පක්ෂයක් අවශ්‍ය ඇයි?

rsz_womens-stages
‘Women’s Day’
March 8, 2019
124388-050-EFAFCE59
ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය
March 14, 2019
Show all

පක්ෂයක් අවශ්‍ය ඇයි?

 

 හැඳින්වීම

ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී ක්‍රමය ගොඩ නැගිය යුතුය. මෙය මිනිස් සංහතිය අද දවසේ මුහුණ පා ඇති බැරෑරුම් සහ අතිශය නිර්මාණශීලී කාර්යභාරය වේ. සමාජවාදය ගොඩනැගීම කිසිවකුගේ හිතුමතයට කළ නොහැකිවාක් මෙන්ම, එය ඉබේ සිදුවන්නක් ද නොවේ. ඒ සඳහා පළමුව නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය දිනා ගත යුතු අතර, රාජ්‍ය බලය දිනා ගැනීමෙන් පසුව ද, නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව විසින් දැනුවත්ව කටයුතු කරමින් බොහෝ අභියෝගයන් ජය ගත යුතුව තිබේ. ඒ සඳහා නිර්ධන පංතියට තමන්ගේම වූ ස්වාධින සංවිධානයක් අවශ්‍ය වේ. සංවිධානයක් නොමැතිව එම කාර්යයන් කිසි සේත් ඉටු කිරීම කිසි සේත් කළ නොහැක්කකි.

පොදුවේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ගොඩ නැඟුණු විවිධ සංවිධාන රාශියක් සමාජයේ දැකිය හැකිය. මේවා කරන කටයුතු සහ ඒවායේ අරමුණු අනුව විවිධ පංතීන්ට අයත් ය. ඇතැම් ඒවා ප්‍රගතිශීලී  වන අතර ඇතැම් ඒවා ප්‍රතිගාමී වේ. කෙසේ වුව ද මේවායින් කොටසක් හුදු සංවිධාන ලෙස දැකිය හැකි අතර, අනෙක්වා දේශපාලන පක්ෂ වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

>දේශපාලන පක්ෂ යනු මොනවා ද?

ඍජු ලෙසම බලය දිනා ගැනීම හෝ පවත්නා බලය තහවුරු කොට ආරක්ෂා කිරීම සඳහා වූ පංතිමය සංවිධාන වේ.

ධනපති පංතියේ දේශපාලන පක්ෂ එම පංතියේ පංති ආධිපත්‍ය, රාජ්‍ය බලය ලෙසින් පවත්වා ගැනීම සඳහා ගොඩ නගා ගත් සංවිධාන වන අතර, සුළු ධනපති දේශපාලන පක්ෂ විසින් පවතින ධනේෂ්වර ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

මේ නිසා නිර්ධන පංතියට ද තමන්ගේම වූ දේශපාලන පක්ෂයක් ගොඩනගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත්, වෙනත් කිසිදු පංතියක දේශපාලන පක්ෂයක් විසින් නිර්ධන පංතියේ අවශ්‍යතාවයන් නියෝජනය නොකරන අතර ඊට ප්‍රතිවිරුද්ධව ඒවා නිර්ධන පංතිය රාජ්‍ය බලය දිනා ගැනීම වැළැක්වීම සහ ධනපති ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා ගොඩනැගී ඇති බැවිනි.

නිර්ධන පංතියේ දේශපාලන පක්ෂය, අනෙක් සෑම දේශපාලන පක්ෂයකටම වඩා හාත්පසින්ම වෙනස් අරමුණක් සඳහාත්, වෙනස් ව්‍යුහයන් අනුවත්, වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කර ගනිමිනුත් ගොඩ නැගී ඇත. මෙවැනි දේශපාලන පක්ෂයක් වඩාත් අංග සම්පූර්ණ ලෙස පරිණතභාවයට පත් වූයේ නිර්ධන පංතියේ දේශපාලන අරමුණු ප්‍රතිගාමී හා අවස්ථාවාදී අරමුණු තුළ දිය කර හැර දැමීමට එරෙහිව නිර්ධන පංතියේ සැබෑ නායකයින් විසින් ගෙන යන ලද අප්‍රතිහත සහ දීර්ඝ කාලීන වූත්, දුෂ්කර වූත් අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. නිර්ධන පංතියේ පංති අරමුණු ප්‍රතිගාමී වඩාත් ම උසස් ලෙසත් පැහැදිලි ලෙසත් පිළිබිඹු කෙරෙන ආකාරයට පක්ෂය ගොඩනැඟූ අවස්ථාව ලෙස රුසියාවේ ලෙනින්ගේ නායකත්වයෙන් ගොඩ නැගුණු බොල්ෂෙවික් පක්ෂයේ බිහිවීම සැලකිය හැකිය.

සමාජවාදී සමාජ විප්ලවයේ වෙනස කුමක් ද?”

සමාජවාදී සමාජ විප්ලවය පූර්ව සමාජ විප්ලවයන්ගෙන් (මෙතෙක් සිදු වූ සමාජ විප්ලවයන්ගෙන්) මුළුමනින්ම වෙනස් ආකාරයක විප්ලවයකි. සමාජ ඉතිහාසයේ සිදු වූ පළමුවන සමාජ විප්ලවය සමාජවාදී විප්ලවය නොවේ. මුල්ම සමාජ ක්‍රමය ප්‍රාථමික සාමුහික සමාජය ද ඉන් පසු බිහි වූ වහල් හිමි, වැඩවසම් හා ආසියාතික යන සමාජ ක්‍රම ද ධනේෂ්වර ක්‍රමය බිහිවීමට පෙර පැවති අභාවයට ගිය සමාජ ක්‍රම වේ. සමාජීය සංවර්ධනයේ දී විවිධ සමාජ ක්‍රම ඇති වී කාලයක් පැවතී අභාවයට යන ලදී. යම් සමාජ ක්‍රමයක් අභාවයට යවමින් නව සමාජ ක්‍රමයක් පැවැත්මට ඒම සිදු වනුයේ සමාජ විප්ලවයක් තුළිනි. මෙවැනි සමාජ විප්ලව තුළින් ප්‍රාථමික සාමුහික සමාජය අභාවයට යවමින් වහල් ක්‍රමය ද, වහල් ක්‍රමය අභාවයට යවමින් වැඩවසම් සමාජ ක්‍රමය ද ජනිත විය. ආසියාතික ක්‍රමය යනු ලංකාව වැනි ආසියාතික රටවල ප්‍රාථමික සාමුහික සමාජයෙන් අනතුරුව පැන නැගි සමාජ ක්‍රමය වේ. ධනේෂ්වර ක්‍රමය ද අභාවයට යවමින් ජනිත වන නව සමාජ ක්‍රමය වන කොමියුනිස්ට් සමාජයේ ආරම්භක අවධිය සමාජවාදී සංක්‍රමණීය අවධිය වේ. මෙම සමාජ විප්ලවය සමාජවාදී සමාජ විප්ලවය නම් වේ. සමාජවාදී සමාජ විප්ලවය සෑම සමාජ විප්ලවයකින්ම මූලික වශයෙන් වෙනස් වේ. මෙම වෙනස්කම් මොනවා දැයි පරීක්ෂා කර බලමු.

>නව සමාජයේ කළල බීජය පැරණි සමාජ ක්‍රමය තුළ බිහි නොවීම.

පූර්ව සමාජ විප්ලවයන්හි දී නව සමාජ ක්‍රමයේ කළල බීජය පැරණි සමාජ ක්‍රමය තුළ ගැබ් ගන්නා ලදී. පැරණි සමාජ ක්‍රමයේ අවපාත අවධියේ දී එසේ ගැබ් ගත් නව සමාජ ක්‍රමයේ කළල බීජය පැරණි සමාජ ක්‍රමය තුළ වැඩී පැරණි සමාජ ක්‍රමය අභාවයට යවමින් බිහි විය. වැඩවසම් සමාජ ක්‍රමය පෙරළා දමා ධනපති සමාජ ක්‍රමය බිහි වන විට ධනපති ක්‍රමයේ කළල බීජය පැරණි වැඩවසම් සමාජ ක්‍රමය තුළ බිහි වී තිබිණි. වැඩවසම් සමාජ ක්‍රමය තුළ පහළ පංතීන් අතර නිදහස් පුරවැසියන් පිරිසක් බිහි වූ අතර ඔවුහු එකී සමාජ ක්‍රමය තුළ පැවති භාණ්ඩ හුවමාරුවේ දී අතරමැදියන් ලෙස කටයුතු කිරීමට පටන් ගත්හ.

මෙය වෙළඳාම දක්වා දියුණු වූ අතර ඒ නිසා ඔවුන් අත මුදල් රැස් විය. මෙම පිරිස ක්‍රමයෙන් වැඩි වූ අතර පසුව වෙළඳාමේ අයිතිය මෙන්ම ඊට ගැළපෙන පරිදි වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය ද ඔවුන් විසින් අරඹන ලදී. මෙය ප්‍රාග්ධන රාශීභූතකරණය ලෙස හඳුන්වයි. පසුව තමන්ට බාධාවක් වූ වැඩවසම් සබඳතා පුපුරුවා දමා ධනපති ක්‍රමය නිර්මාණය කරන ලද්දේ මෙම නව පංතියයි. ඒ සඳහා ඔවුන් වැඩවසම් ක්‍රමය තුළ සිටි පීඩිත පංතීන්ගේ ද සහාය ලබා ගන්නා ලදී.

එහෙත් සමාජවාදී සමාජ විප්ලවයේ දී එය එසේ නොවේ. සමාජවාදය තුළ දී පොදු දේපළ ක්‍රමයක් පවත්වාගෙන යනු ලැබේ. එක්තරා පෞද්ගලික දේපළ ක්‍රමයක් සහිත සමාජයක් තුළ තවත් පෞද්ගලික දේපළ ක්‍රමයක් බිහි විය හැකිය. එහෙත් පොදු දේපළ සහිත සමාජ ක්‍රමයක් බිහිවීමට නොහැකිය. මන්ද, එසේ වූ විට එසේ බිහි කිරීමට උත්සාහ ගන්නා පොදු දේපළ පෞද්ගලික දේපළ විසින් ගිල දමන බැවිනි. එබැවින් කොමියුනිස්ට් සමාජයේ කළල බීජය ධනපති සමාජ ක්‍රමය තුළ නොවැඩේ.

>දේපළ හිමි පංතිය අතින් දේපළ අහිමි පංතිය අතට බලය මාරු වීම

පූර්ව සමාජ විප්ලවයන් තුළ සිදු වූයේ එක් දේපළ හිමි පංතියක් අතින් වෙනත් දේපළ හිමි පංතියක් අතට බලය මාරු වීමයි. මෙලෙස වහල්හිමියන් ඉවත් වී ඉඩම් හිමියන් ද, ඉඩම් හිමියන් ඉවත් වී ධනපතියන් ද බලයට පත් වූහ. නමුත් සමාජවාදී විප්ලවයේ දී මිනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේපළ අහිමි පංතියක් වූ නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය මාරු වේ.

>සූරාකෑම අහෝසි කිරීම අරමුණු කර ගත් විප්ලවයක් වීම

මෙතෙක් සිදු වූ විප්ලවයන්හි දී සූරාකෑම සඳහා තත්වයන් බිහි කරමින් සූරාකෑමේ ස්වරූපය පමණක් වෙනස් කරන ලදී. නමුත් සූරාකෑම පවත්වාගෙන යන ලදී. මේ අනුව වහල්හිමියා විසින් වහලා ද, ඉඩම් හිමියා විසින් ප්‍රවේණිදාසයා ද ධනපතියා විසින් නිර්ධනයා ද සූරා කන ලදී. ඒ අනුව පූර්ව සමාජ විප්ලවයන් තුළින් සූරා කන පංතීන් සූරාකෑමේ නව ආකාරයන් සොයා ගත්තා පමණි. නමුත් මීට ප්‍රතිලෝමව සමාජවාදී සමාජ විප්ලවය මගින් සූරාකෑම සදහටම අහෝසි කරනු ලබයි. එය එසේ වනුයේ, ධනේෂ්වර සමාජයේ දී නිෂ්පාදනයේ ද්‍රව්‍යමය තත්වයන් වර්ධනය වන්නේ සූරාකෑම ඓතිහාසික වශයෙන් යල පැන ගිය දෙයක් පවට පත් කරවමින් වන නිසා ය. වෙනත් වචනවලින් කියන්නේ නම් පොදු දේපළ අයිතියක් සහිත සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින්නේ ධනපති ක්‍රමයේ සීමාව ඉක්මවා වැඩුණු නිෂ්පාදන බලවේගයන් විසිනි. එබැවින් සමාජවාදී විප්ලවයේ දී තවත් සූරාකෑමේ ක්‍රමයක් ආදේශ වීමට කිසි සේත් ඉඩක් නොමැත. ධනපති ක්‍රමය තුළ දී සූරාකෑම පුළුල් කිරීමටත් ප්‍රාග්ධනය මධ්‍යගත කිරීමටත් ය=වඩාත් වැඩි වශයෙන් සිදු වී තිබීම මෙයට හේතු වී තිබේ.

>විප්ලවයේ ආරම්භය අලුත් පාලක පංතිය අතට රාජ්‍ය බලය ලැබීමත් සමග සිදුවීම

පූර්ව සමාජ විප්ලවවල දී අලුත් පීඩක පංතිය අතට රාජ්‍ය බලය ලැබීම විසින් එම විප්ලවය සම්පූර්ණ කරන ලදී. නිදසුනක් ලෙස වැඩවසම් ක්‍රමය තුළදීම බිහි වී වර්ධනය වූ ධනපති පංතිය සකලාකාරයෙන්ම වර්ධිත ධනපති පංතියක් බවට පත් විය. ධනේෂ්වර ක්‍රමය සමාජ ක්‍රමයක් වශයෙන් තහවුරු වීම සඳහා අවශ්‍ය වී තිබුණේ පැරණි පීඩක පංතිය වූ රදළ ඉඩම් හිමියන් අතින් ධනපති පංතිය අතට රාජ්‍ය බලය මාරු වීම පමණි. එසේ රාජ්‍ය බලය ලැබීම විසින් සනිටුහන් වූයේ ධනපති පංතිය සම්පූර්ණ සමාජ ආධිපත්‍ය ලැබී ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ වීම ය.

නමුත් සමාජවාදී විප්ලවයේ දී විප්ලවයේ ආරම්භය රාජ්‍ය බලය ලැබීම තුළින් ප්‍රකාශිත වේ. මෙය මෙසේ සිදුවන්නේ සමාජවාදී සමාජ ක්‍රමයේ කළල බීජය ධනේෂ්වර ක්‍රමයේ ගර්භාශය තුළ බිහි නොවන නිසා ය. ඊට වෙනස් වන සමාජවාදී සමාජ ක්‍රමය බිහිවන්නේ ධනේෂ්වර පංතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ දැමීමෙන් පසුව පමණි. එම නිසා සමාජවාදී විප්ලවය ධනේෂ්වර විප්ලවය මෙන් නොව නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලැබීමත් සමග ආරම්භ වේ.

>විප්ලවවාදී පංතිය, විප්ලවය සඳහා සවිඥානක ලෙස මැදිහත්වීම සහ නායකත්වය දීම

 

පූර්ව සමාජ විප්ලවයන් සමාජවාදී සමාජ විප්ලවයේ දී පීඩිත පංතීන් ඒ සඳහා මැදිහත්වීමේ දී වන සවිඥානක භාවයට සාපේක්ෂව බලන විට අවිඥානකව සිදු වුණු නැතහොත් ස්වයං සිද්ධව සිදු වූ විප්ලවයන් ලෙස හැඳින්විය හැකිය. පූර්ව සමාජ විප්ලවයන් සිදු වූයේ සමාජ සංවර්ධනයේ නියාමයන්ට මිනිසුන් අවිඥානක ලෙස යටත් වීමක් ලෙසිනි.

නිදසුනක් ලෙස වැඩවසම් ක්‍රමය අභාවයට යවමින් ධනේෂ්වර ක්‍රමය බිහිවීමේදී එම විප්ලවය සඳහා සමාජ පංතීන් මැදිහත් වූයේ එය ඓතිහාසික අවශ්‍යතාවයක් බව නොදැන ය. එම ඓතිහාසික අවශ්‍යතාවය විසින් විප්ලවයේදී මිනිසුන් යොදවා ගන්නා ලදී. විප්ලවයට සහභාගී වූ පංතීන් තම ඓතිහාසික මෙහෙවර නොදැනම එම මෙහෙවර ඉටු කළහ. මේ අතින් සමාජවාදී සමාජ විප්ලවය ඊට ඉඳුරාම වෙනස් ය. මේ විප්ලවයේ දී ඊට නායකත්වය ගන්නා නිර්ධන පංතිය තමන් කරන්නේ කුමක් දැයි යන්න පිළිබඳව උපරිම සවිඥානක භාවයෙන් යුක්තව ඒ සඳහා මැදිහත් වේ. මෙහිදී නිර්ධන පංතිය සමාජවාදී සමාජ විප්ලවයේ ඓතිහාසික අවශ්‍යතාවයත්, එය නොවැළැක්විය හැකි බවත්, සමාජවාදී සමාජ විප්ලවයේ දී වෙනස් පංති සමාජයන් එය කෙරෙහි දක්වන ආකල්පයත්, මැදිහත්වීම් හා ප්‍රතිචාරයනුත්, විප්ලවයට සාක්ෂාත් කර ගැනීම සඳහා තමන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව දැනුවත්ව මැදිහත්වීම විශේෂ ලක්ෂණයකි.

 

>මුලු මහත් ලෝකයම වෙලා ගත් ජාත්‍යන්තර ස්වරූපයක් දැරීම

 

පූර්ව සමාජ විප්ලව මිනිස් ප්‍රජාවන්ගේ තත්කාලීන ගොනු වීම් වල භෞමික සීමාවන් තුළ සම්පූර්ණ විය. එසේ වීම ස්වාභාවික දෙයක් ද විය. මන්ද යත්, මෙතෙක් පැවති කිසිදු සමාජ විප්ලවයක් මුළු මහත් ලෝකයම වෙලා ගත් ක්‍රමයක් බවට පත් නොවීම නිසා ය. එම නිසා එම විප්ලව ප්‍රාදේශීය ස්වරූපයක් ඉසිලීම, ජාතික ස්වරූපයක් ඉසිලීම ස්වාභාවික විය.

නමුත් සමාජවාදී සමාජ විප්ලවය ජාතික සීමාවන් තුළ කිසිසේත්ම සම්පූර්ණ විය හැක්කක් නොවේ. සමාජවාදී සමාජයේ උසස් අවධිය වන ‘කොමියුනිස්ට්’ සමාජය බිහි වීම සඳහා මුලු මහත් ලෝකයම ධනවාදය අවසාන වශයෙන් පරාජය කර දැමීම පූර්ව අවශ්‍යතාවයකි. මක් නිසාද යත්, ධනේෂ්වර ක්‍රමය ජාත්‍යන්තර ස්වාභාවයක් උසුලන නිසා ය. එබැවින් සමාජවාදී සමාජ විප්ලවය ජාතික සීමාවන් අභිබවා ගිය ජාත්‍යන්තර ස්වරූපයක් ගනු ලබයි.

සමාජවාදී සමාජ විප්ලවයේ නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක භූමිකාව කුමක් ද?

නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් තුළින් පමණක් ඉටු කර ගත හැකි කාර්යභාරය ඉතිහාසය විසින් නිර්ධන පංතියට බාර දී ඇත. එම නිසා එම කාර්යභාරය ඉටු කිරීම සඳහා නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් අවශ්‍යව ඇත. නිර්ධන පංතියට පැවරී ඇති සුවිශේෂ කාර්යභාරය ද, ඊට අදාළ කර්තව්‍යයන් මොනවා ද යන්න පරීක්ෂා කර බැලීම ද මෙහි අරමුණයි.

>නිර්ධන පංතිය, පංතියක් වශයෙන් ස්වාධීනව සංවිධානය කළ යුතු වීම

 

ධනපති පංතිය තම ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ පංතියක් වශයෙන් සංවිධානය වීමෙනි. ඔවුන් නිර්ධන පංතියට එරෙහිව දේශපාලන පක්ෂය තුළ සංවිධානය වී සිටිති. නිර්ධන පංතිය සූරාකෑම සඳහාත් දිගින් දිගටම යටපත් කොට තබා ගැනීම සඳහාත් “ධනේෂ්වර රාජ්‍යය” යන සුවිශේෂී මර්දනකාරී යාන්ත්‍රණයක් ධනපති පංතිය විසින් සංවිධානය කොට පවත්වා ගෙන යනු ලැබේ. ධනපති පංතියේ එම සංවිධානය පරාජය කොට බිඳ දැමීමෙන් තොරව නිර්ධන පංතියට තම විමුක්තිය උදා කර ගත නොහැක. ධනපති පංතියේ මෙම සකලවිධ සංවිධානයන්ට එරෙහිව නැගී සිටීමට නම්, එය පරාජය කර බිඳ දැමීමට නම්, නිර්ධන පංතිය ද අනිවාර්‍යයෙන්ම සංවිධානාත්මක විය යුතුය.

නිර්ධන පංතියට තමන්ගේම වූ විප්ලවකාරී පක්ෂයක් තිබිය යුතුය. එබැවින් නිර්ධන පංතිය සංවිධානය කිරීම සඳහා පක්ෂයක් අවශ්‍ය වේ. ඉතිහාසයේ දී මුලින් ම පක්ෂය ලෙස සංවිධානය වූයේ ධනපති පංතියයි. ඔවුහු තම පංතිමය අරමුණු සඳහා පක්ෂය තුළ සංවිධානය වූහ. එයට එරෙහිව නිර්ධන පංතිය ද පක්ෂයක් තුළ සංවිධානය විය යුතු අතර නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් අවශ්‍ය වන එක් හේතුවක් වන්නේ එයයි. එය එක් කාර්යභාරයක් ද වේ.

බලය සඳහා කරන අරගලයේ දී නිර්ධන පංතියට සංවිධානය හැර අන් අවියක් නොමැත

ලෙනින්

 

>නිර්ධන පංතිය වෙත සමාජවාදී විඥානය ගෙන යා යුතු වීම

 

නිර්ධන පංතිය තුළ සමාජවාදී විඥානය ඉබේ පහල වන්නේ නැත. සමාජවාදී විඥානය යනු

  1. මුළු මහත් ධනපති ක්‍රමය එහි පදනමින් ම අහෝසි කර දැමීමෙන් තොරව සමාජවාදය උදා නොවන බව ඇති වැටහීමත්,
  2. අනාගත සමාජය පංති විරහිත හා සූරාකෑම රහිත පොදු දේපළ අයිතිය සහිත සමානාත්මතාවය රජයන සමාජයක් ය යන වැටහීමත්,
  3. එම සමාජය ගොඩ නැගීම සඳහා නිර්ධන පංතියට දැනුවත් කාර්යභාරයක් පැවරී ඇතැයි යන වැටහීමත්,
  4. සමාජවාදය ගොඩ නැගීමට එරෙහිව ධනපති ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ධනපති පංතිය දරණ සෑම ප්‍රයත්නයක් ම පරාජයට පත් කළ යුතුය යන වැටහීමත් ය.

එම සමාජවාදී විඥානය නිර්ධන පංතිය තුළට ගෙන ආ යුතුව තිබේ. මේ නිර්ධන පංතියේ විප්ලවකාරී පක්ෂයක් නොමැතිව කළ හැක්කක් නොවේ. එබැවින් එම කාර්යභාරය කිරීම සඳහා නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක අවශ්‍යතාවය තිබේ. ඕනෑම සමාජයක රජයනු ලබන්නේ එහි දේපළ හිමි පංතියේ මතවාදය වන නිසාත් නිර්ධන පංති විඥානය ඉබේ පහල නොවන නිසාත් එම මතවාදය පංතිය තුළ තහවුරු කිරීම පක්ෂයක කාර්යභාරය වනු ඇත.

පෙරමුණු සටන්කරු කාර්යභාරය ඉටු කිරීමට හැක්කේ ඉතාමත් දියුණු න්‍යායයෙන් මග පෙන්වීම ලබන පක්ෂයකට පමණි
ලෙනින්, තෝරා ගත් කෘති, 01 වෙළුම – 137 පිටුව.

 

>නිවැරදි භාවිතය සඳහා සංවිධානයක් අවශ්‍ය වීම

නිර්ධන පංතිය මතවාදීමය වශයෙන් සන්නද්ධ වීම පමණක් නිර්ධන පංතියට තම විමුක්තිය උදා කර ගැනීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාකාරීවීම ද අත්‍යාවශ්‍ය වේ. “භාවිතයෙන් තොර වූ න්‍යාය වඳ ය. න්‍යායෙන් තොර භාවිතය අන්ධ ය” එබැවින් න්‍යායික වශයෙන් වූ එකඟතාවය නිවැරදි භාවිතයට ගැනීම සඳහා සංවිධානය වීම අත්‍යාවශ්‍ය ය. එම නිසා නිශ්චිත වැඩපිළිවෙලක් සහිත විනයකින්, ව්‍යූහයකින් හා සංවිධාන ප්‍රතිපත්ති මාලාවකින් සමන්විත වූ පක්ෂයක් නිර්ධන පංතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ය.  න්‍යායන් භාවිතයට ගැනීමට පංතියට මග පෙන්විය යුත්තේ පක්ෂය විසිනි.

>ප්‍රගතිශීලි සමාජමය බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය නිර්ධන පංතියේ නායකත්වය යටතේ පෙළගැස්විය යුතු වීම

 

නිර්ධන පංතිය සමාජවාදී සමාජ විප්ලවයේ නායකත්වය ගන්නා අතර, විප්ලවයේ සියළු මිතුරු බලවේගයන් නිර්ධන පංති නායකත්වය යටතේ, පවත්නා ක්‍රමයට එරෙහිව සංවිධානය කිරීම කළ යුතුය. නොඑසේම විප්ලවය ජය ගත නොහැකි වනු ඇත. එම ප්‍රගතිශීලි බලවේගයන් එනම්, පවත්නා ක්‍රමයෙන් පීඩාවට පත් සියළුම ස්ථරයන් නිර්ධන පංතියේ නායකත්වය යටතේ සංවිධානය කළ හැක්කේ, ඔවුන්ගේ පීඩිත තත්වයන්ට එරෙහි ඔවුන් ගෙන යන සටන, මුළු මහත් ක්‍රමය වෙනස් කිරීම අරමුණු කර ගත් නිර්ධන පංතියේ, පංති අරගලය තුළම අනුගත කර ගැනීමෙන් පමණි. ඒ සමඟ සම්බන්ධ කර ගැනීමෙන් පමණි. එම බලවේගයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලයන් සමාජ විප්ලවය සඳහා වූ අරගලය සමග සම්බන්ධ කළ යුතුය.

මුළු පංතිය පුළුල් ජනතාව එක්කෝ එක එල්ලේම පෙරමුණු බළඇණියට ආධාර කරන නැතහොත් යටත් පිරිසෙයින් එය කෙරෙහි අනුකූලතා පූර්වක මධ්‍යස්ථතාවයක් දක්වන සහ සතුරාට ආධාර නොදෙන ස්ථාවරයක් ගන්නා තැනට ඒමට පෙර පෙරමුණු බල ඇණිය තීරණාත්මක සංග්‍රාමයට ඇද දැමීම හුදෙක් මෝඩකමක් පමණක් නොව අපරාධයක් ද වන්නේ ය.

ලෙනින්, තෝරා ගත් කෘති 10 වෙළුම – 214 පිටුව

නිර්ධන පංතියට මෙය කළ හැකි වනුයේ පංතියේ අරමුණු උසස් ලෙස හා පැහැදිලි ලෙස පිළිබිඹු කරන්නා වූ විප්ලවකාරී පක්ෂයක් තුළින් පමණි.

 

>සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය මනෝ මූලික තත්වයන් පරිණත කළ යුතු වීම

 

සමාජවාදී සමාජ විප්ලවය සඳහා විෂය මූලික සහ මනෝ මූලික තත්වයන් පරිණත විය යුතුය. මනෝ මූලික තත්වයන් පරිණත වීම පිළිබිඹු වන්නේ නිර්ධන පංතියේ විප්ලවකාරී පක්ෂයේ මුහුකුරා වැඩීම තුළිනි.

විෂම මූලික තත්වය පරිණත වීම යනු…

  1. පැරණි ක්‍රමයට පාලනය තව දුරටත් ගෙන යා නොහැකි දේශපාලන අර්බුදයකට ධනපති පංතිය ද,
  2. පැරණි ක්‍රමයට තවදුරටත් ජීවත් වීමට නොහැකි අර්බුදයකට නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත සමාජ ස්ථර පත්වීම ය.

මෙය ඉහළින් හා පහළින් අර්බුදය ලෙස සාහිත්‍යයේ දී හැඳින්වේ. මෙම තත්වය සමහන් වන්නේ එක්කෝ නව ක්‍රමයකට තමන්ගේ පාලනය ශක්තිමත් කිරීමට ධනපති පංතියට හැකි වීමෙනි. (ඒ ධනපති පංතිය ඒකාධිපතිත්වය කරා ගමන් කිරීම) එසේත් නැත්නම් නිර්ධන පංතිය විප්ලවය කරා ගමන් කොට තමන්ට තව දුරටත් ජීවත්වීමට නොහැකි සමාජ ක්‍රමය වෙනස් කිරීමෙනි.

මෙම තත්වය විප්ලවය දක්වා වර්ධනය වීමට නම් මනෝ මූලික වශයෙන් සමාජය ඒ සඳහා සූදානම් කොට තිබිය යුතුය. මනෝ මූලික තත්වය පරිණත වීම යනු එයයි.

මනෝ මූලික තත්වය පරිණත වීම යනු…

  1. පවත්නා විප්ලවීය තත්වය නිර්ධන පංතියේ පක්ෂය විසින් සියල්ලට පළමුව නිවැරදිව තක්සේරු කර ගැනීම.
  2. ඒ තත්වයට මුහුණ දීමට සුදුසු වන සේ අවශ්‍ය ද්‍රව්‍යමය විඥානමය තත්වයන්ගෙන් සම්පූර්ණත්වයට පත්වීම.
  3. විප්ලවීය අරගලයේ දී, විප්ලවීය ජනතාවගේ තිබිය යුතු පරිදි සංවිධානාත්මක හා මතවාදීමය වශයෙන් ජනතා බලවේගයන්ගේ පෙළගැස්වීම.

යන කරුණු සම්පූර්ණ වීමයි.  විප්ලවකාරී පක්ෂයක් නොමැතිව නිර්ධන පංතියට මෙම තත්වය කෙසේවත් ජය ගත නොහැකි වනු ඇත.

>ලෝක ධනවාදයට එරෙහිව නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ඔසවා තැබිය යුතු වීම

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ලෝක නිර්ධන පංති ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියකි. එය අනිවාර්‍යය ප්‍රතිපත්තියක් වන්නේ, ධනවාදය පරාජය කිරීම සම්පූර්ණ වන්නේ ලෝක නිර්ධන පංති ව්‍යාපාරයේම විජයග්‍රහණය තුළින් පමණක් වන බැවිනි. ලෝක නිර්ධන පංති ව්‍යාපාරය නැතහොත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය ගොඩ නැගිය හැක්කේ සෑම රටකම නිර්ධන පංතියේ පක්ෂ, නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ පිහිටුවා එම ප්‍රතිපත්තිය මත එනම්, ලෝක විප්ලවයේ අවශ්‍යතාවය පිළිගනිමින් ලෝක විප්ලවයේ අවශ්‍යතාවයන් සඳහා තම රටේ විප්ලවය අනතුරකට ලක් නොකරමින් දැනුවත් භාවිතයේ යෙදීමේ ප්‍රතිපත්තිය මත සමගි කිරීමෙනි. සංවිධානාත්මක එකඟතාවයකට ගෙන ඒමෙනි. මේ සඳහා නිර්ධන පංතිය විසින් ජාත්‍යන්තර පරිමාණයේ අරගලයක් ලෝක ධනවාදයට එරෙහිවත්, නිර්ධන පංති ව්‍යාපාරයන්ගේ අවස්ථාවාදී ප්‍රවණතාවයන්ට එරෙහිවත් ගෙන යා යුතුය. නමුත් නිර්ධන පංතියට මේ සඳහා පක්ෂයක් අත්‍යවශ්‍ය ය. පක්ෂයක් නොමැතිව නිර්ධන පංතියට මේ කර්තව්‍යය ඉටු කර නොහැක.
>පංති සටන ක්‍රමානුකූලව පවත්වාගෙන යාමේත් විප්ලවය දක්වා වර්ධනය කිරීමේත් අවශ්‍යතාවයක් තිබීම

නිර්ධන පංතියේ විමුක්තිය උදා කර ගත හැක්කේ පංති සටන තුළින් පමණි. එනම්, ධනපති පංතිය පරාජය කිරීමේ මාවත පංති සටන් මාවතයි. පංති සටන යනු, ඉතාමත් සංකීර්ණ වූ ද, උසස්තම වූ ද, සමාජ චලිතාකාරයකි. එය එකිනෙකට සම්බන්ධිත ආකාරයන් තුනක් ගනී. එනම්,

  1. ආර්ථික
  2. මතවාදීමය
  3. දේශපාලනමය

යන ආකාරයන් ය. මේ සටන් ක්ෂේත්‍රයන් තුනම විද්‍යාත්මකව සම්බන්ධ කරමින් දේශපාලනමය අරගලයේ සාපේක්ෂ වැදගත්කම ආරක්ෂා කරමින් විප්ලවයේ ජයග්‍රහණය දෙසට නිර්ධන පංතියේ නායකත්වය යටතේ සියළුම පීඩිත පංතීන් සහ ස්ථරයන් මෙහෙයවීම කළ යුතුය. මේ ආකාරයෙන් පංති සටන ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා නිර්ධන පංතියට තම පංතියේ විප්ලවකාරී පක්ෂයක් තිබිය යුතුය. පංති සටන් ක්‍රියාවලිය තුළ දී පංතියට පන්නරය ලබා දිය යුතුය. එය කළ හැකි වන්නේ විප්ලවකාරී පක්ෂයකට පමණි.

 

>නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලැබීමෙන් අනතුරුව සමාජවාදී විප්ලවයේ ඉදිරි ගමන හා සමාජවාදය ගොඩ නැගීම සඳහා නායකත්වය දිය යුතු වීම

නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලැබීමෙන් පසුව ද නිර්ධන පංතියට පැවරෙන ඓතිහාසික කර්තව්‍යයන් විශාල ප්‍රමාණයක් පවතී. ඒවා නම්, නිර්ධන පංති රාජ්‍ය බලය පවත්වා ගෙන යාම, අනෙක් රටවල විප්ලවයන් සෑම ආකාරයකම සහයෝගය ලබා දීම, තර රටේ සමාජවාදය ගොඩ නැගීම සඳහා කටයුතු කිරීම යන මේවා ය. මේ කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් අවශ්‍ය වේ. විශේෂයෙන්ම පැරණි සමාජ සම්බන්ධතා බිඳ දමමින් නව සම්බන්ධතා ගොඩ නගමින් සමාජවාදය නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් වන අතර ඒ සඳහා පක්ෂයක මඟ පෙන්වීම අත්‍යාවශ්‍ය වේ.

“ආඥාදායකත්වයේ කාලයක් එනම් දේශපාලන බලය දිනා ගැනීම සහ සූරා කන්නන් දක්වන ප්‍රතිරෝධය බලහත්කාරය යොදා මැඩලීමේ කාලයක් පසු නොකොට කිසිම පීඩිත පංතියකට බලයට පත් විය හැකි වූයේ වත් බලයට පත්වීමට හැකි වන්නේ වත් නැති බව ඉතිහාසය අපට උගන්වයි.”

ලෙනින්, තෝරා ගත් කෘති, 09 වෙළුම – 120 පිටුව.

            “මෙම තත්වය යටතේ නිර්ධන පංති ආඥාදායකත්වය වූ කලී සූරා කන්නන් බලයෙන් නෙරපාලීමේ සහ ඔවුන්ගේ ප්‍රතිරෝධය මර්දනය කිරීමේ සම්පූර්ණයෙන්ම සාධාරණ මාධ්‍යයක් පමණක් නොවේ. යුද්ධය ඇති කල සහ නව යුද්ධ සූදානම් කරමින් සිටින ධනපති ආඥාදායකත්වයට විරුද්ධව එම ජනතාවට තිබෙන එකම ආරක්ෂාව එය වීම ය.

 නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් පිළිබඳ මාක්ස් – ලෙනින්වාදී සංකල්ප මොනවා ද?

නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍ය පිහිටුවීම යන්නෙන් අදහස් කරන්නේ නිර්ධන පංති විප්ලවකාරී පක්ෂය අතට රාජ්‍ය බලය දිනා ගැනීමයි. මෙයින් නිගමනය වෙන කාරණය නම් පක්ෂය ගොඩ නැගීම, නිර්ධන පංතිය, ධනපති පංතියට එහි ආධිපත්‍යට එරෙහිව ගෙන යන අරගලයේ එක් අත්‍යාවශ්‍ය සහ මූලික කර්තව්‍යයක් වන බවයි. අද අප සතුව විද්‍යාත්මක ලෙස සකස් කරන ලද පක්ෂ සංවිධාන ප්‍රතිපත්ති මාලාවක් සහ ව්‍යුහාත්මක ආකෘතියක් තිබුණ ද මේවා අනායාසයෙන් අප අතට පත් වූ දේවල් හෝ කෙටි කලක් තුළ තීන්දු කර ගන්නා දේවල් නොවේ. මෙම පක්ෂ සංවිධාන මූල ධර්මවල ඉතිහාසය සලකා බලන්නේ නම්, ඒවා පැන නැගී ඇත්තේ සිය වස් ගණනාවක කාලයක් තිස්සේ නිර්ධන පංතිය ධනපති පංතියට එරෙහිව ගෙන යන ලද අරගලය තුළ වන බවයි. එම අරගලය තුළ දී බොහෝ පරිත්‍යාගයන් තුළින් දිනා ගන්නා ලද අත්දැකීම් වන බවයි. එමෙන්ම නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් දැන් තිබෙන ආකාරයෙන්ම ඉතිහාසය තුළ දී පහල වූයේ නැත. අද ඇත්තේ නිර්ධන පංති පක්ෂයක කළල රූපාකාරයෙන් බිහි වී සියවසකට අධික කාලයක් තුළ විකාශනය වීමෙන් අනතුරුව අත් කර ගන්නා ලද වඩාත් උසස් රූපකාරයකි. මේ ඉතිහාසය පිළිබඳ සැකෙවින් සලකා බැලීම අත්‍යාවශ්‍ය ය.

 

>කොමියුනිස්ට් සංගමය

නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක් පිළිබඳ පැහැදිලි නිදසුනක් ලෙස අපට පළමුවෙන්ම හමු වන්නේ 1847 දී මාක්ස් සහ එංගල්ස්ගේ නායකත්වයෙන් බිහි වූ “කොමියුනිස්ට් සංගමය” යි. මෙහි ප්‍රථම සම්මේලනය 1848 දී ලන්ඩනයේ දී පැවැත්විනි මෙයට මාක්ස් පෞද්ගලිකවම සහභාගී නොවුවද එංගල්ස් සහභාගී වෙයි. මෙහි ප්‍රථම සම්මේලනයේ දී, එහි පැරණි නම වූ ‘සාධාරණත්වයේ සංගමය’ වෙනස් කොට කොමියුනිස්ට් සංගමය යනුවෙන් හඳුන්වනු ලැබීය. එමෙන්ම පැරණි ව්‍යුහය විසිරුවා හැර අලුත් ව්‍යුහයකට ප්‍රතිසංවිධානය කරන ලදී. ඒ අනුව

  • මධ්‍යම සංවිධානය
  • ප්‍රධාන කවයන්
  • කවයන්
  • මණ්ඩල

යන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත සංවිධාන ව්‍යුහයක් ලබා දෙන ලදී.

“සංගමයේ පරමාර්ථය, ධනපති පංතියේ පාලනය පෙරලා දැමීම සහ නිර්ධන පංතියේ ආධිපත්‍ය පිහිටුවාලීම ය. පංති ප්‍රතිගතිකතාව මත පදනම්ව ඇති පැරණි ධනවාදී සමාජ ක්‍රමය බිඳ දමා පංති රහිත, පෞද්ගලික දේපළ රහිත නව සමාජයක් ඉදිකිරීම යනුවෙන් පළමුවන වගන්තියෙන් කියවේ.”

මාක්ස් – එංගල්ස්, තෝරා ගත් කෘති, 03 වෙළුම – 127 පිටුව.

“සංවිධානය තෝරා පත් කර ගත් සහ ඕනෑම වෙලාවක අස් කර ගත හැකි මණ්ඩල සහිත ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය”

            මාක්ස් – එංගල්ස් තෝරා ගත් කෘති, 03 වෙළුම -127 පිටුව.

1847 නොවැම්බර්, දෙසැම්බර් මාසවල දී කොමියුනිස්ට් සංගමයේ දෙවැනි සමුළුව පැවැත්වුණි. මෙයට මාක්ස් සහභාගී විය. ‘සියළු මිනිසුන් සහෝදරයෝ වෙති’ යන පැරණි සටන් පාඨය වෙනුවට “සකල දේශවාසී කම්කරුවනි එක්වව්” යන පාඨය භාවිතය ඇරඹුණේ මෙම සම්මේලනයෙන් පසුව ය. මෙම මධ්‍යම කමිටුවට පහත සඳහන් අය අතුලත් විය. කාල් මාක්ස්, කාල් ෂාපර්, එච්. බවුචර්, ෆෙඩ්රික් එංගල්ස්, ඊ. මොල්, වී. වොල්ෆ්,

>පළමුවන ජාත්‍යන්තරය

1864 සැප්තැම්බර් 28 දා ගොඩ නැගුණු පළමුවන ජාත්‍යන්තරය, එනම් වැඩ කරන මිනිසුන්ගේ ජාත්‍යන්තර සංගමය, නිර්ධන පංතික විප්ලවකාරී පක්ෂයක් ගොඩ නැගීම සඳහා නිර්ධන පංතිය ගෙන යන ලද අරගලයේ කොමියුනිස්ට් සංගමයට පසුව එන අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙහි දී නිර්ධන පංතියේ ස්වාධීන දේශපාලන අරමුණු ව්‍යාකුල කර දමමින් අවස්ථාවාදය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ කණ්ඩායම්වාදී ප්‍රවණතාවයන් තුනක් මාක්ස් සහ එංගල්ස් විසින් පරාජය කර දමන ලදී. එම ප්‍රවණතාවයන් නම්

  1. ජර්මනියේ ලසාල්වාදීන්
  2. රුසියාවේ බකුනින්වාදීන්
  3. ප්‍රංශයේ පෘදෝන්වාදීන් ය.

මෙම අවස්ථාවාදයට එරෙහිව අරගලයේ ජයග්‍රහණය සනිටුහන් කරමින් 1872 දී පැවැත්වුණු ‘හේග්ස් සම්මේලනයේ දී’ මාක්ස් හා එංගල්ස් විසින් ගෙන එන යෝජනාව සම්මත විය. මෙම යෝජනාව ‘කම්කරු පංතියේ දේශපාලන කාර්යභාරය’ යන තේමාව යටතේ ගෙන එන ලදී. මෙයින් ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙලින් නිර්ධන පංතියේ විප්ලවකාරී පක්ෂයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය පැහැදිලි කෙරිණි. එහි 7 වන කොටසේ උප වගන්තියකින් මෙසේ කියවේ.

“දේපළ හිමි පංතියේ සාමුහික බලයට එරෙහිව ස්වකීය අරගලයන්හි දී සියළුම පැරණි පක්ෂවලට එරෙහිව නිර්ධන පංතියට පංතියක් වශයෙන් සටන් කළ හැක්කේ, දේපළ හිමි පංතීන්ගේ පක්ෂවලින් ස්වාධීනව වෙන් වූ දේශපාලන පක්ෂයක් වශයෙන් එය විසින්ම සංස්ථාපනය වන්නේ නම් පමණි. දේශපාලන පක්ෂයක් බව බවට වන නිර්ධන පංතියේ මෙම සංස්ථාපනය සමාජ විප්ලවය හා එහි අවසාන ඉලක්කය පංති අවසන් කිරීමේ විජයග්‍රහණය සහතික කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ ය”

ලොව පුරා මාක්ස්වාදය ප්‍රචාරය කිරීම පළමුවන ජාත්‍යන්තරයේ මූලික අරමුණ විය.

>දෙවෙනි ජාත්‍යන්තරය

කොමියුනිස්ට් දෙවන ජාත්‍යන්තරය 1889 දී එංගල්ස් විසින් පිහිටුවන ලදී. මේ වන විට මාක්ස් ජීවතුන් අතර නොවීය. 1 වන ජාත්‍යන්තරය තුළ විවිධ මත දරණ පුද්ගලයින් සිටිය ද දෙවන ජාත්‍යන්තරය තවත් ඉදිරි පියවරක් තබා මාක්ස්වාදීන්ගෙන් පමණක් මෙය නිර්මාණය කරන ලදී.

සංවිධානය තුළ මතවාදී එකඟතාවයක් පවත්වාගෙන යාම මෙහි විශේෂ ලක්ෂණය විය. පළමුවන ජාත්‍යන්තරය තුළින් ආ ගමනේ නිර්ධන පංතික සංවිධානයක් සඳහා තවත් ඉදිරි පියවරක් තැබීමක් ලෙස දෙවන ජාත්‍යන්තරය වැදගත් වේ.

1 වැනි ජාත්‍යන්තරයේ ලන්ඩන් සාකච්ඡාවේ දී එංගල්ස් පැවැත්වූ කතාව තුළින් මේ අදහස් තහවුරු කිරීමට ගෙන යන අරගලය වඩාත් පැහැදිලි ය. එහි දී ඔහු මෙසේ පවසා ඇත.

“කම්කරු පක්ෂය එක් හෝ තවත් ධනපති පක්ෂයක වලිගයේ එල්ලී ගත යුතු නැත. එය ස්වාධීන, ස්වකීය අරමුණු සහ ස්වකීය ප්‍රතිපත්ති සහිත පක්ෂයක් විය යුතුය.”

මාක්ස් – එංගල්ස් තෝරා ගත් කෘති, වෙළුම 01 – 188 පිටුව.

දෙවැනි ජාත්‍යන්තරයේ සංවිධාන ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවය මත පදනම්ව තිබිණි.

සෑම කණ්ඩයකටම මහා මණ්ඩලය සමග සිය සම්බන්ධය සඳහා ලේකම්වරයෙකු පත් කිරීමේ අයිතිය ඇත. වැඩ කරන මිනිසුන්ගේ ජාත්‍යන්තර සංගමයේ ප්‍රතිපත්තිය පිළිගන්නා, ඒවා ආරක්ෂා කරන සියළු දෙනාම සාමාජිකත්වය ලැබීමට සුදුසු ය. සෑම ශාඛාවකින් ම එයට ඇතුල් කර ගන්නා සාමාජිකයින් අවංකත්වය වෙනුවෙන් වගකිය යුතුය.

>නව පන්නයේ ලෙනින්වාදී පක්ෂය, එනම් බොල්ෂෙවික් පක්ෂය.

19 වන සියවසේ අග භාගයේ දී හා විසිවන සියවසේ මුල් භාගයේ දී ලෝක නිර්ධන පංති ව්‍යාපාරයේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ රුසියාව යි. රුසියාවේ පංති සටනේ වැඩී ඒමත් සමග එය වඩාත් පැහැදිලි විය. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ උදෙසා නව පන්නයේ විප්ලවකාරී පක්ෂයක්, විද්‍යාත්මක සමාජවාදී ඉගැන්වීම් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත ප්‍රතිපත්ති අනුව සංවිධානය කරන ලද පක්ෂයක් අවශ්‍යව තිබිණි. ලෙනින්ගේ නායකත්වයෙන් අවස්ථාවාදයට එරෙහිව ගෙන යන ලද මුළු මහත් අරගලයේ කාල පරිච්ඡේදය නව පන්නයේ විප්ලවකාරී පක්ෂයක් පිළිබඳ ලෙනින්වාදී සංකල්පයන් විකාශනය පිළිබඳ යුගයයි. එම අරගලයේ දී නිර්ධන පංතිය විසින් ගත යුතු වූ ස්ථාවරය කුමක් ද යන්න පැහැදිලි කරමින් ලෙනින් මෙසේ පැවසීය.

අප ඉදිරියේ, අපගේ හොඳම සටන්කරුවන් ඉවත් කරමින් වෙඩි උන්ඩ අප වෙත වස්සන සියළුම බලවේගයන්ගෙන් පිරී සතුරු බළකොටුවකි. අප එම බළකොටුව අල්ලා ගත යුතුය. අවදි වූ නිර්ධන පංතිය රුසියන් විප්ලවකාරීන් සමග රුසියාවේ ජීවමාන සහ අවංක සියළුම දෙය උකහා ගන්නා එක් පක්ෂයකට එකතු වුව හොත් අපි එය අල්ලා ගන්නෙමු

වී අයි ලෙනින්, එකතු කළ කෘති 04 වෙනි වෙළුම – 376 -377 පිටු.

  • රුසියාවේ කර්මාන්තශාලා පැතිර තිබූ නගර රැසක විසිර තිබූ මාක්ස්වාදී අධ්‍යන කව එක් රැස් කර 1895 දී පීටර්ස්බර්ග් හිදී ලෙනින් ‘කම්කරු පංති විමුක්ති අරගල සංගමය’ නමින් සංවිධානයක් ගොඩ නගන ලදී.
  • 1889 දී ප්ලෙහනොව්ගේ නායකත්වයෙන් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය පිහිටුවනු ලබයි. එහි පළමුවන සම්මේලනය (1898) ලෙනින් සහ එහි තවත් නායකයින් පිටුවහල් කර තිබිය දී පවත්වනු ලැබූවකි. එම නිසා ව්‍යාපාරයේ අභ්‍යන්තරිකව පැන නැගී තිබුණු ගැට‍ළු නිරාකරණය සඳහා, පක්ෂ ව්‍යවස්ථාව සහ වැඩ පිළිවෙල සකස් කිරීම සඳහාත් එම සම්මේලනයට ලෙනින්ගේ මැදිහත්වීම සාර්ථක ලෙස සිදු නොවීය.
  • ලෙනින් විසින් අරඹන ලද ‘ඉස්ක්‍රා’ පුවත්පත රුසියන් මාක්ස්වාදීන්  දෘෂ්ඨිමය හා සංවිධානමය වශයෙන් එක්රැස් කිරීම සඳහා ඔහු විසින් ගෙන යන ලද අරගලයේ වැදගත් සංධිස්ථානයක් විය. එකී පුවත්පත අරගලයේ දී ප්‍රචාරකයෙකු, උද්ඝෝෂකයෙකු පමණක් නොව හොඳ සංවිධායකයෙකු වශයෙන් ද විශාල වැඩ කොටසක් සිදු කරන ලදී.
  • 1903 දී පවත්වන ලද රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන සම්මේලනය නව පන්නයේ විප්ලවකාරී පක්ෂයක් ගොඩ නැගීම සඳහා අවස්ථාවාදී ප්‍රවණතාවයන්ට එරෙහිව කළ අරගලයේ ජයග්‍රහණය සලකුණු කළ වැදගත් අවස්ථාවක් විය’

මාටොව් ප්ලෙහනොව් ඇතුළු අවස්ථාවාදී කණ්ඩායම මෙන්ෂෙවිකයන් වශයෙන් ද, මාක්ස්වාදී දෘෂ්ඨිය මත පදනම්ව පක්ෂ සංවිධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ ලෙනින් ඇතුළු බහුතරය බොල්ෂෙවිකයන් වශයෙන් ද බිඳී යාම මෙහිදී සිදු විය. මෙතැන් සිට මෙන්ෂෙවිකයන්ගේ සියළු අවස්ථාවාදී ස්ථාවරයන්ට එරෙහිව කරන ලද පක්ෂ අභ්‍යන්තර අරගලය 1912 දී පැවැත්වූ සම්මේලනයේ දී මෙන්ෂෙවිකයන් තීරණාත්මක ලෙස පරාජය කර දීම දක්වා ඉදිරියට ගියේ ය. එහි දී මෙන්ෂෙවිකයන් පක්ෂයෙන් පලවා හරින ලදී.

 

බොල්ෂෙවික් පක්ෂයක් යනු කුමක් ද?

 

>බොල්ෂෙවික් පක්ෂ සංවිධානය සකස් වී තිබෙන්නේ කෙසේද?

බොල්ෂෙවික් පක්ෂ සංවිධාන ව්‍යූහය ගොඩනැගෙනුයේ පහළ සිට ඉහළට මධ්‍යගත වූ කේතුවක ආකාරයෙනි. එහි කටයුතු සියල්ල පහළ සිට ඉහළටත්, ඉහල සිට පහළටත් (සිරස් ආකාරයට) සිදු වන අතර හරස් ආකාරයෙන් (තිරස්) කිසිවක් සිදු නොවිය යුතුය. පක්ෂයේ තීරණ ඉහල සිට පහළට සංවිධාන හරහා ගමන් ගන්නා අතර අදහස්, යෝජනා හා වාර්තා පහළ සිට ඉහළට සංවිධාන හරහා ගමන් ගනී.

පක්ෂය සෑදී ඇති සංවිධාන ඒකක පහළ සිට ඉහළට මෙසේ ය.

  1. පහළ කමිටු (මූලික ඒකක)
  2. ප්‍රාදේශීය හෝ ආසන කමිටු
  3. දිස්ත්‍රික් කමිටු
  4. මධ්‍යම කමිටුව
  5. දේශපාලන මණ්ඩලය
  6. පක්ෂ සමුළුව වේ.

මෙය දළ රූප සටහනකින් මෙලෙස සැලකිය හැක.

මෙම ව්‍යුහය මෙලෙස පවතින්නේ ඉතාම දියුණු පක්ෂයක වන අතර ගොඩනැගෙමින් තිබෙන පක්ෂයක් තුළ මූලික සංවිධාන ප්‍රතිපත්තිවලට යටත්ව ව්‍යුහයේ යම් වෙනස්කම් පැවතිය හැක.

පක්ෂයක ව්‍යුහය සකස් වන විට එය පක්ෂය නම් සංවිධානය හා පාක්ෂික බහු සංවිධාන ජාලයකින් සමන්විත වේ. මෙම ව්‍යුහයේ ඇත එක් එක් ආයතන අපි වෙන වෙනම තේරුම් ගනිමු.

>පහළ පක්ෂ කමිටු ‌හෝ මූලික ඒකක

මෙය පක්ෂයේ මූලික ඒකකය වේ. පක්ෂ සාමාජිකත්වය ලබා ගත් පුද්ගලයා පළමුව එක් වන කමිටුව මෙම කමිටුව වේ. කමිටුවේ ප්‍රධානියා ලෙස කමිටු ලේකම් කෙනෙක් සිටී. පක්ෂයක ව්‍යවස්ථාව අනුව මෙම සංවිධානයක සිටිය හැකි උපරිම හා අවම සාමාජික සංඛ්‍යාව තීරණය වේ. සාමාජිකත්වය උපරිමය ඉක්මවන අවස්ථාවල නව සංවිධානයක් බිහි කළ හැක.

>ප්‍රදේශීය හෝ ආසන කමිටු

පහළම පක්ෂ ඒකකය ලඟට ඉහළින් තිබෙන පක්ෂ සංවිධානය මෙය වේ. එක් එක් රටවල භූගෝලීය ස්වාභාවයන් හා පරිපාලන ඒකකවල ස්වාභාවය අනුව මෙහි සීමාව සකස් විය හැකිය. මේ සඳහා සාමාජිකයින් පහළ කමිටු තුළින් තේරී පත් වේ. පහළ කමිටුවල සිටින වඩාත් දියුණු හා දක්ෂ සාමාජිකයින් ඉහල සංවිධානවලට පත් වෙන අතර ව්‍යවස්ථාවලට අනුව ඔවුන් පහළ සංවිධානවල කැමැත්ත අනුව තේරී පත් විය යුතුය.

>දිස්ත්‍රික් කමිටුව

එක් එක් දිස්ත්‍රික්කයක පක්ෂ කටයුතුවලට නායකත්වය දීම සඳහා දිස්ත්‍රික් කමිටු පත් වන අතර දිසා ලේකම්වරයා එහි ප්‍රධානියා වේ. පක්ෂයේ මධ්‍යම කමිටුවේ අනුමැතිය පරිදි ප්‍රාදේශීය සංවිධානවලින් දිස්ත්‍රික් කමිටු සාමාජිකයින් තේරී පත් වේ.

>මධ්‍යම කමිටුව

පක්ෂ සම්මේලනය වාර දෙකක් අතර දී පක්ෂයේ සියළුම වගකීම් දරන සංවිධානය වනුයේ මධ්‍යම කමිටුවයි. මෙය පක්ෂ සමුළුවක දී සාමාජිකයාගේ ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා අතර සමුළු වාර දෙකක් අතර කාලය තුළ පක්ෂයට දේශපාලන නායකත්වය දීමත් සියළු දේශපාලන ජයග්‍රහණ හා පරාජයන් සඳහාත් පක්ෂ සමුළුවට මධ්‍යම කමිටුව වගකිය යුතු වන අතර මුළු පක්ෂයම මධ්‍යම කමිටුව යටතේ ක්‍රියාත්මක වේ.

>දේශපාලන මණ්ඩලය

නිතර රැස්වීමේ පහසුව සහ හදිසි තීරණ ගැනීමේ පහසුව සඳහා මධ්‍යම කමිටුව විසින් දේශපාලන මණ්ඩලයක් තෝරා ගනී. මධ්‍යම කමිටුව වෙනුවෙන් දේශපාලන තීරණ ගනු ලබන්නේ දේශපාලන මණ්ඩලය විසින් ලේකම් මණ්ඩලය මගිනි. එසේම මධ්‍යම කමිටුව විසින් ලේකම් මණ්ඩලයක් හා ප්‍රධාන ලේකම්වරයෙක් ද ‌තෝරා ගන්නා අතර ලේකම් මණ්ඩලය විෂය කරුණු භාර ලේකම්වරුන්ගෙන් සමන්විත වේ.
>පක්ෂ සම්මේලනය

පක්ෂයේ උත්තරීතර ආයතනය පක්ෂ සමුළුවයි. පක්ෂ ප්‍රතිපත්ති සකස් කිරීම, පක්ෂ ව්‍යවස්ථාව සකස් කිරීම හා බරපතළ දේශපාලන තීරණ ගැනීම පක්ෂ සමුළුවක දී කරනු ලැබේ. සමස්ත පක්ෂයම පක්ෂ සමුළුවට යටත්ව පවතී. පක්ෂ සමුළුව සමුළු වාරයක දී නව මධ්‍යම කාරක සභාවක් පත් කර ගනී. පක්ෂ සමුළුව කැඳවීමේ දී සියලු සාමාජිකයින් සහභාගීවීමෙන් මහා සමුළු මෙන්ම විශේෂ අවස්ථාවල නියෝජිතයින් මඟින් කරන නියෝජිත සමුළු පැවැත්විය හැක. පක්ෂ සමුළුවකට සහභාගී විය හැක්කේ “පක්ෂයේ “ සාමාජිකත්වය හිමි අයට පමණකි.
>පාක්ෂික බහු සංවිධාන

පංතියේ සංවිධානය වන පක්ෂය, පංතිය සමග කරන දේශපාලනයේ දී පංතිය හා පක්ෂය අතර සම්බන්ධය සාදනුයේ පාක්ෂික බහු සංවිධාන මගිනි. සමාජයේ විවිධ ස්ථර ලෙස ජීවත් වෙන පංති බලවේග වෙත පක්ෂයේ මතවාදය රැගෙන යාමත්, පංතියට නායකත්වය සැපයීමේ දී පංති බලවේග මෙහෙයවීමටත් පාක්ෂික බහු සංවිධාන වැදගත් ය. එසේම සමාජ ස්ථර තුළින් පක්ෂයට ජනතාව සාමාජිකයින් ලෙස රැගෙන එන්නේත් පාක්ෂික බහු සංවිධාන මගිනි. කම්කරු, ගොවි, ශිෂ්‍ය, කාන්තා, තරුණ ආදී විවිධ ක්ෂේත්‍ර සඳහා පාක්ෂික බහු සංවිධාන සාදන අතර එහි ව්‍යුහය ද පක්ෂ ව්‍යුහයට සමාන වේ. පාක්ෂික බහු සංවිධාන සඳහා සම්මේලන පවා පවත්වන අතර වෙනසකට ඇත්තේ දේශපාලන මණ්ඩලයක් නොතිබීමයි.

පක්ෂ ව්‍යුහය තුළ පක්ෂය හා පාක්ෂික බහු සංවිධාන අතර සම්බන්ධය සකස් වේ. පාක්ෂික බහු සංවිධානවල ප්‍රධානියා වන එහි ලේකම් හෝ ජාතික සංවිධායකවරයා අනිවාර්‍යයෙන්ම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයකු විය යුතු අතර දිස්ත්‍රික් කමිටු තුළ දී ද පාක්ෂික හමු සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායකයන් පක්ෂයේ දිසා කමිටු සාමාජිකයන් ලෙස සම්බන්ධ වේ.

>බොල්ෂෙවික් පක්ෂයේ සංවිධාන ප්‍රතිපත්ති මොනවා ද?

නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක සංවිධාන ගත කරන මූලධර්මය හෙවත් ප්‍රතිපත්තිය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවයයි. අත්තනෝමතික මධ්‍යගතභාවයට හෝ අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයට (නිදහස්වාදයට) ඉඩ නොතැබීම මගින් බොල්ෂෙවික් සංවිධානය වෙනත් පක්ෂ සංවිධානයන්ගෙන් වෙනස් වේ. ඒ අනුව පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මෙන්ම මධ්‍යගත ලක්ෂණ ද එක විට පවතින අතර මේවා වෙන් වෙන්ව සංයුක්තව පවතී.

 

>පක්ෂ සාමාජිකත්වය ලැබීම

පක්ෂ සාමාජිකයෙකු ලෙස එහි සාමාජිකත්වය ලබන පුද්ගලයා සැපිරිය යුතු කොන්දේසි ගණනාවක් වේ. ඒවා නොමැතිව පක්ෂ සාමාජිකත්වය ලබා ගත නොහැක.

  1. නිර්ධන පංති මතවාදය පිළිගැනීම
  2. පක්ෂ ව්‍යවස්ථාව, එහි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිගැනීම
  3. නිශ්චිත පක්ෂ ඒකකය සිට ක්‍රියාත්මක වීමේ කැමැත්ත
  4. සිය වැටුපෙන් 5% ක් හෝ නිශ්චිත මුදලක් සාමාජික මුදල් ලෙස මාස්පතා ‌ගෙවීම (පූර්ණ කාලීන සාමාජිකයන්ට මෙය අදාළ නොවේ)
  5. අඩු වශයෙන් වසර දෙකක කාලයක් පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව පක්ෂයේ බහු සංවිධානයක කටයුතු කර තිබීම වේ.

>පක්ෂ සාමාජිකයන් සතු අයිතිවාසිකම්

බොල්ෂෙවික් පක්ෂයක සාමාජිකයා සතු අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද වේ. එකී අයිතිවාසිකම් ප්‍රධාන ලෙසම මෙලෙස දැකිය හැක.

  • පක්ෂය ස්වේච්ඡානුගත සංවිධානයකි. එය සමාන අදහස් දරණ කොමියුනිස්ට්වාදීන්ගේ සංගමයකි. පක්ෂ සාමාජිකයන් අතර ඇත්තේ සමානාත්මතාවයේ සම්බන්ධතාවයකි. ඔවුන් එකම අයිතිවාසිකම භුක්ති විඳිති.
  • සාමාජිකයන් පක්ෂ ප්‍රතිපත්තීන් හා තම සංවිධානයේ තීරණවල නිර්මාතෘත් ය.
  • පක්ෂ නායකත්වය පුද්ගල නායකත්වයක් නොව සාමුහික නායකත්වයකි.
  • පක්ෂයේ සියළුම මණ්ඩලවලට හා වගකීම්වලට තෝරා පත් කිරීමේත්, තේරී පත්වීමේත් අයිතිය සෑම සාමාජිකයෙක්ම සතුය.
  • පක්ෂ සම්මේලනයේදීත්, කමිටු සැසිවාරවලදීත් සාමාජිකයන්ට පක්ෂයේ ප්‍රතිපත්තීන් පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් නිදහස්ව සාකච්ඡා කිරීමට ද, තම අදහස් ප්‍රකාශ කොට සංවිධානයේ තීරණ සඳහා තැබීමට ද අයිතිය ඇත.
  • ඕනෑම පක්ෂ සාමාජිකයෙකු හෝ සංවිධානයක් හෝ උසුලන වගකීම් නොතකා සම්මේලනයේ දී හෝ කමිටු සැසි වාරවල දී විවේචනයට ලක් කිරීම සඳහා සාමාජිකයෙකුට අයිතිය ඇත. (එහෙත් පක්ෂ සංවිධානයෙන් පිට විවේචනය හෝ අදහස් දැක්වීම කළ නොහැක)
  • පක්ෂයේ තීන්දු ක්‍රියාවට නගමින්ම එම තීන්දු හා තීරණ පිළිබඳව තම පෞද්ගලික මතයේ සිටිමින්, එම මතය තහවුරු කිරීමටත්, ඒ මත පක්ෂයේ වැඩ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා සංවිධානය තුළ අභ්‍යන්තර අරගලයේ යෙදීමටත් සෑම සාමාජිකයෙකුටම අයිතිය ඇත. එහෙත් පොදු සංවිධාන තීරණ ක්‍රියාත්මක කිරීමට සාමාජිකයා බැඳී සිටී.
  • පක්ෂ ප්‍රතිපත්ති, වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග සකස් කිරීමේ දී සම්මේලනය තුළ හා සංවිධානය තුළ, ඒ සඳහා සාකච්ඡා කරමින් වාද-විවාද කරමින් මැදිහත්වීමට සෑම සාමාජිකයෙකුටම අයිතියක් ඇත. එහෙත් තම මතයන් සඳහා කණ්ඩායම් නිර්මාණය කිරීම නොකළ යුතුය.

>සාමාජිකයාගේ වගකීම්

  • පක්ෂයේ මතවාදය ජනතාව තුළ තහවුරු කිරීම සඳහා කටයුතු කිරීම
  • පක්ෂ ක්‍රියාමාර්ග සහ ඉලක්ක සැපිරීම උදෙසා කැපවීමෙන් ක්‍රියාකාරී වීම
  • සිය පෞද්ගලික ජීවිතයේ වුවමනාවන්ට ඉදිරියෙන් පක්ෂයේ වුවමනාවන් තැබීම
  • පංති සතුරාගේ කුමන්ත්‍රණවලින්, අවලාදවලින් සතුරු ප්‍රහාරවලින් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කොන්දේසි විරහිතව කටයුතු කිරීම
  • පක්ෂය වෙත නව සාමාජිකයන් බඳවා ගැනීමටත්, පක්ෂයට නව හැකියාවන් හා සම්පත් දිනා ගැනීමට කටයුතු කිරීම
  • තමා කරන කටයුතු වෙනුවෙන් පක්ෂය වෙතින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් කටයුතු ක්‍රියාකාරී වීම
  • පක්ෂය තුළ සහෝදරත්වය වර්ධනය කරමින් නව නිර්ධන පංති සදාචාරයක් හා සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක වීම

>පක්ෂ ව්‍යවස්ථාව හා විනය

පක්ෂය පාලනය වනුයේ පක්ෂ සම්මේලනයේ දී සම්මත කර ගන්නා ලද පක්ෂ ව්‍යවස්ථාවක් යටතේ ය. පක්ෂයේ ව්‍යවස්ථාව පක්ෂයේ සියළුම සාමාජිකයින් විසින් පිළිපැදිය යුතු පක්ෂයේ මූලික නීතිය වේ. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කිසිදු සංවිධානයකට හෝ සාමාජිකයෙකුට නොහැකි අතර නව ව්‍යවස්ථාවක් පැනවීම හෝ ව්‍යවස්ථා සංශෝධනය සමුළුවක් මගින් පමණක් කළ යුතු වේ.

පක්ෂයේ පොදු පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා පක්ෂයට විනයක් ඇත. සමස්ත පක්ෂයම එම පක්ෂ විනයට අවනත විය යුතුය.

සාමාජිකයා වෙත බලපාන පක්ෂයේ ව්‍යවස්ථාමය කොන්දේසි

  1. පුද්ගලයා සංවිධානයට අවනත විය යුතුය
  2. පහළ සංවිධාන ඉහල සංවිධානවලට අවනත විය යුතුය
  • සුළුතරය බහුතරයට අවනත විය යුතුය
  1. මුළු පක්ෂයම විනයට අවනත විය යුතුය
  2. පක්ෂය තුළ කිසියම් අරමුණකින් කණ්ඩායම් නිර්මාණය කිරීම නොකළ යුතුය
  3. පහළ සංවිධාන ඉහළ සංවිධාන වෙත වාර්තා ඉදිරිපත් කළ යුතු අතර ඉහල සංවිධානවල නියෝග පහළ සංවිධාන විසින් පිළිපැදිය යුතුය

(යම් තීරණයකට යමෙක් විරුද්ධ වුව ද සංවිධානයේ පොදු තීරණය ක්‍රියාවට නැංවීමට ඔහුට සිදු වේ)

>පක්ෂ විනය කඩ කළ විට පක්ෂ සාමාජිකයාට විනයානුකූලව පමුණුවනු ලබන දඬුවම්

  1. පක්ෂය තුළ විවේචනය ලක් කිරීම
  2. වගකීම් තාවකාලිකව තහනම් කිරීම
  • වගකීම්වලින් ඉවත් කිරීම
  1. පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීම
  2. පක්ෂයෙන් නෙරපා හැරීම

මෙවැනි විනයානුකූලව පනවනු ලබන දඬුවමක දී එහි අවසන් තීරණය ගනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කමිටුව විසිනි.

>පක්ෂය තුළ විනයානුකූලව දඬුවම් පැමිණවීමට හේතුවන විනය විරෝධි කටයුතු

 

  1. නිදහස්වාදය
  2. කණ්ඩායම් ගොඩ නැගීම
  • පක්ෂ සාමාජිකයෙකුට නොගැළපෙන පුද්ගලික හැසිරීම්
  1. පක්ෂය මූල්‍ය හා දේශපාලන වංචා කිරීම්
  2. සංවිධාන වගකීම් පැහැර හැරීම

>සාමාජිකත්වය අහෝසි කිරීම

  1. පිට පිට තුන් වරක් සාධාරණ හේතුවකින් තොරව සාමාජික මුදල් ලබා නොදීම. (පූර්ණකාලීන සාමාජිකයන්ට මෙය බල නොපායි)
  2. පිට පිට තුන් වරක් සාධාරණ හේතුවකින් තොරව සංවිධානයට සහභාගී නොවීම

මෙවැනි සාමාජිකත්වය අහෝසි වීමක දී එහි අවසන් තීරණය ගනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කමිටුව විසිනි.

 

 

ලෙනින්වාදී නොවන පක්ෂ සංවිධාන ප්‍රතිපත්තීන් මොනවා ද?

>ස්ටැලීන්වාදී පක්ෂ ප්‍රතිපත්ති

පක්ෂ සංවිධාන ප්‍රතිපත්තීන් වශයෙන් ගත් කළ ස්ටැලින්වාදය යනු, බොල්ෂෙවික් ප්‍රතිපත්තීන් විකෘති කිරීමකි. එහි දී පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරනු ලැබේ. එවිට මධ්‍යස්ථභාවය යනු අත්තනෝමතික මධ්‍යස්ථභාවයකි. මෙය අවසානයේ පක්ෂය තුළ නිලධාරිවාදය තහවුරු වීමට ඉඩ දේ.          නිර්ධන පංතියේ පංති අවශ්‍යතාවයන් අතහැර දැමීමට ද අවසානයේ සුළු ධනපති පංතියේ අවශ්‍යතාවයන් අත්හැර දැමීමට ද අවසානයේ සුළු ධනපති පංතියේ අවශ්‍යතාවයන්ට ඍජුව ම අනුගත වීම ද අවසාන ප්‍රතිඵලය වන අතර මෙම තත්වය ඇතිවීම සඳහා බලපාන තත්වය කෙරෙහි බොල්ෂෙවික් පක්ෂය නිරතුරුවම අවදියෙන් සිටිමින් ඒ තත්වය පරාජය කළ යුතුව තිබේ.

>ට්‍රොට්ස්කිවාදී පක්ෂ ප්‍රතිපත්ති

 

මෙය ස්ටැලින්වාදී නියෝජනය වන ප්‍රජාතන්ත්‍ර විරෝධි අත්තනෝමතික මධ්‍යගත අන්තයට විරුද්ධ අනෙක් අන්තයයි. එමගින් මධ්‍යගතභාවය අත්හැර දමමින් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උනන්දුව පමණක් පවත්වාගෙන යනු ලබයි. එහි ප්‍රතිඵලය ලෙසින් සංවිධානය තුළ කල්ලි කණ්ඩායම් සෑදීමේ හා නිදහස්වාදී පුද්ගලයන් බිහිවීමේ අනතුර පවතී.

මෙමගින් පක්ෂය දුර්වල කොට පංතිය පරාජය කිරීමට සතුරු පංතීන්ට අවස්ථාව උදා වේ. මන්ද යත්, මධ්‍යගතභාවයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දියාරු වී යාමටත්, ඒකාග්‍ර අරමුණකින් කටයුතු කිරීමේ හැකියාව නැති වී යාමටත්, ඒකාග්‍ර අරමුණකින් කටයුතු කිරීමේ හැකියාව නැති වී යාමටත් මඟ පාදන බැවිනි. අවසානයේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය යන සටන් පාඨයට මුවා වී නිර්ධන පංතියට පක්ෂයක් නැති තත්වයකට පත් කිරීමත් එමඟින් ධනපති පංතික ඒකාධිපතිත්වයට සමාජය නතු කර තැබීමත් සිදු විය හැකිය. එබැවින් මෙම ප්‍රවණතාව මතු වීමට හිතකර ලෙස බලපාන තත්වයන් පිළිබඳ විමසිලිමත් ව සිටීම හා පරාජය කිරීම නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයක අනුඋල්ලංඝනීය වගකීමකි.

 

>කළ යුත්තේ කුමක් ද?

 

ලෙනින්වාදී පක්ෂ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නගමින් මුළු මහත් ලෝක නිර්ධන පංති ව්‍යාපාරයම ජයග්‍රහණය දෙසට යොමු වී ගමන් කරන ලද දියුණුතම අවස්ථාව නම් ලෙනින්ගේ නායකත්වය යටතේ පැවති තුන්වන ජාත්‍යන්තරයයි. එය න්‍යායික නිර්ධන පංති ජාත්‍යන්තරවාදය පදනම්ව, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය යටතේ එක්සත් කරන ලද ලෝකයේ විවිධ රටවල් රාශියක විප්ලවකාරී පක්ෂවල නියෝජිතයන්ගෙන් සෑදුම් ලත් ජාත්‍යන්තර සංවිධානයයි.

රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය නමින් 1898 සිට 1917 දක්වා රුසියානු විප්ලවයේ ජයග්‍රහණය කර එරට නිර්ධන පංතියට නායකත්වය දුන්නා වූ ද, 1918 න් පසු කොමියුනිස්ට් පක්ෂය නමින් කටයුතු කරමින් සමාජවාදය ගොඩනැඟීම දෙසට සෝවියට් දේශයේ ජනතාවට නායකත්වය දෙමින් ඔවුන් මෙහෙයවූවා වූ ද, ලෙනින්ගේ නායකත්වයෙන් බිහි වූ පක්ෂ සංවිධාන ව්‍යුහයන්ගෙන් හා ප්‍රතිපත්තීන්ගෙන් 3 වැනි ජාත්‍යන්තරය සමන්විත විය.

නමුත් පසුකාලීනව ලෙනින්ගේ අභාවයෙන් පසු මේ සංවිධාන දෙක තුළම අවස්ථාවාදය හා නිලධාරිවාදය පැන නැගුණු අතර, එම සංවිධාන පරිහානිය කරා ගමන් කරන්නට විය. අද එහි අවසාන තර්කානුකූල ප්‍රතිඵලය ලෙසින් ලෝක නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාවට සිය විමුක්තිය උදාකර ගැනීමේ අත්‍යාවශ්‍ය සාධකය වන නිර්ධන පංති ජාත්‍යන්තරයක් අහිමි කර දමා ඇත. එමෙන්ම සෝවියට් දේශය තුළ සමාජවාදී විප්ලවයේ ආරම්භක පියවරයන් පරාජයට පත් කර දමා ඇත. මේ සියල්ල විසින් සෑම රටකම නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව ඉමහත් දුෂ්කරතාවයට පත්ව ඇත. මක් නිසා ද යත්, අද අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ජනතාව සූරා කෑම සඳහා වඩ වඩාත් ඔවුන් පීඩාවට පත් කර ඇති බැවිනි. නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව මෙයට එරෙහිව නැගී සිටීම සඳහා ඔවුන් විසින් ගොඩ නඟා ගෙන සිටි මාක්ස් ලෙනින්වාදී සංවිධාන අවස්ථාවාදීන් විසින් පංති සතුරාට පාවා දී ඇති නිසා ය.
එබැවින් අද දවසේ ප්‍රමුඛ කාර්යභාරය වශයෙන් අප ඉදිරියේ ඇත්තේ නිර්ධන පංතියේ විමුක්තිය උදාකරලීම පිණිස වූ සැබෑ ලෝක දෘෂ්ඨිය වන මාක්ස්-ලෙනින්වාදය ආරක්ෂා කිරීමත්, එහි ද්‍රව්‍යමය අවිය වන ලෙනින්වාදී ජාත්‍යන්තරය නැවත ගොඩ නැගීමත්, එහි එක් එක් රටවල් වල නිර්ධන පංතියේ පක්ෂ බොල්ෂෙවික් ප්‍රතිපත්ති මත වඩ වඩාත් ශක්තිමත් ව, අයෝමය විනයකින් ගොඩ නැගීමත් හා උසස් ලෝකාවබෝධයකින් දැඩිව එකට බැඳුණු සංවිධානයක් ලෙස ජයග්‍රහණය දෙසට යොමු වී පෙරට යාමත් ය.