ඉතිහාසයේ පළමු සමාජ පරිවර්තනය

January
නියමුවා – 2019 ජනවාරි
February 5, 2019
Feb Front
නියමුවා – 2019 පෙබරවාරි
February 6, 2019
Show all

ඉතිහාසයේ පළමු සමාජ පරිවර්තනය

FolsomBow

මානව වර්ගයාගේ ඓතිහාසික ගමන් මගේ ප්‍රථම සමාජ සංවිධානය වූ ප්‍රාථමික සාමූහික සමාජය බිඳ දමමන් ඊළඟට පැන නගින සමාජ ක්‍රමය පෞද්ගලික දේපළ මත පදනම් වූ පංති සහිත සමාජ ක්‍රමයක් විය. යුරෝපයේ හා සමහර ආසියාතික රටවල මෙය වහල් හිමි සමාජය ලෙස මතු වූ අතර ආසියාවේ (ලංකාව ඇතුළු) සමහර රටවලදී එය ආසියාතික නිෂ්පාදන රටාව ලෙස හඳුනා ගන්නා ලදී.

මානව සමාජයේ ගමන්මෙඟ් සිදුවු බරපතළම හා තීරණාත්මක ප්‍රථම පරිවර්තනය වූයේ මෙයය. මේ සමග එතෙක් පැවති සරල සාමූහික සමාජය වෙනුවට විවිධ ප්‍රතිවිරෝධතා ඇති සංකීර්ණ සමාජයක් නිර්මාණය විය. එම පරිවර්තනයත් සමග සමාජය තුළ සිදු වූ වෙනස්කම් අතර ප්‍රධාන වෙනස්කම් වූයේ පෞද්ගලික දේපළ බිහිවීම, ඒ මත පදනම්ව පංති බිහිවීම (ප්‍රථම ප්‍රධාන පංති දෙක වූයේ වහල් හිමියා හා වහලාය) පංති අතර ප්‍රතිවිරෝධය හා ඒ අනුව රජය නම් බලහත්කාරී ආයතනය බිහිවීම, දේශපාලනය නීතිය වැනි සංකල්ප ඇතිවීම, පවුල නම් ඒකකය බිහිවීම ආදිය වේ. පොදුවේ ගත් කල පොහොසතුන් හා දුප්පතුන් ලෙසද පීඩකයන් හා පීඩිතයන් ලෙසද බලය හොබවන්නන් හා ඊට යටත්වන්නන් ලෙසද සමාජය ප්‍රතිවිරෝධී ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදනු ලැබුවේත්, සුරාකෑම – ලාභ ලැබීම, යන සංකල්ප උපත ලැබුවේත් යුද ගැටුම්, කෝලාහල හා ලෝක යුද්ධ සඳහා මඟ සකස් කරනු ලැබුවේත් මෙම සමාජ පරිවර්තනය තුළ සිදුවූ වෙනස්කම් නිසාය.

පංති බිහිවූ හැටි

පැවති සරල සාමූහික සමාජය බිඳ වැටී පංති සමාජයේ පැන නැගීම පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. එය කිසිවකුගේ ද්‍රෝහීකමක හෝ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක්ද නොවේ. නරක මිනිසුන්ගේ නරක සිතුවිලි නිසා ඇතිවූවක් ද නොවේ. මෙය ඉතා පැහැදිලිවම නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනය විසින් නිෂ්පාදනයේ සිදු කරනු ලැබූ වෙනස්කම් මගින් නිර්මාණය වූවකි. අප මෙය නිතර අවධාරණය කරන්නේ, ඉතිහාසයේ ගමන් මඟ තුළ නිෂ්පාදන උපකරණ හා නිෂ්පාදන ක්‍රම විසින් කරනු ලබන බලපෑම විශාල බවත් මිනිසාගේ හා සමාජයේ හැසිරීම් පවා ඒ මගින් තීරණය කරනු ලබන බවත් වටහාගත යුතු නිසාය.

ප්‍රාථමික සමාජයේ සූරා කෑම නොවූයෙත් පංති නොපැවතුණේත් මිනිසුන් සවිඥානිකව එවැන්නක් ප්‍රතික්ෂේප කළ නිසා නොව එකී සමාජයේ පැවති නිෂ්පාදන තත්වය එවැන්නකට ඉඩ සලසා නොතිබූ නිසාය. ප්‍රාථමික මානව සමාජය සූරාකෑම, පංති, රජය වැනි සංකල්ප දැන තිබුණේද නැත. ඒ එවැනි දේ දැන ගැනීමේ මඟක් හෝ අත්දැකීමක් ඉන් පෙර නොවූ නිසාය. ප්‍රාථමික සමාජයේ බිඳවැටීම සනිටුහන් කළ ප්‍රධාන සාධකය වූයේ නිෂ්පාදනයේ සිදුවූ වෙනස්කම්ය. නිෂ්පාදන උපකරණවල සිදුවූ වර්ධනයන්ය.

පෞද්ගලික දේපළ ඇතිවීම

මානව සමාජයේ පංති බිහිවීමේදී එකී පංති බිහිවීමේ පදනම වූයේ පෞද්ගලික දේපළය. අද මෙන්ම එදාත් පංති අතර වෙනස්කම් තීරණය වූයේ දේපළ ඇති හා දේපළ නැති යන අර්ථයෙනි. අපගේ අවධානය මෙහිදී යොමුකළ යුත්තේ දේපළ පොදුවේ පාවිච්චි කළ සමාජයක් තුළින් පෞද්ගලික දේපළ සහිත සමාජයක් මතුවූයේ කෙසේද යන්න පිළිබඳවය.

ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ තිබූ විශේෂය වූයේ (එය මිනිසාගේ පළමු සමාජය නිසා) නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු වීමය. ආරම්භයේදී එය මුගුරක් හෝ සත්ව ඇට කටුවක් විය. එවිට නිෂ්පාදිතය ද ඉතාම කුඩාය. එය ජීවත්වීමට තරම්වත් ප්‍රමාණවත් නොවේ. පසුව මෙය හෙල්ල හා පොල්ල දක්වා වර්ධනය වුවද නිෂ්පාදිතයේ විශාල වෙනසක් වූයේ නැත. මේ නිසාම නිෂ්පාදනය, එනම් සතෙකු මරා ගැනීම, මසුන් අල්ලා ගැනීම, අලයක් හාරා ගැනීම තනිව කළ නොහැකි විය. ඊට සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය විය. ඒ නිසාම ගෝත‍්‍රයේ හා ගණයේ සියලූ දෙනාගේ පැවැත්ම සියලූ දෙනාට අවශ්‍ය විය. හැම දෙනාම ජීවත්විය යුතු නිසා උපයාගත් නිෂ්පාදනය සියලූ දෙනා සාමූහිකව පරිහරණය කළෝය. කෙනෙකුගේ ශ‍්‍රමයේ ඵලය කොල්ලකෑමට තවෙකෙකු හට නොහැකි විය. ඒ, මුල් කාලීන නිෂ්පාදනය තුළ ‘අතිරික්තයක් නොවූ නිසාය. එබැවින් ප්‍රාථමික සමාජය සූරාකෑමෙන් තොර වූයේ අන් අයගේ ශ‍්‍රමයේ ඵලයේ සූරාකෑමට තරම් යමක් ශ‍්‍රමය විසින් නිෂ්පාදනය නොකළ නිසාය. නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු වූ නිසාය.

එහෙත් වසර දස දහස් ගණනක් ගතවෙද්දී මේ තත්වයන් ක්‍රමානුකූලව වෙනස් විය. නිෂ්පාදන උපකරණ දියුණු වන්නට විය. ඒ සමග නිෂ්පාදිතයන්ද වැඩි විය. මෙහිදී එංගල්ස් විසින් මෙම ප්‍රාථමික සමාජය ම්ලේච්ඡත්වය හා අශිෂ්ටත්වය ලෙස යුග දෙකකට බෙදනු ලබන අතර ඒ ඒ අවධියද පහළ, මැද, ඉහළ ලෙස උප අවධීන්ට බෙදා විස්තර කරයි. එහිදී එම අවධි බෙදීම සඳහා ඔවුන් පදනම ලෙස යොදා ගත්තේ නිෂ්පාදන ක්‍රමවල ඇතිවූ වර්ධනයයි.

දුන්න හා ඊතලය

ප්‍රාථමික සමාජයේ එක්තරා අවධියකදී මිනිසා විසින් දුන්න හා ඊය නිපදවා ගන්නා ලදී. මෙය වසර දහස් ගණනක අත්දැකීම් අනුව නිර්මාණය කරගත් සංකීර්ණ අවියක් විය. මේ සමග සතුන් මරා ගැනීම තරමක් පහසු වූ අතර එමගින් නිෂ්පාදනය ඉහළ ගියේය. ඒ අතර සතුන් දඩයම් කරමින් තැනින් තැනට යමින් සංචාරක ජීවිතයක් ගත කළ මිනිසුන් එක් තැනක ස්ථිර පදිංචිකරුවන්ගේ තත්වයට පත්විය. ඒ සතුන් ඇතිකිරීම ආරම්භ කිරීමත් සමගය. සතුන් ඇති කිරීම හා සත්ව පාලනය නිසා ගෝත‍්‍රයේ නිෂ්පාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ ගියේය. සත්ව පාලනය ආරම්භ කළ මිනිසා ඒ සමගම ධාන්‍ය වගාව ද ආරම්භ කර තිබේ. එංගල්ස් පවසන පරිදි එකල මිනිසා මුලින්ම ධාන්‍ය වගා කර ඇත්තේ සතුන්ට ආහාර පිණිසය. පසුව එය මිනිසාගේද ආහාර බවට පත්විය. මේ කාලයේ ලෝකඩ සොයා ගැනීමත් සමග ලෝකඩ පොරව, නගුල ආදියද බිහිවිය. ඒ අනුව ප්‍රාථමික සමාජයේ අවසාන කාලය වනවිට නිෂ්පාදන උපකරණ සංවර්ධනය වීමත් (දුන්න හා ඊය, පොරව, නගුල) නිෂ්පාදනය ඉහළ යාමක් සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ ගෝත‍්‍රයක් සතුව සත්ව රංචුවක් හා ගොවිපළක් නිර්මාණය වීමය. එහි මස්, ලොම්, හම්, කිරි ආදියද ධාන්‍ය, එළවළු, පලතුරු ආදියද විය. මේ සමග මිනිසාගේ ශ‍්‍රමයට ඔහුගේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවීමේ හැකියාව ඇතිවිය. එය ඇතිවූයේ නිෂ්පාදන උපකරණවල දියුණුව නිසාය. එවිට මිනිසාගේ ජීවත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වඩා ඔහුගේ ශ‍්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රමාණය හෙවත් අතිරික්ත නිෂ්පාදනය සමාජය තුළ බිහිවිය. මෙම අතිරික්තයන් පාවිච්චි කරමින් වැඩ නොකර සිටීමේ ඉඩක් මේ අනුව තවත් පිරිසකට ඇතිවිය. ප්‍රාථමික සමාජය තුළ තිබූ පොදු දේපළ පෞද්ගලික දේපළ බවට පත්වූයේ මේ සමගය. සූරාකෑමට හැකි තරම් නිපදවීමට ප්‍රමාණවත් දියුණුවක් නිෂ්පාදන උපකරණවල ඇතිවූ විට එම තත්වය තුළ සූරාකෑම ආරම්භ විය.

ගෘහමය වහල්භාවයේ සිට

ප්‍රාථමික සමාජයේ අවසාන කාලයේ දේපළ වර්ධනය වීමත් සූරාකෑමට හැකියාව ඇතිවීමත් සමග එම ගෝත‍්‍රික සමාජයේ (මේ වන විට ඒ තුළ වංශ නම් ව්‍යුහයක් නිර්මාණය වී තිබිණි) වංශ තුළ සිටි ප්‍රධානීන් විසින් වංශයේ දේපළ තමන්ගේ පෞද්ගලික දේපළ බවට පත්කර ගෙන වංශයේම සමහර අය වහලූන් බවට පත්කර ගනු ලැබ තිබිණි. ගෘහමය වහල් ක්‍රමය ලෙස මෙය හඳුන්වන අතර වහල් හිමි ක්‍රමය බිහිවූයේ ප්‍රථමයෙන් ගෘහමය වහලූන් මගින් බව පෙනේ. පසුව වහලූන් ලෙස මිනිසුන් අල්ලා ගැනීම සඳහා වෙනත් ගෝත‍්‍ර ආක්‍රමණය කරන ලද අතර ඒ සඳහා ගෝත‍්‍ර යටත් කර ගැනීමේ සටන් හා යුද්ධද නිර්මාණය විය.

අවසානයේ වහල් හිමි සමාජය හා වහල්හිමි රජය බිහිවිය. එහිදී මිනිසා ඒ සඳහා පොළඹවනු ලැබුවේ නිෂ්පාදනයේ ඇතිවූ වර්ධනය බව පැහැදිලිය. ප්‍රාථමික සමාජයේ අග භාගයේදී ඒ තුළ බිහිවූ දේපළ හා අතිරික්ත ධනය පාලනය කර ගැනීමට තරම් එකී සමාජයේ ගෝත‍්‍රික හා වංශමය සංවිධානය සවිමත් හෝ දියුණුවී තිබුණේ නැත. ඒ අනුව වංශ සංවිධානය බිඳවැටී වහල් හිමි සමාජයට පදනම වැටුණි. ඒ සමග පෞද්ගලික දේපළ මත පංති බෙදීමද, පංති අතර ගැටුම්වලදී දේපළ අහිමි පංතිය පාගාගෙන පාලනය කිරීම සඳහා දේපළ හිමි පංතියෙ උපකරණය ලෙස රජයද ඇතිවුණි. ඒ සමගම දේපළ මතම පදනම්ව පවුල නැමති ඒකකයද නිර්මාණය වුණි. මෙම සමාජ පරිවර්තනය සිදුවූයේ එසේය.

විමර්ශන