ධනවාදී ප්‍රාග්ධනයේ ස්වරූපය

The Bolsheviks
January 29, 2019
rsz_20170819_bbd001_0
පසුගාමීත්වය යනු….
January 29, 2019
Show all

ධනවාදී ප්‍රාග්ධනයේ ස්වරූපය

rsz_figure-01-01-a

අතිරික්ත වටිනාකම

අතිරික්ත වටිනාකම මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාවේ හරය පිළිබඳව අධ්‍යයනයකි. වෙළඳ භාණ්ඩ හුවමාරුවෙන් පමණක් අතිරික්ත වටිනාකම් බිහි නොවේ. අතිරික්ත වටිනාකම පිළිබඳව නියාමය හැදෑරීමෙන් ඒ පිළිබඳව තේරුම් ගත හැකිය.  එම සංකීර්ණ කරුණු හඳුනා ගැනීමට ධනවාදී ප්‍රාග්ධනයේ ස්වරූපය, විකාශනය, සහ අතිරික්ත වටිනාකම ගොඩනැගීම දක්වා ශ්‍රමයේ ක්‍රියාවලිය තේරුම් ගත යුතුය.

 

ධනවාදී ප්‍රාග්ධනය

ධනවාදී ප්‍රාග්ධනය කුමන ආකාර ගත්තද එය ප්‍රධාන ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් ක්‍රියාත්මක කරවන සාධකයකි. ඒ එක් අතකින් ධනපතියාය. අනෙක් අතින් වැටුප් ශ්‍රමිකයාය. ව්‍යවසාය ධනපතියාට අයිතිය. ඔහු ප්‍රාග්ධනය ඇතුළු නිෂ්පාදන මාධ්‍ය හිමිකරගෙන සිටින අතර ශ්‍රම ක්‍රියාදාමයට දායක නොවේ.

වැටුප් ශ්‍රමිකයාට කිසිදා නිෂ්පාදන මාධ්‍යයක් හිමි නොවන අතර ඔහු ධනපතියා යටතේ වැටුප් සඳහා වැඩ කිරීමට කුලියට ගනු ලැබේ. ශ්‍රමිකයාට තමන් නිපදවන භාණ්ඩ පිළිබඳව අයිතියක් නැත. එම භාණ්ඩවල අයිතිකරු ධනපතියාය.

 

නිෂ්පාදන මාධ්‍යවල ධනවාදී අයිතියේද ස්වරූපයන් කිහිපයක් පවතී. පළමුවැන්න තනි පෞද්ගලික ධනවාදී අයිතියයි. එවිට ව්‍යවසාය හිමිකරගෙන සිටින්නේ තනි ධනපතියකු විසිනි. තවත් ධනවාදී අයිතියේ ස්වරූපයක් වන්නේ සංස්ථාපිත අයිතියයි. උදා: සමාගම්, හවුල් ව්‍යාපාර, බද්ධ ව්‍යාපාර, බහු ජාතික සමාගම් ආදී වශයෙනි. ධනවාදී රාජ්‍ය අයිතියද ධනවාදී ව්‍යවසාය තවත් ස්වරූපයකි. එය ධනේශ්වර රාජ්‍ය මගින් නිෂ්පාදන මාධ්‍යයන් අයිතිය දරමින්, ධනපතියන්ගේ වුවමනාවන් උදෙසා දිගටම කටයුතු කරනු ලැබේ.

 

ප්‍රාග්ධනයේ ව්‍යුහය

කර්මාන්ත ශාලාවක් හෝ වෙනත් නිෂ්පාදන ව්‍යාපාරයක් හෝ  ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොදවනු ලබන මූලික ධනය ධනපතියා විසින් මුලින්ම යොදවන්නේ කිසියම් මුදල් අගයක් වශයෙනි. ඉන් එක් කොටසක් නිෂ්පාදන මාධ්‍ය මිලදී ගැනීමට යොදවයි. එය හඳුන්වන්නේ ස්ථාවර ප්‍රාග්ධනය ලෙසිනි. යොදවනු ලබන අනිත් කොටස ශ්‍රම ශක්තිය මිලදී ගැනීම සඳහායි. එය කම්කරුවන්ට ගෙවන වැටුප් ස්වරූපයෙන් යොදවයි. එම කොටස විචල්‍ය ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි.

ප්‍රාග්ධනයේ ප්‍රමාණය වැඩෙත්ම එහි ව්‍යුහයද වෙනස් වෙයි. ස්ථාවර ප්‍රාග්ධනය විශේෂයෙන්ම තාක්ෂණ විද්‍යාත්මක දියුණුවන් සමගම වර්ධනය වෙයි. ධනපතියා වඩාත් සංකීර්ණ, ඒ නිසාම වඩාත් මිල අධික යන්ත්‍ර සූත්‍ර මිලදී ගනී. 1889 සිට 1969 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රාග්ධනය 74 ගුණයකින් වැඩි වී ඇත. විචල්‍ය ප්‍රාග්ධනය වැඩිවන්නේ වඩාත් සෙමින්ය. ධනවාදය වර්ධනය සමග වර්ධන අනුපාතිකයන්ගේ වෙනස ක්‍රමයෙන් වැඩිවන අතර මුළු ප්‍රාග්ධනය තොගයෙන් ස්ථාවර ප්‍රාග්ධනයේ කොටස ක්‍රමයෙන් වැඩිවේ.

 

ශ්‍රම ශක්තිය

ධනවාදය යටතේ ධනපතීන් හා ඉඩම් හිමියන් නිෂ්පාදන මාධ්‍යයන්ගේ එකම හිමිකරුවන් වන නිසා කම්කරුවාට නිෂ්පාදන මාධ්‍යයන් අහිමිය. ඔහුට ඇත්තේ තමාගේ වැඩ කිරීමේ හැකියාවය. තම කායික සහ මානසික හැකියාවන් පමණකි. කම්කරුවාට ශ්‍රමය වැය කිරීමට ඇති හැකියාව ශ්‍රම ශක්තිය ලෙස හැඳින්වේ. ශ්‍රම ශක්තිය සහ ශ්‍රමය යන දෙක සමාන නොවේ. ශ්‍රම ශක්තිය යනු ශ්‍රමය වැය කිරීමට ඇති හැකියාවයි. ශ්‍රමය යනු ශ්‍රම ශක්තිය වැය කිරීමයි. එනම් නිෂ්පාදනයේදී ශ්‍රම ශක්තිය ඵලදායි ලෙස වැය කිරීමයි. ඇඳුම මසන්නාගේ ශ්‍රම ශක්තිය ඇඳුම් මැසීමට ඔහු සතු හැකියාවෙන් විද්‍යාමාන වන අතර ඇඳුම් මසන්නාගේ ශ්‍රමය යනු සැබවින්ම ඇඳුම් මැසීමයි. ශ්‍රම ක්‍රියාදාමයේදී ශ්‍රම ශක්තිය නිෂ්පාදන මාධ්‍යයන් සමග සම්බන්ධ කරමින් භාණ්ඩ නිෂ්පාදනය සිදු කරනු ලැබේ.

 

ධනවාදය යටතේ කම්කරුවාට නිෂ්පාදන මාධ්‍යයන් අහිමි නිසා ඔහුට ස්වාධීනව තම ශ්‍රම ශක්තිය වැය කළ නොහැකිය. එම නිසා ශ්‍රමිකයා තමාගේ ජීවිතය පවත්වාගෙන යාමට තමා සහ තම පවුල නඩත්තු කිරීමට, තමා සතුව ඇති එකම දෙය වන ශ්‍රම ශක්තිය විකිණීමට සිදුවේ.

 

කම්කරුවාගේ ශ්‍රමය වැය කිරීමේ හැකියාව (ශ්‍රම ශක්තිය) මිලදී ගන්නේ ධනපතියාය. මේ මිලදී ගැනීම සහ විකිණීම යනුවෙන් අදහස් කරන්නේ ධනවාදය යටතේදී ශ්‍රම ශක්තියද වෙළඳපොළේ හුවමාරු භාණ්ඩයක් බවට පත්ව ඇති බවය.

 

පළමු කොන්දේසිය: කම්කරුවාගේ පුද්ගලික නිදහසය. ඔහු තමාගේම ශ්‍රම ශක්තියේ හිමිකරු විය යුතුය. ඔහුගේ ශ්‍රම ශක්තිය විකිණීමට ඔහුට ඇති අයිතිය තහවුරු විය යුතුය. වහල් හා වැඩවසම් ක්‍රමයන් තුළදී ඔහුට ශ්‍රම ශක්තිය විකිණීමට ස්වාධීන අයිතිය අහිමි කර තිබුණි. ධනවාදය විසින් ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කිරීම මගින් මෙම කොන්දේසිය බිහි කරන ලදී.

 

දෙවන කොන්දේසිය: කම්කරුවාට නිෂ්පාදන මාධ්‍ය අහිමි කර තිබීමය. තමාගේම නිෂ්පාදන මාධ්‍ය උපයෝගී කරගන්නා ගොවියා ඔහුගේ ජීවිකාව ඔහුම උපයා ගන්නා විට ඔහුට තමාගේ ශ්‍රම ශක්තිය විකිණීමට වුවමනාවක් ඇති නොවේ. තමාගේ වැඩපොළක් සහිත කාර්මික ශිල්පියාගේ තත්වයද එයමය. ඔවුන්ට තමන්ගේ යැපීම් මාධ්‍ය අහිමි වී ගියහොත් ඔවුන්ද වැටුප් කම්කරුවන්ගේ තත්වයට පත් වනු ඇත.

 

ශ්‍රම ශක්තියේ වටිනාකම

ධනවාදය යටතේ හුවමාරු භාණ්ඩයක් වන ශ්‍රම ශක්තියටද භාවිත වටිනාකමක් සහ හුවමාරු වටිනාකමක් ඇත. එනම් එහි වටිනාකම යනු ශ්‍රම ශක්තිය යළි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රම ප්‍රමාණයයි. වෙනත් වචනවලින් කියතොත්, කම්කරුවා සහ ඔහුගේ පවුලේ සාමාජීකයින් නඩත්තු කිරීමට අවශ්‍ය වන යැපුම් මාධ්‍යයන්ගේ වටිනාකමට ශ්‍රම ශක්තියේ වටිනාකම සමාන වේ. කම්කරුවාගේ යැපුම් මාධ්‍ය වටිනාකම කොටස් හතරකින් යුක්ත වේ.

  1. කම්කරුවගේ වැඩ කිරීමේ හැකියාව යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය යැපුම් මාධ්‍යයන්ගේ වියදම – මෙයට ආහාර, ඇඳුම්, පාවහන්, නිවාස, විදුලිබලය, බෙහෙත්, ගෙදර – දොර උපකරණ අඩංගුය.
  2. කම්කරුවාගේ පවුල සඳහා අවශ්‍ය යැපුම් මාධ්‍යයන්ගේ වියදමේ වටිනාකම
  3. කම්කරුවාට ඔහුගේ වෘත්තිය පුහුණු කිරීමට අවශ්‍ය වියදම්වල වටිනාකම
  4. කම්කරුවාගේ සමාජ සහ සංස්කෘතික වුවමනාවන් සපුරාලීමට අවශ්‍ය, පොත්පත්, සිනමාව, විනෝදාස්වාදය, රූපවාහිනිය, ආදී වියදම්වල ප්‍රමාණය

රටින් රටට ශ්‍රම ශක්තියේ වටිනාකමද වෙනස් වේ. අධික ශීතල සහිත සීත ඍතු සහිත රටක කම්කරුවාට උණුසුම් රටවල කම්කරුවන්ට වඩා දේශගුණික වෙනස්කම් නිසා වියදම දැරීමට සිදුවීම දැක්විය හැකිය. ශ්‍රම ඵලදාවද ශ්‍රම ශක්තිය වටිනාකම වෙනස් කරන ප්‍රබල සාධකයකි. ශ්‍රම ඵලදාව විසින් යැපුම් මාධ්‍යයන්ගේ වටිනාකමද අඩු කරන අතර ඒ සමගම ශ්‍රම ශක්තියේ වටිනාකමද අඩුකරයි.

ධනපතියා ශ්‍රමිකයාගෙන් මිලදී ගන්නා ශ්‍රම ශක්තියට ගෙවීම කරන්නේ වැටුප්වලිනි. ධනවාදය යටතේ වැටුප් යනු මුදල් අනුසාරයෙන් ප්‍රකාශ කරනු ලබන ශ්‍රම ශක්තියේ වටිනාකමය. ධනපතියා අනිකුත් හුවමාරු භාණ්ඩ මෙන්ම ශ්‍රම ශක්තියද එහි වටිනාකමට අඩුවෙන් මිලදී ගැනීමට උත්සාහ කරයි. කම්කරුවන්ගේ වැටුප් අඩු කිරීමට සහ අයිතිවාසිකම් පැහැර ගැනීමට හැකි සෑම මාර්ගයකින්ම ඔහු උත්සාහ කරන්නේ ඒ නිසාවෙනි.

ශ්‍රම ශක්තියේ භාවිත වටිනාකම

ධනපතියා ශ්‍රම ශක්තිය සඳහා වැටුප් ගෙවමින් එම හුවමාරු භාණ්ඩයේ භාවිත වටිනාකම ලබා ගනියි. ධනපතියාට වෙනත් හුවමාරු භාණ්ඩයක් සේම මිලදී ගැනීමෙන් පසු තම අවශ්‍යතාවය සපුරා ගැනීමට ශ්‍රම ශක්තිය භාවිතා කිරීමට නිදහස ඇත.

 

ශ්‍රම ශක්තියේ භාවිත වටිනාකම අනෙක් සියලූම හුවමාරු භාණ්ඩවල භාවිත වටිනාකමට වඩා වෙනස්ය. අනෙක් හුවමාරු භාණ්ඩ භාවිත වටිනාකමේ අන්තර්ගතව ඇත්තේ වටිනාකම පමණි. එය පරිභෝජනය කිරීමෙන් අවසන් වේ. නමුත් ශ්‍රම ශක්තියේ භාවිත වටිනාකම යනු නව වටිනාකම් නිර්මාණය කිරීමය. ශ්‍රම ක්‍රියාදාමයේදී, ශ්‍රම ශක්තියේ වටිනාකම ඉක්මවා යන වටිනාකමක් බිහිකිරීමට කම්කරුවා සතු හැකියාව ශ්‍රම ශක්තියේ භාවිත වටිනාකමයි. ධනපතියාගේ ලාභවල මුලාශ්‍රය ශ්‍රම ශක්තියේ මෙම ආවේණික ගුණයයි. ඒ සඳහා ධනපතියා වැටුප් කම්කරුවාට තමාගේ කර්මාන්තයේ, නිෂ්පාදන මාධ්‍ය සමග සම්බන්ධ කරයි. ධනපතියා ඔහුගේ හිමිකාරිත්වයේ අයිතිවාසිකම් උපයෝගී කරගෙන වැටුප් ශ්‍රමිකයා සූරාකයි. මේ සඳහා ධනපතියා පොළඹවන බලය වූ කලී ආර්ථික වටිනාකම ඉපයීමේ අභිලාශයයි. අපගේ මූලික මාතෘකාව වන අතිරික්ත වටිනාකම බිහි කිරීමේ ආරම්භක ලක්ෂය මෙම වැටුප් ශ්‍රමය සූරාකෑමේ ක්‍රියාවලියයි.

විමර්ශන