මැකියාවෙලීගේ “කුමාරයා”

masscomm
ජනමාධ්‍යය – ධනපති දෘෂ්ටිවාදයේ හොරණෑව 
January 18, 2019
14089023w
“වානේ පන්නරය ලැබූ හැටි” කෘතියෙන්
January 22, 2019
Show all

මැකියාවෙලීගේ “කුමාරයා”

rsz_maxresdefault1

ලෝකය වෙනස් කළ කෘති අතරින් අප මෙවර විමසා බලන්නේ නිකොලොයි මැකියාවෙලීගේ ‘කුමාරයා’ (The Prince) කෘතිය පිළිබඳවයි.  උතුරු ඉතාලියේ ප්ලෝරන්ස් නගරයෙහි 1469 හි උපත ලැබූ නිකොලොයි ඩි බර්නාර්ඩෝ මැකියාවෙලි විසින් රචිත දේශපාලන කෘති රාශියකි. ඒ අතර ඔහු දේශපාලන ලෝකයේ දාර්ශනිකයෙකු බවට පත් කළ කෘතිය වන්නේ ‘කුමාරයා’ ය. නූතන දේශපාලන විද්‍යාවේ පියා යන නාමයෙන්ද මැකියාවෙලී හඳුන්වනු ලබයි. අද ලෝකයේ බලයට ඒම සඳහා හෝ බලයේ රැඳී සිටින හෝ ලබා ගත් බලය ව්‍යාප්ත කිරීමට හෝ සිතන කවර හෝ බලලෝභී දේශපාලකයෙක් ලොව කොතැනක හෝ සිටී ද ඔහු අනිවාර්ය කෘතියක් ලෙස ‘කුමාරයා’ කෘතිය පරිශීලනය කරනවා යැයි කීම අපූර්ව කියමනක් නොවේ.

ක්‍රි.ව. 1513 දී රචිත ‘කුමාරයා’ තුළ මැකියාවෙලීගේ මුළුමහත් දේශපාලන දර්ශනය ම ගැබ්ව ඇති බව දේශපාලන විචාරක මතයයි. “දේශපාලනය යනු බල දේශපාලනයකි” යන්න ඔහු තරයේ විශ්වාස කර ඇත. ආගමික, දාර්ශනික, සාදාචාරාත්මක තවරනයන්ගෙන් වුවමනාවෙන් වසා තිබූ එම සත්‍යය නිරුවත් කොට ඔහු මෙම කෘතිය තුළ දක්වා ඇත. එනිසා ම දේශපාලන ලෝකයේ බලවාදයේ අත්පොත ලෙසද ‘කුමාරයා’ කෘතිය සැලැකිල්ලට ගනු ලබයි.

දේශපාලන ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුගේ මුවග රැඳී තිබෙන “පාලකයා සිංහයෙක් මෙන් එඩිතර ද නරියෙක් මෙන් කපටි ද විය යුතු ය” යන්න කුමාරයෙක් හෙවත් පාලකයෙක් තුළ තිබිය යුතු රාජ්‍ය පාලන ගුණාංගයන් ලෙස මැකියාවෙලී දක්වන උපදේශයන් අතර ප්‍රසිද්ධ කියමනකි.

  1. විවිධ මාදිලියේ ප්‍රින්සිපැලටි රාජ්‍ය හා ඒවා බිහි වන ආකාරය
  2. ප්‍රවේණි ප්‍රින්සිපැලටි
  3. මිශ්‍ර ප්‍රින්සිපැලටි රාජ්‍ය
  4. ඇලෙක්සැන්ඩර්ට නතුව තිබුණු ඬේරියස් රාජ්‍යය ඇලෙක්සැන්ඩර්ගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයනට එරෙහිව කැරළි නො ගැසූ හේතු
  5. අන් සතුවීමට පෙර තමන්ගේ ම නීති යටතේ පැවැති නගර හෝ ප්‍රින්සිපැලටි රාජ්‍ය පාලනය කළ යුතු පිළිවෙළ
  6. කෙනෙකු තමන්ගේ අවියෙන් හා නිපුණත්වයෙන් අත්පත් කර ගැනෙන අලුත් ප්‍රින්සිපැලටි රාජ්‍ය
  7. අනුන්ගේ අවියත් තමන්ගේ වාසනවාත් මඟින් අත්පත් කර ගැනෙන අලුත් ප්‍රින්සිපැලටි රාජ්‍ය
  8. දුෂ්ඨකමින් කුමාර පදවි ලබන්නෝ
  9. සිවිල් ප්‍රින්සිපැලටි
  10. සියලු ප්‍රින්සිපැලටි රාජ්‍යවල ශක්තිය මැනිය යුතු පිළිවෙළ.
  11. සමයානුකූල ප්‍රින්සිපැලටි රාජ්‍ය
  12. විවිධ වර්ගවලට අයත් හමුදා සහ කුලී හේවායෝ
  13. උපකාරක, මිශ්‍ර හා පුරවැසි සෙබළු
  14. හමුදා කටයුතු ගැන පාලකයෙකුගේ වගකීම
  15. පුද්ගලයන් – විශේෂයෙන්ම කුමරවරුන් වැනුමට හෝ බැනුමට හෝ ලක් වන හේතු
  16. ත්‍යාගශීලී බව හා මසුරුකම
  17. කුරිරුකම හා දයාව
  18. කුමාරයෙකු සිය පොරොන්දු ඉටු කළ යුතු ආකාරය
  19. ගර්හාවෙන් හා වෛරයෙන් වැළැකීම
  20. කුමාරවරුන් දිනපතා ක්‍රියාත්මක කරන බොහෝ දේ හා බලකොටු ඵලදායක ද? හානිකර ද?
  21. කුමාරයෙකුට ගරු සම්මාන හිමි වන හැටි
  22. කුමාරයාගේ පෞද්ගලික උපදේශකයෝ
  23. චාටුකාරයන් මඟහැරීම
  24. ඉතාලි කුමාරවරුන්ට ඔවුන්ගේ රාජ්‍ය අහිමි වුණු හේතු
  25. මානව ක්‍රියාකාරීත්වය තුළ දෛවයේ මෙහෙවර හා මිනිසා ඒ සමග ගනුදෙනු කළ යුතු පිළිවෙළ
  26. ඉතාලිය ම්ලේච්ඡයන්ගෙන් මුදා ගැනීම සඳහා උපදේශයක්

යනාදී ලෙස පරිච්ඡේද 26 න් මෙම කෘතිය සමන්විත වෙයි. මෙම පරිච්ඡේදවලින් ආවරණය කර ඇති ආකාරයට පාලකයෙකුගේ සෑම අංශයක් ම අතපසු නොකොට ඔහුගේ අවධානයට හසු කරගෙන ඇති ආකාරය දැක ගත හැකිය. ‘කුමරයා’ අංග සම්පූර්ණ රාජ්‍ය පාලකයෙකු තනන අච්චුවක් යැයි ද කිව හැකිය. කෘතියේ මුල් පරිච්ඡේද ප්‍රින්සිපැලටි හෙවත් රජයේ විවිධ ස්වරූප දැක්වීමට වෙන් කර ඇති අතර, ඉන්පසු කුමාරයෙකු, පාලකයෙකු කවර නම් ආකාර විය යුතුද යන්න පිළිබඳව සෑම කෝණයකින්ම විමසුමට ලක් කොට කරුණු දක්වා ඇත.

තම සුබ සිද්ධිය ගැන සිතන මිනිස්සු සිය පාලකයන් වෙනස් කරති” යනුවෙන් ජනතාව එක් පාලකයෙක් වෙනුවට තවත් අයෙක් පත් කර ගන්නේ ඇයිද යන්න මැකියාවෙලී කියයි. එසේ පත් වන පාලකයා “බලයට පත්වීම සඳහා පාලකයාට උදවු කළ පිරිස ඔහුගේ මිතුරන් වශයෙන් තව දුරටත් තබා ගැනීමට නොපුළුවන් ය” යනුවෙන් අප මෙතෙක් දැක ඇති පාලකයන්ගේ ගති ස්වභාවය සියලු පාලකයින්ට පොදු වූවක් බව තහවුරු කරයි. මැකියාවෙලීගේ ‘කුමාරයා’ කියවන  ඕනෑ ම රටක  ඕනෑ ම අයෙකුට තමන්ගේ අතීත පාලකයන් හෝ වර්තමානයේ සිටින පාලකයන් කෙතරම් නම් මෙම කෘතියේ දක්වා ඇති ලක්‍ෂණයන්ගෙන් යුතු ද යන්න කිරා මැන බලනු ඇත.
මධ්‍යතන යුගය ලෝකයට ආරම්භ වනුයේ එතෙක් පැවති වැඩවසම් පාලන කාලය නිමා කොට ජාතික රාජ්‍යය කරළිගත වෙමින් ය. එහෙයින් ඉතාලිය ද වැඩවසම් පාලනයෙන් මිදී ශක්තිමත් ජාතික රාජ්‍යයක් වීමේ වුවමනාවෙන් පෙළිණි. එහෙයින්, මධ්‍යතන යුගයේ සමස්ත ඉතාලියේ ඓතිහාසික වුවමනාවක් තෘප්ත කළ දාර්ශනිකයා ලෙස මැකියාවෙලී නම් දරයි.

ඔහුට මෙවැනි කෘතියක් ලිවීමට සිදු වූයේ එවකට ඉතාලිය ඉතා දුර්වල රාජ්‍යයක්ව පැවැතීම, බාහිර රාජ්‍යයන්ගෙන් නිතර එල්ල වූ බලපෑම ආදිය හේතුකොටගෙන යම් දීනත්වයක් උරුම කරගෙන සිටි බැවිනි. 1494 දී ඉතාලිය ආක්‍රමණය කළ ප‍්‍රංශය ඉතාලි ජන ජීවිතය මුළුමනින්ම අවුල් කරමින් යුරෝපයේ යුද පිටිය බවට පත් කරන ලදී. එහෙයින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මැකියාවෙලීගේ මූලිකම අරමුණ විය. එහෙයින් ඉතාලියානු දේශය ගොඩ ගන්නට නම් පත් විය යුතු පාලකයා කවර ආකාරයේ අයෙක් ද යන්න නිර්දේශ කිරීම මැකියාවෙලීගේ අරමුණ විය. ඔහු ඉතා සමීපව සිටි මෙඩිසි පවුලේ අපේක්‍ෂිත පාලකයා වූ ලොරෙන්සෝ ඩි මෙඩිසි තමන් මෙසේ පෙන්වා දෙන ආකාරයේ පාලකයෙක් වනු දැකීම අපේක්‍ෂාව වුවද එය බිඳ වැටිණි. එනිසාම මෙම කෘතිය අත් පොතක් ලෙස පැවැතී මැකියාවෙලීගේ මරණයෙන් පසු මුද්‍රණය වන්නට ඇත යන්න පොදුවේ පිළිගනී.

දේශපාලනය ගැන සිතා බලන  ඕනෑම අයෙකු තම ගමන් මග තෝරා ගැනීම සඳහා මෙම කෘතිය කියවිය යුතු ම ය. මැකියාවෙලී කියන ආකාරයට “ජීවත්වන පිළිවෙළත් ජීවත්විය යුතු පිළිවෙළත් අතර පරතරයක් තිබේ. කළ යුතුව ඇති දේ වෙනුවෙන් කරන දේ අත්හැර දමන්නා ඔහුගේ ආරක්‍ෂාව නොව විනාශය දැක ගනී” එනිසා බලය වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීමට පාලකයාට අයිති වූවකි. එහෙත් පාලකයා නොකළ යුතු දේ ද මැකියාවෙලී වර්ගකොට දක්වයි.

“කුමාරයෙකු සිය යටත් වැසියන්ගේ කාන්තාවනට කෑදරකම් දක්වන්නෙකු වීමත්, යටත් වැසියන්ගේ දේපළ පැහැර ගන්නෙකු විමත්…” පාලකයා නොකළ යුතු මූලික ම කාරණයක් බව දක්වයි.

“මිනිහකුට හානියක් කරන්නේ නම් පෙරළා පළිගැනීමේ බියකට හේතු ඇති නොවන්නට ම ඒ හානිය කළ යුතුය” බල ආසාව ඉතා ස්වාභාවික වූවක් බව “අත්පත් කර ගැනීමේ ආසාව බෙහෙවින් ස්වාභාවික හා සාමාන්‍ය සංසිද්ධියකි” රාජ්‍යයන් අත්පත් කර ගැනීමේ ක්‍රම 3 කි. එය මුළුමනින්ම විනාශ කිරීම, අදාළ පාලකයා ම එහි ගොස් පදිංචි වීම, පාලකයාට නතු වූ පිරිසකගෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීම එම ක්‍රම 3යි. “සන්නද්ධ සියලු ශාස්තෘවරු ජය ගත්හ. සන්නද්ධ නොවූවෝ විනාශ වූහ” මිනිසුන් අන්‍යයනට හානි පමුණුවන්නේ වෛරය නිසා හෝ බිය නිසා බව මැකියාවෙලී අපට සිහිපත් කරයි. රාජ්‍ය පාලනයේදී දුෂ්ඨකම් හෝ  සද්භාව කියා දෙයක් නැත. අවස්ථාවට අනුව අවශ්‍ය දේ ක්‍රියාත්මක කළ යුතුය. ඝාතන, පාවාදීම්, කෲරත්වය, දයාව, ආගමිකබව පෙන්වීම මේ ආදිය එකට සංකලනය වී පාලකයා සතුව තිබිය යුතුය. “සන්නද්ධ සේවකයන් අතර සන්නද්ධ නොවූ පුද්ගලයකුට අරක්‍ෂාවක් නැත්තේ ය”යි සන්නද්ධ වීම සාධාරණීකරණය කරයි. පාලකයා සිය මුදල් පරිහරණයේ දී ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතු අතර, ජනතාවගේ හෝ වෙනත් අයගේ මුදල් පරිහරණයේදී “සිය ත්‍යාගශීලී භාවයේ කිසිවක් පාලනය කළ යුතු නොවේ” යැයි කියමන අප සමාජයේ පාලකයන් කටයුතු කරන ආකාරය තුළින් ද මනාව පසක් වෙයි. දේපළ කොල්ල කෑමට වඩා ඝාතන යහපත් බව ” පිය උරුමයෙන් ලත් දේපළ අහිමි වීමේ වේදනාව අමතක කරනවාට වඩා ඉක්මනින් මිනිසුන් තම පියවරුන්ගේ මරණ පිළිබඳ වේදනාව අමතක කරයි” යනුවෙන් මැකියාවෙලී පෙන්වා දෙයි. කුමාරයකුගේ හිත එක් එක් අතට හරවා ගත හැකි විය යුතුය. “ආගමානුකූල බව තමන් සන්තකයේ ඇතැයි ඇඟවීම තරමට අවශ්‍ය අන් දෙයක් නැත” යනුවෙන් පාලකයාගේ ආගමික ඇදහීමේ හැටි ස්වභාවය අනාවරණය කරයි.

ආගමේ නාමයෙන් වැසී  පාප්වරුන් හෝ එසේ නොවූවෝ හෝ කවර හෝ පාලකයන් එදා මෙදාතුර සිදු කර ඇති දේ හා සිදු කරන දේ ඉතා හොඳින් නිරාවරණය කර ඇති නිසා රාජ්‍ය බලය දේව කැමැත්තකි, සදාචාර ක්‍රියාවලියකි යැයි ජනතාව මුළා කරමින් සිය කෲරත්වය පවත්වාගෙන ගිය පිරිස මැකියාවෙලීට හා කුුමාරයාට සිය විරෝධය දක්වති. ඒ නිසා ම මැකියාවෙලී හා ඔහුගේ ‘කුමාරයා’ අතිශය විවේචනයට ලක් වූවක් බව ද සටහන් කළ යුතු ය.

මෙසේ සමස්ත ‘කුමාරයා’ කෘතිය පුරාම සිත් ගන්නා සාහිත්‍ය බසකින් මැකියාවෙලී කියාපාන්නේ මාක්ස් විසින් අපට උගන්වා ඇති ‘රජය යනු පන්ති පීඩක උපකරණයකි’ යන්න ම මිස අන් යමක් නොවේ.
විමර්ශන