සමාජවාදී රටක අයවැය

Prof. Desmond Mallikarachchi speaks at ‘Rosa Luxamberg’ Commemoration Day on 24.01.2019
January 30, 2019
January
නියමුවා – 2019 ජනවාරි
February 5, 2019
Show all

සමාජවාදී රටක අයවැය

0b7e490a-76cc-4d43-9e2a-540107c86922_rw_1920

මේ දිනවල අප රටේ ආර්ථික ක්ෂේක්‍රයෙහි ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳ කතා බහ වෙමින් තිබේ. එකක් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වේගයෙන් කඩා වැටෙමින් තිබීමයි. දෙවැන්න නුදුරේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයවැයයි.

රුපියලේ අගය කඩා වැටීම නවතා ගැනීමට නම් නැවත නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු යයි නිෂ්පාදන ආර්ථිකය බිඳ වැට්ටවීමට පුරෝගාමී වූ අයම දැන් ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. මේ අනුව රුපියලේ අගය අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඉහළ දමා ගැනීමට නම් රට තුළ නිෂ්පාදනය ඉහළ දැමිය යුතුය. එනම් රටෙහි ජාතික ආදායම ඉහළ දැමිය යුතුය. මේ නිසා අපි මෙවර රටක ජාතික ආදායම යනු කුමක්ද යන්නත්, ධනවාදී රටක අයවැය හා සමාජවාදී රටක අයවැය අතර ඇති වෙනස්කම් මොනවාද යන්නත් කෙටියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

රටක ජාතික ආදායම යනු කුමක් ද?

රටක ජාතික ආදායම යනු එම රටෙහි ඒකාබද්ධ හෙවත් සමස්ත සමාජ නිෂ්පාදනයෙහි කොටසකි. එනම් ද්‍රව්‍යමය නිෂ්පාදනයෙහි යෙදී සිටින ශ‍්‍රමිකයන් (ගොවීන් + කම්කරුවන් ආදී) එක් අවුරුද්දකදී ඔවුන්ගේ ජීවමාන ශ‍්‍රම වැය කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස උපයන දේ ජාතික ආදායම් ලෙස සැලකේ.

උදාහරණයක් ලෙස ගතහොත් සමස්ත සමාජ නිෂ්පාදනයේ වටිනාකම ඩොලර් බිලියන 200ක් නම් දැනටමත් එකී රටෙහි ඇති කර්මාන්ත ශාලා, යන්ක්‍ර සූක්‍ර, ගොඩනැගිලි, අමුද්‍රව්‍ය ආදියෙහි වටිනාකම ඩොලර් බිලියන 120ක් නම් එම වසරෙහි එකී රටෙහි ජාතික ආදායම ඩොලර් බිලියන 80ක් ලෙස සැලකේ.

රටක ජාතික ආදායම ආකාර කිහිපයකට පවතී. කොටසක් එකී වසරේදී නිපදවන ලද භාණ්ඩ ලෙස පවතින අතර ඉතිරි කොටස වටිනාකම් ලෙස පවතී.

භාණ්ඩ ලෙස පවතින කොටස ප්‍රධාන ආකාර දෙකක් ලෙස පවතී.  එනම් එකී වසර තුළ එම රට තුළ නිපදවන ලද පාරිභෝගික භාණ්ඩ ලෙස හා එම වසර තුළදීම එකී රට තුළ නිපදවන ලද යන්ක්‍ර සූක්‍ර හා අමුද්‍රව්‍ය (නිෂ්පාදන මාධ්‍යයන්) ලෙසයි.

වටිනාකම් ලෙස පවතින කොටස කම්කරුවන්, ගොවීන්, හා හස්ත කර්මාන්තකරුවන් උපයන ලද වැටුප හෝ ආදායම ලෙසත් නිෂ්පාදනයේදී දේපළ හිමිකරුවන් විසින් අත්පත් කරගත් ලාභය ලෙසත් පවතී. ධනවාදී රටක නම් වැටුප් උපයන්නේ කුඩා පරිමාණ නිෂ්පාදනයේ සේවා ක්ෂේක්‍රයේ රැකියා කරන තාක්ෂණ ශිල්පීන් හා නිෂ්පාදනීය ක්ෂේක්‍රයේ රැකියා කරන්නවුන්ය. මේ නිසා කිසියම් රටක ජාතික ආදායමේ ප්‍රමාණය එම රටෙහි රැකියාවෙහි යෙදී සිටින පුද්ගලයන් ගණනින් හා නිෂ්පාදනය සඳහා යොදාගන්නා තාක්ෂණික මෙවලම් කෙතරම් කාර්යක්ෂමද යන්නත් මත තීරණය වේ. කිසියම් රටක රැකියාවේදී යෙදී සිටින  පුද්ගලයන් ගණන අඩුනම් හා භාවිතා කරනු ලබන උපකරණ යන්ක්‍ර සූක්‍ර තාක්ෂණික වශයෙන් පැරණි නම් එවන් රටක ජාතික ආදායමද අඩුය.

මේ අනුව රටක ජාතික ආදායම මූලික වශයෙන් බෙදී ඇත්තේ ගොවීන්, කම්කරුවන් කුඩා පරිමාණ නිෂ්පාදකයන් හා දේපළ හිමියන් අතරය.

අයවැය යනු කුමක්ද?

ධනවාදී රටක අයවැය යනු ඉහත කී ජාතික ආදායම රටේ අනෙකුත් ජනතාව අතර හා විවිධ ක්ෂේක්‍ර වෙත යළි බෙදා හැරෙන ආකාරයයි. ඒ සඳහා රජය ආදායම් ලැබිය යුතුය. ධනවාදී රටක රාජ්‍ය අයවැයේදී ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජනතාවගෙන් අයකර ගනු ලබන බදුය. මෙය ඍජු හෝ වක්‍ර බදු ලෙස ලබාගනී. බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය වැනි රටවල රාජ්‍ය අයවැයෙහි ආදායමෙන් 90%ක් පමණ ලැබෙන්නේ ජනතාවගෙන් ලබා ගන්නා බදු ආදායම ලෙසය.

සාමාන්‍යයෙන් ධනවාදී රටක අයවැයක් මගින් යළි බෙදා හරිනු ලබන්නේ ජාතික ආදායමෙන් 40%ක් – 45%ත් අතර ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් ධනවාදී රටක අයවැයෙන් වැඩිම කොටස වෙන්කරනු ලබන්නේ ආරක්ෂක නැත්නම් යුදමය කටයුතු සඳහාය. අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි සේවාවන් සඳහා යොදවන්නේ අවම මුදලකි.

සමාජවාදී රටකදී ජාතික ආදායම යනු ධනවාදය තුළදී මෙන්ම සමස්ත සමාජ නිෂ්පාදනයේ කොටසකි. එය ධනවාදය තුළදී ගණන් බලන ආකාරයටම ගණන් බලනු ලබයි. ඒ අතර සමාජවාදය තුළදී හැමවිටම ජාතික ආදායම සැලසුම් සහගත ලෙස ඉහළ දැමීමට රජය මැදිහත් වෙයි. මේ නිසා නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමටත් තාක්ෂණික දියුණුව ඇති කිරීම සඳහාත් සෑම අයෙකුටම රැකියාවක් සහතික කිරීමටත් සමාජවාදී රජය මැදිහත් වේ.

ධනවාදය තුළදී මෙන්ම සමාජවාදය තුළදීද ජාතික ආදායම යළි ජනතාව අතර සහ විවිධ ක්ෂේක්‍ර අතර බෙදාහරිනු ලබන්නේ රාජ්‍ය අයවැය මගිනි. රාජ්‍ය අයවැය රටේ ජාතික මූල්‍යමය සැලැස්මයි. එය වාර්ෂිකව පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. එයට නීතිමය බලයක් ඇත. සියලූ ආයතන එමගින් පාලනය කෙරේ.

සමාජවාදී රටක අයවැයෙහි ආදායම් ප්‍රධාන ආකාර දෙකකින් ලැබේ. එනම් සමාජවාදී ව්‍යාවසායයන්ගෙන් හා සංවිධානවලින් ලැබෙන ආදායම හා ජනතාවගෙන් ලැබෙන ආදායම්ය. පළමු කාණ්ඩයේ ආදායම් ලැබෙන්නේ සමාජවාදී ව්‍යාවසායයන්ගේ ශුද්ධ ආදායමෙන් හෝ අතිරික්ත නිෂ්පාදනයෙනි. දෙවන කාණ්ඩය ගොඩනැගෙන්නේ පුරවැසියන්ගේ පුද්ගලික ආදායමෙන් හා ඔවුන්ගේ ඉතිරිකිරීම්වලිනි. තීරණාත්මක කාර්ය භාරය පැවරෙන්නේ පළමු කාණ්ඩයටයි. එය රාජ්‍ය අයවැයේ ආදායමින් 85%-90%ක් පමණ වේ. සාමාන්‍යයෙන් සමාජවාදී රටක බදු ආදායම මුළු රාජ්‍ය ආදායමෙන් 8%ක් පමණ වේ. සමාජවාදය යටතේ බදු එහි ආර්ථික ස්වභාවය අනුව වන්දි නොගෙවා කම්කරු පන්තියෙන් ලබාගනු ලබන මුදල නොවේ. මක්නිසාද යත් බදු ආදායම අවසාන අර්ථයෙන් ජනතාවගේ වුවමනාවන් තෘප්ත කිරීමට යොදවන බැවිනි. මාක්ස් පෙන්වා දුන්නේ, ‘සමාජවාදී සමාජයේදී නිෂ්පාදකයාගෙන් පුද්ගලයෙකු ලෙස ඔහුගේ ධාරිතාවයට අනුව ලබා ගනු ලබන දෙයින් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඔහුට ඍජුව හෝ වක්‍රව වාසි සැලසේ’ යනුවෙනි.

සමාජවාදයේදී රාජ්‍ය අයවැයෙහි වියදම් ශීර්ෂය ජාතික ආර්ථිකයේ වියදම්වලින් සෑදේ. මෙම වියදම් වන්නේ සමාජ හා සංස්කෘතික කටයුතු සඳහා, විද්‍යාව සංවර්ධනය සඳහා, පරිපාලන ව්‍යුහයන් හා රටේ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා වැය වන වියදම්ය. රාජ්‍ය අයවැයේ අරමුදල්වලින් වැඩි කොටස ජාතික ආර්ථිකයේ සමාජීය හා සංස්කෘතික කටයුතු සඳහා හා විද්‍යාවේ සංවර්ධනය සඳහා යොදවයි. සමාජවාදී රටවල අයවැයෙහි විශේෂිත ලක්ෂණ වන්නේ සමාජයීය හා සංස්කෘතික කටයුතු සඳහා අයවැයෙහි වියදම්වලින් වැඩි කොටසක් වෙන්කිරීමයි. එවිට රටේ ජාතික ආදායමත්, ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලත් ජනතා වුවමනාවන් වෙනුවෙන්ම වෙන් කෙරේ. ධනවාදී රටක මෙන් එය සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා පමණක් නොයෙදවේ.

ධනපති ක්‍රමය පරදවා සමාජවාදය ජයග‍්‍රහණය කළ බවත් සමාජවාදය තහවුරු වූ බවත් සහතික වශයෙන්ම පිළිගත හැක්කේ නිර්ධන පංති රාජ්‍ය බලය. තමන්ට විරුද්ධ සූරාකන්නන්ගේ සියලූ ප්‍රතිරෝධනයන් සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ස්වකීය ප්‍රධානත්වය හා ස්ථාවරභාවය නිශ්චය ලෙසම ඇති කරගෙන, මුළු මහත් කර්මාන්තයම මහා පරිමාණ සාමූහික නිෂ්පාදන සහ නවීන තාක්ෂණික පදනමක් මත ප්‍රතිසංවිධානය කළ පසු පමණකි.

ලෙනින් (1920 ජුනි මාසයේ ලියන ලද ලිපියකිනි)

කම්කරු පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය (377) පිටුව