කාදම් 24 ක් උතුරට

rsz_11subwolf-jumbo
පංති සමාජය, රජය සහ ආගම පැන නැගීම
February 6, 2019
ජූනි - ජූලි.
විමර්ශන – 2014 ජූනි – ජූලි
February 7, 2019
Show all

කාදම් 24 ක් උතුරට

rsz_18swati-north-24-kaatham3

පෙම්වතා හා පෙම්වතිය බදා සිප වැළඳ නොගන්නා අවසන් ජවණිකාවක් රහිත, ආකර්ශනීය ප්‍රේම කතාවක් සිනමා කෘතියකදී හමුවන්නේ නම්, මගේ වාග් කෝෂයට අනුව එය විශ්මයකි. එය ඉන්දියානු සිනමා කෘතියක දී හමුවන්නේ නම්, මගේ වාග් කෝෂයට අනුව එය අතිශය විශ්මයකි.

 

මන්ද, ඉල්ලුම-සැපැයුම හා සම්බන්ධ සරල ආර්ථික විද්‍යා න්‍යයායේදී ‍ඉහළම මිලක් නියම වෙනු ඇත්තේ බෙහෙවින් හිඟ භාණ්ඩවලටය. ඉන්දියානු සමාජය තුළ ‘ආදරය’ බෙහෙවින් හිඟ භාණ්ඩයකි. එබැවින් ඉන්දියානු සිනමා කර්මාන්තකරුවන්ට, ඉතිරි වෙන වඩේ නැවත නැවතත් තෙලෙන් බැද අලෙවි කරන නල්ලතන්නියේ වඩේ කඩ හිමියන්ට මෙන්, බාල ආදර කතා වට්ටෝරු නැවත නැවතත් තෙම්පාරදු කර අලෙවි කිරීමේ මාහැඟි අවස්ථාවක් සැලසී ඇත. එවන් ඉන්දියාවේ, අතිශය ආකර්ශනීය ආදර කතාවක් සිප වැළඳ ගැනීමේ එකම ජවනිකාවක් හෝ, ගීතයකට අනුව තත්පර 10 න් 10ට ඇඳුම් මාරු කරමින්, ලෝකයේ සුප්‍රසිද්ධ දර්ශන පසුතල හත අටක රූප ගත කළ ගීතමය- නර්තන ජවණිකාවක් රහිතව නිර්මාණය කිරීම බොහෝ දෙනෙකුට විශ්මයක් වෙනු නොඅනුමානය.

 

එහෙත් මට අනුව එය විශ්මයක් නොවේ. මන්ද මෙම කෘතිය නිර්මාණය කෙරෙන්නේ කේරළයේ මළයාලම් සිනමාවේ ය. කේරළය, ඉන්දියාවේ සෙසු ජන කොට්ඨාසයෙන් වෙනස් ජනතාවක් වෙසන ප්‍රදේශයකි. එය අභියෝග ජය ගැනීමට සාමූහික අරගලයක යෙදෙන ජනතාවක් වෙසෙන පලාතක් ලෙස හදුන්වා දීමට කැමැත්තෙමි. හැරී ක්‍රිෂ්ණරාජ් හා නාරායනීගේ ප්‍රේම කතාව අපට හමුවන්නේ, එවැනි වූ කේරළ ජනසමාජය පසුබිම් කරගෙන අනිල් රාධක්‍රිෂ්නා මෙනන් විසින් නිර්මාණය කළ North 24 Kaatham සිනමා කෘතියේ දීය.

කාදම් යනු අතීතයේ කෙරළයේ මිනිසුන් විසින් දුර මැනීම සඳහා භාවිත කළ ඒකකයකි. මෙය සිංහල ‘ගව්ව’ හා ‘යොදුනට’ සමාන බව පෙනී යයි. ගව්වක් යනු සැතැපුම් 4 ක් බවට මා කුඩා කල අසා ඇත. යොදුනක් යනු එහි සිව් ගුණයකි. එනම් සැතැපුම් 16 කි. හැරීට අනුව කාදම් එකක් යනු සැතැපුම් 16 කි. කාදම් 24 ක් යනු සැතැපුම් 384 කි. ඒ අනුව මෙය කඩවසම් හැරී හා සුන්දර, ප්‍රඥාවන්ත නාරායනී, පරිනත ගෝපාලත්තන් සමග සැතැපුම් 384 ක දුරක් එක්ව ගමන් කිරීමේ කතාන්තරයකි.

හැරී ක්‍රිෂ්ණරාජ් (Fahadh Faasil) අසාමාන්‍ය දක්ෂතාවලින් හෙබි මෘදුකාංග ඉංජිනේරුවකි. ඔහු සේවය කරන ඇමරිකානු-ඉන්දියානු සමාගමේ වටිනාම මානව සම්පත හැරීය. එහෙත්, ආයතන ප්‍රධානී සෑම් හැර සෙසු සියල්ලෝම හැරීට වෛර කරති. හේතුව හැරී ඔවුනට අනුව ‘සංස්කෘතික’ මිනිසෙක් නොවීමයි. සංස්කෘතික මිනිසුන් නඩත්තු කරන ප්‍රෝඩාකාරී චර්යාවන් කිසිවත් හැරීට අදාල නැත. ව්‍යාජමය ලෙස හිනා වීම, සුභපතා ගැනීම, විවිධ අරමුණු වෙනුවෙන් එකිනෙකා ඇසුරු කර ගැනීම වැනි කරුණ හැරීට ගෝචර නැත. ඒ නිසාම, ඔහු සිය ඇසුර පතා එන ස්ත්‍රීන් නිරන්තරයෙන්ම හඬවයි. මන්ද, ගැහැණු ළමුන් හුරතල් කිරීමේ කලාව හැරී නොදන්නා බැවිනි. ඒ වෙනුවට හැරී සිය සිතුම් පැතුම් තුළ අව්‍යාජව ජීවත් වේ.

හැරීගේ මෙම හැසිරීමට හේතුව ඔහු ග්‍රස්ථි අනිවාර්යතා අක්‍රමතාව (obsessive compulsive disorder / OCD) රෝගයෙන් පෙළීමයි. මෙය ලෝකයේ ඉතා සුලභ, පෞරුෂත්වය හා බැඳුනු මානසික රෝගයකි. නිදන්ගත රෝග තත්ත්වයක් වන මෙම රෝගය සහිත පුද්ගලයාට යම් කිසි ක්‍රියාවක් හෝ සිතුවිල්ලක් යළි යළිත් විඳීම සඳහා පාලනය කළ නොහැකි පෙලඹවීමක් පවතී. සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට යළි යළිත් සිතට බලපෑම් කරන අදහසක් හෝ යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ම කළ යුතුය. මෙහිදී අදහස් මතුවීම හෝ ක්‍රියාත්මක වීම යන ලක්ෂණ ද්විත්වයම ඇති විය හැකිය.

හැරී නිර්මාණය කෙරෙන මෘදුකාංගයක් වෛද්‍ය සභාව විසින් පිළිගැනීම හේතුවෙන් ඔහුට ඒ පිළිබඳව ඉදිරිපත් කිරීමකට තිවේන්දෘම් වෙත යෑමට සිදුවේ. මෙම රෝගයේ ස්වභාවය නිසාම ඔහු ගුවන් සංචාරවලට හා දුර ගමන් යෑමට බෙහෙවින් බියවේ. කෙසේ වෙතත් සිය ආයතන ප්‍රධානියාගේ බලකිරීම හා තමා ආයතනයෙන් යෑම සතුටක් කර ගත් සගයන්ට පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය වීම හේතුවෙන් එම ‘රාජකාරි ගමන’ යෑමට එකඟ වන හැරී, දුම්රිය ගමනාරම්භ කරන රාත්‍රී 12.30 ට පැය කිහිපයකට පෙර දුම්රිය ස්ථානයට යයි.

ඒ දුම්රිය ගමන ඔහුගේ ජීවිතයේ එතෙක් පැවැති රිද්මය මුළුමනින්ම වෙනස් කිරීමට හේතුවේ. දුම්රිය කොල්ලම් (Kollam Junction) හංදිය පසුවෙද්දී දැඩි චකිතයෙන් අසුන මත වාඩි වී නොනිදා ගත කරන හැරීගේ ධ්‍යානයට, යාබද අසුනේ වැතිර සිටින පසලොස්වක හඳ සිය වතාවක් දැක ඇති මහළු මිනිසෙකුට හදිසියේ පැමිණෙන ජංගම දුරකතන ඇමතුමකින් බාධා සිදුවේ. ගෝපාලත්තන් (Nedumudi Venu) නම් ඔහු අමතන මොහිදීන් නම් පවුලේ හිතවතා මෙහිදී පවසන්නේ ඔහුගේ බිරිඳ හදිසියේම රෝගාතුර වී සිටින බවයි.

ගෝපාලත්තන් පසුව පවසන තොරතුරුවලට අනුව, අරගල භූමියක දී හමුවන, අතිශය අසමාන අදහස් දරන මේ යුවල විවාහ වුවද ඔවුනට දරුවන් නැත. එහෙත් ඔවුන් දැඩි බැඳීමකින් ජීවත් වෙති. ඒ බව, ඇය තනියෙම දමා ඔහු යන පළමු සංචාරය එය බව සැවසීමෙන් සනාථ වේ. ඔහු තිවේන්දෘම්වලට යන්නේ තමාගේ නොවන වෙනත් දරුවෙකුට අවශ්‍ය සහතිකපත් ලබා ගැනීමේ අරමුණෙනි.

මේ හදිසි ඇමතුමෙන් තීරණාත්මක කරුණු තුනක් සිදුවේ. පළමුවැන්න ගෝපාලත්තන් සිය තීවේන්දෘම් වෙත යන ගමන අතහැර සිය ගම වන කෝෂිකෝඩේ (Kozokode) වෙත පෙරළා යන්නට තීරණය කිරීමයි. දෙවැන්න, හදිසි කම්පනයෙන් ඔහු ඇද වැටීම හා ඉහළ අසුනක නිදා සිටින නාරායනී (Swathi Reddy) ඔහුගේ උපකාරයට ඉදිරිපත් වීමයි. තෙවැන්න, කිසිදු සංසිද්ධියක බලපෑමට යටත් නොවීම හේතුවෙන් එතෙක් හැරී තුළ නිදාගෙන සිටි ශිටාචාරවත් මිනිසා අවදිවීමට මෙම සිදුවීමත් හේතුවීමයි. මෙම කරුණු ත්‍රිත්වය කිසියම් තීරණාත්මක තලයකට ඔසවා තබන්නේ එදා දිනයේ විශේෂත්වයයි. එදින 19 වෙනිදාය. එය, ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව ක්‍රියාත්මක වූ හර්තාලයක් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ගමනාගමනය මුළුමනින්ම අඩපන වූ දිනයකි.

තමාට ආවේණික ලෝකයක ජීවත්වෙන හැරීට පළමුවරට බාහිර ලෝකයට ප්‍රතිචාර දැක්වීමට සිදුවේ. ඉන් ඔහු අන්දමන්දව බලා සිටී. නාරායනී ගෝපාලත්තන් එසවීමට උපකාර කරන්නැයි කොතෙක් ඇවිටිලි කළ ද හැරී ඊට ප්‍රතිචාර දැක්වීමට අසමත් වෙයි. ඔහු බියපත්ව අසුන තුළ වකුටු වී සිටියි. නාරායනී තුළ එවිට හැරී පිළිබඳව උපදින්නේ අපුලක් බව ඇගේ ඉරියව්වලින් පැහැදිළිය. අනතුරුව මුළු සංචාරය තුළම ඇය ඔහුට ප්‍රතිචාර දක්වන්නේ මේ හැඟීමෙනි. නාරායනී, දුම්රිය නියාමකගේ ද උදව්වෙන් ගෝපාලත්තන් දුම්රියෙන් එළියට ගනී. කෙසේ වෙතත්, හදිසියේම දුම්රියෙන් බැසීම හේතුවෙන් ගෝපාලත්තන්ගේ ජංගම දුරකථනය බිම වැටේ.

හැරීගේ හැරවුම් ලක්ෂය වන්නේ ගෝපාලත්තන්ගේ දුරකථනයට පැමිණෙන ඇමතුමකට පිළිතුරු දීමට ඔහු තීරණය කිරීමයි. බිම වැටුන දුරකථනය අතට ගන්නා හැරී ඇමතුම ලබාගන, කිසිවක් නොකියා ඊට සවන් දෙයි. ලැබෙන පපණිවුඩය හැරී බෙහෙවින් කම්පනයට පත් කරන්නකි. ඔහුට ඒ දුරකථනය නැවතත් ගෝපාලත්තන්ට දෙනවා වෙනුවට ඔහු සමග, ඔහුගේ නිවස තෙක් ගමන් කළ යුතු බවට තීරණය කිරීමට තරම් ඒ පණිවුඩය ශක්තිමත්ය.

අනතුරුව සිනමා කෘතිය මගින් නිරූපණය වන්නේ හැරී, ගෝපාලත්තන් හා නාරායනී එතැන් සිට කාදම් 24 ක් උතුරෙන් සිහිටි කෝෂිකෝඩේ වෙත යන ගමනේ අතරමඟ සිදුවන සිදුවීම් දාමයයි. එමගින්, හැරීගේ ස්වභාවය පිළිකුල් කරන හා ප්‍රතික්ෂේප කරන සංස්කෘතික ලෝකයේ මිනිසුන්ගේ ස්වභාවය අපට මුණ ගැසෙයි.

ඒ සංස්කෘතික මිනිසා හර්තාල් මගින් තමා මෙන්ම අසරණ ජීවිතයක් ගත කරන මිනිසුන් පීඩනයට පත් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ හා පොදු ප්‍රවාහන සේවාවල සේවකයන්ට සිය සේවාලාභියා සම්බන්ධයෙන් වගවීමක් (Accountability) නැත. පෞද්ගලිකව ප්‍රවාහන සේවා සම්පාදනයේ යෙදෙන කිසිවෙක් මෙවැනි තීරණාත්මක අවස්ථාවක, අවදානමක් ගෙන මහජන සුභසිද්ධිය උදෙසා වැඩ කිරීමට පෙළඹුමක් නැත. ඒ මට්ටමේ ඉතා පහළම සිටින ති-රෝද රථ රියදුරන් ගාස්තුව මෙන් සිව් ගුණයක මිලක් අයකර පාරිභෝගිකයෝ ගසා කති. සේවාවද උපරිමයට සපයනවා වෙනුවට ‘තමාට අවශ්‍ය ප්‍රමාණයට හා ආකාරයට’ සපයති. සිය ඉල්ලීම් දිනා ගැනීමට හර්තාල් කිරීම තුළින් වක්‍රව පීඩාවට පත්වන්නේ තමා ඔවුන්ගේ විමුක්තිය උදෙසා පෙනී සිටිනවා යැයි කියන ‘පිරිසම’ බව ව්‍යංගයෙන් හැඟවීම ඉතා කලාත්මකව සිදු කර ඇත.

කුඩා අවන්හල් හිමියෝ කිසිවෙක් ගුණාත්මකව ආහාර සපයන්නේ නැත. මුදල් අය කරන පොදු වැසිකිලි පිරිසිදුව පවත්වාගෙන යාමට, එසේ මුදල් අය කරන පිරිසට හැකියාවක් හෝ වුවමනාවක් නැත. “ආර්ථික කාර්යයන් සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ” යාන්ත්‍රණයක් වශයෙන් පොදු සේවාවන් වන පොදු වැසිකිලි, මහජන පොල වැනි දේ බදු දී, සිය වගකීමෙන් ගැලවීමට මාන බලන පලාත් පාලන ආයතන, අප රටට වඩා ඉන්දියාවේ දී “වඩාත් තක්කඩි” ලෙස හැසිරෙනු ඇතැයි මේ සංසිද්ධීන් තුළින් මම අනුමාන කරමි.

ඊට සමාන්තරව වත්මන් සමාජය තුළ ස්ත්‍රිය, ස්ත්‍රියක් වීම හේතුවෙන්ම විශේෂ පීඩාවකට ලක්වන බව සිනමාකරු අවධාරණය කරයි. ගමන් කරන පිරිස අධික කුසගින්න නිසාම අහර පිණිස යමක් වෙනුවෙන් රා තැබෑරුමකට යති. නාරායනී වැනි රූමත් තරුණියක් රා තැබෑරුමේ සිටීම සියළු “පිරිමින්ට” මැජික් එකකි. එමෙන්ම, තැබෑරුමකට යන ස්ත්‍රිය නිසැකවම “බඩුවක්” බවට ඔවුහු නිගමනය කරති. එවැනි තත්වයක් තුළ, කරදරයක දී උදව් කරන මුවාවෙන් ඇගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සමාජයේ බොහෝ පිරිමි උත්සාහ කරති. හුදකලා වනාන්තරයකදී නාරායනී මුහුණ දෙන අවාසනාවන්ත සංසිද්ධිය දකුණු ආසියාවේ රටවල්වල සංස්කෘතික පසුගාමීත්වය පෙන්වන දර්ශකයකි.

වඩාත් විචක්ෂණශීලී විය යුතු පොලිසියේ මුග්ධ හා සල්ලාල හැසිරීම, මතුපිටින් ශිෂ්ඨත්වය පෙන්වන දේශපාලඥයාගේ අභ්‍යන්තර අශිෂ්ටත්වය හා කුහක කම වැනි පුළුල් පරාසයක සමාජ විවරණයක් මේ සරල සංචාරයෙන් නිරූපණය කිරීමට සිනමාකරු දක්වන හැකියාව ඇගයීමට ලක්විය යුතුය..

Image result for North 24 Kaatham

ඊට සාපේක්ෂව හැරීගේ ප්‍රතිචාර ආදරණීයය. එහෙත් ඔහු සිය හැඟීම් පල කරනුයේ ඉතාමත් රළු ආකාරයෙනි. “ඕනවට වඩා ස්මාර්ට් කියලා හිතාගෙන වැඩ කරන්න එපා” යැයි ඔහු වරක් ඇයට තර්ජනය කරයි. ඇයට දුරින් හිදිමින්, නිරංතරයෙන්ම අය ගැන අවධානයෙන් පසු වෙයි. ඇය ඔහුට ඉදිරියෙන් යන්නට සලස්වා ගෝපාලත්තන් සමග ගසකට මුවා වී හැරී කම්පනයට පත් කරයි. යාත්‍රාවකට ගොඩවීමට උත්සාහ කරද්දී, සිය ප්‍රාණ සම ගමන් බෑගය ගැනීමට දිගු කරන හැරීගේ අත බලෙන්ම අල්ලාගෙන යාත්‍රාවට ගොඩවෙන නාරායනී මෙසේ කියන්නීය;

බම්බුවේ බෑග් එක! හැම වෙලාවෙම…..

මෙම සංචාරයේ දී මිනිසෙකුට තවත් මිනිසෙකු සමග ‘කොන්දේසි රහිතව’ බැඳීමක් ඇති කර ගත හැකි බව හැරීට ප්‍රත්‍යක්ෂ වේ. ගෝපාලත්තන් කෙරෙහි නාරායනීගේ හා තමාගේ හැඟීම මතු නොව, සිදුවන සංසිද්ධීන් තුළ නාරායනී හා හැරී ඔවුනොවුන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම තුළින් හැරීගේ සිතුම් පැතුම් රටාවට බලපෑමක් සිදුවේ. ස්ත්‍රියකට ප්‍රේම කිරීම යන්න ආසියාතික පසුගාමී සමාජය වඩාත් දූෂණයට ලක් කළ සංකල්පයකි. එය සරල හිනාව, හඳුනා ගැනීමේ කතාව, චාටු බස්, බොරු පොරොන්දු, නෛතික හෝ නෛතික නොවන එළඹුම ඔස්සේ ක්‍රමිකව පරිණාමය වී යහන්ගත වීමෙන් කූඨප්‍රාප්තව සදහටම අතුරුදන් වන සංක්ලපයක් බවට මේ සමාජ ක්‍රමය විසින් ඌණනය කර ඇත. එහෙත්, සැබෑ මානව බැඳීම් තුළ යහන්ගත වීම නො එසේ නම් ලිංගික ආලය යනු, පුළුල් බැඳීමක එක් කුඩා අංගයක් පමණි. සැබෑ මානව බැඳීම් තුළ එය අත්‍යවශ්‍යතාවක් ද නොවේ. හැරී හා නාරායනී ඔවුනොවුන් වැළඳ ගැනීමට නො සැලැස්වීමෙන් මෙම සත්‍යය තහවුරු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගනී.

‍ගෝපාලත්තන්ගේ නිවසට ළඟාවීමෙන් අනතුරුව හැරී වසන් කළ හා ඔහු නිවසට ළඟාවෙන තෙක් හෙළි නොවිය යුතු බවට හැරී තීරණය කරන රහස හෙළිදරව් වේ. ගෝපාලත්තන්ට දෙවනුව පැමිණෙන දුරකථන පණිවුඩයෙන් කියවෙන්නේ ඔහුගේ බිරිඳ මිය ගිය බවයි. එහෙත්, නැවත සැතැපුම් 384 ක් දුරින් පිහිටි සිය නිවස කරා කඩිමුඩියේ පැමිණීමේ අපහසුතාවකට මුහුණ දී සිටින මේ වයස අවුරුදු 84ක් වූ මිනිසාගේ ධෛර්යය, ඒ පණිඩුඩයෙන් සිඳ බිඳ දැමීමට හැරීට අවශ්‍ය නොවීය. මෙය සංස්කෘතික මිනිසෙක් නොවූ හැරී ශිෂ්ට මිනිසෙකු බව පෙන්වන අවස්ථාවයි. ඔහුගේ ස්වභාවය වටහා ගන්නා නාරායනී, ඔහුගේ මුග්ධ හා අසහනකාරී ලෙස පෙනී යන හැසිරීමෙන් වැසී තිබෙන මානව භක්තිය වටහා ගනී. මතුපිට සරුව පිත්තල පැහැයක් නොමැති, එහෙත් ආදරණීයත්වයෙන් පිරි ඔහුගේ බැඳීම වටහා ගනී. එවන් අවස්ථාවක අනෙකාට ප්‍රේම කිරීමට ඔහු /ඇය අසමත් වන්නේ නම් අප නිවැරදිව අනුමාන කළ යුත්තේ ඔහුට /ඇයට අවශ්‍ය බැඳීමක් නොව ගණුදෙනුවක් බවයි. මානව බැඳීම යනු සරල පෞරුෂත්ව දුර්වලතාවකින් වසා දමනු නොහැකි හා එසේ නොකළ යුතු උත්රීත්වයකි.

මේ සිනමා කෘතියේ වඩාත් මා සිත්ගත් ජවණිකාව නිවසට පැමිණෙන ගෝපාලත්තන් සිය බිරිඳට අවසන් බුහුමන් දක්වන ජවණිකාවයි. ඔහු සැබෑවටම විප්ලවීය දේශපාලන සංවිධායනයක නායකයෙකු බව අපට පෙන්වන්නේ ඒ ජවණිකාවේදීය. සුරැකිව තබා ඇති පක්ෂයේ කොඩියෙන් බිරිඳගේ නිසල දේහය වසා දමන ගෝපාලත්තන් අනතුරුව ඇය කෙරෙහි වූ බැඳීමෙන් ඉකිබිඳ හඬා වැලපෙයි. අරගලකරු යනු අසීමිත මානව බැඳීමේ නිවැරදි හිමිකරුවා විය යුතුය. මහ මඟ දකින සියළු මජරකම්වලට වඩාත් තැම්පත් මනසින් ප්‍රතිචාර දක්වන්නේ ගෝපාලත්තන්ය. සමාජයක් රෝගී නම්, සිදුවන සංසිද්ධීන් පුද්ගල දුර්වලතා බවට ඌණනය කිරීම මුග්ධකමකි. විප්ලවාදියා උත්සාහ ගන්නේ සමාජ දේහය සුවපත් කිරීමට මිස පුද්ගලයාට දඬුවම් කිරීමට නොවේ. විප්ලවාදීන් සම්බන්ධයෙන් මෙම කරුණ සැබෑවක් බව අතිශය සමීප මිනිසුන් හැර අන් අයට වැටහෙන්නේ නැත.

මේ අහඹු සිදුවීම් නොවන්නට හැරී වැනි අනාගය තුළ ජීවත් වෙන තරුණයන්, එවන් මිනිසුන්ගේ වටිනාකම් හඳුනා ගන්නේ නැත.

අනෙක් අතට සමාජය කොතෙක් අතාර්කිද යන්න සිනමාකරුගේ ප්‍රශ්න කිරීමට ලක්වේ. එය හැරීගේ මුල් හැසිරීම ක්‍රමයට නොගැලපෙන බැවින් ඒ හමුවේ අතිශය කම්පනයට පත්වේ. අනතුරුව ඔහු ඊට ප්‍රතිපක්ෂව සංස්කෘතිකව හැසිරීම හැරීමෙන් මේ මිනිස්සු වඩාත් කම්පනයට පත්වෙති. අඛණ්ඩව අයහපත් දේ පමණක් භුක්ති විඳි සමාජය, කලාතුරකින් යහපත් දෙයක් ලද විට වඩාත් කමපනයට පත්ව, වේගයෙන් ඉන් ඉවත්ව පලා යෑම හෝ එකී යහපත සදහටම විනාශ කර දැමීමට කැමැති වෙති. දකුණු ආසියාවේ බොහෝ රටවල්වල ජීවත් වෙන පිරිස් මුහුණ පා සිටින වඩාත් අවාසනාවන්ත ඉරණම මෙයයි. මෙම කෘතිය මා තුළ කම්පනයක් ඇති කළේ අප රටද මීට සමාන බව මට පෞද්ගලිකව හැගී යාම හේතුවෙනි.

ඉහත විස්තර කළ කරුණුවලට අමතරව මෙම කෘතිය හේතු කීපයක් නිසා විශිෂ්ට බව කිව යුතුය. පළමුව, ඉතා සියුම් සංසිද්ධියක් පුළුල් සමාජ විවරණයක් දක්වා විස්තීරණය කිරීමේ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයි. රූප රචනයේ දී එකී සංසිද්ධීන්ට මුහුණ දෙන මිනිසුන්ගේ හෘද ස්පන්දය අප තුළ ජනිත වන තරමේ දක්ෂතාවක් විදහා පා ඇත. සිනමා සංස්කරණය අති විශිෂ්ටය. එහි අනවශ්‍ය එකදු ජවනිකාවක් නැති තරම්ය. කෘතියේ රිද්මය හා ආත්මීයව බද්ධ වන සංගීතය රූපයේ භාෂාව තවත් තීව්‍රර කරවයි.

මේ සියල්ල අබිබවා නැගී සිටින්නේ හැරී ලෙස රඟන Fahadh Faasilගේ විසල් රංගන පෞරුෂයයි. OCD තත්වයකින් පෙළෙන තරුණයෙකුගේ විලාසයට උපරිම සාධාරණයක් කිරීමට ඔහු සමත් වේ. ෆාසිල්ට මනා සහායක ලබා දෙන ගෝපාලත්තන් ගේ චරිතය නිරූපණය කරන Nedumudi Venu හා නාරායනී ගේ චරිතය නිරූපණය කරන Swathi Redd මනා රංගනයක් ඉදිරිපත් කරති. එපමණක් නොව, ඉතා කුඩා ජවණිකාවක නිරූපණයක යෙදෙන නළු නිලියන් පවා සිය අරමුණ කරා මැනවින් හසුරුවා ගැනීමට අධ්‍යෂවරයා සමත් වේ.

‍මෙය අනිල් රාධක්‍රිෂ්නන් මෙනන්ගේ පළමු නිර්මාණයයි. ඒ නිර්මාණය තුළින් අතිශය සංකීර්ණ මානසික වියවුලක් සමාජ සංසිද්ධීන් හා ගැටීමට සලස්වා පොදු වටිනාකම් සමුදායක් උලුප්පා දැක්වීමට සිනමාකරු සමත් වේ. අනිල්, හැරීගේ හැසිරීම හුදු පෞද්ගලික සම්බන්ධතා තුළට ඌණනය කරන්නේ නැත. ඒ වෙනුවට, එවන් මිනිසුන් සමාජයේ කොටසක් ලෙස නොපිළිගන්නා අප ‘මන්ද බුද්ධිකයන්’ බවට අනතුරු හඟවයි. මා මෑත කාලයේ නැරඹූ සියළු කේරළ සිනමා නිර්මාණ කිසියම් සංවිධානාත්මක තේමාවකට අනුව නිර්මාණය කිරීමට එහි සිනමාකරුවන් පෙළඹී ඇත. එනම් දිනා ගත යුතු සියල්ල වෙනුවෙන් සටන් කළ යුතුය යන්නයි. ශිෂ්ටත්වය යනු එසේ දිනා ගත යුතු මූලිකම අවශ්යතතාවකි. මට හැඟී යන්නේ අප රටද ශිෂ්ඨත්වය වෙනුවෙන් කරන සටනට ප්‍රමුඛත්වය දිය යුතුය.

 

කපිල ජනක බණ්ඩාර