පංති සමාජය පැණ නැගුණු හැටි

rsz_third-international-communist-meeting
සියවසක් සපුරන 3වැනි ජාත්‍යන්තරය
March 6, 2019
“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග
March 7, 2019
Show all

පංති සමාජය පැණ නැගුණු හැටි

rsz_image-of-period-of-stone-age-for-history

ඉතිහාසයේ කතාව -06

මානව සමාජයේ මුල්ම සමාජ ක්‍රමය හෙවත් නිෂ්පාදන මාදිලිය වූ ප්‍රාථමික සාමූහික ක්‍රමය බිඳ වැටෙමින් බිහිවූ නව සමාජ ක්‍රමය පංති සහිත සමාජ ක්‍රමයක් විය. සමාජය තුළ ‘පංති’ බිහිවූයේත්, ඒ මත පංති සමාජය බිහිවූයේත් දේපළවල අයිතිය මත පදනම් වෙමිනි. එබැවින් මෙය අහම්බයක් හෝ අදෘශ්‍යමාන බලවේගයක නිමැවුමක් නොව නිෂ්පාදන බලවේගවල සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස සමාජය තුළ නිෂ්පාදනය වර්ධනය වී දේපළ ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි.

වහලූන් හිමි සමාජයක්

පංති සමාජය බිහිවීමෙන් පසු එය විවිධ නිෂ්පාදන මාදිලි හරහා ගමන් කළද එහි ආරම්භයේ සිට තිබෙන ප්‍රධාන ලක්ෂණය නම් දේපළ ඇති හා දේපළ නැති ලෙස සමාජමය පංති දෙකක් තිබීමය. පංති සමාජය තුළ ප්‍රධාන පංති දෙකක් හැමවිටම සිටී. ඉන් එක් පංතියක් දේපළ හිමි පංතිය හෙවත් නිවැරදිවම පවසනවානම් නිෂ්පාදන මාර්ග හිමි පංතිය වේ. අනෙක් පංතිය දේපළ එනම් නිෂ්පාදන මාර්ග අහිමි පංතිය වේ. මෙහි විශේෂය වන්නේ, නිෂ්පාදන මාර්ග හිමිකරගත් සුළුතර පිරිස යටතේ නිෂ්පාදන මාර්ග අහිමිවූවන්ට ජීවත්වීම සඳහා ‘වැඩ’ කිරීමට සිදුවීමය. නිෂ්පාදන මාර්ග හිමි නැති ඒ නිසාම ‘දේපොළ’ නැති පංතියේ මිනිසුන් නිෂ්පාදනය කරන විට එහි ඵලය ලබා ගැනීමට නිෂ්පාදන මාර්ග හිමි අය සමත්විය. ශ්‍රමය සූරාකෑම නම් ඉතාමත් අසාධාරණ සිදුවීම අපට මුණ ගැසෙන්නේ මෙහි දීය.

මානව සමාජය දේපළ මත පංතිවලට බෙදී පංති සමාජයක් බවට පත්වෙද්දී එහි පළමු රූපකය හෙවත් මාදිලිය වූයේ වහල් හිමි නිෂ්පාදන මාදිලියයි. වහල් හිමි සමාජය එහි සියලූ අංග සමග හොඳින්ම කි‍්‍රයාකාරී වූයේත් පැහැදිලිව දැකිය හැකි වූයේත් යුරෝපයේය. නිෂ්පාදන මාර්ගවල දියුණුව වේගයෙන් ඇති වූයේ යුරෝපාකරයේ වීම ඊට ප්‍රධාන හේතුවක් විය. එහිදී ලොව සුප්‍රසිද්ධ වහල් හිමි රාජ්‍යය බවට රෝමය පත් විය. මීට පෙර ගී‍්‍රසියද වහල් හිමි රාජ්‍යයක් විය. එහෙත් මේ කාලයේ ලෝක ගෝලයේ අනෙක් ප්‍රදේශවලද විවිධ වෙනස්කම් සහිතව වහල් ක්‍රමය මතුවිය. පුරාණ චීනයේ වහල් ක්‍රමය තිබූ අතර එය යුරෝපා වහල් ක්‍රමයට සර්ව සම නොවීය. රුසියාවේද වහල් ක්‍රමය ඇති විය. සමහර භූ කලාපවල සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස වහල් ක්‍රමය නිර්මාණය වන අතර සමහර භූ කලාපවලට වහල් රාජ්‍ය පැමිණියේ ආක්‍රමණ හා යටත්කර ගැනීම් මගිනි. ඒ අතර ලොව සමහර රටවල් ගෝති‍්‍රක සමාජය තුළම තව කලක් පැවැතිණි. එසේම ලංකාව ඇතුළු ආසියාවේ සමහර රටවල වූ පංති සමාජය වහල් හිමි සමාජය නොවීය. එය වැඩවසම් ක්‍රමයක්ද නොවන ආසියාතික ක්‍රමය ලෙස හඳුන්වන පංති සමාජයක් ලෙස පැවැතිණි. ඉන් පැහැදිලි වන්නේ සමාජ සංවර්ධනය හා ඉතිහාසයේ ගමන ලොව පුරා සිදුවූයේ සමාන ලෙස නොව අසමාන ලෙස බවය. ඊට බලපෑ ප්‍රධාන විෂයමූල සාධක දෙකක් විය. එනම් නිෂ්පාදන උපකරණයන්ගේ දියුණුවේ මට්ටම හා පරිසර සාධකයන්ය.

රාජ්‍යයේ පැන නැගීම

ප්‍රථම පංති සමාජය ලෙස වහල් හිමි රාජ්‍ය පැන නගින විටම ඒ සමග තවත් සාධක ගණනාවක් ඇති විය. ඉන් ප්‍රධාන එකක් වූයේ ‘රාජ්‍යය’ නම් බලහත්කාරී ආයතනයේ බිහිවීමය. අප කලින්ද සඳහන් කර ඇති පරිදි ප්‍රාථමික සාමූහික සමාජය තුළ ‘රාජ්‍යය’ නැමති බලහත්කාරී ආයතනය නොවීය. එනිසාම නීති, හිරගෙවල්, උසාවි, හමුදා වැනි රජයට අයත් ආයතනද දේශපාලනය නැමති සංකල්පයද නොවීය. එහෙත් පංති සමාජය බිහිවන විටම මේ සියල්ලම බිහිවිය. එය එසේ වූයේ ඇයි?

පංති සමාජය බිහිවූයේම පැරණි ප්‍රාථමික සමාජ සබඳතා බිඳ දමමින් කිසියම් බලහත්කාරිත්වයක් හා ප්‍රචණ්ඩත්වයක් සහිතවය. ප්‍රාථමික සාමූහික සමාජයේ සිටි පිරිමි පිරිසක් තම වංශය තුළ තිබූ දේපළ තම පෞද්ගලික දේපළ බවට හරවාගත් අතර නිෂ්පාදන මාර්ගවල (සත්ව රංචුව, ගොවිපළ) අයිතියද පෞද්ගලිකව අත්කර ගත්හ. මීට එරෙහිව පැරණි සමාජයෙන් විරෝධයක් එල්ලවූ අතර ඒවා බලහත්කාරයෙන් යටත් කරනු ලැබීය. එසේම නව පෞද්ගලික නිෂ්පාදන මාර්ගවල වැඩ කිරීම සඳහා බලහත්කාරයෙන් මිනිසුන් යොදවනු ලැබුණු අතර ප්‍රථම ‘වහල්ලූ’ වූයේ ඔවුහුය. පළමුව තම වංශ තුළ සිටි අයම වහලූන් බවට පත් කර ගත් අතර පසුව අසල්වැසි ගෝත්‍ර ආක්‍රමණය කර මිනිසුන් හා ගැහැනුන් ‘වහලූන්’ ලෙස අල්ලාගෙන ඔවුහු වැඩට යොදවනු ලැබූහ. ඔවුනට කෑම පමණක් දෙන ලදී. එමගින් වහලූන්ගේ ශ්‍රමය සූරා කන ලදී.

මේ කි‍්‍රයාවලිය සඳහා බලහත්කාරය අවශ්‍ය වූ අතර ඉන්පසු බලහත්කාරය ආයතන ගත කිරීමට සිදුවිය. ඒ වහලූන්ගේ ප්‍රතිවිරෝධය මැඩ පවත්වා ඔවුන් පාගාගෙන පාලනය කිරීම සඳහාය. මේ සඳහා අවිගත් විශාල පිරිසක් යෙදවිය යුතුවිය. වහලූන් අල්ලාගෙන ඒම හා ඔවුන් යටපත් කොටගෙන වැඩ ගැනීම, මෙම විශේෂ අවිගත් කණ්ඩායමේ කාර්යය විය. එම අවිගත් කණ්ඩායම හමුදාව ලෙස පසුව හඳුන්වනු ලැබුණු අතර ඊට නායකත්වය දුන් ප්‍රධානියා රජු ලෙස හඳුන්වන ලදී. රජය බිහිවූයේ එලෙසය. පසුව මෙයට නීති අධිකරණ ආදී අංගද එකතු විය. එබැවින් රජය යනු පංති සමාජයේ බිහිවීමත් සමග පැන නැගුණ දේපළ හිමි පංතිය වෙනුවෙන් දේපළ අහිමි පංතිය පාගා සිටීමේ හා මර්දනය කිරීමේ උපකරණය විය. එංගල්ස් රජය පිළිබඳ පැවසුවේ මෙසේය.

රජය ඒ අනුව සදාකාලිකව පැවැති එකක් නොවේ. රජය හා රාජ්‍ය බලය පිළිබඳ විකල්පනයක් නැති, රජය රහිත සමාජයක් පැවැතිණි. සමාජය පංතිවලට බෙදීයාම නිසා ආර්ථික සංවර්ධනයේ එක්තරා අවදියකදී රජය පැන නැගි අතර එය මේ බෙදීම සමග අවශ්‍යයෙන්ම බැඳී ඇත.

එංගල්ස් – ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇතිවු සැටි’ 174 පිටුව

කොල්ලකෑම නීතිගතවීම

පෞද්ගලික දේපළ මත රජය බිහිවීමත් සමග ලොව භූමිභාගවල රාජ්‍යයන් බිහිවිය. රාජ්‍යය පවත්වාගෙන යාමට විවිධ ආයතන පද්ධතියක් ඇති විය. රජු මේ රාජ්‍යයේ ප්‍රධානියා වූ අතර පරපුරෙන් පරපුරට රජකම හිමිවිය. රෝමයේ මීට වෙනස් ක්‍රමයක් තිබූ අතර එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්විණි. එය ආරම්භ වූයේ ගී‍්‍රසියෙනි. එනම් වහලූන් නොවන නිදහස් පුරවැසියන් රැස්වී තම පාලකයා පත්කර ගැනීමය. රෝමයේදී මේ අයිතිය ලැබුණේ ප්‍රභූන්ටය. ඔවුහු එක්වී තම පාලකයා (කොන්සල්වරයා) පත්කර ගත්තෝය. වහල්ලූ මිනිසුන් ලෙස නොසැලකිණි. ඔවුන් හඳුන්වන ලද්දේ ‘කථා කරන උපකරණ‘ ලෙසය.

වහල් හිමි සමාජය බිහිවීමත් සමග, රජය බිහිවීමත් සමග රජය නඩත්තු කිරීමේ (හමුදාවලට වැටුප් ගෙවීම, ඉදිකිරීම් වැනි) අවශ්‍යතාවයද ඇති විය. ඒ සඳහා එක් අතකින් ජනතාවගෙන් ‘බදු‘ අයකිරීම ආරම්භ කරන ලදී. අනෙක් අතට ප්‍රබල රාජ්‍යයන් විසින් තමා අවට සිටින දුබල රාජ්‍ය හෝ ගෝත්‍රික සමාජ යටපත්කර ගැනීමත්, ඒවායේ දේපළ කොල්ලකෑමත් වහලූන් අල්ලා ගැනීමත් එලෙස යටත්කරගත් ප්‍රදේශවලින්  බදු ගැනීමත් කරන ලදී. ඒ සඳහා නීති, බදු අයකරන නිලධාරීන් ඇතුළු නිලධාරි පැලැන්තියක්ද බිහි විය.

අනික ප්‍රාථමික සමාජයේ නිශ්චිත යුද්ධ හමුදාවක් නොවූ අතර සියලූ පිරිමි අවි දැරූහ. ඔවුන්ද සමහරවිට යුද්ධකරන ලදී. ඒ කොල්ලකෑම සඳහා නොව තම භූමි භාග ආරක්ෂා කර ගැනීමටත් තමන්ට අසාධාරණයක් වූ විට ‘ලේවල පලිය’ ගැනීමටත්ය. එහිදී පිරිමින් මරා දමන අතර ළමුන් හා ගැහැණුන් තම ගෝත්‍රයේ තබාගන්නා ලදී. ඔවුනට සමානව සලකන ලදී. එතෙක් ලේවල පලිය ගැනීම වැනි සමාජ සම්මතයන් සඳහා කෙරුණු යුද්ධ පංති සමාජයේදී දේපළ කොල්ලකෑමේ හා වහලූන් අල්ලා ගැනීමේ යුද්ධ දක්වා පිරිහිණ. එහිදී ස්ථිර හමුදාවක් අවශ්‍ය විය. සියලූ දෙනා අවි දැරීම වෙනුවට අවිගත් විශේෂ පිරිසක් නිර්මාණය කරගනු ලැබීය. ඔවුහු වැටුප් ගෙවා නඩත්තු කරන ලදහ. රජය ආරම්භ වූයේ එසේය.

ආගම් බිහිවීම

ලොව ආගම් හෙවත් සංවිධානාත්මක ආගමික සංස්ථා බිහිවන්නේද පංති සමාජය තුළය. ප්‍රාථමික සමාජයේ ආගම් නොතිබි අතර පූජකයින් නම් විශේෂ පිරිසක් සිටියේද නැත. එකල පැවතුණේ ඇදහිලිය. ගෝත්‍ර විසින් විවිධ දේ දෙවියන් හා යකුන් ලෙස අදහනු ලැබිණි. ගස්, ගල්, ඉර, හඳ, තාරකා, වැස්ස, විදුලිය, පර්වත ඒ අතර විය. ගෝත්‍රයේ වැඩිහිටි මහලූ අය මෙහිදී ප්‍රමුඛස්ථානය ගන්නා ලදී. පූජකයන් ලෙස වෙනම යැපෙන පිරිසක් නොවීය. එයට හේතුව ගෝත්‍රයේ එවැනි අය නඩත්තු කිරීමට තරම් නිෂ්පාදනයක් හා අතිරික්තයක් ප්‍රාථමික සමාජයේ නොවීමය.

එහෙත් පංති සමාජය බිහිවීමත් සමග එය වෙනස් විය. සමාජයේ නිෂ්පාදනයේ අතිරික්තයක් තිබිණි. නිෂ්පාදනය නොකොට අතිරික්ත නිෂ්පාදනයෙන් යැපීමේ හැකියාව ඇතිවිය. එවිට ගෝත්‍ර තුළ තිබූ ඇදහිලි පසුව සංවිධානාත්මක ආගම් බවට පත්විය. එම ආගම් සඳහා ආගමික මධ්‍යස්ථාන බිහිවිය. ඒවායේ පූර්ණකාලීනව කටයුතු කරන පූජකවරු බිහිවූහ. ඔවුන් යැපුණේ ජනතාව ආගමික මධ්‍යස්ථානවලට කරන පරිත්‍යාග හා ගෙවීම්වලිනි. රජු මීට උදව් කළේය. ආගම වහාම රජය හා සම්බන්ධ විය. රජය හමුදා මගින් බලහත්කාරය යොදා මිනිසුන් ශාරීරිකව යටපත් කර ගන්නා විට ආගම රජය වෙනුවෙන් මිනිසුන් අධ්‍යාත්මිකව යටපත්කර තබාගැනීමේ වගකීම ඉටුකළේය. ආගම හා රජය අතර සම්බන්ධය ඇතිවූයේ එසේය.

මෙලෙස ආගම මෙන්ම කලාව, පවුල, දේශපාලනය වැනි සංකල්ප හා ආයතන රැසක් පංති සමාජය තුළ පැන නැගිණි.

විමර්ශන