අධිරාජ්‍යවාදය: ආර්ථිකය ග්‍රහණයට ගෙන

rsz_unhabitatlk_
ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්
February 25, 2019
rsz_third-international-communist-meeting
සියවසක් සපුරන 3වැනි ජාත්‍යන්තරය
March 6, 2019
Show all

අධිරාජ්‍යවාදය: ආර්ථිකය ග්‍රහණයට ගෙන

rsz_008

ධනවාදය බිහි වීමෙන් පසු එය සමාජ සංවර්ධනයේ පහළම මට්ටමේ ජීවත්වූ ගෝත‍්‍රික සමාජයන් පවා ධනවාදය තුළට ඇද ගන්නා බව මාක්ස් සහ එංගල්ස් ”කොමියුනිස්ට් ප්‍රකාශනයේ” අවධාරණය කරයි. ආසන්න වශයෙන් වර්ෂ 1860 ගණන්වලින් පසු ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා රූපාන්තරණය විය. එනම් ධනවාදය එහි උච්චතම අවස්ථාව කරා ගමන් කළේය. ධනවාදය අධිරාජ්‍යවාදය කරා ගමන් කිරීමෙන් පසු එය ලෝකය තුළ කුඩාම දූපත පවා අධිරාජ්‍යවාදය තුළට ඇද ගැනීමට උත්සාහ කළා මිස ඊට වෙනස් අයුරකින් කටයුතු කළේ නැත. අධිරාජ්‍යවාදය අද ලෝකය තුළ ඉතා තීව්‍ර  ලෙස කටයුතු කරමින් සිටී.

1990 වන විට ලෝකයේ බහු ජාතික සමාගම් 30,000ක් පමණ පැවති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළඳ හා සංවර්ධන සමුළුවට  අනුව 2006 වන විට එහි ප්‍රමාණය 63,000ක් පමණ වෙයි. ලොව පුරා මෙම සමාගම්වල ශාඛා 700,000 ක් පමණ ක්‍රියාකාරීව සිය ආර්ථික මෙහෙයුම් සිදු කරමින් සිටී.

මෙනිසාම අධිරාජ්‍යවාදය පසෙකින් තබා ලෝක දේශපාලනයේ හැසිරීම තේරුම් ගැනීමට යමෙක් උත්සාහ කරන්නේ නම් එය අතිශයින්ම මුග්ධ උත්සාහයක් වන්නේය. ඉහත අප සදහන් කළ බහු ජාතික සමාගම්වලින් 650කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මකය. එනම් ලංකාවේ වෙළඳපළ, ශ්‍රමය සහ සම්පත් ඔවුන්ට වැදගත්ය. අධිරාජ්‍යවාදය විසින් ශ්‍රී ලංකා භූමිය නොවැදගත් යැයි සලකා අතහැර දැමූ එකක් නොවන බව අප සිතන්නේ එනිසාය. ඒ අනුව ලාංකේය දේශපාලනය තේරුම් ගැනීමද අප කළ යුත්තේ මේ සන්දර්භය තුළ තබා මිස ඉන් පිටස්තරව නොවේ. ශ්‍රී ලාංකේය ආර්ථිකය අද වන විට සහ මුලින්ම අධිරාජ්‍යවාදයේ ග්‍රහණයට හසුව ඇත.

ආර්ථික, දේශපාලන හා මතවාදී බලයන් අනෝන්‍ය ආරක්‍ෂණ බලයන් වශයෙන් ක්‍රියා කරන බව මාක්ස්වාදීහු දනිති. එබැවින් තමන්ට රිසි ලෙස ආර්ථිකය හසුරුවා ගැනීමට අදාල ප්‍රතිපත්ති තීරණය කරගැනීමේ වුවමනාව පදනම් කර ගනිමින් අධිරාජ්‍යවාදීහු දේශපාලන හා මතවාදී ක්ෂේත්‍රයන් තුළටද විවිධාකාරයෙන් කඩා වදින බව වෙනම සඳහන් කළ යුතු නොවේ.

අද සමස්ත ලෝක යථාර්ථය මෙය වන අතර ලාංකේය යථාර්ථයද මීට ඔබ්බෙන්  පිහිටා නැත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරනුයේ ආර්ථික, දේශපාලන හා මතවාදී ක්ෂේත්‍රයන් ඔස්සේ ලාංකේය භූමියට අධිරාජ්‍යවාදීන් විසින් සිදු කරනු ලබන ආර්ථික මැදිහත්වීම් සම්බන්ධයෙනි. එය සාකච්ඡා කිරීමට හේතු සාධක වන කාරණා කිහිපයක්ද ඇත. එනම්, නොදන්නාකම නිසා හෝ අධිරාජ්‍යවාදීන්ගේ මතවාදී මෙහෙයුමේ ගොදුරු බවට අවිඥානිකවම පත්වීම නිසා හෝ තම තමන්ගේ පටු වුවමනාවන්ට අවශ්‍ය ලෙස විග්‍රහයන් සකස් කර ගැනීමේ වුවමනාව නිසා හෝ පවතින සන්දර්භයට පිටතින් පිහිටුවා  ලාංකේය දේශපාලනය විස්තර කිරීමට, විවරණය කිරීමට සහ ඒ මත පිහිටුවා දේශපාලන උපායමාර්ගයන් පවා වෙනස් කිරීමට ඇතමුන් උත්සාහ දැරීමය.

මෙවැන්නවුන් ඉදිරිපත් කරන අදහස් අතර ලෝක දේශපාලනය අධිරාජ්‍යවාදී අවධිය ඉක්මවා  ඉන් ඔබ්බට ගොස් ඇති බවට වන තර්කයන්ද  ලංකාව වැනි කුඩා භූමියක් අධිරාජ්‍යවාදීන්ට නොවැදගත් භූමියක් මෙන්ම ආර්ථිකය අතින්ද කුඩා එකක් බවට වන තර්කයන්ද වේ. නමුත් මේ කිසිවක් සත්‍ය නොවේ. කිසිදු ලිහිලක් නොදක්වා අධිරාජ්‍යවාදය ලාංකේය සමාජයට මැදිහත් වෙමින් සිටී. දේශපාලන, ආර්ථික හා මතවාදී ක්ෂේත්‍ර තුළ නූතනයේ ඔවුන් ලංකාවට මැදිහත් වන්නේ කෙසේද යන්න අපි විමසා බලමු.

ලෝකයේ බොහෝ රටවලට පහසුවෙන් මැදිහත්වීම සදහා අධිරාජ්‍යවාදීහු ඒ රටවල් තුළ ඇති ප්‍රශ්න, ගැටුම් උපයෝගී කර ගනිති. ජාතිකත්ව, ආගමික ගැටුම්, භාෂා හා සංස්කෘතික වෙනස්කම් මත ඇතිවන ගැටුම් මින් ප්‍රධාන තැනක් ගනී. එම ගැටුම් විසඳීමේ මුවාවෙන් අධිරාජ්‍යවාදීහු එම ගැටුම් තමන්ට අවශ්‍ය ලෙස කළමනාකරණය කරති. ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

  1. රටවල් බෙදා වෙන් කිරීම මගින් ඒවා දුර්වල රාජ්‍යයන් බවට පත් කිරීම
  2. දුර්වල වූ රාජ්‍යයන්ගේ සම්පත්, දේපළ මංකොල්ලකෑම හා ශ්‍රමය සූරාකෑම
  3. දුර්වල වූ රාජ්‍යයන් තමන් වෙත නම්මවාගෙන ලෝක දේශපාලන ආධිපත්‍ය සඳහා පාවිච්චි කිරීම
  4. යුද, දේශපාලන වුවමනාවන් සඳහා එම භූමි පාවිච්චි කිරීම ඔවුන්ගේ මූලික අරමුණු අතර වෙයි

ලංකාවේ ‘ජාතික ගැටලූව’ මෙලෙස ලංකාවට අත පෙවීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් මැනවින් යොදා ගන්නා හේතු කාරකයක් වී ඇත. වසර 30කට පමණ පෙර (1986) රෝහණ විජේවීර මහතා විසින් ලියන ලද ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ නැමති කෘතියේ ඔහු සවිස්තරාත්මකව මේ ගැන සාකච්ඡා කර ඇත. මේ සඳහා වන මෑත කාලීන උදාහරණ රාශියක්ම ඇත.

2002 පෙබරවාරි 21/22 යන දෙදින එවකට ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එල්.ටී.ටී.ඊ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් අතර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. ඉතා හදිසියෙන් අත්සන් කෙරුණු මෙම ගිවිසුම පිළිබඳ රටේ පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පවා පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. මෙම ගිවිසුම සකස් කළේ කෙසේද? කවුරුන් විසින්ද? එහි අඩංගුව කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් කිසිවෙකුට නොවීය. මෙහිදී ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ සහ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ අත්සන් එකතු කිරීම කරනු ලැබුවේ එවකට ලංකාවේ නෝර්වේ තානාපති ජෝන් වෙස්ට්බර්ග් විසිනි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ බව එවකට නෝර්වේ විදේශ ඇමති ජෝන් පීටර්සන් විසින්  ඕස්ලෝහි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

අවබෝධතා ගිවිසුමක් ලෙස (The memorandum of understanding) අත්සන් කෙරුණු මෙම ලියවිල්ල පිළිබඳ කි‍්‍රයාකාරී මැදිහත් වීම, අවබෝධය දෙකම තිබුණේ නෝර්වේ රාජ්‍යයටය. නෝර්වේ රාජ්‍යයේ වුවමනාව යට පවතින්නේ කුමන අරමුණුද? කාගේ වුවමනාවද?

අවබෝධතා ගිවිසුමෙන් පසු එළැඹි කාලයේ ඔවුන්ගේ භාවිතය තුළින් මීට පිළිතුරු ලැබේ. තොග ගණන් අවි ආයුධ, සන්නිවේදන උපකරණ, මුදල්, යුධ පුහුණුව ඇතුළු රාශියක් දේ නෝර්වේ මගින් එල්.ටී.ටී.ඊ.ය වෙත මේ කාලය තුළ ලබා දුන් බව දැන් ප්‍රකට රහසකි. ගිවිසුමේ අන්තර්ගතය තුළින්ද, භාවිතය තුළින්ද ශක්තිමත් කර තිබුණේ බෙදුම්වාදයයි. 2002 පෙබරවාරි 22 දින නෝර්වේ මැදිහත්වීම යටතේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට දින ගණනාවකට පෙර එනම්, 2002 පෙබරවාරි 13 දින ආණ්ඩුව TGS NOPEC නම් නෝර්වීජීයානු සමාගම සමග ලංකාවේ තෙල් ගවේෂණය පිළිබඳ ගිවිසුමකට එළඹ තිබිණි. මෙම ගිවිසුම අත්සන් කරන මොහොත වන විට එවැනි ගිවිසුමක් සඳහා වන නීතිමය ප්‍රතිපාදන පවා රට තුළ නොතිබුණු අතර පසුකාලීනව පාර්ලිමේන්තු පනතක් මගින් එම අඩුව පිරවිණි. එවැනි නීති ප්‍රතිපාදනයක් පවා නොමැති තත්වයක් තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා සාම ගිවිසුමට පෙර තෙල් ගවේෂණ ගිවිසුමකට යන්නේ ඇයි? ලංකාවේ සාමයට නෝර්වේ මැදිහත්කරුවෙකු වීමේ ප්‍රධාන රහසක් සැඟවී ඇත්තේ මෙතැනය. ඒ අන් කිසිවක් නොව මේ වන විටත් ලංකාවේ ඇතැයි තහවුරු වී ඇති තෙල් සම්පතයි.

බෙදුම්වාදය හරහා දුර්වල වන ලංකාවෙන් හෝ, බෙදුම්වාදය ජයග්‍රහණය කර බිහිවන දුර්වල කුඩා රාජ්‍යයයෙන් හෝ යන දෙකින් එකකින් තෙල් සම්පත උදුරාගැනීම නෝර්වේ අරමුණයි.

ඉහත අවබෝධතා ගිවිසුමේ ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමේ වගකීම භාරගෙන තිබුණේද නොර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල්ය.

මතභේදාත්මකව ඇදී ගිය මෙම ක්‍රියාවලිය 2006 ජූලි 20 මාවිල්ආරු සොරොව්ව පිළිබඳ ප්‍රශ්නයෙන් කෙළවරකට පත්වී විවෘත යුධ ගැටුමක් බවට පත් විය.

ඒ අතරතුර කාලයේ 2004 වසරේ ඇතිවූ සුනාමි තත්වය ප්‍රයෝජනයට ගනිමින් සුනාමි සහන මණ්ඩලය නමින් එල්.ටී.ටී.ඊ ය සහ රජය අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනංවා උතුරු සහ නැගෙනහිර පලාත්වල පාලනය එල්.ටී.ටී.ඊ ය අතට පත් කිරීමට අධිරාජ්‍යවාදීහු තම උපරිමයෙන් කටයුතු කළහ. එම කාලය තුළ ලංකාවේ විශේෂ සාම නියෝජිතයෙකු ලෙස එරික් සෝල්හයිම් සුනාමි සහන මණ්ඩලයට නෝර්වේ පූර්ණ සහාය ලබා දෙන බව පැවසීය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් මහතාද සුනාමි සහන මණ්ඩලය පිහිටුවීම පිළිබඳ තම ප්‍රසාදය පළ කර තිබුණි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම හේතුවෙන් සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට ලැබුණේ නැත.

ශ්‍රී ලංකාව යනු අධිරාජ්‍යවාදී ණය උගුලේ හොඳින්ම සිරවුණු රටකි. ලංකාවට ණය සපයන රටවල් කණ්ඩායමේ සම සභාපතිත්වය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමය හා නෝර්වීජියාව යන රටවල්ය. මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු රට තුළ ඇතිවූ යුධ ගැටුම තුළදී මෙම සම සභාපතිත්වය දරන රටවල් කෙලින්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට අත පෙවීය. කලින් ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුම නොරකින්නේ නම් ණය ආධාර ලබාදීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව ඔවුහු ශ්‍රී ලංකාවට පැවසූහ.

අධිරාජ්‍යවාදීන්ට ලංකා භූමියට මැදිහත් වීමට ඉඩ සැලසූ බෙදුම්වාදී යුධ ක්‍රියාවලිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුධ පෙරමුණ බිඳ වැටීමෙන් අවසන් වුවද අධිරාජ්‍යවාදීන් විසින් වෙනත් පෙරමුණකින් තම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන තිබේ.

2012 මාර්තු 22 ඇමරිකා එක්සත් ජනපදය සෘජු ලෙස මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට ගෙන ආ යෝජනාවක් මගින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරන ලදී. එහිදී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කර දීමේ කිසිදු වුවමනාවක් ඇමරිකා එක්සත් ජනපදයට නොවීය. ඒ මගින් රාජපක්‍ෂ ආණ්ඩුවේ ගෙල මුලින්ම අල්ලා ගැනීමට අධිරාජ්‍යවාදය අද සමත් වී ඇත. රාජපක්‍ෂ ආණ්ඩුවේ අමනෝඥ භාවිතය අධිරාජ්‍යවාදයට ඒ සඳහා පාර විවර කර දී ඇත.

2005දී අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්මත කර ගන්නා ලද  Responsibly to protect නම් ප්‍රතිපත්තිය පාවිච්චි කරමින්ද අසාර්ථක රාජ්‍ය සංකල්පය භාවිතා කරමින්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රට තුළට ගොඩ බස්සවා සූඩානයේ හෝ සයිප්‍රසයේ පන්නයේ පිළිතුරක් ලබා දීමේ අපේක්‍ෂාවක් අධිරාජ්‍යවාදීන් තුල නොතිබුණා නොවේ.

ආර්ථික ක්‍ෂෙත්‍රයේදී අධිරාජ්‍යවාදය අද ලොව පුරාම නව ලිබරල්වාදී ආර්ථික රටාව ව්‍යාප්ත කර  තිබේ. ලංකාවද මේ අධිරාජ්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරකි. 1977 වර්ෂය මෙහි සංධිස්ථානයකි. අද වෙන විට ලාංකේය සමාජයද නව ලිබරල්වාදී අධිපරිභෝජන සංස්කෘතියක ගිලී ගොස් අවසන්ය.

නිෂ්පාදන ආර්ථිකයන් වෙනුවට නිෂ්පාදනයෙන් ඉවත්වූ සේවා ආර්ථිකයකට වැඩි බරක් තැබූ ආර්ථිකයක් බවට ලංකාව පත්කර තිබේ. නිෂ්පාදන ආර්ථිකයකට පණ දුන් ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, වතු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය කොට අවසන්ය. ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙමින් පවතී. ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය විනාශයේ මුවවිටටම ඇද දමා ඇත.

රටේ බලශක්තිය පිළිබඳ අයිතියද සහමුලින්ම අත්පත් කර ගැනීමේ සැලසුමක් අධිරාජ්‍යවාදයට ඇත. එහෙත් එවැනි ජාතික ආරක්‍ෂාව සම්බන්දයෙන්  වැදගත්ම වන ආර්ථික ක්‍රියාවලියේද වැදගත්ම සාධකයක් වන බලශක්තිය වැනි ක්ෂේත්‍රයන් පවා ආරක්‍ෂා කර ගැනීමට හැකියාවක්, සැලසුමක් රාජපක්ෂ ආණ්ඩුවට නොමැත.

විවෘත ආර්ථිකය ආරම්භ වී සෑහෙන කාලයක් යන තෙක්ම රටේ මූල්‍ය ක්ෂේත්‍රයට මැදිහත්වීමට අධිරාජ්‍යවාදීන්ට සහමුලින්ම ඉඩ විවරවී නොතිබුණි. නමුත් මේ වන විට ලංකාවේ මූල්‍ය ක්‍ෂෙත්‍රයද අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස හසුරවමින් තිබේ. ශ්‍රී ලංකාව සහමුලින්ම සූදු පොළක තත්වයට පත් වෙමින් පවතින අතර රටේ ජනතාවට අවශ්‍ය ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට ඇති ඉඩකඩ මේ නිසා අහෝසිවී යනු ඇත.

රාජ්‍ය බැංකු පද්ධතිය බිඳදමා පෞද්ගලික අංශයට පවරා දීමට එක් අතකින් කටයුතු කරමින් සිටින අතර HSBC වැනි බහු ජාතික බැංකු සමාගම් ලංකාව තුළ බැංකු කටයුතුවලට මැදිහත්වී ඇත. කොටස් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු සඳහා විදේශිකයන්ට ඉඩකඩ සලසා දීම, ලංකාවේ විදේශ වත්කම් රටට ලබා ගැනීමට තිබූ දින 365ක කාල සීමාව ඉවත්කර දැමීම, රුපියලේ අගය අවප්‍රමාණය කිරීම හා පසුව රුපියලේ අගය පාලනය කිරීමෙන් මහ බැංකුව ඉවත්වී රුපියල පාවෙන්නට ඉඩ හැරීම, උපයාගත් ආකාරය සඳහන් නොකර රටට මුදල් ගෙන ඒමට ඉඩ සලසා දීම වැනි කිසිවක් රටේ අවශ්‍යතාවය මත ඇතිවූ ආර්ථික ප්‍රතිපත්ති, තීරණ නොවේ. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය යහමින් ක්‍රියාවට නැගීම සඳහාම ගන්නා ලද ක්‍රියාමාර්ගයන්ය. මේ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රාග්ධන ගිණුම විවෘත කර ඇති අතර එහි ඉදිරි පියවරයන් වශයෙන් 2013 නව වසර සඳහා වන අයවැය මගින් යෝජනා කර ඇති ක්‍රියාමාර්ග ගණනාවකි.

විනිමය පාලන දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව වසරකට ඩොලර් මිලියන 10 ක් දක්වා විදේශ ණය ගැනීමට ව්‍යාපාරිකයින්ට ඉඩ ලබා දීම

පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට ඩොලර් මිලියන 50ක් දක්වා අනුමැතියකින් තොරව විදෙස් ණය ගැනීමේ අවස්ථාව ලබා දීම

ඒකක භාර (Unit Trust) සමාගම් සම්බන්දයෙන් දැනට ඇති 25% බදු අනුපාතය 10% දක්වා අඩු කිරීම

කොටස් වෙළඳපළේ අලූතින් ලැයිස්තු ගත කරන සමාගම්වලට වසර තුනක බදු විරාම ලබාදීම.

විදේශ ගත ලාංකිකයින් ලංකාවේ සිදු කරන මිලියන 05 දක්වා ආයෝජන සඳහා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවීම හා එවැනි ආයෝජන සඳහාද වසර 03ක බදු විරාම ලබා දීම.

මේවා රටේ පොදු ජනයාගේ වුවමනාවන් සඳහා වූ යෝජනා නොවේ..

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයද අධිරාජ්‍යවාදීන් විසින් විවිධාකාරයෙන් මැදිහත්වූ ක්ෂේත්‍රයකි. කෘෂි කර්මාන්තයේදී වඩාත් වැදගත්ම සාධකය වන්නේ ඉඩම්ය. ලංකාවේ ඉඩම් අයිතියටද බහුජාතික සමාගම් කඩාවැදී හමාරය. ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් අති විශාල බහුජාතික සමාගමක් වූ ඩෝල් (DOLE) ආයතනයට ලංකාවේ බුත්තල, ඌව කුඩා ඔය, ගාල්ල, පුත්තලම, දඹුල්ල සහ සෝමාවතිය, යන ප්‍රදේශවල හෙක්ටයාර් 62,500ක ඉඩම් කෙසෙල් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා රජය මගින් ලබාදී තිබුණි. මේ සඳහා එම සමාගමට ලබාදී තිබූ ඉඩම් අතර මහවැලි අධිකාරියට, වනජීවී දෙපාර්තමේන්තුවට සහ විහාර දේවාලගම්වලට අයත් ඉතා වටිනා ඉඩම්ද විය.

ජල මූලාශ්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ඇති ඌව කුඩා ඔය ප්‍රදේශයේ හෙක්ටයාර 3000 ක් පමණද මැණික් ගංගාධාරයේ හෙක්ටයාර 500ක් පමණද කන්තලේ ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර 15,000ක් පමණද සෝමාවතිය රක්‍ෂිතයට අයත් හෙක්ටයාර 11,600ක් පමණද මෙම සමාගමට ලබා දී තිබේ.

මෙම සමාගම පැමිණීමට පෙර ඌව කුඩා ඔය ප්‍රදේශයේ වී සහ හේන් වගාකළ ගොවීන් බොහෝමයකට පසුව සමාගම තුළ වැඩ කිරීමට සිදුවිය. උදේ 6.30 සිට සවස 3.30 දක්වා සේවය කරෙන සේවකයෙකුට සමාගම විසින් ගෙවන ලද්දේ රු. 300ක් තරම් වන සොච්චම් වැටුපකි. මේ පිළිබඳ අදහස් දැක්වූ විද්වතෙකු පවසා තිබුණේ මෙය කෘෂිකාර්මික යටත්විජිතකරණයක් (Agro – Colonization)) ලෙසය.

රටේ ගොවීන්ට වගාකිරීමට බිම් අඟලක් නොමැතිව, ජලය නොමැතිව සිටියදී බහු ජාතික සමාගම්වලට

රටේ වටිනාම ඉඩම් හෙක්ටයාර දහස් ගණනක් අත්පත්කර ගැනීමට හැකිවූයේ කෙසේද?.

“Lets Grow”, නම් ලංකාවේ සමාගමක්ද ඉදිරියට දමාගනිමින් Dole සමාගම මෙම ඉඩම් අත්පත්කර ගැනීමෙන් තම කටයුතු කරගෙන ගියද පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට එය අවශ්‍ය තරම් වේගයෙන් සිදුකර ගැනීමට හැකිවී නැත.

මේ ආකාරයේ තවත් උදාහරණ ගණනාවකි. කජු වගා කිරීම සඳහා අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශයේද උක් වගා කිරීම සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශයේද ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත්කර ගැනීමට බහුජාතික සමාගම්වලට අද හැකිවී ඇත.

සත්තකින්ම කෘෂි කාර්මික භූමි පමණක් නොව වෙළඳ හා කාර්මික වශයෙන් වැදගත්වන භූමිද අද වන විට බහුජාතික සමාගම් අතට පත් වෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය වන පසුබිමද 2011 වසරේ ඉදිරිපත් කරන ලද 2012ට නියමිත අයවැය මගින් සම්පාදනය කරන ලදී. මෙතෙක් විදේශිකයන්ට ලංකාවේ ඉඩම් මිලදී ගැනීමේදී තිබූ 100% බද්ද එයින් ඉවත්කරන ලදී.

ඩොලර් මිලියන 10 කට වැඩි ආයෝජනයක් කරන්නේ නම් කිසිදු බදු මුදලකින් තොරව ඉඩම් මිලදී ගැනීමට ඉන් ඉඩකඩ  සලසා දෙන ලදී.

ඉඩම් තරමටම කෘෂි කර්මාන්තයට වැදගත්වන තවත් සාධකයක් වන්නේ ජලයයි. ජල කලමණාකරණය නමින් අප රටේ ජලයද වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කුප්‍රකට සැලසුමක් අධිරාජ්‍යවාදීහු  ක්‍රියාත්මක කරමින් සිටිති. ජලය පෞද්ගලික භාණ්ඩයක් බවට පත් කිරීමෙන් එය විකුණන භාණ්ඩයක් බවට පත් කර ගත හැක. 1985 දී පාර්ලිමේන්තු පනතක් මගින් ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය (IIMI) සංස්ථාගත කරන්නේ මේ කටයුත්තේ මූලික පියවරක් ලෙසිනි. පසුව මේ කටයුත්ත සඳහා අවශ්‍ය ආයතන ව්‍යුහයක්ද සකස්කර ගැනීම දක්වා ක්‍රියාවලිය ඉදිරියට ගියද, මේ සඳහා අවශ්‍ය මතවාදී මෙහෙයුම ක්‍රියාත්මක කළද ගොවීන්ගේ හා රටේ ප්‍රගතිශීලී ජනතාවගේ ක්‍රියාකාරීත්වය විසින් අදාල සැලසුම යම් තරමකට පසු බස්සවන ලදී. නමුත් මීට මාස කිහිපයකට පෙර පෞද්ගලික ළිං සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් පිළිබඳව කථාබහක් මතුවී පැමිණියේය. ක්‍ෂණයෙන් මතුවූ ජනතා විරෝධය නිසා ආණ්ඩුවද තම අදහස හකුළා ගත්තේය. නමුත් අනතුර පහව ගොස් නැත. අනාගතයේ දිනක තම කුඹුරට ලබාගන්නා ජලය ප්‍රමාණයට ලොව කොහේ හෝ සමාගමකට බිල්පතක් ගෙවන්නට ලංකාවේ ගොවියෙකුට සිදුවීම විය නොහැක්කක් නොවේ.

ලෝකයේ කෘෂි බීජ වෙළඳාම අද වන විට බහුජාතික සමාගම් පද්ධතියක් අතට නතු කරගෙන ඇත. ඔවුන් මේ මගින් අසීමිත ලාභ ප්‍රමාණයක් උපයා ගනිමින් සිටී. මෙම සමාගම්වලින් ශ්‍රී ලංකාවද මගහැරී නොමැත. අද ලෝකයේ කෘෂි බීජ වෙළඳාමෙන් 23%ක අයිතිය ඇති ‘මොන්සැන්ටො’ (Monsanto)) නම් ඇමරිකා එක්සත් ජනපදය පදනම්කරගත් බහුජාතික සමාගම පවා ශී‍්‍ර ලංකාවේ ක්‍රියාත්මකය. බේයර්, සී.අයි.සී. එවැනි තවත් සමාගම්ය. මේ සමාගම් සඳහා තම මෙහෙයුම් සාර්ථක කරගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත ඉඩකඩද පාර්ලිමේන්තුව තුළින් සම්මත කරදී ඇත. 2003 අංක 22 දරන බීජ පනත, 2011 සංශෝධිත පනත මගින් අලෙවිය සඳහා බීජ නිෂ්පාදනය කිරීමේ හැකියාව ගොවීන්ගෙන් උදුරාගනු ලැබ ඇත.

උසස් වර්ගයේ බීජ ගොවීන්ට ලබා දීම නැමති සටන් පාඨයට මුවාවී සිදුකර ඇත්තේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය පනත් සම්මත කිරීමය.

වෙනදා ගොවීන් පාරම්පරිකව ආරක්‍ෂා කරගෙන පැමිණි සහ නොමිලයේ හෝ අඩු මිලකට සපයාගත් බීජ සඳහා අද අධික මිල ගණනක් ගෙවීමට ගොවීන්ට සිදුවී ඇත. ලංකාවේ කෘෂි භෝග බහුජාතික සමාගම්වල සියදිවි නාශක බීජ මගින් ආක‍්‍රමණය කර ඇත.

මීට අමතරව කෘෂි කර්මාන්තය තුළ මෙම සමාගම් කර ඇත්තේ මොනවාද? අප රටේ ආහාර සුරක්‍ෂිතභාවය සඳහා අත්‍යාවශ්‍යයෙන් වගා කළ යුතු වී වගාවෙන් ගොවියා ඈත් කරමින් සිටී. ඒ වෙනුවට දුම්කොළ, බේබි කෝන්, ගර්කින් ආදී වාණිජ වගාවන්ට ගොවියා තල්ලූ කෙරේ.

ලංකාවේ ඇති ඛනිජ සම්පත් ප්‍රමාණයද අධිරාජ්‍යවාදීන් මෙරට කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට හේතු වී ඇත. මිනිරන්, පොස්පේට්, ඉල්මනයිට් ආදිය විශාල ප්‍රමාණයක් අප රට සතුව ඇතිමුත් ඒවා ප්‍රයෝජනයට ගැනෙන්නේ බහු ජාතික සමාගම් විසිනි.

එප්පාවල පොස්පේට් නිධිය වර්ග කි.මි. 04 පුරා පිහිටි අති විශාල පොස්පේට් නිධියකි. ෆ‍්‍රී පෝර්ට් මැක්මොරාන් නම් ඇමරිකානු සමාගම මෙහි අයිතිය තමන් වෙත පවරා ගෙන පොස්පේට් කැණීම ආරම්භ කළේය. මීට එරෙහිව අති විශාල ජන විරෝධතාවයක් මතු වූයෙන් ඊට බාධා ඇති විය.

පුල්මුඬේ ඇති අති විශාල ඛනිජ වැලි නිධිය මේ වන විට ඔස්ටි‍්‍රයානු සමාගමක් වන ස්ට්‍රෝක් සමාගම අත්පත් කරගෙන ඇත. ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ සම්පත් පවතින නමුත් මේ වන විට රටේ සිමෙන්ති නිෂ්පාදනය සිදු කරන්නේ හොල්සිම් නම් ජපාන සමාගමයි.

කිරින්ද ප්‍රදේශයේ ස්ථානගතව ඇති ගානට් නිධිය ETA නම් ඉන්දියානු සමාගමකට පවරා දීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී.

දැනට කරන ලද අධ්‍යයනයන් අනුව ලංකාවේ බොර තෙල් ඇතැයි බොහෝ සෙයින් විශ්වාස කෙරේ. මේ තත්වය අධිරාජ්‍යවාදී රටවල් ලංකාවට වැඩි අවධානයක් යොමු කිරීමට හේතු විය.

අධිරාජ්‍යවාදය ලාංකේය භූමියෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම රිංගා ඇති බවට සාක්‍ෂි වශයෙන් මෙම උදාහරණයන්ම ප්‍රමාණවත්ය. එහෙත් තත්වය මීට වඩා අතිශයින්ම බැරෑරුම්ය.

අධිරාජ්‍යවාදීන්ට තම නිෂ්පාදන වෙනත් රටවලට අලෙවි කර ගැනීමට නොහැකි වූ විට එම රටවල් තුළ ජාතික නිෂ්පාදනයන් බිඳ දැමීමට වූවත් පසුබට නොවේ. බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වී යාම එවැනි මැදිහත් වීමක් බව බොහෝ අය විශ්වාස කරති. ලංකාවේ කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් අපට පෙනෙන ජීවමාන අත්දැකීමද මෙයයි. ලංකාවේ ඖෂධ සම්බන්ධයෙන්ද මෙම තත්වය බලපවත්නා බවට එම ක්ෂේත්‍ර තුළ සාකච්ඡා වේ.

ඖෂධ නිෂ්පාදන සමාගම් මැදිහත් වීමෙන් රජය නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල ගුණාත්මකභාවය පහළ හෙලීමෙන් තමන්ගේ ඖෂධවල වෙළඳපළ ආරක්‍ෂා කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

මේ තත්වයන් හමුවේ පොදු ජනයා දැඩි පීඩනයට ලක්වන අතර ජන සමාජය හා අධිරාජ්‍යවාදය අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගීම නොවැළක්විය හැක්කකි.

ඒ බව ඉතා හොදින්ම දන්නා අධිරාජ්‍යවාදීන් විසින් එම තත්වය පාලනය කිරීම සදහා මතවාදී මැදිහත් වීමක්ද සිදු කරනු ලබයි.

රාජ්‍ය නොවන සංවිධාන (N.G.O.) මාධ්‍ය ආදිය මගින්ද මේ සඳහා වෙනම පුද්ගලයින් පුහුණු කර ඔවුන් දේශපාලනයට ඇතුල් කිරීම මගින්ද ආදී තවත් බොහෝ ක‍්‍රම හරහා මෙම මතවාදී මැදිහත්වීම අධිරාජ්‍යවාදීන් විසින් කරනු ලබයි. අති විශාල ජනතා විරෝධයක් මධ්‍යයේ ඇමරිකානු හඬ (Voice Of America)) වැනි ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කරන්නේ මේ නිසාය.

අධිරාජ්‍යවාදය විසින් බැට කමින් සිටින සියලූම ලාංකේය ජනතා බලවේග එක් මිටකට එකතුකර ගැනීමටත් ඔවුන් අධිරාජ්‍යවාදයට එරෙහි එක පෙරමුණකට ගැනීමටත් මේ විෂයමූල තත්වය විසින් ඉඩ සලසා දී ඇත.
විමර්ශන