සෞන්දර්ය: වින්දනයේ සාහිත්‍ය ඇස

rsz_2019-02-14_10_46_32-empe_2_-_paint
අධිරාජ්‍යවාදයේ හැඩරුව: දේශපාලනික කියවීමක්
February 14, 2019
US Flag Around the Earth --- Image by © Images.com/Corbis
ගැත්තාගෙන් සමාවක් නැත
February 18, 2019
Show all

සෞන්දර්ය: වින්දනයේ සාහිත්‍ය ඇස

beden-diline-bakin

“පිලේ පැදුර හේනට අරගෙන යනවා

එළා පැදුර මැස්සෙහි එහි සැතපෙනවා

රටා වියපු අත්දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා”

මිනිස් මනස ප්‍රකෘතිය පරාවර්තනය කරන්නට සමත්ය. එයින් නොනැවතී මිනිසා තම අභ්‍යන්තරය පවා පරාවර්තනය කරයි. ඉහත ගීතයෙන්ද මෙම පරාවර්තන ක්‍රියාවලිය දැකිය හැකිය. ඒ පිළිබඳව කතා කිරීම අපි මෙම සාකච්ඡාවේ අග භාගයට කල් තබමු. මිනිසා තම සංවේදනයන් මඟින් ග්‍රහණය කරගන්නා ප්‍රකෘතිය චිත්ත රූපාකාරයෙන්ද පරාවර්තනය කරයි. වෙනත් පරාවර්තන ආකාර පවතින නමුත් අපගේ මාතෘකාවට අදාළ වන්නේ එයයි. මෙම චිත්ත රූප විසින් කලාත්මක නිර්මාණයන් උපදී. එසේම සාහිත්‍යය යනු කලාව තුළ වන ප්‍රභේදයකි. සාහිත්‍යයේ මාධ්‍යය වන්නේ භාෂාවයි. එනම් චින්තනයේ උසස්ම සංකේතමය සන්නිවේදන ස්වරූපයයි. සැබෑ සාහිත්‍යය තුළින් මිනිසා කරන්නේ භාෂාවේ විවිධ ගුණයන් උපයෝගී කොට ගනිමින් ප්‍රකෘතියෙහි යථාර්ථය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමයි. එමෙන්ම ලෝකය වෙනස් කිරීමේ කාර්යයට මිනිසා පෙළඹවීමයි.

සෞන්දර්යය යනු ‘ලස්සන’ යන අර්ථය නොවේ. එයට වඩා සංකීර්ණ හා පුළුල් හැඟීමක් සමඟ ඇතිවන වින්දනයකි. මිනිසා නිර්මාණ කාර්යයෙහි යෙදෙන්නේ සවිඥානිකවය. එනම් දැනුවත්භාවයෙනි. සැම විටම නිර්මාණයක් බිහිවන්නේ, මනස තුළය. ඒ, මිනිස් මොළය සතු පරිකල්පනය නම් සුවිශේෂී හැකියාව තුළින් සැබෑ ලෝකය අපූර්වත්වයෙන් ප්‍රතිනිර්මාණය කිරීමෙනි. ඒ අනුව සෞන්දර්යය යනු  චින්තනයේ  නිර්මාණාත්මක හැකියාවේ සංකීර්ණ ගුණයකි. මෙම ගුණය සාහිත්‍යය නිර්මාණයන්ට අදාළව තේරුම් ගැනීම අපගේ අරමුණයි.

‘සෞන්දර්යය’ යන්න පැහැදිලි කිරීමට ජීව විද්‍යාවට නොහැකිය. එයට හේතුව එය හුදු ජීවී ගුණයක් නොව මානව ගුණයක් නිසා වෙනි. එය පැහැදිලි කිරීම සඳහා මිනිස් සමාජය විග්‍රහ කරන සමාජ විද්‍යාව අවශ්‍යය. භෞතික ලෝකය ග්‍රහණය කරගැනීමේදී මිනිසාට පංචේන්ද්‍රිය නම් උපකරණයන් තිබේ. ආලෝකය, ශබ්දය, රසය, ගන්ධය හා ස්පර්ෂය යන සංවේදනා අල්වා ගැනීම සඳහා ඇස, කන, දිව, නාසය සහ සම ඔහු සතුය. එහෙත් මෙම ඉන්ද්‍රියන් මිනිසාට පමණක් නොව ජීවීන්ටද අඩු වැඩි වශයෙන් සහ විවිධ ස්වරූපයන්ගෙන් තිබේ. (සතුන් තුළද ලිංගික ආකර්ෂණයන් උදෙසා යෙදවෙන හඬ හා අලංකරණයේ විශේෂතා ජානමය පුරුදු ලෙස පවතී.) එහෙත් මිනිසා සතු මෙම සංවේදනයන් සියල්ල විශ්ලේෂණය කරගන්නා සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නට පොළඹ වන ඉන් නොනැවතී සිතීමේ සුවිශේෂී හැකියාව සහිත මධ්‍ය ස්නායු පද්ධතියක් ඔහු සතුවේ. එය මිනිස් මොළය නමින් ඉතා උසස් චින්තනයක් සහිතව පවතියි. එය සතු චින්තනයේ හැකියාව විසින් නිර්මිත ගුණයක් වන විඥානය මිනිසාට අදාළව පුද්ගල තත්වය ඉක්මවමින් සමාජ විඥානයක් බවට පත්වේ. සෞන්දර්යය බිහිවන්නේ පුද්ගල විඥානය තුළ වුවද එය සමාජ විඥානයේ ප්‍රකාශිත වීමකි. මෙතැනදී සමාජ විද්‍යාව නොමැතිව අපට ඉදිරියට යා නොහැකිය.

ඉතා බියකරු අවලස්සන යක්ෂ වෙස් මුහුණු පැළැඳ ඉතා ඝෝෂාකාරීව හා ප්‍රචණ්ඩව කරනු ලබන රංගනයකදී වුවද සෞන්දර්යය උපදී. කන, නාසය සහ තොල් සිදුරු කොට එහි යකඩ වළලූ පැළඳ සිටින අප‍්‍රිකානු ගෝත්‍රික කාන්තාවක් තුළ එම ගෝත්‍රිකයෝ සුන්දරත්වයක් දකිති. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතියක් වන තොටගමුවේ රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සංදේශයේ මෙම කවි පද දෙක  විමසා බලන්න.

“සිසි වන උවන ඉඟ සුඟ ගත

හැකි මිටින

නිසි පුළුලූකුල රිය සකයුරු

තිසර තන”

රාහුල හිමියන් මේ විචිත්‍රවත් කරනුයේ නාරි ලාලිත්‍යයයි. මෙහි කියවෙන අර්ථයන් වෙන් වෙන්ව ගෙන බලමු. නැතිනම් ඛණ්ඩනය කොට බලමු. “සිසි වන උවන” යනු හඳ වැනි මුහුණ හෙවත් මුහුණ සඳට උපමා කිරිමකි. සඳ නම් භෞතික වස්තුව අප පියවි ඇසින් දකින්නේ දිස්නය දෙන තැටියක් ලෙසිනි. එපමණක් නොව සඳෙහි ලප හෙවත් ආවාටයන්හි ඡායාවන්ද අප දකිමු. පියවි ලොවේ පවතින මෙවන් සඳට සමාන වූ කාන්තා මුහුණක් කෙතරම් ප්‍රසන්නතාවයෙන් අඩුද යන්න කාටත් පැහැදිලිය. තවද “ඉඟ සුඟ ගත හැකි මිටින” යන්නෙන් හුදකලාව ප්‍රකාශ වන චිත්ත රුපය කෙසේද? මෙම කවියෙන්, මිටින් ගන්නට තරම් හැකි සිහින් ඉඟක් එම කාන්තාවට ඇති බව කියවේ. එනම් සර්ප ශරිරයකට සමාන අදහසක් ඉන් ජනිත වේ. නැතිනම් උඩැක්කියක් මෙන් මැදින් සිහින්ව ඉහළින් සහ පහළින් පළල්ව තිබෙන බව කියවේ. තවද “නිසි පුළුලූකුල රිය සකයුරු” යනු පුළුල් උකුල පෙදෙස කරත්ත රෝදයක් බඳු යැයි කියවේ. (එකල ගමනාගමනයට භාවිතා කළ එකම රිය කරත්තය පමණි.) “රිය සක වැනි පුළුලූකුල” සමස්ත කවියෙන් ව්‍යුක්තව ගත් කල සළෙළුන් සතුටු කරයි. (වර්තමාන වෙළඳ දැන්වීම් තුළ ‘ටයරය’ කාන්තා කලවයට සම කිරීම වැනිය.) එහෙත් එහි සෞන්දර්යයක් නැත. මෙම කාන්තාවට ”හංසයින් වැනි  පියවුරු”ඇති බවද පැවැසේ. දැන් මෙම රුව සිතෙහි ඇඳ ගන්න. පුවරුවකින් (ලෑල්ල) කපන ලද රුවක් වැනි නොවේද? මෙහි සුන්දරත්වය කොහිද? නමුත් කවිය කියවන විට අප තුළ නාරි ලාලිත්‍යයේ සෞන්දර්යය ඉස්මතු කරන්නට කවියා සමත්ය. ඒ කෙසේද?

තව උදාහරණයක් ලෙස සුප්‍රසිද්ධ ජගත් නවකතාවක් විමසා බලමු. ඒ, ගුස්ටාච් ප්ලොබයාර්ගේ ‘මදාම් බෝවාරිය’. එය සිරිල් සී පෙරේරා විසින් ‘එමා බෝවාරි’ නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එහි එමා හැදුණේ වැඩුණේ කන්‍යාරාමයකට කොටුවීය. ඇය මවගෙන් වෙන්වූයේ කුඩා කලදීය. පසුව ඇය විවාහ කරගත් චාල්ස් නම් ස්වාමියා ඇයගේ සිතඟි වටහා ගන්නට අසමත් විය. ඇය ඉඩම් හිමියකු වන ලියොන් නැමැත්තා ඇසුරට පත් විය. ඇය ඔහුට මුලා විය. තම සුන්දර සිහින ලෝකය සොයා යන ඇය කපටියන්ට මුලාව මහා ණයකාරියක් බවට පත්විය. ඇය අවසන සියදිවි නසාගත්තාය. ඇගේ නීත්‍යානුකූල ස්වාමියා වන චාල්ස්ද පසුව එම ශෝකයෙන් මළේය. සැබැවින්ම මෙය බැලූ බැල්මට ශෝකාන්තයකි. එහි අවසානය ප්‍රසන්න නොවේ. (ලේඛකයා තම කෘතිය පිළිබඳව පවසා තිබුණේ, එමා වස පානය කරන අවස්ථාව ලියමින් සිටින විට ඔහුටද මුවට තිත්ත රසය දැනුණ බවයි.) එහෙත් එම ශෝකාන්තය තුළින් අනෙකුත් පුද්ගල හා ක්‍රියාකාරිත්වයන් සංකීර්ණයක හේතුවෙන් සෞන්දර්යය බිහි කරන්නට ප්ලොබයාර් සමත් විය.

එසේ නම් සෞන්දර්යය පවතින්නේ කොතනද? උපමා රූපකවලද, තම දැක්ම තුළද, භාෂාව තුළද නැතිනම් වෙනත් යමකද? ඉහත උදාහරණයන් කිහිපය නැවත සලකා බලන්න. වෙස් මුහුණෙහි අවලස්සනද, බියකරු බවද, යක්ෂයා පිළිබඳ සංකල්පද, කැටයමෙහි විශිෂ්ටත්වය හා නර්තනයේ ලාලිත්‍යද ඉදිරිපත් කිරීමේ නාට්‍යමයභාවයද තවත් බොහෝ එයට අදාළ සංකීර්ණ මිනිස් අදහස් හා හැඟීම් සංකීර්ණ ගට්ඨනයක ප්‍රතිඵලයක් ලෙස එහි සෞන්දර්ය උපදී. ගෝත්‍රික කාන්තාවගේ යකඩ වළලූ පැළඳීමද එසේය. නාරි දේහය, නාරි ලාලිත්‍ය, ලිංගික ආකර්ෂණය, යකඩවල පවතින ද්‍රව්‍යමය අගය මෙන්ම ඒවා ශ‍්‍රමයේ වටිනාකම් වීම ආදී බොහෝ අදහස් සංකීර්ණයක ගැටීමක් මෙන්ම සංකලනය විසින් එහි සෞන්දර්යය උපදවයි. (මෙම යකඩ වළලූ පැළඳීමේ සිරිත ඇරඹෙන්නේ ලෝකඩ යුගයට සමපාතවය.) ශ්‍රී රාහුල හිමියන්ගේ කවියේද පදවලින් ජනිත අදහස් ගැටීමෙන් හා ඒකත්වයට පැමිණීමෙන් නාරි ලාලිත්‍යයේ සුන්දරත්වය සෞන්දර්යාත්මකව රසිකයාට දෙන්නට එය සමත්ව ඇත. කිසි විටෙකත් කවියේ අර්ථයන් දෙන අදහස් වෙන්ව ගත නොහැකිය. අපට ආලෝකය දෙන එය ඇති පරිසරයකදී අපට හිරු මෙන් නොව සිසිල දැනෙන, එනිසාම පි‍්‍රයමනාප හා මුදු ගුණයක් සහිත ‘හඳ’ උපමා කොට දක්වන  ‘මුහුණ’ සහ අපගේ සමාජ වටිනාකම්වලට අනුව කාන්තා සිරුරක සාමාන්‍ය පරිමාණය හා සැසැඳෙන කුඩා ඉඟ මෙන්ම හැඩයෙන් නොව පරිමාණයෙන් මෙන්ම පුළුල් බවින් රිය සක වැනි සහ ජංගම ස්වභාවයක් සහිත උකුලද ශ්වේත හංසයින්ගේ පැහැය මෙන්ම හැඩය ගත් පුන්  පියවුරු එක්ව මවන චිත්ත රූප සංගට්ටනයෙන් අපූරු සෞන්දර්යක් නිමවයි. ස්ත්‍රී ලාලිත්‍යය පිළිබඳ සෞන්දර්ය පවතින්නේ එහිය.

තවද මෙම අදහස් සංකීර්ණත්වය හා සංගට්ඨනය තුළින් බිහිවන සෞන්දර්යය තීරණය වන්නේ, එම නිර්මාණය බිහි වන හා රස විඳින සමාජයේ නිෂ්පාදන බලවේගයන්ගේ මට්ටමට අනුවය.

“බිඳෙන් බිඳේ ජලේ

පයිප්පයෙන් වැටේ

බෙලෙක්ක ටින් රැගත්

ළමෝ බලා සිටිත්”

මහගම සේකරයන් ලියූ කවියක මෙම පද පේලි හා අදහසින් සම වන පද කිසිදා සන්දේශ කාව්‍ය යුගයේ විශේෂයෙන් ආසියාතික සමාජයේ අවසන් අවදියේ වුවද දැකගත නොහැකිය. ඇලෙන්, දොළෙන්, වැවෙන් තම ජල අවශ්‍යතාවය සපුරාගත්, හුදකලා ගම්මානවල විසූ, ජනගහනය අල්ප ආසියාතික ජනතාවට ජලය සුලබ සම්පතකි. එමෙන්ම ජලය නල මඟින් රට පුරා බෙදා හරින හා ධනේශ්වර ක්‍රමයේ දෝෂ විසින් එහි විෂමතාවය සහිත තත්වය ධනපති සමාජ ක්‍රමයට අදාළය. මහගම සේකර අපට පවසන්නේ පසුගාමි රටක නගරයක මුඩුක්කු ජීවිතයේ පැතිකඩකි. වතුර බිංදුව බිංදුව කෙඳිරිගාමින් ‘මේ සමාජ ක්‍රමයට දිය හැක්කේ මෙපමණයි ‘යනුවෙන් පවසන්නා සේ කඳුළු පෙරෙන, මඩ වූ බිමක පිහිටි, දූවිලි බැඳී කළු පැහැ ගැහුණු කරාමය ඉදිරිපිට වැරැහැලි ඇඳගත් කිළිටි මුහුණු සහිත මන්දපෝෂණයෙන් බඩගෙඩි නෙරාගත් ළමයින් පිපාසය හෝ වෙනත් අවශ්‍යතා සඳහා ජලය පතා පෝලිමේ ඉන්නා අයුරු අපට චිත්ත රූප ලෙස මැවේ. මෙහි චිත්ත රූප සමඟ බැඳුණු පද ගට්ඨනය මෙන්ම එහි රිද්මයද, සරල බවද සංක්ෂිප්ත බවද ව්‍යංගයද යන සියල්ල එක්වූ කල සෞන්දර්යය බිහිකරයි.

ආරියවංශ රණවීර කිවියාගේ  ‘ඇන්ටෙනා’ නම් මෙම කවියද ඉහත උදාහරණයට සමාන එහෙත් ධනපති ක්‍රමයේ ස්වභාවය වෙනත් පැත්තකින් මතු කරන්නෙකි. එහිද සෞන්දර්යය අඩුවක් නැත.

ඇන්ටෙනා නැගී උළු වහල පිට

කැන්දනා වැන්න උඩු ගුවනත් බිමට

නෙක් මන කැවිලි පෙවිලිද තිරයපිට

දිස් වෙනා විහිළු කරමින් හිස්කුසට

සැබවින්ම කලාව බිහිවන්නේ ජීවන අරගලය තුළිනි. ප්‍රාථමික සාමූහික සමාජයේ මිනිසා තම ගණය (වංශය) ඉදිරිපිට සතුන් අනුකරණය කරමින් කරන දඩයම් නැටුම ඔහුට අවශ්‍ය වූයේ, හොඳින්ම සතා අනුකරණය කරමින් සතාගේ ඉරියව්, ගමන් විලාශ සහ උපායයන් තමන් තුළට උරාගන්නටය. ඊට අමතරව දඩයම සඳහා තමන් තුළ ශක්තිය උපදවා ගන්නටය. එය දේව ඇදහිල්ලක් නොව තම විශ්වාසය තහවුරු කිරිමකි. එනම් අභිචාරි විධියකි. එකල නිර්මාණකරුවාද රස විඳින්නාද ඔහුම විය. එහෙත් පංති සමාජය බිහිවන විට ජීවන අරගලය පංති ගැටුමේ ස්වරූපයෙන් ඉස්මතු වන්නට විය.

කලාවේ ප්‍රහේදයක් වන සාහිත්‍ය උපත ලබන්නේ, භාෂාව බිහිවීම සමඟය. භාෂාව සමඟ චින්තනයේ ක්‍රියාකාරිත්වය උත්ප්‍රේරණය විය. චින්තනයේ බාධක බිඳ හෙළනු ලැබිණි. ඉන්පසු මිනිසාට තම සංවේදනයන් සංකල්ප දක්වා පුළුල් කරගන්නට හැකිවිය. යථාර්ථය පරාවර්තනයේදී තමන්ට එය වටහා ගන්නටත් අනෙකාට වටහා දෙන්නටත් ඉන් පහසු කෙරිණ. සැබැවින්ම චින්තනය තම මාධ්‍ය කොට ගන්නේ භාෂාවයි. මෙතෙක් මිනිසා තම දඩයම් අත්දැකීමක්

අංග චලනය, හඬ අනුකරණය, සිදුවීම් හා සතුන් අනුකරණය හා රූප සටහන් මඟින් අතිශය සංකීර්ණ හා දුබල ලෙස දැක්වීම වෙනුවට භාෂාව තම අදහස අනෙකාට සරලවද පැහැදිලිවද රසවත්වද පවසන මාධ්‍ය බවට පත් විය. අනෙක් කලාවන් මෙන්ම සාහිත්‍ය කලාවද ආදි මිනිසා තම වංශය තුළ දඩයම් අත්දැකීම් බෙදා ගැනීම සහ අභිචාරී හැසිරීම් නිසා බිහි වූවකි. නාට්‍ය, රංගනය, ගායනය මෙන්ම කතන්දර කලාවද බිහිවන්නේ එතැනින්ය. ප්‍රාථමික සමාජයේ කථා කියන්නාද අසන්නාද ඔහුමය. ලිඛිත භාෂාව බිහිවීමත් සමඟ අදහස් චිත්‍රණය කරන්නට මිනිසා පෙළඹිණි. එනම් ලේඛනය බිහිවිණි. ගද්‍ය, පද්‍ය සහ ගීත ආදී සාහිත්‍යයන් උපත ලබන්නේ එලෙසය.

තමන් දකින ලෝකය වඩාත් සෞන්දර්යාත්මකව පරාවර්තනය කරන්නට සාහිත්‍යය සමත්ය. භාෂාව හෙවත් අදහස් අපූර්වත්වයකින් ඇමිණීම සාහිත්‍යයක සෞන්දර්යය ජනිත කිරිමට මහත් රුකුලක් සපයයි. ඒ සඳහා භාෂාවේ වන විශිෂ්ට ගුණයන් ඔහු මනාව හසුරුවා ගනියි. රසායන විද්‍යාඥයා ද්‍රව්‍යයේ රසායනික ගුණ හසුරුවමින් රසායනික ද්‍රව්‍ය නිපදවන්නාසේ සාහිත්‍යකරුවා බස යොදාගෙන සංකීර්ණ අදහස් ඇති කරයි. ඒ සඳහා වන ඔහුගේ හැකියාව පරිකල්පනයයි.

පංති සමාජය බිහිවත්ම ජීවන අරගලය පංති සටන පදනම් කොට ගත් එකක් විය. සාහිත්‍ය තුළින්ද එය එක් එක් මට්ටම්වලින් ප්‍රකාශයට පත්වේ. එනිසාම සමාජය සංකීර්ණවත්ම, සූරාකෑම වඩ වඩාත් තීව්‍රවත්ම ප්‍රකෘතිය පරාවර්තනය කරනු ලබන සාහිත්‍යයද සංකීර්ණ ස්වරූපයන් ගන්නට සිදුවේ. සාහිත්‍යයේ අඩංගුවෙහි වන එම සංකීර්ණත්වය අනුව එහි ආකෘතීන්ද සංකීර්ණ වේ. නූතන  කවිය, කෙටිකතාව, නවකතාව ආදිය තුළ එය ප්‍රකාශයට පත්වේ.

රුවන් බන්දුජීව කවියාගේ ‘ඇළ’ නම් වූ කවිය තුළින් මෙය විමසා බලමු.

“ඇළ හොඳින් ඇඳ පැළඳ

ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව

මේ ඇඳුම් මහපු බව

කිසිම වී කරලකට

ඇළ කියා නැත තවම”

මෙම කවියේ එක මත එකට පිහිටි අත්දැකීම් පද්ධති කිහිපයක් දක්නට හැකිය. බැලූ බැල්මට ඇළ හා වැව අතර සාමාන්‍ය අප දන්නා සම්බන්ධය පෙන්වයි. නමුත් එයට යටින් නැවත ඇළ වැවෙන් බැබළෙන නමුත් එය ලොවට පෙන්වන්නේ නැති බව කියවේ. මෙහි ඇළ සම්බන්ධයෙන් කුහකත්වයක්ද, වංචනික බවක්ද, ගූණමකු බවක්ද ඉස්මතු වේ. වැව සම්බන්ධයෙන් ඉස්මතු වන්නේ කිසිඳු ස්තූතියක් පවා නොලබමින් තම වගකීම ඉටුකිරිමේ ගුණයයි. ඒ, ආසියාතික කෘෂිකාර්මික සමාජයේ චින්තනයට අනුරූපවය. පවතින ධනේශ්වර සමාජයට අනුරූපව මෙයින් ඉස්මතු වන්නේ ඇළ වැවෙන් ගෙන වී කරලට ජලය සපයන අතරමැදියා බවයි. ධනපති ක්‍රමයේ ගොවිතැනෙහි සැමවිටම සිදුවන්නේ මෙයයි. නිෂ්පාදකයාද, පාරිභෝගිකයාද වෙනුවට අතරමැදියා ලාභ ලැබීමයි. ගොවිතැනින් පිටතද ධනේශ්වර වෙළඳපොළේ ස්වභාවය මෙයයි. සමාජය සංකීර්ණ වත්ම එය පරාවර්තනය කරන නිර්මාණයන් රසවින්දනයද සංකීර්ණ වන්නේ මෙසේය.

විචාරකයා නම් චරිතය මතුවන්නේද මෙතනදීය. විචාරකයාගේ කාර්යභාරය වන්නේ, සාහිත්‍ය රස වින්දනයට මඟපෙන්වීම සහ එය සංවර්ධනයට මඟපෙන්වීමයි. නිර්මාණකරුවාගේ දෘෂ්ටියද, විචාරකයාගේ දෘෂ්ටියද රසවිඳින්නා ප්‍රඥාවට ගෙනයාමට මැදිහත්වන වැදගත් සාධක දෙකකි. විචාරකයා රසවිඳින්නාට නිර්මාණයේ සෞන්දර්යය තුළින් හරය දකින්නට මඟපෙන්වා දිය යුතුය. ඒ සඳහා රසිකයාටද එය වටහා ගැනීමේ යම් හැකියාවක් සහ අවබෝධයක් තිබිය යුතුය. රසවින්දනය හෙවත් සෞන්දර්යය ග්‍රහණය කොට ගැනීමේ පරිමාව, රසවිඳින්නාගේ සමාජ මට්ටම හෙවත් ඔහු සම්බන්ධතා පවත්වන නිෂ්පාදන බලවේගයන්ගේ මට්ටමද, සාහිත්‍ය ඇසුරු කිරීමේ පුරුද්ද හෙවත් සාහිත්‍ය පිළිබඳ ඥානයද අදාළ කෘතිය විසින් මතුකර දෙනු ලබන හරය වටහා ගැනීමේ ශක්තියද යන සාධක මත රඳා පවතී.

ප්‍රාථමික සාමූහික සමාජයේ මිනිසාට පුද්ගලික දේපළ ක්‍රමය පිළිබඳව හෝ ඒහා බැඳුණු සංස්කෘතිය පිළිබඳව අත්දැකීම් නැත. ඔහු පංති සමාජයද නොදනියි. ඔවුන්ගේ කවි හෝ ගීත වන්නේ, දඩයම මෙන්ම සාමුහිකත්වය හා බැඳුණු ගීතයන්ය. එවන් සමාජ වටිනාකම්වලට අදාළ නිර්මාණයන්ය. ආදි මුල් ශිෂ්ටාචාරයන්හි මාතෘ දෙවඟන හෝ කාන්තා ප්‍රතිමාවන්ගේ මුහුණ පිළිබඳව එතරම් අවධානය යොමුකොට නැත. එහිදී වැඩි විශාලත්වයකින් නිමාව ඇත්තේ ඇගේ කුසය. ආදි මිනිසා කාන්තාවකගේ කුස සශ්‍රීකත්වය සංකේතවත් කරන්නක් ලෙස පිළිගත් බැවින් එකල නිර්මාණවල එයට වැඩි අවධානය දී ඇත. පෞද්ගලික දේපළ සහිත සමාජයේද දරුගැබක් දරන කාන්තාවකගේ සෞන්දර්යයක් දකියි. එය සශ්‍රීකත්වය පදනම්ව නොව පුරුෂයාගේ පරපුර හෙවත් දේපළ හිමිකරුවා කුස දරන්නේය යන හැඟීම මුල්කොට ගෙනය.

මෙතෙක් අප සාහිත්‍ය හා සෞන්දර්යය පිළිබඳව පවත්වාගෙන ගිය කතිකාව අවසානයේ ඒ සියල්ල පදනම් කොට ගෙන ලිපියෙහි මුළින් සඳහන් කළ ජන කවි ආරෙන් රචිත ගීත ඛණ්ඩය විමසා බලමු.

“පිලේ පැදුර හේනට අරගෙන යනවා එළා පැදුර මැස්සෙහි එහි සැතපෙනවා

රටා වියපු අත්දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා”

මෙය අප නිතර අසා ඇති මහගම සේකරයන් විසින් ජන කවි ආරට අනුව පබඳින ලද අමරදේව සූරීන් විසින් ගායනා කරනු ලබන ගීතයකි. ගීතයට අනුව “පිලේ පැදුර හේනට අරගෙන යනවා” යැයි පවසන විට ආසියාතික සමාජ ජිවිතය නොදත්තෙකුට මෙය නොතේරෙන්නට පුළුවන. අතීත නිවෙස්වල සුලබව පිල හෙවත් පිල් කඩ නම් අංගය තිබුණි. සැබැවින්ම මෙය අඩියකට එකහමාරකට වඩා උසින් කෙනෙකුට පහසුවෙන් නිදාගත හැකි ආකාරයෙන් සකස් කළ මැටි වේදිකාවකි. අමුත්තන් සමඟ හෝ නිවැසියන් එක්ව පිළිසඳරේ යෙදෙන්නේ මෙහි වාඩිලාගෙනය. බොහෝ විට පැදුරක් එලා තිබේ. එය දහවල විඩා නිවන්නට ඇලවෙන්නටද සමහර විට රාත්‍රී නිදාගන්නටද භාවිත කෙරේ. කවියේ හේනට අරන් යන බව කියවෙන්නේ මෙම මේ පිලේ පැදුරය. එනිසා මේ පිල් කඬේ රාත්‍රී නිදන්නෙක් නැත. පැදුරත් අරන් ඔහු හේනට යයි. (එකල ප්‍රධාන ආර්ථිකය වන කෘෂිකර්මාන්තයට අනුව මොහු හේන් ගොවියෙක් බව පැහැදිලිය.) එහි ලී දඬු ගැටගසා සකසා ගත් මැස්සකි. කවියට අනුව ගෙදර පිලෙන් රැගෙන ගිය පැදුර මැස්සේ එළා ඔහු එහි නිදියන්නේ නැත. කවියා යොදා ගන්නේ ‘සැතපෙයි’ යන වචනයයි. හේන් ගොවියකුට වංශවතෙකුට මෙන් ‘සැතපෙන්නට’ නොහැක. ඔහු නිදිවරා පැල් රැකිය යුතුය. ඒ අනුව මෙහි ‘සැතපෙනවා’ යන්න එක් අතකින් උත්ප්‍රාසයක් දනවයි. එහෙත් ‘මැස්සේ සැතපී’ ඔහු දකින සිහින අනුව නිදාගැනීමට වඩා ‘සැතපීම’ යන වචනය සුදුසු යැයිද සිතිය හැකිය. ‘රටා වියපු අත්දෙක මට සිහිවෙනවා’ සැබෑ කාරණයට පිවිසෙන්නේ තෙවන පදයෙනි. මේ පැදුර වියා දුන් කෙනා (ඒ අම්මා විය නොහැකි බව සිව්වන පදයෙන් වැටහේ.) ඔහුට සිහිවන්නේ දැන් ඔහුගෙන් දුරස්ව සිටින නිසාය. ඒ ඔහුගේ නෑනා හෝ වෙනත් පෙම්වතියක් විය හැකිය. එකල ඇවැස්ස නෑකම් අතර විවාහ බහුලය. ඇය දැන් දීග ගිහින් හෝ දුරස්වී විය හැක. ‘හිතේ දුකට එතකොට කවි කියවෙනවා.’ එහිදී මේ පුද්ගලයා දුක්වෙමින් සිටී. ඔහුට ඇය අහිමි වූයේ මන්ද යන්න මත මේ ප්‍රශ්නය තවදුරටත් විග්‍රහ කළ හැකිය. අනෙක මේ හේන් ගොවි තරුණයෙක් විඳින පීඩාවකි. එයට ඔහුගේ දුප්පත්කමද හේතු වන බව පැහැදිලිය. මෙ සියලූ අදහස් හා තවත් නොදුටු පැති පිළිබඳ අදහස් එක්ව එම සංකීර්ණතාවයෙන් හා එම ගට්ඨනය තුළින් මෙම ගීතයේ සෞන්දර්යය බිහිවේ.

පෞද්ගළික දේපළ ක්‍රමය සහ වැටුප් ශ‍්‍රමය සූරාකෑම ප්‍රබලව පවතින ධනේශ්වර සමාජයේ සාහිත්‍යය කෘති නිර්මාණය වන්නේ ධනේශ්වර ක්‍රමය සදාකාලික යැයි පවසන්නට හෝ එයට එරෙහිව එහි අවසානය පෙන්වාදීමටය. ප්‍රධාන වශයෙන් මෙම දෘෂ්ටීන් දෙක මත පිහිටා ධනපති සමාජයේ විවිධ සාහිත්‍ය නිර්මාණ බිහිවේ. (වෙනත් අතීතකාමී සහ මනෝරාජික දෘෂ්ටීන්ද පැවතිය හැකිය.) ඒ කෙසේ වෙතත් සෞන්දර්යය යනු මිනිස් චින්තනයේ උසස් හෙවත් සංකීර්ණත්වය සමඟ තව තවත් පුළුල් වෙන හා සංවර්ධනය වන දෙයකි. සාහිත්‍යය යන කලා ප්‍රභේදයද තව තවත් සංකීර්ණත්වයට පත්වේ. එය සෞන්දර්යයෙන් වඩ වඩාත් පොහොසත් වෙමින් අනාගත පංති රහිත සමාජයේ යළි පුළුල් වන මානුෂිකත්වය සමඟ සමාන්තර වෙමින් ප්‍රකෘතිය පරාවර්තනයට, උසස් සෞන්දර්යය හැඟීම් බිහිකිරීම දක්වා උසස්වේ. ඒ තුළින් මිනිසාට සමාජයේ ප්‍රගමනය උදෙසා විශ්වයේ හරයන් ඥානනයට වඩාත් හොඳින් මඟ පෙන්වීම කරයි.

විමර්ශන