ප්‍රවාහනයේ ආරම්භය හා පරිණාමය

MeToo-featured
ස්ත්‍රී විමුක්තිය
March 21, 2019
rsz_review-a
ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්
March 29, 2019
Show all

ප්‍රවාහනයේ ආරම්භය හා පරිණාමය

rsz_1transportation

නූතන ලෝකයේ ජීවත්වන මිනිසාට නැතිවම බැරි සේවාවක් බවට ගමනාගමනය හා ප්‍රවාහනය පත්ව තිබේ. නූතන ලෝකය මේ පිළිබඳ බරපතළ ගැටලු රැසකට මුහුණ දී සිටී. ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම, ප්‍රවාහන වියදම් අධික වීම, මාර්ගවල රථවාහන තදබදය, දිනපතා ඉහළ යන රථවාහන අනතුරු, පරිසරය දූෂණය වීම ආදී ලෙස එම ගැටලු ප්‍රකාශයට පත්ව තිබේ. ප්‍රවාහන අර්බුදයට විසඳුම් සෙවීම නූතන ලෝකයේ විශාලතම අභියෝගයද වී තිබේ. ඒ සඳහා කරනු ලබන පුළුල් සංවාදයකදී, සාකච්ඡාවකදී ප්‍රවාහනය යනු කුමක්ද යන්නත් එහි ඓතිහාසික ගමන්මඟ කෙසේ සිදුවී ද යන්නත් කෙටියෙන් හෝ වටහා ගැනීම වැදගත්ය.

ගමනාගමනයද? ප්‍රවාහනයද?

ගමනාගමනය යනු ඉතාම සරලව ගත් විට මිනිසුන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමත් යළි පැමිණීමත් යනුවෙන් තේරුම්ගත හැක. ‘ප්‍රවාහනය’ යන සංකල්පය ඊට වඩා තරමක් පුළුල් වේ. ඒ තුළ මිනිසුන්ට අමතරව භාණ්ඩ එහා මෙහා ගෙන යාමද අඩංගුය. පොදුවේ බලන කල ප්‍රවාහනය ලෙසින් අප හඳුන්වන සංකල්පය තුළ ගමනාගමනයද ගැබ්ව පවතින නිසා මෙතැන් සිට අප මෙම මානව අවශ්‍යතාවය ‘ප්‍රවාහනය’ යන වඩා පුළුල් සංකල්පය තුළ තබා සාකච්ඡා කිරීමට අදහස් කරමු.

විකිපීඩියා ශබ්දකෝෂයේ ප්‍රවාහනයට ලබා දී ඇති අර්ථ කථනය මෙසේය. ‘ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හා භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාම වේ’. එබැවින් ප්‍රවාහනය යනු චලිතය සමග බැඳුණු සම්බන්ධයකි.

අපේ පෘථිවිය මත මානව වර්ගයා බිහි වූ මුල්ම අවදියේ ඔහුට ඔසවා ගෙන යාමට බැරි තරමේ භාණ්ඩ හෝ උපකරණ තිබුණේ නැත. පරිණාමයේ මුල්ම අවදියේ, එනම් ආදිතම මානවයා මුගුරක් අතින් ගැනීමට පෙර ඔහුට ඔසවා ගෙන යාමට මුගුරක්වත් තිබුණේ නැත. එවිට ඔහු එක් තැනකින් තවත් තැනකට ගිය අතර එය ‘ගමනාගමනය’ නැමති සීමාවේ පැවතිණි. මෙම ආදිතම යුගයේ ගමනාගමනය ගැන අදහස් දක්වන විකිපීඩියා ශබ්ද කෝෂය සඳහන් කරන්නේ මුල්ම ගමනාගමනයේ ආකාරයක් වූයේ ඇවිදීම, දිවීම හා පිහිනීම බවය. මෙය සතුන් විසින්ද සිදුකරන නිසා ප්‍රවාහනය ලෙස අප වර්තමානයේ හඳුන්වන සංකල්පයේ ප්‍රාථමික අවස්ථාව විය.

 

මිනිසාට ප්‍රවාහනයක් අවශ්‍ය ඇයි?

මිනිසා සතුන්ගෙන් වෙනස්ව ශ‍්‍රමය, චින්තනය හා භාෂාවක් කථා කරන සත්වයෙක් ලෙස පරිණාමය වුවද ඔහු සත්වයෙක් ලෙස සාපේක්ෂව දුර්වල සත්වයෙක් විය. ඔහුට අහසේ පියාඹා යාමට හැකියාවක් නොවීය. පිහිනීම වුවද පුහුණු විය යුතු වූ අතර බොහෝ දුරක් පිහිනීමේ හැකියාව ඔහුට නොවීය. එසේම ගොඩබිම වෙසෙන සමහර සතුන්ට මෙන් වේගයෙන් දිවීමටද මිනිසාට නොහැක. චීටා නැමති සත්වයාට පැයට කි.මී. 60ක පමණ වේගයෙන් දිවයාමට හැකි වුවද මිනිසාට එම වේගයේ අසලකට වත් ළඟා විය නොහැක. දිවියෙකුට උගේ බර මෙන් තුන් ගුණයක බරක් ඔසවාගෙන ගසකට වුව නැගීමට තරම් හැකියාවක් ඇතත් මිනිසාට එතරම් බරක් ඔසවාගෙන යාමට හැකියාව නොවීය. මිනිසා රුක් මතින් බිමට බට වානර වර්ගයකින් පරිණාමය වුවද ඔහුට සිය මුතුන් මිත්තන් මෙන් ගසින් ගසට පැන යාමටද නොහැකි විය. එහෙත් මේ සියලූ දුබලකම් මැද කිසිදු සතෙකුට නැති සුවිශේෂී හැකියාවක් ඔහු සතුවිය. ඒ, ශ‍්‍රමය හා චින්තනයයි. ඒ නිසා ඔහු තම ජීවන අරගලයේදී තමාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා උපකරණ හා මෙවලම් තැනීමටත් ඒවා පරිහරණය කිරීමටත් පටන් ගත්තේය. ප්‍රවාහනය ආරම්භ වන්නේ ඒ අනුවය.

 

ප්‍රවාහනයට නිෂ්පාදනයේ ඇති සම්බන්ධය

ආදි කාලීන මිනිසාගේ ප්‍රාථමික නිෂ්පාදන වූයේ මරාගත් සතෙක්, හාරාගත් අලයක්, කඩාගත් ගෙඩි, අල්ලාගත් මාළු ආදියයි. මේ සඳහා අවශ්‍ය වූ හා ඔහු විසින්ම තනාගත් ප්‍රාථමික උපකරණ වූ මුගුරු, හෙල්ල හා පොල්ල, දුන්න හා ඊතලය ආදිය ඔහු උසුලා ගෙන ගියේය. නිෂ්පාදනයේ ආරම්භයේදී සතෙක් මරාගත් විට එක්කෝ කර තබා ගෙන නැතිනම් බිම දිගේ ඇද ගෙන ආ අතර සමහර විට කිහිප දෙනෙකු එක්ව උසුලාගෙන ආවෝය. මේ අවධියේදී ප්‍රවාහනය සඳහා විශේෂ උපකරණ හෝ විශේෂ බලශක්ති මාධ්‍යයක් තිබුණේ නැත.

එහෙත් ක්‍රමානුකූලව නිෂ්පාදනය දියුණුවත්ම, දඩයමින් ජීවත් වූ මිනිසා සතුන් හීලෑකොට ඇති කිරීමටත්, ධාන්‍ය වගා කිරීමටත් පටන් ගැනීමත් සමග ඔහුගේ දෛනික නිෂ්පාදනයන් ඉහළ ගියේය. ඒ සමගම මිනිසා තැනින් තැන ඇවිදීම වෙනුවට එක් ස්ථානයක පදිංචි වී ශිෂ්ටාචාර ගොඩ නැගීමද ආරම්භ කළේය. මේ අවධිය ප්‍රාථමික සාමූහික සමාජයේ අවසානය සනිටුහන් කරන කාලය වේ. නිෂ්පාදනය සාපේක්ෂව වැඩි වීමත් සමග භාණ්ඩ හුවමාරුවද ඇති විය. එහිදී හුවමාරුව සඳහා සතුන් දක්කාගෙන ගිය අතර එවකට තිබූ නිෂ්පාදන භාණ්ඩ වන ධාන්‍ය, එළවළු, පලතුරු, මස්, කිරි, ලොම් ආදිය රැගෙන යාමේදී ඒ සඳහා මාධ්‍යයක් ලෙස සතුන් යොදා ගැනීම ආරම්භ කෙරිණි. ඒ අනුව එක් එක් පාරිසරික කලාපවල ජීවත් වූ බර ඇදීමේ හැකියාව ඇති සතුන් මත බඩු පටවා ගෙන යාමට මෙන්ම සතුන් පිට යාමටද මිනිසා උගත්තේය. එය ප්‍රවාහනයේ ප්‍රාථමික ආකාරය විය. මේ සඳහා ගොනා, බූරුවා පසු කලෙක අශ්වයා, ඔටුවා, අලියා වැනි සතුන් පාවිච්චි කර තිබේ.

දැනට හමුවී ඇති සාක්ෂි අනුව ක්‍රි:පූ: 8000දී පමණ ගොනා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගනු ලැබ ඇති අතර අශ්වයා යොදා ගෙන ඇත්තේ ක්‍රි:පූ: 4000ත් 3000ත් අතර කාලයේදීය. ඔවුන් විසින් මෙම සතුන් යොදා අදිනු ලබන කරත්ත වැනි උපකරණ නිෂ්පාදනය කරන ලදී. ඒවා භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම මිනිසුන්ගේ ගමන් සඳහාද යොදා ගෙන තිබේ.

 

රෝදයේ උපත

මෙලෙස සතුන් යොදාගෙන ආරම්භ කළ ප්‍රවාහනයේ විප්ලවයක් ඇති කළේ රෝදය සොයා ගැනීමය. මෙය දිගු කාලීන අත්දැකීම් මත නිර්මාණය වූ සොයා ගැනීමක් බව පෙනේ. විශේෂයෙන් මිනිසා ශිෂ්ටාචාර ගතව ගංගා ආශ‍්‍රිතව ජනාවාස ඉදිකිරීමට පටන් ගැනීමත් සමග එකී ඉදිකිරීම් සඳහා දැව කඳන්, ගල් කුට්ටි වැනි විශාල බරකින් යුතු දේ එක් තැනක සිට තව තැනකට ගෙන යා යුතු විය. මෙම විශාල බර වස්තු සතුන් පිට පැටවිය නොහැකි වූ  අතර සතුන් හා මිනිසුන් එක්ව බිම දිගේ ඇදගෙන යාමද ඉතා දුෂ්කර විය. මේ දුෂ්කරතාවයේ අභියෝගය ජය ගැනීම උදෙසා සොයාගත් උපකරණය වූයේ රෝදයයි. මෙය බොහෝ විට අහම්බීය ආරම්භයකින් පටන් ගන්නට ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස විශාල ගසක් බිම දමා සතුන් යොදා මිනිසුන් එක්ව එය ඇදගෙන යාමට උත්සාහ දරන විට එය අහම්බයකින් තවත් කුඩා දැව කඳක් මතට වැටී තිබුණේ නම් මහා කඳ අදින විට කුඩා දැව කඳ රෝල් වෙමින් ගමන් කිරීම නිසා එම කාර්යය පහසු වන්නට ඇත. ඉන් ලබා ගත් අත්දැකීම පසුව රෝදය නිපදවන්නටත් ඇක්සලය නිපදවා ඊට රෝදය සවිකොට ප්‍රාථමික කරත්තය නිර්මාණය කර ගැනීමටත් හේතු වන්නට ඇත.

රෝදය සොයා ගනු ලැබුවේ නව ශිලා යුගයේදී යැයි විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් ක්‍රි:පූ: 4500 හා 3000 අතර කාලයේ දැව රෝදය පාවිච්චි කර තිබේ. ක්‍රි:පූ: 4000 – 3500 අතර කාලයේ මෙසපොතේමියාවේ දැව රෝදය භාවිතා කළ බව විශ්වාස කෙරේ. පසුව මැටි වලින් තැනූ රෝදය පාවිච්චි කර ඇත. පුරාවිද්‍යාත්මක ගවේෂණ වලට අනුව රෝදයේ පළමු සාක්ෂි මෙසපොතේමියාවේ (සුමේරියානු ශිෂ්ටාචාරය) හා ඊට සමගාමීව කොකේසියානු ප්‍රදේශවලත් නැගෙනහිර යුරෝපයේත් හමුව තිබේ. ඒවා ක්‍රි:පූ: 3500ක් පමණ පැරණි ඒවා බව පැවසේ.

 

පංති සමාජයේ බිහිවීම හා ප්‍රවාහනය

මේ කාලය වන විට ප්‍රාථමික සාමූහික සමාජය බිඳ වැටී පළමු පංති සමාජය ලෙස යුරෝපාකරයේ වහල් සමාජ ක්‍රමය බිහි වෙමින් පැවතුණි. මෙහිදී නිෂ්පාදනය වේගවත් වීමත් නගර ඉදිකිරීමත් ඒ සඳහා වහලුන් ලෙස මිනිස් ශ්‍රමය හා සතුන් පාවිච්චි කිරීමත් වැඩි වැඩියෙන් සිදුවූ බව පෙනේ. වහල් සමාජය බිහි වීමත් සමග මිනිසුන් විසින් ඔසවා ගෙන යනු ලබන දෝලාවන්, සතුන් විසින් හෝ සමහර විට මිනිසුන් විසින් ද ඇද ගෙන යනු ලබන කරත්තය ද බිහි විය. දෝලාව හෙවත් පැලැක්කිය පාවිච්චි කරනු ලැබුවේ රජවරුන් හා ප්‍රභූවරුන්ගේ ගමන් සඳහා ය. මේවා ආසියානු කලාපය තුළත් ආසියාතික සමාජය තුළත් සමකාලීනව බිහි විය. ලංකාව හා ඉන්දියාව වැනි රටවල් බර ඇදීමට වැඩියෙන් යොදා ගන්නා ලද්දේ හීලෑ කර ගත් අලියා ය. ගොනුන් ද බර ඇදීමට යොදා ගන්නා ලද අතර ගොනුන් අදින කරත්ත මෙන්ම අලින් විසින් අදින ලද විශාල කරත්ත ද නිපදවා තිබේ. යුරෝපයේ දී අශ්වයා හීලෑ කිරීමත් සමග ගොනාගේ තැන අශ්වයා විසින් අත්කර ගන්නා ලදී. අශ්වයා ජවාධික සතෙකු වීමත් උගේ වේගය හා වැඩි බරක් ගෙන යාමේ හැකියාව නිසා අශ්වයා ගමනාගමනයේදී මෙන්ම (පිටේ යාම) කරත්තයට බැඳීමේ දී ද වඩා හොඳ සතෙකු විය. යුරෝපයේ අශ්ව කරත්තය බිහි වූයේ ඒ අනුව ය. තනි අශ්වයෙක් අදින කරත්තය මෙන්ම අසුන් කිහිප දෙනෙකු අදින කරත්ත ද බිහි විය. අද පවා වාහනවල බලය මනිනු ලබන්නේ ‘අශ්ව බල’වලින් වීම මගින් අශ්වයා ප්‍රවාහනයේදී අත්කර ගත් සුවිශේෂී ස්ථානයේ තරම පැහැදිලි වේ.

අශ්ව කරත්තය බිහිවීමත් සමග ඒ සඳහා මාවත් ඉදිකිරීම ද අවශ්‍ය විය. ලී රෝදයට පසුව යකඩ පට්ටම් ගසා කරත්ත රෝදය තැනූ අතර එම කරත්ත ගමන් කිරීම සඳහා පුරාණ නගරවල කළු ගල් ඇල්ලූ මාර්ග ද තනා තිබී ඇත. පුරාණ රෝමයේත්, පර්සියාවේත් පුරාණ නගරවල ඉතිරිව ඇති පුරාවිද්‍යාත්මක සාධක අතර ගලින් කළ මාර්ග ද කරත්ත රෝදවලට එම මාර්ග ගෙවී ඇති ආකාරය ද දක්නට තිබේ. ඉතාලියේ විසූවියස් ගිනි කන්ද පිපිරීම නිසා සැඟව තිබූ පසුව සොයා ගත් පොම්පේ නුවර ද කළු ගලින් කළ මාර්ග හා ඒවා කරත්ත රෝදයට ගෙවී ඇති අයුරු පෙනෙයි. කෙසේ වෙතත් පංති සමාජය තුළ ආරම්භක ශිෂ්ටාචාර පැන නගින විටම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සතුන් බැඳි කරත්තය නිර්මාණය වී වර්ධනය වූ බව ඉතා පැහැදිලිය.

 

ප්‍රවාහනය හා නාවුක මාර්ග

ප්‍රවාහනයේ දී හා ගමනාගමනයේ දී මිනිසාට මුහුණ දීමට සිදු වූ අනෙක් අභියෝගය ගංගා හා මුහුදු තරණය කිරීම ය. මිනිසාට බොහෝ දුරක් ගැඹුරු ජලයේ පිහිනිය නොහැකි විය. එබැවින් ඊට උපකරණයක් තනා ගැනීමට පරිසරය විසින් ඔහුට බල කරන ලදී. ඒ අනුව මුලින්ම ලී කොට එකතු කොට තනා ගත් ‘පහුර’ නාවුක ප්‍රවාහනයේ ආරම්භය සනිටුහන් කළේය. ආරම්භයේ දී ගංගා, ඇළ දොළ ආදියෙන් එගොඩ වීමටත් ගංගා දිගේ ජලය මාධ්‍යයක් කර ගනිමින් භාණ්ඩ ප්‍රවාහනයටත් ලී පහුර යොදා ගන්නා ලදී. පසුව ඔරුව වැනි සරල නිර්මාණ බිහි විය. මෙයට වසර ලක්ෂයකට එක් ලක්ෂ විසි දහසකට පමණ පෙර හෝමෝ සේපියන්වරු ලොව පුරා පැතිර යද්දී ඔවුන් සාගරයන් ද තරණය කළ බවට උපකල්පනය කළ හැක. කෙසේ වෙතත් නාවික ගමනාගමනය පිළිබඳ අපට ප්‍රථම සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ. 6වැනි සියවස්වල ය. ක්‍රි.පූ. 6වැනි සියවස කාලයේ ග්‍රීසියේ පැවැති යුද්ධවල දී නාවික බලය යොදා ගෙන අතර ලංකාවේ ඉතිහාස කථාවලට අනුව ද ක්‍රි.පූ. 6වැනි සියවසේ ඉන්දු යුරෝපීයන් ලංකාවට පැමිණ ඇත්තේ මුහුදු මාර්ග මගිනි. ඒ අනුව ගොඩබිම් ප්‍රවාහනයට නාවුක ප්‍රවාහනය ද එක්වේ. මුලදී නාවුක ප්‍රවාහනයට මිනිස් බලයත්, (හබල් ගෑම) සුළං බලයත් (රුවල්) හා ඒ දෙකමත් යොදා ගත් අතර පසුව වාෂ්ප බලය සොයා ගැනීමත් සමග නාවුක ගමනාගමනයේ මෙන්ම ගොඩබිම් ගමනාගමනයේ ද විප්ලවීය වෙනසක් ඇති විය.

 

ප්‍රවාහනයේ බලශක්ති ප්‍රභවයෝ

ප්‍රවාහනය සේවාවක් හා කර්මාන්තයක් ලෙස ක්‍රමිකව දියුණු වෙද්දී ඊට අත්‍යවශ්‍ය සාධකය වූයේ බලශක්තියයි. ඊට විද්‍යාව හා තාක්ෂණය අවශ්‍ය විය. නිෂ්පාදන උපකරණවල දියුණුවත් සමග විද්‍යාව හා තාක්ෂණය දියුණු වූ අතර එය ප්‍රවාහනය සඳහා උපකරණ (කරත්තය, නැව, දුම්රිය, වාහන) තැනීමට ඉවහල් වූ අතර ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලය සපයා ගත හැකි වූයේ නව බලශක්ති ප්‍රභවයන් සොයා ගැනීමෙනි.

පොදුවේ ගත් විට ප්‍රවාහනය සඳහා යොදා ගත් බලශක්තීන් අනුව පිළිවෙළින් මෙසේ සඳහන් කළ හැක. I. මිනිස් බලය (human power) II. සත්ව බලය (animal power) III සුළං බලය (wind power) (ජලයේ ප්‍රවාහනය සඳහා) IV. වාෂ්ප බලය (steam power) හා ඉන් පසු ඉන්ධන, විදුලිය හා පරමාණු බලය ලෙසිනි.

ධනවාදයේ ආරම්භයත් සමග භාණ්ඩ නිෂ්පාදනය ඉහළ ගිය අතර වෙළඳ පොළවල් ද පුළුල් විය. ඒ අනුව විශාල පරිමාණ භාණ්ඩ ප්‍රවාහනයක් ඇති වූ අතර මිනිසුන්ගේ ගමන් බිමන් ද වැඩි විය. ප්‍රවාහනයේ ඇති වූ මේ විශාල අවශ්‍යතාවය පැරණි ප්‍රවාහන ක්‍රම මගින් සැපිරිය නොහැකි විය. අලුත් ප්‍රවාහන ක්‍රම හා ඒ සඳහා බලශක්තිය අවශ්‍ය විය. පොදුවේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා නව බලශක්තියක් අවශ්‍ය වී තිබිණි. එම අවශ්‍යතාවය සපුරාලන ලද්දේ වාෂ්ප බලය විසිනි. වාෂ්ප බලයක් ලෙස යොදා ගත හැකි බව වටහා ගැනීමත් සමග වාෂ්ප එන්ජිම නිර්මාණය විය. මේ සමග 0I වැනි කාර්මික විප්ලවයේ යුගය (ක්‍රි:ව:1760-1820) ආරම්භ විය. 1751 දී ජේම්ස් වොට් විසින් ප්‍රථම වාෂ්ප එන්ජිම නිපදවන ලදී. ඉන්පසු ගොඩබිම ගමනාගමනයටත් විශේෂයෙන් නාවික ගමනාගමනයටත් වාෂ්ප බලය යොදා ගැනීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1800 වනවිට ප්‍රථම ධූම නෞකාව බිහිවිය. වාෂ්ප බලයෙන් ක්‍රියාකරන එන්ජින් නිර්මාණය වීමත් සමග ගොඩබිම ප්‍රවාහනයේ විශාල පංගුවක දායකත්වයක් දුම්රිය විසින් අත්පත් කර ගන්නා ලදී.

අංග සම්පූර්ණ දුම්රිය එන්ජිමක් මුල්වරට නිපදවා ඇත්තේ 1802 දී රිචර්ඞ් ට්‍රෙවිතික් (Richard Trevithick) නමැත්තා විසිනි. සුප්‍රසිද්ධ ජෝර්ජ් ස්ටීෆෙන්සන්ගේ දුම්රිය එන්ජිම නිපදවා ඇත්තේ 1829 කාලයේදීය. ප්‍රවාහනයට දුම්රිය හා දුම් නැව එකතුවීම මහා පරිමාණ ප්‍රවාහන අවශ්‍යතා සැපිරීම අතින් විශාල ඉදිරි පියවරක් විය. මෙහිදී බලශක්තිය සඳහා අමුද්‍රව්‍ය ලෙස දැව හා ගල් අඟුරු යොදා ගන්නා ලදී.

 

දෙවන කාර්මික විප්ලවය

ධනවාදය තුළ ප්‍රවාහන ඉල්ලූමේ අවශ්‍යතාවය සැපිරීමට වාෂ්ප බලයද ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා නව බලශක්තියක අවශ්‍යතාවය මතුවිය. වාෂ්ප බලයේ ස්ථානය ඩීසල් එන්ජිම විසින් අත්පත් කර ගත්තේ මේ තත්වය යටතේය. මෙය සිදුවූයේ ධනවාදයේ දෙවන කාර්මික විප්ලවය සමයේ ය. 2වැනි කාර්මික විප්ලවය 1870 ඇරඹී 1914 පළමු ලෝක යුද්ධයේ ආරම්භය දක්වා පැවතිණි. රුඩොල්ෆ් ඩීසල් නමති අය විසින් පළමු වරට ඩීසල් එන්ජිමක් නිර්මාණය කරන්නේ 1892 දීය. පොසිල ඉන්ධනයක් වූ තෙල් බලශක්තියක් ලෙස සොයා ගැනීමත් සමග ප්‍රවාහනයේ මහා පෙරළියක් ඇති විය. මුලදී වාෂ්ප බලය ධූම නෞකා හා දුම්රිය සඳහා හොඳින් යොදා ගත්තද ගොඩබිම මගී ප්‍රවාහනයට වාෂ්ප බලය යොදා ගැනීම එතරම් සාර්ථක වූයේ නැත. ගොඩබිම ප්‍රවාහනයේදී අශ්වයාගේ තැන පැහැර ගැනීමට වාෂ්ප බලයට නොහැකි විය. එහෙත් තෙල් ඉන්ධන සොයා ගැනීමත් සමග ගොඩබිම ප්‍රවාහනයේදී එය විසින් විශාල පරිවර්තනයක් කරන ලදී. ඒ අනුව පෙට‍්‍රල්වලින් දුවන මෝටර් රථය බිහි විය. 1800 මුල් කාලයේ සිටම විවිධ අය මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට විවිධ උත්සාහයන් දැරූ අතර නූතන මෝටර් රථය නිර්මාණය කරන ලද්දේ 1879 කාලයේ ජර්මනියේ කාර්ල් බෙන්ස් විසිනි. පාපැදිය හා පසුව යතුරු පැදිය නිර්මාණය වීමද ප්‍රවාහනයේ වැදගත් සන්ධිස්ථානයන් විය.

 

ප්‍රවාහනය අභ්‍යවකාශය දක්වා

ප්‍රවාහනයේ ඉතිහාසය දෙස මෙලෙස බලන විට මිනිසා බිහි වීමෙන් පසු ඔහු ජීවත් වූ පළමු සමාජ ක්‍රමය වන ප්‍රාථමික සමූහික සමාජය තුළ සරල ලෙස ආරම්භ වූ ප්‍රවාහනය (භාණ්ඩ හා මිනිසුන් තැනින් තැනට රැගෙන යාම) පංති සමාජයේදී නිෂ්පාදනය වැඩි වීමත් සමග වර්ධනය වීමට පටන් ගෙන ධනවාදය තුළදී මහා පිමි පනිමින් වර්ධනය වී ඇති බව පැහැදිලිවම පෙනේ. ආරම්භයේ සතුන්ගේ හා මිනිසුන්ගේ බලය යොදා කළ ප්‍රවාහනය, පසුව වාෂ්ප බලය, ඩීසල් හා එවැනි ඉන්ධන බලය, විදුලි බලය හා පරමාණු බලය දක්වා දියුණු වී ඇත.

ආරම්භයේ ගොඩබිම ප්‍රවාහනයෙන් ඇරඹි ප්‍රවාහනය පසුව ගංගාවල හා මුහුදු මාර්ගවල නාවුක ප්‍රවාහනය දක්වාත් ඉන්පසු 1903 රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය නිපදවීමත් සමග ගුවන් ගමන් දක්වාත් වර්ධනය වී පසුව 1960 දශකයේ ආරම්භයත් සමග සෝවියට් පුරවැසියකු වූ යූරි ගගාරින් අභ්‍යවකාශයේ සැරිසැරීමත් සමග අභ්‍යවකාශ තරණය දක්වා වර්ධනය විය. මේ අනුව දැන් නවීන මහාමාර්ග, උමං දුම්රිය, විදුලි දුම්රිය, විශාල නැව්, යාන වාහන, ගුවන්යානා ආදී ලෙස ගොඩබිමත්, සාගරය හා අහස ආවරණය කර ගත් විශාල ප්‍රවාහන සේවාවක් හා කර්මාන්තයක් වර්ධනය වී ඇත. ප්‍රවාහනයේ ඉතිහාසය දෙස බලන විට ඒ තුළ පැවති පංතිමය ස්වභාවයද දැකිය හැක. ප්‍රවාහනය සඳහා විශේෂයෙන් ගමනාගමනය සඳහා සොයා ගන්නා ලද බොහෝ උපකරණ මුලින් ම පාවිච්චි කර ඇත්තේ දේපළ හිමි ප්‍රභූ පන්ති විසිනි. අතීතයේ තිබූ දෝලාව ප්‍රභූන් සඳහාම වෙන් වූවක් විය. අශ්වයා ද, ඇතා ද බොහෝ විට පාවිච්චි කරන ලද්දේ රජුන් හා ප්‍රභූන් ය. ධනවාදය තුළ මෝටර් රථය බිහි වන විට එහි ප්‍රථම හිමිකරුවන් වූයේ දේපළ හිමියන් ය. ඊට පෙර තිබූ අශ්ව කරත්තය ද එසේය. ප්‍රභූන්, අශ්වයා පිට යන විට සාමාන්‍ය මිනිසා පයින් ගිය අතර වැඩිම වුණොත් ඔහුට හැකි වූයේ බූරුවකු පි ට යාමය. නූතන ධනවාදය තුළ පවා ප්‍රවාහනයේ මෙම පංති පරතරය තිබේ. එය ද ප්‍රවාහනයේ එක් ගැටලුවකි.

කෙසේ වෙතත් ධනවාදය තුළ ප්‍රවාහනය අත්පත් කර ගත් වර්ධනයම බරපතළ ගැටලු රැසක් මතු කිරීමටද, අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමටද, මිනිස් අවශ්‍යතා සපුරාලීමට නොහැකිව ප්‍රවාහන අර්බුදයක් නිර්මාණය කිරීමටද හේතු වී ඇත. දැන් අප කළ යුත්තේ මෙම අර්බුදය නිවැරදිව හඳුනා ගැනීමත් ඊට පිළියම් සෙවීමත් ය.

විමර්ශන