සමාජවාදයේ සමාජ රැකවරණ ජාලය

vimarshana 2019 Jan
විමර්ශන – 2019 ජනවාරි
January 9, 2019
irma
බරපතල අපාදා තත්වයක දී ජනතාවට සහනයක් ලැබෙන්නේ ධනවාදයෙන් ද? සාමාජවාදයෙන් ද?
January 10, 2019
Show all

සමාජවාදයේ සමාජ රැකවරණ ජාලය

senior-citizen

අප රටේ ජනගහනය වයස්ගත වෙමින් තිබේ. එනම් රටේ ජනගහනයෙන් තරුණ පිරිසට සාපේක්ෂව වයස්ගත පිරිස වැඩි වීමයි. මෙය අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදු වෙමින් පවත්නා දෙයකි. විශේෂත්වය වන්නේ, එය අප රට තුළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී තිබීම ය. මාධ්‍ය මගින් දිනපතා පළ කරන පුවත් අතරේ දරුවන් විසින් සිය දෙමව්පියන් මහ මඟ දමා යන, නොසලකා හරින ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් පළ වන්නේ එහි ප්‍රකාශනයක් ලෙසට ය. බොහෝ දෙනෙක් එසේ දෙමව්පියන් මහ මඟ දමා යන දරුවන්ට දොස් පවරා සෑහීමකට පත් වෙති.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමාවට පත්වීමෙන් අනතුරුව කිසිදු පිළිසරණක් නොමැතිව ජීවත් වන ආබාධිතයෝ, වැන්දඹුවෝ, දේපළ අහිමි වූවෝ අප රටේ කොතෙකුත් සිටිති. එවැනි ගැට‍ළු ද සමාජ ප්‍රශ්න ලෙස පවතින අතර ධනේශ්වර පාලකයෝ එකී ප්‍රශ්න නිරාකරණය සඳහා කිසිදු මැදිහත් වීමක් සිදු නො කරති. ඒවායේ ප්‍රතිඵල ලෙස මිනීමැරුම්, සිය දිවි නසා ගැනීම්, මානසික රෝගී තත්වයන්, හොර මැරකම්, සමාජ අපචාරයන් දිනෙන් දින වර්ධනය වේ.

සමාජය දෙමව්පියන්ට නො සලකන, වැඩිහිටියන්ට නො සලකන දූදරුවන්ට බැණ වදිමින්, සමාජ අපචාරයන් සිදු කරන්නන්ට බැණ වදිමින් සිටින අතර තත්වයේ බරපතළ කම දිනෙන් දින වර්ධනය වේ. සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින මෙම සමාජ ප්‍රශ්නය එක් එක් පුද්ගලයාගේ වරදක් නොව ධනේශ්වර පාලකයන්ගේ හා ධනේශ්වර ක්‍රමයේ  අසමත් කම හේතුවෙන් පවතින්නක් හා වර්ධනය වන්නක් බවත් මෙම ගැට‍ළුවට විසඳුම් සෙවිය යුත්තේ සමාජමය වශයෙන් බවත් තේරුම් ගන්නේ අතළොස්සකි.

සමාජවාදය තුළ දී වයස්ගත වූවෝ, ආබාධිතයෝ, යුද්ධයෙන් අසරණ වූවෝ, වැන්දඹුවෝ අත්හැර දමනු නො ලැබෙති. ධනේශ්වර ක්‍රමය මගින් ඔවුන් අත්හැර දමනු ලබන්නේ ඔවුන් කාර්යක්ෂම ලෙස අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය සඳහා යොදා ගත නොහැකි බැවිනි; ඔවුන්ගෙන් කාර්යක්ෂම ලෙස ලාභ උපයා ගත නොහැකි බැවිනි. එහෙත් සමාජවාදය තුළ දී ඔවුන් ද මිනිසුන් ලෙස සලකනු ලැබේ. ඔවුන් රැක බලා ගැනීම, නඩත්තු කිරීම, ඔවුන්ගේ ගැට‍ළු විසඳීම  දූ දරුවන්ට හෝ භාරකරුවන්ට බාරදී අත්හැර නො දමයි. ඒ වෙනුවට සමාජමය වශයෙන් ඔවුන් රැක බලා ගැනීම, නඩත්තු කිරීම හා ඔවුන්ගේ ගැට‍ළුවලට විසඳුම් සැපයීම සිදු කරනු ලබයි. ඒ සඳහා රජය වගකියන සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නගනු ලබයි.

උදාහරණයක් ‌ලෙසින් සමාජවාදී ‌සෝවියට් ‌දේශය සලකා බලන විට එහි පුරවැසියන් හට සමාජ ආරක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙන බව පැහැදිලි ‌වේ.
සමාජවාදී ‌සෝවියට් ‌දේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සමාජ ආරක්ෂණය තහවුරු

සෝවියට් සමාජවාදී ජනරජයේ පුරවැසියන්ට සිය ජීවිතයේ මහළු අවධියේ දී පමණක් නොව රෝගී අවස්ථාවක දී සහ ආබාධිත අවස්ථාවක දී යැපීම සඳහා අයිතිය ඇත. මෙම අයිතිය තහවුරු කරනු ලබන්නේ රජයේ වියදමින් පුළුල්ව සංවර්ධනය කෙරෙන වෘත්තිකයන්ගේ, කාර්යාල සේවකයින්ගේ, කර්මාන්තශාලා සේවකයින්ගේ සමාජ රක්ෂණයෙන්, වැඩ කරන ජනතාව සඳහා නොමිලයේ සැපයෙන වෛද්‍ය පහසුකම්වලින් හා වැඩ කරන ජනතාවගේ භාවිතය සඳහා පුළුල් සෞඛ්‍ය නිකේතන ජාලයන් සපයා දීම මගිනි.

120 වගන්තිය. 1936 සෝවියට් ව්‍යවස්ථාව – 1956 සංශෝධනයෙන් පසුව)

බොහෝ ධනේශ්වර රටවල ව්‍යවස්ථාවෙන් සහතික කරන අයිතිත් ප‍්‍රායෝගිකව නො ලැබේ. එහෙත් සමාජවාදී සෝවියට් දේශය තුළ එය එසේ නොවිණි. දියුණු යයි සම්මත ධනේශ්වර රටවලට පවා සාර්ථකයයි පිළිගැනීමට බල කෙරෙන ආකාරයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ප‍්‍රායෝගිකවම එහි ක්‍රියාත්මක විය. 1958 වසරේ දී සෝවියට් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ අධ්‍යයන කිරීමට ගිය එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමේ වාර්තාවේ දී ඔවුන්ට මෙසේ ලිවීමට සිදු වූයේ එබැවිනි.

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩ සටහන් සෝවියට් දේශයේ ජනරජයන් 15 ටම යොදා ගත හැකි වන සේ නීති හා ආඥා මගින් බල ගන්වා තිබුණි. මෙම වැඩසටහන් විශාල වශයෙන් විමධ්‍යගත කර තිබුණ ද අදහා ගත නොහැකි අන්දමින් සමාන ලෙස ක්‍රියාත්මක විය.

සෝවියට් සමාජවාදී ජනරජ සංගමයේ සමාජ ආරක්ෂණ වැඩසටහන්, 1959 අගෝස්තු – වාර්තාව

සෝවියට් දේශය තුළ ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ආකාර කිහිපයකින් යුක්ත වූ අතර එමගින් වැඩිහිටියන්, ආබාධිතයින්, යුද්ධයෙන් පීඩාවට පත් වූවන් (දෙවැනි ලෝක යුද්ධයෙන්) රෝගීන්, ගර්භණී මව්වරුන්, විශේෂිත මව්වරුන්, විශේෂ උපකාර ලැබිය යුතු පවුල් ආදී ක්ෂේත්‍ර ගණනාවක් ම ආවරණය කෙරිණි.

විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ

විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ප්‍රධාන ආකාර 05කි. එනම් වැඩිහිටි විශ්‍රාම වැටුප් වැඩසටහන, ආබාධිතයන් සඳහා වන විශ්‍රාම වැටුප් වැඩ සටහන, විශේෂිත සේවා සඳහා වන විශ්‍රාම වැටුප් වැඩසටහන, පුද්ගල විශ්‍රාම වැටුප් වැඩ සටහන ලෙස ය. කාර්මික, වෙළඳ හා අනෙකුත් ක්ෂේත්‍රවල සේවයේ නියුතු අයටත්, ශිෂ්‍යයන්ටත්, පොදු වැඩෙහි යෙදී සිටිය දී ආබාධිත තත්වයට පත් වූවන්ටත් මෙම විශ්‍රාම වැටුප්වලට හිමිකම් කිව හැකි විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු වූ අයගෙන් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවලට හිමිකම් කිව හැකි වූයේ රජයේ ගොවිපළවල සේවයේ නියුතු අයට පමණි. සමූහ ගොවිපළවල ගොවීන්ට සමූහ ගොවිපළ විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ වැඩසටහන් පැවතිණි.

විශ්‍රාම වැටුප සඳහා ප‍්‍රතිලාභියාගෙන්  දායකත්වයක් ලබා නො ගත්තේ ය. ඒ සඳහා දායක වූයේ ප‍්‍රතිලාභියා සේවය කරන ආයතනයත්, රජයත් ය. විශ්‍රාම වැටුප් අරමුදලින් 50%ක් රජය දායක වූ අතර ආයතනය 50%ක දායකත්වයක් සැපයීය.

රජයේ පොදු විශ්‍රාම වැටුප් වැඩසටහනට අමතරව විශේෂිත විශ්‍රාම වැටුප් වැඩසටහනක් ද ක්‍රියාත්මක විය. උදාහරණයක් ලෙස ගුරුවරුන් සඳහා අභ්‍යන්තර ගුවන් සේවාවල නියමුවන් සඳහා, බැලේ නාට්‍යකරුවන් සඳහා ආදී වශයෙන් වූ විශ්‍රාම වැටුප් වැඩසටහන් ය. මීට අමතරව පුද්ගල විශ්‍රාම වැටුප් වැඩසටහනක් ද පැවතුණි. එය අදාළ වූයේ සමාජ, දේශපාලන හා වෙනත් ජයග්‍රහණයන් සඳහා දායකවූ පුද්ගලයන්ට ය. එය එක් එක් කාර්යයේ දී ඒ ඒ පුද්ගලයා දැක්වූ විශේෂිත දායකත්වය වෙනුවෙන් එම විශ්‍රාම වැටුප් රජය විසින් ඔවුන් වෙත ලබා දෙනු ලැබුණි.

මේ ආකාරයෙන් සමාජයේ සෑම පුරවැසියෙකුට සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් ආවරණය කිරීමට සමාජවාදයට හැකි විය. මේ නිසා සමාජවාදය තුළ දී වයස්ගත වූවන්, ආබාධිතයන්, රෝගීන් තවදුරටත් සමාජය විසින් නොසලකා හරිනු ලැබුවේ නැත.

වැඩිහිටි විශ්‍රාම වැටුප

සෝවියට් දේශයේ විශ්‍රාම ගැන්වීමේ වයස පිරිමින් සඳහා වයස අවුරුදු 60ක්ද කාන්තාවන් සඳහා වයස අවුරුදු 55ක්ද විය. දුෂ්කර කාර්යයන්හි යෙදුණ අය සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස ඊට වඩා අවුරුදු 05කින් අඩු විය. භූගත, උණුසුම් හෝ සෞඛ්‍යයට හිතකර නොවන රැකියාවන් හි  යෙදුණ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඊට වඩා වසර 10කින් අඩු විය.

1930 වසරෙන් පසු සෝවියට් දේශය තුළ

රැකියා විරහිතයින් නො සිටි බැවින් ජනගහනයේ සෑම කෙනෙකු ම විශ්‍රාම වැටුපකට හිමිකම් කීවේ ය. 1918 සිට 1930 දක්වා රජය විසින් රැකියා නොමැත්තන් සඳහා විරැකියා දීමනාවක් ගෙවනු ලැබිණි.

ධනවාදයේ දී මෙන් සෝවියට් දේශයේ දී අබලන් වූ වාහන මෙන් වැඩිහිටියන් වැඩිහිටි නිවාස තුළට ගාල් කරනු නොලැබුණි. වැඩිහිටියන් ජීවත් වූයේ ඔවුන්ගේ දූ දරුවන්, නෑදෑ හිතවතුන් සමඟ ය. මේ නිසා ඔවුන්ගේ මානව සබඳතා එලෙස ම පවත්වා ගෙන යා හැකි විය. දූ දරුවන්ට ද නිදහස් කාලයක් තිබූ බැවින් වැඩිහිටියන් පිළිබඳ සොයා බැලීමටත් ඔවුන් සමඟ කාලය ගත කිරීමටත් ඉඩකඩ ලැබිණි.

ආබාධිත විශ්‍රාම වැටුප

ආබාධිත වූවන්  සඳහා ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් සෝවියට් දේශය තුළ ක්‍රියාත්මක විය. ආබාධිත තත්වය ඇති වූයේ රැකියාවේ නිරත ව සිටිය දී ආබාධිත තත්වය තාවකාලික ද ආදී කරුණු මත ආබාධිත විශ්‍රාම වැටුප කාණ්ඩ 18කට වර්ග කර තිබුණි.

යුද්ධයෙන් හෝ විපතකින් බේරුණ අය වෙනුවෙන් වූ විශ්‍රාම වැටුප

සෝවියට් දේශය තුළ දෙවන ලෝක යුද්ධයේ දී ජීවිත බේරුණු අය සඳහා ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක විය. මීට අමතරව කිසියම් විපතකින් බේරුණු අය සඳහා ද එම විශ්‍රාම වැටුප් ක්‍රමය අදාළ විය.

යුද්ධයෙන් බේරුණු හෝ විපතකින් බේරුණු වයස අවුරුදු 16 හෝ 18ට අඩු පාසල් ළමුන් සඳහා ද වයස අවුරුදු 55 හෝ ඊට වැඩි වැන්දඹුවන් සඳහා ද අවුරුදු 08ට වඩා අඩු දරුවන් ඇති වැන්දඹුවන් සඳහා ද මෙම විශ්‍රාම වැටුප ලබා දෙනු ලැබිණි.

රෝගී හා මාතෘ ප්‍රතිලාභ

සෝවියට් දේශය තුළ සෞඛ්‍ය සේවාව ජනතාවගෙන් සෑම අයෙකුට ම නොමිලයේ රජය විසින් ලබා දෙනු ලැබිණි. එය සමාජ ආරක්ෂණ වැඩසටහනෙන් පරිබාහිරව ක්‍රියාත්මක විය.

රැකියාවේ යෙදෙන අතරතුර දී සිදු වන රෝගී තත්වයන් හා ආබාධිත තත්වයන් හේතුවෙන් වැටුප් නො ලැබී යාමේ දී ක්‍රියාත්මක වන ප්‍රතිලාභ ක්‍රමයක් ද සෝවියට් දේශය තුළ තිබුණි. සියළු මව්වරුන් සඳහා දරු ප්‍රසූතියට සති 08 කට පෙර සිට, ප්‍රසූතියෙන් සති 08ක් දක්වා මාතෘ ප්‍රතිලාභ ලබා දෙනු ලැබිණි.

අවශ්‍ය අයට විවේකාගාර

පහසුකම් හා සෞඛ්‍ය නිකේතනවල රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් ද සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක විය.

පවුල් දීමනා

හතර දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් සිටින ගෘහයන් සඳහා ද රජයෙන් ප්‍රතිලාභ ලැබිණි. දරුවන් ගණන වැඩි වන විට දී ලබා දෙන ප්‍රතිලාභ වැඩි විය. දරුවකුගේ වයස අවුරුදු 04 දක්වා මෙම ප්‍රතිලාභය ලබා දුන් අතර දරුවන් වැඩි ගණනක් සිටින මව්වරුන්ට අමතර ප්‍රතිලාභ රජය විසින් ලබා දෙන ලදී.

අවිවාහක මව්වරුන් සඳහා ද රජය විසින් ප්‍රතිලාභ ලබා දෙනු ලැබීය. ලබා දෙන සහනය තීරණය කෙරුණේ වයස අවුරුදු 12ට අඩු දරුවන් කී දෙනෙකු සිටින්නේ ද යන කරුණ මතය.

මේ ආකාරයෙන් සමාජවාදය තුළ දී වයස් ගත වූ, අසරණභාවයට පත් වූ, රෝගී හෝ ආබාධිත තත්වයට පත් වූ  කිසිවකු ධනවාදයේ දී මෙන් අත්හැර දමනු ලැබුවේ නැත. එවැන්නන් රැක බලා ගැනීම දරුවන්ට හෝ භාරකරුවන්ට පවරා, ආණ්ඩුව නිදහස් වූයේ ද නැත. සමාජවාදී රජය ඔවුන් සැමගේ වගකීම භාර ගත් අතර ඔවුන් සමාජමය වශයෙන් රැක බලා ගත්තේ ය. ධනවාදයේ දී මෙන් ඔවුන් මානව සබඳතාවලින් ඉවත් කොට මහළු නිවාස හෝ ආබාධිතාගාරවලට ගාල් නොකළේය. ඔවුන් ද තම රටේ පුරවැසියන් සේ සලකා රැක බලා ගත්තේ ය. මේ නිසා සමාජවාදයේ දී වයස් ගත වීම සමාජ ප‍්‍රශ්නයක් බවට පත් නොවුණි. ආබාධිත වීම, රෝගී වීම, හදිසි ආපදාවකට ගොදුරු වීම, දේපළ අහිමි වීම, වැන්ඳඹු වීම සමාජ ප්‍රශ්න බවට පත් නොවුණි.