නීතියේ උපත හා පදනම

නූතන සමාජය තුළ නීතිය පෙනී සිටින්නේ ඉතාම අපක්‍ෂපාතී සාධාරණ, නිර්මල දෙයක් ලෙසය. මෙම මිත්‍යාවට සමාජයේ බොහෝ දෙනා රැවටෙති.

තමන් මුහුණ දෙන සමහර ගැටලූවලදී සාධාරණය ඉල්ලා නීතිය ඉදිරියට යාමට මිනිසා පෙළඹී තිබේ. ඒ, ඒ සඳහා අන් මඟක් නොමැති නිසාය. සමහර විට මතුපිට අර්ථයෙන් ගත් විට, හරයෙන් නොව පෙනුමෙන් නීතිය සැමට සාධාරණ බවද පෙනේ. නීතියේ සංකේතය ලෙස ඇත්තේද දෑස් බැඳගත්, සුරතින් කඩුවක්ද, වමතින් තුලාවක්ද ගත් කන්‍යාවියකි. ඉන් අඟවන්නේද නීතිය හා අධිකරණ ක්‍රමය, යුක්තිය හා සාධාරණත්වය පසිඳලන සර්ව සාධාරණ, අපක්‍ෂපාතී, උත්තරීතර හා නිර්මල දෙයක් ලෙසය. එහෙත් නීතිය අපක්‍ෂපාතීද? සර්ව සාධාරණද? පිවිතුරුද? යන ගැටලූව පවතී. කිසියම් සමාජ ක්‍රමයක් තුළ, කිසියම් රටක ජීවත්වන ජනතාවට නීතියේ පිහිට පැතීමට සිදුවන බව හා සමහර විට නීතිය ඉදිරියට යාමට සිදුවන බව සත්‍යයය. එහෙත් එම නීතිය පිළිබඳව, එහි පංති සම්බන්ධකම් පිළිබඳව, එහි අරමුණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම නීතියේ සැබෑ තත්වය වටහා ගැනීම සඳහා අවශ්‍යය.

නීතිය සැමදා තිබුණිද?

නීතියේ ඉතිහාසය හා එහි උපත ගැන සලකා බලන විට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ, නීතිය බිහිවී ඇත්තේ මානව සමාජයේ ආරම්භයේදී නොව එහි එක්තරා සන්ධිස්ථානයකදී බවය. මිනිසා ජීවත්වූ මුල්ම සමාජ ක්‍රමය වන ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ රජයක් හෝ නීතියක් තිබුණේ නැත. එම සමාජය පාලනය වූයේ රීතීන් හා

සම්ප්‍රදායන්ගෙනි. රීතීන් යනු සමාජයක් විසින් ඒ අවස්ථාවට අනුව ඇති කර ගන්නා පොදු එකඟතාවයන් ය. ඒවා කිසිවෙකු කඩ නොකරන අතර යමෙක් කඩ කළද ඊට දඬුවම් දීමක් නැත. එහෙත් නීතින් යනු සමාජය මත පාලක පංතිය විසින් බලෙන් පටවන ලද දෙයකි. මෙහිදී අපේ අවධානයට ලක්විය යුත්තේ, රීතීන් හා සම්ප්‍රදායන් මත පැවත ආ සමාජයක පසුව නීතිය ඇතිවූයේ ඇයිද යන්න හා එය ඇතිවූයේ කෙසේද යන්නය.

මිනිසාගේ මුල්ම සමාජය හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ 1860 දශකය වනතුරු පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. 1818-1881 කාලයේ ජීවත් වූ ඇමෙරිකානු ජාතික මානව වංශවේදියෙක්, පුරාවිද්‍යාඥයෙක් හා ද්‍රව්‍යවාදියෙක් වූ ලූවිස් හෙන්රි මෝර්ගන් නැමැත්තා 1860 ගණන්වල පළ කළ කෘති කිහිපයකින් හා 1877දී පළ කළ ‘පැරණි සමාජය’  නම් කෘතියෙන් මිනිසාගේ මුල්ම සමාජය පිළිබඳ බොහෝ කරුණු සාක්‍ෂි සහිතව ඉදිරිපත් කළේය. ඔහුට අනුවත් ඉන්පසු ඒ මත පිහිටා කළ ගවේෂණයන්ට අනුවත්, මිනිසාගේ මුල්ම සමාජය වූ ප්‍රාථමික සාමූහික සමාජය පෞද්ගලික දේපළ රහිත, පංති රහිත, රජයක් රහිත සමාජයක් විය. ඒ නිසාම එහි නීතියක්ද නොවීය. එහෙත් පසු කලෙක සමාජය තුළ ක්‍රමිකව නිෂ්පාදන උපකරණ දියුණු වී, දේපළ වර්ධනය වී පෞද්ගලික දේපළ ඇතිවීමත් සමග සමාජය දේපළ මත පංතීන්ට බෙදීමත් සමඟ සමාජය තුළ ගැටුමක්ද නිර්මාණය විය. ප්‍රතිවිරෝධයක් ඇතිවිය. ඒ දේපළ හිමි පංතිය හා දේපළ අහිමි පංතිය අතරය. මෙහිදී සමාජයේ ආධිපත්‍යය අතට ගනු ලැබූවේ දේපළ හිමි පංතිය විසිනි. එම දේපළ හිමි පංතිය විසින් දේපළ අහිමි පංතිය පාගා ගෙන යටපත් කර සිටීම සහ සූරාකෑම සඳහා බලහත්කාරී ආයතනයක් නිර්මාණය කර ගන්නා ලදී, එය රජය විය. නීතිය බිහිවන්නේද ඒ සමඟය. එබැවින් නීතිය යනු සර්ව සාධාරණ, අපක්‍ෂපාතී එකක් නොව එලෙස වෙස් වළාගත් පංතිමය දෙයක් විය. දේපළ හිමි පංතියේ පංති සූරාකෑම හා පංති පාලනය සාධාරණය කර ඊට නීතිමය ආවරණයක් දීම නීතිය මගින් සිදුකරන ලදී. එබැවින්  ඕනෑම පංති සමාජයකදී නීතිය යනු පෙනුමෙන් නොව හරයෙන් දේපළ හිමි පංතියේ කැමැත්ත වේ.

නීතිය හා රජය

නීතිය තේරුම් ගත යුත්තේ සමාජය තුළ පවතින හුදකලා වියුක්ත සංකල්පයක් ලෙස නොව, රජයේම සංයුක්ත කොටසක් ලෙසය. එසේ නම් රජය යනු කුමක්ද? රජය යනු බලහත්කාරී ආයතනයකි. එය සමන්විත වන්නේ හමුදාව, පොලීසිය, අධිකරණය, හිරගෙවල් හා නීතියෙනි. සමාජය පංතීන්ට බෙදී නොතිබුණු පැරණි ප්‍රාථමික සාමූහික සමාජය තුළ රජයක් වූයේ නැත. ඒ, බලහත්කාරය අවශ්‍ය නොවූ නිසාය. එහෙත් සමාජය දේපළ මත පංතීන්ට බෙදීම සමඟ දේපළ හිමි පංතියට බලහත්කාරී ආයතනයක් අවශ්‍ය විය. ඒ, තමන් අත්පත් කරගත් දේපළ රැකගැනීම සඳහාත් තව තවත් දේපළ කොල්ලකෑම සඳහාත් දේපළ අහිමි පංතිය පාගාගෙන සූරාකෑම සඳහාත්ය. එලෙස පංති පාලනය සඳහා බලහත්කාරී ආයතනයක් ලෙස රජය බිහිවූ විට එම බලහත්කාරී ආයතනයට දාර්ශනික හා නෛතික ආවරණයක් සලසා රජය අපක්‍ෂපාතී දෙයක් බව පෙන්වීමට යොදාගනු ලැබුවේ නීතියයි. මුලදී නීතිය රජය සමඟ කෙළින්ම ගැටගැසී තිබුණද පසුව ධනවාදයේදී එය තවත් මටසිළුටු කොට රජයට සම්බන්ධයක් නැති ස්වාධීන දෙයක් ලෙස පෙන්වීමට වෑයම් කරන ලදී.

මිනිසාගේ මුල්ම පංති සමාජය වූ වහල් සමාජයේදී වහල් නීතිය සකස් වූයේ වහලූන් ‘කතාකරන උපකරණ’ ලෙස අර්ථකථනය කරමිනි. ඒ, නිසා වහල් හිමි යුගයේ වහල් හිමියන් විසින් වහලූන් මරා දැමීම නීතියෙන් වරදක් නොවීය. ඉන් පැහැදිලි වන්නේ වහල් යුගයේ නීතිය සේවය කළේ පොදුවේ සියලූ මිනිසුන්ට නොව වහල් හිමියන්ට බවය. එසේම රාජාණ්ඩු පැවති යුරෝපා වැඩවසම් ක්‍රමය තුළ මෙන්ම ලංකාවේ පැරණි ආසියාතික සමාජයේ රජවරුන්ගේ පාලනය තුළද නීතිය රජුගේ කැමැත්ත විය. එය රාජ නීතිය ලෙස හඳුන්වන ලදී. විධායක හා අධිකරණ බලය රජු සතුවිය. පසුව ධනවාදය මෙය වඩාත් මටසිළුටු කොට නීතියේ සැබෑ ස්වරූපය සැඟවූ අතර නීතිය වඩාත් සාධාරණ ලෙස පෙන්වීමට කටයුතු කළේය. ඒ, ධනවාදයේ පැවැත්ම සඳහාය.

නීතියේ ජීවය දේපළ ලෙස

සැබැවින්ම නීතියේ ජීවය වන්නේ දේපළය. පොදු සාමූහික දේපළ නොව පෞද්ගලික දේපළය. 19වැනි සියවසේ ජර්මනියේ ජීවත්වූ ධනේශ්වර දාර්ශනිකයෙක් වූ එස්.එන්. ලින්ෂේ 1867දී ප්‍රකාශයට පත් කරන ලද කෘතියක නීතිය හා දේපළ අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කර තිබේ. ලින්ෂේගේ එම කරුණු මාක්ස් විසින් සිය ප්‍රාග්ධනය කෘතිය සඳහාද යොදාගෙන ඇත. ලින්ෂේ ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ, නීතිය දේපළ විසින් නිර්මාණය කළ දෙයක් බවය. ඒ අනුව ඔහු පවසා ඇත්තේ, “නීතියේ ජීවය දේපළ වේ” යනුවෙනි. එම කෘතියේම ඔහු මෙසේද පවසා තිබේ. එනම් “නීතීන් පවතින්නේ (පෞද්ගලික දේපළවල) මුලින් බලෙන් පැහැරගැනීමක පාප ශෝධනයටත් නව බලෙන් පැහැර ගැනීමක් වැළැක්වීමටත්ය” යනුවෙනි. මින් පවසන අදහස ඉතා පැහැදිලිය. පංති සමාජය ආරම්භ වූයේ, සමාජමය ධනය හෙවත් දේපළ එක් කණ්ඩායමක් විසින් බලෙන් පැහැරගෙන ඒවා තම පෞද්ගලික දේපළ බවට පත්කර ගැනීමත් සමඟය. එසේ යම් පිරිසක් සමාජයේ ධනය බලෙන් පැහැර ගැනීමට පෙර එම ධනය පොදුවේ අයත්ව තිබුණේ ගෝත‍්‍රයට හා ගෝත‍්‍රය තුළ බිහිවූ වංශවලටය. වංශය පාලනය වූයේ නීති මගින් නොවේ. රජය නොතිබිණි. ඒ පිළිබඳව එංගල්ස් මෙසේ කියයි.

සරල ගතියෙන් යුත් මේ වංශ සංස්ථා සංවිධානය අතිශයින්ම අපූරුය! සෙබළුන්, යුද පොලිස් භටයන් හා පොලිස්කාරයින්, ප්‍රභූවරුන් රජවරුන්, ආණ්ඩුකාරයින්, නගරපතීන්, හෝ විනිශ්චයකරුවන් නැතිවද, සිරකරුවන්ගෙන් හා නඩු විභාගවලින් තොරවද හැම දෙයක්ම අගේට සිදුවිය.

– එංගල්ස්-පවුල පෞද්ගලික දේපළ හා රජය ඇතිවූ සැටි-පිටුව 98-99

එහෙත් අගේට සිදුවූ මේ හැම දෙයක්ම වෙනස් වී ඉහත නොතිබූ සියලූ ආයතන හා චරිත සමාජය තුළ බිහිවිය; නඩු ඇසීම දඬුවම් දීම සිදුවිය; නීති නිර්මාණය විය. ඒ, පෞද්ගලික දේපළ සමඟ වංශ සංවිධානය බිඳවැටී පංති සමාජය බිහිවීම නිසාය. ප්‍රාථමික  සමාජයේ අවසාන කාලයේ වංශයට අයත්ව තිබූ දේපළ වංශය තුළම බලවත් වූ පිරිසක් විසින් බලෙන් පැහැර ගෙන වංශයේ සෙසු ජනයා වහලූන් බවට පත්කර ගනිමින් පංති සමාජයට පදනම දමනු ලැබිණි. ඉන්පසු වහලූන් හා දේපළ රැස්කිරීම සඳහා අවි බලය යෙදවිණි; ආක්‍රමණ සිදුකෙරිණි. මෙය වහල් ක්‍රමයට සීමාවූයේ නැත. ඉන්පසු වැඩවසම් ක්‍රමය තුළදීද දේපළ රැස්කිරීම, පැහැර ගැනීම හා සූරාකෑම කරන ලදී. දැන් ධනවාදය තුළද මෙය සිදුවේ. ලින්ෂේ කියන්නේ මෙම කරුණය. නීතියෙන් සිදුකරන්නේ කලින් බලෙන් පැහැරගත් දේපළ සාධාරණය කිරීමය. ඉන් නොනැවතී එම දේපළ එහි සැබෑ හිිමිකරුවන් විසින් යළි බලෙන් පැහැර ගැනීම වැළැක්වීමද නීතියෙන් සිදුකෙරේ. සැබැවින්ම  ඕනෑම රටක පංති පාලනය තුළ නීති මගින් වැඩිපුර ආරක්‍ෂා කරන්නේ මිනිසුන් නොව දේපළය.

මේ නිසාම හැම විටකම රටක නීතිය යනු පාලක පංතිය විසින් බිහිකරන්නක් වී තිබේ. මාක්ස් ‘ජර්මන් මතවාදය’ නම් සිය කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කර තිබේ.

“සමාජයේ පාලක ද්‍රව්‍යමය බලවේගය වන පාලක පංතිය ඒ සමඟම එහි බුද්ධිමය බලවේගයද වන්නේය” යනුවෙනි. ඉන් කියන්නේ කිසියම් යුගයක පවතින අදහස වූකලී එම යුගයේ පාලක පංතියේ කැමැත්ත බවය. නීතිය පිළිබඳවද සත්‍ය වන්නේ එයයි.  ඕනෑම යුගයක  ඕනෑම රටක පවතින නීති වූකලී පාලක පංතියේ කැමැත්ත වේ.

නීතිය සහ යුක්තිය අතර පරස්පරය

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්නේ එම රටේ මූලික නීතිය ලෙසය. ලොව ධනවාදයට පෙර ආණ්ඩු කරනු ලැබූවේ ව්‍යවස්ථාවලට වඩා රජවරුන්ගේ කැමැත්ත මතය. ධනවාදය විසින් ව්‍යවස්ථාපිත පාලනයක් හඳුන්වා දෙන ලදී. එම ව්‍යවස්ථා නිර්මාණය කරන්නේ කවුද? පාලක පංතිය විසිනි. කාගේ වුවමනා සඳහාද? පාලක පංතියේ වුවමනාව සඳහාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හා වෙනත් නීති උදාහරණයට ගත්විටද මෙය පැහැදිලි වේ. මේ සියලූ කරුණු විසින් තහවුරු කරන්නේ නීතිය යනු සර්ව සාධාරණ අපක්‍ෂපාතී දෙයක් නොව දේපළ පදනම් කරගනිමින් බිහිවූ දෙයක් බවය. එය දේපළ හිමි පංතියේ අවියක් වන අතර නිරන්තරයෙන් දේපළ  අහිමි පංතියට එරෙහිව කි‍්‍රයාවට නැගේ.

මේ තත්වය තුළ පංති සමාජය තුළ නීතිය ප්‍රතිවිරෝධතාවයක් සහිතව පවතී. වත්මන් සමාජයේ මෙම ප්‍රතිවිරෝධය පවතින්නේ, ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතරය. රටක නීතිය බවට පත්විය යුත්තේ යුක්තිය වුවත් පංති පාලනය තුළ නීතියත් යුක්තියත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් නියෝජනය කරයි. ධනවාදය තුළ නීතියට යුක්තියක් නැති අතර යුක්තියට නීතියක්ද නැත. වත්මන් සමාජයේ නීතිය හා යුක්තිය – සාධාරණය අතර ඇති පරස්පරය ෆිදෙල් වරක් සරලව පෙන්වා දී තිබේ. 1953 මොන්කාඩා ප්‍රහාරයෙන් පසු ඒ ගැන පැවති නඩු විභාගයේදී ෆිදෙල් කළ ප්‍රකාශය “ඉතිහාසය මා නිදොස් කරාවි” යනුවෙන් පොතක් ලෙස පළවිය. එහි 42වන පිටුවේ (සිංහල මුද්‍රණය) ෆිදෙල් මෙසේ විනිසුරුවන්ගෙන් ප්‍රශ්න කරයි.

ගෞරවනීය විනිශ්චයකාරවරුනි, හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට විරුද්ධව නඩු විභාග කරන විට ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙළුනේද; ඔහුට දරුවන් කී දෙනෙක් සිටීද, සතියේ කී දවසක් ඔහු ආහාර ගත්තේද කී දවසක් නොගත්තේද යනුවෙන් ඔබ නොඅසන්නෙහිය. ඔබ වැඩි කරදර නොවී ඔහු නිකම්ම දඟගෙට යවන්නෙහිය. එහෙත් මිනිසුන් කිහිප දෙනෙකුත්ද ඒ සමඟ පිළිස්සුනද රක්‍ෂණ මුදල් ලබා ගැනුමට ගුදම් හා ගබඩා ගිනිතබන පොහොසත් මිනිසුන් දඟගෙට නොයත්. නීතිඥයන් කුලියට ගැනීමට සහ විනිශ්චයකාරවරුන්ට අල්ලස් දීමට තරම් අධිකතර මුදල් ඔවුන් සතු බැවිනි. බඩගින්නට හොරකම් කරන දුප්පත් කාලකණ්ණියා ඔබලා දඟගෙට යවන්නෙහිය. එහෙත් රජයෙන් මිලියන ගණන් හොරකම් කරන සිය ගණනකින් එකෙකුවත් එක් රැයක්වත් දඟගෙයි ගෙවා නැත. අලූත් අවුරුද්ද ආසන්නයේ  ඔබ කිසියම් වංශාධිපති සමාජයකදී ඔවුන් සමඟ රාතී‍්‍ර භෝජන ගන්නෙහිය.

එදා ෆිදෙල් පැවසූ මේ සත්‍යය වර්තමානයට මෙන්ම ලංකාවද ඇතුළු සියලූ ධනවාදී රටවලට පොදුය. නීතිය පිළිබඳ පොදු සත්‍යය මෙයයි. නීතිය හා යුක්තිය මාර්ග දෙකක ගමන් කරන බව සත්‍ය වන්නේ මේ අනුවය.

මේ සියල්ල විසින් තහවුරු කරන්නේ කුමක්ද? ඒ අන් යමක් නොව, සර්ව සාධාරණ, අපක්‍ෂපාතී, පිවිතුරු ආදී දුහුල් සළුපිළිවලින් ආවරණය කර තිබුණද නීතිය පාලක පංතියේ අවියක් බවය. එය දේපළ හිමි පංතියට පක්‍ෂව තිබෙන, ඔවුන් විසින්ම නිර්මාණය කරගත් එකක් බවය. සමාජය තුළ නීතිය බිහිවූයේ අහම්බයකින් නොවේ; හුදකලාවද නොවේ. සමාජය තුළ රජය බිහිවන විට ඒ සමඟ එහිම අඛණ්ඩ කොටසක් ලෙස නීතිය බිහිවිය. අප කලින්ද සඳහන් කළ පරිදි නීතියේ ජීවය දේපළ විය; පෞද්ගලික දේපළ විය. රජය බිහිවීමට හේතුවූ කරුණුම නීතිය බිහිවීමටද හේතුවිය. එබැවින් අනාගතයේ දිනක රජය බිහිවීමට හේතුවූ කරුණු වෙනස්වී රජය අහෝසි වන විට ඒ සමඟ නීතීන්ද අහෝසි වී යනු ඇත.

කෙසේ වෙතත් අන් සමාජක්‍රමවලට සාපේක්‍ෂව ධනවාදය තුළදී එය පවත්වාගෙන යාමේ වුවමනාව නිසාම  ධනේශ්වර නීතිය මතුපිටින් සාධාරණ බවක් පෙන්වා තිබේ. ධනපති පංතියේ ධනපති රාජ්‍යයේ පංති අරමුණුවලට හානියක් නොවන  සීමා තුළ  ධනවාදී නීතිය “සැමට සාධාරණත්වය “ඉටු කළද පංතියට අනතුරක් වන හැම විටම පාලක පංතිය රැකීමට කටයුතු කිරීම ලොව පුරා අත්දැකීම වේ. ඊට හේතුව වන්නේ රජයේ බිහිවීමේ පදනම පෞද්ගලික දේපළ රැකීම වූ නිසාය.

රජය බිහිවූ ආකාරයත් එහි පංතිමය සබඳතාවයන් පිළිබඳවත් එංගල්ස් සිය “පවුල පෞද්ගලික දේපළ සහ රජය ඇතිවූ සැටි” නම් කෘතියේ 173 පිටුවේ මෙලෙස සඳහන් කර තිබේ. මෙය නීතිය බිහිවීමටත් මෙලෙසම අදාළ වන බැවින් එංගල්ස්ගේ එම ප්‍රකාශයෙන් මේ ලිපිය අවසන් කරමු.

රජය පැන නැගුණේ ප්‍රතිවිරෝධී පංතිවල අරගල වළක්වාලීම සඳහාය. නමුත් ඒ අතරම එය පැන නැංෙඟ් මේ පංතිවල ඝට්ඨන මැදය. එය රීතියක් වශයෙන්, රජයේ මාධ්‍යය තුළින් දේශපාලනමය වශයෙන් බලපාන පංතිය බවට පත්වූයේත් පෑගෙන පංතිය යටපත් කිරීමට හා සූරාකෑමට අලූත් මාධ්‍යයන් ලබා ගන්නා වූ, අතිශයින්ම බලසම්පන්න ආර්ථික වශයෙන් ප්‍රබල පංතියේ රාජ්‍යය වන්නේය. ඒ අනුව පුරාණයේ රජය අන් හැමටම වඩා වහලූන් යටපත්කර තැබීම සඳහා වහල් හිමියන්ගේ රජය විය. ගොවි ප්‍රවේණිදාසයින් හා දාසයින් යටපත්කර තබා ගැනීම සඳහා රදල රජය කුලීනයන්ගේ සංවිධානයක් වූවා මෙන්ම සහ වැටුප් ශ‍්‍රමය ප්‍රාග්ධනය විසින් සූරාකෑම සඳහා නූතන නියෝජිත රජය සේවය කරන්නාක් මෙනි.

විමර්ශන