නීතියේ ඓතිහාසික විකාශනය හා ධනවාදය තුළ නීතිය

rsz_20150929184415-law-and-justice-patent
නීතියේ උපත හා පදනම
February 11, 2019
rsz_c1263c4ae040-1-copy
ව්‍යවස්ථා සම්පාදනය හා පංති අරමුණු
February 13, 2019
Show all

නීතියේ ඓතිහාසික විකාශනය හා ධනවාදය තුළ නීතිය

rsz_law

දකුණු අතින් සමබර තරාදියක්ද, වම් අතින් කඩුවක්ද ගත් දෑස් බඳින ලද කන්‍යාවියකගේ රුවක් නීතියේ සංකේතය ලෙස නූතන ලෝකයේ බොහෝ තැන්හි භාවිත කෙරේ. මෙම සංකේතය භාවිත වීමේ ආරම්භය පැරණි ඊජිප්තු සහ ගී‍්‍රක ඉතිහාසය හා බැඳේ.
Image result for goddess of law

පැරණි ඊජිප්තුවේ මාට් (Maat) නැමති සංකල්පයෙන් සත්‍ය, සමබරතාවය, පිළිවෙළ, සුසංයෝගය, නීතිය, සදාචාරය සහ යුක්තිය යන දේවල් අදහස් කෙරිණි. මෙම සංකල්පය “මාට්” නැමති දෙවඟන ලෙස  පුද්ගලාරෝපණය කොටගත් ඊජිප්තු වැසියෝ ඇයට වන්දනාමාන කළහ. ඝෘතු සහ තාරකා මිනිසුන් සහ දෙවියන් සහිත විශ්වයේම යහ පැවැත්ම හසුරවන දෙවඟන ලෙස මාට් දෙවඟන සැලකෙයි. පැරණි ග්‍රීසියේ දිව්‍යමය නියාමයේ, නීතියේ සහ සිරිත් විරිත්වලද දෙවඟන ලෙස තේම්ස් (Themis) සැලකෙයි. තේම්ස් දෙවඟනගේ දියණිය වන ඩයික්ද (Dike) තරාදියක් අතින් ගත් රුවකින් යුතුව ගී‍්‍රකයින් විසින් නිරූපනය කොට ඇත.

නීතිය සංකේතවත් කිරීම සඳහා යොදා ගැනෙන සංකේතය වන කඩුවක් සහ තරාදියක් අතින් ගත් දෑස් බඳින ලද කන්‍යාවියගේ රුව ගොඩ නගනුයේ ඉහත පැරණි ඊජිප්තු සහ ගී‍්‍රක සංකල්ප සහ දේව විශ්වාසයන් පදනම් කරගනිමිනි.

කන්‍යාවියගේ අතෙහි ඇති තාරාදියෙන් සාක්ෂි සමබරව සලකා බැලීම සංකේතවත් කෙරේ. දෑස් රෙදි කඩකින් බැඳ තැබීමෙන් සංකේතවත් වන්නේ පවතින තත්වය හමුවේ බියකින් හෝ ප්‍රමුඛත්වය දීමකින් තොරව ධනය, බලය, කීර්තිය යනාදිය නොසලකා කටයුතු කිරීමේ ගුණයයි. දෙපසම කැපෙන කඩුවෙන් දඬුවම සංකේතවත් කෙරේ.

නීතිය පිළිබඳව පොදු සමාජ පිළිගැනීම වී ඇත්තේ එය කිසිදු භේදයකින් තොරව යුක්තිය ඉටුකරනු ලබන්නක් බවය. එහෙත් එය එසේ නොවන බව එහි භාවිතය සලකා බැලීමෙන්ද එමෙන්ම එහි අඩංගුව ගැඹුරින් සලකා බැලීමෙන්ද  වටහා ගත හැක. එපමණක් නොව නීතියේ සම්භවය සිදුවන්නේ දේපළ සහිත සමාජ ක්‍රමයන් බිහි වීමත් සමගමය. රාජ්‍ය බිහිවීමට පෙර මිනිස් සමාජය පාලනය වූයේ සංස්ථාපිත නීතියකට (Institutional law)  වඩා ආචාර ධර්ම, සිරිත් විරිත් ආදිය මගිනි.

නීතිය සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන්ගෙන් මිදී ගත් “උත්තර් ඓතිහාසික” හෝ “දිව්‍යමය” යමක් යැයි යන ආස්ථානයේ සිට විග්‍රහ කිරීම ඉතිහාසයේ සිටම සිදුවී ඇත. නීතියේ ඉතිහාසය ලියවී ඇත්තේද එම දෘෂ්ටියෙනි. ඒ අනුව නීතිය යනු කුමක්ද යන්න නිවැරදිව වටහා ගැනීමට නම් සමාජයේ විෂයමූලික පැවැත්ම මත නීතිය බිහිවීමත් විෂයමූල තත්වය වෙනස් වීම මත නීතියද වෙනස් වී ඇති ආකාරයත් සලකා බැලිය යුතුව ඇත. පවතින පොදු විග්‍රහයෙන් මිදී ඓතිහාසික භෞතිකවාදී දැක්මක් තුළ නීතිය දෙස බැලිය යුතුව ඇත.

සියලූ දේ දෙවියන් විසින් මවා දෙන ලදැයි විශ්වාස කරන්නවුන්ද, මානව සමාජයේ සංවර්ධනය ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් නොබලන්නවුන්ද සලකන්නේ මානව සමාජය ආරම්භ වීමත් සමගම “නීතිය” ද පැවැත්මට ආ බවකි. එහෙත් සැබෑ තත්වය නම් මානව සමාජය ආරම්භයේ සිට ඉතා දිගු කාලයක් පාලනය වූයේ නීති මගින් නොවන බවයි. ඒ වෙනුවට සමාජය පාලනය වූයේ සිරිත්-විරිත් හා ආචාර ධර්ම මගිනි (moral and ethics). මේ කරුණු මෙම සඟරාවෙහි වෙනත් තැනක ගැඹුරින් සාකච්ඡාවට ගැනුණද අපටද ඉදිරියට යාම සඳහා ආචාර ධර්ම,  සිරිත්විරිත් හා නීතිය අතර වෙනස සැකෙවින් සාකච්ඡා කිරීමට සිදුවේ.

සිරිත්-විරිත් හා ආචාර ධර්මවලින් අදහස්වන්නේ යම් සමාජයක් තුළ ඇති විවිධ විශ්වාසයන්, සංස්කෘතින්, ආගමික මතවාදයන් ඇතුළු විවිධ මතවාදයන් ආදිය පදනම් කරගනිමින් ඇති වී තිබෙන හොඳ නරක පිළිබඳ හැඟීම

සහ තවදුරටත් ගතහොත් යම් වෘත්තීන්, ක්ෂේත්‍රයන් පදනම් කරගනිමින් ඇති වී තිබෙන කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ අදහස්ද වේ.

විශේෂයෙන් ඉංගී‍්‍රසි භාෂාවේ Moral යන්නෙන් හොඳ නරක පිළිබඳ අදහසත්, Ethics යන්නෙන් යම් වෘත්තියක් හෝ විශේෂ ක්ෂේත්‍රයක් තුළ කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව අදහසත් නියෝජනය කෙරේ. උදාහරණ ලෙස මාධ්‍ය ආචාර ධර්ම, වෛද්‍ය ආචාර ධර්ම ආදිය ගත හැක.

සිරිත් විරිත් හා ආචාර ධර්ම ආරක්ෂා වෙන්නේ සමාජයේ පොදු පිළිගැනීම හේතුවෙන් මිස කිසියම් බලහත්කාරී ආයතනයක බලපෑම නිසා නොවේ. තම නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම ලාංකේය ජනතාවගේ සිරිතකි. තමා හමුවට එන රෝගියා පිළිබඳ තොරතුරු පිටස්තර පුද්ගලයින්ට හෙළිදරව් නොකිරීම වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්මයකි.

නමුත් නීතිය එසේ නොවේ. බී.එන්.කාඩසෝ නම් නීතිවේදියා නීතිය නිර්වචනය කරන්නේ මෙලෙසය.

නීතිය යනු එහි අධිකාරයට අභියෝග කරනු ලැබූ විට යම් සමාජ ආයතනයක් මගින් භෞතික වශයෙන් බල කළ හැකි බව යම්තාක් දුරකට නිශ්චිතවම කලින් කිවහැකි අයුරින් සංස්ථාපිත වූ හැසිරීම පිළිබඳ මූලධර්මයකි.

එම නිර්වචනය අනුව නීතිය යනු යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක හැසිරීම කෙසේ විය යුතුද යන්න තීරණය කරන, ඊට අවනත නොවේ නම් බලහත්කාරය යෙදීමේ බලයක් සහිත ආයතන ඇති බව පිළිබඳ හැඟීමෙන්

පාලනය වන හැසිරීම් පිළිබඳ මූලධර්මයකි. නීතිය යම් බලයක්, බලහත්කාරයක් යොදවන බව  මින් පිළිගෙන ඇත.

සිම්ප්සන් සහ රූත්ෆීල්ඞ් යන නීතිවේදීන් දෙදෙනාගේ නීතිය පිළිබඳ නිර්වචනය මෙසේය.

නීතිය යනු පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ හැසිරීම පාලනය කරන්නාවූද නිශ්චිත සමාජ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම වළක්වන්නා වූද, එය කඩකිරීම  නිසා පීඩාවට පත් අයට සහනය සැලසීම සඳහා වූද, සංවිධානය වූ සමාජ බලවේගයකි.

ඉහත නිර්වචන අනුව නීතිය යනු බලහත්කාරය-බලපෑම යොදන, යෙදිය හැකි ආයතන සහිත ඒකකයක් බව පැහැදිලි වනු ඇත.

“නීතිය යනු බලයක් සහිත බුද්ධිමතෙකු විසින්  බුද්ධිමත් ජනතාවගේ හැසිරීම පාලනය කිරීම සඳහා පනවන ලද පාලනයකි.” යනුවෙන් ජෝන් ඔස්ටින් නිර්වචනය කර ඇත.

මේ ආදී නීතිය පිළිබඳ ඇති බොහෝ නිර්වචන මගින් මේ “බල කිරීම” පිළිබඳ අදහස සාකච්ඡා වී ඇත.

ඒ අනුව සිරිත්-විරිත්, ආචාර ධර්ම සහ නීතිය අතර ඇති වෙනස ඔබට පැහැදිලි වනු ඇත. සිරිත්-විරිත්, ආචාරධර්ම මගින් පාලනය වූ සමාජය නීතියෙන් පාලනය වීම ඇරඹියේ කවදාද? පොදු එකඟතාවයෙන් පාලනය වූ සමාජය බලහත්කාරයෙන් පාලනය කරන්නට සිදු වූයේ කවදා සිටද? කුමක් නිසාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට ඔබ ඉදිරියේ නීතියේ ඉතිහාසය දිග හැරෙනු ඇත.

මානව සමාජය ආරම්භයේ පැවතියේ සාමුහික ජීවිතයකි. ඔවුන්ගේ දේපළද සාමුහික දේපළ විය. පොදු දේපළ ක්‍රමය වෙනුවට පෞද්ගලික දේපළ ක්‍රමය පැවැත්මට ඒමත් සමගම සමාජ පංතීන් බිහි විය. ඒ දේපළ හිමි සහ අහිමි යනුවෙනි. දේපළ හිමි පන්තියේ වුවමනාවන් සහ අරමුණු, දේපළ අහිිමි පන්තියේ වුවමනාවන් සහ අරමුණු එකින් එක ගැටෙන ඒවා විය. රාජ්‍ය බිහිවන්නේ මෙතැනදීය. රජයේ කටයුත්ත වන්නේ දේපළ හිමි පංතියට එරෙහිව එන දේපළ අහිමි පංතියේ ප්‍රතිවිරෝධය මැඩපවත්වා දේපළ ආරක්ෂා කරගැනීමය. නීතිය යනු, දේපළ හිමි පන්තිය සමාජය පවත්වාගෙන යාමට කැමති ආකාරය වේ. එහෙත් දේපළ අහිමි පන්තිය එයට එකඟ නැත. ඒ නිසා රජය නැමැති ආයතනය මැදිහත් වී තම බලය පාවිච්චි කර අධිපති පන්තියේ කැමැත්ත සහ අවශ්‍යතාවය පවත්වාගෙන යයි. අප “නීතිය” යනුවෙන් හඳුන්වන්නේ මෙයයි.

ලෝකයේ ඇති සෑම නීති පද්ධතියක්ම අවධානය යොමුකර ඇති මූලික කාරණා වන්නේ මොනවාද? දේපළ, දේපළ උරුම වීම, පවුල සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව (සත්තකින්ම රාජ්‍ය පවත්වාගෙන යාම) පිළිබඳවයි. එසේ වන්නේ ඇයි? 1867 එස්.එන්. ලින්ෂේ විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘතියෙන් උපුටා දක්වමින් කාල් මාක්ස් තම “ප‍්‍රාග්ධනය” කෘතියේ “නීතියේ ජීවය දේපළ වේ” යනුවෙන් සඳහන් කර ඇත. නීතිය පිළිබඳ සත්‍යය එයයි.

නීතිය පිළිබඳ ඉතිහාසය තුළින් ඉහත කරුණු ඔප්පු වේද?

ලෝකයේ මුල්ම පංති සමාජ පිළිබඳ අපට අසන්නට ලැබෙන්නේ මෙසපොතේමියාව, බැබිලෝනියාව, ඇසිරියාව වැනි ප්‍රදේශවලිනි. විධිමත් නීති සංග්‍රහයක් පිළිබඳ පළමු සාධක අපට හමුවන්නේද මෙම ප්‍රදේශවලිනි. ක්‍රි.පු 1792-42 අතර කාලයේ රජ කළ බැබිලෝනියානු රජෙකු වන හමුරාබි විසින් පනවන ලද මෙම නීති මැටි සහ ශිලා පුවරුවල ලියා මහජනතාවට දැනගැනීම පිණිස ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කොට තිබුණි. නීති 282කින් සමන්විතවු හමුරාබි නීතිය විවිධ විෂයන් යටතේ ක්‍රමානුකූලව සකසා තිබුණි. ඒ අනුව පවුල, පුද්ගලික දේපළ, වැටුප් සහ වහලූන්, වෙළඳාම සහ ව්‍යාපාර, රාජ්‍ය යන විෂයන්ට හමුරාබි නීති සංග්‍රහය මගින් අවධානය යොමු කොට ඇත.

මිසරය සහ ග්‍රීසියද මුල්ම පංති සමාජයන් බිහි වී වර්ධනය වූ තැන් ලෙස සැලකේ. ග්‍රීසිය පසුපසට ඇද දමමින් ඉදිරියට ආ රෝමය අති දැවැන්ත වහල් රාජ්‍යයක් විය. තියුණු ලෙස පංති ගැටුම් ප්‍රකාශයට පත් වු රාජ්‍යයක් ලෙස රෝමය පෙන්වා දිය හැක. දිගින් දිගටම රෝම වහල් හිමි රාජ්‍යට එරෙහිව වහල්ලූ නැගී සිටියහ. ක්‍රි.පූ 135-132 සහ ක්‍රි.පූ. 104-100 කාලයන් තුළ දැවැන්ත වහල් නැගිටීම් දෙකක් ඇති වූ අතර ක්‍රි.පු. 73-71 අතර ස්පාටකස්ගේ නායකත්වයෙන් ඇති වූ වහල් නැගිටීම රෝමයට එරෙහි දැවැන්තම නැගිටීම විය.

මෙම නැගීසිටීම් මගින් පෙන්නුම් කරනුයේ රෝමය තුළ පැවති පන්ති ගැටුමේ තීව්‍රරභාවයයි. මේ හේතුවෙන් රෝම නීතියද ඉතා හොඳින් ගොඩනඟන ලද නීති පද්ධතියක් බවට පත්ව ඇත.

නීතියේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් රෝම නීතියේ ඉතිහාසය අධ්‍යයනය කිරීම වැදගත්ම කරුණක් වනු ඇත. එක් අතකින් එය පංති ගැටුමේ තීව්‍රරතාවය විසින් තියුණු කරන ලද නීති පද්ධතියක් වීම නිසාද, අනෙක් අතට ලෝකය පුරා නීති පද්ධතීන් සකස් වීමෙහිලා මේ තරම් බලපාන ලද වෙනත් නීති පද්ධතියක් නොවීම නිසාද එය වැදගත් වේ. වරෙක අධිරාජ්‍ය මගින්ද, තවත් විටෙක ආගම මගින්ද, ලෝකය ආක්‍රමණය කළ රෝමන්වරුන් තුන්වැනිව නීතිය මගින්ද ලෝකය ආක්‍රමණය කළ බව පැවසෙන්නේ ඉහත සඳහන් කළ අයුරින් ලෝකයේ බොහෝ නීති පද්ධතීන්ට රෝම නීතියේ ඇති බලපෑම නිසාය.

රෝම නීතිය වර්ධනය වීමේ ඉතිහාසය ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම් කි‍්‍ර.පූ. 753 සිට කි‍්‍ර.පූ. 509 අත්වන යුගය රාජ යුගය වශයෙනුත්, කි‍්‍ර.පූ. 509 සිට කි‍්‍ර.පූ. 27 දක්වා කාලය සමූහාණ්ඩු යුගය වශයෙනුත් කි‍්‍ර.පූ. 27 සිට කි‍්‍ර.ව. 565 දක්වා අධිරාජ්‍ය යුගය වශයෙනුත්ය.

රාජ යුගය තුළ කි‍්‍ර.පූ. 451 දී පමණ රෝම නීතිය පුවරු දොළොසක් තුළ ලියා ප්‍රසිද්ධ කරන ලදී. “දොළොස් පුවරුව” (The Twelve Tables)  රෝමයේ මුල්ම නීති සංග්‍රහය වශයෙන් සැලකේ. ගෝල්වරුන් විසින් රෝමය ආක්‍රමණය කිරීමේදී (කි‍්‍ර.පූ. 387 දී) දොළොස් පුවරුවලින් වැඩි ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇත. කෙසේ වෙතත් මෙහි අඩංගුව පිළිබඳ තොරතුරු ඉතිහාසඥයින් විසින් සොයාගෙන ඇත. ඒ අනුව අධිකරණය හා තීන්දු කි‍්‍රයාවට නැගීම, පීතෘ බලය සහ පවුල, භාරකාරත්වය හා දේපළ උරුම වීම, අපරාධ, පොදු නීති, ආගමික නීති හා අතිරේක නීති යන ක්ෂේත්‍ර පිළිබඳ නීති  විධිවිධාන දොළොස් පුවරුවෙන් පනවා තිබුණි.

මෙම දොළොස් පුවරු නීතිය රෝම නීතියේ ආරම්භය වශයෙන් සැලකේ.

“දොළොස් පුවරු” නීති සංග්‍රහය බිහි වී වසර දහසකට පමණ පසු කි‍්‍ර.ව. 529 කි‍්‍ර.ව. 534  ජස්ටීනියන් නීති සංග්‍රහය (Justinian code) ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් එළි දක්වන ලදී. මුළු රෝම නීතියම ඔහු විසින් සංග්‍රහ කරන ලද බව පැවසේ. “දොළොස් පුවරු” නීතිය පසුපසට ගොස් ජස්ටීනියන් නීති සංග්‍රහය ඉදිරියට පැමිණේ.

මෙසේ ක්‍රමයෙන් වෙනස් වෙමින් පැවති රෝම නීතියෙහි අඩංගුව තුළ පුද්ගල නීතිය, දේපළ නීතිය, බන්ධන නීතිය, අනුප‍්‍රාප්ති නීතිය, නඩු විධාන නීතිය යන ප්‍රධාන වර්ගීකරණයන් දැකගත හැක. පුද්ගල නීතිය යටතේ පුරවැසිභාවය සහ වහල්භාවය සම්බන්ධව නීති පනවා ඇත. පුරවැසිභාවය ලැබෙන්නේ හෝ ලබාගන්නේ කෙසේද, පුරවැසිභාවය නැතිවන්නේ කෙසේද? වහල්භාවයෙහි ස්වභාවය, වහල්භාවය ඇති වීමට හේතු, වහල් හිමියන්ගේ බලතල, වහල්භාවයෙන් මිදීම වහලාගේ ගිවිසුම් ආදිය පුද්ගල නීතිය මගින් සාකච්ඡා කොට ඇත. මේ අයුරින්ම ඉතා සියුම් ආකාරයකින් පෞද්ගලික දේපළ අයිතිය හා භුක්තිය, පවුල, විවාහය ඇතුළු වත්මන් නීතියේ මුළු අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් පැරණි රෝම නීතිය තුළ සාකච්ඡා කොට ආවරණය කොට ඇත.

රෝම නීතිය අනුව මුල් යුගයේ වහලාට මිනිසෙකු ලෙස පිළිගැනුණේ නැත. වහලාගේ ශරීරය පිළිබඳ අයිතිය වහල් අයිතිකරුගේ කැමැත්ත අනුව සිදුවිය. වහලෙකුට යුතුකම් සහ අයිතිවාසිකම් දැරිය නොහැකි විය. දිගින් දිගටම වහල් සමාජය තුළින් මතුව ආ ප්‍රතිවිරෝධය හමුවේ රෝම නීතියටද, සංශෝධන එකතු විය. වෙනත් අයෙකුට අයිති වහලෙකු මැරීම මිනී මැරුමක් ලෙස සැලකීම බව නීති රෝම නීතියට එකතු වන්නේ ක්‍රි.පූ. 81දීය. එය කොරනේලියන් නීතිය නම් වේ.

වහල් හිමියන් විසින් වහලූන්ට සලකන ලද්දේ ඉතාමත් ක‍්‍රෑර අයුරිනි. වහල් හිමියන්ගේ සතුට වෙනුවෙන් වහලූන් දරුණු සතුන් සමඟ සටනට යැවීම, එකෙකු මිය යන තෙක් ද්ව්ත්ව සටන්වලට යොමු කිරීම සිදු විය. සතුන් සමඟ සටන් වැදීමට නම් මහේස්ත්‍රාත්වරයකුගෙන් අවසර ගත යුතු යැයි තීරණයක් යෝජනා වූයේ  ක්‍රි.ව. 79දීය. එය සතුන් සමඟ සටන් කිරීම තහනම් කිරීමක් නොවීය. මෙම නීතිය පෙට්‍රොනියා නීතිය වශයෙන් හැඳින්වේ. .

වහලූන් අත්විඳිනා මේ කිසිදු  අකටයුත්තකට එරෙහිව නීතිය හමුවට යාමට  අයිතියක්, වහල් හිමියාට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිපාදනයක් නොවීය. පසුව මහේස්ත්‍රාත්වරයෙකුට දැනුම්දීමට ඉඩ කඩ ලැබුණු අතර එහිදීද සිදුවූයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වහලාව, වඩා කාරුණික අයෙකුට විකිණීමට අණ කිරීමයි.

වහලා විසින් උපයනු ලබන සියල්ල වහල්හිමියා සතු විය. මෙම නිතී පොදු ජනතාවගේ කැමැත්ත යැයි පැවසීමට වත්මන් සමාජයේ නම් කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත. එය සහමුලින්ම වහල් හිමියාගේ කැමැත්ත විය.

පෞද්ගලික දේපළ සහිත පංති සමාජය  බිහි වූ සෑම තැනකම පාහේ නීති පද්ධති බිහි වූ බවට සාක්ෂි ඇත.

හමුරාබි නීති පද්ධතියටද පෙර මෙසපොතේමියාවේ රජකු වූ උරුකගිනා විසින් කි‍්‍ර.පූ. 2380-2360 කාලයේ උරුකගිනා නීති සංග්‍රහය (Code of Urukagine) ඉදිරිපත් කර ඇත. මෙසපොතේමියානු රජෙකු වූ ඌර්-නම්මු කි‍්‍ර.පූ. 2050දී පමණ නීති සංග්‍රහයක් ඉදිරිපත් කර ඇත. (Code of Ur-nmmu) කි‍්‍රස්තු පූර්ව 9-5 අතර කාලයේ ටෝරා නම් වූ එසේත් නැත්නම් මෝසස්ගේ නීති සංග්‍රහය ඉදිරිපත්ව ඇත. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ඉන්දියාව පුරා අශෝක ස්ථම්භ නම් ශිලා ස්ථම්භ පිහිටුවා යම් නීති පද්ධතියක් ඉදිරිපත් කර ඇත. ඒ කි‍්‍ර.පූ. 269-236 කාලයේය. කි‍්‍රස්තු පූර්ව 200දී පමණ මනුස්මෘති නම් ග්‍රන්ථය මගින් හින්දු නීතිය ඉදිරිපත් විය. ඉස්ලාම් නීතිය හෙවත් ෂරියා නීතිය කි‍්‍ර.ව. 750දී පමණ බිහි විය. චීනයේ ටෑංග් රජ පෙළපත රාජ්‍ය කළ සමයේ එනම් කි‍්‍රස්තු වර්ෂ 624දී පමණ ටෑංග් නීති සංග්‍රහය (Tang code) ඉදිරිපත් වීය. මේ ආදී නීති සංග්‍රහයන් රාශියක් නීති ඉතිහාසය සෙවීමේදී අපට හමුවේ.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් වර්තමාන ලෝකයේ ඇති නීති පද්ධතීන් මූලික වශයෙන් ප්‍රධාන කොටස් 4කට බෙදිය හැක.

  1. රෝම නීතිය ඉන් පළමුවැන්නයි. එය සාමාන්‍යයෙන් රෝම ජර්මානු නීති පද්ධතිය (Romano-Germanic law family) යනුවෙන් හැඳින්වේ.
  2. දෙවැන්න ඉංග්‍රීසි පොදු නීතිය (English common law family) යනුවෙන් හැඳින්වේ.
  3. සමාජවාදී නීති පද්ධතිය (Family of socialist laws) තෙවැන්නයි.
  4. අනෙකුත් නීති එනම් යුදෙව්, හින්දු, මුස්ලිම් ඈත පෙරදිග සහ අප‍්‍රිකානු නීති පද්ධති සිව්වැන්නයි.

මේ එක් එක් නීති පද්ධතීන්ගේ ආරම්භය හා විකාශනය යම් වෙනස් කාල සහ ප්‍රදේශයන් තුළ සිදු වුවද ඒ හැම නීති පද්ධතියක්ම මූලික වශයෙන්ම දේපළ, පවුල සහ රජය සම්බන්ද කාරණා මූලික වී ඇති බව පෙනේ.

කෙසේ වෙතත් සමාජවාදී නීති පද්ධතිය අරමුණු වශයෙන්ම වෙනස් වේ. පෞද්ගලික දේපළ අහෝසි කිරීම සහ පොදු දේපළ ක්‍රමය ආරක්ෂා කිරීම එහි මූලික අරමුණ වේ. සෝවියට් දේශය බිහි වීමෙන් පසු රෝම ජර්මානු නීති පද්ධතියම ඇසුරු කරගනිමින් එම නීතියේ මූලික අරමුණට වෙනස් අරමුණක් ඉලක්ක කොට සමාජවාදී නීති පද්ධතිය සෝවියටි දේශය තුළ ගොඩනගන ලදී. එව්ජින් පසුකානිස්, පීටර් සූච්කා ආදීන් සමාජවාදී නීති පද්ධතිය ගොඩනැගීමේදී පෙරටුගාමීව කටයුතු කළ අයයි. සෝවියට් දේශයෙන් පසු සමාජවාදී රටවල් පද්ධතියේම නීතිය ගොඩ නැගුණේ මෙම සමාජවාදී නීති පද්ධතිය ඇසුරු කොට ගෙනයි.

නීතියේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කළ අප දැන ගත යුතු මූලික න්‍යයික කාරණයක් වන්නේ නීතිය යනු පන්ති ප්‍රතිවිරෝධය තුළ මතුව ආ ඒ තුළ වර්ධනය වෙමින් ඉදිරියට යන ප්‍රපංචයක් බවයි. එමෙන්ම එය බලය හිමි පන්තියේ අවශ්‍යතාව නියෝජනය කරන්නක් බවයි.

අද අප ජීවත් වන ධනේශ්වර සමාජය පංති ප්‍රතිවිරෝධය ඉතා තියුණු තත්වයට පත්වූ සමාජයකි. වත්මන් ලෝකයේ නීතියද මෙම ධනේෂ්වර සමාජයේ ආධිපත්‍යය දරන ධනපති පංතියේ අවශ්‍යතාවය මත කටයුතු කරන බවට අපගේ දෑස් ඉදිරිපිට  ඕනෑ තරම් සාක්ෂි තිබේ.

අද ධනවාදය පවතින්නේ  අධිරාජ්‍යවාදී අවධියේය. ලෝක ආර්ථිකය හසුරුවන්නේ බහු ජාතික සමාගම් රොත්තක් මගිනි. අද ලෝකයේ නීතිය හසුරුවන්නේද ඩොලර් බිලියන ගණනින් ලාභ ලබන නීති සමාගම් පද්ධතියක් මගිනි. මෙම නීති සමාගම් අතර ඉහළින්ම සිටින නීති සමාගම් 10ම පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍ය තුළයි. උදාහරණ වශයෙන් ලතාම් සහ වට්කින්ස් (Latham and Watkins) බේකර් සහ මැකෙන්සි (Baker and Mckenzie) යන ඉහළම ආදායම් ලබන නීති සමාගම් ඇමරිකා එක්සත් ජනපදයෙහි සමාගම් වන අතර ඞී.එල්.ඒ පීපර් (D.L.A. Piper) ක්ලිෆර්ඞ් චාන්ස් (Clifford Chance) ඇලන් සහ  ඕවරි (Allen and Overy) යන සමාගම් එක්සත් රාජධානියෙහි පිහිටා ඇත. මේවා තමන් වැනිම බහුජාතික සමාගම් සහ ධනේශ්වර රාජ්‍යයන්ගේ වුවමනාව වෙනුවෙන් නීතිය හැසිරවීමට සහ නීති සකස් කිරීමට මැදිහත්වෙමින් සිටී.

අප ආරම්භයේදීම තර්ක කළ පරිදි පන්ති සමාජයේ ආරම්භ වීමත් සමඟ ඇරඹි නීතිය පන්ති සමාජය පවතින තාක් කල් ඉදිරියට ඇදී යනු ඇත. එමෙන්ම පන්ති සමාජය අහෝසි වීමත් සමගම නීතියද එහි කාර්යභාරය අවසන් කරනු ඇත.

අතීතයේ පංති රහිත සමාජය ආචාර ධර්ම සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් මත පැවතුණා මෙන්ම අනාගත පන්ති රහිත සමාජයද ආචාර ධර්ම, සම්ප්‍රදායන් හා සිරිත් විරිත් මගින් ඉදිරියට යනු ඇත.

විමර්ශන