සැබෑ ඉතිහාසය සොයා…

sign-3422241_640
පංති පීඩනය හා ජාතිවාදය
January 24, 2019
The Bolsheviks
January 29, 2019
Show all

සැබෑ ඉතිහාසය සොයා…

rsz_tlclk_aukana-csp19410986

සුනිල් එදිරිසිංහයන් ගයන ජනපි‍්‍රය ගීතයක මුල් පද කිහිපය මෙසේ වේ.

මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා

මෙම ගීය රචනා කළ නව පරපුරේ ගීත රචකයෙක් වූ රජීව් වසන්ත වෙල්ගම මේ පද මාලාව මගින් ඉතිහාසය සොයා අතීතයට යයි. ඔහු අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ අවුකන බුදු පිළිමය නෙළූ, අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා යයි. මෙහි විශේෂ කරුණක් තිබේ. පාසලේදී අපට උගන්වන ඉතිහාසයට අනුව නම් මෙසේ සොයා යාමට අවශ්‍ය නැත. ඒ, ඉතිහාසයේ සියලූ විශාල නිර්මාණ කිසියම් හෝ රජ කෙනෙකුගේ නමට ලියා තිබෙන බැවිනි. එහෙත් මෙම ගීතයේ රචකයා එය නොසලකා අවුකන පිළිමයට දෑස් දුන් මිනිසා සොයා, එනම් සැබෑ ඉතිහාසය සොයා යයි. ඒ ඇයි? නිල ඉතිහාසය තුළ සැබෑ නිර්මාණකරුවා සඟවා ඇති නිසාය. බොහෝ රටවල නිල ඉතිහාසය යනු යම් පමණක ප්‍රබන්ධයක් වන නිසාය.

මිනිස්සු සිය ඉතිහාසය දැන ගැනීමට කැමැත්තක් දක්වති. ඒ, එමගින් තමන්ගේම අතීතය දෙස බැලිය හැකි නිසාය. මිනිසාගේ සමාජීය ගමන් මඟ යනු අතීතයේ සිට වර්තමානය ඔස්සේ අනාගතය කරා දිවෙන අඛණ්ඩ කි‍්‍රයාදාමයකි. එම කි‍්‍රයාදාමයේ අතීතයට එක් වූ දේ එනම් ඉතිහාසය දැන ගැනීමට මිනිසා තුළ ස්වභාවයෙන්ම ඇති වූ රුචිකත්වයක් තිබෙන අතර ඉතිහාසය යනු එක් අර්ථයකින් අනාගතයට මඟපෙන්වන අත්දැකීම් සම්භාරයක්ද වේ.

ඉතිහාසය ව්‍යාජ ගොඩනැගීමක් වූ කල

ඉතිහාසය තුළ සත්‍යය ගැබ්වී තිබිය යුතු වුවත් බොහෝ විට ධනවාදී අධ්‍යාපනය තුළ මේ සත්‍යය වෙනුවට ව්‍යාජයන් හා ව්‍යාජ ප්‍රතිරූපයන් ගොඩනගා තිබේ. ඒ, පංතිමය වුවමනාවන් සඳහාය. එවිට ඉතිහාසය අනාගතයට සේවය කරනවා වෙනුවට අනාගතය

ගොඩනැගීමට බාධාකාරී වේ. ඉතිහාසය ලියන අය බොහෝ විට කිසියම් පක්ෂපාතීකමක් සහිතව ලියන බව ප්‍රතික්ෂේප කළ නොහැක. එහිදී සමහර කරුණු විකෘති කිරීම්ද සමහර කරුණු නොසලකා හැරීමද, සමහර අතිශයෝක්තීන්ද සිදුවේ. එවිට ඉතිහාසය සත්‍ය කරුණු මත හා උපකල්පන මත ඉදිකරන ලද ව්‍යාජ දැනුමක් බවට පත්වේ.

ඉතිහාසය ගොඩනැගීමේදී අතීතයේ ඒ ඒ යුගවල විසූ අය ලියූ ඓතිහාසික ලිපි හා ලේඛන උපයෝගී කරගත්තාක් මෙන්ම, පුරාවිද්‍යාත්මක සාධක හා ජනශ්‍රැතිය තුළ වන විවිධ කතා උපයෝගී කර ගනී. ඉතිහාසය ගවේෂණය කිරීමේදී පැරණි ලේඛන (සෙල් ලිපි, මැටි පුවරු ආදී) වීර කාව්‍යයන් (මහා භාරතය, රාමායනය, ඔඩෙසි, ඉලියඞ් ආදී) හා ඓතිහාසික රචනා (මහාවංශය) උපයෝගී කරගැනීමට සිදුවේ. එසේම පුරාවිද්‍යාත්මක සාධක හා සාක්ෂිද වැදගත් වේ. මෙහිදී ඉතිහාසය  නිවැරදිව ලිවීමේදී පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසියම් ප්‍රමාණයක නිවැරදි තොරතුරු ලබා දුන්නත් ඓතිහාසික ලේඛන බොහෝ විට වැරදි හා පක්ෂග‍්‍රාහී ඒවා වේ.

නූතන ඇමෙරිකාව ගැන ලියන දේ

වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන එක්සත් ජනපදය අගයන කෙනෙක් එක්සත් ජනපදය ගැන ලියන විට ලියන්නේ කුමක්ද? ඔහුට අනුව එක්සත් ජනපදය ලොව තිබෙන ඉතාමත් ප්‍රජාතන්ත‍්‍රවාදී හා මානව හිමිකම් රකින රාජ්‍යයක් වේ. එය වර්තමානයේ දියුණුම පොහොසත්ම, බලවත්ම රට යයි ඔහු ලියනු ඇත. එහෙත් සත්‍යය කුමක්ද? එක්සත් ජනපදය ලොව ජනතාවගේ ප්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන, තම ආර්ථික, දේශපාලන හා යුදමය ආධිපත්‍ය අන් රටවල් මත මුදාහරින අධිරාජ්‍යවාදී රටකි. එබැවින් ඉහත ලියන පුද්ගලයාගේ විග්‍රහය පක්ෂපාතී එකකි. ඒ තුළ සත්‍යය නැත. මෙය එක්සත් ජනපදය ගැන නොව  ඕනෑම රටකට පොදුය. එම රට තුළ සිට එම රටේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය අනුමත කරන අය එම රට ගැන ලියනු ලබන්නේ එම රටට පක්ෂපාතීව මිස අපක්ෂපාතීව නොවේ.

මහාවංශය හා ඉතිහාසය

ලංකාවේ ඉතිහාසය ඉගෙන ගැනීමේදීද මෙම ගැටලූව මතුවේ. ලංකාවේ ඉතිහාසය ඉගෙනීමේදී තිබෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ වංශ කථාය. ඉන් පැරණිම ලේඛනය මහා වංශයයි. එහෙත් මහා වංශය ලියූ මහා විහාර භික්ෂූන් එය ලියා ඇත්තේ අපක්ෂපාතීව නොවන බව දැන් පොදු පිළිගැනීම වේ. ලංකාවේ ඉතිහාසය තුළ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට විශාල මෙහෙයක් කළ මහසෙන් රජු නොසලකා ඇති මහාවංශය  දුටුගැමුණු රජු වෙනුවෙන් මහා වංශයේ අඩකට කිට්ටු පරිච්ඡේද ප්‍රමාණයක් වෙන්කර තිබේ. ඊට හේතුව මහසෙන් රජු හා මහා විහාරය අතර තිබූ ගැටුමය. ඒ නිසා මහසෙන් රජු නොසලකා හැරීමත් දුටුගැමුණු රජු ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමත් මහාවංශය තුළ දැකිය හැක.

අප මෙම කරුණු ආරම්භයේදීම සඳහන් කළේ ඉතිහාසය ඉතාම වැදගත් හා වටිනා විෂයක් වුවද ඒ තුළ බොහෝ විට ව්‍යාජයන් හා විකෘති කිරීම් පවතින බව පෙන්වා දීමටය. එබැවින් මිනිසාගේ ඉතිහාසය එනම් මානව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී එය නිවැරදි විද්‍යාත්මක විධික්‍රමයක් අනුව අධ්‍යයනය කළ යුතුය. ‘ඉතිහාසය’ මිනිසුන්ට නිවැරදි මඟපෙන්වනවා වෙනුවට කුඩා දරුවන්ගේ සිට සිත් දූෂ්‍ය කරන්නේ නම් හා දැනුම මිත්‍යාවන්ගෙන් පුරවන්නේ නම් එය හොඳ දෙයක් නොවේ.

වැරදි විධික්‍රම

ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ධනවාදී ඉගැන්වීම් තුළ පවතින ප්‍රධාන වැරදි කිහිපයක් තිබේ. ඒවා කෙටියෙන් හඳුනා ගැනීම අපේ අධ්‍යයනය නිවැරදිව කර ගැනීමට පහසුවක් වේ. ධනපති ක්‍රමය තුළ ඉතිහාසය ඉගැන්වීමේදී ඇති ප්‍රධාන දුර්වලතා වන්නේ,

  1. ඉතිහාසය භෞතිකවාදී පදනමක් මත නොව විඥානවාදී පදනමක් මත ගොඩනැගීම
  2. ඉතිහාසය යනු අහම්භීය හා එකිනෙකට සම්බන්ධයක් නැති සිදුවීම් දාමයක එකතුවක් සේ ඉදිරිපත් කිරීම
  3. ඉතිහාසයේ සිදුවීම් යටින් තිබෙන එහි සැබෑ හේතු සැඟවීම හෝ නොසලකා හැරීම
  4. ඉතිහාසය තුළ වැඩකරන මිනිසුන්ගේ දායකත්වය ඉවත් කොට එය රජුන්ගේ, වීරයන්ගේ ක‍්‍රියාවක් ලෙස හුවා දැක්වීම යන ඒවාය.

මේ නිසා ධනවාදය තුළ ඉතිහාසයේ පදනම එක්කෝ මුළුමනින්ම විඥානවාදීය; නැතිනම් එකම දේ යළි යළිත් සිදු වන පාරභෞතිකවාදීය. බොහෝ විට මේ දෙකම එකටද තිබේ. එමගින් ඉතිහාසයේ ගමන් මගේ ද්‍රව්‍යමය පදනමත් ඉතිහාසයේ සංවර්ධනයේ සැබෑ හේතුත් ඉතිහාසයේ සංවර්ධනයේ දයලෙක්තික සබඳතාවත් මිනිසාගේ ක‍්‍රියාකාරීත්වයත් සවිඥානිකවම නොසලකා හැර ඇත.

ධනේශ්වර ක්‍රමය තුළ ඉතිහාසය උගන්වන මෙම අවිද්‍යාත්මක ක්‍රමය සුප්‍රසිද්ධ මාක්ස්වාදී නාට්‍යකරුවෙක් වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබේ. බ්‍රෙෂ්ට් ලියූ ‘කම්කරුවෙක් ඉතිහාසය කියවයි’ නම් කවියේ ඔහු මෙය ප්‍රශ්න කරයි. එම කවියේ පද කිහිපයයක් මෙසේය…

තරුණ ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජය ගත්තේය

එවිට ඔහු සිටියේ තනිවමද?

සීසර් ගෝල්වරුන් අභිබැවීය

කෝකියෙක්වත් නොසිටියේද ඔහු සමඟ

ආදී ලෙසය. එම කවියේ අවසන ඔහු මෙසේ කියයි.

හැම පිටුවකම ජයග්‍රහණයකි

ඒ ජයග‍්‍රාහකයන්ට ආහාර පිසුවේ කවුරුද?

හැම දශකයකටම වරක් මහා පුරුෂයෙකි

එහි වියදම දැරුවේ කවුද?

තොරතුරු රැසකි

ප්‍රශ්න රැසකි.

බ්‍රෙෂ්ඨ අනුව ඉතිහාසය යනු තොරතුරු රැසකි. ඒ නිසා මතුවන ප්‍රශ්න රැසකි. එබැවින් මානව ඉතිහාසය වඩා නිවැරදි ක්‍රමයකට අප අධ්‍යයනය කළ යුතුය. එහිදී අපට මාක්ස්වාදය මඟපෙන්වනු ඇත. මාක්ස්වාදී දෘෂ්ටියට අනුව මානව ඉතිහාසය හා එහි ප්‍රධාන යුග කෙටියෙන් සකච්ඡා කිරීම අදින් පටන්ගන්නා මෙම ලිපි මාලාවේ අරමුණය. ඒ සඳහා අප යළිත් මුණ ගැසෙමු.

සත්‍යය කුමක්දැයි සොයා ගැනීම යනු කැමති කුමක්දැයි සොයා ගැනීම නම් නොවේ.

ඇල්බෙයා කැමූ