තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය…

irma
බරපතල අපාදා තත්වයක දී ජනතාවට සහනයක් ලැබෙන්නේ ධනවාදයෙන් ද? සාමාජවාදයෙන් ද?
January 10, 2019
rsz_1war_and_children
අධිරාජ්‍යවාදයේ අවියක් වූ ප‍්‍රචාරණය
January 11, 2019
Show all

තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය…

Cute pupil thinking against idea doodle with arrows

21වැනි සියවසේ දී පවා අප ජීවත් වන සමාජය තුළ බොහෝ දෙනා කටයුතු කරන්නේ, සත්‍යය තෝරා බේරා ගැනීමට නොහැකි තත්වයකය. එහි බරපතළම කරුණ වන්නේ, බොහෝ මිනිසුන් සත්‍යය ප‍්‍රතික්ෂේප කරමින් අසත්‍යයම වැළඳ ගැනීමය. අපගේ චින්තනය තුළ සත්‍යය පරාවර්තනය වීමට නම් අප තාර්කික විය යුතුය. මිනිසා වානරයාගෙන් වෙනස්ව වර්ධනය වීමේදී මිනිසාත් වානරයාත් වෙන් කොට හඳුනා ගැනීමට උපකාරි වූ ප‍්‍රධාන බෙදුම් රේඛාව වූයේ මිනිසාට ශ‍්‍රම ශක්තිය තිබීම, භාෂාවක් කථා කිරීමේ හැකියාව හා තාර්කික චින්තනයක් සතුවීමය. එහෙත් බොහෝ මිනිස්සු මෙම තාර්කික චින්තනය අතාර්කිකත්වය තුළම තබා මිත්‍යාවන් තුළ, අසත්‍ය ප‍්‍රවෘත්ති තුළ, වැරදි උපකල්පන හා නිගමන තුළ ගිලී සිටී. කිසියම් නව සත්‍යයක් මිනිසුන් තුළ තහවුරු කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වුවද  ඕනෑම බොරුවක් එක් නිමේෂයකදී මිනිසුන් තුළ තහවුරු කිරීමට හැකිය. ඒ මිනිසුන් තවමත් අතාර්කිකත්වය තුළ ජීවත්වන නිසාය. බොහෝ මිනිසුන් තම මොළයේ තර්කනයට අදාල ප‍්‍රශ්නය පාවිච්චියට ගන්නේම නැත. මේ නිසා බොරුවලට තටු මැවී පියඹා යන ලොවක සත්‍යයට සිදුව ඇත්තේ ඉබි ගමනින් යාමටය.

ප්ලාස්ටික් සහල්

පසුගිය දිනවල ලංකාවේ මුහුණු පොත හරහා බරපතළ ප‍්‍රවෘත්තියක් සුනාමියක් සේ පැතිරී ගියේය. ඒ වෙළඳපොළට ප්ලාස්ටික් සහල් පැමිණ ඇති බවයි! මෙම ප‍්‍රවෘත්තිය පළවීමත් සමග කිසිදු තර්කනයකින් තොරව විචාර බුද්ධියෙන් තොරව බොහෝ දෙනා බියට පත්ව අදහස් පළකරනු දකින්නට ලැබුණි. ප්ලාස්ටික් තැම්බීමට හෝ ආහාරයට ගැනීමට නොහැකි බව නොසිතා, තර්ක නොකරම ඉහත අසත්‍ය ප‍්‍රවෘත්තියට බොහෝ දෙනා රැවටුණු බව පැහැදිලිය. මෙය සිහිපත් කරන්නේ කුඩා කල අප අසා තිබූ බෙලි ගෙඩියක් වැටුණු විට මෙම ශබ්දයට බියවී අහස කඩා වැටෙන්නේ, යයි කෑ ගසමින් දිව ගිය හාවාගේත් ඒ පසු පස දිව ගිය අනෙක් මෝඩ සතුන්ගේත් කථාවය. එම කථාව කුඩා කාලේ උගන්වන්නේද විමසා නොබලා කවුරුත් කී නිසා කිසිවක් විශ්වාස නොකළ යුතු බව උගැන්වීමටය. එහෙත් අභාග්‍යය නම් එවැනි කථා උගන්වන අතර පවා ප්ලාස්ටික් සහල් වැනි මිත්‍යාවන්ට මිනිසුන් ගොදුරු වීමය.

පසුගිය කාලයේ වරක් කතරගම දෙවියන් කතරගම දේවාල භූමියේදී පෙනී සිටින්නේ ය යන පැතිරුණු ප‍්‍රවෘත්තිය නිසා දස දහස් ගණන් මිනිසුන් කතරගම ගොස් විශාල වාහන තදබදයකට හා අපහසුතාවයන්ට මුහුණදී කිසිවක් නොදැක ආපසු එනු දැක ගත හැකි විය. ලංකාවේ ජනතාව කෙතරම් අතාර්කිකද කෙතරම් විචාර බුද්ධියෙන් තොරද යන්න පිළිබඳ ඊට වඩා වෙනත් නිදසුන් අවශ්‍ය වන්නේ නැත. මෙලෙස පහසුවෙන් රවටනු හැකි ජනතාවකට, චින්තනය තුළ තර්කනය නැති ජනතාවකට රටක් ප‍්‍රගතිය කරා ගෙනයා හැකිද? ගැටලූව එයයි.

දෙවියන් හා කඟවේනා

පසුගිය දිනවල කිසියම් ප‍්‍රකාශනයක දෙබසක් පළවී තිබුණි. එහිදී එක් පුද්ගලයෙක් අනෙකාගෙන් මෙසේ විමසයි. ”ඔබ දෙවියන් විශ්වාස කරනවාද?” ”ඔව්” යයි අනෙකා පිළිතුරු දේ. ඊළඟට දෙවෙනි ප‍්‍රශ්නය මෙසේ අසයි. ”ඔබ කඟවේනා විශ්වාස කරනවාද?” ”නැහැ මම එහෙම එකෙක් දැකල නැහැ” ඔහු පිළිතුරු දෙයි. මෙයින් කියවෙන සත්‍යය කුමක්ද? කඟවේනා නමින් සතෙක් ඇත්තට ජීවත් නොවේ. එම සතා කල්පිතයකි. පිළිතුරු දෙන මිනිසා නිවැරදිව ඔහු එවැනි සතෙක් නොදුටු නිසා එවැන්නෙක් විශ්වාස නොකරන බව කියයි. එහෙත් ඒ මිනිසාම දෙවියන් විශ්වාස කරයි. තමා දෙවියන් විශ්වාස කරන්නේ දෙවියන් නොදැක තිබියදීය යන්න ඔහු කල්පනා නොකරයි. මිනිසුන්ගේ චින්තනය අතාර්කික වීමේ ප‍්‍රතිඵලය එයයි. මන්ද කඟවේනා, මකරා මෙන්ම දෙවියන්ද මිනිසුන් විසින් සිතින් මවා ගත් කල්පිතයන් වන බැවිනි.

ජනතාවගේ චින්තනය අතාර්කිකව පැවතීමේ වාසිය ලැබෙන්නේ කාටද? එය සමාජ සංවර්ධනයට වාසි නොවේ; බාධාවක් වේ. මිනිසාගේ අතාර්කික චින්තනයෙන් ඵල ලබන ප‍්‍රධාන කණ්ඩායම නම් ධනපති දේශපාලන නායකයින්ය. තර්කයෙන් තොර මිනිසා රවටා බලය ගැනීම ඔවුන්ට පහසු බැවිනි. ඔවුන් දෙන  ඕනෑම පොරොන්දුවක්, ඔවුන් කියන  ඕනෑම බොරුවක් විශ්වාස කරන ජනතාවක් සිටීම හා එවැනි ජනතාවක් පවත්වාගෙන යාම ධනපති ක‍්‍රමයේ වුවමනාව වේ. එබැවින් ධනවාදී දේශපාලනය ජනතාව අතාර්කික වන තරමට කැමතිය. එම අතාර්කිකකම තුළ ජනයා ගිල්වා තිබීමට හැම විටම ධනවාදී දේශපාලකයින් කටයුතු කරන අතර ඔවුහුද මිත්‍යාවලම ගිලී සිටිති.

එසේම ධනවාදය තුළ බොරුවෙන් ජීවත්වන දෛවඥයින්, ගුප්ත විද්‍යාවන්හි නිරත වන්නන්, යන්ත‍්‍ර මන්ත‍්‍ර හදි හූනියම් කරන්නන්, දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන්නන් වැනි සියලූ දෙනා තම ජීවිකාව ගැටගසා ගන්නේ ද ජනතාව තුළ පවතින මෙම අතාර්කික චින්තනය උපයෝගිකර ගෙනය. එය ඔවුන්ගේ ජීවිකාවට පහසුවක් නිසා ඔවුහු දිගටම සමාජය තුළ අතාර්කිකත්වය පවත්වා ගැනීමට උත්සාහ කරති. එසේම දෙවියන්ගේ ආවතේවකරුවන් ලෙස පෙනී සිටින ‘දේව ඒජන්තවරුද’ මෙයටම අයත් කණ්ඩායමකි. දෙවියන් ලවා විවිධ වැඩ කරවා දීමේ කොන්ත‍්‍රාත්තුව මගින් ඔවුහු මුදල් උපයති. එය තම ජීවිකාව කර ගනිති. ඒ නිසා ඔවුන්ද චින්තනයේ අතාර්කික බවට කැමතිය.මෙයට අමතරව අතීත සම්ප‍්‍රදායන්ට යටවීම, ගතානුගතික බව හා විද්‍යාව පවා දාර්ශනිකව ඉගෙන නොගත් අයද, මෙලෙස මිත්‍යාවන්ට යටවෙති. සමහර ධනේශ්වර විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු වැනි අයද මෙලෙස අතාර්කිකව කල්පනා කරන අවස්ථා තිබේ. කෙසේ වෙතත් මිනිස් චින්තනයේ අතාර්කිකත්වය හා විද්‍යාවට එකට පැවතිය නොහැකි අතර එය එසේ වූ විට සිදුවන්නේ විකෘතියකි.

තර්කනයේ චින්තනය හා විද්‍යාව

විද්‍යාව හැම විටම තර්කනය මත රඳා පවතින අතර තර්කනය මගින් සත්‍ය අසත්‍ය වෙන්කර ගැනීමට අපට උගන්වයි. විද්‍යාව පදනම්ව පවතින්නේ විශ්වාසයන් මත නොවේ. සංස්ලේෂණ – විශ්ලේෂණ, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන අද සත්‍ය සොයාගැනීමේ තර්කානුකූල විධික‍්‍රම මගින් එය පවතී. මිනිසාගේ චින්තනය තුළ සත්‍යය පරාවර්තනය වීමට නම් විද්‍යාත්මකව සිතා තාර්කික චින්තනයක් ඇතිකර ගත යුතුය. ”සියල්ල සැක කරනු” යයි මාක්ස් වරක් කෙටියෙන් පැවසුවේ මෙම සත්‍යයය. යමක් එක්වර පිළිනොගෙන සැක කරන පුද්ගලයා එම සැකය හැර ගැනීම සඳහා අදාළ සිද්ධිය හෝ ප‍්‍රවෘත්තිය අධ්‍යයන කොට තාර්කිකව එය සත්‍යද අසත්‍යද යයි නිගමනය කර ගනී. චින්තනය තාර්කික හා විද්‍යාත්මක වන්නේ එවිටය. එවැනි ජනතාවක් රැවටීමට හෝ මුලා කිරීමට නොහැක.

මිනිසා ස්වභාවයෙන්ම කථාන්දර ඇසීමට මෙන්ම කථාන්දර කීමට ද කැමැතිය. ඒ අනුව ඔහු නිර්මාණශීලී ලෙස විවිධ කථාන්දර ගෙතුවේය. ඒ කථා බොහොමයක් අද්භූත ඒවා විය. ඒවා පරපුරෙන් පරපුරට පැවත ආවේය. දැනුදු තිබේ. ඒවා විනෝදය හා වින්දනය වෙනුවෙන් ගොතන කථා ලෙස සලකා පරිහරණය කරනවා වෙනුවට මිනිසා තමන් ගෙතූ කථා සත්‍ය ලෙස විශ්වාස කිරීමටද පෙලඹුණේය. විද්‍යාව නොතිබූ අවදියක මෙය ප‍්‍රබල විය. මෙම ඓතිහාසික ස්වභාවය නිසා අද පවා මිනිසුන් මිත්‍යා ප‍්‍රබන්ධවලට, අද්භූත කථාවලට කැමැත්තක් දක්වන අතර ඒවා දෙවරක් නොසිතා පිළිගැනීමටත් ඊට තව තවත් දේ එකතුකරමින් පැතිරවීමටත් රුචිකත්වයක් දක්වයි.

එහෙත් ඉන් සිදුවන්නේ, මිනිසා නොදැනුවත්වම තම චින්තනය අතාර්කික එකක් බවට පත් කර ගැනීමය. එවිට රැවටීමේ සීමාවක් නැති වේ. මුලාවීමේ සීමාවක් නැති වේ. මෙය තනි පුද්ගලයෙක් සතු දුබලකමක් නම් එහි බලපෑම අඩු ය. නමුත් සමාජයක් ලෙස සමාජයේ චින්තනය අතාර්කික නම්  ඕනෑම බොරුවකට වහා රැවටෙන සුළු නම් එය බරපතළ කරුණක් වේ. එබැවින් තම තමන්ගේ චින්තනය තුළ තර්කනය රඳවා ගැනීමටත් තර්කනය තුළින්ම යමක් වටහා ගැනීමටත් මිනිසාගේ චින්තනය තුළ සත්‍ය පරාවර්තනය වනසේ කටයුතු කිරීමටත් තනි තනි පුද්ගලයන් සේම සමාජයක්ද සමත් විය යුතුය. මානව වර්ගයාගේ ජයග‍්‍රහණයට මාවත වැටී ඇත්තේ ඒ මඟ ඔස්සේය.

– විමර්ශන