තාක්ෂණයේ දියුණුවත් සමග සමාජය තුළ හුදකලා වන මිනිසා

rsz_1200-607490-concept-of-cultural-hegemony
අන්තෝනියෝ ග්‍රාම්ස්කි
January 23, 2019
sign-3422241_640
පංති පීඩනය හා ජාතිවාදය
January 24, 2019
Show all

තාක්ෂණයේ දියුණුවත් සමග සමාජය තුළ හුදකලා වන මිනිසා

Kids-on-Cell-Phones

ලෝකය 21 වන සියවසට පා තබන විටත් එය ගෝලීකරණය නම් දේශපාලන හා ආර්ථික සංකල්පයට ලක්ව තිබුණි. නවීන තාක්ෂණයේ මහා ඉදිරි පිමි සහිත වර්ධනය විසින් විශේෂයෙන් තොරතුරු තාක්ෂණයට අදාළව අන්තර්ජාලය, ජංගම දුරකථනය, මුහුණු පොත (Facebook) ආදිය විසින් ලෝකය එකම ගම්මානයක්ව ඇතැයි මත පළවිය. එය සත්‍යයක්ද විය. තොරතුරු තාක්ෂණයේ වේගවත් වර්ධනය විසින් ලොව පුරා මිනිසුන් එකට එක් කරන ලදී. ලෝකය විශ්ව ගම්මානයක් විය.

වර්ධනයේ ප්‍රතිවිරෝධය

මෙලෙස ලෝකය වඩාත් සමීපවුවාය යන කථාව අතරම දැන් ලොව පුරා ඊට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ මතයක්, අදහසක් වර්ධනය වෙමින් පවතී. ඒ, නවීන තාක්ෂණය විසින් මිනිසා (විශේෂයෙන් නව පරපුර) එකිනෙකාගෙන් හුදකලා කරමින් යන බවය. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වුවා යැයි පුරසාරම් දෙඩූ අයම දැන් ‘මිනිසා සමාජ කි‍්‍රයාකාරකම්වලින් මිදී හුදකලා වෙමින් යන්නේය’ යනුවෙන් කනස්සලූ වීමට පටන් ගෙන තිබේ. මෙම ප්‍රතිවිරෝධී මත දෙකම නිර්මාණය වූයේ තොරතුරු තික්ෂණය පදනම් කර ගෙනය.

Image result for smartphone addiction

එසේ වූයේ ඇයි?

වත්මන් ලෝක ධනවාදය, ප‍්‍රාග්ධනය මත පදනම්වූ ධනපති ක‍්‍රමය දැන් පවතින්නේම ප්‍රතිවිරෝධයකය. එබැවින් ඒ තුළ නිර්මාණය වන සෑම ‘ජයග‍්‍රහණයක්ම’ ඒ සමගම පොදු ජනතාවගේ, සමාජයේ ‘පරාජයක්’ ද වේ. ඒ තුළ ඇති කර ගන්නා සෑම ඉදිරි පියවරක්ම සාපේක්ෂව ජනතාවගේ ආපසු පියවරකි. එය මෙලෙස තේරුම් ගත හැක. ධනවාදය තුළ සොයා ගන්නා නව යන්ත‍්‍රයක්, නිෂ්පාදන උපකරණයක් මගින් කරනුයේ වැඩකරන ජනතාවගේ වැඩ පහසු කිරීම නොව ඒ වෙනුවට ප‍්‍රාග්ධනයට වැඩිපුර ලාභ එකතු කර ගැනීම සඳහා නව යන්ත‍්‍රය හෝ තාක්ෂණික මෙවලම මගින් වඩාත් වැඩියෙන් ශ‍්‍රමය සූරාකෑම හෝ වැඩකරන ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමය. ධනවාදයේ ‘ජයග‍්‍රහණ’ ජනතාවගේ ‘පරාජයන්’ වන්නේ එසේය. ඒ අනුව සන්නිවේදන තාක්ෂණයේ ජයග‍්‍රහණ තාවකාලිකව හෝ මිනිසාගේ ‘පරාජයන්’ වී තිබේ.

හුදකලාවට සමාජයක් විය හැකිද?

Image result for smartphone addiction

පැවැත්ම සහ ආරක්ෂාව සඳහා සාමූහිකව ජීවත්වීමට මිනිසාට බල කළ අතර මිනිසා සත්ව රංචුවක් වෙනුවට සමාජයක් වූයේ එම සාමූහිකත්වය නිෂ්පාදනය මත පදනම් වූ නිසාය. මිනිසා යනු නිෂ්පාදනය කරන හා පරිභෝජනය කරන සත්වයෙක් පමණක් නොව ඔහු සංස්කෘතික සත්වයෙක්ද වේ. විනෝදය, අධ්‍යාපනය, සංවාද, සාමූහික කි‍්‍රයාකාරකම්, එකිනෙකා තේරුම් ගැනීම, එකිනෙකාට උදව් කිරීම, අභියෝගවලදී එක්ව කටයුතු කිරීම ආදී බොහෝ කි‍්‍රයාකාරකම් හා ලක්ෂණ මිනිස් සමාජයට නැතිවම බැරි දේවල්ය.

එහෙත් නූනත ධනවාදයේ සමහර තාක්ෂණික මෙවලම් මගින් අභියෝගයට ලක්කර ඇතැයි බොහෝදෙනා පවසන්නේ මෙම චර්යා රටාවන්ය.

කාර්යාලයේදී, කෝච්චියේදී, කෑම පැයේදී, එකිනෙකා හා දොඩමලූවන, විහිළු තහළු කරන, කැරම් හෝ කාඞ් සෙල්ලම් කරනා පිරිසක් වෙනුවට අද සිටින්නේ, තම ජංගම දුරකථනයේ තිරය දෙස බලාගෙන එය එහා මෙහා කරන පිරිසක් බව බොහෝ දෙනා කියති. එහි සත්‍යයක්ද තිබේ. එසේම දුම්රියේ, බස්රියේ යන විට ද දැන් අපට හමුවන්නේ, එකිනෙකා සමග දොඩමලූ වන පිරිසක් නොව කරබාගෙන දුරකථනය සමග ක‍්‍රීඩාකරන පිරිසකි. නිවෙස තුළදී, කෑම මේසයේදී, විනෝද ගමනකදී පවා මේ අත්දැකීම විඳීමට හැකිව තිබේ. වරක් කියුබානු තනාපතිවරයෙක් මේ තත්වය පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ දැන් සිටින්නේ, Screen Genaration  එකක් බවය. ලෝකයේ බොහෝ වමේ පක්ෂද මේ පිළිබඳව කථාකරන අතර තරුණ පරපුර දේශපාලනයට ඒමට මැලිකමක් දක්වන බවත් ඔවුන් මෙම තාක්ෂණයේ සිරකරුවන්ව සිටින බවත් පවසති. මේ අනුව පෙනෙන්නේ, මෙම ගැටළුව සරල නොවන බවය. මේ අනුව මෙම හුදකලාවීම විසින් සමාජය අහෝසි වේද? අප සිතා බැලිය යුතු කරුණු ඒවාය.

තාක්ෂණය අවුලක්ද?

සමාජය තුළ හුදකලාව සිටින බවක් අපට පෙනෙන කිසිවෙකු සැබැවින්ම හුදකලාවී නැත. ඒ තුළද ඇත්තේ ප්‍රතිවිරෝධයකි. තමන් ළඟම සිටින, තමා අසල සිටින තැනැත්තා සමග කථා නොකොට දුරකථනයේ ගිලී සිටින පුද්ගලයා ඒ මගින්, විවිධ සමාජ ජාල වෙබ් පිටු හරහා විශාල පිරිසක් හා බැඳී සිටී. ඔහු පෙනුමෙන් හුදකලා වුවත් හරයෙන් හුදකලා නැත. ඔහු තම අදහස් හා මතවාද විශාල පිරිසක් සමග බෙදා හදා ගනී. අන් අයට ප්‍රතිචාර දක්වයි. එහෙත් ඒ තාක්ෂණය හරහාය. ඔහු දැන් සමාජය සමග ගනුදෙනු කරන්නේ ‘ඩේටා ‘ මගිනි. ඔහුගේ ජීවිතය ‘ඩේටා ‘ සමග බැදී තිබෙන අතර ‘ඩේටා ‘ බැඳී තිබෙන්නේ ප‍්‍රාග්ධනය සමගය. ඒවා සිදුකරන්නේ, ප‍්‍රාග්ධනයට ලාභ උපයා දීමය. අවසානයේ සියලූදෙනා ‘ඩේටා ‘ වල (ප‍්‍රාග්ධනයේ) සිරකරුවන් බවට ධනවාදය විසින් පත්කර තිබේ. සත්‍යය එයයි.

සැබැවින්ම මෙය තාක්ෂණයේ අවුලක් හෝ වැරැද්දක් නොවේ. තාක්ෂණය උපයෝගී කර ගැනීමේ ගැටළුවකි. වත්මන් පරපුරට මෙම නවීන, ඉතාම වටිනා තාක්ෂණය හඳුන්වා දෙන්නා කවුද? ආණ්ඩුවක්ද? වගකිව යුතු ආයතනයක්ද? නැත. මේවා අලූත් පරපුරට හඳුන්වා දෙන්නේ ජංගම දුරකථන සමාගම්ය. විවිධ මෘදුකාංග නිපදවන්නන් ය. විවිධ සමාජජාලා වෙබ් අඩවිවල හිමිකරුවන්ය. ඔවුන්ට පැහැදිලි අරමුණක් තිබේ. ඒ හැකිතරම් ලාභ ලැබීමය. සමාගම්වලට වැඩියෙන් ලාභ ලැබීමට නම්, වැඩියෙන් ආදායම් ලැබිය යුතුය. එසේ ආදායම් ලැබීමට නම් ජනතාව මෙම තාක්ෂණික උපකරණ වැඩියෙන් (අවශ්‍යතාවය නොසලකා) හා නිතර පරිහරණය කළයුතුය. එවිට සිදුවන්නේ කුමක්ද? ප‍්‍රාග්ධන හිමියන්ගේ ගොදුරු බවට පත් ‘ඩේටා ‘ පාරිභෝගිකයා සමාජයෙන් හුදකලාවන අතරම තම තුට්ටුදෙකද නොදැනුවත්වම වියදම් කර ගැනීමය.

සමාජය සමග වඩා වැඩියෙන් සබඳතා පැවැත් වීමට, එකිනෙකා හඳුනා ගැනීමට, තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම මතවාදී අරගලයන් සඳහාද මෙම නවීන තොරතුරු තාක්ෂණය යොදාගත හැක. එබැවින් මෙම තාක්ෂණය ඉතා හොඳ එකකි. එහෙත් එය නිවැරදිව යොදා ගැනීමට මඟ පෙන්වීමක් නොමැති විට හා වැරදි මඟපෙන්වීම් පමණක් තිබෙන විට සමාජයේ අප කථාකරන ප්‍රතිවිරෝධතා මතුවේ. එබැවින් සිදුවිය යුත්තේ, මෙම නවීන තාක්ෂණය වඩා හොඳ අරමුණු සඳහාත්, සංයමයක් හා විනයක් සහිතවත් පාවිච්චි කිරීමට ජනතාවට උගැන්වීමය. එය ධනවාදය විසින් සිදුකරන්නේ නැත. වමේ ව්‍යාපාර පෙරමුණ ගත යුත්තේ ඒ සඳහාය.

මෝහනයෙන් මිදීමට නම්

ධනවාදය තුළ මිනිසුන්, විශේෂයෙන් පීඩාවට පත් තරුණ පරපුර සිහිනයක ගිල්වා තැබීමට හැකිනම්, මෝහනය කර තැබීමට හැකිනම්, හුදකලා කර තැබීමට හැකිනම් එය ධනවාදයට වාසිදායකය. එබැවින් ධනවාදය හැම විටම කටයුතු කරන්නේ, ඒ වෙනුවෙනි. මේ අප දකින්නේද එයයි. එහෙත් සමාජයක් තුළ මිනිසාට හුදකලා විය නොහැක. ඔහු තාවකාලිකව හුදකලා වුවත් හුදකලාභාවයේ දිගට සිටීමට ඔහුට නොහැක. මන්ද ඔහුගේ ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කොන්දේසි විසින් මානව සාමූහිකත්වය ඉල්ලා සිටින නිසාය. මිනිසුන් නිදිකරවා මෝහනය කරවා තැබිය හැකිය. එහෙත් ඒ ටික කලකට පමණි. මන්ද මිනිසුන්ගේ බරපතළ අවශ්‍යතා විසින් ඔවුන් මෝහනයෙන් මුදවන බැවිනි. නින්දෙන් අවදිකරවන බැවිනි. මානව සමාජයට, නව පරපුරට මෙම ප්‍රතිවිරෝධය තුළ එනම් ‘සාමූහිකත්වය වෙනුවට හුදකලාව’ නම් ප්‍රතිවිරෝධය තුළ දිගට ජීවත්විය නොහැක. ඔහු දිනක සමාජය තුළ සාමූහිකත්වය සොයා එනු ඇත. එබැවින් දැන් කළ යුත්තේ, නව පරපුරට ඒ සඳහා මඟ පෙන්වීමය. එම මඟ පෙන්වීම කළ හැක්කේද තාක්ෂණය ඉවත ලීමෙන් නොව එය මගින්ම එය නිවැරැදිව පරිහරණය කිරීමට අවශ්‍ය ඥානය හා දැක්ම ඇති කිරීම තුළිනි.

මාක්ස් වරක් මෙසේ පවසා තිබුණි. ඒ “ඉතිහාසය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ, එයට විසඳිය හැකි ගැටළු පමණි. ඉතිහාසය සිය ගැටළු විසඳාලන්නේ, නව ගැටළු මතුකරමිනි” යනුවෙනි.

ඉතිහාසය, මානව සමාජය ගමන් කරන දයලෙක්තිකය එයයි. සමාජය ගැටළු මතුකරන්නේ නම් ඒ සඳහා විසඳුමක්ද තිබේ. ඒවා අපට විසඳාලිය හැක්කේ ඒ නිසාය. එහෙත් ඒ සමගම නව ගැටළුවලට මුහුණ දීමට මිනිසාට සිදුවේ. ඉතිහාසය ගමන් කරන්නේ එසේය. ගැටළු ඉදිරිපිට කම්පා වීමට හෝ බිය වීමට පෙළඹිය යුතු නැත්තේ ඒ නිසාය. කෙසේ වුවත් ධනවාදය විසින් නිර්මාණය කර ඇති හුදකලා සිරගෙයින් මිදී මානව සමාජය වෙත ඒමට මිනිසාට සිදුවීම අනිවාර්යක් වන අතර එවිට ධනවාදයේ බැමි ද පුපුරා විනාශ වනු ඇත.

විමර්ශන