අධිරාජ්‍යවාදයේ අවියක් වූ ප‍්‍රචාරණය

Cute pupil thinking against idea doodle with arrows
තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය…
January 11, 2019
DTAGvycUQAIFyCq
ඔබ සිතන්නේ හදවතින්ද? මොළයෙන්ද?
January 11, 2019
Show all

අධිරාජ්‍යවාදයේ අවියක් වූ ප‍්‍රචාරණය

rsz_1war_and_children

ප‍්‍රචාරණය වර්තමානයේ දී  නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ. මිනිස් ජීවිතයේ සෑම දෙයක් සමගම ප‍්‍රචාරණය බැඳී තිබේ. භාණ්ඩ විකුණා ගැනීම සඳහා වූ වෙළඳ ප‍්‍රචාරණයේ සිට යුද්ධ කිරීම හා යුද්ධ සාධාරණීකරණය කිරීම සඳහා වූ දේශපාලන ප‍්‍රචාරණය දක්වා පුළුල් පරාසයක ප‍්‍රචාරණය විහිදී තිබේ. මිනිසා නොදැනුවත්වම ප‍්‍රචාරණයේ බලපෑමට හසුව තිබෙන අතර ධනවාදය තුළ ජීවත්වන වර්තමාන මිනිසුන්ගේ චින්තනය හසුරුවන ප‍්‍රබලම මාධ්‍යය බවට ප‍්‍රචාරණය පත්ව තිබේ. ඒ අනුව නූතන අධිරාජ්‍යවාදයේ ප‍්‍රබලම අවිය බවට පත්ව තිබෙන්නේ, න්‍යෂ්ටික අවි නොව ප‍්‍රචාරණය නම් වූ අවියය. න්‍යෂ්ටික අවිවලින් සිදුකරන්නේ, මිනිසුන් බුරුතුපිටින් මරා දැමීමය. එහෙත් ප‍්‍රචාරණයේ අවිය මිනිසුන් ජීවත්ව සිටියදීම ඔවුන්ගේ මානව අධ්‍යාත්මය මරා දමා ඔවුන් අධිරාජ්‍යවාදයේ මානසික වහලූන් බවට, දාසයන් බවට හරවා ගනී. ඒ, එලෙස සිදුවූ බව පවා මිනිසුන්ට නොදැනෙන ලෙසය.

තර්ක බුද්ධියෙන් යුතුව රූපවාහිනිය දෙස පැයක් බලා සිටින්න. වෙළඳ ආධිපත්‍යය වෙළඳ ප‍්‍රචාරණය ඔස්සේ ඔබේ මනස ආක‍්‍රමණය කොට ඔබ බහුජාතික සමාගම්වල වුවමනාවට අනුව සිතන කෙනෙක් බවට පත්කර ගන්නා හැටි තේරුම් ගැනීම ඔබට අපහසු නොවනු ඇත. එහෙත් අධිරාජ්‍යවාදයේ ප‍්‍රචාරණය යනු එම සරල සීමාවේ පවතින දෙයක් නොව ඉන් එහා පැතිරුණු පුළුල් එකකි. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් සොයා ගන්නා ලද මෙවලම්ද (රූපවාහිනිය, තොරතුරු තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය) රැගෙන අධිරාජ්‍යවාදය ලොව මත මතවාදී යුද්ධයක් සිදුකරමින් මිනිසුන් හා රටවල් යටත් කොට මතවාදී වහලූන් බවට පත්කර ගනිමින් සිටී.

වෘත්තිය බොරුකියන්නෝ

අධිරාජ්‍යවාදී වුවමනාව වෙනුවෙන් දේශපාලන මතවාදය බෙදාහරින ප‍්‍රධාන ජනමාධ්‍ය සමාගම් කිහිපයක් තිබේ. CNN හා BBC ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. ඊට අමතරව මෙම ප‍්‍රධාන මාධ්‍ය ආයතනවලින් යැපෙන මාධ්‍ය ආයතන ජාලාවක් එක් එක් ධනපති රටවල ද තිබේ. එවිට මෙම ජනමාධ්‍ය හමුදාවක් බවට පත් වේ. ලෝකයේ මිනිසුන්ගේ දේශපාලන චින්තනය හසුරුවන්නේ ඔවුන් විසිනි. මෙම මාධ්‍ය ආයතන පිටුපස දැවැන්ත ප‍්‍රග්ධනයක් තිබෙන අතර දේශපාලන මඟ පෙන්වීම එන්නේ එක්සත් ජනපද ජනාධිපති මන්දිරයෙන් හා බි‍්‍රතාන්‍යයේ අගමැති නිවසිනි.

මෙම ඒකාධිකාරී මාධ්‍ය දැවැන්තයින්ට අනුව කියුබාවේ හිටපු  ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ඒකාධිපතියෙකි! කියුබාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත. එහෙත් ඊශ‍්‍රායලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයකි. එහෙත් සත්‍ය කුමක්ද? කියුබාව කිසිදු අසල්වැසි රටක් ආක‍්‍රමණය කර නැත. අනුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට මිනිසුන් මරා නැත. එහෙත් ප‍්‍රචාරණයට අනුව කියුබාව ඒකාධිපති රටකි. ඊශ‍්‍රායලය පලස්තීන බිම ආක‍්‍රමණය කර, බලහත්කාරී ජනාවාසකරණය සිදුකරමින් පලස්තීනුවන් මරා දමමින් සිටී. එහෙත් ඊශ‍්‍රායලය ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. ඔවුනට අනුව සමාජවාදී උතුරු කොරියාව දිළිඳුකමෙන් පිරුණු රටකි. එහි නායකයා යුද උන්මත්තකයෙකි නමුත් සමාජවාදී උතුරු කොරියාවේ කිසිවකු කුසගින්නේ මිය ගොස් නැත. වීදි අද්දර සිඟා කන්නේද නැත. අධිරාජ්‍යවාදී සම්බාධක හමුවේ පවා ඔවුන් තම රට සංවර්ධනය කර තිබේ. සමාජවාදී උතුරු කොරියාව 1950 කොරියානු යුද්ධයෙන් පසු තම ආරක්ෂාව සඳහා අවි නිෂ්පාදනය කළ ද කිසිදු රටකට එරෙහිව අවි පාවිච්චි කර නැත. එහෙත් උතුරු කොරියානු නායකයින් යුද උන්මත්තකයෝය. මිනිසුන් කුසගින්න නිසා සිඟා කන, කුසගින්න නිසා මියැදෙන අපි‍්‍රකාවේ, ආසියාවේ, ලතින් ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ පවා රටවල් තිබෙන නමුත් ඒවා ධනවාදී නිසා ඒ ගැන කතාබහක් නැත.  ඉරාකය ආක‍්‍රමණය කොට මිනිසුන් දහස් ගණනක් මරා දැමූ, ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කොට මිනිසුන් මරා දැමූ ඊට සිනහ වෙමින් අණ දුන් ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති යුද උන්මත්තකයෙක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නෙකි. අධිරාජ්‍යවාදී මාධ්‍ය ප‍්‍රචාරණය ගෙන යන සහාසික මානසික යුද්ධ තේරුම් ගැනීමට සංකීර්ණ උදාහරණ නැතුවාට ඉහත උදාහරණ හොඳටම ප‍්‍රමාණවත්ය.

අධිරාජ්‍යවාදීන් විසින් ලොව පුරා සිදු කරන යුද්ධ හා බලහත්කාරයන් සාධාරණීකරණය කරනුයේ ප‍්‍රචාරණය මගිනි. එක් එක් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ, ජනතාව ඒකාධිපති පාලනයෙන් මුදා ගැනීමේ ආදී බොරු ප‍්‍රචාරය කොට තම යුද උමතුව හා රටවල් යටත් කරගැනීම සාධාරණය කර ගැනීමට ඔවුහු සමත්වී සිටිති.

මෙලෙසින් සත්‍ය විකෘති කොට අසත්‍යය ජන මනසේ තහවුරු කිරීම සඳහා ඔවුන් යොදාගන්නේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරණයන්ය. ඒ සඳහා ප‍්‍රවෘත්ති මධ්‍යස්ථාන තිබේ. ඒවා හමුදා කඳවුරු ලෙස සංවිධානය කර තිබේ. ඒවායේ මත සකසන වැටුප් ලබන පිරිසක් සිටී. ඔවුන්ගේ කාර්යය බොරු නිර්මාණය කිරීමය. ඒ වෙනුවෙන් අධිරාජ්‍යවාදී මාධ්‍ය ආයතන තුළ සේවය කරන වෘත්තීය බොරු කියන්නෝ පිරිසක් සිටිති. ඔවුන්ට විශාල වශයෙන් වැටුප් හා වරප‍්‍රසාද ගෙවනු ලැබේ. ඔවුන්ගේ කාර්යය අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් බොරු නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීමය. මෙය ධනවාදී ඒක් එක් රටවලද මෙලෙසම කි‍්‍රයාත්මක වේ. තමන්ගේ විරුද්ධවාදී කණ්ඩායම් ත‍්‍රස්තවාදීන් බවට පත් කිරීමටත් තමන්ට පක්ෂ ඇත්ත ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නන්, විමුක්තිකාමීන් බවට පත්කිරීමටත් මෙම වෘත්තීය බොරු කියන්නන්ට පුළුවන. ඔවුන්ට ඒ සඳහා මනා වෘත්තීය පුහුණුවක් තිබේ.

අපේ රටවලද මෙය දැකිය හැකිය. ලංකාවේද දේශපේ‍්‍රමය, ත‍්‍රස්තවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, රට බෙදීම, වැනි සංකල්ප නිපදවන්නේත් එයට අනුව මෙම පංති වුවමනා හා බල වුවමනා මත එක් එක් ලේබල් අලවා විවිධ අය නාමකරණය කරන්නේත් මාධ්‍ය මගිනි. ඒ සඳහා දේශපාලකයින්ට අමතරව වෘත්තීය බොරු කියන්නෝද කි‍්‍රයාත්මක වෙති.

ආගම්වාදය හා ජාතිවාදය

1960, 70 දශකවල අධිරාජ්‍යවාදයටත් ධනවාදයටත් එරෙහිව ලොව පුරා අරගල රැසක් පැන නැගී තිබුණි. විවිධ ආකාරයෙන් පීඩාවට පත් ජනතාව ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව වීදි බැස සටන් කළහ. සමහර ඒකාධිපති ධනපති රටවල් බිඳ වැටී සමාජවාදී රාජ්‍යයන් බිහිවිය. ධනවාදයේ පීඩාවට එරෙහිව මිනිසුන් තුළින් මතුවන විරෝධය ධනවාදය වෙතට යොමුවීම අධිරාජ්‍යවාදය මුහුණ දුන් බරපතළ ගැටළුවක් විය. ඒ නිසාම එම විරෝධය වෙනත් ඉලක්කයක් වෙත වෙනත් අරමුණක් වෙත යොමු කළ යුතු විය.
ඒ සඳහාද ?

පසුගිය දශක හතරක පමණ කාලය තුළ ප‍්‍රචාරණය යොදා ගනිමින් ඉතා සියුම් ලෙස ජනතාව තුළ තිබෙන දුර්වල නිලවලට; සංවේදී හැඟීම්වලට  ප‍්‍රචාරණය මගින් ආමන්ත‍්‍රණය කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ, ධනවාදයට එරෙහිව නැගී ආ සටන් දුර්වලවී, ඒ වෙනුවට ජාතිවාදී හා ආගම්වාදී සටන් ඇවිල යාමය. ලොව පුරා ජාතිවාදී හා ආගම්වාදී මත වැපිරීමේදී ප‍්‍රචාරණය විශාල කාර්යයක් කරනු ලබයි. මෙහිදී නිල ප‍්‍රචාරණ මෙවලම්වලට වඩා නිල නොවන ප‍්‍රචාරණ මෙවලම් දක්ෂ ලෙස යොදා ගැනීමට පාලක පංති සමත් වී සිටියි. අධිරාජ්‍යවාදී හා ධනවාදී ප‍්‍රචාරණය ඔස්සේ වෘත්තීය බොරුකියන්නන් විසින් කරන ප‍්‍රධාන දෙය වන්නේ ජනතාව බිය වැද්දීමය. ජනතාව තුළ බිය ඇතිකිරීමෙන් තොරව තම අරමුණට ඔවුන් මෙහෙයවිය නොහැකි බව ඔවුහු දනිති. දැනට ජාත්‍යන්තර වශයෙන් මේ බිය ඇති කරන අයුරු අපට දැකිය හැක.

උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනයක් ගැන ජනතාව බියවැද්දීම මෑත හොඳම උදාහරණය වේ. කිසිදා කිසිදු රටකට එරෙහිව න්‍යෂ්ටික අවි පාවිච්චි නොකළ උතුරු කොරියාවට එරෙහිව මෙම මතය පතුරුවා උතුරු කොරියානු න්‍යෂ්ටික බියක් නිර්මාණය කරන්නේ කවුද? ඒ න්‍යෂ්ටික අවි සැබෑ ලෙසම පාවිච්චි කොට ජපානයේ නගර දෙකක් වනසා දැමූ හා තවමත් න්‍යෂ්ටික අවි තොග පිටින් ගොඩගසා සිටින ඇමරිකා එක්සත් ජනපදය යි. හාස්‍යය එයයි.

ඉරාකයේ සදාම්ගේ පාලනය බිඳ දැමීම සඳහා ඉරාකය ආක‍්‍රමණය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම සඳහාද මොවුහු ජනතාව බියට පත් කළහ. ඒ, ඉරාකය තුළ සමූලඝාතක අවි තිබෙන බව පවසමිනි. එහෙත් ඉරාකය ආක‍්‍රමණය කළ අයට එවැන්නක් සොයාගැනීමට නොහැකිවූ අතර ඉන්පසු ඒ ගැන කතා කිරීමද සිදු නොවිණ.

ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කිරීමේදී ඊට යොදාගත් බිය වුනේ අල්කයිඩා හා ඔසමා බින් ලාඩන්ය.

බිය හා මිත්‍යාව

වැරදි මත මගින් මිනිසුන් බියවද්දා ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීම පිළිබඳ උදාහරණ අපේරටෙන් ද සොයා ගත හැක. මුස්ලිම් ජනගහනය වැඩිවී සිංහල ජනගහනයට වඩා එය වැඩිවෙනවා යන මතය එවැනි අවිද්‍යාත්මක හා සිංහල ජනයා බියට පත්කරන මතයකි. මුස්ලිම් කඩවල කෑමවල හා ඇඳුම්වල වඳ බෙහෙත් යොදන බවට වන මතයද බියකිරීම සඳහා යොදා ගන්නා මතයන්ය. මේවා අවිද්‍යාත්මකය. එහෙත් විවිධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වනවිට මිනිස්සු බියට පත් වෙති; ඉන් පසු ජාතිවාදී හා ආගම්වාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනිති. ම්ලේච්ඡ ලෙසින් සිංහලයන් විසින්  දෙමළ ජනතාව ඝාතනය කරන්නේ යැයි කලක් උතුරේ පතුරුවා තිබූ මතයද එ් ආකාරයටම ප්‍රචාරය කළ වැරදි මතයකි. ඒවා පිටුපස සිටිනා බලවේග කවුදැයි තේරුම් නොගෙනම මෙම මත, ඒ ඒ ජන කණ්ඩායම් විසින් ගිලදමනු ලබයි. එවිට ධනවාදයට එරෙහි පීඩනය හා විරෝධය එක් එක් ආගමික කණ්ඩායම්වලට හා ජන කණ්ඩායම්වලට එරෙහිව මුදා හැරීම සිදුවන අතරම ජනතා විරෝධයේ අනතුරින් ධනවාදය ගැලවී ගනියි. අපේ රටවල මෙම ආගමික අන්තවාදී බිය ගන්වීම් පිටුපස සිටිනුයේ විවිධ ප‍්‍රාග්ධන හිමියන් හා දේශපාලන නායකයන් බව හොඳින් බැලූවිට පෙනේ. එහෙත් ප‍්‍රචාරණය එහි සැබෑ නිර්මාපකයින් සඟවා තබන නිසා එය තේරුම් ගැනීම අපහසු වේ. අවසානයේ ධනවාදය මිනිසුන් එකිනෙකා පිළිබඳව බිය ඇතිකොට එකිනෙකා කොටවා තම ක‍්‍රමයත් තම පංති පාලනයත් රැක ගනී. ඒ සඳහා විශාලතම මෙහෙය සිදුකර දෙන්නේ ප‍්‍රචාරණයයි.

ප‍්‍රචාරණය මිනිසුන් අන්ධ කොට ප‍්‍රාග්ධනයේ වහලූන් බවට පත් කරන්නේ ඍජු දේශපාලන ක්ෂේත‍්‍රයේ පමණක් නොවේ. වෙළඳපොළ කි‍්‍රයාකාරිත්වය තුළ ද එසේම සිදු කරයි. ප‍්‍රචාරණයේ ස්වභාවය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කළ යුත්තේ ඒ නිසාය.

– විමර්ශන

War and Children
Cartoon by Saadet Demir Yalçın, Turkey 


Fatal error: Uncaught exception 'wfWAFStorageFileException' with message 'Unable to save temporary file for atomic writing.' in /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php:30 Stack trace: #0 /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php(648): wfWAFStorageFile::atomicFilePutContents('/home/chathuran...', '<?php exit('Acc...') #1 [internal function]: wfWAFStorageFile->saveConfig('transient') #2 {main} thrown in /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php on line 30