බරපතල අපාදා තත්වයක දී ජනතාවට සහනයක් ලැබෙන්නේ ධනවාදයෙන් ද? සාමාජවාදයෙන් ද?

senior-citizen
සමාජවාදයේ සමාජ රැකවරණ ජාලය
January 10, 2019
Cute pupil thinking against idea doodle with arrows
තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය…
January 11, 2019
Show all

බරපතල අපාදා තත්වයක දී ජනතාවට සහනයක් ලැබෙන්නේ ධනවාදයෙන් ද? සාමාජවාදයෙන් ද?

irma

පාරිසරික ආපදාවන් මේ දිනවල ලෝකයේ සෑම රටක්ම බහුලව අත්විදින සිදුවීමකි. මිනිසාගේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවී ඇති පරිසර දූෂණය, මෙම ආපදාවන් බොහොමයකට හේතු ලෙස සඳහන් වේ. පරිසර දූෂණය මේ තරම් ප්‍රමාණයකට වර්ධනය වීමට වගකිව යුත්තේ වත්මන් ධනවාදයයි; අධිරාජ්‍යවාදයයි. හුදෙක් ලාභය පසුපස හඹා යාමත් අධිපාරිභෝජනවාදී ජීවන රටාවත් මෙම තත්වයට පාර කපා ඇත.

මේ ආකාරයෙන් පාරිසරික ව්‍යසනයන්ට වගකිවයුතු ධනවාදය ආපදා කළමණාකරණයේදී ද පෙන්නුම් කරන්නේ සිය අසමත්භාවයයි.  ආපදා කළමණාකරණයේදී අදටත් සමස්ත ලෝකයටම ආදර්ශය සපයමින් සිටින්නේ සමාජවාදයයි. ජීවමාන, සජීවී ආදර්ශය වී තිබෙන්නේ සමාජවාදයයි.

ධනවාදය තුළ දී ආපදා කළමනාකරණය කොතරම් අසමත් ද යන්න ශ‍්‍රී ලාංකිකයන් ලෙසට අපි දනිමු. ගංවතුර අවස්ථාවලදීත් නායයාම්, කුණු කඳු කඩා වැටීම්වලදීත් ධනපති පාලකයන් කෙතරම් අසරණවේ ද ධනපති රාජ්‍ය යන්ත‍්‍රය කොතරම් අසමත් ද යන්න අපි අත්දකිමු. රජයේ මැදිහත්වීමෙන් තොරව ක‍්‍රියාත්මක වන ස්වෙච්ඡුා සංවිධාන හා ජනතා ක‍්‍රියාකාරීත්වය නොවන්නට ජනතාවට මුහුණ පාන්නට සිදුවන ගැටළු මීටත් වඩා බරපතළ වනු ඇත.

ධනවාදය තුළදී පවා ජනතාවට විපතක් වූ සෑම අවස්ථාවකදී ම වමේ ව්‍යාපාරය ජනතාව වෙනුවෙන් සදා නොමැකෙන කාර්යභාරයක් ඉටු කර ඇත. ශ‍්‍රී ලංකාව තුළ පැතිරී ගිය මැලේරියා වසංගතයේදී එවකට ශ‍්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය විසින් සූරිය මල් ව්‍යාපාරය මගින් ජනතාව වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය ලාංකේය මෑත ඉතිහාසයේ නොමැකෙන සටහනකි. 1979 සුළි සුළං ආපදාවේදීත්, ගංවතුර, නායයාම්, සුනාමි ව්‍යසනයන්හිදීත් ජනතා විමුක්ති පෙරමුණේ ’රතු තරුව’ සහන සේවා බලකාය ඉටු කළ කාර්යභාරයද එවැන්නකි.

දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තරවද වමේ ව්‍යාපාරය සතු අත්දැකීම් එමට ය. උදාහරණයක් ලෙස කොමියුනිස්ට් පක්ෂ පාලකයන් පවතින ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ “රතු සෙබළු” සංවිධානය ඉටු කරන කාර්යභාරය දැක්විය හැකිය. ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වා ගෙන යනු ලබන ’රතු සෙබළු’ ස්වේච්ඡා සංවිධානය කේරළ ප්‍රාන්තයේ සෑම ප්‍රදේශයකම පිහිටුවා ඇත. ස්වේච්ඡා පදනමින් බඳවා ගනු ලබන තරුණ තරුණියන් ප්ලැටූන් ලෙස සංවිධානය කරන අතර ඔවුන්ට හදිසි ආපදා අවස්ථාවන්හිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දෙයි. හදිසි අපදා අවස්ථාවනහිදී පක්ෂය විසින් ඔවුන් කැඳවනු ලබන අතර සහන සේවා කටයුතුවල යෙදවේ.

සමාජවාදය තුළ දී ආපදා කළමණාකරණය කෙසේ වේද යන්න පිළිබඳ ජීවමාන සහ හොඳම අත්දැකීම ලැබෙන්නේ කියුබාවෙනි. පසුගියදා කැරිබියානු කලාපයේ ලතින් ඇමරිකානු රටවල් හරහා හඹා ගිය ඉර්මා කුණාටුවට කියුබාව මුහුණ දුන් ආකාරය ලොවටම ආදර්ශයක් වී ඇත.

ඉර්මා කුණාටුව කැරිබියන් කලාපය හරහා හඹා ගියේ පැයට කි.මි. 280ක වේගයෙනි. එය කුණාටු වර්ගීකරණය අනුව 5වැනි හෙවත් දරුණුම කුණාටු ගණයට අයත් එකකි. ඇතැම් වෙබ් අඩවි වාර්තා කළ ආකාරයට එය චන්ද්‍රිකා තාක්ෂණය මගින් අනතුරු ඇඟවීම් සිදු කිරීම ආරම්භ කිරීමෙන් පසු හට ගත් දරුණුම කුණාටුව එය ය. එය පැය 72 ක් පුරා, එනම් දින 03 ක් පුරා කියුබාව හරහා ගමන් කළා ය.

  • ඉර්මා කුණාටුව පැමිණීමට පෙර, ඊට මුහුණ දීම සඳහා සහ ඉන් ආරක්ෂා වීම සඳහා කියුබානු රජය සිදුකළ සූදානම, කියුබාව සතු සීමිත සම්පත් ප‍්‍රමාණය හා සීමිත මූල්‍ය ප‍්‍රමාණය හා සැසª කල ඉතාම දියුණු ධනපති රටකට පවා නොදෙවෙනිය. කියුබානු රජය ඉර්මා කුණාටුව පැමිණීමට දින 07 කට පෙර සිටම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේය. එම දැනුවත් කිරීම් කෙතරම් සාර්ථකද වීදයත් කුණාටු වර්ගීකරණයේ අංක 5 යන්න කුමක්ද යන වග සෑම පුරවැසියෙකුම දැන සිටියෝය. කල් තබා දැනුවත් කිරීම් සිදුකළ නිසා ඇතිවන ආපදාවට සූදානම් වීම සඳහා ජනතාවට ප‍්‍රමාණවත් කාලයක් ලැබිණි.
  • කියුබානු කොමියුනිස්ට් පක්ෂය හා කියුබානු රජය වැඩි අවධානය යොමු කළේ, ජනතාව අනතුරුදායක ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට වඩා ඔවුන්ට ආරක්ෂාව සැලසීමටයි. ගිනි නිවීමේ කාර්යාංශය, සෞඛ්‍ය හා ප‍්‍රවාහන සේවාවන් සම්බන්ධ කර ගනිමින් හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරු ගණනාවක්ම ජනතාව සමග සිදු කරන ලදී.
  • කියුබාව සිය සූදානම සැලසුම් කර තිබුණේ, රටේ සියලූ දෙනාටම ආරක්ෂාව සැලසෙන ආකාරයෙනි. පුද්ගලයා ජීවත් වන්නේ කොහිද, නගරබදද, ගම්බදද, ඔහුගේ තරාතිරම කුමක්ද යන්න නොසලකා සෑම දෙනාගේම ආරක්ෂාව තහවුරු වන පරිද්දෙන් එය සැලසුම් කර තිබුණි. කියුබාවේ කිසිම පුරවැසියෙකුට තමන් අත්හැර දමා ඇතැයි යන හැඟීමක් ඇති නොවුණි. සෑම දෙනෙකුටම සුරක්ෂිතභාවය පිළිබඳ සහ ළඟ එන ව්‍යසනයට එරෙහිව එක්ව අරගල කිරීමට අවශ්‍ය විශ්වාසය ජනතාව තුළ ගොඩනැගීමට කියුබාව කටයුතු කළේය.
  • ආපදාවට මුහුණ දීමේදී කියුබාව එකම පවුලක් ලෙස කටයුතු කළේය. ඝර්ම කලාපීය කුණාටුවලට මුහුණ දීමේදී එක් එක් පවුල් ඒකකය තම පවුලේ සාමාජිකයින්, සතුන්, දේපළ, පවුලේ ආර්ථිකය හා අසල්වැසියන්ගේ ආරක්ෂාව සඳහා පියවර කිහිපයක් ගත යුතුව තිබුණි. මෙම පියවරයන් කවරේද යන්න කියුබානු රජය කල් තබා ජනතාව දැනුවත් කර තිබුණි. තමන් යා යුත්තේ කවර ස්ථානයටද කවර වේලාවකදීද යන්න ඔවුන්ට පවසා තිබුණි. පවුලේ ප‍්‍රධානියෙකු නිෂ්පාදන ක‍්‍රියාවලියේ හෝ සහන සේවා කටයුතුවල යෙදී සිටියේනම් ඔහු වෙනුවට පවුලේ කටයුතු බලාගන්නා කෙනෙකු නම් කර තිබිය යුතු විය. පවුලේ එක් එක් පුද්ගලයාටද නිශ්චිත වගකීමක් පවරා තිබිය යුතුය. සතුන් ආරක්ෂා කර ගැනීම, වගාවන් ආරක්ෂා කර ගැනීම, නිවෙස ආරක්ෂා කර ගැනීම සහ තම ප‍්‍රදේශයේ අනෙකුත් අයගේ කටයුතු සොයා බැලීම ආදිය සඳහා මෙලෙස වගකීම පැවරිය යුතු විය.
  • මේ ආකාරයෙන් පුද්ගලයන් 700,000ක් පමණ කුණාටුව පැමිණීමට පෙරම, ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ඔවුන්ට හැකි විය. මුළු කියුබාවම ඉර්මා කුණාටුවට ගොදුරු වෙද්දි මරණ සංඛ්‍යාව 10ක් වැනි අඩු මට්ටමකින් සිදුවූයේ ඒ නිසාය.

හැටේ දශකයේ සිට පවත්වාගෙන යන “විප්ලවය ආරක්ෂා කිරීමේ කමිටු” ජනතාව දැනුවත් කිරිමේදීත්, ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමේදීත්, ඔවුන්ගේ අනිවාර්ය අවශ්‍යතා සම්පාදනයේදීත් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

එහෙත් ආර්ථික වශයෙන් ලොව බලවත්ම රටවන එක්සත් ජනපදයේ ජනතාවට මෙම සුරක්ෂිතභාවය හෝ මැදිහත් වීම නොලැබුණි. ඒ වෙනුවට ඔවුන්ට අත්විදීමට සිදුවූයේ අනාරක්ෂිතභාවයයි. මෙම ආපදා අවස්ථාව ලාභ ඉපැයිමේ නිමිත්තක් කර ගත් ව්‍යාපාරිකයෝ ඛනිජ තෙල්, ජානීය ජලය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඉතා අධික මිල ගණන්වලට ජනතාවට අලෙවි කළෝය. එක් අවස්ථාවකදී මැරියට් හෝටලයේ පාලකයින් ආපදාවට ලක්වූ පුද්ගලයන් 35 දෙනෙකුට සහන සැලසීම ප්‍රතික්ෂේප කළේ ඔවුන් සිය පාරිභෝගිකයින් නොවන බව පවසමිනි. එක්සත් ජනපදය තුළ දී මෙම ආපදාව බලපෑවේ සෑම දෙනාටම එකම ආකාරයට නොවේ. ධනවතුන් කල් තබා ආරක්ෂක පියවරයන් ගෙන ආරක්ෂා වූ අතර දුප්පතුන් මෙම ව්‍යසනයේ අහිංසක ගොදුරු බවට පත් විය.

කුණාටුවෙන් පසු විනාශ වූ කියුබාව යළි ගොඩ නගද්දි කියුබානු ජනතාව කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් පුදුම සහගත ධෛර්යකින් ඊට මැදිහත් විය. එහිදී ඔවුහු වික‍්‍රමාන්විත අයුරින් කටයුතු කරමින් ඉතා වේගයෙන් රට ප‍්‍රකෘතිමත් කළහ.

මේ අතර කියුබානු රජය විනාශ වී ගිය සිය නිවෙස් ආදී පුද්ගල දේපළ යථා තත්වයට පත්කර ගැනීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ. ඒ අනුව නිවස මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇත්නම් එය ගොඩනැගීමට යන වියදමින් හරි අඩක් රජය විසින් දරනු ලැබේ. ආරක්ෂක මණ්ඩලය එක් එක් නිවසට සිදුවූ අලාභය තක්සේරු කරනු ඇත. නිවෙස් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නිවැසියන්ට අඩු පොලියට දිගු කාලීන ණයක් ලබා ගත හැකිය.

සිදු වී ඇති හානිය විශාල නම් බැංකු ණයෙහි පොලිය රජය විසින් ගෙවා දමනු ඇත. අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් හැකියාවක් නොමැති පුද්ගලයන්ට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය යටතේ භාණ්ඩ මිල දී ගැනීම සඳහා සහන ලබා දේ.

සමාජවාදී කියුබාව ආපදා කළමනාකරණයෙහිලා දැක්වූ හැකියාව සමාජවාදය මිනිසුන් කෙරෙහි දක්වන මානවවාදී ආකල්පයේ සහ සැලසුම් සහගත සමාජ සංවිධානයේ පිළිබිඹුවකි.