ගැත්තාගෙන් සමාවක් නැත

 

නූතන අධිරාජ්‍යවාදයේ විවිධ පැතිකඩවල් සීරුවෙන් පිරික්සමින් සිටින අප, මේ ලිපියෙන් ඔබේ, අවධානය නාභිගත කිරීමට සැරසෙන්නේ, අධිරාජ්‍යවාදයේ ‘දේශපාලන ගති ස්වභාවය’ යන පැතිකඩ දෙසටය.  ඕනෑම ප්‍රපංචයක වර්තමාන ස්වභාවය අධ්‍යයනයේදී එහි ඓතිහාසික තත්වයන් සමඟ අන්තර් සම්බන්ධිතව අධ්‍යයනය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදය බව අපගේ විශ්වාසය වේ. ඒ නිසාම නූතන අධිරාජ්‍යවාදයේ දේශපාලනික ගති ස්වභාවය අවුස්සා බලද්දී එහි ඉතිහාසය දෙස සුළුවෙන් හෝ හැරී බැලීමට අත්‍යවශ්‍ය බවද අපගේ හැඟීමයි.

ධනවාදයේ අවසන් කාර්තුව වන ‘අධිරාජ්‍යවාදය’ යන සංකල්පය ගැන වඩා නිවැරදි න්‍යායික විශ්ලේෂණයක් සැපයූයේ වී. අයි. ලෙනින් විසිනි. ඒ 1916දී ඔහු විසින් ලියා පළකරන ලද “අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළම අවධියයි” යන කෘතිය මගිනි. ලෙනින් තමන්ගේ ඉහත කෘතියෙන් ධනවාදයේ නිදහස් තරඟ අවධියෙන්, අධිරාජ්‍යවාදී අවධිය වෙන්වන ලක්‍ෂණ 5ක් හඳුන්වා දෙයි. මේ ඒ ලක්‍ෂණ 05යි.

  1. නිෂ්පාදනය සහ ප්‍රාග්ධන සංකේන්ද්‍රණය
  2. කාර්මික ප්‍රාග්ධනය හා බැංකු ප්‍රාග්ධනය සංයෝග වී මූල්‍ය ප්‍රාග්ධනය බිහිවීම හා මූල්‍ය කතිපයාධිපතිත්වයක් ඇතිවීම
  3. ප්‍රාග්ධන අපනයනය අති විශේෂ වැදගත් තත්වයකට පත්වීම
  4. ජාත්‍යන්තර ඒකාධිකාරී ධනපති හවුල් සමාගම් පිහිටුවීම
  5. ලොකුම ධනපති බලවතුන් අතර ලෝකය ප්‍රදේශ වශයෙන් බෙදා ගැනීම

අධ්‍යයනයේ පහසුව තකා වෙන් කර ගත හොත් දෙවන කරුණේ කොටසක් (කතිපයාධිපතිත්වය – අධිකතර මූල්‍ය බලයක් සහිත, ඒ නිසාම දේශපාලනමය ලෙස බලවත්වූ ධනපතියන්ගේ කුඩා කණ්ඩායමක්) හා පස්වන කරුණත් මගින් එහි දේශපාලනමය ගති ස්වභාවය පෙන්වන අතර අනෙක් කරුණු සියල්ල එහි ආර්ථිකමය පැත්ත පිළිබිඹු කරයි. අපේ අවධානය පස්වන කරුණට යොමු කරමු. ” ධනපති බලවතුන් අතර ලෝකය ප්‍රදේශ වශයෙන් බෙදාගැනීම” මෙයින් කියවෙන්නේ කුමක්ද? ධනපතියන් අතර ලෝකය භෞමිකව බෙදා වෙන්කරගෙන ඇති අතර, ධනපතියන් අතර තරඟයේදී එය නැවත නැවතත් අලූත් වෙමින් සිදුවන බවය. තවදුරටත් මෙය විශ්ලේෂණය කරගත්තොත්, මේ කරුණේ ප්‍රබල හා ධනවත් ජාතීන් විසින් දුබල ජාතීන්ව යටත් කරගැනීම හා නැවත නැවතත් යටත් කරගැනීම, ලෝක යුද්ධ, ජාතික නිදහස් අරගල, ආදී සංකල්ප රූප අප තුළ ඇති කරවයි. මෙයින් කියවෙන දේශපාලන සංකල්පය කුමක්ද? ඒ අන් කිසිවක් නොව ‘යටත්විජිත ප්‍රතිපත්තියයි’ ඒ අනුව ධනවාදයේ අධිරාජ්‍යවාදී යුගයේ දේශපාලන ගති ස්වභාවය දක්වන මූලිකම දේශපාලන සංකල්පය   ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ බව අපට නිගමනය කළ හැක. එය ලෙනින්ගේ වචනවලින් මෙලෙස දැක්වීමට පුළුවන.

ඒකාධිකාර, කතිපයාධිපත්‍යය, නිදහස සඳහා නොව ආධිපත්‍ය සඳහා අරගල කිරීම, ධනවත්ම හා වඩාත්ම බලවත්ම ජාතීන් අතළොස්සක් විසින් කුඩා හා දුර්වල ජාතීන් එන්න එන්නම වැඩිවන සංඛ්‍යාවක් සූරාකනු ලැබීම, යන මේ සියල්ලෙන් අධිරාජ්‍යවාදයේ ස්වභාවය නිරූපී ලක්‍ෂණ ජනිත වේ.

(ලෙනින් – තෝරාගත් කෘති වෙළුම 04, පිටුව 160)

කෙසේ වෙතත් ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ ධනවාදයේ අලූත්ම අවධිය වූ අධිරාජ්‍යවාදී අවධිය සඳහාම නිර්මානය වූ අලූත් සංකල්පයක් නොවේ. එම ප්‍රතිපත්තිය ධනවාදයට පෙරද ක්‍රියාත්මක විය. ධනවාදයේ මුල් කාර්තුවේද (නිදහස් තරඟ අවධිය) ක්‍රියාත්මක විය. නූතන අධිරාජ්‍යවාදයේද ක්‍රියාත්මක වේ. නමුත් එහි භාවිතයේ මූලික වෙනස්කම් සහිතවය. අප එය තේරුම් ගත යුත්තේ අනිවාරණීය ලෙසම එම මූලික වෙනස්කම් සහිතවමය. කෘතියේ ලෙනින් තවදුරටත් මෙසේ සඳහන්කර තිබේ.

“යටත්විජිත ප්‍රතිපත්තිය සහ අධිරාජ්‍යවාදය, ධනපති ක්‍රමයේ අලුත්ම අවධියට පෙර පැවතුණි. වහල් ක්‍රමය මත ගොඩනගන ලද රෝමය, යටත්විජිත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක කළේය. එහෙත් සමාජ – ආර්ථික ක්‍රම අතර වෙනස්කම් සැලකිල්ලට නොගන්නා, නැතහොත් ඒවා පසුබිමට තල්ලූකර දමමින් කරන, අධිරාජ්‍යවාදය පිළිබඳ සාමාන්‍ය විවරණයන් අනිවාරණීය වශයෙන්ම පත්වන්නේ “මහා රෝමය සහ මහා බි‍්‍රතාන්‍ය” යනුවෙන් කරන සංසන්දනයන් වැනි, වැදගැම්මකට නැති මොට්ටකථා හා පුරසාරම් බවටය. ධනපති ක්‍රමයේම පූර්ව ගාමී ධනපති අවධිවල යටත්විජිත ප්‍රතිපත්තියද, මූල්‍ය ප්‍රාග්ධනයේ යටත්විජිත ප්‍රතිපත්තියෙන් මූලික වශයෙන් වෙනස් වූවකි.”

(ලෙනින් තෝරාගත් කෘති වෙළුම 04, පිටුව 114)

ධනවාදයේ පළමු කාර්තුව තුළ එනම් නිදහස් තරඟ අවධිය තුළ ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක වුණේ ‘සෘජු යටත්විජිතවාදය’ ලෙසටය. ඍජු යටත්විජිතවාදයේ මූලික ලක්‍ෂණ මොනවාද? ප්‍රබල, ධනවත් ජාතීන්, දුර්වල ජාතීන් යටත් කරගෙන සිටීම, එම යටත්කිරීම සඳහා සිය  ප්‍රබල හමුදා මගින් යුද වැදීම, නැතිනම් බලහත්කාර වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම, නැතිනම් බලහත්කාර  යුද ගිවිසුම් ඇතිකරගැනීම ආදියයි. සිය ප්‍රබල හමුදා යටත් රාජ්‍යවල ස්ථාන ගත කිරීම,  එම යටත් විජිත රාජ්‍යවල තමන්ට පමණක්ම වාසි සහගත ව්‍යවස්ථා, නීති කෙටුම්පත්, බදු ක්‍රම, වෙළඳාම, කර්මාන්ත, කෘෂි කර්මාන්ත ක්‍රම ආදිය ඇති කිරීම. එමගින්  එහි සියලූ සම්පත් (අමුද්‍රව්‍ය) කොල්ලකෑමෙන් තමන්ගේ පුළුල් වන නිෂ්පාදන වෙළඳපළක් ගොඩ නගා ගැනීමටත් යටත් විජිතවලින් එහි නිදහස සඳහා අරගල පැන නගින විට  ඒවා ක්‍රෑර  ලෙස මර්දනය කිරීම ආදී මූලික ලක්‍ෂණවලිනි.  (තවදුරටත් එක් එක් අධිරාජ්‍යවල මීට වෙනස් ලක්‍ෂණ තිබුණද මේවා මූලිකව හඳුනාගතහැකි ලක්‍ෂණය) ‘ඍජු යටත්විජිතවාදයේ’ සීමා ලකුණු සටහන් වේ. උදාහරණයක් ලෙස ශී‍්‍ර ලංකාවේ යටත්විජිතවාදය ගැන සොයා බලද්දී මේ ලක්‍ෂණ වඩා හොඳින් අවබෝධ කරගැනීමට හැකිය.

ශී‍්‍ර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මුලින්ම ඉංගී‍්‍රසීන් විසින් යටපත්කරගන්නේ 1796 දීය. එවකට එම ප්‍රදේශ යටත් කර ගෙන සිටි  ඕලන්දයේ (නෙදර්ලන්තය) රජු සමඟ අත්සන් කළ සුප්‍රකට ගිවිසුමෙනි. තවද එම ගිවිසුමෙන් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය ලබාගන්නේ පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමයි.  ඊළඟට ඔවුහු ලංකාවේ උඩරට රාජධානිය සමඟ යුද වැදුනෝය. ඔවුන්ගේ ප්‍රබල යුද, නාවික බලය හමුවේ උඩරට රාජ්‍යය පරාජයට පත්වෙද්දී, රට තුළ දැවැන්ත විනාශයක් සිදුවී තිබුණි. 1815දී ඔවුන් විසින් ලංකාව සම්පූර්ණයෙන් යටත්විජිතයක් කරගත් අතර පිළිවෙලින් 1797දී පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ බදුවලට එරෙහිව පැන නැගුන  කැරැල්ලත් 1848 මාතලේදී ඇඟ බද්ද, බලු බද්ද වැනි බදු බරට එරෙහිව පැන නැන නැඟුන  කැරලිත් ක්‍රෑර ලෙස මර්දනය කර සමතලා කර දැමුණි.

තවද ඩොනමෝර්, සෝල්බරි ආදී ව්‍යවස්ථා ඇති කරන ලද අතර, ජාතිකත්වයන් බෙදා වෙන් කර පාලනය කිරීම ආදී උපක්‍රමද භාවිතා කෙරුණි. නිදහස උදෙසා වන  ඕනෑම අරගලයක් මර්දනය කිරීමේ අරමුණ සහිතව ඔවුහු මැදිහත් වූහ. ධනවාදයේ නිදහස් තරඟ අවධියේ අවසානය ළංවන විට බි‍්‍රතාන්‍යය, ජර්මනිය, රුසියාව, ප‍්‍රංශය, එක්සත් ජනපදය, ජපානය, විශාල සෘජු යටත්විජිත ගොඩනගා තිබුණි.  මුලූ පෘථිවියෙන් මොවුන්ට අයත්ව නොතිබූ කොටස නොගිනිය  හැකි තරම් කුඩා එකක් විය. අවසානයේ, යටත් විජිත රටවලින් ප්‍රබල ජාතික ව්‍යාපාර බිහි වූ අතර එමගින්, ප්‍රබල නිදහස් අරගල පැන නැගුණි.  සෘජු යටත්විජිතවාදයේ පැවැත්ම තවදුරටත්  අනතුරට පත්ව තිබුණි.

යටත්විජිතවල පැන නැගුණු නිදහස් අරගල එකින් එක ජයග‍්‍රහණය ලබමින් ස්වාධීන රාජ්‍යයන් බිහිවීම ඇරඹුනි. මේ වනවිට ධනපතියන් අතර ලෝකය නැවත බෙදා ගැනීමේ වුවමනාවද වැඩි වැඩියෙන් දැනෙන්නට විය. එයට අනුරූපව ලෝකය ධනපතියන් අතරේ බෙදා ගැනීමේ දෙවන ලෝක යුද්ධයද ඇරඹී තිබුණි. දෙවන ලෝක යුද්ධය අවසන්වන විට නැවත පෙර පරිදි යටත් කරගත නොහැකි ස්වාධීන රාජ්‍යයන් ලෝකයෙන් 90%කටත් වැඩියෙන් ගොඩනැගී තිබුණි. ඒ අතර පෙර සිටි අධිරාජ්‍යවාදී බලවතුන් වෙනුවට නව යොවුන් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධය තුළ බලවත් විය. දැන් සමාජවාදී රාජ්‍ය පද්ධතියක් නිර්මාණය වී තිබුණෙන් පෙර පරිදි ඍජු ලෙස රටවල් යටත් කිරීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබුණි.  ඒ නිසා ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ ක්‍රියාවට නඟා ගැනීම සඳහා ධනපතියන්ට අලූත් උපක්‍රම වෙත මාරු වීමට සිදුවිය.

මේ අනුව පැවති වාස්තවික තත්වයන් මත අධිරාජ්‍යවාදීන්ට හමුවූ නව උපක්‍රමය දේශපාලනමය ලෙස නාමකරණය වන්නේ නව යටත්විජිතවාදය ලෙසයි. එහි මූලික මූලධර්මය වූයේ,  ලෝකයේ අති බහුතරයක් රටවල ආර්ථික නිදහස ධනවත්ම සහ බලවත්වම රාජ්‍යයන් වෙත තබාගනිමින් නාමික දේශපාලන නිදහසක් පමණක් පවත්වා ගනිමින් එම රටවල් වල ආර්ථික සූරාකෑම දිගටම පවත්වා ගැනීමය.

නමුත් දැන් නාමිකව හෝ ස්වාධීන රාජ්‍යයන් බිහිවී ඇති නිසාම, කුමන උපක්‍රම යෙදුවත් ධනවාදයේ මුල් කාර්තුවේ මෙන්  සෘජු ලෙසම යටත්විජිත පවත්වා ගැනීමට නොහැකි සීමාවන්වලට අධිරාජ්‍යවාදීහු මුහුණ දී සිටිති. එය ඔවුන්ගේ කැමැත්ත නොවේ. ලැබී ඇති තත්වයයි. ධනවාදයේ මුල් කාර්තුවේ ලෝකයේ සාතිශය බහුතරයක් රාජ්‍යයන්  සෘජු ලෙසම, ධනවත් ජාතීන්ට යටත්ව තිබූ අතර අතළොස්සක් රාජ්‍යයන් ‘ගැති රාජ්‍යයන්’ (අර්ධ යටත්විජිත) ලෙස පැවතුණි.

යටත්විජිත හිමි රටවල් යටත්විජිත යන ප්‍රධාන රාෂ්ට්‍ර කණ්ඩායම් දෙකට අමතරව, නොයෙක් ආකාරයේ ගැති රටවල් ඇත. ඒවාට දේශපාලන වශයෙන් නාමික නිදහසක් ඇතත්, ඒවා ඇත්ත වශයෙන්ම, මෙම යුගයට විශේෂ වූ  මූල්‍ය හා රාජ්‍ය තාන්ත්‍රීය ජාලයක පැටලී තිබේ. ගැති භාවයේ එක් ආකෘතියක් වන අර්ධ යටත්විජිත ගැන අපි ඉහතින් සඳහන් කෙළෙමු.

(ලෙනින් –  තෝරාගත් කෘති වෙළුම 04, පිටුව 117)

නමුත් ධනවාදයේ නූතන යුගය, නව යටත්විජිතවාදය, එහි අංශක 180ක ව්‍යවර්තයකි. දැන් නව යටත්විජිතවාදය මුළු ලෝකයම පාහේ අධිරාජ්‍යවාදී රටවල ‘ගැති රාජ්‍යයන්’ බවට පත් කරමින් සිටී. අල්ප ප්‍රමාණයක්  රටවල් සෘජු යටත්විජිත බවට පත්වන ලකුණුද පෙන්වමින් සිටියි. (‘ඍජු යටත්විජිත’වල සිට ‘ගැති රාජ්‍යයන්’ දක්වා පල්ලම් බැසීම එක් අතකින් අධිරාජ්‍යවාදයේ පරාජයකි.) මෙයින් අපට ප්‍රධාන දේශපාලන නිගමනයකට බැසිය හැකිය. අධිරාජ්‍යවාදයේ නූතන යුගය ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ ක‍්‍රියාවේ යොදවන්නේ ඍජු යටත්විජිත ගොඩනැගීමෙන් නොව ‘ගැති රාජ්‍යයන්’ වැඩිපුර නිර්මාණය කිරීමෙනි.

මෙලෙස ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කරමින්  ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ ක‍්‍රියාවේ යෙදවීමට ඊටම ගැලපෙන ජාත්‍යන්තර සංවිධාන ප්‍රමාණයක් දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන් විසින් ගොඩනඟා ගන්නා ලදී. එයින් 1945දී ගොඩනැගූ ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිත ආයතන’ දේශපාලන පෙරමුණේදීද 1949දී ගොඩ නැගූ ‘නේටෝ සංවිධානය’ යුධමය පෙරමුණේද 1947දී ගොඩ නැගූ ‘ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ආර්ථික පෙරමුණේද නව යටත්විජිතවාදය, නැතිනම්  ‘ගැති රාජ්‍යයන්’ ගොඩනැඟීම සුජාතකරණය කරමින් සිටී.

ඉහත ආයතන ද තුරුම්පු ලෙස භාවිතා කරමින් ‘ගැති රාජ්‍යයන්’ ගොඩනැඟීමට අධිරාජ්‍යවාදීන් විවිධ දේශපාලන උපක්‍රම භාවිත කරයි. ඉන් මූලිකම කරණු කීපයක් ගැන දැන් සොයා බලමු. මින් ප්‍රධානතම උපක්‍රමයක් නම් රටවල් ණය උගුලක සිර කර එමගින් අධිරාජ්‍යවාදී රටවල දේශපාලන ආර්ථික වුවමනාවන් සපුරා ගත හැකි  ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කර ගැනීමය.

ණය උගුලක සිර කර ගැති රාජ්‍යයන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශී‍්‍ර ලංකාව ද හොඳම නිදසුනක් සපයයි. 1952 දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වන ශ‍්‍රී ලංකාව එම වර්ෂයේ සිට විවිධ ණය වර්ග ගැනීම අරඹයි. 2013 වන විට ශී‍්‍ර ලංකාවේ මුළු වියදමින් භාගයක් ණය ලෙස  ගැනීමට සිදුව ඇත. එම නිසා මීට පෙර ගත් ණය සඳහා වාරික සහ පොළී ගෙවීම සඳහාද නැවත ණය ගැනීමට සිදුවේ. එවිට ඊළඟ වසරේදී වියදම් සඳහා පෙරට වඩා වැඩි ණය ප්‍රමාණයක්ද ණය වාරික හා පොලී ගෙවීම සඳහා  ඊටත් වැඩි ණය කන්දක් ද ලබා ගැනීමට සිදුවේ. චක්‍රය එසේ වැඩෙමින් වර්ධනය වන අතර ඉදිරියේදී වඩා වැඩි වේගයෙන් වර්ධනය වේ. ඒ නිසා දැන් ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ ණය නොගෙන සිටීම මාරාන්තික වීමක් දක්වා වර්ධනය වී අවසන්ය. “ණය උගුල” යනු මෙයයි. දැන් මේ ණය පිටුපස ‘ගැති රාජ්‍යයක්’ බවට පත් වීමට අවශ්‍ය කොන්දේසි සහ ‘මඟපෙන්වීම්’ද ලැබෙනු ඇත. ඒවාට අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහණය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත‍්‍ර සඳහා වන සුබසාධන කප්පාදු කෙරෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බහු ජාතික සමාගම්වලට එම ක්ෂේත‍්‍රවල ආයෝජනය කරමින් ලාභ ගැරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමිනි. තවද ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීමට අදාල ඉතාම අවාසි සහගත බලහත්කාර කොන්දේසිද ඉදිරිපත් වී ඇති බව සහ ඒවා ඉහළින් පිළිගෙන ඇති බව 2013 අයවැය යෝජනා පිරික්සීමේදීද දැකීමට පුළුවන. එවා මඟින් ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ‘කොලනියක්’ බවට ශ‍්‍රී ලංකාව පත් කරගැනීම අධිරාජ්‍යවාදීන්ගේ අරමුණයි. ඉතින් ඉහත අරමුණු දෙක පමණක්ම ඉටු වුවත් ඒවා ‘ගැති රාජ්‍යයක’ ලක්ෂණ නොවේද? ණය උගුලේ හසුවුන  ඕනෑම රටක ‘ඉරණම’ එයයි.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය උගුලට හසුකර ගැනීමෙන් ආසියාව, අපි‍්‍රකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව ආදී සෑම කලාපයකම රටවල්වලට මැදිහත් වෙමින් සිටියි. එය කොතරම් බලවත් දැයි කියන්නේ නම් සමහර රටවල අයවැය ලේඛනය සකස්කරන්නේ ද ලෝක බැංකුව ය. තවද සමහර රටවල “දුප්පත්කම තුරන් කිරීමේ හා ආර්ථිකය සංවර්ධනය කිරීමේ උපාය මාර්ග” පවා සකස් කර දෙයි. එපමණක් ද නොවේ. ඒවායේ ව්‍යවස්ථාවෙන් තහනම්ව තිබුණ ද ලෝකයේ සමහර රටවලට දේශපාලන බලපෑම් කරන ආයතන ලෙස ද මැදිහත් වනු දැකිය හැකිය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1979 විප්ලවයෙන් පසු නිකරගුවාවට ණය ලබා දෙන ලදී. නමුත් 1981 දී සිය දූත පිරිසක් නිකරගුවාවට යවන ලෝක බැංකුව, සමාජවාදී ප්‍රතිපත්ති අතහැර පෞද්ගලික අංශය ශක්තිමත් කරන ලෙස සැන්ඩිනිස්ටාවරුන්ට බල කළේය. තවද ලෝකයේ සමහර රටවල් දේශපාලනිකව මට්ටු කිරීම සඳහාද ණය භාවිත කරයි. 1964 දී හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් බ්‍රසීල පාලකයින්ට 1970 දී ණය ලබා දීමට තීරණය කරන්නේ ඊට පෙර සිටි පාලකයින් මට්ටු කිරීමටය. 1965 දී මිනිස් සංහාරයක් හරහා බලයට පැමිණි ඉන්දුනීසියාවේ සුහර්තෝගේ පාලනයට 70 දශකයේදී වසරකට ඩොලර් බිලියන 600 කටත් වඩා වැඩි ණය ලබා දෙන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයට වඩා ඒකාධිපති සුහර්තෝව ශක්තිමත් කිරීමටය.

බොහෝ විට මූල්‍ය ක්ෂේත‍්‍රයේදී  ගැති බවට පත්කරගැනීමට නොහැකි ආර්ථික වශයෙන් ස්වාධීන ජාතික රාජ්‍යයන් යටපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු නූතන අධිරාජ්‍යවාදීන් භාවිතයට ගනිමින් සිටින මෙවලම් වනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනත් නේටෝ සංවිධානයත්ය. ඉහත දක්වා ඇති පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945දී ගොඩනඟන්නේ ලෝක සාමය ගොඩ නැඟීම හා නැවත ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට බව පවසමිනි. 1949දී නේටෝව ගොඩ නඟන්නේ පැවති සමාජවාදී සෝවියට් දේශයේ යුධ හවුල වූ ‘වෝර්සෝව’ට එරෙහිවය. යුද්ධ වැළැක්වීම කෙසේ වෙතත් වත්මන් ලෝකයේ සෑම යුද්ධයක් සඳහාම මැදිහත් වෙමින් ඒවා හොඳින් පවත්වා ගන්නේ මෙම ප්‍රධාන ආයතන දෙකය යන්න ලෝකයම දන්නා එහෙත් අභියෝග කළ නොහැකි වී ඇති සත්‍යයකි. නූතන අධිරාජ්‍යවාදීන්ගේ ‘ගැති’ රාජ්‍යයයන්  ගොඩනැඟීමේ මෙම යුධමය මැදිහත්වීම් ඔවුන්ම සාධාරණය කරනු ලබන අතර ඒ සඳහා  බොහෝවිට අතේ පැළවෙන බොරු හේතුද ඉදිරිපත් කරයි. එම හේතු අතර එම රටවල ජනතාවට, මානව හිමිකම් ලබාදීම, ප්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම, ස්වයං තීරණය ලබාදීම, සාමය ලබාදීම ආදී වේෂයන්ගෙන් පෙනී සිටියි. තවද ඒ අතරට ලෝක ත‍්‍රස්තවාදය පැරදවීම, ලෝක සාමය උදා කිරීම ආදී ලෝක බොරුද ඉදිරිපත් කරමින් සිටියි. පහත දැක්වෙන උදාහරණයම වුවද ඊට සාක්ෂි සපයයි.

1990 දී තෙල් ළිං ප්‍රශ්නයක් මත ඉරාකය කුවේටය ආක්‍රමණය කරයි. ප්‍රශ්නය ආක්‍රමණයක් දක්වා දුරදිග යනතෙක් නිහඬව සිටි එක්සත් ජාතීන් සහ නේටෝව ඉරාකයට එරෙහිව  ඇමරිකන් එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේදී යෝජනා සම්මත කරගෙන ලෝක සාමය සඳහා යැයි කියමින් ඉරාකයට පහරදී මැදපෙරදිග දී ගැති රාජ්‍යයන් බිහි කර ගත්තේය. ඒ යුධ බලහත්කාරයෙන් ඉරාකයත් යුධ උදව් සැපයීමෙන් කුවේටයත් ලෙසය. එම බලහත්කාරයටද ඉරාකය යටත් නොවූ තැන අවු. 20 කට පසුව 2010 දී සදාම් හුසේන්ගේ පාලනය බිඳ දැමීමට  ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ඉරාකය ආක්‍රමණය කළේය. අධිරාජ්‍යවාදීන් ඊට මවා පෑ හේතුව වූයේ,  ඉරාකය සතු න්‍යෂ්ටික අවි විනාශ කිරීමය.

1978දී සෝවියට් ආධාර මත ගොඩ නැඟුණ සමාජවාදී ඇෆ්ගනිස්ථානය බිඳ දැමීමට අධිරාජ්‍යවාදීන්ම බිහිකළ ‘මුජහිදීන්’ ප්‍රතිවිප්ලවීය මූලධර්මවාදී කැරලිකරුවන්ට ප්‍රසිද්ධියේ උදව් දුන්නේ එහි ජනතාවට ප්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීමට යැයි කියමිනි. එම ප්‍රතිවිප්ලවීය ක‍්‍රියා හේතුවෙන් අසූව දශකයේ අවසන් භාගයේදී ඇෆ්ගනිස්ථානයේ සමාජවාදය බිඳ වැටී  ඇ.එ.ජ.යේ උදව් සහිතව ‘ගැති’ ඇෆ්ගනිස්ථානයක් බිහි විය. නැවත 2010දී පමණ එම ‘ගැත්තන්ම’ තෙල් නල එළීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විරෝධය දක්වද්දී ඇෆ්ගනිස්ථානය සමතලා කරමින්  යුධමය බලහත්කාරය සහිත  ‘ගැති’ ඇෆ්ගනිස්ථානයක් බිහි කරගෙන ආසියානු කලාපයේද යුධ බලය තහවුරු කර ගත්තේය. ආක්‍රමණයට මවා පෑ හේතුව වූයේ ලෝක ත‍්‍රස්තවාදය පැරදවීමයි.

2000 දී යුගෝස්ලාවියාවට සිදු වූ දේද මීට වෙනස් නොවේ. මෙලසොවික්ගේ පාලනය තමන්ට හැසිරවීමට නොහැකි තැන ‘කොසෝවෝ ප්‍රදේශයේ’ ජනතාවගේ වෙන්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිඳිමින්  නේටෝව යුගෝස්ලාවියාවට පහර දුන්නේය. එය අවසන් වූයේ යුගෝස්ලාවියාව කැබලි කරමිනි.

අනෙක් අතට පලස්තීන භූමිය තුළ බලෙන් ඊශ‍්‍රායලය ගොඩ නගද්දීත්  ඊශ‍්‍රායලය වරින් වර පහරදෙමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරද්දීත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් නේටෝවත් නෑසු කන් ඇතිව සිටියි. ඒ   ඊශ‍්‍රායලය තමන්ට ගැති තම වුවමනාවන් වෙනුවෙන් මැදපෙරදිගදී මැදිහත්වන්නා වන නිසාය.

මෑතදී ඉතිහාසය ගත්තත් ‘අරාබි වසන්තය’ ලෙස අරාබිය හරහා හමාගිය අරගල රැල්ලේදී ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යැයි කියමින්,  විශේෂයෙන්  ටියුනීසියාවේ හා ලිබියාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට නේටෝව මැදිහත්විය. එමගින් එම රටවල්වල පාලනයද තමන්ට ගැති ස්වභාවයකට පත් කරගත්තේය. තවද ඉරානය, සිරියාව, උතුරු කොරියාව, ආදී රටවලට යුධමය තර්ජන එල්ල කරමින් හිඳී. එය  ඕනෑම මොහොතක  කඩා පැනීමක් දක්වා වර්ධනයද විය හැකිය.

තවද  අධිරාජ්‍යවාදයට අවනත නොවන රටවල් මෙල්ල කිරීමට  ඕනෑම මොහොතක ලොව  ඕනෑම රටකට පහර දිය හැකි පරිදි ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝව සිය හමුදා ලෝකය පුරා සීරුවෙන් තබා  ඇත.

නූතන යුගයේ අධිරාජ්‍යවාදය ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කිරීමට භාවිත කරන තවත් දේශපාලන සංකල්පයකි ‘බෙදුම්වාදය’. මෙයද ධනවාදයට අලූත් සංකල්පයක් නොවේ. එහි මුල් කාර්තුවේ ඍජු යටත්විජිතවලදි ඔවුන් භාවිතා කළ බෙදා වෙන් කර පාලනය කිරීමේම දිගුවකි.

මෑත ඉතිහාසයේ සුඩානය, උතුරු හා දකුණු සුඩානය ලෙස බෙදා වෙන් කිරීම, සයිප්‍රසය, ග‍්‍රීක සහ තුර්කි  සයිප්‍රසය ලෙස බෙදීම, යුගෝස්ලාව්යාව කැබලි අටකට වෙන් කිරීම, නැගෙනහිර ටිමෝරය වෙන්කිරීම ආදියෙන් ‘බෙදුම්වාදය’  අධිරාජ්‍යවාදීන්ගේ කෙතරම් ජනප‍්‍රිය භාවිතයක්ද යන්න ඔබට වැටහෙනු ඇත.

සුවිශාල මහා භාරතය කැබලි කිරීම ද අධිරාජ්‍යවාදයේ තිබූ නොසිඳෙන වුවමනාවකි. පාකිස්තානය වෙන් කිරීම, බංගලිදේශය බිහි වීමද එහි ප්‍රතිඵලයන්ය. ඊට අමතරව ඉන්දියාව තුළ බෙදුම්වාදී ව්‍යාපාරයන් සඳහා පැවති විභවයන් පෝෂණය කර ඉන්දියාව දුබල කිරීමට ඒවා යොදා ගනු ලැබුණි. ජම්බු කාශ්මීරයේ මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය, ඇසෑම් ප්‍රදේශයේ බෙදුම්වාදී ව්‍යාපාර, දකුණු ඉන්දීය බෙදුම්වාදී ව්‍යාපාර මීට උදාහරණයන්ය.

දකුණු ඉන්දීය බෙදුම්වාදී ව්‍යාපාර ලංකාවේ ජාතික ප්‍රශ්නයටද සෘජුවම සම්බන්ද වූ අතර පසුගිය 30 අවුරුදු යුද්ධයේදී අධිරාජ්‍යවාදයේ සෘජු මැදිහත්වීම් හා වක්‍ර මැදිහත්වීම් දිගින් දිගටම පැවතුණි. “පැකේජය”,  “සුනාමි සහන මණ්ඩලය” හා විවිධ වර්ගයේ “බලය බෙදීමේ  විසඳුම්” මගින් කෙරෙන මැදිහත් වීම් ඉන් කිහිපයකි.  ලොව අනිකුත් රටවලට මෙන්ම ‘සාම’ මැදිහත්වකරුවන්ගේ වේශයෙන් මැදිහත් වෙමින් බෙදුම්වාදය පෝෂණය කරමින් වෙනම රාජ්‍යයක් බිහිකිරීම හා ඒ තුළ තම වුවමනාවන් ඉටුකර ගැනීමට එළිපිටම ක්‍රියාවලියක් දියත් විය. යුද්ධයේ අවසන් වසර කිහිපයේ නෝර්වේ රාජ්‍යයේ භූමිකාව මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත් වේ.

එසේම මෑත කාලීනව අධිරාජ්‍යවාදය අනිකුත් රටවල්වලට අත පෙවීමට යොදා ගන්නා ප්‍රධාන ‘ආයුධයක්’ වී ඇත්තේ ‘මානව හිමිකම්’ය. පසුගිය කාලයේ එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයට කඩාවැදුණේ ‘මානව හිමිකම්’ බෝඞ් ලෑල්ලට මුවා වීමෙනි. ඉරාකයට කඩා වැදී එහි නායක සදාම් හුසේන් ඝාතනය කිරීම, ලිබියාවට කඩා වැදී එහි නායක මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීම එවැනි අවස්ථාය. වර්තමානයේ සිරියාව කොටු කරමින් හමුදා තර කරමින් සිටින්නේද සිරියාව ආක්‍රමණය කිරීමට වන අතර එයටද  සුපුරුදු ‘මානව හිමිකම්’ බෝඞ් ලෑල්ල යොදා ගනු ඇත. ඊළඟ ගොදුර ලෙස ඉලක්ක මානා ඇත්තේ ඉරානයටය.

මේ සෑම තැනකම පෙනෙන කරුණක් නම් මෙවැනි රටවල ධනපති අත්තනෝමතික පාලනයන්ගේ ප්‍රජාතන්ත‍්‍රවිරෝධී ක්‍රියාකලාපයන්ද අධිරාජ්‍යවාදීන්ට වාසි දායක කොන්දේසි නිර්මාණය කර දී තිබෙන බවය.

ලංකාවට අදාලවද මූලික වශයෙන් යුද වකවානුවේ සිදුවූ “යුද අපරාධ”පදනම් කොට ගෙන පසු ගිය කාලයේ ජිනීවා මානව හිමිකම් රැස්වීමේ එල්ල වූ චෝදනාවන් පිටුපසද මෙකී වුවමනාවන් නැතැයි කිව නොහැකිය. එහිදී ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක්ද සම්මත වූ අතර දැනට ඒවා ක්‍රියාමාර්ග බවට පත්වෙමින් තිබේ.

කෙසේ වුවත් ඒවාටද පසුබිම සපයා ඇත්තේ, රාජපක්‍ෂ පාලනයේ පවතින බරපතළ අත්තනෝමතික, ප්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති ක්‍රියාවලිය බවද ඒ තරමටම පැහැදිලි කරුණකි. ලංකාවට අදාළව අධිරාජ්‍යවාදයේ සැබෑ මැදිහත්වීම රාජපක්‍ෂ පාලනය හරහා සිදුවන බව හෙළිදරව් කිරීමත් මානව හිමිකම් වේශයෙන් එන අධිරාජ්‍යවාදය සමඟ නිවැරදිව ගනුදෙනු බේරා ගැනීමත් ලාංකේය වම හමුවේ වන අභියෝගයන් ය.

ඉහත අප දැක්වූ ප්‍රධාන දේශපාලන සංකල්ප මගින් නූතන අධිරාජ්‍යවාදය මුළු ලෝකයම  ‘ගැති රාජ්‍යයන්’ බවට පත් කිරීමේ ව්‍යායාමයක යෙදී සිටිය යන්න තව දුරටත් කිසිවෙකුටත් නොතේරෙන අපබ්‍රංශයක් නොවේ. අධිරාජ්‍යවාදයේ දේශපාලනමය පැතිකඩ වූ ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ වර්තමානයේදී ක්‍රියාවට නැඟෙන්නේ එලෙසය. මේ ව්‍යායාමයේ සමහර ප්‍රතිඑල අපට පෙන්වන සුවිශේෂී දේශපාලන කාරණයක්ද ඇත. ඒ, අද සමහර රටවල ආර්ථික නිදහසත් දේශපාලන නිදහසත් යන දෙකම නැවත  අධිරාජ්‍යවාදීන් අතට වක්‍රව ලබා ගනිමින් ඇති බවය. එය යළිත් නව ආකාරයක සෘජු යටත්විජිත තත්වයක ස්වභාවය පෙන්නුම් කරයි. එනම් නූතන අධිරාජ්‍යවාදයේ භාවිතය තුළ යළි යටත්විජිතකරණ තත්වයක්ද දැකිය හැකිය. (නමුත් එය ධනවාදයේ මුල් කාර්තුවේ වූ යටත් විජිතවාදයෙන් වෙනස්ය) කෙසේවෙතත්  අධිරාජ්‍යවාදයේ වුවමනාව, කැමැත්ත, ප්‍රර්ථනාව යළි යටත්විජිත තත්වයකි. නමුත් එය එසේ සිදුවෙයිද? නැත, එය එසේ සිදු නොවේ.

දැන් ‘ගැති රාජ්‍යයන්’ බවට පත්වෙමින් ඇති රටවල් බොහොමයක් නමසිය හතළිස් ගණන්වලින් පසුව අමිහිරි, සෘජු යටත්විජිතවලට එරෙහිව සටන් වැද ස්වාධීන ජාතික රාජ්‍යයන් ගොඩනැගූ ඒවා ය. (ධනවාදී හෝ සමාජවාදී) එනිසා අද ලොව සියලූම ජාතීහු  ‘නිදහස හා විමුක්තිය’ ගැන තතු දනිති. එම දැනීමම නුතන අධිරාජ්‍යවාදයේ  ‘යටත්විජිත ප්‍රතිපත්තිය’ සමඟ එක එල්ලේම ප්‍රතිවිරෝධී වන්නේය. එම ප්‍රතිවිරෝධය, ධනවාදයේ  මුල් කාර්තුවේ ‘යටත්විජිතවාදය’ සමඟ එහි යටත් රාජ්‍යයන් දැක්වූ ප්‍රතිවිරෝධය මෙන් දහස් ගුණයකින් විශාල මෙන්ම දියුණු හා සවිඥානිකද වේ.  සරලම, සහ මූලිකම, හේතුව මෙයය.

මේ දැවැන්ත දියුණු හා සවිඥානික ප්‍රතිවිරෝධය නූතන  අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික නිදහස් අරගල ගොඩනගනු ඇත.

සමාජවාදී කියුබාව 1961දී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ අති නවීන යුධ බලය ඌරුබොක්ක සටනේදී පරාජය කළේය. තවද ඔවුන්ට පනවා ඇති ආර්ථික සම්බාධක අධිරාජ්‍යවාදීන්ගේ උත්තරීතරම දේශපාලන ආයතනය වූ එ.ජා.සං. තුළදීම පරාජය කරමින් සිටී. සමාජවාදී වියට්නාමය අවුරුදු 23ක් ප‍්‍රංශ හා ස්පාඥ්ඥ අධිරාජ්‍යවාදීන් සමගත් අවුරුදු 07ක් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමගත් සටන් කර යෝධ ඇමරිකානු යුධ බලය බිමට සමතලා කළේය. එපමණක්ද නොව ධනවාදයේ දුෂ්ට බාධාකිරීම් මැද ආර්ථික ක්ෂෙත්‍රයේද සුවිශේෂ ජයග‍්‍රහණ ලබමින් ඉතාම තහවුරුව ඉදිරියට ඇදේ. එය කෙතරම්ද යත් එක්සත් ජාතීන්ගේ සංගමයටම 2010දී වියට්නාමය සහස්‍ර සංවර්ධන ඉලක්ක වෙත වේගයෙන්ම ළංවන රට ලෙස නම් කිරීමට සිදුවිය.

සමාජවාදී උතුරු කොරියාව ඇමරිකන් යුධමය තර්ජන තඹයකට මායිම් නොකර සමාජවාදය වෙනුවෙන් න්‍යෂ්ටික තාක්‍ෂණය අත්හදා බලමින් අධිරාජ්‍යවාදයට එරෙහිව තිරව නැගෙමින් සිටී. චීනයද දැවැන්ත ආර්ථික හා යුධමය ශක්තියක්ද සමග අධිරාජ්‍යවිරෝධි පෙරමුණකට පැමිණෙමින් සිටී. දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව, ඉක්වදෝරය, බ්‍රසීලය, නිකරගුවාව ආදී රටවල් සමාජවාදී නොවුවත් එදෙසට යොමු වූ අධිරාජ්‍යවිරෝධී පාලනයන් ගොඩනගමින් සිටී.

ධනවාදී රාජ්‍යයන් වන රුසියාව, ඉරානය, සිරියාව සහ තවත් බොහෝ රටවල් අධිරාජ්‍යවාදයට එරෙහිව අවි ඔසවමින් සිටී. මේ හැමකකින්ම කියවෙන සත්‍යය වන්නේ, අනාගතය අධිරාජ්‍යවාදයට එරෙහි ලොවක් වනු ඇති බවය.

කෙසේ වෙතත් අප සලකා බැලූ ලෙස ධනවාදයේ නූතන කාර්තුව අධිරාජ්‍යවාදයයි. එහි දේශපාලන ප්‍රතිපත්තිය යටත්විජිත ප්‍රතිපත්තියයි. ඒ නිසා අද ධනවාදයට එරෙහි සටන අධිරාජ්‍යවාදයට නැතිනම් යටත්විජිත ප්‍රතිපත්තියට එරෙහි සටනකි. මෙය විශේෂයෙන් ‘ගැති රාජ්‍යයන්ට’ අනිවාරණීය කොන්දේසියයි. ධනවාදයට එරෙහි සටනින් පසු පැවැත්මට එන සමාජ ක්‍රමය සමාජවාදය වන බැවින්, විශේෂයෙන් ‘ගැති රාජ්‍යයන්වල’ සමාජවාදය සඳහා වන පංති ව්‍යාපාරයන්ගේ උපායමාර්ගය අධිරාජ්‍ය විරෝධය හා ජාතික විමුක්ති අරගල සමග බැඳී පැවතීම අනිවාරණීය කොන්දේසියයි. යථාර්ථය එයය.

විමර්ශන