණ කාල පරිච්ඡේදයක් නිමාවට ලක් වූයේ, ජාතික ගැට‍ළුවට අදාළව නව සංකීර්ණ හා දේශපාලන අර්බුද ගණනාවක් ද ලාංකීය සමාජය අභිමුව තබමිණි. එනම් පසුගිය 2009 වසරේ මැයි මාසයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමගම,  දෙමළ ඊලාම් ව්‍යාපාරයේ සන්නද්ධ පෙරමුණ දුර්මුඛ වීම සැබෑවක් වුව ද, ලංකාවේ ජාතික ගැට‍ළුව සඳහා හේතු වූ කාරක වූ දේශපාලන මූලයන් සඳහා කිසිදු පිළිතුරක් සැපයී නොමැත. ඒ වෙනුවට තවදුරටත් සිංහල – දෙමළ හා අනෙකුත් ජන කොටස් අතර අන්‍යෝන්‍ය සැකය, අවිශ්වාසය හා සතුරුභාවය වර්ධනය වන අයුරින් කටයුතු සිදු වෙමින් පවතී. වත්මන් ධනේෂ්වර හා සුළු ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරයන්හි දේශපාලන කටයුතු ඊට සැලකිය යුතු පිටුබලයක් සපයයි.

අවසන් වී ඇත්තේ, ලංකාවේ ජාතික ගැට‍ළුව පදනම් කර ගත් ජාතිවාදී යුද්ධයේ එක් පරිච්ඡේදයක් පමණි. එනිසා, ලාංකීය ජාතික රාජ්‍යයේ ස්වාභාවික දේශසීමා වෙනුවට, වාර්ගික දේශපාලන දේශසීමා ආදේශ කිරීමේ, බෙදුම්වාදී වුවමනාව පෙරදැරි කර ගත්, ජාතික ගැට‍ළුවේ මූලික ලක්ෂණය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිගාමී බලවේගයන්ගේ මැදිහත්වීමෙන් තවමත් ක්‍රියාත්මකය. අනෙක් අතට ලංකාව බහුජාතික රාජ්‍යයක්ය යන පැහැදිලි සත්‍යය ප්‍රතික්ෂේප කිරීමෙන්, ලංකාව තුළ වෙසෙන සියළුම ජන කොටස්වලට සමානව සැලකීම ප්‍රතික්ෂේප කිරීමෙන්, තම ජන කොටස්වලට පමණක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතු බවට හා සෙසු ජන කොටස්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදීම මගින් ප්‍රකාශයට පත් වන සිංහල ජාතිවාදයේ ප්‍රකාශනයත්, සිංහල ජන කොටස් කෙරෙහි සැකයත්, අවුස්සන ලද වෛරත්,සිංහල ජන කොටස් සමග එකතුවීමට දක්වන විරෝධයත් පදනම් කර ගත් දෙමළ හා මුස්ලිම් ධනපති ජාතිවාදයේ මූලයන් තවමත් නොනැසී පවතින අතර ඒවා වැඩි වර්ධනය වෙමින් ද පවතී. ලංකාවේ ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට සංකීර්ණ වීමට බලපෑ බටහිර අධිරාජ්‍යවාදී දේශපාලනය ප්‍රමුඛ කර ගත් ඉන්දීය දේශපාලන මැදිහත්වීම්වල ද ක්‍රමානුකූල තීව්‍ර වීමක් මිස, එහි බලපෑම පහව යාමක් දක්නට නොමැත. යුද්ධය තාවකාලිකව අවසන් වී ඇති නමුත් ජාතික ගැට‍ළුවේ සමස්ත ඉතිහාසමය ක්‍රියාවලිය තුළ පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතයේ තත්වය නගාසිටුවීමක් පිළිබඳව බලාපොරොත්තුවක් රඳවා ගත නොහැකි තත්වයක් මතු වී තිබේ. එහි ඍජු ගොදුරු බවට පත් වී ඇති උතුරේ හා නැගෙනහිර අවතැන් කඳවුරුවල හා තමන් උපන් භූමියෙහි අවතැන් වී ඇති, තම ආර්ථික ස්වාධීනත්වය කෙසේ වෙතත්, මූලික මිනිස් අයිතිවාසිකම්වල පවා හිමිකම් අහිමි කොට ඇති දෙමළ ජනතාවගේ තත්වය කියා පාන්නේ ජාතික ගැට‍ළුවේ වත්මන් සංකීර්ණත්වයයි.

දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ ඊට අවම හෝ විසඳුම් සහිත වැඩ පිළිවෙලක් නොමැති ලාංකීය ධනපති ක්‍රමයේ සුක්කානම හසුරුවන දේශපාලකයින් තවදුරටත් උත්සාහ දරමින් සිටින්නේ, දෙමළ ජනතාවට එරෙහිව ඊනියා දේශප්‍රේමයේ නාමයෙන් සිංහල ජනතාව ජාතිවාදී කෙවිටෙන්ම තව දුරටත් දක්කා ගෙන යෑමට ය. අසාර්ථක, ප්‍රජාතන්ත්‍ර විරෝධි දූෂිත පාලනයට එරෙහි විය හැකි සමාජ බලවේගයන් ජාතිවාදයේ ජනප්‍රිය උගුලට හසු කිරීම මොවුන්ගේ ඒකායන අරමුණ ය. අනෙක් පැත්තෙන් මෙතෙක් කාලයක් සිදු කළ අයුරෙන්ම, දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීම වෙනුවට, ජාතිවාදී හා යුදවාදී දෙමළ ධනපති නායකයින්ට වරදාන හා වරප්‍රසාද පිදීම මගින්ම තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ඔවුනොවුන් සමග එකඟතාවලට පැමිණේ.
අප ජාතික ගැට‍ළුව පිළිබඳව අධ්‍යනය කිරීමට පිවිසෙන මේ මොහොතෙත් සිට ඊට අදාළ සංකීර්ණත්වය අප අබිමුව දිග හැරෙන්නේ මෙසේ ය. ධනේෂ්වර ආර්ථික අර්බුදයට විසඳුම සමාජවාදය වූවා සේ ම, ජාතික ගැට‍ළුව විසඳිය හැක්කේ ද සමාජවාදයට ය. නමුත් මේ පිළිබඳ මතවාදය අද වන විට බරපතළ  ලෙස ව්‍යාකුල වී ඇත. ධනේෂ්වර, සුළු ධනේෂ්වර හා වාමාංශික කියා ගන්නා දේශපාලන පක්ෂ විසිනුත් රාජ්‍ය නොවන සංවිධාන හා සමහර සිවිල් බුද්ධිමතුන් විසිනුත් ඉදිරිපත් කරනු ලබන නිර්මාක්ස්වාදී හා අවිද්‍යාත්මක මතවාදයන් හේතු කොට ගෙන ලංකාවේ ජාතික ගැට‍ළුව පිළිබඳ බරපතළ  මතවාදී ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ. එනිසා ලංකාවේ ජාතික ගැට‍ළුව අරභයා වඩාත් පූර්ණ දේශපාලන අධ්‍යනයක් අවශ්‍යව ඇත. මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට ය.

>ජාතික ගැට‍ළුව හැදෑරීම කළ යුත්තේ කෙසේද?

යම්කිසි  ගැට‍ළුවක් හුදකලා කොට වෙන් වෙන්ව අධ්‍යනය කළ නොහැක. එසේ උත්සාහ කිරීම ඉතාම වැරදි ක්‍රමයකි. ප්‍රතිඵලය වන්නේ මංමුලාවීමයි. කිසිම සිදුවීමක් හුදකලාව නොපවතී. ඒ නිසා අනෙකුත් සියළුම සිදුවීම් සමස්තය සමග ඊට ඇති සම්බන්ධතාවය තුළ එම ගැට‍ළුව වටහා ගත යුතුය. එමගින් සිදුවීම වටහා ගැනීමේ හැකියාවත්, ගැට‍ළුවට විසඳුම් සොයා ගැනීමේ හැකියාවත් ලැබේ.
ඕනෑම ගැට‍ළුවක් වටහා ගැනීමේ විද්‍යාත්මක විධි ක්‍රමයක් ලෙස එම ගැට‍ළුව –

  1. ඓතිහාසිකවත්
  2. විෂය මූලිකවත්
  3. සංයුක්තවත්
    විමසා බැලිය යුතුය.

ඕනෑම ගැට‍ළුවක් පැන නැගීමේ ‌ඓතිහාසික තත්වයන් හා එයට හේතු පාදක වූ සමස්ත කරුණු පද්ධතියම සොයා බැලිය යුතුය.

>ජාතික ගැට‍ළුව යනු කුමක්ද?

ජාතික ගැට‍ළුව යනු ජාතීන්ගේ විමුක්තියේ හා නිදහස් සංවර්ධනයේ ගැට‍ළුවයි. ජාතික ගැට‍ළුවට ප්‍රවේශ විය යුත්තේ  ඓතිහාසික වශයෙනි. මන්ද? විවිධ යුගයන්වලදී එහි අඩංගුව හා වැදගත්කම එක සමාන නොවන හෙයිනි.

ජාතික ගැට‍ළුව පිළිබඳ දර්ශනයේ ශබ්දකෝෂයේ සඳහන් වන්නේ එසේය.

ධනවාදයේ මුල් අවධියේදී එනම් ජාතීන් බිහිවීමේ යුගයේ දී ජාතික ගැට‍ළුව යනු වැඩවසම් ක්‍රමය පෙරලා දමමින් ධනේෂ්වර ජාතික රාජ්‍ය බිහිවීම හා වැඩවසම් ආධිපත්‍යයේ පීඩනයෙන් මිදී ජාතියක් ලෙස සංවර්ධනය වීම හා සම්බන්ධ කාරනාවක් විය. අධිරාජ්‍ය යුගයේ දී එය යටත් විජිත හා පරාධීන ජාතීන්ගේ විමුක්තිය හා බැඳුණු ප්‍රශ්නයක් විය.

මේ අනුව ධනපති ක්‍රමය තුළ එක් එක් වකවානුවල දී ජාතික ප්‍රශ්නයෙහි ස්වභාවය මෙන්ම වැදගත්ම එකිනෙකට වෙනස් ආකාරයක් ගන්නා බව පැහැදිලිය. එනිසා ලංකාවේ ජාතික ගැට‍ළුවද  හඳුනා ගත යුත්තේ මෙම ඓතිහාසික තත්වයන් සැලකිල්ලට ගනිමින් කෙරෙන ඇගයීමක් තුළිනි. ඒ අනුව ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා ධනේෂ්වර ක්‍රමයේ සංවර්ධනය පැහැදිලි ලෙසම බලපා තිබෙන බව පැහැදිලිය. මෙරට ධනේෂ්වර ක්‍රමය එය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති වකවානුව තුළ ගොඩ නැගුණු අතර එහි ධනපති ප්‍රතිඵලයක් ලෙස එකිනෙකට වෙනස් ස්වභාවයන්ගෙන් යුක්ත වූත්, ධනපති ක්‍රමය ගොඩ නැගෙන විට එක් ජාතියක් ලෙස ස්වීකරණය වී නොතිබුණා වූත්, වෙනස් ජන කොටස් කීපයක් ලෙස සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් වෙන වෙනම පැවතුනා වූත් ධනේෂ්වර ජාතික රාජ්‍ය නිර්මාණය විය.

කෙටියෙන් පවසන්නේ නම් ලංකාවේ ජාතික ගැට‍ළුවයනු ලංකාවේ ධනේෂ්වර ක්‍රමය බිහිවීමේ දී සියළු ජාතිකත්වයන් ස්වීකරණය වී ඒක ජාතික රාජ්‍යයක් බිහි වෙනවා වෙනුවට ජාතිකත්ව වෙනස්කම් ඉතිරි කර ගනිමින් හා පවත්වා ගනිමින් බහුජාතික රාජ්‍යයක් බවට පත්වීම තුළ බිහි වූ ගැට‍ළුව ය. 

ජාතියක් නිර්මාණය වීම දක්වා මිනිසාගේ ගමන් මඟ කුමක්ද?

ජාතික ගැට‍ළුව හැදෑරීමේ දී එය තුළ විමසුමට ලක් කෙරෙන ජාතිකත්වය හා ජාතිය වැනි යෙදුම් සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම වැදගත් වේ. ඒ නිසා ඉතිහාසය තුළ මානව ප්‍රජාව සංවිධානය වූ ආකාරයන් පිළිබඳ කෙටියෙන් හෝ හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඉතිහාසය, මානව ප්‍රජාව සංවිධානය වූ ආකාරයන් තුනක් ගැන දනී. එනම්

  1. ගණය හා ගෝත්‍රය (Tribe)
  2. ජාතිකත්වය (Ethnic group)
  3. ජාතිය (Nation)

>ගණය හා ගෝත්‍රය (Tribe) යනු කුමක්ද?

මිනිසා බිහිවීමත් සමග නිර්මාණය වූ ප්‍රාථමික සාමුහික සමාජයට අනුරූපී මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය ගණය හා ගෝත්‍රයයි. පොදු සම්භවයක්, භාෂාවක්, සිරිත් විරිත්, ඇදහිලි හා එදිනෙදා ජීවිතයේ හා සංස්කෘතියේ පොදු ලක්ෂණවලින් යුත් ප්‍රාථමික නිෂ්පාදන සමාජය හා මානව වර්ග කණ්ඩායමක් වූද එහි සියළුම වැඩ කටයුතුවල දී ලේ නෑකම මෙන්ම නිෂ්පාදන සම්බන්ධතාවයන්ද ප්‍රාථමික වැඩ කොටසක් ඉටු කළා වූ කණ්ඩායමක් වූද, පොදු වාසභූමි හා පොදු දඩබිම් සහිත කණ්ඩායමක් වූද ගණයේ ආර්ථික පදනම වූයේ ප්‍රාථමික පොදු ‌දේපළ   ක්‍රමයකි.
මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ – මොස්කව්

නිෂ්පාදනයේ පැවති අඩු දියුණු හා ප්‍රාථමික ස්වරූපය නිසා කණ්ඩායම ලෙස සාමුහිකව පැවතීම එකල අනිවාර්‍ය විය. පුද්ගලික දේපළ හා පංතීන්ගෙන් තොරව ගණය තුළ සියල්ල තීරණය වූයේ සාමුහික ශ්‍රමය මත ය. නිෂ්පාදනය සංවර්ධනය වීමත් සමග මාතෘ මූලික ගණ කීපයක් සහෝදර සංගම් තුළට ඒකරාශී වීමෙන් ගෝත්‍ර සෑදුණි. ගණය, ගෝත්‍රය තුළ ස්වාධීන නිෂ්පාදන ඒකකයක් වශයෙන් පැවතුණු අතර ගණයේ දේපළ මෙන්ම ගෝත්‍රයේ දේපළද එක විටම පවතින්නට විය. එකල නිෂ්පාදනය යනු සොබාදහම විසින් නිර්මාණය කළ දේ යළි සකස් කිරීම හා ඒ සඳහා මෙවලම් සෑදීමයි. නව ශිලා යුගයේ දී සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තය අතර ප්‍රධාන සමාජමය ශ්‍රම විභජනය හට ගැනීමත්, ගණය තුළ කාන්තාව සතු වැඩ කොටසේ වැදගත්කම පහත වැටීමත්, පිරිමියා සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලය බවට පත්වීමත් සමග පුද්ගලික දේපළ හිමිකමේ වර්ධනයන් සඳහා අවශ්‍ය විෂය මූල වටපිටාවක් නිර්මාණය වූ අතර ප්‍රාථමික සාමුහික සමාජය බිඳී විසිරී ගොස් ආසියාතික හෝ වහල් හිමි සමාජ ක්‍රම කරළි ගත වීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය විය.

>ජාතිකත්වයක් (Ethnic) යනු කුමක්ද?

ආසියාතික, වහල් හා වැඩවසම් සමාජ ආර්ථික හැඩගැසුම් තුළ පැවති නිෂ්පාදන රටාවට අනුරූපී මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය වූයේ ජාතිකත්වයයි. (Ethnic)

මානව ප්‍රජාවගේ මේ නව ආකාරයට පදනම් වූයේ ලේ ඥාතීත්වය හෝ ජනනික සම්බන්ධකම් නොවේ. නිෂ්පාදන සබඳතා මත පදනම් වූ මෙම ආකාරය වඩා පුළුල් විය. සමාජ ශ්‍රම විභජනය ඇරඹීමත්, හුවමාරු සබඳතාවයන් පැවැත්මට ඒමත්, අසමාන දේපළ සම්බන්ධතාවයනුත් හේතු කොට ගෙන ‘ගණය හා ගෝත්‍රයට’ මානව ප්‍රජාවේ නව ආකාරයකට ඉඩ දී අභාවයට යාමට සිදු විය.

එක භූමි ප්‍රදේශයක වාසය කරන්නා වූත්, පොදු භාෂාවකින්, මානසිකත්වයකින්, සංස්කෘතික ගති ලක්ෂණවලින් සහ ඔවුන්ගේ සිරිත්විරිත් සදාචාරයන් හා සම්ප්‍රදායන් මගින් ප්‍රකාශිත ජීවන ආකාරයන්ගෙන් බැඳුනා වූත් ඓතිහාසික ප්‍රජාවක් ලෙස ජාතිකත්වය හඳුනා ගත හැකිය.

මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ – මොස්කව්

එසේම පීතෘ මූලික යැපීම් ආර්ථිකය පසු කලෙක වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයට මඟ පෑදීමත් සමඟ ධනේෂ්වර සම්බන්ධතාවයන් බිහි විය. එය ජාතිකත්වයන් අතර ආර්ථික හුදකලාභාවයන් අහෝසි කරමින් එක් ජාතිකත්වයක් හා වෙනත් ජාතිකත්වයන් අතර බැඳීම පොදු ආර්ථික දේහයකින් ශක්තිමත් කළේය. මෙසේ ජනතාව වඩා ස්ථාවර ආර්ථික ප්‍රජාවක් තුළට රැගෙන ඒමත් සමඟ ජාතිකත්වය අහෝසි විය.

>ජාතියක් (Nation) යනු කුමක්ද?

ජාතිය (Nation)  යනු ධනේෂ්වර ආර්ථික හැඩගැස්ම සමඟ පැවැත්මට එන මානව ප්‍රජාවේ පුළුල්තම ආකාරයයි. ධනවාදය තුළ ජාතීන්ගේ සම්භවය මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් කළේ මෙසේ ය.

ජනගහනයේත්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ හා දේපළවලත් විසිරී තිබෙන ස්වභාවය වඩ වඩාත් අහෝසි කරලීමෙහි ධනපති පංතිය යෙදී සිටී. එය ජනගහනය රාශීභූත කළේය. නිෂ්පාදන මාධ්‍යයන් මධ්‍යගත කළේය. දේපළ අයිතිය ටික දෙනෙකු අත සංකේන්ද්‍රණය කළේය. මෙහි අත්‍යාවශ්‍ය ප්‍රතිඵලය වූයේ දේශපාලන මධ්‍යගත කරණයයි. ස්වාධීන හෝ ලිහිල් ලෙස සම්බන්ධව පැවති වෙනස් වුවමනාවන් සහිත වූද නීති, ආණ්ඩුව හා අයබදු පද්ධතිවලින් යුක්ත වූද ප්‍රදේශඑකම ආණ්ඩුවක් ද, එකම නීති සංග්‍රහයක් ද, එකම ජාතික පංති වුවමනාවක් ද, එකම දේශ සීමාවක් සහ එකම තීරු බදු ක්‍රමයක් ද සහිත එකම ජාතියක් (Nation) තුළට ඒකරාශී කරන ලදී.

තවද ධනේෂ්වර නිෂ්පාදන සබඳතාවයන් තුළ පමණක් පැවැත්මට එන මානව ප්‍රජාවේ පුළුල්තම ආකාරය වූ ජාතිය ජාතිකත්වයෙන් වෙනස් වෙන්නේ ඊට පොදු ආර්ථික දේහයක් පැවතීමෙනි. ධනේෂ්වර නිෂ්පාදන සබඳතා මත මධ්‍යගත කරනු ලැබ ස්වාධීන කරනු ලැබූ ජාතියක් තුළ මෙසේ පොදු ආර්ථික දේහයක් ගොඩ නැංවේ.

ලංකාව කුමන විදිහේ රාජ්‍යයක්ද?

ලංකාව යනු ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකත්වයන්ගෙන් සෑදුම් ලත් බහුජාතික රාජ්‍යයකි. ලංකාවේ ජාතික ගැට‍ළුව නිර්මාණය වීම සඳහා එය බහු ජාතික රාජ්‍යයක් වීම විශේෂයක් විය. ඒ නිසා ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන්ගේ ඓතිහාසික විකාශනය සැකෙවින් විමසා බැලිය යුතු වේ.

>සිංහල ජාතිකත්වයේ විකාශනය සිදු වූයේ කෙසේද?

ක්‍රිස්තු පූර්ව 20 වෙනි හා 10 වැනි සියවස් අතර කාලයේ දී ඉන්දීය උප මහාද්වීපයට වයඹ ප්‍රදේශය හරහා සංක්‍රමණය වූ ආක්‍රමණශීලී, පීතෘ මූලික ඉන්දු-යුරෝපීය ගෝත්‍ර හරහා ඉන්දියාවේ, පකිස්ථානයේ හා බංගලාදේශයේ වර්තමාන ශිෂ්ඨාචාරයන්ට අත්තිවාරම වැටුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ තහවුරුව සිටි ආසියාතික, සමාජ ආර්ථික රටාවකට හිමිකම් පෑ මේ රණකාමි ඉන්දු යුරෝපීයන්ගේ ඉදිරි ගමනත් සමඟ ලංකාවේ ද ජනාවාස බිහි වීම සිදුවී ඇත. ලංකාවේ ස්වදේශිකයන් යටපත් කරමින්, පරාජය කරමින් විටෙක විනාශ කරමින් හා සම්මිශ්‍රණය වෙමින් ලංකාවේ ජනාවාස බිහිවී ඇත. මීට සමාන්තරව සිංහල භාෂාව නිර්මාණය වීම හා බුද්ධාගම භාවිතයට පැමිණීමත් සමඟ සිංහල ජාතිකත්වයේ විකාශනය ඇරඹුණු බව පෙනේ. සංස්කෘත භාෂාවෙන් බිඳී ආ එළු අපභ්‍රංශය නැවත ලංකාව තුළ ප්‍රාදේශීයකරණය වීමෙන් සිංහල භාෂාව නිර්මාණය වූ බවත්, ඉන්දියාවෙන් ආගමනය වූ බුද්ධාගම ලාංකීය රජවරුන්ගේ හා ප්‍රභූන්ගේ ආගම වූ බවත් ඉතිහාසය පෙන්වා දෙයි. ඉතිහාසයේ නොයෙකුත් අවස්ථාවල ඉන්දියාවේ උතුරින් හා දකුණින් නැවියන්, වෙළඳුන්, සංක්‍රමණිකයන්, ශිල්පීන් හා සෙබළුන් ලෙස පැමිණි විවිධ ජන කොටස් ස්වීකරණය වීමෙන් පෝෂණය ලබමින් සියවස් 25ක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය වීමෙන් සිංහල ජාතිකත්වය නිර්මාණය වී ඇත.

>දෙමළ ජාතිකත්වයේ විකාශනය සිදුවූයේ කෙසේද?

ලංකාවේ සිංහල ජාතිකත්වය මෙන්ම දෙමළ ජාතිකත්වය නිර්මාණය වූයේ ද ඉන්දියාවේ සිට පැමිණි ජන කොටස්වලිනි. උතුරු ඉන්දියාවේ ඉන්දු යුරෝපීය සම්භවයක් සහිත ජාතිකත්වයන්ගෙන් සෑදුම්ලත් රාජ්‍යයක් බිහිවූ අතර දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ සම්භවයක් සහිත ජාතිකත්වයන්ගෙන් යුත් රාජ්‍යයක් බිහිවිය. ඉතිහාසය තුළ දකුණු ඉන්දියාවේ වඩාත් බලවත් වූ රාජ්‍ය ලෙස සැලකෙන්නේ චෝල අධිරාජ්‍ය වන අතර එවකට ලංකාවේ කෙරේ ද එහි බලපෑම දැඩිව පැවතුණි.

ලංකාවේ දෙමළ ජාතිකත්වයේ බිහිවීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ දකුණු ඉන්දියාව තුළ බලවත් වූ ද්‍රවිඩ රාජ්‍යයන් ලංකාව ආක්‍රමණය කොට එහි සමහර ප්‍රදේශ යටත් කර ගැනීම හරහා ය.

1 වැනි රාජරාජ යටතේ ලංකාවේ රජරට චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් බවට “මුම්මුඩ චෝල මණ්ඩලම්” යනුවෙන් ඈඳා ගන්නා ලදී. එසේම ඔහුගේ පුත් පළවන රාජේන්ද්‍ර (ක්‍රි. ව. 1014-1044) විසින් ලංකාවේ වැඩි ප්‍රදේශයක් චෝල අධිරාජ්‍යයට ඈඳා ගෙන එය “ඊලාම් මණ්ඩලම්” නමින් චෝල අධිරාජ්‍යයේ 9වන ප්‍රාන්තය ලෙසට පත් කළ බව ඉතිහාසය පෙන්වා දෙයි. ආක්‍රමණික බලපෑම්වලට අමතරව ලංකාවේ දෙමළ ජනාවාස බිහිවීම විවිධ හේතූන් මත විවිධ අයුරින් විවිධ වකවානුවල සිදු වූ බව පෙනේ. ආක්‍රමණිකයන් ලෙස පැමිණ පදිංචි වීමෙන් ලංකාවේ රජවරුන්ගේ කුලී හමුදා ලෙස බඳවා ගැනීමෙන් (වෙල්ලයක්කාර් හමුදා හා අගම්පඩි සේනා ගෙන්වීම) වෙළඳාම සඳහා පැමිණීමෙන්, ලාංකීය රජවරුන් දකුණු ඉන්දියානු කුමරියන් සරණ පාවා ගැනීමෙන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය යටත් විජිත වතුකරයේ ශ්‍රම හමුදා ලෙස ක්‍රියා කිරීමට ඉන්දියානු කම්කරුවන් රැගෙන ඒම ආදිය හේතු කොට ගෙන ද ලාංකීය දෙමළ ජාතිකත්වයේ සම්භවය හා විකාශනය සිදු වූ බව පෙනේ.

>මුස්ලිම් ජාතිකත්වයේ විකාශනය සිදු වූයේ කෙසේද?

පෘතුගීසීන් ඉන්දියන් සාගරයට සමීප වන විට ඉන්දියන් සාගරයේ වෙළඳ ආධිපත්‍ය හිමි කර ගෙන සිටියේ මුස්ලිම්වරුන් විසිනි. මොවුහු ඉන්දියාවේ මලබාරයේ පදිංචිව සිටියහ. 13වන සියවසේ පටන් ඉන්දු ලංකා වෙළඳාම පැවතියේ මූලිකවම මොවුන් අත ය. පෘතුගීසින් ලංකාවට ගොඩ බසින විට කොළඹ නගරය මූලිකවම මුස්ලිම් ජනාවාසයක් විය. නිරිත දිග මුහුදුබඩ ප්‍රදේශයේ දී පෘතුගීසීන් හා ලන්දේසීන් ගැටීම හේතු කොට ගෙන එම ප්‍රදේශවලින් ඉවත්වීමට සිදු වූවත් ඔවුන් කන්ද උඩරට රාජධානියට අයත් නැගෙනහිර වෙරලෙහි පදිංචි වූහ. අද දවසේත් මොවුන් නැගෙනහිර වෙරළබඩත් ප්‍රධාන නගරවලත් රාශීභූත වී සිටී. මොවුන් මලබාරයේ සිට පැමිණි නිසා කතා කරන්නේ දෙමළ භාෂාවය. නමුත් මෙය අරාබි බලපෑමට හසුවී යම් පමණකට ප්‍රාදේශීයකරණය වූවකි. තමිල්නාඩුවේ හෝ වතුකරයේ හෝ යාපනයේ කතා කරන දෙමළ උච්ඡාරණයට වඩා වෙනස් වූවකි. ඉස්ලාම් ආගම ඇදහීම හා වෙළුණු සමාජ සංස්කෘතික ජීවිතය හේතු කොට ගෙන මොවුහු දෙමළ ජාතිකත්වයෙන් මූලික වශයෙන් වෙනස් වෙති.
පසු කලෙක දී දිගින් දිගටම දකුණු ඉන්දියාවෙන් ලංකාවේ උතුරු ප්‍රදේශයට එල්ල වූ බොහෝ ආක්‍රමණය හේතුවෙන් ක්‍රමානුකූලව ලාංකීය සමාජ සංවිධානය බිඳ වැටුණු අතර විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිකත්වය දෙපසට ඇදී ගිය බව පෙනේ. ඓතිහාසික කරුණුවලට අනුව 15වන සියවස පටන් මෙසේ වෙන්ව පැවතීමට අදාළ වටපිටාව නිර්මාණය වූ බව පෙනේ. පෘතුගීසි පාලන කාලය තුළ කෝට්ටේ, යාපනය හා කන්ද උඩරට මූලික කර ගත් රාජධානීන් පැවති බවට ඓතිහාසික කරුණු ප්‍රමාණවත් තරම් ඇත. මෙලෙස මූලික වශයෙන් ප්‍රභවයන් තුනකින් යුත්, සංස්කෘතික පදනම් තුනකින් යුත්, වෙනස් භාෂා කතා කරන වෙනස් ජන ප්‍රජාවන් තුනක් ප්‍රධාන වශයෙන් වාසය කිරීම නිසා බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීමට අදාළ විෂය මූල පදනම සකස් වී ඇත.

>ලංකාව බහුජාතික රාජ්‍යයක් ලෙසින් පවතින්නේ ඇයි

මෙසේ දිගින් දිගටම ජාතිකත්වයන් යම් පමණකට හුදකලාව පැවතීමේ විෂය මූල පදනමක් ගොඩ නැගෙමින් හා වර්ධනය වෙමින් පැවති අතර ලංකාවේ ධනපති ක්‍රමය බිහිවීමට තරම් අභ්‍යන්තරික සමාජමය ප්‍රතිවිරෝධයන් මුහු කුරා නොතිබූ වකවානුවක, ආසියාතික සමාජ ආර්ථික හැඩගැස්මක් තුළ පැවතියා වූ ලාංකීය සමාජය මත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලනික හා ආර්ථික වුවමනාවන්ගේ බලපෑම හේතු කොට ගෙන ධනපති ක්‍රමය උත්තරාරෝපනය විය. (කරවීය)
මෙසේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ආසියාතික නිෂ්පාදන රටාව පලවා හරිමින් ධනපති ක්‍රමය තහවුරු කිරීමත් සමඟ ධනේෂ්වර නිෂ්පාදන සබඳතාවයන් ඔස්සේ මධ්‍යගත රාජ්‍යයක් බිහිවීමට අවශ්‍ය පදනම සැකසුණි. එහෙත් ජාතිකත්වයන් ස්වීකරණය වීමෙන් එක් ජාතියක් නිර්මාණය වෙනවා වෙනුවට ස්වීකරණය නොවූ ජාතිකත්වයන් කිහිපයකින් සමන්විත බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීම සිදු විය.
ලංකාවේ ධනපති නිෂ්පාදන සබඳතා තහවුරු කිරීමත් සමඟ මධ්‍යගත බහුජාතික රාජ්‍යයක් බිහි වූ අතර ජාතිකත්වයන් සියල්ලටම පොදු වූ එක් ආර්ථිකයක් මෙමගින් ඇති කෙරිනි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් පොදු ආර්ථික ජීවිතයක් තුළ එනමුදු ස්වීකරණය නොවී වෙනම ම තවදුරටත් බහුජාතික රාජ්‍යයක වෙනස් ජාතිකත්වයන් වශයෙන් පවතී. එලෙස ස්වීකරණය සිදු වූවා නම් ලාංකික ඉතිහාසය හා ජාතික ගැට‍ළුව පිළිබඳ වර්තමාන තතු බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණි.

ලාංකීය පසුගාමී ධනපති ක්‍රමය තුළ ජාතික ගැට‍ළුව වර්ධනය වූ අයුරු

උත්තරාරෝපිත ලාංකික ධනේෂ්වර ක්‍රමය, එහි උපතේ පටන්ම පසුගාමී ස්වභාවයක් ගන්නා ලද අතරම වෙනත් බොහෝ සමාජ-ආර්ථික ගැට‍ළු උත්සන්න කිරීමට, එම සමාජ තත්වය බලපෑ අයුරින්ම, ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට සංකීර්ණ තත්වයට පත් කිරීම සඳහා ද බෙහෙවින් හේතු පාදක වී ඇත. අනෙක් අතට, ලාංකික ධනේෂ්වර සංවර්ධනය, පළමුව යටත් විජිත වකවානුව තුළත් පසුව නව යටත් විජිත වකවානුව තුළත්, යළි යටත්විජිතකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසත්, විකාශනය වී ඇති අතර, ජාතික ගැට‍ළුවේ වර්ධනය, එම විකාශනයට සමාන්තරව විමසා බැලිය යුතුය.

>බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ජාතිකත්වයන් බෙදා වෙන් කර පාලනය කිරීම යනු කුමක්ද?

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළද ජාතිකත්වයන් ස්වීකරණය වීමක් සිදු නොවීය. ජාතිකත්වයන් අතර මිත්‍රත්වය සමගිය ස්වීකරණය යටත් විජිත ආණ්ඩුවට එහි පැවැත්ම සඳහා හිතකර දෙයක් නොවීම නිසා එක් පැත්තකින් ජාතික වෙළඳපොළක් නිර්මාණය කරමින් ජාතික රාජ්‍යකට අත්තිවාරම දමමින් මුළු මහත් දිවයිනම එකම ධජයක් එකම නීතියක්, එකම පාලනයක් යටතට ගෙන ආ අධිරාජ්‍යවාදී ධනපති පන්තිය, අනෙක් අතට, ජාතිකත්වයන් ස්වීකරණය නොවන තැනට කටයුතු සම්පාදනය කළ අතර ජාතිකත්වයන් අතර වෙනස්කම්, අසමගිය හා සතුරුභාවය රැකෙන අයුරින් හා වැඩෙන අයුරින් කටයුතු කළහ.
ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාවක් බවට පත් කර ජාතිකත්වයන් අතර පවතින භාෂාමය වෙනස්කම් අහෝසි වන්නට ඉඩ හරිනවා වෙනුවට එය පරිපාලන භාෂාවක් ලෙසට පමණක් සීමා කිරීමත්, ව්‍යවස්ථාදායක මණ්ඩලවලට නියෝජිතයින් පත් කර ගැනීම, යටත් විජිත ආණ්ඩුවලට නිලධාරීන් හා කම්කරුවන් බඳවා ගැනීම අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම යන සෑම කාරණාවකදීම ජාතිකත්ව පදනම ඒ සඳහා දිගින් දිගටම යොදා ගන්නා ලදී.
මෙකී කාරණා තව දුරටත් සැලකිල්ලට ලක් කරනුයේ නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය යටත් විජිත හැර යන මොහොත වෙන විට මෙරට ඉංග්‍රීසි භාෂාව දත් අයගේ ප්‍රමාණය 10%ක් පමණ විය. 1910දී ඇති කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් පත් කිරීමේ මැකලම් ප්‍රතිසංස්කරණයේ දී පත් කළ මන්ත්‍රීන් 21 දෙනාගෙන් 12 දෙනෙකු නිල බලයෙන් පත් කළ අතර නිල නොලත් ඉතිරි පිරිස අතරින් 6 දෙනෙකු පහත රට සිංහල දෙකක් ද (හලාගම -1, කරාව -1) උඩරට සිංහල 01ක්ද ලාංකීය ද්‍රවිඩ 02ක් ද මුස්ලිම් 01ක් වශයෙන් පත් කළ අතර ඉතිරි 6 දෙනා යුරෝපීය 2ක්, බර්ගර් 01, සිංහල 01ක් ද වශයෙන් ඡන්දයෙන් පත් කර ගන්නා ලදී.
මෙලෙස ජාතිකත්වයන් අතර සතුරුභාවය වර්ධනය වන අයුරින් කටයුතු කළ පමණක් නොව, එකම ජාතිකත්වය තුළ පවා, කුළ සහ වෙනත් ප්‍රාදේශීය බෙදීම් හරහා අසමගිය වර්ධනය වන අයුරින් සැලසුම් සහගතව කටයුතු කළහ.

>යටත් විජිත උපාය මාර්ගය හමුවේ ලාංකික ජාතික ව්‍යාපාරය දුර්වලවීම හා ධනපති පංතියේ සිංහල ජාතිවාදය හා දෙමළ ජාතිවාදය ගොඩ නැගුණේ කෙසේද?

ලංකාවේ ජාතික ව්‍යාපාරය අසල්වැසි ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයට ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද වෙනස් විය. ලංකාවේ ජාතික ව්‍යාපාරයේ ආරම්භයේ දී සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයින් එක්ව කටයුතු කරණු දක්නට ලැබිණි. විශේෂයෙන් පොන්නම්බලම්, අරුණාචලම්, සිද්ධි ලෙබ්බේ වැනි අය කැපී පෙනුනි. එහෙත් පසුව මෙම පොදු හැඟීම අභිබවමින් ජාතිකත්ව මානසිකත්වයක් වර්ධනය වූ බව පෙනේ. එනිසා ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය ඉක්මනින්ම ජාතික ව්‍යාපාරයක පොදු ශක්‍යතාවයෙන් මිදුනා වූත්, ජාතිකත්වයන් එකතැන් කරනවා වෙනුවට ඒවා අතර අසමගිය වර්ධනය කරන්නා වූත්, පොදු ජාතික මානසිකත්වයක් ගොඩ නගනවා වෙනුවට පටු පාර්ශවීය ජාතිකත්ව හා වෙනත් වුවමනාවන් තුළට ජනතාව ඇද දමනු ලැබුවා වූත්, පසුගාමී ලක්ෂණයන්ගෙන් යුක්ත විය. ලංකාවේ ජාතික ව්‍යාපාරයේ බෙදීම සිදුවූයේ මෙසේය.

  • 1917 මැයි මාසයේදී ලංකා ප්‍රතිසංස්කරණ සංගමය පිහිටුවීම. (ලංකාවේ ජාතික ව්‍යාපාරය දේශපාලන අරමුණක් සහිතව කළ එලි බැසීම)
  • 1919 දෙසැ. 11 ලංකා ජාතික සංගමය පිහිටුවීම.
  • 1921 අගෝස්තු 16 ජාතික සංගමයෙන් වෙන්ව ගිය දෙමළ ධනපති පංතියේ කොටස් සමස්ත ලංකා දෙමළ මහජන සභාව පිහිටුවීම.
  • 1931 ජූලි – වතුකරයේ ලංකා ඉන්දියානු සංගමය පිහිටුවීම.
  • 1944 ඔක්තෝබර් 24 – සමස්ත ලංකා දෙමළ සංගමය පිහිටුවීම (චෙල්වනායගම්ගේ නායකත්වයෙන්)
  • 1946 සැප්තැම්බර් 06 – එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම.

ඒ අනුව මෙරට ධනපති පංතියේ කොටස් බ්‍රිතාන්‍යයන්ගෙන් බලය හුවමාරු කර ගැනීමට පළමුව ද ඉතා පැහැදිලි ලෙසම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගය තුළ කොටු වූ එහි සිරකරුවන් බවට පත් වූ බව පැහැදිලිය.
බ්‍රිතාන්‍යයන් විසින් ලාංකීය ධනපති පංතිය වෙත බලය පවරන විට දී සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙකට අනුරූපී වූ ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකක් ලෙස  එක්සත් ජාතික පක්ෂය හා සමස්ත ලංකා දෙමළ සංගමය  බිහිවී තිබිණි. අනතුරුව ඉතා ‌කෙටි කලක දී ‌‌දෙමළ රාජ්‍ය පක්ෂය (1949) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරනු ලැබීය.
මෙසේ බ්‍රිතාන්‍යයෙන් බලය හුවමාරු කර ගත් මෙරට සිංහල, දෙමළ ධනපති පන්තියේ කොටස් තමන් වෙත බලය හුවමාරු කර ගැනීමටත්, බලය තහවුරු කර ගැනීමටත් තරඟයට මෙන් ජාතිවාදය වපුරන්නට විය. මෙය ජාතිවාදය වැඩී යාමටත් ජාතික ප්‍රශ්නය අද පවතින තත්වය දක්වා සංකීර්ණ වීමටත් බලපෑ එක් මනෝ මුල සාධකයක් විය.

>නව යටත් විජිත වකවානුව තුළ ජාතික ගැට‍ළුවේ වර්ධනය වූයේ කෙසේද?

1948න් පසු බලයට පත් සෑම ධනපති ආණ්ඩුවක්ම හා එම ආණ්ඩුවලට සම්බන්ධ වූ සෑම සුළු ධනේෂ්වර පක්ෂයක්ම ජාතික ගැට‍ළුව අද පවත්නා තත්වයට වර්ධනය කිරීමට දායක වී ඇත.

>එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු හෝ පොදු පෙරමුණු පාලන සමයන් තුළ ජාතික ගැට‍ළුව වර්ධනය වූයේ කෙසේ ද?

1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. ඇස්. සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්ත ද, මේ ධනපති පක්ෂ තුළට එක් එක් ජාතිකත්වයන්ට අයත් ධනපති පංතියේ සියළු පක්ෂ ඒකරාශී වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය යැයි නම තබා ගත්ත ද, එය තුළ එක්සත් ජාතිකත්වයක් නියෝජනය නොවීය. දෙමළ ධනපති පංතිය නියෝජනය කළා වූ සමස්ත ලංකා දෙමළ සංගමයවත් වතුකරයේ ලංකා ඉන්දියානු සංගමයවත් මේ සඳහා හවුල් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි විය. ඩී. එස්. සේනානායකගේ ඉන්දු-පකිස්තාන් පුරවැසි පනතත්, වතුකරයේ දෙමළ කම්කරුවන් අරබයා ජාතිවාදී පදනමින් තේරූ ක්‍රියාමාර්ගත්, අධිරාජ්‍යවාදීන්ගේ පසුම්බියේ දමා ගෙන පැමිණි දෙමළ ධනපති බෝරා කාරයන් සම්බන්ධයෙන් එයට වෙනස් ලෙස ක්‍රියාමාර්ග තේරීමත් ඔවුන්ට සම්මාන පුරවැසිකම් ප්‍රදානය කිරීමත්, ඉඹුල්ගොඩට පා ගමන් සංවිධානය කරමින් ජේ. ආර් බලයට ඒම සඳහා පමණක් සිංහල භාෂාව සම්බන්ධයෙන් මහත් දේශප්‍රේමයෙන් කතා කිරීමත් මඟින් එක්සත් ජාතික පක්ෂය මුල් පාලන අවධීන් තුළ ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට ගෙන ඒම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරන ලදී. විශේෂයෙන්ම 1977 ට පසුව ජේ. ආර් ජයවර්ධනගේ හා ආර් ප්‍රේමදාසගේ පාලන සමයන් තුළ පිමි ගණනාවකින් පෙරට විත් මහත් වූ සංකීර්ණත්වයක් ලබා ගෙන ඇත. 1977 දී ජේ. ආර් බලයට පත් වූයේ ද පොලිසියට සති දෙකක නිවාඩුවක් දෙමිණි. එහි දී  දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිසි පියවර ගත්තේ නැති අතර ඊට අනුබල දෙන ලදී. පසුව යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේත්, 1983 ම්ලේච්ඡ කළු ජූලිය නිර්මාණය කිරීමේත් අඳුරු ඉතිහාසයකට ජේ. ආර් ජයවර්ධන පාලන සමය හිමිකම් කියයි. ඊලමක් සඳහා තර්කානුකූල පසුබිමක් මෙසේ නිර්මාණය කර දෙමින්, බෙදුම්වාදය පදනම් කර ගත් අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාණ උපාය මාර්ග තුළට ලංකාව ඇතුල් කිරීම ද සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව, දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට උදව් දෙන තත්වයට තල්ලු කළ අතර එතෙක් “යැංකි ඩිකී” ව සිටි ජේ. ආර් ජයවර්ධන 1987 ඉන්දියානු බලපෑමට සම්පූර්ණයෙන්ම යටත් ව  රටේ ජනතාවගේ පුළුල් විරෝධය මැද ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමටත්, පළාත් සභා හඳුන්වා දීමටත් සිදු විය.  ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වකවානුව තුළ LTTE සංවිධානයට මුදල්, ආයුධ, හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමත් විසින් මෑත ඉතිහාසය තුළ ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය බරපතළ ලෙසින් දායක විය. එජාප පාලන සමයන් තුළ ජාතික ගැට‍ළුවේ විකාශනයේ තර්කානුකූල අවසානය ලෙස විය යුතු පරිදි ම 2001 දෙසැම්බර් මැතිවරණයෙන් පසුව ගොඩ නැගුණු රනිල් පාලනය විසින්, බෙදුම්වාදයේ අවසන් ජයග්‍රහණය සඳහා, අධිරාජ්‍යවාදයේ සියළු අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට ඉඩ සලසමින් LTTE සමග ගිවිසුමකට එළඹුණි. මෙමගින් වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා වූ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ඉහල තලයකට ඔසවා තැබුණු අතර, බෙදුම්වාදී දේශපාලනය පිළිබඳ ලාංකීය අත්දැකීම නව පරිච්ඡේදයක් වෙත අවතීර්ණ විය. මෙමගින් වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා වූ දෙමළ ජාතිවාදී සන්නද්ධ ව්‍යාපාරයට ඉහල තලයකට ඔසවා තැබුණු අතර , බෙදුම්වාදී දේශපාලනය පිළිබඳ ලාංකීය අත්දැකීම නව පරිච්ඡේදයක් වෙත අවතීර්ණ වීමට මෙම තත්වය මනා පිටුබලයක් සපයන ලදී.
අනෙකුත් අතට නායකත්වය පිළිබඳ ප්‍රශ්නය මුල් කර ගෙන එජාපයෙන් කැඩී වෙන් වූ බණ්ඩාරනායක 1951 සැප්තැම්බර් 02 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්නා ලද අතර ආරම්භයේදීම පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ජාතිවාදී සටන් පාඨය බලය ලබා ගැනීම සඳහා යොදා ගන්නා ලදී. කලින් රාජ්‍ය භාෂාව ලෙසින් පැවති 10% පමණ ජනගහනයක් යන්තමින් කතා කළ ඉංග්‍රීසි වෙනුවට භාෂාවන් තුනම එනම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි රජයේ හා පොදු කටයුතුවල දී යොදා ගන්නවා වෙනුවට මේ ධනපති දේශපාලන පක්ෂ දෙකම තරඟයට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට උනන්දු වූයේ එමගින් සිංහල ඡන්දදායකයා රවටා දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ය. ශ්‍රීලනිප  නායකයින් ද ලංකාවේ ජාතික ගැට‍ළුවේ විසඳිය යුතුව ඇති බරපතළ  ප්‍රශ්නයක් වන වතුකරයේ දෙමළ ජනතාව සම්බන්ධයෙනුත්, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ධනපතියන් සම්බන්ධයෙනුත් අනුගමනය කළේ එජාපය අනුගමනය කළ දෙබිඩි ප්‍රතිපත්තීන්ම විය. 1972 සමගි පෙරමුණු රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ප්‍රමිතිකරණයත් ඉදිරිපත් කරන ලදී. එහි ඇමති අනුකාරක සභාවේ ප්‍රමුඛයා වූයේ පීටර් කෙනමන් ය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නිල වශයෙන් ව්‍යවස්ථාවට එකතු කළේ සමගි පෙරමුණ ය. උතුරේ දක්ෂ තරුණයන් දෙමළ ඊලාම් ප්‍රචණ්ඩ ව්‍යාපාරය වෙත ඇද දැමීමට ප්‍රමිතිකරණය වඩා දැඩිව බලපෑ කරුණක් බව අමතක කළ නොහැක.

1994 අගෝස්තු සාමයේ සිට 2001 දෙසැම්බර් දක්වා ලංකාවේ පාලන සුක්කානම අතැතිව සිටි චන්දිකා බණ්ඩාරනායකගේ පොදු පෙරමුණු පාලන සමය තුළ තත්වය වඩාත් බරපතළ තත්වයට පත් විය. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා (ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින්) බෙදුම්වාදය නීතිගත කිරීමේ උත්සාහයක නියැළුණු පොදු පෙරමුණු පාලන සමය, අසාර්ථක “සාම සාකච්ඡා” හා අසාර්ථක යුද ප්‍රයත්නයන් හරහා ජාතික ගැට‍ළුවේ වර්තමාන සංකීර්ණත්වය නිර්මාණය කිරීමෙහි ලා දායකත්වය සැපයීය. නෝර්වේ මැදිහත්වීම හරහා බෙදුම්වාදයේ ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වයට ලංකාව තුළ තහවුරුවීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීම අතින් චන්ද්‍රිකා පාලනය කැපී පෙනුනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියළුම සමගි පෙරමුණු හා පොදු පෙරමුණු ආණ්ඩු ගොඩ නැගුවේ පැරණි වමේ සහයෝගයෙනි. කැබිනට් අමාත්‍ය ධුර දරමින් සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඉහත ආණ්ඩුවල වගකීම් දරණ ලදී.

නමුත් ඔවුන් විසින් ද යෝජනා කළේ හෝ අනුමත කළේ ඉහත සඳහන් බෙදුම්වාදය ශක්තිමත් කරන හෝ ජාතිවාදය පෝෂණය කරන ක්‍රියාමාර්ගයන් ය. ප්‍රමිතිකරණය හඳුන්වා දුන් ඇමති අනුකාරක සභාවේ ප්‍රධානියා වමේ ව්‍යාපාරය ආරම්භයේ දී, සුළු ජන කොටස් අතර ඊට තිබූ දැවැන්ත සහයෝගය බිඳ වැටුණේ, පැරණි වමේ ඉහත ක්‍රියාකාරීත්වය නිසා ය.

>ආර්ථික අර්බුදය විසින් ජාතික ගැට‍ළුව උග්‍ර කර ඇත්තේ කෙසේ ද?

ලංකාවේ පවතින හා වැඩෙන ආර්ථික අර්බුදය, ලංකාවේ ජාතික ගැට‍ළුව කෙරෙහි ඉමහත් අභාවාචක බලපෑමක් එක් කරමින් එය තවත් සංකීර්ණත්වයට පත් කරයි. එක් පැත්තකින් ආර්ථික අර්බුදය ජාතිකත්වයන් අතර ඇති සැබෑ විෂමතාවය තව තවත් වර්ධනය කරවයි. ධනවාදයේ විෂමාකාර වර්ධනය විසින් ගම සහ නගරය අතර ආර්ථික සංවර්ධනයේ බරපතළ අසමානතාවයක් නිර්මාණය කරන අතර එම අසමානතාවයන් ද ජාතික ගැට‍ළුව වර්ධනය කිරීමෙහි ලා හේතු සපයා තිබේ. වැඩි වෙන රැකියා ප්‍රශ්නය නිසා රැකියා සැපයීමේ දි ජාතිකත්ව අනුපාතයන් අනුව ක්‍රියා කිරීමට යාමත්, සරසවි අධ්‍යාපනය පුළුල් කරනවා වෙනුවට ප්‍රමිතිකරණය හඳුන්වා දීමත් මගින් සිදු වෙනුයේ ජාතිවාදය උත්සන්න වීමත්, ජාතිකත්වයන් අතර සතුරුභාවයන් වැඩි දියුණු කිරීමත් ය.
රැකියා හිඟයට පිළියම ජාතිකත්ව සීමා අනුව රැකියා සැපයීම නොව රැකියා අවශ්‍ය සියල්ලන්ට සුදුසුකම්, හැකියාවන් හා සමාජ අවශ්‍යතාවයන් අනුව රැකියා සැපයීම ය. එහෙත් බංකොලොත් ලාංකීය ධනපති ක්‍රමයට එය කළ නොහැකිය.
තවද, ආර්ථික අර්බුදය හා එය විසින් මතු කරන දේශපාලන අර්බුදය ජනතාවගෙන් මඟ හරහා ජනතාවගේ අවධානය වෙනස් කිරීමේ පරමාර්ථයෙන්  ජාතික ප්‍රශ්නය බලයට පත් වූ සියළුම ආණ්ඩු විසින් යොදා ගන්නා ලදී. උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ තව දුරටත් අධිරාජ්‍යවාදීන්ට අනුව කටයුතු කරන ධනපති පන්තිය පෙරළා ආර්ථික අර්බුදයට නව ජව වේගයක් එක් කරමින් සිටියි. මෙසේ  ජාතික ගැට‍ළුවේ වත්මන් අර්බුදය නව යටත් විජිත ධනේශ්වර  සූරා කෑම ඔස්සේ ප්‍රකාශයට පත් වන ලාංකීය සමාජ ආර්ථික දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයක් වන්නේ ය. මෙසේ බලය ලබා ගැනීමේ දී තම පංතික ප්‍රතිමල්ලවයා පැරදවීමට තරඟයට ජාතිවාදය වැපිරූ හෝ තරඟයට බෙදුම්වාදී, ජාතිවාදී නායකයින් සමග ගිවිසුම්වලට එළඹුණු ධනපති නායකයින් අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ උගුලේම සිරකරුවන් බවට පත් වී සිටියි. එසේත් නැතිනම්, තම දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා ඉතා සවිඥානිකවම, අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ උගුලේ සිරකරුවන් බවට පත්ව සිටියි. අනෙක් අතට ලාංකීය ධනේශ්වර  ක්‍රමයේ ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයක් වූ දූෂණය හා නාස්තිය දශක 03ක් පුරා පැවති යුද අවි ජාවාරමත්, ඊට රාජ්‍ය අංශයේ ඉහලම ශ්‍රේණීන්ගේ සමීප සබඳතාවයන් හේතු කොට අවි ආයුධ මිල දී ගැනීමේ දී කොමිස් ගැනීම, කොමිස් සහිත අවි ආයුධ පමණක් මිල දී ගැනීමේ සිට සතුරු පාර්ශවයන් සඳහා මුදලට ආරක්ෂක තොරතුරු විකිණීම දක්වාම ඔඩු දුවා තිබූ දූෂණය විසින් ජාතික ගැට‍ළුව දැන් තිබෙන තත්වය දක්වා තීව්‍ර කිරීමට බලපා තිබේ.

>දෙමළ ජාතිවාදය ඊලමක් දක්වා වර්ධනය වූයේ කෙසේ ද?

ඉහත තොරතුරු සලකා බලන විට ලංකාවේ ජාතික ගැට‍ළුවට බලපෑ දීර්ඝ හා ගැඹුරු ඓතිහාසික කරුණු විශාල ප්‍රමාණයක් පවතින බැව් පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුල “බෙදා වෙන් කොට පාලනය කිරීම” හේතු කොට ගෙන මෙය තව දුරටත් වර්ධනය විය. නව යටත් විජිත වකවානුව තුළ රට පාලනය කළ ධනපති කණ්ඩායම් දෙක තරඟයට ජනතාව මුලා කොට බලයට ඒම සඳහා ජාතිවාදය ඇවිස්සීමත්, ආර්ථික අර්බුදයට ජාතිකත්වය ආරෝපණය කිරීමත්, බලයට ඒම සඳහාම විවිධ අවස්ථාවල දී සිංහල හා දෙමළ බහු ජනතාව මුලා කොට සිංහල ධනපති පංතිය හා දෙමළ ධනපති පංතිය අතර රහස් ගිවිසුම් හා සම්මුති ඇති කර ගැනීමත් (බණ්ඩාරනායක – චෙල්වනායගම්, ඩඩ්ලි – චෙල්වනායගම්, ජයවර්ධන – අමිර්තලිංගම් 1977, ජයවර්ධන – තොන්ඩමන්)
එයට හිලව්වට දෙමළ ජාතිවාදී ධනපති පංතියට බාධාවකින් තොරව, නිදහසේ, උතුරේ හා වතුකරයේ දෙමළ ජාතිවාදය වැපිරවීමට ඉඩ සලසා දීමත් ඒ හරහා දෙමළ ජනතාව දෙමළ ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත් කිරීමත් එක් භාෂාවකට හා එක් ආගමකට විශේෂ වරප්‍රසාද දීමත් සමානාත්මතා පදනම අනුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට අපොහොසත්වීමත් තුළ ජාතික ගැට‍ළුව වත්මන් සංකීර්ණත්වයට එලඹීමට අදාළ මනෝ මූල පෙළඹුම ඇති විය. සෝල්බරි කොමිසම ඉදිරියේ 50/50 ඉල්ලූ ජී ජී පොන්නම්බලම්ගෙන් සුව ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා දෙමළ සංගමයෙන් කැඩී 1949දී චෙල්වනායගම් ගොඩනැගූ දෙමළ රාජ්‍ය (ෆෙඩරල්) පක්ෂයට 1950 වකවානුව වන විට දකුණු ඉන්දියාවේ දෙමළ කාසගම් ව්‍යාපාරයේ බලපෑම ඉතා තදින් දැනී තිබිණි. ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙසින් හැඳින්වූ දෙමළ රාජ්‍ය පක්ෂයේ කථිකයන් උතුරේ හා නැගෙනහිර තම බලය තහවුරු කර ගැනීමට දකුණේ සිංහල ප්‍රදේශවල කේ. එම්. පී රාජරත්න වැන්නන් ගෙන ගිය සිංහල ජාතිවාදී ව්‍යාපාරයටත් වඩා දරුණු ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන ගියහ. ඔවුන් ජවිපෙ හැඳින්වූවේ ජාතික විමුක්ති පෙරමුණ ලෙසිනි. උතුරේ නැගෙනහිර හා කොළඹ ගොඩ නැඟුණු දෙමළ ජාතික පක්ෂ සියල්ලක්ම දෙමළ නාමය සහිත ඒවා වීම තුළම විශේෂයක් පවතී. දෙමළ රජයක් සඳහා ප්‍රචාරක කටයුතු සිදු වෙමින් පවතිද්දී 1972 දි චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂයත්, ජී. ජී. පොන්නම්බලම්ගේ මරණින් පසු සිවසිදම්බරම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ සංගමයත් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා දෙමළ කොන්ග්‍රසයත් 1977න් පසු එජාප ඇමතිවරයෙකු වූ කේ. ඩබ්ලිව්. දේවනායගම් ආදී දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පක්ෂ හා පුද්ගලයනුත් එක් කොට දෙමළ එක්සත් පෙරමුණ ගොඩ නගන ලදී. 1976 මැයි මස 14 සහ 15 දිනවල යාපනයේ වඩුක්කෝඩෙයිහි, දෙමළ එක්සත් පෙරමුණ විසින් පැවැත්වූ සම්මේලනයේ දී ප්‍රථම වරට, වෙනම දෙමළ රාජ්‍යයක් (ඊලාම්) සඳහා වූ සටන් පාඨය පක්ෂ වැඩ පිළිවෙලට ඇතුල් කර ගන්නා ලද අතර ඉන් පසුව දෙමළ එක්සත් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නම් විය. එහි තරුණ අංශය වශයෙන්, 1976දීම විමුක්ති කොටි සංවිධානයේ අරම්භය හඳුනා ගත හැකිය. 1977 මහ මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් ආසන 18ක් දිනා ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් වෙද්දී, ඔවුන් උතුරේ ජනතාව හමුවේ තැබූ සටන් පාඨය වූයේ ඊලාම් රාජ්‍යයයි. ඡන්ද ව්‍යාපාරයේ පදනම වූයේ වෙන්වීමට පක්ෂ ද, විරුද්ධ ද යන්නයි.

(කොටි සංවිධානය යුදමය ලෙස පරාජයට පත්වීමෙන් පසු තවදුරටත් ඊලාම් රාජ්‍ය සංකල්පය යටතේ ක්‍රියාත්මක වූ සහ තවදුරටත් ක්‍රියාත්මක වන දෙමළ ‘ඩයස්පෝරාවේ’ සමහර කණ්ඩායම් විසින් 2009 හා 2010 වසරවල දී , දෙමළ ජනමත විචාරණයක් (Tamil Referendum) යුරෝපයේ, ස්කැන්ඩිනෙවියානු රටවල හා ඕස්ට්‍රේලියාවේ දී පවත්වන ලදී.
මෙම ජනමත විචාරණයෙන් විමසා තිබුණේ ලංකාව තුළ වෙනම ඊලාම් රාජ්‍යයක් ගොඩ නැගීමට පක්ෂ ද විපක්ෂ ද යන්නයි. ඡන්දය භාවිතා කළ විදෙස් ගත සාතිශය බහුතරයක් “දෙමළ ඊලාමයකට පක්ෂයි” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර මෙම යෝජනාවලිය එහි සංවිධායකයින් විසින් සකස් කොට තිබුණේ 1976  වඩුක්කොඩෙයි යෝජනා මත පදනම් වෙමිනි.)

පසුව 1983 දී, කළු ජූලියේ අභාවාචක අත්දැකීම් පදනම් කර ගෙන, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට ජාතික සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යන්තර වටපිටාවක් නිර්මාණය කර ගැනීමට හැකි විය. විශේෂයෙන් බොහෝ රාජ්‍ය නායකයින් හා තානාපති සබඳතා මාර්ගයෙන් යුරෝපීය හා ස්කැන්ඩිනෙවියානු රාජ්‍යයන් තුළ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට හොඳින් ස්ථාන ගත වීමට ඉඩ සැලසුණි.

1980 දශකයේ ආරම්භයත් සමගම දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය සැලකිය යුතු ගුණාත්මක වෙනසක් අත්පත් කර ගන්නා ලද අතර සැලකිය යුතු ගුණාත්මක වෙනසක් අත්පත් කර ගන්නා ලද අතර ක්‍රමානුකූලව ජාත්‍යන්තර වශයෙන් ද පුළුල් මතවාදී සහායක් ලබා ගැනීමට හැකියාව අත්පත් කර ගන්නා ලදී. 1977 බලයට පත් ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනය කලාපීය දේශපාලනයේ දී ඉන්දියාව ප්‍රතිවිරෝධි තත්වයකට පත් කර ගැනීමත්, 1983 කළු ජූලිය නිර්මාණය කිරීම හා එමගින් සාමාන්‍ය දෙමළ තරුණයන් විශාල ප්‍රමාණයක් බෙදුම්වාදී ව්‍යාපාරය වෙත ඇද දමන ලදී. කලාපීය දේශපාලන බලවතා වූ ඉන්දියාවේ බලපෑම හා අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙල තුළ කොටු වී සිටි බලයට පත් සියළුම ආණ්ඩු ප්‍රමුඛ ලාංකීය ධනපති පක්ෂ කණ්ඩායම් විසින් පවත්වාගෙන ගිය අදූරදර්ශී යුද්ධ හා ඊනියා සාම වැඩපිළිවෙලවල් හමුවේ, දෙමළ බෙදුම්වාදී  සන්නද්ධ ව්‍යාපාරය සැලකිය යුතු පිමි ගණනාවක් ඉදිරියට පැමිණීමට අවශ්‍ය තත්වයක් නිර්මාණය කර තිබිණි. මෙම ක්‍රියාවලියෙහි එක්තරා තර්කානුකූල අවසානයක් සනිටුහන් කර ගත්, 2001 දෙසැම්බර් මැතිවරණයෙන් පාර්ලිමේන්තු බලය තහවුරු කර ගත්, එක්සත් ජාතික පෙරමුණු පාලනය LTTE සමග ඇති කර ගත් ගිවිසුම හේතු කොට ගෙන එතෙක් ලංකාවේ ජාතික ගැට‍ළුවෙහි විකාශනය තුළ අප හඳුනා ගන්නා සුවිශේෂී වූ ගුණාත්මක වෙනස සනිටුහන් විය. මේ අනුව මතවාදී තලයක පැවැති බෙදුම්වාදී ව්‍යාපාරය, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී දේශපාලනයේ ජගත් හා කලාපීය උපාය මාර්ගයන් හා අන්තර් සම්බන්ධිතව, දෙස් විදෙස් විවිධ දේශපාලන බලවේගයන්ගේ පක්ෂපාතීත්වය හා අනුග්‍රහය ච ලැබූ, ලාංකීය රාජ්‍යයේ දේශපාලන වැඩ පිළිවෙලවල් සමග ද විටෙක ඍජුවත් විටෙක වක්‍රාකාරයෙනුත් සම්බන්ධව ද්‍රව්‍යමය බලයක් බවට පත් විය.

වර්තමානයේ දී එහි යුදමය ප්‍රකාශනය දුර්මුඛ වී ඇතත් , ඒ හා අන්තර් සම්බන්ධිත අනෙකුත් බලවේගයන්ගේ සරල උපායමාර්ග හැරුණු විට බෙදුම්වාදී උපාය මාර්ගික වැඩ පිළිවෙල අත්හැර ඇති බවක් තවමත් නොපෙනේ.
මේ අනුව මතවාදී තලයක පැවති දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය වත්මනෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී දේශපාලනයේ ජගත් හා කලාපීය දේශපාලන උපාය මාර්ගයන් හා අන්තර් සම්බන්ධිතව දෙස් විදෙස් විවිධ බලවේගයන්ගේ අපක්ෂපාතීත්වය ද අනුග්‍රහය ද ලබන ද්‍රව්‍යමය බලවේගයක් බවට පත් වී ඇත.

ලංකාවේ ජාතික ගැට‍ළුවට ජාත්‍යන්තර සබඳතාවයන් බලපෑවේ කෙසේ ද?

ජාතික ගැට‍ළුව වෙනත් සමාජ -ආර්ථික හෝ දේශපාලන හා මතවාදී ගැට‍ළුවලින් වෙන්ව තනිව පවතින්නේ නැත. ලංකාවේ ජාතික ගැට‍ළුව එහි සංකීර්ණත්වය ලබන්නේ, ඊට ඇති බහු-පාර්ශවයීය බැඳීම් හේතු කොට ගෙන ය. සමාජවාදී කඳවුර බිඳ වැටීමට ප්‍රථම හා පසුව වශයෙන් අවධීන් දෙකක් සටහන්ව තිබීම යථාර්ථයකි. සෝවියට් දේශය ප්‍රමුඛ පැවති සමාජවාදී කඳවුරේ බිඳ වැටීම හේතුවෙන් දේශපාලන වශයෙන්, ඒක ධ්‍රැවීය ලෝක තත්වයක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිමක් සකස් විය. ඊට අනුරූපීව කලාපීය දේශපාලනය තුළ ද එකී වෙනස්කම්වල පරිවර්තනයන් දක්නට ලැබීම වළකාලිය නොහැක. ඒ නිසා ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළ වත්, මෙම මූලික වශයෙන් වෙනස් වකවානු දෙක මගින් ඇති කළ බලපෑම් පවතී. (සමාජවාදී කඳවුර බිඳ වැටීමට ප්‍රථම හා පසුව වශයෙන් ලෝක දේශපාලන තත්ත්වයන්ගේ වෙනසක් සංක්ෂිප්ත කොට ගත් අවධීන් දෙකක් හැඳින්වුවද, නව තත්වය පැරණි තත්වයෙන් මුළුමනින්ම ගැලවීමක් ලෙස නොව, එහි සමහර අංග ලක්ෂණ ද සහිතව වෙනස් ලෝක තත්වයකට මුල පිරීමක් වශයෙන් හඳුනා ගත යුතුය.)

>ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පැවති, ජගත් හා කලාපීය උපාය මාර්ගය කුමක් ද?

ලෝක ප්‍රතිවිරෝධතා පද්ධතිය තුළ, අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනේෂ්වර කඳවුරත්, ලෝක සමාජවාදී කඳවුරත් අතර පැවති ප්‍රතිවිරෝධය, මූලික හා ප්‍රධාන ප්‍රතිවිරෝධය බවට එකල පත්ව තිබුණි. එයට හසු නොවූ එකද මුල්ලක්වත් ලොව නොතිබුණි. ජගත් ප්‍රතිවිප්ලවීය උපායමාර්ගයට ඉන්දියානු සාගර කලාපයට සුවිශේෂ වටිනාකමක් හිමිව තිබුණි. යුදමය පාර්ශවයෙන් ඇති වැදගත්කමත්, ලොව ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනාගාර මේ ආසන්නයේ පිහිටා තිබීමත්, අවට රටවලට සිදුව තිබූ සමාජවාදී පරිවර්තනයෙනුත්, ඉන්දියාව සෝවියට් දේශය සමග එළඹ සිටි බොහෝ ආර්ථික හා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් නිසාත් සෝවියට් හිතවාදී, එක්සත් ජනපද විරෝධී රාජ්‍ය පද්ධතිය තුළ ඉන්දියාව ස්ථාන ගතව සිටීමත්, ඉන්දියාවේ ජාතික ධනපති පංතියේ අරමුණු අධිරාජ්‍යවාදී එක්සත් ජනපද උපාය මාර්ගයන් හමුවේ ඉන්දියාව ප්‍රබල ප්‍රතිවිරෝධී තත්වයකට පත්ව සිටිනා ලදී. ඒ අනුව එක්සත් ජනපද කලාපීය උපාය මාර්ගයෙහි වැදගත් ස්ථානයක් වූ ඉන්දියාව, කුඩා කැබලිවලට බිඳ දැමීම මගින්, ඉන්දියානු රාජ්‍ය දුර්වල කිරීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිලාෂය වී තිබුණි. ඉන්දියාව කැබලි කිරීම සඳහා සකස් කළ ‘බ්‍රහ්ම-පුත්‍ර’ සැලැස්ම මීට කදිම නිදසුනකි. මේ ඉන්දියාව “බෝල්කනීකරණය” (එකිනෙකට සතුරු කුඩා රාජ්‍යයන්ට කඩා හීලෑ කිරීම) කිරීමේ එක්සත් ජනපද උපාය මාර්ගයයි.

>එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කලාපීය උපාය මාර්ගය හමුවේ ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම හා ජාතික ගැට‍ළුවේ වැදගත්කම කුමක්ද?

ලංකාවේ භූගෝලීය පිහිටීමේ උපාය මාර්ගික වැදගත්කමත්, එහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඇති අභිලාශයනුත්, අනෙක් අතට ඉන්දියාවට එහි ඇති බලපෑමත් යන කරුණ ලංකාවේ ජාතික ගැට‍ළුව විසින් ජනිත අර්බුදයට සැලකිය යුතු ලෙස බලපා ඇති බව නොරහසකි. ලංකාවේ උපාය මාර්ගික වැදගත්කමත්, උතුරේ පැවති සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයත්, ඉන්දියාවේ ජාතික අවශ්‍යතාවයන් හා ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ

අනෙක් අතට, උපාය මාර්ගික අති විශාල වැදගත්කමකින් යුත් ලංකාවේ, තනි ආණ්ඩුවක් පවතිනවාට වඩා එකිනෙකට සතුරු ආණ්ඩු දෙකක් පැවතීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගයට අතිශයින් වාසි දායකය. මන්ද, තනි ආණ්ඩුවක් රටම පාලනය කරන විට ඒ ආණ්ඩුව යම් කිසි ලෙසකින් අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක් අනුගමනය කළ හොත්, ඉන් සිදු වන අවාසි මකා, රට දෙකඩ කර ආණ්ඩු දෙකක් පවතින විට එයින් එකක් අධිරාජ්‍ය විරෝධි ප්‍රතිපත්තියක් ගෙන ගිය හොත් අනෙක හෝ තම උපාය මාර්ගයෙහි රඳවා තබා ගත හැකි බැවිනි. අනෙක් අතට දකුණු ආසියානු කලාපය තුළ සක්‍රීය නිර්ධන පංති ව්‍යාපාරයන් අතුරින් ලාංකීය නිර්ධන පංති ව්‍යාපාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසාම මේ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති තක්සේරුව මතද, ඉහත උපාය මාර්ගය තුළ තව දුරටත් රැඳී සිටීම බල කෙරෙනු ඇත. අනෙක් අතට ලංකාව දෙකට බෙදනු ලැබුව හොත් ගොඩ නැගෙන ඊලාම් රාජ්‍යය ඉන්දියාව තුළ “ද්‍රවිඩනාඩුව” සහ “දෙමළ දේශයක්” සටන් පාඨ හා බැඳුණු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උපාය මාර්ගය හා බැඳුණු ද්‍රවිඩ බෙදුම්වාදී ව්‍යාපාරයට මහත් උත්තේජනයක් වීම ද වළකාලිය නොහැක.

>ඉන්දියාවේ උපාය මාර්ගික හා උපක්‍රමික ක්‍රියාමාර්ග හා උපක්‍රමික ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට බලපෑවේ කෙසේ ද?

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සම්බන්ධය මෙන්ම ඉන්දියාවේ සම්බන්ධය ද ලංකාවේ ජාතික ගැට‍ළුවේ සංකීර්ණත්වයට බලපා තිබේ. ඉන්දියාවේ එක් පැත්තකින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ හා ඔවුන්ගේ කලාපීය මිතුරු රාජ්‍යවල සතුරු ක්‍රියාවලට භාජනය වී තිබීමත්, ඔවුන්ගේ උසි ගැන්වීම මත ඉන්දියාව කැබලි වීමේ තර්ජනයට මුහුණ පා තිබීමත්, ඒවායින් ආක්‍රමණික තර්ජන පැවතීමත් යන හේතුන් මත ඉන්දියාවේ ස්වදේශීය ප්‍රතිපත්තිය මෙන්ම විදේශ ප්‍රතිපත්තිය ද රඳා පවතී. ලංකාව දෙකඩ කිරීම, ඉන්දියාව දෙකඩ කිරීමේ ව්‍යාපාරයට රුකුලක් වන බැවින්, විශේෂයෙන්ම එය තමිල්නාඩුව කෙරෙහි අභාවාචක බලපෑම් ඇති කරනු ඇත. එතුළින් උපායමාර්ගිකව ලංකාවේ ඊලාම් ව්‍යාපාරය ඉන්දියාවේ යහපතට හේතු නොවිණි.

ලංකාව, ඉන්දියාව ආරක්ෂාව කෙරෙහි බලපායි. අනෙක් අතට එක්සත් ජනපද කලාපීය හා ජගත් ක්‍රියාමාර්ගයට ලංකාව ඇතුලත් කොට තිබිණි. විශේෂයෙන්ම, 1977 බලයට පත් ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් ලංකාව සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් මුළුමනින්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අනුව යමින් හසුරුවන්නට විය.
එබැවින් ඉන්දියාවේ ජාතික වුවමනාවත් අධිරාජ්‍යවාදී කලාපීය උපායමාර්ගයත් අතර ප්‍රතිවිරෝධය, ඉන්දියාවත් ලංකාවත් අතර ප්‍රතිවිරෝධයක් ලෙස මතු විය. එනිසා ඉන්දියාව විසින් ඉන්දු – ලංකා ගිවිසුමත්, ඒ හරහා පළාත් සභා නමින් දේශපාලන බලය බෙදීමේ ව්‍යූහයත් ලංකාව මත බලහත්කාරයෙන් පටවන්නේ, මේ පසුබිම තුළ ය. ඔවුන් පළමුව දෙමළ ඊලාම් සන්නද්ධ ව්‍යාපාරයට ආධාර කරන්නේ ද මෙම තත්වයට යටත්ව ය. එනම් ඊලමක් හෝ වෙනම රාජ්‍යයක් දක්වා වර්ධනය නොවන, අනෙක් අතට තමන්ට හීලෑ කර ගත හැකි දේශපාලන ව්‍යූහයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල තහවුරු කිරීම ය. බැලූ බැල්මට, ලංකාවට මැදිහත්වීමේ දී ඉන්දියාවට තිබූ උපාය මාර්ගික වුවමනාව හා ඒ සඳහා අනුගමනය කළ උපක්‍රමික ක්‍රියා මාර්ගයන් ප්‍රතිවිරෝධී සේ පෙනී යයි. නමුත් ඇත්තෙන්ම සිදු වූයේ ඔවුන් තම උපාය මාර්ගික අරමුණ සඳහා ම ඊට ප්‍රතිවිරුද්ධ සේ පෙනෙන උපක්‍රමික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වීමයි.

>ඉන්දියාව තුළ වෙනම රාජ්‍යයක් සඳහා වූ ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ බලපෑම ලංකාවේ ගැට‍ළුවට බලපෑවේ ද?

ලංකාවේ ජාතික ගැට‍ළුවට ඇති ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව අවධානය යොමු කරන විට, ලංකාවේ ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට වැඩි වර්ධනය වීම සඳහා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ ඉතිහාසමය ක්‍රියා මාර්ගයන් ද, බරපතළ  උත්තේජනයක් සපයන ලද බව පෙනේ. ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ අරමුණ වූයේ ඉන්දියාවේ දකුණේ ද්‍රවිඩ භාෂා පවුලට අයත් අනන්‍යතාවයක් සහිතව, තමිල්නාඩුවත්, අන්ද්‍රා ප්‍රදේශත්, කර්නාටක ප්‍රදේශයත්, කේරළයත් හා ලංකාවේ උතුර හා නැගෙනහිරත් එක් කර ගත් ද්‍රවිඩනාඩුවක් ගොඩ නැගීමයි.

මේ ව්‍යාපාරයෙන් කැඩී ගිය කොටසක් 1947 සැප්තැම්බර් 17 වන දින ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පිහිටුවා ගත්හ. මෙහි ආරම්භක සාමාජිකයින් වූයේ අන්නදොරේ සහ කරුණානිධි වැන්නවුන් ය. නේරුගේ බලපෑම හමුවේ යම් පමණකට පසුබා ගිය ද ඔවුහු එවකට මදුරාසි ප්‍රාන්තය පසුව තමිල්නාඩුව ලෙස නම් කර ගෙන වඩාත් සියුම් ලෙස තම බෙදුම්වාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියහ. නේරු මිය ගොස් වසර 3කින් කසාගම් පක්ෂය තමිල්නාඩුවේ මැතිවරණය ජය ගැනීම ආරම්භ කරන ලදී. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් යුත් ලංකාවේ දෙමළ රාජ්‍ය පක්ෂය (ෆෙඩරල් පක්ෂය) වෙත 1950 ගණන්වල දී ඉහත ව්‍යාපාරයේ බලපෑම තදබල ලෙස පැවතුණි. පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමගත් දෙමළ ඊලාම් ව්‍යාපාරය සමගත් දකුණු ඉන්දියාවේ බෙදුම්වාදී දේශපාලනයේ මනෝ මූලික හා විෂය මූලික පෙළඹවීම හා සම්බන්ධය අද දක්වාම පවතින්නෙකි.

>පැවති සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු, ජගත් හා කලාපීය දේශපාලනය තුළ ලංකාවේ ජාතික ගැට‍ළුවට සිදු වූ බලපෑම කුමක් ද?

සෝවියට් දේශය ප්‍රමුඛ පැවති සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමඟම යුධ – දේශපාලනමය අරුතින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දෙසට ධ්‍රැවීකරණය වූ ඒක ධ්‍රැවීය ලෝකකරණයක් ගොඩ නැගීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය විය. ප්‍රාග්ධනය සංචරණයට ලෝකයේ මෙතෙක් විවර නොවී තිබූ නව භූමි භාගයන් විවෘත වීමත්, චීනය, වියට්නාමය වැනි ඉතිරි සමාජවාදී රාජ්‍යයන් වෙළඳ පොල ආර්ථික ක්‍රියාවලියට වැඩි වැඩියෙන් නැඹුරු වීමත් සමගම “ගෝලීයකරණය” පිළිබඳ වූ දැවැන්ත උද්ඝෝෂණයක් ද මීට සමාන්තරව පැන නැගුණි. නමුත් බලාපොරොත්තු වූ ආකාරයට එක්සත් ජනපද ආර්ථික හා දේශපාලන අරමුණු තහවුරු වනවා වෙනුවට, ආර්ථිකමය පදනමින් ලෝකය තුළ නව බල කේන්ද්‍රයන් කිහිපයක්ම ක්‍රමානුකූලව පෙරට එන ලදී. විශේෂයෙන්ම ඩොලරයේ ආධිපත්‍යට එරෙහිව යුරෝව හඳුන්වා දෙමින් යුරෝපා රාජ්‍යයන්ගේ ආර්ථික මග අනුකරණය සහිතව යුරෝපයේ නැගීමත්, (සීතල යුද්ධයට මුවා කොට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ගොදුරු කොට තිබූ යුරෝපය නිදහස් වීම) චීනයේ නැගීමත්, ධනවාදී ලෝකයේ බලවතෙකු වශයෙන් පැරණි මිලිටරිමය බලය ද දරා ගෙන රුසියාවේ නැගීමත් විසින් මෙම බල කේන්ද්‍රයන් විද්‍යාමාන වේ. නව ලිබරල් ආර්ථිකයේ අභාවාචක අත්දැකීමට ගොදුරුව තිබූ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් නව ශතවර්ෂයේ ආරම්භයේදීම, එක්සත් ජනපද ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයෙන් මිදී ජාතික ආර්ථික මොඩලයට මාරු වීමත්, නැගී එන ආර්ථික බලවතුන් සමග සිය ආර්ථික බැමි ශක්තිමත් කිරීම හා කලාපීය සහයෝගිතාවයන් නිසා එක්සත් ජනපදයේ ආර්ථික පිළිකන්න ඔවුන්ට අහිමි විය.
ජෝර්ජ් බුෂ් පාලන සමයේ දී (1997) එක්සත් ජනපදයේ ජගත් නායකත්ව කාර්යභාරය අරමුණු කර ගනිමින් සකස් කරන ලද “නව ඇමරිකානු ශත වර්ෂ සඳහා ව්‍යාපෘතිය” (Project for the new American century – PNAC) ක්‍රියාවට නැංවීම සඳහා මහඟු අවස්ථාවක් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් එක්සත් ජනපදය වෙත ලැබිණි. මෙමගින් බිඳ වැටෙමින් යන තම ජගත් ආර්ථික ආධිපත්‍ය, මිලිටරිමය ආධිපත්‍ය මගින් යළි තහවුරු කර ගැනීම සඳහා, 21 වන ශත වර්ෂයේ බල ශක්තිය අවශ්‍යතාවයන් සපුරන කේන්ද්‍රයන් වන මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ වියරු යුද්ධයකට අවතීර්ණ වී ඇත. ආර්ථික හා භූ-දේශපාලනික අරුතින් උපාය මාර්ගික වැදගත්කමක් දරන සියළු තැන්හි සම සුපිරි යුද බලය හරහා තහවුරු වීමේ ක්‍රියාවලියක එක්සත් ජනපදය නිරතව සිටී. පැනමාව, සෝමාලියාව, පැරණි යුගෝස්ලෝවියාව, ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය හරහා ලතින් ඇමරිකාවේ කුඩා හොන්ඩියුරාස් දක්වාත්, ඉදිරියේ දී ඉරානය, වෙනිසියුලාව හා උතුරු කොරියාව දක්වාත් සිය භූ-දේශපාලනික යුද ආධිපත්‍යයේ දිශානතිය සලකුණු කොට ඇත.
ඊට අමතරව මේ ජගත් ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියේ දී වාර්ගික, ආගමික, ජාතිකත්ව අර්බුද හා ගැටුම් මෙන්ම මානව හිමිකම් හා න්‍යෂ්ටික බලය හෝ සමූහ ඝාතන අවි පිළිබඳ චෝදනා ද, තම අවශ්‍යතාවයට අනුව යොදා ගනිමින් සිටී. ජාතිකත්වයන් අතර සතුරුභාවයන් වර්ධනය කිරීමේ බෙදුම්වාදී උපායමාර්ග, තම භූ දේශපාලනික උපාය මාර්ගයන් තහවුරු කර ගැනීමටත්, ශක්තිමත් ජාතික රාජ්‍යයන් දුබල කොට හීලෑ කර ගැනීමට යොදා ගන්නා ලද ජයග්‍රාහී වැඩ පිළිවෙලකි. ( යුගෝස්ලෝවියාව කැබලි කිරීම, කෝසෝවෝ අර්බුදය, ඉරාකය තුළ සුන්නි – ෂියා ගැටුම්) පැරණි සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු එක්සත් ජනපදයේ මෙම බෙදුම්වාදී උපායමාර්ගය සඳහා මනා ලෝක තත්වයක් ද නිර්මාණය විය.
මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ආධිපත්‍ය සඳහා වන එක්සත් ජනපද වැඩ පිළිවෙල විසින් අධිරාජ්‍ය විරෝධි මුස්ලිම් මූල ධර්මවාදී ලෝකය පුරා තහවුරු වෙමින් තිබේ. කලාපීය දේශපාලනයේ දී එක්සත් ජනපද “ත්‍රස් විරෝධි” යුද්ධය පකිස්තානයට හා චීනයට එරෙහි තම දේශපාලන අභිමතාර්ථයන් තහවුරු කර ගැනීමේ අරමුණින් ඉන්දියාව විසින් සියුම්ව යොදා ගනිමින් සිටී. එනිසා දකුණු ආසියානු කලාපීය දේශපාලනයේ දී වොෂින්ටන්- දිල්ලි අක්ෂයක් තහවුරු වෙමින් ඇති අතර, වොෂින්ටන්හි පැරණි හිතවතා වූ පකිස්තානය ක්‍රමානුකූලව චීනය සමග ආර්ථික හා ආරක්ෂක සහයෝගිතාවයකට අවතීර්ණ වෙමින් පවතී. මධ්‍යම ආසියාවේ ආධිපත්‍ය සඳහා වන මැදිහත් වීම අද වන විට එක්සත් ජනපදය හා චීනය අතර, එක්සත් ජනපදය හා රුසියාව අතර ප්‍රතිවිරෝධයේ ප්‍රකාශනයක් බවට පත් වෙමින් ඇත. මෙහි දී එක්සත් ජනපදය වෙත ඇති ඉන්දියානු සහාය මුස්ලිම් පකිස්තානය වෙත තිබූ පැරණි හිතවත්කම් පළුදු කරවන ආකාරයේ ස්වභාවයක් ගනී. (LTTE යට එරෙහි යුද්ධයේ අවසාන කාර්තුවේ දී ඉන්දියාව ලබා නොදුන් යුද මෙවලම් ලංකාවේ රජයට ලබා දුන්නේ පකිස්තානය හා චීනය විසිනි) ලංකාවේ කලාපීය දේශපාලනයට අදාළවත් ජාතික ගැට‍ළුවට අදාළ වත් කලාපය තුළ සිදු වෙමින් යන දේශපාලන සීරුමාරුව බලපෑ බව සහ තව දුරටත් බලපෑ හැකි බව යථාර්ථයකි.

කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි ඝාතනය කිරීමත් සමග ඉන්දියාව හා කොටි සංවිධානය අතර තිබූ ප්‍රතිවිරෝධය ඉතා ඉහල තලයකට එසවුණු අතරම, ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩ නැගීමට උපාය මාර්ගික වශයෙන් වන සිය විරෝධය තිබියදීම එහෙත් ලංකාවේ රජයට ඉන්දියාවේ සහාය නොමැතිව කොටි සංවිධානය පරාජය කිරීමේ හැකියාව තහවුරු කිරීමටත් වග බලා ගන්නා ලදී. ඒ අතරම කොටි සංවිධානයට එරෙහිව අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා සන්නද්ධ කණ්ඩායම් සමග ඉතා සමීප අවබෝධයකින් කටයුතු කරමින් හැකි නම් කොටි සංවිධානය තුළම ප්‍රභාකරන් විරෝධි කොටස් සමග සහයෝගයට යන්නට උත්සාහ ගනිමින්, උතුරු හා නැගෙනහිර දේශපාලන අර්බුදය සිය කලාපීය ආර්ථික හා දේශපාලන අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමේ අඛණ්ඩ සැලැස්මක් තුළ හිඳිමින්, ඉන්දියාව කටයුතු කරමින් සිටී.
එනිසා එක්සත් ජනපද කලාපීය දේශපාලන උපාය මාර්ගයන් ප්‍රතිවිරෝධි නොවන බොහෝ සේ සමපාත වන ඉන්දීය බලයක්, පිළිබඳ අප සලකා බැලිය යුතුය. තව දුරටත් නැඹුරු වෙමින් යන ලෝක ආර්ථික අවපාතය හමුවේ කලාපීය දේශපාලන ප්‍රවණතාවයන්ගේ හැසිරීම තව දුරටත් සංකීර්ණ වනු ඇති අතර ලංකාවේ ජාතික ගැට‍ළුව අරබයා එහි බලපෑම ද ඊට සමාන්තර අයුරින් සංකීර්ණ වනු ඇත.

ජාතික ගැට‍ළුවේ වත්මන් ස්වභාවය

>ලංකාවේ ජාතික ගැට‍ළුව තුළ මතුව ඇති සියළු ප්‍රතිවිරෝධතාවයන් සහ සංකීර්ණ සබඳතා කවරේද?

දෙමළ ඊලාම් ව්‍යාපාරයේ සම්භවයට හේතු ගණනාවක් බලපා ඇති බව පෙනේ. ජාතික වෙනස්කම්, අසමානතාවය, ජාතික වරප්‍රසාද, ජාතික පීඩනය, අධිරාජ්‍යවාදයේ බෙදා වෙන් කොට පාලනය කිරීමේ අරමුණු, වර්තමාන අධිරාජ්‍යවාදී උපාය මාර්ගික අරමුණු සහ ධනේෂ්වර   ආර්ථික අර්බුදය මේ අතුරින් මුල් හා ප්‍රධාන වේ. මේ අතුරින් ද ලංකාවේ ජාතික ගැට‍ළුව මෙතරම් සංකීර්ණ වීමට බලපෑ ප්‍රධානතම කරුණක් වන්නේ ධනේෂ්වර   ජාතිවාදයේ අරමුණු සමග සමපාත වූ අධිරාජ්‍යවාදයේ අරමුණු ය. දෙමළ ඊලාම් ව්‍යාපාරය පැන නැගීමේ දී ‘ජාතික පීඩනය’ ඊට පදනම සැපයූ බව පැහැදිලි කරුණකි. නමුත් තත්වය වඩාත් බරපතළ හා සංකීර්ණ තත්ත්වයකට පත් කිරීමට බලපෑ එකම හා ප්‍රධාන හේතුව ජාතික පීඩනය බව ප්‍රකාශ කිරීම දේශපාලන වශයෙන් නිවැරදි නොවේ. එමගින් සිදු වන්නේ ඊට අන්තර් සම්බන්ධිත අධිරාජ්‍යවාදී මැදිහත් වීම හා අනෙකුත් පාර්ශවන්ගේ වගකීම සුළු කොට දැක්වීම හෝ මඟ හැර යාමයි. මෙය දෙමළ ඊලාම්වාදයට පක්ෂපාත වූවන්ගේත් අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේත් හා සුළු ධනේෂ්වර   මනෝරාජිකවාදීන්ගේත් තර්කනය හා සැසඳේ. ලංකාවේ ජාතික ගැට‍ළුව තුළ ඇති ප්‍රධාන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය ස්වාභාවික භූගෝලීය දේශ සීමා හා ජාතිකත්ව සීමා අතර ඇති ප්‍රතිවිරෝධයයි. අද ලංකාවට හිමිව පවතින්නේ භූගෝලිය වශයෙන් ස්වාභාවික දේශ සීමාවන් ය. අධිරාජ්‍යවාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය වන්නේ මෙය ජාතිකත්ව පදනමින් නිර්ණය කිරීමට මග පාදා ගැනීමයි. ඒ නිසා මතවාදී පදනමකින් ගොඩ නැගුණු දෙමළ ජාතිවාදය පළමුවෙන්ම සැලකිය යුතු දෙමළ ජන ප්‍රජාවක් තුළත්, අනතුරුව විවිධ ධනපති හා සුළු ධනපති මනෝරාජික බුද්ධිමතුන් තුළත්, ජාත්‍යන්තර ප්‍රජාවට අයත් විවිධ බලවේගයන් තුළත් තහවුරු වෙමින් පසුව අධිරාජ්‍යවාදයේ ජගත් හා කලාපීය උපාය මාර්ගයන්ට අනුරූපීව ලංකාවේ ධනේෂ්වර   ආණ්ඩු හරහා ද ක්‍රියාත්මක වීමට උත්සාහ දැරූ හා තවමත් එම උත්සාහයන් අත් නොහරින ලද ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්ව ඇත.

>ජාතික ගැට‍ළුවේ මෑත කාලීන වර්ධනයන් මොනවා ද?

1994 දී පොදු පෙරමුණ බලයට පත් වීමේ දී ජාතික ප්‍රශ්නය අරඹයා සිය ප්‍රතිපත්තිය බෙදුම්වාදයම බව සහතික කළේය. දේශපාලන විසඳුම් මාලාවක් ලෙසින් එය බෙදුම්වාදය සමග අනුගත වූ වැඩ පිළිවෙල අධිරාජ්‍යවාදයේ ආශීර්වාදය මැද ඉදිරිපත් කරන ලදී. එය ජනතාවට හඳුන්වා දුන්නේ “සාමය” ලෙසිනි. මෙසේ සාමය හා ඉතාමත් අසාර්ථක යුද ක්‍රියාදාමයන් ඔස්සේ දෝලනය වෙමින් තිබූ පොදු පෙරමුණු පාලනයේ ජාතික ගැට‍ළුව පිළිබඳ ක්‍රියාමාර්ගය හරහා සිදු වූයේ, ඔවුන්ගේ පාලන කාලය අවසන් වන විට, ජාතික ගැට‍ළුව හා යුද්ධය ගුණාත්මක වශයෙන් ඉහල සංකීර්ණත්වයක් අත්පත් කර ගැනීමයි. යුදමය හා ආර්ථික වශයෙන් බරපතළ අර්බුද ගණනාවක් රට තුළ නිර්මාණය වී තිබිණි. අනෙක් අතට, අන්ත ජාතිවාදී පදනමක සිට කටයුතු කරන මුස්ලිම් කොන්ග්‍රසයත්, ලංකා වතු කම්කරු සංගමයත්, “දෙමළ ඊලාම්” නාමය සහිත දෙමළ බෙදුම්වාදී දේශපාලන පක්ෂවලත් ආධාරයෙන් පවත්වාගෙන ගිය පොදු පෙරමුණු පාලන කාලය තුළ දෙමළ බෙදුම්වාදයට අමතරව, ජාතිකත්ව පදනමින් මුස්ලිම් පාලන ඒකකයක් ඉල්ලා සිටීමේ මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතිවාදී දේශපාලනයට මහත් පිටුබලයක් ලබා දෙන තත්වයක් නිර්මාණය කොට තිබිණි. එතෙක් ප්‍රධාන ධනේෂ්වර දේශපාලන පක්ෂ තුළ ගොනු වූ සිටි මුස්ලිම් ජන ප්‍රජාව, ක්‍රමානුකූලව ජාතිවාදී පදනමින් මුස්ලිම් කොන්ග්‍රසය වෙතට, තහවුරු වීමේ තත්වය ගොඩ නැගුනේ ඉහත දේශපාලන පරිසරය මගිනි. ජාතිවාදී දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවල සහායෙන් තොරව ආණ්ඩු පවත්වා ගෙන යා නොහැකි තත්වයකට, ලංකාවේ ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකම පත්වීමත්, ආණ්ඩු පවත්වා ගෙන යාමේ ක්‍රියාවලිය තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස LTTE සංවිධානයේ යුද දේශපාලනික ක්‍රියා මාර්ගයන් පෙරට ඒමත් හරහා, ජාතික ගැට‍ළුවේ මෑත කාලීන වර්ධනයන් කැපී පෙනේ. ජාතිවාදී කේවල් කිරීමේ දේශපාලනය ලාංකීය දේශපාලනයේ ඉතා ජනප්‍රිය නග්න විලාසිතාවක් වී හමාර ය. (මෙමගින් දෙමළ හෝ මුස්ලිම් පීඩිතයින්ට ලැබෙන කිසිදු අයිතිවාසිකමක් නොමැත)
2001 මහ මැතිවරණයෙන් පසු, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා, LTTE සංවිධානයත්, එහි බලපෑමෙන් දෙමළ ඊලාම් පක්ෂ ගණනක් ඒකාබද්ධ වීමෙන් ගොඩ නැගුණු දෙමළ ජාතික සන්ධානයත්, මුස්ලිම් කොන්ග්‍රසය ඉටු කළ වැඩ කොටස අතිමහත් ය. පැරණි ධනේෂ්වර නායකයින් කළාක් මෙන්ම, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට “සාමයේ විසිතුරු පෙන්වමින් ජාතිවාදීන් සමග ඉතා නග්න ජාතිවාදී එකඟතාවයන්ට යමින් තම බලය පවත්වාගෙන යාමේ බලලෝභී වුවමනාවන් සඳහා සමස්ත ලාංකීය ජාතියම බෙදුම්වාදයේ, නොනවතින ජාතිවාදී යුද්ධයේ ආගාධය වෙත ඇද දමා තිබිණි. මීට අමතරව දකුණේ සිංහල, ජාතිවාදී පදනමින් බිහි වූ නව සංවිධානවල ඉදිරි ගමන ද, ඒවායේ පැවැත්ම සහ වර්ධනය සඳහා ඉහත දේශපාලන තත්වය මගින් ඉටු කරනු ලබන මෙහෙය ද නිසා, ජාතික අසමගිය, පෙර නොවූ ලෙසින් වැඩි වර්ධනය වෙමින් පවතී.

>2002 පෙබරවාරි 02 රනිල් ප්‍රභාකරන් ගිවිසුමෙන් පසු තත්වය කෙසේද?

රනිල් ප්‍රභා ගිවිසුමෙන් පසු දෙමළ බෙදුම්වාදී දේශපාලනය තීරණාත්මක ඉදිරි ගමනක් පෙන්නුම් කොට ඇත. පොදු පෙරමුණු ආණ්ඩු වකවාණුවේ කැඳවා ගත් නෝර්වේ රාජ්‍යය ද, බටහිර බලවේගවල ආශිර්වාදයෙන් LTTE වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉතා වැදගත් කොන්දේසි සපුරමින් ඊට අවනත වෙමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තම බලය හා පැවැත්ම සඳහාම ප්‍රභාකරන් සමග දේශද්‍රෝහී ගිවිසුමකට තල්ලු විය.
ඒ අතර ගිවිසුමත් සමග නැගෙනහිර පළාතේ මුස්ලිම් හා සිංහල ජනතාවගේ ජීවිත අතිවිශාල අනතුරකට ඇද හෙළන ලදී. කොටි සංවිධානයේ මුස්ලිම් සංහාරය තවත් වටයකින් ආරම්භ කෙරිනි. ගිවිසුමෙන් මාස 4ක් ඉක්මවා යාමටත් පෙර 2002 ජූලි මාසයේ දී මුතූර්, වාලච්චේන, අම්පාර ඇතුළු නැගෙනහිර පළාතේ නගරවල ඇති කළ දෙමළ මුස්ලිම් ජාතිවාදී ගැටුම් තුළ ප්‍රකාශයට පත් වූයේ ඉහත යතාර්ථයයි.
යුගෝස්ලෝවියාවේ අත්දුටු වාර්ගික ශුද්ධය (Ethnic Clearnsing) ජීවමාන අත්දැකීමක් බවට පත්වීමේ අනතුර මේ සමගම වර්ධනය වන්නට විය.

සටන් විරාම ගිවිසුම මගින් LTTE සංවිධානය

  1. රාජත්‍රාන්ත්‍රික
  2. ආර්ථිකමය
  3. යුදමය
  4. දේශපාලනිකමය
  5. ජනමාධ්‍ය

සටන් විරාම ගිවිසුම මගින් LTTEට දැවැන්ත දේශපාලන ජයග්‍රහන රැසක් ලබා දුන් අතර ඊට අමතරව අධිරාජ්‍යවාදීන්ට ලංකාවේ ජාතික ගැට‍ළුවට මැදිහත්වීම මගින් රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට ඉඩ ප්‍රස්ථාව සැලසීය. එම ගිවිසුම මගින් ලංකාවට ආර්ථික ආධාර ලබා දීම පිළිබඳ ඇති කරනු ලැබූ සම සභාපතිවරු හතර (4) නැමැති අධිරාජ්‍යවාදී බලවේග, රටෙහි ස්වෛරීභාවයට ඍජුව අතපොවන තත්වයට රටට විධාන කරන තත්වයට පත්ව තිබුණි. පහසුකම් සපයන්නා වශයෙන් පැමිණි නෝර්වේ රාජ්‍යය, රටේ රාජ්‍ය නායකයා ඍජුව ප්‍රශ්න කරන මට්ටමට පත්ව තිබුණි. 2002 රනිල්- ප්‍රභා ගිවිසුම මගින්, ලංකාවේ ජාතික ප්‍රශ්නය, අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට අනුව ඍජුවම කළමනාකරණය කරන තත්වයට පත් කොට තිබුණි. ගිවිසුම හා සබැඳුනු ඊනියා සාම ක්‍රියාවලිය මී ළඟ අදියර වශයෙන් LTTE යට ‘අන්තර් පාලන අධිකාරියක්’ ලබා දීමට තීරණය කොට තිබිණි.

>සන්ධාන ආණ්ඩුව හා සුනාමි සහන මණ්ඩල ගිවිසුම යනු කුමක් ද?

2004 සන්ධාන ආණ්ඩුව ගොඩ නැගීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් සලකා බලන ලද දේශපාලන වශයෙන් වැදගත්ම කරුණ වූයේ ලංකාවේ ජාතික ප්‍රශ්නයයි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දැරූ තත්වයක් තුළ ඇගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටස්කරුවෙකු වශයෙන් 2004 සන්ධාන ආණ්ඩුව ගොඩ නැගීමේ තීරණය දේශපාලන වශයෙන් ඒ මොහොතේ ගත යුතුව තිබූ නිවැරදිම තීන්දුව නොවන බව ඒ පිළිබඳව ආපසු හැරී බැලීමේ දී අප විසින් මේ වෙන විට වටහා ගෙන ඇතත් අපට එම තීන්දුව ගැනීමට බල කෙරුනේ ඒ වන විට ජාතික ගැට‍ළුව හරහා ඇති තිබූ සංකීර්ණ තත්වයයි. එවකට පාර්ලිමේන්තුවේ බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂ පාලනය ලංකාවේ ජාතික ප්‍රශ්නයට අදාළව ගනිමින් තිබූ දේශපාලන ක්‍රියාමාර්ග විසින් ලංකාව දෙකඩ වීමේ ඉම වෙත ගමන් ගනිමින් තිබුණි. සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් වූ ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ප්‍රශ්නය අරබයා නිශ්චිත එකඟතා වැඩපිළිවෙලකට එළඹීමට නොහැකි වීම එහි පැවති දුබලතාවයක් වූ නමුත් 2005 ජූනි 15 වෙනි දින ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වෙන තුරුම ගත කොට තිබූ මාස 14 ක කාලය තුළ LTTE සංවිධානයට යුද දේශපාලනික වශයෙන් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රබල ජයග්‍රහන කිසිවක් අත්කර ගැනීමට නොහැකි වීම තුළින් පෙන්නුම් කරන්නේ වේගයෙන් දියත් වෙමින් තිබූ රට බෙදීමට අදාළ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල තාවකාලිකව හෝ පසුබස්වන්නට හැකිවීමයි. එසේ වුවද, සන්ධාන ආණ්ඩුව තුළ සිටි ජනාධිපතිනිය ප්‍රමුඛ අධිරාජ්‍ය ගැති බලවේගයන්ගේ බලපෑම නිසා LTTEය විසින් ඊට පෙර පැවති ආණ්ඩුවේ දුබලකම විසින් අත්පත්කරගෙන තිබූ ජයග්‍රහණ සැලකිය යුතු ලෙස ආපසු හැරවීමට ද නොහැකි විය.

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ රජය විසින් LTTEට ලබා දීමට සියළු කටයුතු නිමවා තිබූ “අන්තර් ස්වයං ආණ්ඩු අධිකාරිය” වළකාලීම මගින් ගිවිසුමේ අවසන් අදියර ආපසු හැරවීමට හැකිවීම සන්ධාන ආණ්ඩුව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයි.

එහෙත් 2004 දෙසැම්බර් 26 දින සිදු වූ සුනාමි ඛේදවාචකය පදනම් කර ගෙන හිටපු ජනාධිපතිනිය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයන්, අධිරාජ්‍යවාදීන්, NGO බලවේග LTTE සංවිධානයට සුනාමි ප්‍රතිසංස්කරණ මුවාවෙන් පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලයක් පිහිටුවීමත් එමගින් LTTE සංවිධානයට
1. රාජ්‍ය මූල්‍ය පරිපාලනය ලබා දීමත්
2. දිස්ත්‍රික්ක 8ක රාජ්‍ය පරිපාලන බලතල ලබා දීමත්
3. ඍජු විදේශ ණය හා ආධාර LTTEයට ගැනීමේ බලය දීමත්
යෝජනා කර සිටි අතර පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලට අත්සන් කිරීමක් සමග ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉහත පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලය ප්‍රධාන අඩංගුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධි බව ප්‍රකාශ කළෙන් LTTEයට ඉහත මූල්‍ය හා පරිපාලන බලතල ලබා ගැනීමට අවස්ථාවන් අහිමි විය.

>රාජපක්ෂ පාලනය තුළ ජාතික ගැට‍ළුවට වූ බලපෑම කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණේ ඍජු සහයෝගය මත මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයෙන් ජය ගන්නා ලද්දේ, සමීප තරඟයකින් පසු රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීමෙනි. උතුරේ ජනතාව මත LTTE මගින් පනවන ලද ජනාධිපතිවරණ වර්ජනය ද මීට අනියම් ආකාරයකින් බලපෑ බව ද පෙනේ (භාවිතා කළ හැකිව තිබූ වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට පක්ෂව වැටීමට තිබූ බව නැගෙනහිර ප්‍රදේශය ඇතුළු දෙමළ ජනතාව ඡන්දය භාවිතා කළ අයුරින් පෙනේ) ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ලබා දුන්නේ කොන්දේසි 12ක් මුල් කර ගෙන වන අතර ඒ වන විටත් රටේ කේන්ද්‍රීය ගැට‍ළුව වශයෙන් හඳුනා ගෙන තිබූ ජාතික ප්‍රශ්නයට අදාළව බෙදුම්වාදය පැරදවීම අරමුණු කොට ගත් කොන්දේසි බොහෝමයක් එම යෝජනාවලිය තුළ සමන්විත ය. චන්ද්‍රිකා ජනාධිපතිනිය 2004 දී බලය සම්බන්ධ කාරනා සඳහාම පමණක් ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත වූවා මෙන්ම, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද බලය බලය සඳහාම පමණක් ජනතා විමුක්ති පෙරමුණේ කොන්දේසිවලට යටත් විය.( එසේ නොමැතිව ජාතික ගැට‍ළුව හෝ වෙනයම් දේශපාලන ගැටළු සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් හෝ අරමුණක් ඔහු වෙත තිබීම නිසා නොවේ)

2005 ජනාධිපතිවරණයෙන් පසුව ද ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ හිඳිමින් සිදු කළ බලපෑමත්, බෙදුම්වාදී විරෝධි බලවේගයන්ගේ බලපෑමත් විශේෂයෙන්ම 2005 ජනාධපිතිවරණය තුළ එම බලවේගයන්හි සක්‍රිය සහභාගීත්වයත් හේතු කොට ගෙන රාජපක්ෂ පාලනයට යම් පමණක LTTE විරෝධි ස්ථාවරයක් පෙනුමෙන් පවත්වා ගැනීමට සිදුවිය.

නමුත්
i. සටන් විරාම ගිවිසුම අහෝසි නොකොට තව දුරටත් පවත්වාගෙන යාමත්

ii. නෝර්වේ මැදිහත්වීම තව දුරටත් තහවුරු වීමට ඉඩ හැරීමත්

iii. අසල්වැසි ඉන්දියාවේ හා බටහිර බලපෑමට අනුව සර්ව පාක්ෂික කමිටුවේ කටයුතු මෙහෙයවීමත්

iv. ශ්‍රීලනිප ප්‍රතිපත්ති මගින් ලංකාවේ ඒකීයභාවය පිළිබඳ ස්ථාවරය අත්හැර තිබීමත්

v. යුද අවි ආයුධ මිල දී ගැනීම්වලදී වංචාවන් සිදුවීමත්

vi. බෙදුම්වාදය පැරදවීම සඳහා සැබෑ මතවාදී හෝ රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු නොකිරීමත් මගින්, ජාතික ප්‍රශ්නයේ ගැටළුකාරී ස්වභාවය තව දුරටත් උග්‍ර වෙමින් පැවතුනි. ආණ්ඩුවේ අනෙකුත් සියලු අසාර්ථකත්වයන් මග හරවා ගැනීමට ඉඳ හිට ලබන යුද ජයග්‍රහන දඩමීමා කර ගැනීම මගින් තත්වය තව දුරටත් ව්‍යාකූල වෙමින් පැවතුනි. රාජපක්ෂ පාලනයේ මුල් අදියරෙහි කටයුතු සිදු වෙමින් පැවතියේ මෙසේය.

>යුද්ධයේ නිමාව හා ජාතික ප්‍රශ්නයේ වත්මන් ස්වරූපය හඳුනා ගන්නේ කෙසේද?

වසර 2000 න් ඇරඹි, ගෙවී ගිය දශකය තුළ ක්‍රමානුකූලව බෙදුම්වාදය ශක්තිමක් වීමට සමාන්තරව බෙදුම්වාදී විරෝධි දේශපාලනය ද ඉදිරියට ඒමක් සිදුවිය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් බෙදුම්වාදී බෙදුම්වාදී විරෝධි මතවාදය, අධිරාජ්‍ය විරෝධී මතවාදයක් හා දේශපාලන වැඩපිළිවෙලක් දක්වා ඉදිරියට ගෙන යන ලදී. නමුත් එම මතවාදය හා දේශපාලන වැඩ පිළිවෙළ සංවිධානමය මැදිහත්වීමක් මගින් ජයග්‍රහනය කරවීම අසමත්වීම නිසා එය හුදු කොටි විරෝධි ජාතිවාදී යුද වැඩ පිළිවෙලකට පමණක් ලඝු කර ගැනීමට රාජපක්ෂ පාලනයට හැකි විය.
බෙදුම්වාදයේ සන්නද්ධ මුහුණුවර යුදමය වශයෙන් පරාජයවීමට සමාන්තරව ලංකාවේ ජාතික ප්‍රශ්නයට අදාලව නව සංකීර්ණ ගැටළු ගණනාවක් පෙරට පැමිණ ඇත. තම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජාතිවාදී වැඩ පිළිවෙල ඊනියා දේශප්‍රේමී ප්‍රචාරයකින් ආවරණය කර ගන්නට උත්සාහ දැරූ රාජපක්ෂ පාලනය සැබෑ වශයෙන් අධිරාජ්‍යවාදයට හා ඉන්දියාවට යටත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාවේ යොදවමින් සිටියේය. යුද ජයග්‍රහනය තම දේශපාලන අරමුණු සාධනයෙහිලා යොදා ගනිමින් 2010 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය රාජපක්ෂගේ පාලනය විසින් ජය ගන්නා ලද්දේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඇති හිමිකම ලාංකීය සමාජය වෙත අහිමි කරමිනි. විශේෂයෙන් යුද්ධයෙන් පසුව අවතැන් කඳවුරුවල අනියම් ලෙස සිර ගත කෙට සිටි ලක්ෂ තුනකට ආසන්න සරනාගත ජන සමූහයේ සිටි ඡන්දදායකයින් බහුතරයකට මැතිවරණයට සහභාගී වීමට තිබූ අයිතිය පවා අහිමි කරමිනි.

>යුද්ධයෙන් පසු උතුර හා නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ තත්වය කෙසේද?

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව යුද්ධයෙන් අවතැන් වූ සාමාන්‍ය දෙමළ ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි. යුද්ධයේ අවසන් අදියරේදි ඝාතනයට ලක් වූවන්, අත්අඩංගුවේ දී මිය ගිය හා දැනටත් අත්අඩංගුවේ පසුවෙන්නන් මීට අයත් ‌නොවේ.

මාක්ස්වාදය සහ බෙදුම්වාදය

>බෙදුම්වාදය ජනතාව අසමඟි කරයි

ලංකාවේ ජාතික ගැට‍ළුව නොවිසිඳුනු ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් ලෙස ඉතිරිව පවතී. මේ සඳහා අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනපති පංතියේ විසඳුම ජාතීන් බෙදා වෙන් කිරීමයි. මෙමගින් ජාතීන්ගේ ජාතික ප්‍රශ්නයවත්, අනෙකුත් ආර්ථික – සමාජීය ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැත. ඒ වෙනුවට සැකය හා අවිශ්වාසය තීව්‍ර වේ. මෙය ජනතාවගේ ඉදිරි ජයග්‍රහණ සඳහා අනිවාර්ය බාධාවකි. ජනතාවගේ සියළුම ප්‍රශ්නවලට විසඳුම සඳහා ජනතාව ඒකරාශී කිරීමේ දිශාවට ගමන් කළ යුතුය. නමුත් බෙදුම්වාදය තුළින් ඇති වෙන අසමගිය නිසා සමාජ සංවර්ධනයට බරපතළ හානියක් ගෙන දේ. එනිසා බෙදුම්වාදය යනු සමාජ සංවර්ධනය ආපස්සට ගෙන යාම සඳහා සකස් කළ ප්‍රතිගාමී වැඩ පිළිවෙලකි.

>බෙදුම්වාදය මඟින් කතා කරන භාෂාවන් හා අදහන ලබ්ධිය අනුව ජනතාව බෙදා වෙන් කරයි

මෙමගින් ජනතාව පදනමින් පමණක් නොව අදහන ලබ්ධීන් හා වෙනත් ප්‍රාදේශීය විෂමතාවයන් තුළ ද බෙදා වෙන් කරනු ඇත. ජාතිකත්ව, භාෂා හා ආගමික පදනමින් වෙන් කරනු ලැබ ඇති නිර්ධන පංතිය වෙත සිය පංති යුතුකම ඉටු කිරීම සඳහා අවැසි එක්සත් භාවයට මෙමඟින් සිදු වන්නේ බරපතළ හානියකි. එසේ බෙදා වෙන් කරන ලද  සමාජයන්ගේ අත්දැකීම් ජාත්‍යන්තර දේශපාලනය තුළ වුවමනාවටත් වඩා ඇත. මෙම තත්වය ධනවාදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ පැවැත්මට සේවය කරයි. දෙමළ ජාතිකත්වයෙන් වෙනස් මුස්ලිම් ජාතිකත්වයකුත් සිටින ලංකාවේ දී මෙම තත්වය වඩාත් සංකීර්ණ වනු ඇත.

>මෙමගින් නොනවතින යුද්ධ ඇති කරයි

ජාතිකත්ව ආගමික පදනමින් බෙදා වෙන් කරන ජනතාව තුළින් මතු වන අසමගිය මුල් කර ගෙන ගොඩ නැගෙන අවිශ්වාසය හා සැකය නිසාම ජනතාව අතර ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකි කාරණයකි. පැරණි යුගෝස්ලෝවියාව තුළ අද අප දකින්නේ එයයි. අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී උපාය මාර්ගය ඉතා දුෂ්ඨ ලෙස සාර්ථක කර ගත් අප්‍රිකානු මහද්වීපය පුරාම මේ මොහොතේත් දස දහස් ගණනින් මිය යන වාර්ගික යුද්ධ පවතී. ඉන්දියාව, පකිස්තානය හා බංගලාදේශය ලෙසින් වෙන් කිරීමෙන් නොනවතින යුද්ධය හා යුධ සූදානමක් දැකිය හැකිය. මේ ලෙසින් මුළු ලෝකය පුරාම බෙදුම්වාදය හා බැඳී ඇත්තේ නොනවතින යුද්ධයකි. සංහාරයකි. එය නිර්ධන පංතියේ එක්සත් භාවයට බලවත් තර්ජනයකි.
මේ සියළු කරුණු විසින් මතු කර දක්වන්නේ සමාජ සංවර්ධනයේ මීළඟ අදියර වන සමාජවාදය වෙත ගමන් කළ යුතු නිර්ධන පංතියෙහි එක්සත් භාවයට හා එහි සහෝදරත්වයට බෙදුම්වාදය තුළ මතුව ඇති බරපතළ බාධාවන් ය. බෙදුම්වාදයේ උපායමාර්ග ක්‍රියාවේ යෙදවීමට අදාළ පළමු පියවරක් ලෙස යෝජනා වන ෆෙඩරල් ක්‍රමයට ද නිර්ධන පංතියට, මාක්ස්වාදීන්ට එකඟ විය නොහැක. නිර්ධන පංතිය සිය ඓතිහාසික මෙහෙවර සඳහා වඩා මධ්‍යගත රාජ්‍යයන් යෝග්‍ය බව මනාව තේරුම් ගෙන ඇත. අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ලෝක ධනවාදය, සිය බෙදුම්වාදී වැඩපිළිවෙල සහිතව ලොව පුරා ධනවාදී හා සමාජවාදී රටවලට පවා මැදිහත් වන්නේ මේ නිසා ය.

ධනවාදයට ජාතික ගැට‍ළුව විසඳිය හැකි ද?

ධනවාදය තුළ ජාතික ගැට‍ළුව ලොව පුරා උග්‍ර වී ඇති සැටියෙන්ම මේ බව තේරුම් ගත හැකි වෙනු ඇත.

>ලොව පුරා ධනවාදී රටවල් තුළ ජාතික ප්‍රශ්නය

ජාතික ගැට‍ළුව, ඉහල ධනේෂ්වර සවර්ධනයක් සහිත රටවල්වලත් පසුගාමී ධනපති සංවර්ධනයක් සහිත රටවල්වලත් අර්බුදයක් බවට පත්ව ඇත. අද වන විට එක්සත් ජනපදය තුළ කළු ජාතිකයන් සම්බන්ධයෙන් වර්ණභේදවාදී පීඩනය පවතී. කළු ජාතිකයන් මරා දැමීම, ඔවුන්ගේ මානව හිමිකම් කඩ කිරීම හා අධිකරණය පක්ෂපාතී ලෙස කළු ජනතාවට එරෙහිව ක්‍රියාකිරීම වැනි දෑ නිතර ඇමරිකාවෙන් වාර්තා වේ. කැනඩාව තුළ එහි සශ්‍රිකතම භූමි භාගය වන ක්විබෙක් ප්‍රාන්තයේ වෙසෙන ප්‍රංශ බස කතා කරන ජනතාවගේ වෙන්වීමේ ව්‍යාපාරය හිස ඔසවමින් පවතී. එය තාවකාලිකව මතුපිටින් සමහන් කළත් යටින් වර්ධනය වෙමින් පවතී. ඉන්දියාවේ, පකිස්තානයේ, අප්‍රිකානු කලාපයේ ධනවාදයට ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවී නැත. මේ රටවලින් සෑම දිනයක පාහේ ජාතිකත්ව අර්බුද මුල් කර ගත් මරණ වාර්තා වීම සුලබ ප්‍රවෘත්තියක් බවට පත් වී ඇත. ආසන්න ඉන්දියාවේ අත්දැකීම් කියා පාන්නේ ද ඉහත සත්‍යයයි.

>ප්‍රශ්නය ධනවාදය තුළ උග්‍රවී ඇත්තේ කෙසේද?

පැරණි යුගෝස්ලෝවියාවේ සමාජවාදය තුළ ඒකරාශී වී සහෝදරත්වයෙන් විසූ සමූහාණ්ඩු 6ක ජනතාව ධනවාදී ප්‍රතිසංස්කරණ හමුවේ එකිනෙකා මරා ගන්නා සතුරු ජාතිකත්වයන් බවට පත් වී තිබේ. එසේම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හරහා යුගෝස්ලොවියාවේ වාර්ගික සතුරු භාවය සඳහා නීතිමය ආවරණය සපයා ඇත. ඊයේ සහෝදරත්වයෙන් එකට වෙලී සිටි ජන කොටස් දූෂණය කොට මරා දැමීමට තරම් කුරිරු භාවයට මිනිසුන් ඇද දැමූයේ ධනවාදය විසින් ය. රැසියාව තුල චෙච්නියාව සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මෙයට වෙනස් නොවේ. බුරුන්ඩිහි හුටු සහ ටුට්සි ගෝත්‍රික ගැටුම කියා පාන්නේ කුමක් ද?

>ධනවාදයට ජාතික ගැටළුව විසඳිය හැකි ද?

අද වන විට ලෝක පරිමාණයෙන්ම ධනවාදය සිය වයෝවෘද්ධ යුගයේ පසුවෙයි. ධනවාදය තුළ ප්‍රශ්න විසඳීමේ වකවානුව අවසන් කර කලක් ගත වී ඇත. අද වන විට ධනවාදය හමුවේ ඉදිරිපත් වී ඇති සමස්ත ප්‍රශ්න වැල හමුවේ මතුවන අර්බුදය කියාපාන්නේ සමාජවාදය ගොඩ නැගීම සඳහා ඇති විෂය මූලික වටපිටාවයි. ඒ නිසා ජාතික ගැට‍ළුව අරබයා ධනපති පංතිය විසඳුම් ඉදිරිපත් කරන්නේ සිය ගරා වැටෙන වයෝවෘද්ධ ධනපති ක්‍රමය රැක ගැනීම සඳහා ය. ජාතික ගැට‍ළුවට විසඳුම් ඉදිරිපත් කරන අනෙකුත් බලවේග මෙන්ම ධනපති පංතියද සිය පංති මතවාදය අනුව විසඳුම් ඉදිරිපත් කරයි. ලංකාවේ ජාතික ගැට‍ළුව නොවිසඳුණු ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යකි. ලාංකික පසුගාමී ධනපති ක්‍රමය එය විසඳීමට අපොහොසත්ව ඇත. ඒ වෙනුවට ඔවුන්ට කළ හැක්කේ ජනතාව තුළ අසමගිය, අසමානතාවය වැපිරවීමයි. සමානාත්මතාවය තුළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ හැකියාවක් ඔවුන්ට නොමැත. අසමානතාවය තුළින් යම් කලකට හෝ තම පැවැත්ම තහවුරු කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටියි.

ජාතික ගැට‍ළුව හා සම්බන්ධ මිත්‍යා මත.

>දෙමළ ඊලාම් ව්‍යාපාරය ජාතික විමුක්ති අරගලයක් ද?

ලෝක ඉතිහාසය ආකාර දෙකක විමුක්ති අරගල ගැන දනී. ධනවාදය ගොඩ නැගීමේ දී වැඩවසම් හා විදේශීය ආධිපත්‍යට එරෙහිව ජාතික රාජ්‍යයක් ගොඩ නැගීමේ දී මෙය ක්‍රියාත්මක විය. පසුව අධිරාජ්‍යවාදයට එරෙහිව යටත් විජිත හා පරාධීන රටවල ජාතික විමුක්ති අරගල ඇති විය. නමුත් උතුරේ පවතින්නේ මීට වඩා හාත්පසින් ම වෙනස් වූ ඓතිහාසික හා විෂය මූල තත්වයන්ගෙන් පැන නැගුණු ව්‍යාපාරයකි. වත්මන් සමාජය ඉල්ලා සිටින්නේ සමාජවාදයයි. ජාතිකත්වයන් වර්ග සීමාවන් ඔස්සේ බෙදීමට බල කරන, එක් ජාතිකත්වයකට විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටින ස්වාභාවික භූගෝලීය දේශ සීමා ජාතිකත්ව සීමා ඔස්සේ වෙන් කිරීමට බල කරන, තම දේශ සීමා තුළ පදිංචි වෙනත් ජන කොටස් ඝාතනය කරන අධිරාජ්‍යවාදයේ ජගත් උපායමාර්ග හා සමපාතව කටයුතු කරන ව්‍යාපාරයක් විමුක්ති ව්‍යාපාරයක් නොවේ. එය සමාජවාදයට අහිතකර කොන්දේසි නිර්මාණය කරයි.
ධනපති ආණ්ඩුවේ යුද ක්‍රියාමාර්ග තුළින් අහිංසක දෙමළ ජනතාව මිය යන නිසා දෙමළ ජාතිවාදය සාධාරණීකරණය නොවේ. දෙමළ ඊලාම් ප්‍රචණ්ඩ ව්‍යාපාරයේ යුද ජයග්‍රහණවල දී ලබන ආශ්වාදය නිසා හෝ ධනපති ආණ්ඩුවට එරෙහි සේ පෙනෙන නිසා හෝ මෙය විමුක්ති ව්‍යාපාරයක් ය යන නිගමනයට ආ නොහැක. මෙවන් අර්ථකතනයක් බොහෝ විට අධිරාජ්‍යවාදයට හා ධනපති පංතියට ඍජුව හා වක්‍රව සම්බන්ධිත සුළු ධනපති මනෝරාජිකවාදීන් අතර සුළභය.

>දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගත යුතු බව

මාක්ස් හෝ ලෙනින් කිසි විටෙක ජාතික ගැට‍ළුව අරඹයා පොදු සූත්‍රගත කරණයක් ඉදිරිපත් කර නොමැත.  ඒ ඒ රටේ ඓතිහාසික වකවානුවේ දී ඒ ඒ රටේ වාස්තවික විශ්ලේෂණයක් මගින් සමාජ සංවර්ධනයට හිතකර ලෙසින් පවතින විසඳුම් සපයා ඇත. “දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය” පිළිගත යුතු  යැයි පැවසීම මාක්ස්වාදයට එරෙහිව මාක්ස්ගේ එංගල්ස්ගේ හෝ ලෙනින්ගේ වචන භාවිතා කිරීමකි. අධිරාජ්‍යවාදී අවධියේ පසුවන යටත් විජිත ජාතීන්ගේ හා පරාධීන ජාතීන්ගේ වෙන්වීම පිළිබඳව කතා කොට ඇත. නිර්ධන පංතියටත් ධනපති පංතියටත් එකවර යොදා ගත හැකි මතවාදයක් මාක්ස්වාදය තුළ නොපවතී. අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනපති සුළු ධනපති මනෝරාජිකවාදීන් රටවල් බෙදීම සඳහා “ස්වයං තීරණ අයිතිය” යොදා ගනී. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය සියළු ලෙඩ රෝගවලට ගැලපිය හැකි බෙහෙතක් නොවේ.  යටත් ජාතියක් තම නිදහස දිනා ගැනීමට මෙය යොදා ගත්තත් එකම රටක ජීවත් වෙන ජනතාවක් බෙදා වෙන් කිරීමට මේ ක්‍රමය යොදා ගැනීම වැරදිය.

>සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලි බව

ධනවාදය වැඩෙමින් පැවති වකවානුවේ ප්‍රබල රාජ්‍යයක් විසින් දුබල රාජ්‍යයක් යටත් කිරීමට එරෙහිව, එම දුබල රාජ්‍යයන්හි ජාතික විමුක්ති ව්‍යාපාර පැන නැගුණි. මේවා හරයෙන් ස්වාධීන රාජ්‍යයන් අරමුණු කර ගත් ඒවා වන අතර වැඩවසම් විරෝධී විය. ඒ අවස්ථාවේ ප්‍රබල රාජ්‍යයන්ගේ මහ ජාතික ජාතිවාදය ප්‍රතිගාමී ස්වරූපයක් ගන්නා ලදී. මහ ජාතික ජාතිවාදයට එරෙහි ඉහත අරගලයේ ප්‍රගතිශීලිත්වය පටලවා ගත්තවුන් විසින් මෙය ඉදිරිපත් කරයි.

ජාතිවාදය යනු, ජාතික හුදකලාභාවය සෙසු ජාතිකයන් සැක කිරීමට පක්ෂවීම හා ජාතීන් අතර සතුරුභාවය ප්‍රකාශ කරන ධනපති මතවාදයේ දේශපාලන මූලධර්මයකි. ධනවාදයේ සංවර්ධනයේ විශේෂිත ලක්ෂණ තුළ ජාතිවාදයේ මූලයෝ පවතී. ධනවාදය යටතේ ජාතීන් අතර සම්බන්ධතාවයන්ගේ ලක්ෂණ පරාවර්තනය කරමින් ජාතිවාදය ආකාර දෙකකින් ප්‍රකාශිත වේ. වෙනත් ජාතීන් සඳහා කරනු ලබන නිග්‍රහ කිරීම්වලින් සලකුණු වන ආධිපත්‍ය දරන ජාතියේ මහජාතික ජාතිවාදය හා ජාතික හුදකලාභාවය හා සෙසු ජාතීන් කෙරෙහි අවිශ්වාසය සඳහා මහත් පරිශ්‍රම දැරීම තුළින් සනිටුහන් වෙන පීඩිත ජාතියේ ප්‍රාදේශීය ජාතිවාදයයි ඒ.
දර්ශනයේ ශබ්ද කෝෂය

බලය බෙදීම තුළින්ම ප්‍රශ්නය විසඳිය නොහැකි බව (විද්වත් මත හා ප්‍රායෝගික සාක්ෂි ඇසුරින්)

බලය වීමධ්‍යගතකරණය ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස එනම්, සාම උපාය මාර්ගයක් ලෙස පසුගිය වසර 50 තිස්සේම යෝජනා කර ඇති, අත්හදා බලා ඇති ක්‍රියාමාරග්යක් වන නමුත් එමගින් ජාතික ප්‍රශ්නය විසඳා තිබේ ද? සාමය උදා කර දී තිබේද යන්න මෙම විෂයය පිළිබඳ ලොව ප්‍රකට ධනේෂ්වර විද්වතුන් කිහිප දෙනෙකුගේ මත විමසා බලමු.

>පසුගිය 60 වසරක (1946 -2005) ජාතිකත්ව ගැටුම් පවතින රටවල ගැටුම් විසඳීමට උපාය මාර්ගයක් ලෙස බලය විමධ්‍යගතකරණය අසමත් වී තිබේ

මැතීව් හෝජ් සහ කැරොලයින් හැම්ස්ටර් යන ජගත් කීර්තිධර ධනේෂ්වර විද්වතුන් දෙපල විසින් 1945 සිට 2005 දක්වා ජාතිකත්ව හා වාර්ගික ගැටුම් පැවති රටවල් 38ක් මුල් කර ගෙන එම රටවල් සියල්ල තුළ කරන ලද ගැඹුරු අධ්‍යනයන්, දත්ත, කරුණු, සිවිල් යුද තත්වයන් නිරීක්ෂණය කරමින් එම රටවල විසඳුම් ලෙස බලය විමධ්‍යගතකරණ ක්‍රියාමාර්ග කොතරම් දුරට සාර්ථක වී තිබේද යන්න විමසා බලන ලදී. රටවල් 38ක බලය විමධ්‍යගතකරණය පිළිබඳව 60 වසරක අත්දැකීම් විශ්ලේෂණයෙන් ඔවුන් පැමිණි නිගමනය වූයේ විමධ්‍යගතකරණ ක්‍රියාවලිය යම් තරමකට හෝ සාර්ථක වී ඇත්තේ ඉතාමත් සුවිශේෂී අවස්ථා 5ක පමණක් බවයි. මෙම අවස්ථා 5 ගත්විට ද ඒවා ලංකාවේ තත්වය හා කිසිසේත් සමාන නොවේ.

>ජගත් කීර්තිධර දේශපාලන විද්‍යාඥයෙකු වූ චයිම් කල්ස්මාන් බලය බෙදීම පිළිබඳව පවසන්නේ කුමක් ද?

ජනවාර්ගික ගැටුම් පටන් ගැනීම බලය බෙදීමෙන් වැළැක්විය හැකි බවට සාක්ෂි සමහර විට ඇතත්, එහෙත් දැඩි ප්‍රචණ්ඩත්වයකින් සමන්විත ජනවාර්ගික ගැටුම් පවතින වාතාවරණයකට සාමය ලබා ගැනීම සඳහා බලය බෙදා ගැනීමේ විසඳුමක් උපයෝගී කොට ගත හැකිද යන්න ප්‍රශ්නයකි.

>දේශපාලන විද්‍යා මහාචාර්ය මැතීව් හෝඩ් සහ කැරොලයින් හැම්සර්

පශ්චාත් අරගල තත්වයන් (post conflict situation) මත හෙවත් ජනවාර්ගික අරගලයක් පැවති එය යම්කිසි ක්‍රමයකින් අවසානය දක්වා පැමිණ ඇති විට, බොහෝ විට හමුදාමය බලයකින් ඒවා මැඩ පවත්වා ඇති  තත්වයක් තුළ බලය බෙදා ගැනීමේ ව්‍යවස්ථාමය විධිවිධාන ආරෝපණය කළ විට එයින් අගතිගාමී, අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති වේ. ඇත්තෙන්ම මෙවැනි අවස්ථාවල බලය විමධ්‍යගත කිරීම මගින් බලය පවරනු ලබන්නේ ගැටුම්වල නිරතව සිටි නායක පැලැන්තියකට පමණක් බව සාමාන්‍ය ලෝක අත්දැකීම් රාශියකින් පෙන්වා දී තිබේ. නියම බලය ගන්නේ ගැටුම්වල නිරත වී සිටි කණ්ඩායම්වල නායකත්වයෙන් පමණය. එසේ ලැබෙන බලයත් සමග ඔවුන් තව දුරටත් ඝට්ඨනීය ක්‍රියාමාර්ගවලට එළඹෙන අතර එයින් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සාමය ද අභියෝගයට ලක්වන බව ජාත්‍යන්තර උදාහරණ රාශියක් සාක්ෂි දරයි.

>බලය විමධ්‍යගතකරණය ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවන බවට ජාත්‍යන්තර අත්දැකීම් ඇසුරෙන්

ඉන්දියාව ඉන්දියානු  මධ්‍යම ආණ්ඩුව විසින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙසත් =, සමහර ශක්තිමත් බෙදුම්වාදී ව්‍යාපාර දුර්වල කිරීමටත්, රටේ විශාලත්වය හා ජනගහනය ද සැලකිල්ලට ගෙන 1966දී බලය යම් ප්‍රමණයකට විමධ්‍යගත කර ප්‍රාන්ත පිහිටුවා බලතල ලබා දෙන ලදී. ඒ අනුව 1966දී ඇසෑම් ප්‍රාන්තය ඊසාන දිග ඉන්දියාවේ පිහිටුවන ලදී. එසේ වුවද එම ඇසෑමයට බලය බෙදීම පදනම් කර ගෙන ඇසැමය තුළ සිටි විවිධ ආගමික, කුළ පදනම් කර ගත් ජන කණ්ඩායම් අතර බෙදුම්වාදී ව්‍යාපාර රැසක් ආරම්භ වූ අතර ඒවා විසඳීම සඳහා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව විසින් බලය බෙදීමේ උපායමාර්ගයක් ලෙස ක්‍රියාවට නංවන ලදී. ඒ අනුව පසුගිය වසර 40ක කාලය තුළ දී ඇසෑම් ප්‍රාන්ත්‍රය තවත් ප්‍රාන්ත 7කට කැඩී ගොස් ඇත. (සෑම වසර 5කට වරක් අලුත් ප්‍රාන්තයක් බිහිවේ) ඉන් බෙදුම්වාදී ව්‍යාපාර නතර වී නොමැති අතර එම ප්‍රාන්ත තුළ ද තවත් බෙදුම්වාදී ව්‍යාපාර 08ක් වෙනම රාජ්‍යයක් ඉල්ලා (අවම වශයෙන් වෙනම ප්‍රාන්තයක් හෝ ඉල්ලා) සන්නද්ධ අරගලවල නිරත වේ. ඉන් සමහර බෙදුම්වාදී ව්‍යාපාර මුළු ඉන්දියාව පුරාම තම කුළයේ හෝ තම ආගම අදහන ජනයා වෙුවෙන් සියළු ප්‍රාන්ත එක්කොට වෙනම ප්‍රාන්ත ඉල්ලා අරගල කරන තත්වයක් ඇති වී තිබේ. 1966 දී ප්‍රාන්ත 15කින් ඇරඹි ඉන්දියාව අද ප්‍රාන්ත 28ක් හා මධ්‍යම ආණ්ඩුවට ඍජුව වගකියන සීමිත ස්වයං පාලන ප්‍රදේශ 6ක් දක්වා නිල වශයෙන් බෙදී ඇති අතර ඉන් පසුවත් ඉන්දියාව තුළ ප්‍රබල බෙදුම්වාදී ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. මෑතකදී තමිල්නාඩු ප්‍රාන්තයෙන් පොන්ඩිවරි නැමැති නව ප්‍රාන්තය බිහිවීම ද තවත් විශේෂ උදාහරණයකි. ජාතිකත්වයන් සමගි කිරීමෙට අවශ්‍ය සමාජ ආර්ථික වෙනස්කම් නොකොට හුදු මතුපිට බලය බෙදීම සඳහා රටවල් කුඩා කුඩා කැබලි ගණනාවකට කැඩීම මගින් ජනතාව අතර අසමගිය හා ගැටුම් වර්ධනය වන බවට ඉන්දියාව හොඳ උදාහරණයකි.

බෙදුම්වාදය අධිරාජ්‍යවාදීන්ගේ උපක්‍රමයක් ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇසුරෙන්.

>ඇමරිකාවේ නිෂ්පාදිත ලොව අලුත්ම ලෝක සිතියම (මැද පෙරදිග බෙදීම)

ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ලොව අධිරාජ්‍යවාදීන් අතර අමුද්‍රව්‍ය සඳහා ලෝකය යළි බෙදා ගැනීමේ සටනේ දී ලොව අතිශය වැදගත්ම ඛණිජය ලෙස මේ මොහොතේ දී සැලකිය හැකි ඛණිජ තෙල්වල අයිතිය ලබා ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් තෙල් බහුල රටවල ජාතිකත්ව, ආගමික, භාෂාමය සංස්කෘතිමය වෙනස්කම් මතුකරමින් හා තවත් උද්දීපනය කරමින් එම රටවල් බෙදීමට කටයුතු කිරීම වර්තමානයේ අධිරාජ්‍යවාදීන් ජාතික ප්‍රශ්න තම වුවමනාවට අනුව කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ප්‍රබල අත්දැකීමකි.
උදා:- ලෙබනනයට එරෙහි ඊශ්‍රයාල් ආක්‍රමණය, “නව මැද පෙරදිගක් නැමැති දරු උපත සඳහා මැද පෙරදිග විළිරුදාවෙන් පෙළීමක් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් 2006 ජූලි 21 වෙනි ප්‍රකාශ කිරීම.
ඇමරිකානු සන්නද්ධ හමුදාවන්හි නිල ප්‍රකාශනය වන US Armed Forces Journal හි ජූනි කලාපයේ ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන නව ලෝක සිතියම, නව මැද පෙරදිග සිතියම, How a better middle east would like නමින් පළ කිරීම.
වත්මන් සිතියම හා ඇමරිකානු බලාපොරොත්තු වන සිතියම් දෙක සන්සන්දනය කරමු.

  1. ප්‍රබල පකිස්තානය පැති කිහිපයකින් හැකිලී ගොස් එයට අයත් භූමියේ කොටසක් හා ඉරානයට අයත් භූමියෙන් කොටසක් සහිතව “නිදහස් බලුකිස්තානය” බිහිවී තිබේ. (පකිස්තානයෙන් වෙන්වීමේ බෙදුම්වාදී අරගලයක් බලුකිස්තානයේ පවතී)
  2. ඇමරිකානු රූකඩ රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානය වර්තමානයට වඩා විශාල වී තිබේ. ඒ පකිස්තානයේ වාටිය උරා ගැනීමෙනි.

1506285680_map

  1. ප්‍රබල පකිස්තානය පැති කිහිපයකින් හැකිලී ගොස් එයට අයත් භූමියේ කොටසක් හා ඉරානයට අයත් භූමියෙන් කොටසක් සහිතව “නිදහස් බලුකිස්තානය” බිහිවී තිබේ.
    (පකිස්තානයෙන් වෙන්වීමේ බෙදුම්වාදී අරගලයක් බලුකිස්තානයේ පවතී)
  2. ඇමරිකානු රූකඩ රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානය වර්තමානයට වඩා විශාල වී තිබේ. ඒ පකිස්තානයේ වාටිය උරා ගැනීමෙනි.
  3. වත්මන් ප්‍රබල ඉරාකය 3කට කඩා තිබේ. ඉන් කොටසක සම්පූර්ණයෙන්ම “නිදහස් කුර්දිස්තානයක්” ඇති කරන අතර ඉරාකය ආගමික නිකාය පදනමින් සුන්නි හා ෂියා ලෙස දෙකඩ කරයි. තුර්කියෙන් ඉරාකයෙන් ඉරානයෙන් කොටස් කඩා අලුතින් කුර්දිස්ථානයක් බිහිකරනු ඇත. ඒ අනුව ඉරාකය සුන්නි ඉරාකය හා අරාබි ෂියා ඉරාකය, කුර්දිස්ථානය ලෙසින් රටවල් තුනක් වෙයි. අරාබි ෂියා ඉරාකයට ඉරාකයේ පහල තීරුවක් ද, සවුදි අරාබියට අයත් ඉහල ප්‍රදේශයෙන් තීරුවක් ද අයත් කර දී තිබේ.
  4. ඉරානය ඇමරිකා එක්සත් ජනපද රූකඩ නිදහස් බලුකිස්තානයෙන් ද, ඇමරිකානු රූකඩ ඇෆ්ගනිස්තානයෙන් ද වට කොට ඇත. ප්‍රබල ඉරානය ප්‍රමාණයෙන් කුඩා කර සතුරු රාජ්‍ය තුනක් සමග සදාකාලික ගැටුමකට යොමු කරන පිහිටීමකට හිර කර තබා ඇත.
  5. ආර්ථික, දේශපාලන, යුද තර්ජනයක් වන තුර්කිය කුඩා කර ඇත.
  1. සවුදි අරාබිය කොටස් දෙකකට කඩා එක් කොටසක් (මක්කම අයත් ප්‍රදේශය) වෙනම පූජනීය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කර ඇත.
  2. ඇමරිකානු කඳවුරු බහුල යුද, දේශපාලන වැදගත් පිහිටීමක ඇති යේමන සවුදි අරාබියෙන් කොටසක් කඩා විශාල කර තිබේ.
  1. දිගු කාලීන ඇමරිකානු ගැති රටක් හා පිහිටීමෙන් ඉතා වැදගත් මධ්‍යධරණී මුහුදේම දේශසීමා සහිත ජෝර්දානය Great Jordan (මහා ජෝර්දානය) ලෙස විශාල කර ඇත.
  2. ප්‍රබල හා උග්‍ර ඇමරිකානු විරෝධී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් වන සිරියාව කඩා, කුඩා හා දුර්වල කර ඉන් කොටසක් ඇමරිකානු ගැති පාලනයක් සහතික කර ගත් ලෙබනනයට ලබා දී Great Lebanan (මහා ලෙබනනය) නිමවා තිබෙනවා.

ඉරාකය සුන්නි, ෂියා ආගමකි නිකායන් අතර සිවිල් යුද්ධයකට යොමු කර තිබෙන්නේත්, සිරියාව යක්ෂයාගේ අක්ෂයේ රටක් බව ප්‍රකාශ කරන්නෙත් ඉරානයේ න්‍යෂ්ඨික අයි ආයුධ ප්‍රශ්නය මතු කරන්නේත් ඉහත සම්පත් බහුල, ශක්තිමත් මධ්‍යගත රාජ්‍යයන් කඩා ඉතිරි රාජ්‍යයන් දුර්වල කර තමාට අවනත, පාලනය කර ගත හැකි රූකඩ රාජ්‍යයන් නිර්මාණය කිරීමේ උවමනාවෙන් බව ඉතාම පැහැදිලිය.

>සුඩානයේ ජාතික ප්‍රශ්නය

බ්‍රිතාන්‍යය විසින් බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක්‍රමයට අනුව උතුරු සුඩානය හා දකුණු සුඩානය ලෙස වෙනස් පාලන රටා දෙකක් සුඩානය තුළ පවත්වාගෙන යනු ලැබීය. 1946 දී ඒවා එක් කිරීමත් සමග සිවිල් යුද තත්වයක් වර්ධනය විය. 1983 දී උතුරු සුඩානය හා ස්වයං පාලනය ලත් දකුණ අතර සන්නද්ධ අරගල නිර්මාණය විය.
සුඩානයේ පවත්නා තෙල් සම්පත සඳහා අධිරාජ්‍යවාදීන් මෙම ප්‍රශ්නයට මැදිහත් වූ අතර 2002 දී ආණ්ඩුව හා බෙදුම්වාදීන් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම මත 2005 දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී බෙදුම්වාදී නායකයාට උප ජනාධිපති ධුරය පිරිනමන ලදී. සුඩානය සහ සන්ධීය රාජ්‍යයක් බවට පත් වී ඇති අතර දකුණු සුඩානය  ස්වයං පාලන ආණ්ඩුවක් පිහිටුවා ඇත.

>සයිප්‍රසයේ ජාතික ප්‍රශ්නය

සයිප්‍රසය ද බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ පසුව බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය යටතේ 77% ක් වූ ග්‍රීක් සයිප්‍රස්වරු හා 18% තුර්කි සයිප්‍රස්වරු අතර ප්‍රතිවිරෝධයන්  නිර්මාණය කරන ලදී. 1974 දී තුර්කි හමුදා ආක්‍රමණයකින් පසු සයිප්‍රසයේ උතුරු කොටසේ තුර්කි සයිප්‍රස් ආණ්ඩුවක් පිහිටුවන ලදී. සයිප්‍රසය දෙකඩ වීමෙන් පසු මහා ජන සංහාරයක් සිදු විය.

පසුකාලීනව අධිරාජ්‍යවාදීහු සූක්ෂමව සයිප්‍රසය රටවල් දෙකකට බෙදීම සඳහා “අන්නන් සැලැස්ම” නමින් සැලැස්මක් සකස් කරන ලදී. මෙම යෝජනාව ජනමත විචාරණයකින් පසු දකුණු සයිප්‍රසයේ දී 76% කින් පරාජයට පත් කළ ද උතුරු සයිප්‍රසයේ දී 65% කින් ජයග්‍රහණය කරන ලදී. සමස්ත අධිරාජ්‍යවාදයම වර්තමානයේ දී සයිප්‍රසය දෙකට කැඩීමට උත්සාහ දරන අතර සයිප්‍රස් ජනතාව එයට එරෙහිව සිටියි.

>කොසෝවෝ බෙදීම

යුරෝපය මධ්‍යයේ පිහිටි ආර්ථික හා දේශපාලනික වශයෙන් ප්‍රබලතම රාජ්‍යයක් වූ යුගෝස්ලෝවියාව බෝල්කනීකරණ වැඩපිළිවෙලට අනුව රටවල් ගණනාවකට බෙදා වෙන් කරන ලදී. වර්තමානයේ යළිත් සර්බියාවට අයත් කොසෝවෝ ප්‍රාන්තය වෙන් කිරීමට අධිරාජ්‍යවාදීන් සැරසේ.
1999 දී යුගෝස්ලෝවියාවට ගුවන් ප්‍රහාර එල්ල කර කොසෝවෝ භූමියෙන් යුගෝස්ලෝවියානු හමුදා හා පොලිසි ඉවත් කර එහි පරිපාලනය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු යටතට පත් කරන ලදී.

ජාතික ගැට‍ළුව සමාජවාදයට විසඳිය හැකි ද?

වර්තමාන පංති සමාජය ජාතික ගැට‍ළුව විසඳීමෙහි ලා අපොහොසත් බව ලොව පුරා වුවමනාවටත් වඩා සාක්ෂි ඇත. ජාතික ගැට‍ළුවට සම්පූර්ණ විසඳුමක් ඉදිරිපත් කළ හැක්කේ පංති විරහිත සමාජයක් තුළ පමණි. පංති විරහිත සමාජය දෙසට මාවත විවෘත කර ගන්නේ නිර්ධන පංති සමාජ විප්ලවයයි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නොවිසිඳුනු කර්තව්‍යයන් බොහොමයක් පවරා ඇත්තේ සමාජවාදයටයි. එවිට ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ නිර්ධන පංති විප්ලවයට අනුරූපී වන ආකාරයටයි. මෙහිදී ජාතික ගැට‍ළුව විසඳූ රටවල් සම්බන්ධයෙන් සැකෙවින් විමසා බලමු.

>සෝවියට් අත්දැකීම

ඔක්තෝබර් විප්ලවය මගින්, රුසියාවේ සමස්ත ජනගහනය 43% ක් වූ මහා රුසියානුවන් හා ඔවුන්ගේ ආධිපත්‍ය තුළ මිරිකී සිටි 57% ක් වූ යටත් විජිත ජනතාවගෙන් සමන්විත පැරණි අධිරාජ්‍ය වෙනුවට නව සමාජවාදී සෝවියට් ජනතාවගෙන් සමන්විත සංක්‍රමණික රාජ්‍ය බිහි විය. එසේ එදා සෝවියට් ජනතාව සහ සෝවියට් රාජ්‍ය ගොඩ නැගුණේ විවිධ භාෂාවන් කතා කරන හා විවිධ සම්භවයන්ගෙන් යුත් අනේකවිධ ජාතිකත්වයන් සමානාත්මතාවයේ පදනම මත එක්සත් කිරීමෙනි. සෝවියට් සංගමයේ ජාතික ආණ්ඩු 15 ක් ද, ස්වයං පාලන සමුහාණ්ඩු 20 ක් ද ස්වයං පාලන ප්‍රදේශ 18ක් ද විය. මෙය සාර්වාදී රුසියානුකරණය නොවීය. මෙය සිදුවූයේ බලයෙන් ද නොවේ. ස්වාභාවික ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ය. මේ සඳහා ජාතික වරප්‍රසාද පීඩනය, අසමානාත්මතාවය අහෝසි කරන ලදී. මෙලෙස එදා ජාතික ප්‍රශ්නය සමාජවාදී සෝවියට් දේශයේ දී විසඳී තිබිණි. බොහෝ න්‍යායික හා ප්‍රායෝගික පීලි පැනීම් හමුවේ ධනවාදී ප්‍රතිසංස්කරණ වෙත යාම නිසා අද වන විට සෝවියට් දේශය කැබලි වී ඇත. කලින් ස්වයං පාලන ප්‍රදේශයක්ව තිබූ සාමයෙන් සිටි චෙච්නියාව තුළ විශාල වාර්ගික අර්බුදයකි. මෙය පෙරලා ධනවාදය වෙත ගමන් කිරීම නිසා ලැබුණු ප්‍රතිඵලයකි.

>පැරණි යුගෝස්ලෝවියාවේ අත්දැකීම්

මූලික වශයෙන් එවකට යුගෝස්ලෝවියාව, ජාතිකත්වයන් 06 ක් පමණ ඒකාබද්ධ කළ බහුජාතික රාජ්‍යයක්ව පැවතුණි.මෙහි ජාතික වෙනස්කම් සහ ජාතික වරප්‍රසාද පිදීම අහෝසි කොට තිබුණි. විවිධ සංස්කෘතීන්ට පැවැත්ම සඳහා වූ අයිතිය සහතික කොට තිබුණි. ඒ සමාජවාදය යටතේ ය. අද වන විට ජාතික ප්‍රශ්නය උග්‍රතම අවස්ථාවක පවතී. කොඒෂියාවේ වෙන්වීමේ ව්‍යාපාරය සඳහා  පදනම දැමුවේ  අධිරාජ්‍යවාදීන් ය.

>නිකරගුවා අත්දැකීම්

අද වන විට නිකරගුවා තුළ නැවත ධනේෂ්වර ප්‍රතිසංස්කරණ ඇති කොට ඇති අතර පැවති සමාජවාදය බිඳ වැටී ඇත. නමුත් සමාජවාදී නිකරුගුවාව සමානාත්මතාවය තුළ හා සුළු ජාතිකත්වයන් වෙත ස්වයං පාලනය පිරි නැමීම මඟින් ජාතික ගැට‍ළුව විසඳාලීය. නිකරගුවාව තුළ ප්‍රධාන සුළු ජාතිකත්වය වූයේ මිස්කිටෝවරුන් ය. එයට අමතරව ඉංග්‍රීසි හා සුමෝ භාෂා කතා කරන සුළුතරයක් විය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් සුළු ජාතික මිස්කිටෝවරුන්ගේ වෙන්වීමේ ව්‍යාපරයක් සමාජවාදී නිකරගුවාවට එරෙහිව දියත් කරන ලදී. බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ සමාජවාදී නිකරගුවාව මෙය පරදවාලීය.

ජාතික ගැට‍ළුව නිර්ධන පංතියේ විසඳුම් මොනවාද?

අසමානතාවය තුළ මතුවන ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ අසමානතාවයට තුඩු දුන් සියළු හේතු කාරකයන් ඉවත් කිරීමෙන් පමණි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය හා පූර්ණ සමානාත්මතාවය සහතික කිරීමෙන් පමණි. මේ සඳහා අත්‍යාවශ්‍ය පූර්ණ කොන්දේසිය වන්නේ පංති පීඩනය ඉවත් කිරිමයි. එක් පංතියක් විසින් තවත් පංතියක් සූරාකෑමේ ක්‍රියාදාමය අහෝසි වීමට සාපේක්ෂව එක් ජාතියක් විසින් තවත් ජාතියක් පීඩාවට පත් කිරීම අවසන් වන බව මාක්ස් පැවසුවේ එබැවිනි.

>ලංකාවේ ජාතික ගැට‍ළුවට නිර්ධන පංතියේ විසඳුම කුමක් ද?

අප ජීවත් වන ලෝකය තුළ පැහැදිලිවම ප්‍රධාන මතවාදයන් දෙකක් පවතී. ඒ නිර්ධන පංතියේ පංති මතවාදයත් ධනේෂ්වර පංතියේ ධනේෂ්වර මතවාදයත් ය. මේ මොහොතේ එනම් ධනේෂ්වර සමාජය තුළ මෙකී මතවාදයන් දෙක හැර තුන් වන මතවාදයක් නැත. එහෙත් අප ජීවත් වන සමාජය තුළ මෙකී ප්‍රධාන මතවාදයන් දෙකට අමතරව අතුරු පංති ශ්‍රේණි ගණනාවක් ද පවත්නේය. එහෙත් ඇත්තේ පවත්නා මතවාදයන් දෙකක් හෙයින් මේ අතරමැදි ශ්‍රේණින්ට ද තම මතවාදය ලෙස මේ මූලික මතවාදයක් දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කෙරේ.
මෙහි දී සුළු ධනේෂ්වර පංතිය යනුවෙන් පොදුවේ කතා බහ කෙරෙන මෙරට සමාජය තුළ පවතින්නා වූ පංති කොටස ප්‍රධාන වශයෙන් නියෝජනය කරන මතවාදය ධනපති මතවාදය වන අතර එය ඇතැම් අවස්ථාවල නිර්ධන පංතිය තුළට අවතීර්ණ වේ. එමෙන්ම එහි දී මෙකී පංතියේ පංති මතවාදයට අනුරූපී ලෙස නිර්ධන පංතියේ මතවාදය සකස් කරලීමට එනම් විකෘති කරලීමට මොවුන් කටයුතු කරනු ලබයි.
එබැවින් නිර්ධන පංතිය ජාතික ප්‍රශ්නය අරබයා තම විසඳුම් ඉදිරිපත් කිරීමේ දී, සුළු ධනේෂ්වර පංතිය විසින් ජාතික ප්‍රශ්නය අරබයා ඉදිරිපත් කර මතවාදීමය විකෘති කිරීම් ගැන ද සැලකිල්ලක් දැක්විය යුතුය

නිර්ධන පංතියේ මතවාදය මාක්ස් – ලෙනින් වාදයයි. එබැවින් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ප්‍රශ්නය අරබයා සියළු විසඳුම් ඉදිරිපත් කිරීමේ දී සෑම විටම අචලව මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ඨිය මත පිහිටා කටයුතු කරයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජාතික පීඩනය අහෝසි කිරීමටත් ජාතික අසමානතාවය අහෝසි කිරීමටත්, එක් ජාතිකත්වයක අයිතීන් යටපත් කොට තවත් ජාතිකත්වයකට වරප්‍රසාද පිදීමට එරෙහිවත් එමෙන්ම ජාතික සාමානාත්මතාවය, ජාතික සමගිය හා ජාතික විශ්වාසය ඇති කරලීම හා ඒ ඔස්සේ ජාතික ගැට‍ළුව විසඳීම සඳහාත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් හා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි.

ජාතික ගැට‍ළුව විසඳීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විසඳුමේ පදනම වූයේ, බෙදුම්වාදය පරාජයට පත් කිරීමත්, ජාතිකත්වයන් අතර සමගිය හා සහයෝගය ගොඩ නැගීම සඳහා සියළු ජාතිකත්වයන්ට සමානාත්මතා පදනම මත අයිතීන් ලබා දීමත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත් ය. මෙම මූලධර්මය ඉතා හොඳින් ක්‍රියාත්මක කළ හැක්කේ සියළු අසමානතාවයන් අහෝසි කරනු ලබන සමාජවාදය තුළ පමණි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවන වගන්තිය මෙසේ සටහන් කරයි.
“රට දෙකඩ කිරීමට මෙන්ම අත්තනෝමතික මධ්‍යගතකරණයට විරුද්ධ වෙනු ඇත”
මින් අදහස් කරන්නේ දෙමළ ඊලමක් හෝ කිලස්ථානයක් හෝ වෙනත් ඕනෑම නමකින් රට බෙදීමට විරුද්ධ වන බවත්, එසේම අත්තනෝමතික ලෙස මධ්‍යගත කිරීමකට ද විරුද්ධ වන බවත් ය. එහි අදහස රජ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මධ්‍යගත කිරීම ය. සමාජවාදී ජාතියක් උදෙසා වන සංවර්ධණීය ගමන් මගක් වෙනුවෙන් සියළුම පුරවැසියන්ට ජාතිකත්වය, ආගම, කුළය හෝ ලිංගය ආදී කිසිදු ඛේදයකින් තොරව, විශේෂ වරප්‍රසාද පිදීමකින් තොරව, කිසිවෙකුට කිසිවක් සීමා නොකරවමින්, පීඩාවට පත් නොකරවමින්, ලාංකීය ජාතියේ මධ්‍යගතකරණය වෙනුවෙන් කටයුතු කරනු ලැබේ.

01. i. රටේ මූලික නීතිය බවට පත් වන නව සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනු ලැබේ.
01.ii. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කිරීම සඳහා ජනමත විමසුමක් පවත්වනු ලැබේ.

02.     රට දෙකඩ කිරීමට මෙන්ම අත්තනෝමතික මධ්‍යගත කිරීමකට විරුද්ධ වනු ලැබේ.

29.     එක් ජාතිකත්වයක් විසින් තවත් ජාතිකත්වයක් සමාජමය වශයෙන් පෙලීමෙන්, එක් කුලයක් විසින් තවත් කුලයක් සමාජමය වශයෙන් පෙලීමෙන්, ජාතිභේදවාදයත් – කුල භේදයත් අහෝසි කරන අතර එය උල්ලංඝනය කිරීම දඬුවම් හැකි වරදක් බවට පත් කෙරෙන නීති සකස් කරනු ලැබේ.

34. i. ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන් ඉන්දියාවට යෑම හෝ ලංකාවේ පුරවැසිකම ලැබීම හෝ ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කරනු ලැබේ.

34. ii. ලංකාවේ පුරවැසිකම් ලබා ඇති ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ට අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින සියළුම අයිතිවාසිකම් සහතික කරනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, මුද්‍රණය – 1977