ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව හා න්‍යායිකව තේරැම් ගනිමු.

rsz_insightmore_top
අඟහරු මත ස්ථාපනය කළ භූ පර්යේෂණාගාරය InSight
February 8, 2019
rsz_20150929184415-law-and-justice-patent
නීතියේ උපත හා පදනම
February 11, 2019
Show all

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව හා න්‍යායිකව තේරැම් ගනිමු.

rsz_1democracy-eng

ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පය තුළ ඇති සැබෑ දේශපාලන අඩංගුව තේරුම් ගත යුත්තේ, රටෙහි මෙන් ම පොදුවේ ලෝකය තුළ එය භාවිතයට නැඟුණ ඓතිහාසික සන්දර්භය තුළ ය. සිංහල බසින් ප්‍රජාතන්ත්‍රවාදය යන්න ඉංග්‍රීසි බසින් ඩිමොක්‍රසි (Democracy) ලෙස භාවිත කෙරේ. එය ද ග්‍රීක භාෂාවෙන් බිඳී ආ වදනකි. ග්‍රීක භාෂාවේ ඩිමොස් (Demos) යන පදයෙන් ජනතාව ද, ක්‍රසි (Cracy) යන්නෙන් පාලනය  හෝ බලය ද අදහස් කෙරේ. ඒ අනුව ඩිමොක්‍රසි (Democracy) යනු ජනතාවගේ පාලනය ලෙස අදහස් කෙරේ. නැතහොත්, බහුතරයේ පාලනය, කැමැත්ත ලෙස ද මෙය සරලව විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව සංකල්පයක් ලෙස එහි උත්තරීතර ස්වභාවයක් අඩංගු වුව ද, භාවිතාව තුළ පන්තිමය ස්වරූපයක් ඇති බව ගැඹුරින් වටහා ගැනීම වත්මන් දේශපාලන තත්ත්වය විග්‍රහ කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ග්‍රීසියේ පෞර රාජ්‍ය තුළ කි‍්‍රයාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විග්‍රහ කර ඉදිරිපත් කරන සර් අර්නස්ට් බාකර් පවසන්නේ ඇතැන්ස්හි පාලනය තුළ සියලූ දෙනා ම පුරවැසියන් ලෙස සලකා නොමැති බව ය. එහි පුරවැසි සභාවට රැස්වීමට අයිතිය ලැබී ඇති අය පමණක් පුරවැසියන් ලෙස සලකා තිබේ. වහලූන්, කාන්තාවන්, ළමයින් සහ විදේශිකයන් ඇතැන්ස් පුරවැසියන් ලෙස සලකා නැත. සැබෑ ලෙස ම බහුතරයක් වූ වහලූන් (පීඩිත පන්තිය) ජනතාව වශයෙන් සැලැකිල්ලට නොගත් පාලනයක් බහුතර ජනතාවගේ කැමැත්ත අනුව සිදු කෙරෙන පාලනයක් වශයෙන් හඳුන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ගැටලූවක් මතු වේ. මේ පිළිබඳව ලෙනින්ගේ පහත අර්ථදැක්වීම් එය තේරුම් ගැනීමට වඩාත් යෝග්‍ය වන්නේ එවිට ය.

”අපි සාමාන්‍ය බුද්ධියට හා ඉතිහාසයට අවමන් නොකරමු නම්, මේ විවිධ පන්ති පවතින තාක් කල් පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ නොහැකි බව පැහැදිලි කරුණකි. අපට පන්ති ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ හැක. පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය වූ කලී පන්ති අරගලය හා රාජ්‍යයේ සන්ධාරය යන දෙක ම ගැන නොදැනුම හෙළිදරවු කරන මෝඩ පාඨයකි.”

නිර්වචන තුළ කුමක් පැවැතිය ද භාවිතාව තුළ අපට හමු වන්නේ බහුතරයේ කැමැත්තට අනුව සිදු වන පාලනයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පොතෙහි මිස රටක එහි පරම අර්ථයෙන් කි‍්‍රයාවට නැඟෙන්නේ නැත. විශේෂයෙන් ම ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෙනින්ගේ අදහස් වන්නේ;

”මධ්‍යගතවාදය සමඟ සසඳා බලන කල ධනපති ප්‍රජාතන්ත්‍රවාදය මහා ඓතිහාසික ඉදිරි ගමනක් වන්නේ නමුදු, සැබැවින් ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සූරාකන්නන්ට හා පොහොසතුන්ට පාරාදීසයක්ව ද, දුප්පතුන්ට මායාවක්ව හා මලපුඩුවක්ව ද සීමා කරනු ලැබ, කප්පාදු කරනු ලැබ ව්‍යාජබවෙන් සහ කුහකත්වයෙන් පිරී පවතින්නේ ය.” යනුවෙන් ය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රකාශිත අර්ථයත්, එහි සැබෑ ප‍්‍රායෝගික (පන්තිමය) විග්‍රහයත් සනාථ කර ගැනීම සඳහා එය භාවිතයට නැඟුණු ඉතිහාසය දෙස හැරී බැලීමට සිදුවෙයි.

ධනවාදයේ අර්බුදය හමුවේ හැකිළෙන ප්‍රජාතන්ත්‍රවාදය

”යම් යුගයක පවත්නා නීතිය වූ කලී එම යුගයේ පාලක පන්තියේ කැමැත්ත වන්නේ ය.” යන්න සනාථ කරමින්, 1948 සිට අද දක්වා ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන දිශාවට ගෙන ආ නීති මඟින් මෙය වඩාත් හොඳින් තේරුම් ගත හැක.

  1. 1948 සෝල්බරි ව්‍යවස්ථාව තුළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ කිහිපයක් ඇතුළත් කොට තිබිණි. එහි විධායක බලය එක් පුද්ගලයකුට කේන්ද්‍ර නොකර අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරා තිබිණි. එහි ඕනෑ ම අයෙකු අධිකරණයට කැඳවීමේ බලය ද තිබිණි. ‘කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම’ නම් සංකල්පයක් ද තිබුණු අතර, ඇමතිවරයකු වරදක් කළ විට සමස්ත කැබිනට් මණ්ඩලය ම ඉල්ලා අස් විය යුතු විය. ව්‍යවස්ථාදායකය ආයතන දෙකකින් සමන්විත වූ අතර, මහජන ඡුන්දයෙන් පත් වන පාර්ලිමේන්තුව හා අගමැති විසින් පත් කරනු ලබන සෙනෙට් සභාව ලෙස ය. අධිකරණයේ ස්වාධීනත්වය පෙන්වීමට ද ඒ තුළ උත්සාහ දරා තිබුණු අතර, අධිකරණ ඇමතිවරයා අනිවාර්යයෙන් ම සෙනෙට් සභාවෙන් පත් වන අයකු විය යුතු විය.
  1. වැඩෙමින් ආ ධනවාදයේ අර්බුදය හමුවේ ජනතා නැඟිටීම් ද ආරම්භ විය. (’53 හර්තාලය, ’71 නැඟිටීම) ලංකා ඉතිහාසයේ පළමු වරට හදිසි නීතිය පනවනු ලැබූයේ, ’53 හර්තාලය මර්දනය කිරීම සඳහා ය. ඒ 1953 අගෝස්තු 12 වැනි දින ගැසට් අංක 10561 යටතේ ය. මේ තත්ත්වය තුළ ’48 ව්‍යවස්ථාව ප්‍රමාණවත් නොවුණු අතර, 1972දී නව ව්‍යවස්ථාවක් (ජනරජ ව්‍යවස්ථාව) සම්පාදනය කරනු ලැබී ය. එමඟින් සෙනෙට් සභාව අහෝසි කර ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට කේන්ද්‍රගත කරනු ලැබී ය. එම මොහොතට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දැමී ය.
  2. ’72 ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වූයේ වසර හයක් වැනි සුළු කාලයකි. බලයට පැමිණි ජයවර්ධන පාලනය විසින් නව ලිබරල් ධනවාදයට ගැලපෙන සේ 1978දී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගනු ලැබී ය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් හකුළුවා දැමූ අතර, විධායකය තනි පුද්ගලයකුට කේන්ද්‍ර වන විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙනු ලැබී ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියන අතර, අධිකරණය ඉදිරියට ගෙන යාමට ද නොහැකි ය. ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) හා අධිකරණය විධායක බලයට යට කරනු ලැබී ය. ඒකාධිපතිත්වයක ආරම්භය සලකුණු කරනු ලැබී ය.
  3. වැඩෙමින් ආ ධනවාදයේ අර්බුදය කොතරම් ද කිවහොත්, මේ වන විට ’78 ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර තිබේ. ජයවර්ධන පාලනය තුළ ම ඔහුගේ පළමු වසර හය නිම වීමට පෙර වසර හතරෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි පරිදි සංශෝධනය කරනු ලැබී ය. ඒ තුළ 1982 ජනාධිපතිවරණයක් පවත්වන ලදී. ඊනියා ජනමත විචාරණය මඟින් පාර්ලිමේන්තු මැතිවරණය ද තවත් වසර හයකින් කල්
  4. 2005දී බලයට පත් රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් තව දුරටත් අර්බුදයට යමින් පැවැතුණු ධනපති ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීම ආරම්භ කරනු ලැබී ය. 2010 මැතිවරණයෙන් පසු විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂවල මන්තී‍්‍රවරුන් ද මිලට ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ගොඩනඟා ගනු ලැබී ය. ජනාධිපති ධුරයට ඉදිරිපත් විය හැකි වාර දෙකේ සීමාව ඉවත් කරනු ලැබී ය. අගවිනිසුරු ඉවත් කොට තම ගජමිතුරකු පත් කර සමස්ත අධිකරණ පද්ධතිය තම අණසක යටතට ගනු ලැබී ය. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තබා ගැනීමේ කාලය පැය 48ක් දක්වා දීර්ඝ කරනු ලැබී ය. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරනු ලැබීය. සුදුවෑන් සංස්කෘතිය හඳුන්වා දෙමින් මාධ්‍ය මර්දනය, තම විරුද්ධවාදීන් මර්දනය ආරම්භ කරනු ලැබීය.

මේ තත්ත්වයට එරෙහිව ගොඩනැඟුණු ජනතා විරෝධය හමුවේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ පරාජයට පත් විය. මහ මැතිවරණයෙන් පසු මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව ගොඩනඟා 19 වැනි සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇති කරනු ලැබීය.

නමුත්, වැඩෙමින් ආ ධනවාදයේ පොදු අර්බුදය තුළ මෛත්‍රී රනිල් ආණ්ඩුව අසාර්ථක වූවා පමණක් නොව එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධ ද උග්‍ර විය. එහි උපරිම අවස්ථාව වූයේ තමන් බලයට පැමිණි අරමුණු උඩුයටිකුරු කරමින් මෛත්‍රී මහින්ද සමග බලපෙරළි කුමන්ත්‍රණයක් සිදු කිරීමයි. මේ වන විට එය තාවකාලිකව පරාජය කරනු ලැබුව ද,  ඕනෑම අවස්ථාවක අලූත් වටයකින් මතු විය හැක. එක් එක් අවස්ථාවේ දී දක්වන හුදෙකලා ප්‍රතිචාර මඟින් පමණක් පරාජයට පත් කළ නොහැකි තැනකට මෝරා වැඩුණු අර්බුදයක් අප හමුවේ තිබේ. මේ සමස්ත ක්‍රියාවලියට පාර කපන ධනපති ක්‍රමයත්, අධිරාජ්‍යවාදයත් පරාජය කිරීමෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත හැක. ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ හරය තේරුම් ගත යුත්තේ ඒ අනුවය.

විමර්ශන